ශත වර්ෂයකට ආසන්න කාලයක්, එනම් වර්ෂ 1927 සිට අද දක්වා සිංහල භාෂාව සංරක්ෂණය කරමින් සම්පාදිත සිංහල ශබ්දකෝෂය ආරම්භ කර අදට (21) වසර 95ක් සපිරේ. මෙවන් ඓතිහාසික දිනයක් සමරන අද දින සිංහල ශබ්දකෝෂයේ සංශෝධිත සප්තම භාගය ජනගත කිරීමේ උත්සවය, කොළඹ 07, ජාතික කෞතුකාගාර ශ්‍රවණාගාරයේදී පෙරවරු 9.00ට, මාලිගාකන්ද විද්‍යෝදය පරිවේණාධිපති රාජකීය පණ්ඩිත බළන්ගොඩ සෝභිත නාහිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් හා ජාතික උරුම ප්‍රසංග කලා හා ග්‍රාමීය කලා ශිල්ප ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ සහභාගිත්වයෙන් පැවැත්වේ.

මෙහිදී තොරතුරු තාක්ෂණය පිළිබඳ විශේෂඥ හර්ෂ විජේවර්ධන මහතාගේ සහ අමරපුර ශ්‍රී ධර්මරක්ෂිත නිකායේ මහානායක අග්ග මහා පණ්ඩිත, ශාස්ත්‍රපති, විනයාචාර්ය තිරිකුණාමලයේ ආනන්ද මහානාහිමියන්ගේ ප්‍රධාන දේශන ද ඇතුළුව දේශන කිහිපයක් පැවැත්වීමට නියමිතය.

ශබ්දකෝෂයේ ඓතිහාසික පසුබිම

සිංහල කෝෂ ග්‍රන්ථ ඉතිහාසය භාරතීය පුරාණ සාහිත්‍යය හා බැඳී පවතින්නකි. සංස්කෘත, පාලි හා ප්‍රාකෘති ආදි භාෂාවලින් සම්පාදනය වූ නිඝණ්ඩු හෙවත් නිඝණ්ටු හෙළදිව කෝෂකරණයට මූලිකවම දායක විය. නිඝණ්ටු යනු එක් විශේෂ කෘතියක එන වචන විවරණය කිරීම සඳහා බොහෝවිට කාව්‍යයෙන් රචිත කෝෂ ග්‍රන්ථ විශේෂයකි. මෙසේ විකාශනය වූ කෝෂ ග්‍රන්ථ සාහිත්‍යයේ පරිණත අවස්ථාව ලෙස භාරතයේ සංස්කෘත පඬිවරුන් අතර සම්භාවනාවට පාත්‍ර වූ කෝෂ ග්‍රන්ථයක් වූ ක්‍රිස්තු වර්ෂ 6-8 අතර රචිත අමරසිංහයන්ගේ අමරකෝෂය හැඳින්විය හැකිය. මුල්ම කෝෂ ග්‍රන්ථය ලෙස හෙළදිව විද්‍යමාන, පාලි භාෂාවෙන් රචිත, අභිධානප්පදීපිකාව ද අමර කෝෂයෙන් ප්‍රභාව ලත් කෘතියකි. මෙය ක්‍රිස්තු වර්ෂ 12 වැනි සියවසේදී මහා පරාක්‍රමබාහු රජ සමයේ වැඩ විසූ මොග්ගල්ලාන නම් තෙර නමක විසින් රචනා කරන ලද්දකි.

සිංහල භාෂාමය කෝෂ ග්‍රන්ථකරණයේ ආරම්භය

සිංහල භාෂාමය කෝෂ ග්‍රන්ථකරණයේ ආරම්භය සටහන් කරමින් 13 වැනි සියවසේ පමණ හෙළ බස හදාරන්නවුන්ට තිබූ අඩුපාඩුවක් සපුරමින් ‘පියුම්මල් නිඝණ්ඩුව’ රචනා විය. මෙහි කර්තෘ අඥාතය. ගද්‍යයෙන් රචනා වී ඇති මෙය ද සංස්කෘත කෝෂ ග්‍රන්ථවලින් ආභාසය ලබා ඇත. පසුව කෝට්ටේ හයවැනි සිරි පැරකුම්බා රජු විසින් ‘පියුම්මල’ ගීයට නඟා ‘නම්රුවන්මල’ නමින් කටපාඩම් කිරීමට පහසු වන ශෛලියකින් රචනා කළේය. මෙය රුවන්මල් නිඝණ්ටුව යන නමින් ද හඳුන්වයි.

