මාර්ගගත ක්‍රමවල සුරක්ෂිතභාවය පිළිබඳ පනත ප්‍රමාදයකින් තොරව ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සකස් කරන බව කැබිනට් ප්‍රකාශක, ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. මේ පනත මඟින් සමාජ මාධ්‍ය පාලනය සඳහා කිසිදු සීමා පැනවීමක් සිදු වන්නේ නැතැයි හෙතෙම කීවේය. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ඊයේ (30) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය සාකච්ඡාවේදී මාධ්‍යවේදියකු මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

මාර්ගගත ආරක්ෂණ පනත ක්‍රියාත්මක කිරීමේ අරමුණ වන්නේ, ද්වේෂ සහගතව, පටු අරමුණුවලට සමාජ මාධ්‍ය රෞද්‍ර ලෙස භාවිත කිරීම හා පොදු සමාජයට හානිකර ලෙස යොදාගැනීම වැළක්වීම බවද හෙතෙම කියා සිටියේය. ඕනෑම සමාජ මාධ්‍යයක් වෙනත් අයට ආරවුල් ගැටුම් ඇති නොවන ලෙස භාවිත කිරීම පිළිබඳ කිසිඳු සීමා පැනවීමක් නැති බවත්, ආගමික හැඟීම් පෑරවීම්, ආගම් අතර ගැටුම් ඇති කිරීම්, ළමා අපයෝජන, පුද්ගලයන් බිය වැද්දීම්, ප්‍රචණ්ඩත්වය ක්‍රියාත්මක කිරීම් හා ලිංගික අතවර කිරීම් යනාදිය සිදු කරන පුද්ගලයන්ට දැඩි දඬුවම් පැනවීමට ලොව සෙසු දියුණු රටවල් අනුගමනය කරන පිළිවෙත් හා සම්මතයන්ට අනුව මේ පනත් කෙටුම්පත සකසා ඇති බවද හෙතෙම පැවසීය.

ඒ අනුව, ජාත්‍යනතර වශයෙන් ඉදිරිපත් වූ ඇතැම් අදහස් අනුව අවශ්‍ය සංශෝධන කිරීම‍ටද මේ මාර්ගගත ආරක්ෂණ පනත පිළිබඳ යෝජනාව ඉදිරිපත් කරමින් මහජන ආරක්ෂක ඇමැතිවරයා එකඟ වී තිබෙන බවත්, පනත සම්මත වී ඇති අතර පනත ක්‍රියාත්මක කිරීම කඩිනමින් ඉටු කිරීමට අවශ්‍ය විධිවිධාන යොදන බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

මෙමඟින්, මෙරට නිරායුධ යහපත් ඇවතුම් පැවතුම් ඇති සියලු මිනිසුන්ට බියෙන් හා සැකයෙන් තොරව ජීවත් වීමට හා නිදහසේ වැඩ කටයුතු කරගෙන යෑමට අවශ්‍ය ඉඩ ප්‍රස්තාව සලසා දීමට හැකි බව පැවැසූ ඒ මහතා සදාචාර සම්පන්න සමාජයක යහපත් දේ වැඩි වශයෙන් යොදාගැනීමට මේ පනතෙන් බාධාවක් නැති බව පැවසීය.