රට බංකොළොත්භාවයෙන් ගොඩගැනීමට තමා නිසැකවම කටයුතු කරන බව අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ණය බරින් නිදහස් වූ මෙන්ම ණය ගෙවීමට හැකි ආර්ථිකයක් රට තුළ ගොඩනඟන බව අවධාරණය කළේය.
ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ශ්රී ලංකා ජපන් සබඳතාවලට 70 වසරක් සපිරීමට සමගාමීව ටොයෝටා ලංකා සමාගම කඩවත ප්රදේශයේ ඉදිකළ මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්යස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට අද (14) පෙරවරුවේ එක් වෙමිනි.
යුද්ධයෙන් පසුව ආර්ථික වැඩපිළිවෙල වෙනස් නොකිරීම හේතුවෙන් අද රට බංකොළොත්භාවයට පත්ව ඇති බවත් කෙසේ හෝ ආයෝජන අවස්ථා වැඩිකර ලබන වසර වනවිට ආර්ථිකය ඉදිරියට ගෙනයෑමට අපේක්ෂා කරන බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.
රටේ ආර්ථිකය පණ ගැන්විය හැකි සහ ආයෝජන අවස්ථා රටට ගෙන්වාගත හැකි ආයතන පද්ධතියක අවශ්යතාවය ද අවධාරණය කළ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ශ්රී ලංකා ආයෝජන මණ්ඩලයේ ආයෝජන ප්රවර්ධන අංශයත්, අපනයන සංවර්ධන මණ්ඩලයත් ඒකාබද්ධ කරමින් ආර්ථික සංස්ථාවක් ඇති කිරීමට පියවර ගන්නා බව ද පැවසීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා
“අද වියට්නාමයේ ආර්ථිකය ෆෝමියුලා වන් රේසින් කාර් එකක් වගේ. අපේ ආර්ථිකය තාම ත්රීවිල් එකක් වගේ. ඉතින් අපි කොහොමද සිංගප්පූරුවේ ධාවන තරගයට යන්නේ. අනෙක් රටවලට තියෙනවා ෆෝමියුලා වන් රේසින් කාර්.
අපිට පුළුවන් ද ත්රීවිල් එකකින් ගිහින් තරග කරන්න. මේක හොඳයි ජනතාවට එදිනෙදා ගමන් යන්න. ඒකට කිසිම ප්රශ්නයක් නෑ. මම නැවතත් එය හොඳයි කියලා කියනවා. ඒත් රේස් එකට හරි යන්නේ නෑ. අපි කොහොමද දිනන්නේ.
එහෙම නම් අපිත් රේසින් කාර් එකක් හොයා ගන්න ඕනේ. හොඳ එංජිමක් තියෙන්න ඕනේ. ඒ කියන්නේ හොඳ ආර්ථිකයක්. ඒ ආර්ථිකය තමයි අපි දැන් ගොඩනගමින් සිටින්නේ.
අපි ඒ එංජිම හදන්නේ මේ රටේ විවෘත ආර්ථිකයක් ඇති කරලා. තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කරලා ලෝකය සමග තරග කරන්න තමයි මේ රේසින් කාර් එක හදන්නේ. මම විශ්වාස කරනවා එය ජයග්රහණය කිරීමට ඔබ සියලුදෙනාට හැකියාව තිබෙනවා කියලා.
පළමුවෙන්ම රට තුළ ඩිජිටල් ආර්ථිකයක්. පරිසර හිතකාමි ආර්ථිකයක්, වගේම සමාජ සාධාරණ ආර්ථිකයක්, ඒ වගේම ඉතාම තරගකාරී අපනයන ආර්ථිකයක් ඇති කළ යුතුයි. ඒකට තමා මේ ප්රතිව්යුහගතකරණය සිදු කරන්නේ.
පරණ ක්රමවලට පුරුදු වුණ අය මේකට විරුද්ධ වෙන්න පුළුවන්. ඒත් අපිට යන්න තියෙන්නේ අලුත් පාරක.
ඔබතුමන්ලා යන්න කැමති රේසින් කාර් එකේ ද? සයිකලේ ද? කියලා මට කියන්න. මොකද අනාගතය අයිති ඔබ සියලුදෙනාට.
සමරු ඵලකය නිරාවරණය කර ටොයෝටා මෝටර් රථ අමතර කොටස් සැපයුම් මධ්යස්ථානය විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.
70 වසරක ශ්රී ලංකා ජපාන සබඳතා සැමරීම ද සිදු කෙරණු අතර ජනාධිපතිවරයා වෙත විශේෂ සමරු තිළිණයක් පිළිගැන්විණි. ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ටොයෝටා ලංකා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් සමග සුහද කතා බහක නිරත විය.
ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්රධානී සාගල රත්නායක, ශ්රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි, ටොයෝටා ලංකා සමාගමේ සභාපති සවිඕ යෝට්සුකුරා යන මහත්වරු ඇතුළු ටොයෝටා ලංකා සමාගමේ කාර්ය මණ්ඩල සාමාජිකයන් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.