අධ්‍යාපනයේ අනාගතය අන්තර්ජාලය පදනම් කර ගනිමින් ගොඩනැඟෙන බවත් ඒ සඳහා මෙරට සියලු පාසල් අන්තර්ජාල පහසුකම් මෙන්ම ඊට අවශ්‍ය මෙවලම් වලින් සන්නද්ධ කිරීමට ගත හැකි සෑම පියවරක්ම ආණ්ඩුව විසින් මේ වන විටත් රැගෙන ඇති බවත් ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.
යාපනය දිස්ත්‍රික්කයේ ඩෙල්ෆ්ට් සෛවප්‍රගාස විද්‍යාලයට අත්‍යවශ්‍යව තිබූ අන්තර්ජාල පහසුකම් ලැප්ටොප් පරිගණකයක් සහ උපාංග පරිත්‍යාග කිරීමේ උත්සවයට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේය .
ගුරුවරුන් 16 දෙනෙකුගෙන් සමන්විත මෙම පාසලේ ළමුන් 68 දෙනෙකු අධ්‍යාපනය ලබන අතර ඔවුන්ගේ ඉදිරි අධ්‍යයන කටයුතු සඳහා මෙම පරිගණකය සහ උපාංග පරිත්‍යාග කෙරිණි.
මෙරට අධ්‍යාපන විෂමතාවය තුරන් කිරීම සඳහා සැවොම එක්වී කටයුතු කළ යුතු බව පැමිණ සිටි පිරිස අමතමින් අමාත්‍යවරයා සඳහන් කළේය .
ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා ,
" ශ්‍රී ලංකාවේ ප්‍රාථමික ගුරුවරුන්ගෙන් 25%ක් සිටින්නේ නුපුහුණු ගුරුවරු . උතුරු පළාතේ පමණක් ප්‍රාථමික නුපුහුණු ගුරුවරුන් 53% ක් සිටිනවා . මේ විෂමතාවය තේරුම් ගැනීමට මීට වඩා උදාහරණ අවශ්‍ය නැහැ . මම අධ්‍යාපන ඇමති වෙලා ඉන්න කාලේ උතුරු පළාතේ අධ්‍යාපනය ගෙන සොයා බැලුවා . උතුරු පළාතටම තියෙන්නේ ජාතික පාසල් 22ක් බව එවිටයි දැනගත්තේ .ජනාධිපතිතුමාගේ පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේ වැඩසටහනින් උතුරු පළාතේ ජාතික පාසල් සංඛ්‍යාව 76 දක්වා ඉහළ යනවා ,
ශ්‍රී ලංකාවේ පාසල් 10142ක් තියෙනවා , අන්තර්ජාල , තාක්ෂණික පහසුකම් හැම පාසලකටම ලබාදීම තමයි රජයේ අරමුණ වෙන්නේ . ඉදිරියේදී දූපුතුන්ගේ අධ්‍යාපනය රැදෙන්නේ අන්තර්ජාලය මතයි , ඒ නිසා එකට අවශ්‍ය යටිතල පහසුකම් සංවර්ධනය කිරීම රජයේ ප්‍රමුඛ වගකීමක් "
මෙම අවස්ථාවට පාර්ලිමේන්තු නියෝජ්‍ය කාරක සභාපති , සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති , යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අංගජන් රාමනාදන් , යාපනය දිස්ත්‍රික් ලේකම් මහේෂන් , අතිරේක දිස්ත්‍රික් ලේකම් එස් . ප්‍රදීපන් , රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් මොහාන් සමරනායක , සෛවප්‍රගාස විද්‍යාලයේ විදුහල්පතිනී අගිලාන් දේශ්වරී යන මහත්ම මහත්මීන් සහ රාජ්‍ය නිලධාරීන් පිරිසක් සහභාගී වූහ .