දෙවන එළිසබෙත් මහ රැජිනගේ අවමංගල්‍ය උත්සවයට සහභාගී වීමට එංගලන්තයට ගොස් සිටි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මීට සුළු මොහොතකට පෙර යළි දිවයිනට පැමිණ ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි.
 

බ්‍රිතාන්‍යයේ වෙස්ට්මිනිස්ටර් ඇබේ හි පැවති දෙවැනි එලිසබෙත් මහ රැජනගේ අවමංගල්‍ය උත්සවයට ලැබුණු නිල ආරාධනය අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ නිල දූත පිරිසට එක් වූයේ ජනාධිපති පෞද්ගලික ලේකම් සැන්ඩ්‍රා පෙරේරා, ජාත්‍යන්තර සබඳතා පිළිබඳ ජනාධිපති අධ්‍යක්ෂ දිනුක් කොළඹගේ යන මහත්ම මහත්මීන් සහ ඊට අමතරව ජනාධිපතිවරයාගේ නිල වෛද්‍යවරයා පමණක් බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.

ජනාධිපතිවරයාගේ භාර්යාව මහාචාර්ය මෛත්‍රී වික්‍රමසිංහ මහත්මිය මේ සඳහා එක් වූයේ ඇයගේ පෞද්ගලික වියදමින් වන අතර, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක සහ එක්සත් ජාතික පක්ෂ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන මහතා ද පෙරේදා (19) පැවති ශ්‍රී ලංකා ඩයස්පෝරා හමුවට එක් වූයේ එක්සත් රාජධානියේ පෞද්ගලික සංචාරයකට එක්ව සිටින අතරතුර බවත් ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.