මේ ආකාරයෙන් ආරම්භ වූ සිංහල කෝෂ ග්‍රන්ථ අතර පියුම්මල් නිඝණ්ටුව සිව් පද කාව්‍යයට නැඟීමෙන් ‘පුරාණ නාමාවලිය’ (ක්‍රි.ව1421) ද, නව නාමාවලිය (ක්‍රි.ව.1778) ද වනවාස නිඝණ්ටුව, සිරිමල් නිඝණ්ටුව, හෙළදිව් අබිදානවත, (19 වන සියවසේ මුල් භාගයේ), අබිදන්මල් දම (1895) යනාදී වශයෙන් පර්යාය පද හා අනේකාර්ථ පද දීමේ සම්ප්‍රදායට සීමා වූ ග්‍රන්ථ බොහොමයක්ම බිහි විය.

අකාරාදි ශබ්දකෝෂ සම්ප්‍රදාය ආරම්භ වීම

මෙතෙක්, වචනයකට පර්යාය පද හෝ අනේකාර්ථ පද සහිතව කාව්‍යයෙන් හෝ ගී විරිතෙන් හෝ ඉදිරිපත් කළ නිඝණ්ටු වෙනුවට අකාරාදී පිළිවෙළට වචනයෙන් වචනය පෙළගස්වා එම වචනයට අදාළ අර්ථය දීමේ නව ක්‍රමවේදයක් ආරම්භ වීම පෘතුගීසි පාලන සමයේ දී සිදු විය. ‘අකාරාදී’ යන නාමය ද කෝෂ සාහිත්‍යයට එක් වූයේ මින් පසුවය.

ක්‍රි.ව. 1705 දී මෙරටට ආ ජාකෝමේ ගොන්සාල්වේස් පියතුමා කතෝලික ආගම ප්‍රචාරය කිරීම පිණිස කෝෂ ග්‍රන්ථ කිහිපයක් සම්පාදනය කළේය. ඒ අතර පෘතුගීසි සිංහල අකාරාදිය, සිංහල පෘතුගීසි අකාරාදිය, සිංහල - දෙමළ - පෘතුගීසි අකාරාදිය යනාදියවේ. මේ ශබ්දකෝෂවල විශේෂත්වය වන්නේ අකාරාදී ක්‍රමයට වචන සකස් කර තිබීමය. එබැවින් මෙතුමා අකාරාදී ශබ්දකෝෂ සම්ප්‍රදාය මෙරටට හඳුන්වා දීමේ පුරෝගාමියා ද වේ. එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙතෙක් අක්‍රමවත්ව සකස් වූ නිඝණ්ටු සංග්‍රහ වෙනුවට අකාරාදී ක්‍රමයට නැඹුරු වීමේ ප්‍රවණතාවක් දේශීය වශයෙන් සිදු විය.

