සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම පාඩු පිට පාඩු ලබන බවට චෝදනා එල්ල වුව ද පසුගිය මාස කිහිපයේදී එය ලාභ ලබන තත්ත්වයට පත්ව ඇතැයි ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28) ප්‍රකාශ කළේය.

ඔක්තෝබර් මාසයේ රුපියල් මිලියන 25ක් ද නොවැම්බර් මාසයේ රුපියල් මිලියන 30ක ද ලාභයක් ලබා ඇතැයි ද රාජ්‍ය ඇමැතිවරයා පැවසුවේය.

අය-වැය තුන්වැනිවර කියවීමේ විවාදයේදී ගාල්ල දිස්ත්‍රික් මන්ත්‍රී ශාන් විජයලාල් මහතා මතු කළ කරුණකට පිළිතුරු දෙමින් රාජ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේය.

රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා -

රාජ්‍ය බලපෑම නිසා රාජ්‍ය මාධ්‍ය ආයතන දුර්වලව ඇති බව පැවසුවා. එය වර්තමානයට අදාළ නැහැ. ඒ ආයතනවලට පූර්ණ නිදහස ලබා දී තිබෙනවා. ස්වයං මූල්‍ය උත්පාදන ආයතන ලෙස කටයුතු කිරීමේදී රජය බලපෑමක් කරන එකත් හොඳ නැහැ. පෞද්ගලික මාධ්‍ය හා රාජ්‍ය මාධ්‍ය ප්‍රවෘත්ති සමානයි. විපක්ෂයටත් විශාල වේලාවක් වෙන් කර තිබෙනවා ඔවුන්ගේ කරුණු ප්‍රචාරය සඳහා. මේ ආයතන පාඩු ලැබීමට හේතුවක් වනුයේ සේවකයන්ගේ වැඩි ප්‍රමාණය සහ පසුගිය කාලයේ කොවිඩ් නිසා සිදු වූ බලපෑම. සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති සමාගම පාඩු පිට පාඩු ලබන බවට චෝදනා ඉදිරිපත් වුණා. සතුටින් කිව හැකියි එහි සභාපතිවරයා ඇතුළු සේවක පිරිසගේ කැපවීම මත මේ ලාභය ලබා තිබෙනවා. ඔක්තෝබර් මාසයේ මිලියන 25 ක්, නොවැම්බර් මාසයේ මිලියන 30ක් දක්වා ලාභය දැන් වැඩි වෙලා තිබෙනවා. දෙසැම්බර් ටිකක් අඩු වෙයි. රටේ පැවැති තත්ත්වයත් සමඟ තමයි ඒ ඒ ආයතන පාඩු ලැබීම් සිදු වුණේ. මාධ්‍යවේදීන්ගේ සුබසාධනය සම්බන්ධයෙන් ද කටයුතු කරනවා. මාධ්‍යවේදීන්ට රක්ෂණාවරණයක් ලබාදීමට ද කටයුතු කරනවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන්ට ද අවශ්‍ය සුබසාධන කටයුතු ලබාදීමට පියවර ගන්නවා.