ඇඟලුම් කර්මාන්තයට ප්‍රමුඛතාව

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් තීරු බදු ඇතුළු සහන රැසක් දීමට රජය තීරණය කර තිබේ.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා උපාංග ගෙන්වීමට අවශ්‍ය ඩොලර් ලබා දෙන ලෙසත්, උපාංග ආනයනයට සහ බැංකු ණය පහසුකම් ලබා දෙන ලෙසත් කර ඇති ඉල්ලීම සලකා බලා මේ සඳහා අවශ්‍ය අවසර ලබා ගැනීමට කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් යෝජනාවක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය පළ කෙරිණි.

ඒ අනුව දේශීය ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරු බදු සහන දීමට ද තීරණය කර තිබේ.

ඇඟලුම් කර්මාන්තකරුවන් මුහුණ පා සිටින අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ රට තුළ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේ මේ අනුව මේ තීරු බදු සහන ලැබෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී කීවේය.

 

ඒ අනුව සංයෝජිත වර්ගීකරණ (එස්.එච්) කේත අංක 19 ක් යටතේ වන උපාංග සහ අයිතම සඳහා තීරු බදු සහන දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ආනයනය හා අපනයනය කෙරෙන සෑම භාණ්ඩයකටම ශ්‍රී ලංකා රේගුව මගින් කේත අංකයක් නිකුත් කර තිබේ. සංයෝජිත වර්ගීකරණ (එස්. එච්) කේත ලෙස හඳුන්වන එම කේත අංක19 කට අදාළ වන උපාංග සහ අයිතම සඳහා මෙලෙස තීරු බදු සහන ලබා දීමක් සිදු වෙයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවට ඇඟලුම් කර්මාන්තය පත්ව තිබේ. මෙරට ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා මගින් ජීවත් වන හෙයින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් මෙලෙස තීරුබදු සහන දීමට පියවර ගත් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙලෙස තීරුබදු සහන දෙන උපාංග සහ අයිතම ලැයිස්තුව පිළිබඳ ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු මධ්‍යස්ථානයෙන් දිනමිණ කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය පළ විය යුතුව ඇති බවයි