ඉන්දියන් රජයෙන් ලබා දී ඇති බස් රථ 500 හි කාර්මික දෝෂ තිබෙන බවට ලංගම සභාපතිවරයා දැනුම් දීමක් කර නොමැති බව ප්‍රවාහන, මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය, කැබිනට් ප්‍රකාශක ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය‍.

මේ සඳහා කිසිදු දේශපාලන මැදිහත් වීමක් නොවූ බවත්, ඉන්දියානු රජය සමඟ සාකච්ඡා කර ඉතාම විනිවිද ආකාරයෙන් තාක්ෂණික කමිටු, ප්‍රසම්පාදන කමිටු පත් කර මෙම ව්‍යපෘතිය ක්‍රියාත්මක කරන ලද බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. ප්‍රවාහන අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ පසුගියදා (18) පැවති කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවට එක්වෙමිණි. අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රවාහන අමාත්‍යවරයාව සිටි සමයේ, ඉන්දියානු ණය යෝජනා ක්‍රමය යටතේ බස්රථ 500 ක් මෙරටට ගෙන්වීමට පිළිවිතරයන් සකස් කර තිබේ. එහෙත් මෙරට තිබුණු අර්බුදකාරී තත්ත්වය හමුවේ සාදා නිමකරන ලද බස් නැවත නොගැනීමට කටයුතු නොකිරීම ගැටලුවක්ව පැවති නිසා තානාපති කාර්යයාල සමඟ සාකච්ඡා කර තමන් ප්‍රවාහන අමාත්‍යධුරය භාරගත් පසු මෙරට 75 වන නිදහස් දිනයට සමගාමීව එම බස්රථ 500 පොදු ප්‍රවාහනය වැඩිදියුණු කිරීමේ අරමුණින් යුතුව එක් කළ බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ අනුව, එදින සිට සෑම දිස්ත්‍රික්කයකම මෙම බස්රථ ධාවනය කෙරෙන බවත්, එහෙත් ඇතැමුන් නව බස්රථ ග්‍රාමීය ප්‍රදේශ වල ධාවනය වීම සම්බන්ධයෙන් ඇතැම් ඊර්ශ්‍යා සහගත ප්‍රකාශ සිදු කරමින් සිටින බවටත් හෙතෙම පැවසීය.