ශ්‍රී ලංකාවට දී ඇති ණය ආපසු ගෙවීමට වසර දෙකක සහන කාලයක් දීමට සුදානම් බව චීන එක්සිම් බැංකුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලිපියකින් දැනුම් දී ඇතැයි වාර්තා වේ.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ගැනීම සඳහා ඇපකරයක් වශයෙන් චීනය විසින් මෙරටට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කරන ලෙස ශ්‍රී ලංකාව පසුගිය සැප්තැම්බර් මාසයේ සිට චීනයෙන් කළ ඉල්ලීමට එක්සීම් බැංකුව මෙලෙස ප්‍රතිචාර දක්වා තිබේ. ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන චීනයේ ස්ථාවරය IMF වෙත ඊයේ දැනුම් දීමට නියමිතව තිබිණි. සිය ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන සලකා බලන ලෙස ශ්‍රී ලංකාව කළ ඉල්ලීම සම්බන්ධයෙන් සුබ ආරංචියක් ප්‍රකාශයට පත් කිරීමට සූදානම් වන බව ගිය සතිය මුලදී ශ්‍රී ලංකාවට පැමිණි චීනයේ ජාත්‍යන්තර දෙපාර්තමේන්තුවේ උප අමාත්‍ය චෙන් ෂෝ ද ප්‍රකාශ කළේය. ශ්‍රී ලංකාවට දී ඇති ණය ප්‍රතිව්‍යුහගත කිරීමට සුදානම් බව ඉන්දියාව පසුගිය 18 දා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට දැනුම් දී තිබිණි. මෙරට ණය ප්‍රතිව්‍යුහගත කිරීම ගැන ඉන්දියාව එම සහතිකය ලබා දීමෙන් පසු ශ්‍රී ලංකාවට සහාය ලබා දෙන ලෙස ඉන්දියානු විදේශ ඇමැති එස්. ජයිශංකර් මහතා අනෙකුත් ණය හිමි රටවලින් ඉල්ලා තිබිණි. ශ්‍රී ලංකාවේ වත්මන් මූල්‍ය අර්බුදයෙන් ගොඩ ඒමේ ප්‍රයත්නයන් සඳහා ඉන්දියාව සම්පූර්ණයෙන්ම සහාය දීමට කැමැත්තෙන් සිටින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

ශ්‍රී ලංකාවේ ණය හිමි පැරිස් ක්ලබ් රැස්වීම ලබන සතියේ පැවැත්වීමට නියමිතය. අමෙරිකානු ඩොලර් බිලියන 2.9ක විස්තීර්ණ ණය පහසුකම් ශ්‍රී ලංකාව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් බලාපොරොත්තු වන අතර ණය හිමියන් ණය ප්‍රතිව්‍යුහගත කරන බවට ලබා දෙන සහතිකය අනුව එම පහසුකම ලබා දීම පිළිබඳ එකඟතාවකට එළැඹීමට නියමිතය.

චීනය, ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකාවේ විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නන් වේ.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් චීනය සමඟ පැවැත්වූ සාකච්ඡා මේ වන විට අවසන් වන අතර චීනයේ ප්‍රතිචාරය සුබවාදී වනු ඇති බවත් ශ්‍රී ලංකාවේ ආර්ථිකය ස්ථාවර කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සුබවාදී සහායක් ලබා දෙනු ඇති බවත් මුදල් රාජ්‍ය ඇමැති ෂෙහාන් සේමසිංහ මහතා විශ්වාසය පළ කළේය.

IMF මූල්‍ය ආධාර සඳහා අනුමැතිය ලබා ගැනීමට ශ්‍රී ලංකාව සපුරාලිය යුතු තවත් ප්‍රධාන නිර්ණායකයක් වශයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) දුප්පතුන් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන් සඳහා සමාජ ආරක්ෂණ ජාලයක් හඳුන්වා දෙන ලෙස රජයෙන් ඉල්ලා තිබුණු බව කී ඇමතිවරයා

රජය දැනටමත් දුප්පත් සහ අවදානමට ලක්විය හැකි ප්‍රජාවන්ට සහන ලබා දීම සඳහා අයදුම්පත් කැඳවා ඇති අතර ඒවා ඇගයීමට ලක් කිරීම සඳහා දිස්ත්‍රික් ලේකම්වරුන්ට යොමු කර ඇති බවත් අවසන් වාර්තාව ලබන මාසය වන විට ලැබෙනු ඇති බවත් මුදල් රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පැවසීය.