අයවැය තෙවන වර කියවීම වැඩි ඡන්ද 43 කින් පාර්ලිමේන්තුවේදී සම්මත විය. අයවැයට පක්ෂව ඡන්ද 123 ක් ලැබුණු අතර විරුද්ධව ලැබුණේ ඡන්ද 80 ක් පමණි. මන්ත්‍රීවරු දෙදෙනෙක් ඡන්දය දීමෙන් වැළකී සිටියහ.

ලංකා කම්කරු කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජීවන් තොණ්ඩමාන්, එම් රාමේෂ්වරන් යන මහත්වරුන් සහ ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රි දුමින්ද දිසානායක මහතා මෙන්ම ආණ්ඩුවේ සිට ස්වාධීනව විපක්ෂයේ අසුන් ගත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඩබ්ලිව් ඩී ජේ සෙනෙවිරත්න, ප්‍රියංකර ජයරත්න, සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ හා ජාතික කොංග්‍රසයේ මන්ත්‍රි ඒ එල් එම් අතාවුල්ල යන මහත්ම මහත්මීහු අයවැයට පක්ෂව ඡන්දය ප්‍රකාශ කළහ.

අයවැයට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කළේ සමගි ජන බලවේගය ජාතික ජන බලවේගය ශ්‍රිී ලංකා නිදහස් පක්ෂය උත්තර සභාගය නිදහසේ ජාතික සභාව සහ ආණ්ඩුවේ සිට ස්වාධීන වු මන්ත්‍රීවරුන් පිරිසක් පමණි.

අයවැය සඳහා ඡන්දය විමසන අවස්ථාවේදී දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රිවරුන් සභා ගැබේ නොසිටි අතර දෙමළ ජනතා ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සී වී විග්නේෂ්වරන් සහ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී වේඵකුමාර් යන මහත්වරු ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැලකී සිටියහ.

ඡන්දය විමසන අවස්ථාවේ සභා ගැබේ නොසිටි මන්ත්‍රීවරුන් ගණන 19 කි. පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා අසනීප තත්ත්වය හේතුවෙන් ඡන්ද විමසීමට සහභාගි වී නොමැත.