ශ්‍රී ලංකාව එහි සශ්‍රීකත්වයට යළි ගමන්කිරීමට වෙර දරමින් සිටින මෙම මෙහොතේ රටේ පවතින පූර්ණ ආර්ථීක අවස්ථාවන්හි ඵල නෙලා ගැනීමට ජපාන මිතුරන්ට හා ව්‍යාපාරකයින්ට තමා විවෘත ආරාධනාවක් කරන බව ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ජපාන නිදහස් දිනය සැමරීම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගි වෙමිනි.

ශ්‍රී ලංකාව හා ජපානය අතර පවතින දීර්ඝකාලීන ගෞරවනීය හා අන්‍යෝන්‍ය ‍ විශ්වාසයේ මිත්‍රත්වය හා අනෙකුත් මානව සම්බන්ධතා පිළිබඳ මතකය අවදි කළ අමාත්‍යවරයා දෙරට අතර ඵලදායී සහ බහුවිධ අන්තර් රාජ්‍ය සහයෝගීතාවයක් ස්ථාපිත කර ඇති බව ද සිහිපත් කළේය.

වැඩි දුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා …

ජපානයේ ජාතික දිනය යෙදෙන මෙම විශේෂ අවස්ථාවට ශ්‍රී ලංකා රජය නියෝජනය කරමින් සහභාගීවීමට ලැබීම මහත් සතුටක් බව මම පළමුවෙන්ම සිහිපත් කරන්නට කැමතියි. වගේම අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙනුවෙන් සහ ශ්‍රී ලංකා රජය මෙන්ම ජනතාව වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකොෂී හිදෙකි මහතාටත් ජපාන අධිරාජ්‍යවරයාට වගේම ජපාන රජයටත් එවගේම ජපානයේ ජනතාව වෙතත් අපගේ උණුසුම් සුභාශිංසන මෙම අවස්ථාවේ දී මම පිරිනමනවා.

මේ වසරේ දී ශ්‍රී ලංකාව සහ ජපානය වන අප දෙරටේ රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කර වසර 70ක් පිරීම සැමරෙනවා. එවගේම මේ ඓතිහාසික සන්ධිස්ථානයේ දී අප විසින් ගොඩනඟාගත් මෙම සබඳතාවල අන්‍යෝන්‍ය ගෞරවය සහ විශ්වාසය මත පදනම්ව දෙරට අතර ඵලදායී සහ බහුවිධ අන්තර් රාජ්‍ය සහයෝගීතාවයක් ස්ථාපිත කර ඇති බවද අපට සතුටින් මේ මොහොතේ සිහිපත් කරන්නට පුළුවන්. එවගේම සැමරුම් උත්සවය සාර්ථක කර ගැනීම සඳහා අපගේ පූර්ණ සහයෝගය ලබා දීමට කැමැත්තෙන් සිටින බවත් මම ඔබට නැවත අවධාරණය කිරීමට කැමතියි.

දෙරටේ මිත්‍රත්වය සනිටුහන් කිරීම වෙනුවෙන් විවිධ කලා කටයුතු ප්‍රදර්ශන රැසක් මෙවර සංවිධානය කර තිඛෙන බව සඳහන් කළ අමත්‍යවරයා ජපාන කලා හා සංස්කෘතික කෘතීන් කෙරේ තම රසඥතාවය ගැන ද අදහස් දක්වා සිටියේය.

ජපන් රාජ්‍යය හා එහි ආනුභාවය පිළිබඳව පෞද්ගලිකව මගේ හදවතේ සුවිශේෂ ඉඩක් හිමි කරගෙන තිබෙනවා. තව දුරටත් පැහැදිලි ක‍ළොත් යසුනාරි කවබාතා නම් කවියාගේ නිර්මාණ වල සිට , යසුජිරෝ ඔසු සිනමාවේදියාගේ "Tokyo Story" චිත්‍රපටය මෙන්ම කෙන්ජි මිසොගුචි, අකිරා කුරසාවා වැනි සිනමාකරුවන්ගේ නිර්මාණ මා දැඩිසේ රසවින්දා. විශේෂයෙන් සංස්කෘතික අංශ වෙනුවෙන් ජපානය ලබාදෙන දැවැන්ත දායකත්වය අසමසමයි. ලොව මුල්ම නවකතාව ලෙස සැලකෙන 11 වැනි සියවසේ මුරසාකි ආර්යාව විසින් රචිත The Tale of Genji  නම් කෘතිය ඊට කදිම සාක්ෂියක්.

