සිනමා නිර්මාණවලට සම්මාන පිරිනමන “ජනාධිපති සිනමා සම්මාන උලෙළ – 2023“ නොවැම්බර් මස 14 වැනිදා සවස 6:30 ට නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ දී පැවැත්වීමට කටයුතු සුදානම් කර තිබේ. සම්මාන 53 ක් ප්‍රදානය සඳහා රුපියල් මිලියන 7 කට ආසන්න මුදලක් වැය කරන බවත් චිත්‍රපට 42 ක් ඇසුරෙන් මෙම සම්මාන පිරිනමන බවත් ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ

තරංගනී ශාලාවේදී පැවැති මාධ්‍ය හමුවකදී එහි සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා ඊයේ (31) පැවසීය.

වසර 5 කින් පසුව පැවැත්වෙන මෙම සිනමා සම්මාන උලෙළ ගොඩකන්ද හර්බල් සමාගමේ අනුග්‍රාහකත්වය ඇතිව ජාතික චිත්‍රපට සංස්ථාවේ සංවිධානයෙන් අති උත්කර්ෂවත් ලෙස මෙවර පවත්වන බව ඒ මහතා පැවසුවේය.

වසර 2019, 2020 කාලයේ තිරගත කළ චිත්‍රපට 42 ක් ඇසුරෙන් මෙම චිත්‍රපට උළෙල පැවැත්වේ.

වසර 2019 දී තිරගත කළ චිත්‍රපට 30 ක් සහ 2020 වසරේ තිරගත කළ චිත්‍රපට 12 ක් මුල් කර ගනිමින් සම්මානලාභීන් තෝරා ගත් බවත් කතා කරන හීනය, ෆේස් ටු ෆේස්, ද ෆෝන් යනාදී චිත්‍රපට හතක් මෙම සම්මාන උළෙලට අයදුම් නොකළ බවත් හෙතෙම පැවසීය.

හොඳම චිත්‍රපටය, හොඳම අධ්‍යක්ෂ, හොඳම තිර රචක ඇතුළු ප්‍රධාන සම්මාන 22 ක් සහ පුරෝගාමී සම්මානය, ස්වර්ණ සිංහ සම්මානය, විශ්ව කීර්ති සම්මානය ලෙස සෙසු සම්මාන 3 ක් ද මෙහිදී ප්‍රදානය කිරීමට නියමිතය.

කොවිඩ් ඇතුළු ආර්ථික අර්බුදය හේතුවෙන් පසුගිය කාලයේ මෙම චිත්‍රපට උළෙල පැවැත්වීමට නොහැකි වූ බවත් චිත්‍රපට ශිල්පීන් ඇගැයීම අනිවාර්යයෙන්ම කළ යුතු බවත් ඒ මහතා පැවසුවේය.

මෙම අවස්ථාවට ශ්‍රී ලංකා ජාතික චිත්‍රපට සංස්ථාවේ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයන් වන ප්‍රවීන චිත්‍රපට විචාරක ඈෂ්ලි රත්නවිභූෂණ, ප්‍රවීන රංගන ශිල්පිනී නදීකා ගුණසේකර, මහාචාර්ය සමන්ත හේරත්, ගොඩකන්ද හර්බල් සමාගමේ සභාපති වෛද්‍ය ලේල්වල ජී. ගොඩකන්ද මහත්ම මහත්මීහු සහභාගී වූහ.