ඉංග්‍රීසීන්ගේ පැමිණීමත් සමඟ සිය ආගම මෙරට ප්‍රචලිත කිරීමේ මූලික අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සිංහල - ඉංග්‍රීසි ද්විභාෂා ශබ්දකෝෂ බොහොමයක් බිහි විය. ඒ අතර බෙන්ජමින් ක්ලෆ් පූජකතුමන් විසින් සම්පාදනය කළ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය (1830), 1835 දී ශ්‍රී ලංකාවට පැමිණි චාල්ස් කාටර් දේවගැතිතුමා විසින් සම්පාදිත සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය (1892) ආදි පරිපූර්ණ කෝෂ ලක්ෂණ සහිත ශබ්දකෝෂ සම්පාදනය විය. මෙතැන් සිට දේශීය කෝෂකරණය නව මඟක් ගත්තේය. පළමු දේශීය අකාරාදී ශබ්දකෝෂය වශයෙන් අත්තරගම රාජගුරු බණ්ඩාර නම් පඬිතුමන් විසින් සම්පාදිත සංස්කෘත අකාරාදිය හඳුන්වා දිය හැකිය. ශබ්දමුක්තාවලිය (1890), ශුද්ධ සිංහල අකාරාදිය (1893) වැනි අකාරාදී ද සම්පාදනය වීම පසුව සිදු විය. සිංහල කෝෂ ග්‍රන්ථකරණයේ ඉතාමත් වැදගත් සන්ධිස්ථානයක් සටහන් කරමින් 1897 වර්ෂයේ ජර්මන් ජාතික භාෂාවේදී මහාචාර්ය විල්හෙල්ම් ගයිගර් මැතිතුමා සිංහල නිරුක්ති ග්‍රන්ථයක් ජර්මන් භාෂාවෙන් පළ කළේය. මෙය භාෂා විද්‍යාත්මකව සිංහල වචන මාලාවක් සකස් කිරීමේ ප්‍රථම ප්‍රයත්නය ද විය.

විසි වැනි ශත වර්ෂයේ ආරම්භයත් සමඟ, එනම් 1905 දී වාසලමුදලි ඒබ්‍රහම් මැන්දිස් ගුණසේකර විජේසිරිවර්ධන මුදලිතුමා පිටු 916 කින් යුතු ඉංග්‍රීසි - සිංහල ශබ්දකෝෂයක් පළ කළේය. මේ ආදී වශයෙන් 19 වැනි සියවසට සාපේක්ෂව 20 සියවසේ ශබ්දකෝෂකරණය විද්‍යාවක් වශයෙන් මෙරට තදින් මුල් බැස ගත්තේය.

සිංහල ශබ්දකෝෂයේ ආරම්භය

ශ්‍රී ලංකාව බ්‍රිතාන්‍ය පාලනයට යටත් වූ සමයේ සිංහල ශබ්දකෝෂයේ මූලාරම්භයට මඟ පෑදිණි. බ්‍රිතාන්‍ය පාලකයන්ට සිය ආගම ප්‍රචාරය කිරීම පහසු කිරීමටත්, පරිපාලනය කාර්යක්ෂමව සිදු කිරීමටත් සිංහල භාෂාවේ වැදගත්කම දැඩිව දැනෙන්නට විය. 1845 දී රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාව ආරම්භ කිරීමත් සමග සිංහල භාෂාව හා සංස්කෘතිය සම්බන්ධව හැදෑරීමට දේශීය මෙන්ම විදේශීය ජනතාව විශේෂ උනන්දුවක් දැක්වූහ. ඒ අනුව විද්‍යාත්මක සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමේ අදහස ප්‍රථම වරට ඉදිරිපත් කෙළේ ලන්ඩනයේ ඉන්දීය පුස්තකාල අංශය භාරව සිටි ප්‍රාචීනවේදී ආචාර්ය රයින්හෝල්ඩ් රෝස්ට් මැතිතුමාය. එතුමා නිරුක්තිමය විවරණ හා ප්‍රස්තාව පිරුළු ආදිය ද සහිත නව සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට අවස්ථාවක් ඉල්ලා, රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට ලියා යැවීය. එවක අධ්‍යාපන අධ්‍යක්ෂව සිටි ශ්‍රීමත් චාල්ස් බ්රූස් මැතිතුමා ද එහි අවශ්‍යතාව පෙන්වා දුන්නේය. 1884 ඔක්තෝබර් 4 දින රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාවේ පැවති මහා සභා රැස්වීමේදී මේ සම්බන්ධව අවශ්‍ය පියවර ගත්තේය. ඒ සඳහා ආචාර්ය ආර්.එස්. කොපල්ටන් මහතාගේ ප්‍රධානත්වයෙන් යුතු කමිටුවක් පත් කළේය. මේ විද්වත් පිරිස සෙල්ලිපිවල සිට වැදගත් සිංහල ග්‍රන්ථ සුචිගත කොට ශබ්දමාලා සැකසීම ආරම්භ කළ ද මේ කටයුතු පසුව අක්‍රීය විය. එතැන් සිට දශක හතරක් පමණ ගත වන තුරු මෙය ක්‍රියාත්මක නොවීය.

