යුද්ධයකදී නැති වන ජීවිත නැවත ගෙන දිය නොහැකි වුවත් ආර්ථික යුද්ධයකදී නැති වන ආදායම නැවත උපයා දිය හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

රටක දේශපාලන හා භෞමික අඛණ්ඩතාව ස්ථාවරව පැවතීම, ආර්ථික යුද්ධය ජය ගැනීමට හොඳම සාධකය බව ද රනිල් වික්‍රමසිංහ මහතා පෙන්වා දුන්නේය.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ත්‍රිවිධ හමුදාවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් 77 දෙනකුට ‘විශිෂ්ට සේවා විභූෂණ‘ සම්මාන ප්‍රදානය වෙනුවෙන් මහනුවර ජනාධිපති මන්දිරයේදී ඊයේ (01) පැවති උත්සවය අමතමිනි. 75 වන නිදහස් දින සැමරුමට සමගාමිව මේ සම්මාන ප්‍රදානය සංවිධානය කර තිබිණි.

විශිෂ්ට සේවා විභූෂණ පදක්කම සුවිශේෂි ප්‍රදානයක් වන අතර, එය යුද්ධ හමුදාවේ ලුතිනන් කර්නල් සහ ඊට ඉහළ නිලවල නිලධාරීන්ට හා නාවික, ගුවන් හමුදාවල ඊට සමාන නිල දරන අවම වශයෙන් වසර 25ක අඛණ්ඩ සේවා කාලයක් හා යහපත් සේවා ඉතිහාසයක් හිමි නිලධාරීන්ට පමණක් ප්‍රදානය කෙරේ.

2019, 2020, 2021 වර්ෂවලට අදාළව යුද්ධ හමුදා නිලධාරීන් 53ක්, නාවික හමුදා නිලධාරීන් 17ක් හා ගුවන් හමුදා නිලධාරීන් 7ක් වෙනුවෙන් මෙහිදී පදක්කම් පිරිනැමිණි.

ත්‍රිවිධ හමුදා නිලධාරීන් 20 දෙනකු සඳහා ‘75 වන නිදහස් සංවත්සර අනුස්මරණ‘ පදක්කම් පිළිගැන්වීමද ජනාධිපතිවරයා අතින් මෙහිදී සිදු විය.

මේ අවස්ථාවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙසේද කීය:

“අද විශිෂ්ට සේවා විභූෂණ පදක්කම් ලැබූ සියලු දෙනාට මා සුබ පතනවා. ඒ වගේම ඔබ කළ සේවය අප අගය කරනවා. ශ්‍රී ලංකාව නිදහස ලබා 75 වසරක් සපිරීම වෙනුවෙන් පවත්වනු ලබන පළමු උත්සවය මෙයයි. ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් මේ උත්සවය පැවැත්වීමට හේතුවක් තිබෙනවා.

“අපේ රටට නිදහස ගෙන දුන්නේ මහාමාත්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමා ප්‍රමුඛ ජාතික නායකයන්. මේ නිදහස නිකම් ලැබුණේ නැහැ. දෙවැනි ලෝක යුද්ධයේදී ආසියාවේ මිත්‍ර රටවලට සහයෝගය දුන් රටවල් 2ක් තිබුණා. ඉන් එකක් චීනය. අනෙක ශ්‍රී ලංකාව. එයින් සර්වජන ඡන්දයෙන් තේරුණු ව්‍යවස්ථාදායක් පැවතියේ ලංකාවට පමණයි.

“දෙවැනි ලෝක යුද්ධය වෙනුවෙන් දුන් සහාය අගය කර, එක් කොන්දේසියක් මත යුද්ධයෙන් පසු ලංකාවට නිදහස පිරිනමන බව බ්‍රිතාන්‍ය අගමැති වින්ස්ටන් චර්චිල් මැතිතුමා යුද්ධය ඇති වූ අවස්ථාවේ මන්ත්‍රණ සභාවේ සභානායක ලෙස සිටි ඩී.බී. ජයතිලක මහතාටත්, ඉන් පසු මහාමාන්‍ය ඩී.එස්. සේනානායක මැතිතුමාටත් පැවසුවා. එනම්: පළමුව ඉන්දියාවට නිදහස දීමයි. ඒ අනුව අපට මේ නිදහස ලැබුණා.

“දෙවැනි ලෝක යුද්ධයේදී මිත්‍ර රටවලට සහාය දුන් තීරණය ගත්තේ රාජ්‍ය මන්ත්‍රණ සභාවයි. ඒ වගේම ශ්‍රී ලංකාවේ නිලධාරීන් ස්වේච්ඡාවෙන් දෙවැනි ලෝක යුද්ධයට සහයෝගය දැක්වූවා. අප නිදහස් ලැබුවායින් පසු ඩී.එස්. සේනානායක මැතිතුමා ඒ සේනාවන්ගෙන් අපේ ත්‍රිවිධ හමුදාව ආරම්භ කළා. අප දෙවැනි ලෝක යුද්ධයට සහාය දී නිදහස ගත්තා නම්, එය සමරන අවස්ථාවේ අපේ ත්‍රිවිධ හමුදාව කළ සේවයත් අගය කළ යුතුයි. අපගේ ආරක්ෂක හමුදාව රටේ ආරක්ෂාව සඳහා දිවි හිමියෙන් සටන් කළා. අප හමුදාව ආරම්භ කළේ ලෝක යුද්ධයකින්. එය ලෝකයේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කළා. දෙවැනි යුද්ධය තිබුණේ මේ රටේ ඒකීයභාවයත් භෞමික අඛණ්ඩතාවත් ආරක්ෂා කරගැනීමට. ජනරජයක් ලෙස රටේ නිදහස සමරන අවස්ථාවේ අපේ ආරක්ෂක හමුදාව ඉටු කළ මේ උදාර සේවය සිහිපත් කළ යුතුයි. ඒ නිසා මා තීරණය කළා 75 වැනි නිදහස් සැමරුමේ පළමු උත්සවය ත්‍රිවිධ හමුදාව වෙනුවෙන් පැවැත්වීමට.

