රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තුවල සිදුවන අක්රමිකතා වළක්වා ගැනීමට නම් එම දෙපාර්තමේන්තුවලට ඩිජිටල්කරණය හඳුන්වා දිය යුතු බව ජනමාධ්ය, ප්රවාහන සහ මහාමාර්ග ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (07) පැවැසීය.
මෝටර් වාහන පනත ය‍‍ටතේ නියෝග තුනක් විවාදයට ගනිමින් ඇමැතිවරයා පැවසුවේ රටට ආදායම් ගෙන දෙන දෙපාර්තමේන්තු අතරින් ප්රධාන දෙපාර්තමේන්තුවක් වන ප්රවාහන දෙපාර්තමේන්තුවේ දූෂණ අක්රමිකතා විශාල සංඛ්යාවක් සිදු වන බවත්, එම අක්රමිකතා වළක්වා ගත හැක්කේ ඩිජිටල් ක්රමයට ලියාපදිංචිය සහ අනෙකුත් කටයුතු සිදු කිරීමෙන් බවත් සඳහන් කළේය. ඒ අනුව ඉදිරියේදී ප්රවාහන දෙපාර්තමේන්තුව මුළුමනින්ම ඩිජිටල්කරණය කරන බවත් හෙතෙම කීවේය. ඉදිරියේදී දුම්රිය සහ බස්රිය සදහා ඊ- ටිකටින් ක්රමයක් හඳුන්වා දෙන බවද ගුණවර්ධන මහතා පැවසුවේය.
ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට මේ රටේ නිෂ්පාදනය කළ විදුලියෙන් ක්රියා කරන ත්රිරෝද රථ ලියාපදිංචි කිරීමේ කටයුතු මේ වන විටත් ආරම්භ වී ඇති බව පැවැසූ ඇමැතිවරයා රිචඩ් පීරිස් ඇතුළු තවත් දේශීය සමාගම් රැසක් මේ වන විටත් විදුලියෙන් ක්රියාකරන වාහන නිෂ්පාදනය ආරම්භ කර තිබෙන බව කීවේය. ශ්රී ලංකා ඉතිහාසයේ ප්රථම වතාවට ඕනෑම පුද්ගලයකු මෙලෙස නිෂ්පාදනය කරන විදුලි වාහන ලියාපදිංචි කිරීම සඳහා අවස්ථාව ලබා දී ඇතැයිද ඒ මහතා පෙන්වා දුන්නේය. එවැනි නිෂ්පාදන සිදු කරන තරුණයන්ට ජාතියේ ප්රණාමය හිමි වන බවත් එවැනි තරුණ ව්යවසායකයන් සමඟ එක්වී විදුලි මොටර් රථ, විදුලි ත්රිරෝද රථ නිෂ්පාදනය කර පරිසරය ආරක්ෂා කර ගැනීමට හැකි වනු ඇතැයි ද හෙතෙම සඳහන් කළේය.
පොදු ප්රවාහනය වැඩි දියුණු කර ගැනීම සඳහා අවශ්ය මඟ පෙන්වීම දෙන ලෙසත් නව සිස්ටම් චේන්ජ් එකකට යාමට රජය සෑම විටම සූදානම් බවද සඳහන් කළේය.
ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.
ඇති වී තිබෙන දැවැන්ත ආර්ථික අර්බුදය හමුවේ බැංකු පොලී අනුපාතය ඉහළ ගොස් තිබෙනවා. ලෝක මූල්ය ක්රමය රජයට හසුරවන්න බැහැ. අන්තර් ජාතික වශයෙන් අපි ගෙවීම් පියවන්න ඕන. ලෝකයේ සියලුම සංවර්ධිත රටවල ණය පොලී අනුපාතය තනි ඉලක්කමේ සංඛ්යාවක් නමුත් පොලී අනුපාතය තීරණය කිරීමේ බලය තිබෙන්නේ ශ්රී ලංකා මහ බැංකුවටයි. දේශපාලනඥයන්ට පොලිය හදන්න බැහැ. ජාත්යන්තර මූල්ය අරමුදල මෙරට ණය පොලී අනුපාතය තවත් 2 1/2%ක් වැඩි කරන්න කිව්වත් අපි ඊට එකඟ වුණේ නැහැ. මෙය පාර්ලිමේන්තුවට පාලනය කළ හැකි දෙයක් නෙවෙයි. අද වන විට විදේශ රටවලින් ගත්ත ණය තවදුරටත් ගෙවන්න බැරි වුණා. මේ නිසා ප්රවාහන අමාත්යාංශය යටතේ තිබෙන ව්යාපෘති රැසක් නතර වී තිබෙනවා. අපි කැමැති නැති වුවත් ජාත්යන්තර මූල්ය ක්රමය මෙයයි. ජාත්යන්තර මූල්ය අරමුදලෙන් ණය ලබා ගැනීමේදී, ජාත්යන්තර මූල්ය අරමුදලෙන් කරන්න කිවු යෝජනා දුෂ්කරයි. නමුත් අකමැත්තෙන් වුවද ඒවා ඉටු කිරීමට සිදු වෙනවා. මේකට දේශපාලන අර්ථකථන දෙන්න එපා. මුදල් අච්චු ගහන්නේ ශ්රී ලංකා මහ බැංකුවයි. ශ්රී ලංකා මහ බැංකුව වඩාත් ස්වාධීන ආයතනයක් බවට පත් කිරීමේ අරමුණෙන් නව මුදල් පනතක් ගෙනාවේ. ඒ වගේම මහ බැංකුව තවත් ස්වාධීන වෙනවා. මෙමඟින් කිසිම දේශපාලනඥයකුට මේ සඳහා මැදිහත් වීමට නොහැකියි. මේ වන විට එම පනත පාර්ලිමේන්තුවට පිළිගන්වා තිබෙනවා. මේ සම්බන්ධයෙන් යම් ගැටලු තිබේ නම් අධිකරණයට යා හැකියි