වර්ෂ 1923 දී වාසලමුදලි ඒ.මැන්දිස් ගුණසේකරයන් විසින් මේ සම්බන්ධව නැවතත් රාජකීය ආසියාතික සංගමයේ ලංකා ශාඛාවට කරුණු ඉදිරිපත් කළේය. 1925 මැයි මස ඉදිරිපත් කළ කමිටු යෝජනා අනුව විධිමත් සිංහල ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට ආසියාතික ලංකා ශාඛාවේ පාලක මණ්ඩලය තීරණය කළේය. ඊට රජයෙන් අවශ්‍ය ප්‍රතිපාදන ද, කාර්යාලය පවත්වාගෙන යෑමට ගොඩනැඟිල්ලක් ද ලබා දුන්නේය.

වර්ෂ 1927 මාර්තු මස 21 වැනි දින මේ මහා කර්තව්‍ය ආරම්භ කෙරිණි. ඒ අනුව ශබ්දකෝෂ සම්පාදන කටයුතු මෙහෙයවීම පිණිස කළමනාකරණ මණ්ඩලයක් ද, කර්තෘ මණ්ඩලයක් ද පිහිටුවූයේය. ආචාර්ය විල්හෙල්ම් ගයිගර් අධ්‍යක්ෂ සහ ප්‍රධාන උපදේශක ( මහාචාර්ය හෙල්මන් ස්මිත් : උපදේශක කර්තෘ), ඩී.බී. ජයතිලක මහතා (ප්‍රධාන කර්තෘ), වාසලමුදලි ඒ.ඇම්. ගුණසේකර මහතා (කර්තෘ) වාසල මුදලි ඩබ්ලිව්.එෆ්. ගුණවර්ධන මහතා (කර්තෘ), ජූලියස් ද ලැනරෝල් මහතා (කර්තෘ), ඩී.ඊ. හෙට්ටිආරච්චි මහතා (උප කර්තෘ) ඇතුළු කර්තෘ සහකාරවරු හත් දෙනෙක් ද, ප්‍රථම කර්තෘ මණ්ඩලයේ සාමාජිකයෝ වූහ.

ශබ්දකෝෂ ව්‍යාපෘති හා ප්‍රගතිය

දීර්ඝ ඉතිහාසයක් ඇති ශබ්දකෝෂ සම්පාදන ආයතනය ප්‍රථමයෙන්ම ව්‍යාපෘති දෙකක් ආරම්භ කළේය. ඒ, සිංහල වචනයට ඉංග්‍රීසි භාෂාවෙන් අර්ථ දීමේ සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය හා සිංහල වචනයට සිංහල භාෂාවෙන්ම අර්ථ දීමේ සිංහල ශබ්දකෝෂයයි. බෙන්ජමින් ක්ලෆ්, චාල්ස් කාටර් වැනි විද්වතුන් විසින් මේ වන විටත් ද්විභාෂික ශබ්දකෝෂ පළ කර තිබුණ ද, ඊට වඩා විද්‍යාත්මක වූ ශබ්දකෝෂ දෙකක් පළ කිරීම මෙහි මූලික පරමාර්ථය විය. දෙස් - විදෙස් සැමගේ අවශ්‍යතා සපුරාලීම හා සිංහල භාෂාවේ අනන්‍යතාව ආරක්ෂා කිරීමේ මුලික පරමාර්ථය ද ඇතිව මේ ශබ්දකෝෂ සම්පාදනය විය. ආරම්භයේ සිට අද දක්වා ක්‍රියාත්මක වූ ව්‍යාපෘති නම් මෙසේය.