ශ්‍රී ලාංකේය නාට්‍ය ක්ෂේත්‍රයේ විශිෂ්ට නිර්මාණකරුවෙක් වන මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍රයන් විසින් රචනා කරන ලද මළවුන්ගේ අවුරුදු දා , මළගිය ඇත්තෝ වැනි කෘති කියවීමෙන් එ් තුළ රැඳුන ශ්‍රී ලාංකිකයෙකුගේ අත්දැකීම්  විඳගැනීම නිසා ජපන් සංස්කෘතිය හා සම්භවය කෙරෙහි මා වඩාත් ආසක්ත වුණා.  “

දිවංගත හිටපු ජනාධිපති  ජේ. ආර්. ජයවර්ධන මහතා දෙරටේ මිතුදම ඉහළම තලයට ගෙන ඒමට කටයුතු කිරීම වෙනුවෙන් එතුමාට ද කෘතගුණ දැක්වීමට මෙය අවස්ථාවක් කරගන්නා බව සඳහන් කළ  අමාත්‍යවරයා මෙම අවස්ථාව සනිටුහන් කිරීමට තැපැල් මුද්දරයක් නිකුත් කිරීමට ද ජනාධිපතිවරයා තමාට උපදෙස් දුන් බව පවසා සිටියේය.

ජපාන රජය විසින් පවතින කෝවිඩ් වසංගතයට මුහුණදීම සදහා මූල්‍යමය ආධාර හා එන්නත් මාත්‍රා මිලියන 1.45 පමණ මෑතකදී මෙරටට ලබාදුන් බවද සඳහන් කළ අමාත්‍යවරයා විශේෂයෙන්ම වසර 40කට වඩා වැඩි ලංකාවේ රූපවාහිනී මාධ්‍ය තාක්ෂණය හා සන්නිවේදනය සංවර්ධනය කිරීම කෙරෙහි ජපානය විසින් ලබා දෙන ලද සහයෝගය සිහිපත් කළ අතර වර්ථමානයේ මෙරට රූපවාහිනී පද්ධතිය ඩිජිටල්කරණ කිරීම සම්බන්ධ වගකීම ජපානය විසින් දරන බව ද ගෞරවයෙන් සිහිපත් කළේය.

අපගේ රූපවාහිනී විකාශන පද්ධතිය ඩිජිටල්කරණය කිරීම සඳහා ජපානය වගකීම රැගෙන ඇති බව මම ඉතා ගෞරවනීය සිහිපත් කරනවා . අපේ අරමුණ මේ ව්‍යාපෘතිය 2024 අවසානය වන විට නිමා කිරීමයි.  විශේෂයෙන් ජපන් ශ්‍රී ලංකා මිත්‍රත්වය අපේ ජාතීන්ට ජනමාධ්‍ය සහ සන්නිවේදනයට ප්‍රයෝජනවත් වෙයි කියලා මම විශ්වාස කරනවා 

ශ්‍රී ලංකාවේ මෑතකදී විවෘත කරන්නට යෙදුන රන් දොරටුව ලෙස නම් කරනු ලැබූ කැලණි පාලම හා බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල ගොඩනැගීම සඳහා ජපානය දක්වන ලද සහයෝග ඓතිහාසික සිදුවීම බවද සඳහන් කරමින් අලහප්පෙරුම මහතා  පවසා සිටියේ ජපාන රජය විසින් පිරිනමන ලද අනෙක් ත්‍යාගයන් අතර ශ්‍රී ජයවර්ධනපුර රෝහල ප්‍රධානත්වයක් ගන්නා බවයි.

මෙම අවස්ථාවට අමාත්‍යවරුන් , තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය පිරිසක් එක්ව සිටියහ.