"වෘත්තීය ප්‍රමිතියකට අත්වැලක් " යන තේමාව ඔස්සේ අනාගත රැකියා ඉල්ලුමට ගැලපෙන තොරතුරු තාක්ෂණ, නිදහස් තොරතුරු තාක්ෂණික, සහ කාර්මික ක්ෂේත්‍රයේ නිරත වන පිරිස් සඳහා විද්‍යුත් මාධ්‍ය ඔස්සේ විධිමත් මගපෙන්වීමක් සහ වෘත්තිය තත්ත්වයක් ලබා දීම අරමුණු කරගනිමින් ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් දැනුවත් කිරීමේ වැඩසටහනක් ජනමාධ්‍ය අමාත්‍යංශ ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

මොරටුව විශ්ව විද්‍යාල සහ අනෙකුත් විශ්වවිද්‍යාල, ICTA ආයතනය, මහජන උපයෝගිතා කොමිෂන් සභාව සහ පුද්ගලික අංශයේ ආයතන රැසකද දායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට නියමිතයි.

පාසැල් හැරගිය තරුණ තරුණියන්, විශ්වවිද්‍යාල සිසු සිසුවියන්, මේ වන විටත් නිදහස් තොරතුරු තාක්ෂණිකයින් ලෙස කටයුතු කරන පිරිස්, විදුලි කාර්මික ඇතුලු වෘත්තීය ක්ෂේත්‍ර වල නිරත වන පිරිස් වලට අදාල විධිමත් මගපෙන්වීම් සහ වෘත්තීය පිළිගැනීම ලබාදීම තුළින් රටට අවශ්‍ය විදේශ විනිමය උපයා ගැනීමට නව මාවතක් හඳුන්වාදීම මෙම වැඩ සටහනේ අරමුණයි.

වැඩසටහන අමතමින් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

"ශ්‍රී ලංකාව තුළ විධිමත් ලෙස පුහුණු ශ්‍රම බලකායක් බිහි කිරීම සඳහා ඒ වෙනුවෙන් වෙහෙසෙන ආයතන දරණ උත්සාහයට උත්තේජකයක් සැපයීම කාලීන අවශ්‍යතාවයක්‌. රටක් ලෙස වසර 75 ක ඉතිහාසයේ වැඩිම වේගයකින් ආර්ථිකය ආපස්සට ගමන් කළ කාලයක් පසු කරමින් මේ වන විට යළිත් ආර්ථිකයට හුස්ම ගැනීමට හැකි අවස්ථාවක් උදා වී තිබෙනවා. නමුත් රට මුහුණ දී ඇති අභියෝගයේ,අර්බුදයේ ප්‍රමාණය අති විශාලයි. දැනට රටක් ලෙස අප ගෙවිය යුතු ණය ප්‍රමාණය අනුව නිදහස ලබා වසර සියයක් සපිරෙන 2048 වසර දක්වාත් අනිවාර්යෙන් ගෙවිය යුතු ණය ප්‍රමාණයක් තිබෙනවා. එය කිසිසේත්ම රුපියල් වලින් කිරීමට හැකි දෙයක් නොවෙයි. ඒ සඳහා අනිවාර්යෙන්ම විදෙස් ආයෝජන මගින් විදේශ විනිමය රට තුළට ගෙන ආ යුතුයි.

වැටුණු ආර්ථිකය ගොඩ ගැනීමට හැකි වන්නේ රට තුළ තිබෙන සම්පත් වඩාත් ප්‍රශස්ත ආකාරයට, කාර්යක්ෂම ලෙසත් ඵලදායි ලෙසත් කළමනාකරණය කිරීම තුළින් පමණයි. පවතින සම්පත් අතරින් විශ්වවිද්‍යාල පද්ධතිය සහ අධ්‍යාපන ක්‍රමය තුළින් බොහෝවිට බිහිවන්නේ විභාග සමත් ජීවිතය අසමත් ශ්‍රම සම්පතක්.

විභාග සහතික විශාල ප්‍රමාණයක් සහිත බොහෝ දෙනාට ජීවනෝපාය සලසා ගැනීම සඳහා අවශ්‍ය ප්‍රායෝගික දැනුම නැහැ. බොහෝවිට ප්‍රචණ්ඩත්වය ඇති වන්නේත් රට ඉදිරියට නොයෑමේ අර්බුදය ඇතිවන්නේත් පවතින මානව සම්පත ඵලදායි ලෙස පුහුණු දැනුමක් සහිත නවෝත්පාදන බිහි කරන පිරිසක් බවට පත් නොවීම හේතුවෙන්.

නමුත් අසල්වැසි ඉන්දියාව ක්‍රමවත් ලෙස මේ අභියෝගය ජයගෙන තිබෙනවා. ඉන්දියාව තොරතුරු තාක්ෂණ අපනයනය තුලින් වර්ෂයකට ඇමරිකානු ඩොලර් බිලියන 200කට වඩා වැඩි ප්‍රමාණයක් උපයනවා. නමුත් අපේ රටේ තොරතුරු තාක්ෂණ අපනයන තුළින් උපයනු ලබන්නේ ඇමරිකානු ඩොලර් බිලියන 1.7ක පමණ ප්‍රමාණයක්.

