ආයතනික සම්පත්වලින් ප්‍රතිලාභ ලබමින් කරන ජනතා සේවය අගයනවා
- විතාරන්දෙණියේ මේධානන්ද හිමි

කණ්ඩායමක් ලෙස එකට වැඩ කළොත් ඉදිරි ගමන පහසුයි
- ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට

ජාතියේ හෙට දවස වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක නිරතව සිටින ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම ජනතාවට වඩා විශ්වසනීය සේවාවක් ලබා දීමේ අරමුණින් 'ලේක්හවුස් මූවර්ස්' භාණ්ඩ ප්‍රවාහන සේවාව සහ 'දිනමිණ' කොළඹ - කතරගම ශීඝ්‍රගාමී බස් සේවාව ඊයේ (08) සිට යළි ඇරඹීය.

ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම සේවාව ඊයේ (08) පෙරවරුවේ යෙදුණු සුබ මොහොතින් කොළඹ කොටුව, සම්බුද්ධාලෝක විහාරාධිකාරී විතාරන්දෙණියේ මේධානන්ද හිමියන් ඇතුළු මහා සංඝරත්නයේ සෙත් පිරිත් මැද ආරම්භ කෙරිණි. එම සේවාවේ මුල්ම බිල්පත නිකුත් කිරීම සහ මුදල් භාර ගැනීම සභාපතිවරයා අතින් සිදු විය.

කොළඹ - කතරගම බස් සේවාව සෑම දිනකම කොටුව ප්‍රධාන බස් නැවතුම්පොළෙන් රාත්‍රී 7.00ට ගාලු පාර ඔස්සේ කතරගම බලා පිටත්ව යන අතර, යළි එය පසුදා පෙරවරු 9.15ට කොළඹ බලා පිටත් වීමට නියමිතය. ඊට අමතරව සහන මිල ගණන් යටතේ ක්‍රියාත්මක භාණ්ඩ ප්‍රවාහන සේවාව කොළඹ සීමාව තුළ හා ඉන් පිටත සිදු කරන අතර, රියැදුරු සමඟ රථ, රියැදුරු සහ රිය සහායක සමඟ රථ සහ මාසික කුලී පදනම මත බස් රථ ලබා දීම ද සිදු කරයි.’

මෙම අවස්ථාවට එක් වෙමින් අනුශාසනාවක් කළ සම්බුද්ධාලෝක විහාරාධිකාරී හිමියෝ මෙසේ පැවසූහ.

‘‘අප හැම කෙනෙක්ම දන්නවා අපේ රට ආර්ථික වශයෙනුත්, විවිධ ක්ෂේත්‍රවලිනුත් මේ දිනවල යම් අපහසුතාවයන්ට පත්ව තිබෙනවා. එවන් අවස්ථාවක ලේක්හවුස් ආයතනය රටේ වගකීමක් ඇති මාධ්‍ය ආයතනයක් හැටියට තමන්ගේ ආයතනයේ තිබෙන සම්පත් ජනතා සේවයට යොදවමින් අද සිට නැවත වතාවක් කොළඹ සිට කතරගම දක්වා අසරණ මගීන්ට ප්‍රවාහන පහසුකම් සපයමින් කරන මේ සේවාවන් යළි ආරම්භ කිරීම ඉතාම වැදගත් කාර්යයක් හැටියට සලකන්න පුළුවන්. රජයේ සම්පත් හෝ මේ ආයතනයේ සම්පත් රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් කැප කිරීම ඉතාමත්ම වටිනවා. නමුත් අද අප රට තුළ දකින්න ලැබෙන්නේ අප කවුරුත් නොහිතන, අප කවුරුත් නොපතන රට වෙනුවෙන් යැයි කියා ගන්නා පිරිස් ඉදිරියට පැමිණ මේ රට විනාශ කිරීමේ කුමන්ත්‍රණකාරී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවයි. ඒක සමාජයේ අලුත් ගමනක් වෙනුවෙන් සමාජයේ නැඟිටීමක් විදියටත්, අරගලයක් විදියට පෙනී සිටින්නටත් පුළුවන්. මේ සෑම දෙනාම සිද්ධ කරන්නේ මේ සමාජය කඩා වැටීමට පත් කිරීමයි. එවැනි සමාජය කඩා වැටීමට ලක් කරන ඇතැම් පිරිස් කුමන්ත්‍රණකාරීව කටයුතු කරන සමයක ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට මහතා ප්‍රමුඛ අධ්‍යක්ෂ මණ්ඩලයේ මේ සියලු දෙනාම එකතු වෙලා ජනතාවට සුබසිද්ධිය ගෙන දෙන වැඩසටහනක් මේ කාල පරිච්ඡේදය තුළ ක්‍රියාත්මක කිරීම ඉතාමත් වැදගත්. මේ ආයතනයට පමණක් නෙවෙයි, මෙවැනි තවත් ආයතනත් තමන්ගේ ආයතනයේ තිබෙන සම්පත්වලින් ජනතාව වෙනුවෙන් සේවය කර තමන්ගේ ආයතනයටත් කිසියම් ප්‍රතිලාභයක් දෙමින් කටයුතු කරනව‍ා නම් ඒක සුවිශේෂී වෙනව‍ා. එවන් සේවාවක් සිදු කිරීමට ප්‍රමුඛස්ථානය ගෙන කටයුතු කිරීම පිළිබඳවත් අනෙකුත් ආයතනවලටත් පූර්වාදර්ශයක් ලබා දීම පිළිබඳවත් මේ වෙලාවේ කෘතවේදීව සිහිපත් කරන්නට කැමැතියි.