 

1. සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂය - මේ වන විට එහි තිස්වැනි කලාපය 2015දී මුද්‍රණයෙන් එළිදක්වා ඇත. එහි ‘ත’ අක්ෂරයේ සිට ‘ථෝමිත’ දක්වා ශීර්ෂ පද අන්තර්ගතය.

2. සිංහල ශබ්දකෝෂය - ශබ්දකෝෂය ආරම්භක අවස්ථාවේදීම ඇරැඹූ ව්‍යාපෘතියක් වන මේ ශබ්දකෝෂයේ ප්‍රථම භාගය 1937 දී ප්‍රකාශයට පත් කර ඇත. එහි සියලු කලාප 1992 දී සම්පාදනය කර මුද්‍රණයෙන් එළි දක්වා ඇත. ‘අ’ අක්ෂරයේ සිට ‘ළොසුව’ දක්වා ශීර්ෂ පද 206, 692 ප්‍රමාණයක් අන්තර්ගත මේ ශබ්දකෝෂය පිටු 13908 කින් යුතුව කාණ්ඩ 26කින් සම්පූර්ණ කර නිම කර ඇත.

3. සිංහල ශබ්දකෝෂය (සංශෝධිත සංස්කරණය) - මේ වන විට එහි කලාප හයක් ප්‍රකාශයට පත් කර ඇත. එහි හත්වැනි කලාපය වසර 95ක් සපිරෙන අද දින එළිදැක්වීමට නියමිතය.

4. සංක්ෂිප්ත සිංහල ශබ්දකෝෂය - 1999 වර්ෂයේදී ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ ‘අ’ අක්ෂරයේ සිට ‘න්‍යායාලය’ දක්වා ශීර්ෂ පද ඇතුළත් පළමු කලාපය 2007 වර්ෂයේදී ද, ‘ප’අක්ෂරයේ සිටි ‘ළොසුව’ දක්වා ශීර්ෂ පද ඇතුළත් එහි දෙවැනි කලාපය 2009 දී ද ප්‍රකාශයට පත් කිරීමට හැකි විය. මේ කලාපයට දැඩි ඉල්ලුමක් තිබූ බැවින් මුද්‍රිත කලාප සියල්ල විකිණී අවසන් විය. එබැවින් එහි දෙවැනි සංස්කරණයක් ආරම්භ කෙරිණි. එම දෙවැනි සංස්කරණයේ පළමු කලාපය 2018 දී ප්‍රකාශයට පත් කළේය. මේ වන විට එහි දෙවැනි කලාපයේ සංශෝධන කටයුතු සිදු වෙමින් පවතී.

5. සිංහල - දෙමළ - ඉංග්‍රීසි ත්‍රෛභාෂික සංක්ෂිප්ත ශබ්දකෝෂය - කාලීන අවශ්‍යතාවක් සපුරනු වස් 2002 දී ආරම්භ කළ මේ ව්‍යාපෘතියේ පළමු කලාපය 2013 දී ද ‘ඉ’ අක්ෂරයේ සිට ‘ඟ’ අක්ෂරය දක්වා ශීර්ෂ පද ඇතුළත් එහි දෙවැනි කලාපය 2016 දී ද ප්‍රකාශයට පත් විය. තවත් කලාප දෙකකින් එම ව්‍යාපෘතිය නිම කිරීමට අපේක්ෂිතය.

6. සිංහල අක්ෂර වින්‍යාසය ශබ්දකෝෂය - විශේෂයෙන් පාසල් ශිෂ්‍යයන් හා ලේඛන කාර්යයේ යෙදෙන්නන්ට සිංහල භාෂාවේ අක්ෂර වින්‍යාසය පිළිබඳ නිසි අවබෝධයක් ලබා දීම මේ ශබ්දකෝෂය සම්පාදනයේ පරමාර්ථය විය. මෙහි වචන ඉදිරිපත් කිරීමේදී හුදු වචනය පමණක් නොව, අදාළ වචනයට අර්ථ සැපයීම ද, එම වචනයේ නිරුක්තිය දැක්වීම ද වැඩිමනත්ව ඇතුළත් කර ඇත. මේ ශබ්දකෝෂයේ ප්‍රථම මුද්‍රණය 2018 දී ප්‍රකාශයට පත් විය. මෙයට දැඩි ඉල්ලුමක් පැවති බැවින්, වසරක් යෑමටත් පෙර එහි සියලුම පිටපත් විකිණී අවසන් විය. ඒ අනුව එහි සංශෝධිත මුද්‍රණයක් කඩිනම්ව සකස් කර 2020 දී එය ප්‍රකාශයට පත් කිරීමට ද හැකි විය.

