ඓතිහාසික හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය පූජා භූමියක් ලෙස සංවර්ධනය කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේ වෙත පිළිගැන්වීය. ඊයේට (14) යෙදී තිබුණු හුනුපිටිය ගංගාරාම විහාරාධිපති පූජ්‍ය ගල්බොඩ ඤාණිස්සර නායක හිමිපාණන් වහන්සේගේ ජන්ම දිනය නිමිත්තෙන් ඊයේ පෙරවරුවේ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිවරයා නායක හිමි බැහැදැක සුවදුක් විමසා උන්වහන්සේ වෙත නිදුක් නීරෝගි සුවය ප්‍රාර්ථනා කළේය.

දෙස් විදෙස් බොදු ජනතාවගේ නොමඳ ‍ගරු බුහුමනට ලක්වූ කොළඹ හුනුපිටිය ගංගාරාම විහාරස්ථානය සුරක්ෂිත කොට මතු පරපුරට දායාද කිරීම උදෙසා එය පූජා භූමියක් ලෙස ප්‍රකාශයට පත් කරමින් සංවර්ධනය කිරීමට අදාළ ශ්‍රී සන්නස් පත්‍රයට අනතුරුව ජනාධිපතිවරයා විසින් අත්සන් තබනු ලැබිණි. ගංගාරාම විහාරාධිකාරී ආචාර්ය පූජ්‍ය කිරින්දේ අස්සජි ස්වාමීන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයද හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රී ෆයිසර් මුස්තාපා, දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යේෂ්ඨ උපදේශක රුවන් විජේවර්ධන, උපාලි සමූහ ව්‍යාපාරයේ කළමනාකාර අධ්‍යක්ෂ නිමල් වෙල්ගම යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.