“අපගේ ත්‍රිවිධ හමුදාව දැන් ලංකාවේ පමණක් නොවෙයි. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාව ලෙසත් කටයුතු කරනවා. මේ සාම සාධක හමුදාවට බඳවාගන්නා පිරිස අනාගතයේදී වැඩි කිරීමට අප බලාපොරොත්තු වනවා.

“අප 50 වන නිදහස සැමරුවේ රටේ යුද්ධයක් තිබියදී. දැන් තවත් යුද්ධයක් පවතින අවස්ථාවක අප 75 වන නිදහස් උත්සවය සමරනවා. ඒ තුවක්කු අරගෙන, එකිනෙකා සමග ගැටුම් ඇති කරගෙන කරන යුද්ධයක් නෙවෙයි. විශාල ආර්ථික යුද්ධයකට අද අප මුහුණ දී තිබෙනවා. අද සම්පූර්ණයෙන්ම රටේ ආර්ථිකය කඩාවැටී තිබෙනවා. අප ඒ ආර්ථිකය යළි ගොඩනඟන්නේ නැත් නම්, මේ ණය උගුලෙන් නිදහස් වන්නේ නැත් නම් අපේ රටේ ආර්ථික නිදහස නැති වෙනවා. රටේ ආර්ථික නිදහස නැති වුණොත් දේශපාලන නිදහසින් කිසිම ප්‍රයෝජනයක් නැහැ. අද ලෝකයේ සිටින ආර්ථික බලවතුන්ට අපට යටත් වන්න බැහැ. එසේ නම් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මේ ආර්ථිකය ගොඩනඟා ජනතාව ජීවත් කරවීමයි. ඒ වගේම ඔවුන්ගේ අහිමි වූ ආදායම් මාර්ග නැවත උදා කර දිය යුතුයි.

“අද බොහෝ දෙනෙක් දුෂ්කරතාවලට මුහුණ දී සිටිනවා. ඒ පිළිබඳ අවබෝධයක් මට තිබෙනවා. ඇතැම් රාජ්‍ය සේවකයන්ට ණයත් ගෙන, බදුත් ගෙවීමට සිදු වීම නිසා ආදායමක් නැති තත්ත්වයකට මුහුණ දී සිටිනවා. අප සියලු දෙනා මේ පීඩනය දරාගන්නවා. අපට මේ පීඩනය නැති කරගන්න පුළුවන්. රටවල් ගණනාවක සහාය අපට හිමි වී තිබෙනවා. එළැඹෙන මාස දෙක-තුන තුළ මේ ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ කටයුතු අවසන් කරන්න පුළුවන් වෙයි කියලා මා විශ්වාස කරනවා. ඒ වගේම ඉන්දියාව සහ චීනය සමග පැවැත්වෙන සාකච්ඡා අවසන් අදියරේ පවතිනවා. ණය ප්‍රතිව්‍යූහගත කිරීම සඳහා වූ එකඟත්වය අපට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලින් ලැබීමත් සමඟ එය ලෝකය පිළිගන්නවා.

“මේ වසර අවසන් වන විට අපට මෙයට වඩා හොඳ ආර්ථික තත්ත්වයක් ලැබෙයි කියා මා විශ්වාස කරනවා. ඒ සමඟම රාජ්‍ය සේවකයන් සියලු දෙනාට යම් සහනයක් දීමට අපට අවස්ථාව ලැබෙනවා. අප මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යා යුතුයි. එයින් ඉවත් වීමට අපට හැකියාවක් නැහැ. අප නිවැරදි මාවතක ගමන් කරනවා නම් උපක්‍රමශීලිව කටයුතු කළ යුතුයි. ජයග්‍රහණය උදා කරගත හැකි වන්නේ එවිටයි.

“ත්‍රස්තවාදි යුද්ධය සහ ආර්ථික යුද්ධය අතර ඇත්තේ එක් වෙනසක් පමණයි. එදා ජීවිත නැති වුණා. අද ආදායම් නැති වෙලා. ඒ වෙනස පමණයි තිබෙන්නේ. නැති වූ ජීවිත අපට නැවත ගෙන දිය නොහැකියි. එහෙත් අඩු වූ අදායම නැවත උපයාගත හැකියි. ආණ්ඩුවක් ලෙස අපි සියලු දෙනා කැප වී සිටින්නේ ඒ වැඩපිළිවෙළ සඳහායි. අප එදා දිනාගත් දේශපාලන නිදහස සහ එදා ආරක්ෂා කළ භෞමික අඛණ්ඩතාව සමඟ ආර්ථික නිදහසත් උදා කරගනිමින් අපට ඉදිරියට යා හැකි බව මා විශ්වාස කරනවා.“

ආරක්ෂක රාජ්‍ය ඇමැති ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සහ ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් ජෙනරාල් (විශ්‍රාමික) කමල් ගුණරත්න, ත්‍රිවිධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් විකුම් ලියනගේ, ගුවන් හමුදාපති වයිස් එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ, නාවික හමුදාපති වයිස් අද්මිරාල් ප්‍රියන්ත පෙරේරා මහත්වරුන් ඇතුළු ත්‍රිවිධ හමුදා නිලධාරීහු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.