‘‘ඒ විතරක් නෙවෙයි ජනතාවට තමන්ගේ භාණ්ඩ හා සේවාවන් එහා මෙහා හුවමාරු කර ගැනීම සඳහා රජයේ විශ්වාසය ඇති ආයතනයක් තුළින් ඒ භාණ්ඩ ප්‍රවාහන කටයුතු සිදු කර දීමට අවශ්‍ය මූලික කාර්යයන් සිදු කිරීම අද මේ අවස්ථාවේ ආරම්භ කළා. එයත් ජනතාවගේ පැත්තෙන් මේ කාලවකවානුවේ ඉතාමත්ම වටිනා ක්‍රියාවක්. ලේක්හවුස් ආයතනය කාලයෙන් කාලයට තමන්ට කළ හැකි උපරිම සේවාවන්, මාධ්‍ය ආයතනයක් හැටියටත්, රජයේ වගකීමක් ඇති ආයතනයක් හැටියටත් ඉටු කරමින් ජනතාවට විශ්වාසදායී තොරතුරු සපයනවා සේම ජනතාව වෙනුවෙන් මෙවැනි සේවාවන් තවදුරටත් ඉටු කිරීමට තව තවත් මේ ආයතනයටත් ඔබ සැමටත් තුණුරුවන්ගේ ආශිර්වාදය, නිදුක් නිරෝගී සම්පත්තියෙන් යුතුව කටයුතු කිරීමට අවශ්‍ය කරන කායික ශක්තිය, මානසික සුවපත් භාවය ලැබේවායි ප්‍රාර්ථනා කරනවා.’’

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් හා ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ සභාපති හා කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතා මෙසේ පැවසීය.

‘‘ලේක්හවුස් ආයතනය විවිධ ව්‍යාපාර මාවත් සොයාගෙන ඉදිරියට යනවා. පත්තර මහගෙදර වසර 110ක් පමණ පත්තර නිකුත් කර තිබෙනවා. රට සහ රටේ ආර්ථික තත්ත්වය මත දැන් පත්තරවලින් පමණක් ඉදිරියට යන්න නොහැකි තත්ත්වයට පත්ව තිබෙනවා. රුපියල් 50,000ට 60,000ට ලබා ගත් කඩදාසි ටොන් එකක් අද වන විට රුපියල් ලක්ෂ 5කට වැඩි වෙනවා. පසුගිය කාලය තුළ අප ටෙන්ඩර් 5ක් කැඳවා තිබෙනවා. ඒ මිල ගණන්වලට කොළ අරගෙන අපට මේ ව්‍යාපාරය කර ගත නොහැකි තත්ත්වයක් මතුව තිබෙනවා. මේ තිබෙන මිල ගණන් යටතේ කොළ ලබා ගන්නේ නම් මාසයකට දැන් තිබෙන වියදම අමතරව තවත් රුපියල් මිලියන 35කින් 40කින් පමණ ඉහළ යනවා. අප උත්සාහ කරන්නේ වාණිජ මුද්‍රණ අංශය දියුණු කරන්නයි.