අපේ රටේ මානව සම්පත මේ ආකාරයට පුහුණු කිරීමේ අවශ්‍යතාවය මා අධ්‍යාපන අමාත්‍යවරයා ලෙස එවකට හඳුනා ගත්තා. ඒ අනුව උසස් පෙළ තාක්ෂණවේදය විෂය ධාරාව හඳුන්වා දුන්නා. ඒ වෙනුවෙන් ලංකාව පුරා මහින්දෝදය තාක්ෂණ පීඨ 251ක්‌ පිහිටවූවා.එය අපේ රටේ අධ්‍යාපන ක්ෂේත්‍රය තුළ හැරවුම් ලක්ෂයක් බවට පත් වුවත් බොහෝ දෙනෙක් ආරම්භයේ දී ඊට විරුද්ධ වුණා.

නමුත් එහි ප්‍රතිඵලයක් ලෙස මේ වන විට දිවයින පුරා විශ්වවිද්‍යාලවල 13ක තාක්ෂණ පීඨ බිහිවී තිබෙනවා. බොහෝ දෙනෙක් පුහුණු ශ්‍රමිකයන්, වෘත්තිකයන් බවට පත්ව තිබෙනවා. ඌව වෙල්ලස්ස ඇතුළු බොහෝ ඈත ප්‍රදේශවල පවා අති විශාල සිසු සිසුවියන් පිරිසක් තාක්ෂණික විෂයන් හදාරා, විශ්ව විද්‍යාල වරම් දිනාගෙන, බොහෝ දෙනෙක් සාර්ථක ව්‍යවසායකයින් පත්ව තිබෙනවා.

මෙම වගකීම ඉටු කිරීම උදෙසා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතේ විද්‍යුත් මාධ්‍ය ඔස්සේ අධ්‍යාපනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් ඉටු කිරීමේ හැකියාවක් පවතිනවා. ලෝකයේ බොහෝ රටවල් රූපවාහිනි මාධ්‍ය අධ්‍යාපනය වෙනුවෙන් යොදා ගන්නවා.

ඉදිරියේදී මේ ක්ෂේත්‍රයට සම්බන්ධ සියලු පාර්ශවයන් එක් කරගනිමින්, පවතින සම්පත් උපයෝගී කරගනිමින් රාජ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ඒකාබද්ධව මේ වෑයම වෙනුවෙන් දායක විය යුතුයි. ඒ සඳහා අවශ්‍ය අනුග්‍රහය පුද්ගලික අංශයෙන් ලබාගත හැකි බව මා විශ්වාස කරනවා.

මේ වන විටත් රට තුළ නවෝත්පාදන කරමින් ක්ෂේත්‍රය තුල රැඳී සිටින ආයතන රැසක් පවතිනවා. ඒ සඳහා දුම්රිය දෙපාර්තමේන්තුව සතුව මරදාන ප්‍රදේශයේ පවතින විශාල භූමි ප්‍රදේශයක් වෙන්කර දී තිබෙනවා. විශාල තරුණ තරුණියන් ප්‍රමාණයක් එම ආයතනවල නව තාක්ෂණික ඉසව් සොයා යමින් නව නිපැයුම් සිදු කරනවා.

පවතින මහින්දෝදය විද්‍යාගාරවල පහසුකම් ද අධ්‍යාපන අමාත්‍යාංශය දායකත්වයෙන් ඒ සඳහා භාවිතා කළ හැකි වනු ඇති බව මා විශ්වාස කරනවා. අධ්‍යාපන අමාත්‍යවරයා ද ඒ වෙනුවෙන් දායකත්වය ලබාදීමට සූදානම් බව දන්වා තිබෙනවා.

විභාග කේන්ද්‍රීය අධ්‍යාපනයෙන් ඔබ්බට යමින් තාක්ෂණය පිළිබඳ දැනුම මාධ්‍ය ඔස්සේ දරුවන්ට ලබා දිය හැකි නම් අපගේ වගකීම වන්නේ එයයි. ඒ වෙනුවෙන් දායකත්වය සපයන සියලුම ආයතන වලට මා ස්තුතිවන්ත වෙනවා. සියලුම ආයතන අතර අන්තර් සහයෝගීතාවයෙන් යුක්තව මෙම නව සංකල්පය තුළින් රටට ආඩම්බරයක් විය හැකි මානව සම්පතක් නිර්මාණය කිරීමට හැකිවනු ඇති බව මා විශ්වාස කරනවා."

තාක්ෂණ රාජ්‍ය අමාත්‍ය කනක හේරත් මහතා, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා, විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් ඇතුළු පිරිසක් මෙම වැඩසටහන සඳහා එක්ව සිටියහ.