7. සිංහල - ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂය - ඉහත සඳහන් සවිස්තරාත්මක සිංහල - ඉංග්‍රීසි ශබ්දකෝෂයේ සියලුම කලාප මුද්‍රණය කර අවසන් කිරීමට කාලයක් ගත වන බැවින් සංක්ෂිප්ත ශබ්දකෝෂයක් සම්පාදනය කිරීමට 1941 දී යෝජනා වීමෙන් පසු 1949දී එහි පළමු කලාපය ප්‍රකාශයට පත් කෙරිණි. එම ශබ්දකෝෂය කලාප පහකින් නිම කිරීමට අපේක්ෂා කළ ද බලාපොරොත්තු වූ පරිදි එම කටයුතු සිදු නොවීය. එබැවින් නැවතත් 2018දී කාලීන අවශ්‍යතාව පෙරදැරිව කලාප දෙකකින් යුතුව සිංහල - ඉංග්‍රීසි සංක්ෂිප්ත ශබ්දකෝෂයක් සම්පාදනය කිරීම ආරම්භ කළේය. එහි පළමු කලාපය 2022 වසර මධ්‍යයේ මුද්‍රණයෙන් එළි දැක්වීමට අපේක්ෂිතය.

8. ශබ්දකෝෂ ජනගත කිරීමේ ව්‍යාපෘතිය - මේ ව්‍යාපෘතියේ මූලික පරමාර්ථය වන්නේ විශ්වවිද්‍යාල විද්‍යාර්ථීන් සහ පාසල් ශිෂ්‍යයන් හට සුභාවිත භාෂාව භාවිත කිරීමේ වැදගත්කම ශබ්දකෝෂය ආශ්‍රයෙන් අවබෝධයක් ලබා දීමය. විශ්වවිද්‍යාලවලට හා පාසල්වලට ගොස් දේශන පැවැත්වීමෙන් ශිෂ්‍යයන් හා විද්‍යාර්ථීන්ට භාෂා දැනුම ලබා දීම මෙහිදී සිදු වේ.අනුරාධපුර, අම්පාර වැනි ප්‍රදේශවල භාවිත උපභාෂා ආශ්‍රිතව ශබ්දකෝෂයට අවශ්‍ය නව වචන සොයා යෑමේ වැඩසටහනක් ද මේ වන විට ආරම්භ කර ඇත.

9. ශබ්දකෝෂ සම්පාදනය ඩිජිටල්කරණය කිරීම - මේ ව්‍යාපෘතිය යටතේ සාම්ප්‍රදායිකව මුද්‍රිත ග්‍රන්ථයක් වශයෙන් මුද්‍රණය කිරීමට සීමා වූ ශබ්දකෝෂ සම්පාදන කාර්යය නවීන තාක්ෂණය හා අත් බැඳ ගනිමින් සිටී. මේ වන විට වර්තමාන ප්‍රධාන කර්තෘ සම්මානිත මහාචාර්ය රෝහිණී පරණවිතාන මැතිතුමියගේ උපදෙස් අනුව කොළඹ විශ්වවිද්‍යාලයේ පරිගණක විද්‍යා විශේෂඥ හර්ෂ විජයවර්ධන මහතා ඇතුළු විද්වතුන්ගේ නොමඳ සහාය ඇතිව මේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට කටයුතු සූදානම් කර ඇත.

අධිකරණ නඩු තීන්දුවකට අවශ්‍ය වචනයක අර්ථය පැහැදිලි කර ගැනීම සඳහා අප ආයතනයේ සම්පාදිත ශබ්දකෝෂ විශ්වාසයෙන් යුතුව පිළිගන්නා ශබ්දකෝෂ බව ද සඳහන් කළ යුතුය.

