ජනතාවට එසැණින් පුවත් සැපයීමේ අරමුණෙන් භාෂා ත්‍රිත්වයෙන්ම කෙටි පණිවිඩ (SMS alerts) සේවාවයක් ආරම්භ කිරීමට ලේක්හවුස් ආයතනය පියවර ගත්තේය.

Reg (හිස්තැනක්) DIN ලෙස ටයිප් කර 77010ට SMS කිරීම මඟින් දිනමිණ SMS alerts සේවාව සමඟ එක් වීමට පාඨකයන්ට මේ අනුව අවස්ථාව සැලසේ. Reg (හිස්තැනක්) DAILYNEWS ලෙස ටයිප් කර 77010ට SMS කිරීම මඟින් ඩේලිනිවුස් SMS alerts සේවාව සමඟ එක් විය හැකිය. එසේම Reg (හිස්තැනක්) TKN ටයිප් කර 77010ට SMS කිරීම මඟින් තිනකරන් SMS alerts සේවාව සමඟ සම්බන්ධ වීමේ හැකියාව ඇත.

ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්, ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට මහතා නිල වශයෙන් මෙම කෙටි පණීවිඩ සේවාව පෙරේදා (13) ආරම්භ කළේය.

අලුත් පරපුර නව මාධ්‍ය කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වන හෙයින් මාධ්‍ය ආයතනයක් ලෙස ලේක්හවුස් ආයතනයත් නව මාධ්‍ය ක්‍රමවේදවලට අනුගත වෙමින් පාඨකයා වෙත තොරතුරු සන්නිවේදනය කළ යුතුව ඇතැයි ආයතන ශ්‍රවණාගාරයේ පැවැති එම ආරම්භක උත්සවය අමතමින් සභාපතිවරයා පැවසීය.

නව තාක්ෂණක ක්‍රමවේදවලට අනුගත වෙමින් පාඨකයාට තොරතුරු සන්නිවේදනය කිරීමේ ප්‍රභවයන් වෙනස් කළ යුතුව ඇති අතර පුවත්පත් මහගෙදර සමඟ බැදී සිටින පාඨක ජනතාවට එසැණින් තොරතුරු සන්නිවේදනය කිරීමේ මෙවැනි තවත් නව ක්‍රමවේද සමඟ එක් විය යුතුව ඇතැයිද ඒ මහතා පැවසීය.

නව මාධ්‍ය සමඟ අත්වැල් බැදගනිමින් ඇරඹෙන මෙම කෙටි පණිවිඩ සේවාව කුඩා පැළයකට සමාන වුවත් තව නොබෝ කලකින් දලුලා වැඩෙන ශාකයක් බවට පත්වෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද ඒ මහතා කීවේය.

 

වත්මන් ආර්ථීක අර්බුදය හේතුවෙන් ඉහළ යන මුද්‍රණ වියදම සියලු මුද්‍රිත ආයතනවලට දරාගත නොහැකි තත්ත්වයකට පත් වෙමින් තිබෙන බවද අවධාරණය කළ සභාපතිවරයා සඳහන් කළේ සාමකාමී වාතාවරණයක් රට තුළ පවත්වා ගෙන යෑමට හැකි වුව හොත් ඉදිරියේදී මෙම තත්ත්වය යම් තරමකට සමනය විය හැකි බවයි.

කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී සිසිර පරණතන්ත්‍රි මහතා-

පුවත්පත් මඟින් දිනකට වරක් පාඨකයන් හමු වුණු ලේක්හවුස් ආයතනය නිරන්තරයෙන් පාඨකයන් හමු වන ආයතනයක් බවට පත් කෙරෙන මෙම කෙටි පණිවිඩ සේවාව ලේක්හවුස් ඉතිහාසයේ තීරණාත්මක මංසන්ධියක් වනු නොඅනුමානයි.

වඩාත් විශ්වාසදායී පුවත් කඩිනමින් පාඨකයා ග්‍රාහකයා අතරට ගෙන යෑමේ හැකියාව ලේක්හවුස් ආයතනය සතුව ඇති අතර ලේක්හවුස් ආයතනය කෙරෙහි පාඨකයා අතර ඇති පිළිගැනීම තවත් මුවහත් කිරීමට හැකි වනු බවද හෙතෙම පැවසීය.

මෙම අවස්ථාවට ලේක්හවුස් ආයතනයේ නීති කටයුතු පිළ­ිබඳ අධ්‍යක්ෂ නීතිඥ ජනක රණතුංග, මුදල් අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම්, ලේක්හවුස් ආයතනයේ පුවත්පත්වල කර්තෘවරුන්, දැන්වීම් අංශයේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී ප්‍රසන්න ජයසුන්දර මහතා ඇතුළු පිරිසක් සහභාගි වූහ.