ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා සහ ඉන්දුනීසියානු තානාපතිනී දේවි ගුස්ටිනා ටොබින්ග් මහත්මිය අතර හමුවක් මාර්තු 02වෙනිදා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී සිදුවිය.

පසුගිය දා ඉන්දුනීසියාවට බලපෑ භූමිකම්පාවෙන් විපතට පත්වූවන්ගේ පවුල්වලට සහ ජනතාව වෙත  අමාත්‍යවරයා  තානාපතිනිය හමුවේ ප්‍රථමයෙන් සිය හෘදයාංගම ශෝකය ප්‍රකාශ කළේය.

ඉන්දුනීසියාවේ බාලි හි පැවැත්වීමට නියමිත අන්තර් පාර්ලිමේන්තු සංගමයේ 144 වෙනි සමුළුව වෙනුවන් ශ්‍රී ලංකාව නියෝජනය කරමින් තමන් සහභාගීවීමට අපේක්ෂා කරන බවද අමාත්‍යවරයා එහිදී ඉන්දුනීසියානු තානාපතිනිය වෙත දන්වා සිටියේය.

නුදුරේ දී ආරම්භ කිරීමට නියමිත ශ්‍රී ලංකාවේ ප්‍රථම වරලත් ජනමාධ්‍ය පුහුණු ආයතනය වෙනුවෙන් ඉන්දුනිසියානු රජයේ සහාය ලබාගැනීම කෙරෙහි ද සාකච්ඡා වූ අතර තවද ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගත හැකි ක්‍රියා මාර්ග  පිළිබඳව ද එහිදී දෙපාර්ශවයේ අවධානය යොමු කෙරිණ .

ඉන්දුනීසියානු ශ්‍රී ලංකා 70 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතාවය වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කරන ලෙස ඉන්දුනීසියානු තානාපතිනිය විසින් කරන ලද ඉල්ලීම ඉතා ඉහළින් පිළිගත් අමාත්‍යවරයා ඒ සදහා අවශ්‍ය කටයුතු සම්පාදනය කරන බව ද සඳහන් කළේය.

මෙම අවස්ථාවට අමාත්‍ය පුද්ගලික ලේකම් ඕෂධී අලහප්පෙරුම මහතා සහ ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ අමාත්‍ය උපදේශක හෙරු ප්‍රයිට්නෝ මහතාද එක්ව සිටියහ.