මේ සියලු ව්‍යාපෘති ශබ්දකෝෂ සම්පාදන කටයුතු වඩා කාර්යක්ෂමව හා විධිමත්ව කර ගෙන යෑමට උපකාරී වන ක්‍රමවේද බැවින් ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදන ලබා දෙමින් නිරන්තරයෙන් කාර්යාල කටයුතු සොයා බලන බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මැතිතුමාත්, සංස්කෘතික අධ්‍යක්ෂ තරණි අනෝජා ගමගේ මහත්මියත්, සහකාර අධ්‍යක්ෂ මන්දුලී මෙන්ඩිස් මහත්මියත්, සියලු කටයුතු සොයා බලා අවශ්‍ය තීන්දු තීරණ ගන්නා වර්තමාන ප්‍රධාන කර්තෘ මහාචාර්ය රෝහිණී පරණවිතාන මැතිනියත් මේ අවස්ථාවේදී සිහිපත් කළ කෙරේ.

ශබ්දකෝෂයක අවශ්‍යතාව

ශබ්දකෝෂයක් යනු භාෂාවක අනන්‍යතාව ආරක්ෂා කර ගනිමින් නිවැරැදි අර්ථ ප්‍රකාශනය සහිත, නිරන්තරයෙන් යාවත්කාලීන වන, විශ්වාසයෙන් යුතුව පොදු මහ ජනතාවට මිලදී ගත හැකි ග්‍රන්ථයකි. භාෂාවක අනන්‍යතාව ආරක්ෂා කරන ග්‍රන්ථයක් වීම, පැරැණි ග්‍රන්ථාගත වචන හා සමකාලීන ලේඛනවල වචනාර්ථ අවබෝධ කර ගැනීමට හැකි වීම, එදිනෙදා භාෂාවට එකතු වන එනම් පුවත්පත්, සඟරා, ගුවන්විදුලි, රූපවාහිනි, අන්තර්ජාල හා සමාජ ජාල ආදිය ආශ්‍රිතව එකතු වෙන වචනවල අර්ථ අවබෝධයට උපකාරී වීම, වචනවල ඇති සමානාර්ථ හා විවිධාර්ථ හඳුනා ගැනීමට හැකි වීම, ද්වි භාෂික හා බහු භාෂික ශබ්දකෝෂ මඟින් තවත් භාෂාවක් ඉගෙනීමට හෝ භාෂාන්තර දැනුම ලබා ගැනීමට හෝ හැකි වීම, උච්චාරණය, අක්ෂර වින්‍යාසය, පද බෙදීම, වාක්‍යයක වචන සංයෝජනය, ව්‍යාකරණමය විශේෂත්ව හඳුනා ගැනීම යනාදි වශයෙන් භාෂා ලක්ෂණ හඳුනා ගැනීමට හැකි වීම හා භාෂා ගවේෂණ හා පර්යේෂණ කටයුතු කිරීම සඳහා සාධක ග්‍රන්ථයක් වීම යනාදි වශයෙන් ශබ්දකෝෂයක අගය සඳහන් කළ හැකිය.

පාලන භාරය

1926 සිට මේ දක්වා සිංහල ශබ්දකෝෂ සම්පාදන ආයතනයේ ශබ්දකෝෂ සම්පාදන ක්‍රියාවලියට මූල්‍ය හා භෞතික සම්පත් සපයා දෙමින් එම කටයුතු භාරව කටයුතු කළ ආයතන කිහිපයකි. එනම් 1927 සිට 1941 දක්වා රාජකීය ආසියාතික සමිතියේ ලංකා ශාඛාව යටතේ ද, 1942 සිට 1971 දක්වා ලංකා විශ්වවිද්‍යාලය යටතේ ද, 1972 සිට මේ දක්වා සංස්කෘතික අමාත්‍යාංශය යටතේ ද මේ ආයතනය පවත්වාගෙන යයි.