මාධ්‍යවේදීන්ගේ දැනුම ඉහළ නැංවීම සඳහා වරලත් ජනමාධ්‍ය ආයතනයක් ආරම්භ කිරීම ලබන වර්ෂයේ අනිවාර්යයෙන්ම සිදු කරන බව ප්‍රවාහන හා මහාමාර්ග, ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේය.

'ඇසිදිසි' ජනමාධ්‍ය ශිෂ්‍යත්ව ප්‍රදානය 2021 - 2022 උත්සව අවස්ථාවට සහභාගී වෙමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී ඇමැතිවරයා මේ බව ඊයේ (21) ප්‍රකාශ කළේය.

ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා තවදුරටත් මේ බව පැවසීය.

මාධ්‍යවේදීන් සමාජයට විශාල මෙහෙවරක් සිදු කරනවා. ඔවුන්ගේ දැනුම ඉහළ නැංවීමට ආණ්ඩුව පියවර ගත යුතුයි. මනුස්සකමෙන් පිරුණු ප්‍රබුද්ධ මාධ්‍යවේදියෙක් නිර්මාණය කළ යුතුයි.

ජනමාධ්‍ය අමාත්‍යාංශය මූල්‍යමය ලෙස තක්සේරු කළ නොහැකි අනාගත ප්‍රාග්ධන ආයෝජනයක් ලෙස මාධ්‍යවේදීන්ට මේ ශිෂ්‍යත්වය ලබා දෙනවා. දැනුම ප්‍රාග්ධනය වන ලෝකයක අපි ජීවත් වෙනවා. රටේ ජනමාධ්‍යවේදීන් විෂයානුබද්ධව සහ අනෙකුත් විෂයන් සම්බන්ධයෙන් දැනුම වැඩියෙන් ලබා ගත යුතුයි. යහපත් ප්‍රබුද්ධ සමාජයක් බවට පත් කර ගැනීමට මෙමඟින් මාධ්‍යවේදීන්ට හැකියාවක් ලැබෙනවා. මාධ්‍යවේදීන් විශාල ජාතික මෙහෙවරක් සිදු කරනවා. සංස්කෘතික අපගමනයක් සදාචාරාත්මක පිරිහීමක් සහ මනුස්සකමේ නාය යාමක් මේ වන විට සිදුව තිබෙනවා. පුද්ගලයන්ට විවිධ මත දැරීමට අයිතියක් තිබෙනවා. ඒ ඒ අයගේ නැණ පමණින් මාධ්‍ය වෙත මෙහෙයක් සිදු කරනවා. බෞද්ධ රටක් ලෙස පවතින මේ රටේ අප සිතන විදියට වඩා සම්පූර්ණයෙන් වෙනස් ආකාරයකට වෙනත් ආගමක් විසින් කල්පනා කරනවා හිතනවා. ක්‍රිස්තියානි බැතිමතුන් වෙනත් මතයක් දරනවා. අපි තවත් මතයක් දරනවා. මේ සමාජය තුළ ජීවත් වන විට වෙනත් මත දරන නිසා එකිනෙකාට වෛර කිරීමක් වූවොත් මූලික අයිතිවාසිකම් කඩ වී ගෝත්‍රික ක්‍රමයක් ඇති විය හැකියි. තමන්ගේ නිවෙස තුළ නිදහස්ව ජීවත් වීමට ඇති මූලික අයිතිය පවත්වා ගත යුතුයි. කුමන දේශපාලන මතයක් දැරුවත් කුමන වෙනස්කම් දැරුවත් නිදහසේ ජීවත් විය හැකි ක්‍රමයක් ඇති විය යුතුයි. නමුත් පසුගිය කාලයේ ඒ නිදහස නැති වුණා. මාධ්‍යවේදියකුට තිබිය යුතු විශේෂම ගුණයක් වනුයේ මානව දයාව. මිනිසෙක් තවත් මිනිසකුට ගරු කළ යුතුයි. මානව දයාවෙන් පිරි, ප්‍රබුද්ධ උසස් මාධ්‍ය කලාවක් රට තුළ ඇති කළ යුතුයි. දැනුමෙන් පිරි මාධ්‍යවේදීන් පිරිසක් බිහි විය යුතුයි. අන්තර්ජාතික මට්ටමේ ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවීමට පියවර ගත යුතුයි. මහා ප්‍රාඥයන්ගේ දැනුම ආදේශ කළ හැකි පිළිගත හැකි මාධ්‍ය සංස්කෘතියක් ඇති කළ යුතුයි. වරලත් ජනමාධ්‍ය ආයතනය පිහිටුවීම ලබන වසරේදී අනිවාර්යයෙන්ම සිදු කරනවා. නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවේ කෙටුම්පත් කරනවා. විවිධ ආයතනවල අධ්‍යාපනය ලබන අපක්ෂපාතී ක්‍රමවේදයක් යටතේ ඔවුන්ට ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවීමේ සංකල්පය ගෙනා අයට ස්තුතිය පුද කළ යුතුයි. අනුර ප්‍රියදර්ශන මහතා විසින් ඇසිදිසි ශිෂ්‍යත්ව සංකල්පය ස්ථාපිත කළා. ඒ ගෞරවය එතුමාට හිමි විය යුතුයි. මෙරට තොරතුරු තාක්ෂණය, ඉංජිනේරු තාක්ෂණය, ජෛව තාක්ෂණය යනාදිය දැන් රට තුළ ජනප්‍රිය වෙලා. 1948 නිදහසින් පසුව රටේ ආර්ථිකයේ ප්‍රමාණය දළ දේශීය නිෂ්පාදනයෙන් මනිනවා. පුංචි ආර්ථිකයක් අපට තිබුණා. ආණ්ඩුවට බදු හා බදු නොවන ආකාරයට ආදායම් ලැබෙනවා. මෑත ඉතිහාසය තුළ 2015 වන විට යුද්ධය නිමා වී ආර්ථිකයේ යම් වර්ධනයක් සිදු වෙනවා. ලංකා ආණ්ඩුවේ ආදායම දළ දේශීය නිෂ්පාදනයේ ප්‍රතිශතයක් ලෙස සියයට 13 ක් වුණා. 2020 සියයට 9 යි. 2021 දී සියයට 8 යි. ලංකා ආදායම දිගින් දිගටම අඩු වුණා. ණය ගැනීමට සිදු වුණා. ඒවා ගෙවීමට සිදු වුණා. පාරම්පරිකව උරුම වූ දක්ෂතා හැකියාවන් තිබෙන ජාතියක් අපි. අභියෝග ජය ගැනීමට අපට හැකියි. ඒ සඳහා දැනුම ලබා ගැනීමට 49 දෙනකුට උසස් අධ්‍යාපනයට ශිෂ්‍යත්ව දී තිබෙනවා. ඒ ශිෂ්‍යාධාර පදනම් කර ගනිමින් වැඩි වැඩියෙන් සංවාදශීලි ප්‍රබුද්ධ අධ්‍යාපනයක් කරා ගමන් කිරීමට හැකියි. ජාත්‍යන්තරව කීර්තියට පත් වන උපේක්ෂාසහගත ප්‍රබුද්ධ මාධ්‍යවේදියකු වීමට හැකි වේවා.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් ආයතනයේ සභාපති අනූෂ පැල්පිට මහතා -

