ජාත්‍යන්තර කාන්තා දිනය අදයි. 1857 ඇමරිකාවේ නිව්යෝක් නගරයේ ඇගලුම් කම්හලක සේවිකාවන් එහි පාලනාධිකාරියට එරෙහිව ගෙන ගිය උද්ඝෝෂණයක් එම දිනය ප්‍රකාශයට පත් කිරීමට මුල් විය. ආයතනයේ පැවති වැඩ කිරීමට නුසුදුසු වාතාවරණය හා අඩු වැටුප් ගෙවීමට එරෙහිව එම උද්ඝෝෂණය පැවැත්විණි. සෑම වසරකම මාර්තු 8 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජර්මන් ජාතික ක්ලාරා සෙට්කින් මහත්මිය 1910 ඩෙන්මාර්ගයේ කෝපන්හේගන් නගරයේ පැවති ලෝක කාන්තා සම්මේලන සමුඵවට ඉදිරිපත් කළ යෝජනාවක් ඒකමතිකව සම්මත විය. රටවල් 17 ක් නියෝජනය කරමින් කාන්තාවෝ 100 කට අධික පිරිසක් සමුඵවට එක්ව සිටියහ. 1911 මාර්තු 8 වැනිදා සිට එම යෝජනාව ක්‍රියාත්මක කෙරිණි. ජාත්‍යනතර කාන්තා දිනය සැමරීම මුලින්ම ආරම්භ කළේ ජර්මනියයි. 1978 මාර්තු 8 වැනිදා සිට ශ්‍රිී ලංකාව නිල වශයෙන් ජාත්‍යන්තර කාන්තා දිනය සමරයි.
තිරසර හෙටක් සඳහා අද දිනයේ ස්ත්‍රී පුරුෂ සමානාත්මතාව යන්න මෙවර කාන්තා දින අන්තර්ජාතික තේමාවයි. ශ්‍රිී ලංකාව තෝරා ගෙන ඇති තේමාව රටකි-දැයකි-ලොවකි ඇය යන්නයි. ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් ජාතික උත්සවය කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ පිහිටි සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වෙයි. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා එහි ප්‍රධාන ආරාධිතයෝ වෙති. ව්‍යාපාරික කාන්තාවන් 25 දෙනෙකු ඇගයීම හා කාන්තා ව්‍යවසායකයන් වෙනුවෙන් ඊ පොල ක්‍රියාත්මක කිරීම එහිදී සිදු වෙයි. කාන්තා නිෂ්පාදන ඇතුළත් ප්‍රදර්ශනයක් හා අලෙවි පොලක් ද එහිදී විවෘත කෙරේ. අලෙවි කුටි 80 කින් එය සමන්විතයි.
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව අද සිට පුරා මාසයක් දීපව්‍යාප්ත මට්ටමින් විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කිරිීමට සැලසුම් කර ඇතැයි රාජ්‍ය ඇමති පියල් නිශාන්ත මහතා පවසයි.
තාක්ෂණික ක්‍ෂේත්‍රයට යොමු වන කාන්තාවන් වෙනුවෙන් යුනෙස්කෝ සංවිධානය සමග එක්ව විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇතැයි ප්‍රංශයේ ශ්‍රීී ලංකා තානාපති මහාචාර්ය ක්ෂණිකා හිරිඹුරේගම මහත්මිය පවසයි. ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමිව එය ක්‍රියාත්මක කෙරෙනු ඇත.
දේශපාලනයේ කාන්තා නියෝජනය ඉහල නැංවීමේ අවශ්‍යතාව පාර්ලිමේන්තු මන්ත්‍රී කෝකිලා ගුණවර්ධන මහත්මිය පෙන්වා දෙයි.
වත්මන් සමාජයේ පිරිමින් මෙන්ම කාන්තාවන් ද රැකියාවල නිරත වන බැවින් අතීතයේ කාන්තාවට පැවරී තිබු කාර්ය භාරයන් වර්තමානයේ කාන්තා හා පිරිමි දෙපාර්ශ්වයටම ඉටු කිරීමට සිදුවී ඇතැයි අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කේ ගමගේ මහතා පෙන්වා දෙයි.