‘‘මීට පෙර දිනකට පුවත්පත් මුද්‍රණය කරන ප්‍රමාණයේ සහ අද වන විට මුද්‍රණය කරන ප්‍රමාණයේ විශාල වෙනසක් තිබෙනවා. ඒ වෙනසත් සමඟ අප අපේ වාහන යොදාගෙන ලංකාව පුරා පුවත්පත් බෙදා හරින්නේ නම් විශාල පිරිවැයක් දරන්න සිදු වෙනවා. ඒ පිරිවැයෙන් හතරෙන් එකක් හෝ තුනෙන් එකක් සියලුම පත්තර බෙදන ආයතන වැය කරනවා. ඒ අය සමඟ එක්ව පත්තර බෙදන්නේ නම් මේ වියදම විශාල වශයෙන් අවම කර ගන්න පුළුවන්. නමුත් මේ පවතින තත්ත්වය තුළ එවැන්නක් කරන්නේ නම් ආයතනයේ තිබෙන වාහන සහ සේවකයන්ට සිදු කරන්නේ කුමක් ද යන්න පිළිබඳව සොයා බැලුවා. ඒ අවස්ථාවේ මංජුල මාකුඹුර සහ චන්දන බණ්ඩාර මහත්වරු යෝජනා කළා අපේ ආයතනයෙන් මූවර්ස් එකක් ආරම්භ කරමු කියලා. එය හොඳ යෝජනාවක්. එය ඵලදායීව ක්‍රියාත්මක කරන්න පුළුවන් නම් අපට මේ වාහනවලින් හොඳ ප්‍රයෝජනයක් ගන්න පුළුවන්. හැම ව්‍යාපාරයක්ම සාර්ථකව අවසන් වන්නේ නැහැ. නමුත් උත්සාහ නොකර සිටීමෙන් කිසිදු ඵලක් වෙන්නෙත් නැහැ. ඒ නිසා අප බස් දෙකත් කොළඹ - කතරගම ධාවනය අරඹා ලාභදායී තත්ත්වයට ගේන්න උත්සාහ කරනවා. ලාභදායී කරන්න නොහැකි නම් වෙනත් තීරණයක් ගන්නවා. අප උත්සාහ කර බලමු මෙය ලාභදායීව ඉදිරියට යන්න. මේ ලේක්හවුස් ආයතනයට තවත් ව්‍යාපාර වර්ග 100ක් පමණ කරන්න පුළුවන් බවට සාංගමික සංස්ථා ව්‍යවස්ථාවලියේ තිබෙනවා. පත්තර නිකුත් කිරීම පමණක් නොවෙයි, මේ ආයතනය පටන් ගන්න අවස්ථාවේ සිට ව්‍යාපාර වර්ග රැසක් තිබෙනවා. ඕනෑම ව්‍යාපාරයක් කරන්න පුළුවන්. ඒ නිසා අපට අලුතින් සිතන්න වෙනවා.