අනුර ප්‍රියදර්ශන මහතා ජනමාධ්‍ය ඇමැතිවරයාව සිටියදී 2006 වසරේදී ඇසිදිසි ශිෂ්‍යත්ව ප්‍රදානය ආරම්භ කළා. කුමන ආණ්ඩු පැමිණියත් අඛණ්ඩව මේ කාර්ය අඩු වැඩි වශයෙන් ශිෂ්‍යත්ව දීම සිදු කළා. 2006 සිට මේ වන තෙක් 984ක් ශිෂ්‍යත්ව ලැබී තිබෙනවා. මේ වර්ෂයේදීත් 49 දෙනකුට ශිෂ්‍යත්වය ලබා දෙනවා. දේශපාලන බලපෑමක් මත මේ ශිෂ්‍යත්ව දීම සිදු කරන්නේ නැහැ. ඉල්ලූ පුද්ගලයන්ට සුදුසුකම් මත ඒ දේ සපයනවා. කාණ්ඩ දෙකක් යටතේ මේ ශිෂ්‍යත්ව දෙනවා. පශ්චාද් උපාධිය සඳහා රුපියල් ලක්ෂ 2ක මුදලක් සහ කෙටිකාලීන ශිෂ්‍යත්ව සඳහා රුපියල් ලක්ෂයක මුදලකුත් සපයා දෙනවා. ජනමාධ්‍ය අමාත්‍යාංශය සහ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මඟින් සිදු කරන එක් කාර්යයක් මේක. මාධ්‍යවේදීන් සඳහා වන රක්ෂණ ක්‍රමය මේ වන විට නතර වී තිබෙනවා. ඒ සම්බන්ධයෙන් ඇමැතිවරයා සමඟ සාකච්ඡා කර ඉදිරි කාලයේදී එය ලබා දීමට පියවර ගන්නවා. ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සඳහා පුහුණු වැඩසටහන් ගණනාවක් පසුගිය කාලයේ සිදු කළා. එය මේ වන විට නැවතී තිබෙනවා. නැවත එය ආරම්භ කළ යුතුයි. වරලත් ජනමාධ්‍ය ආයතනයක් පිහිටුවීමේ කටයුතු ද ආරම්භ කර තිබෙනවා. ඒ සඳහා වන කෙටුම්පත මේ වන විට නීතිපති දෙපාර්තමේන්තුවේ තිබෙනවා. ඒ කාර්ය ද ඉදිරියට යමින් තිබෙනවා. වාර්තා කිරීමේ අයිතිය සියලු මාධ්‍යවේදීන්ට තිබෙනවා. වාර්තා කිරීමේදී අදාළ ප්‍රස්තුතව වරක් දෙවරක් නොව කිහිප වරක් සිතා බැලිය යුතුයි. නැත්නම් අගතියකට පත් වුවහොත් එය නැවත නිවැරැදි කිරීමට නොහැකියි.