‘‘ප්‍රාග්ධන හිඟකම පමණයි අපට තිබෙන්නේ. දක්ෂ අය අප ළඟ ඉන්නවා. ස්වේච්ඡාවෙන් සේවකයන් විශ්‍රාම ගැන්වීමේ වැඩසටහනක් හඳුන්වා දීලා දක්ෂ අය යවන්න අවශ්‍ය නැහැ. නමුත් අපට එක් එක් දෙපාර්තමේන්තුවල පවතින පිරිස ගත් විට අවම ශ්‍රමයක් ඇතිව කටයුතු කරන්න පුළුවන්. අද වන විට 1,125ක් පමණ සේවකයන් ඉන්නවා. මගේ අදහස 850කින් මේ ආයතනයේ කටයුතු සිදු කරන්නයි. එවිට මේ තිබෙන තත්ත්වය යටතේ වුවද මේ ආයතනය කළමනාකරණය කරමින් ඉදිරියට යන්න පුළුවන්. එයින් එහාට යන්නේ නම් ආයතනය ගෙන යන්න බැහැ. මම ඉලක්කම් සමඟ කටයුතු කරනවා. මේක කරන්න පුළුවන් ද බැරි ද කියන එක මම දන්නවා. 850කින් වගේ අපට යන්න පුළුවන් නම් ඇතැම් විට වැඩ කොටස යම් තරමකින් වැඩි වෙන්න පුළුවන්. නමුත් ආයතනයක් ලෙස වසා දැමීමකින් තොරව කාර්යක්ෂම ලෙස ඉදිරියට ගෙන යන්න පුළුවන්. මේ වෙනුවෙන් සියලු දෙනාගේම සහාය හිමි වෙයි කියා විශ්වාස කරනවා. පසුගිය මාස හයක කාලයේදී බොහොම දුෂ්කර කාලයක් ගත කළා. මේ කාලයේදී බොහෝදෙනා උදව් කළා. කැපවීමෙන් වැඩ කළා. ඒ නිසාම අප පසුගිය මාස තුනක හතරක කාලයේ ලාභදායී තත්ත්වයට පැමිණියා. ඒ වගේම දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි කියන්නේ ඉතාම අමාරු මාස කිහිපයක්. අප පසුගිය නොවැම්බර් මාසයේදී රුපියල් මිලියන 165ක පමණ දැන්වීම් ආදායමක් ලබා ගත්තා. නමුත් එය දෙසැම්බර් මාසයේදී රුපියල් මිලියන 130 පමණ දක්වා පහත වැටෙනවා. මේ තත්ත්වය තුළ යම්කිසි සුබදායී තත්ත්වයක් එන්නේ මාර්තු මාසයේදියි. මෙය සෑම වසරකම තිබෙන තත්ත්වයක්. ඒ මාස තුන ඉතාම අමාරු කාලයක්. මේ මාස කිහිපයේදී ලාභ නොලැබුවත් අලාභය අවම කරගෙන කටයුතු කිරීම අපේ අරමුණ වෙනවා. ඒ වෙනුවෙන් මෙවැනි සේවාවන් අපට උපකාරී වෙනවා. ඉදිරියේදී ටෙන්ඩර් කැඳවීම්වලදී වරලත් ගණකාධිකාරිවරයකුගේ සේවය ලබාගෙන විධිමත් ආකාරයෙන් සිදු කරන්න අප බලාපොරොත්තු වෙනවා. කඩදාසි ආනයනය කිරීමේදී සෘජු ඒජන්සි කිහිපයක් හරහා කටයුතු කරන්න හැකි නම් අපට විශාල මුදලක් ඉතිරි කර ගන්න අවස්ථාව සැලසෙනවා. අපේ අදහස් පමණක් නොව, සේවකයන්ගේ ද අදහස් ඇතිව අප ඉදිරියට යන්න බලාපොරොත්තු වෙනවා. අප කණ්ඩායමක් ලෙස එකට වැඩ කළ යුතුයි. එමඟින් ඉදිරියට යා හැකි වෙනවා. මේ දක්වා මා වෙත ලබා දුන් සහයෝගය අගය කරනවා. ලේක්හවුස් ආයතනයට තවදුරටත් ඉදිරියට ගමන් කිරීමට හැකි ක්‍රමවේදයක් සකස් කරන්න අවශ්‍ය පියවර ගන්නවා.’’

සෝලා සමූහ ව්‍යාපාරයේ සභාපති චාමින්ද අබේගුණසේකර, ලංකාවේ සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ මෙහෙයුම් අධ්‍යක්ෂ නීතිඥ ප්‍රභාත් මංජුල මාකුඹුර, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රී, සාමාන්‍යාධිකාරි සුමිත් කොතලාවල, අතිරේක සාමාන්‍යාධිකාරි වී.එස්. බොයිස්, නියෝජ්‍ය සාමාන්‍යාධිකාරි (ආයතනික කටයුතු) චන්දන බණ්ඩාර, දිනමිණ ප්‍රධාන කර්තෘ ගාමිණී ජයලත්, සන්ඩේ ඔබ්සර්වර් ප්‍රධාන කර්තෘ දිනේෂ් වීරවංශ, ඩේලිනිව්ස් ප්‍රධාන කර්තෘ ජයන්ත ශ්‍රී නිශ්ශංක, තිනකරන් ප්‍රධාන කර්තෘ ටී. සෙන්තිල්වෙලවර්, ජ්‍යේෂ්ඨ ප්‍රවාහන කළමනාකාර තිස්ස ධම්මික මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.