ශ්‍රී ලංකාවේ 76 වැනි ජාතික නිදහස් උළෙලේ විශේෂ අමුත්තා වශයෙන් සහභාගි වූ තායිලන්ත අගමැති ශ්‍රෙත්ථා තවිසින් මහතා සාර්ථක සංචාරයකින් අනතුරුව ඊයේ (04) පස්වරුවේ මෙරටින් නික්ම ගියේය. පෙරේදා (03) පස්වරුවේ මෙරටට පැමිණි තායිලන්ත අගමැතිවරයා ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා ශක්තිමත් කෙරෙන නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තැබීමට එක්වූ අතර අනතුරුව ශ්‍රී ලංකා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ ජනාධිපති කාර්යාලයේදී ද්වීපාර්ශ්වික සාකච්ඡාවකට ද සහභාගි විය. එහිදී දෙරට අතර වෙළෙඳ, ආයෝජන, සංස්කෘතික, ආර්ථික, ගුවන් සේවා, නාවික ඇතුළු ක්ෂේත්‍ර රැසක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සම්බන්ධයෙන් විශේෂ අවධානය යොමු කළ අතර දෙරටටම වාසි සැලසෙන අයුරින් එක් එක් ක්ෂේත්‍ර සම්බන්ධයෙන් අවබෝධතා ගිවිසුම්වලට අත්සන් තැබීම ද සිදුවිය. මීට අමතරව, දෙපාර්ශ්වය, 1950 වසරේදී දෙරට අතර අත්සන් තැබුණු ගුවන් සේවා ගිවිසුම අලුත් කළ අතර මැණික් හා ස්වර්ණාභරණ ක්ෂේත්‍රයේ අවබෝධතා ගිවිසුමකට එළැඹිණි. තායි අග්‍රාමාත්‍යවරයා සමඟ එරට නියෝජ්‍ය අග්‍රාමාත්‍ය හා වාණිජ අමාත්‍යවරයා, නියෝජ්‍ය විදේශ අමාත්‍යවරයා, විදේශ ලේකම්වරයා හා තායි රජයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නියෝජිතයෝ මෙන්ම ඉහළ පෙළේ ව්‍යාපාරික නියෝජිත පිරිසක් ශ්‍රී ලංකාවේ සංචාරය කළහ. තායිලන්තයේ නියෝජ්‍ය අග්‍රාමාත්‍ය සහ වාණිජ අමාත්‍ය ෆුම්තාම් වෙචයචායි සහ ශ්‍රී ලංකාවේ වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා අමාත්‍ය නලින් ප්‍රනාන්දු යන මහත්වරුන් විසින් ඓතිහාසික ශ්‍රී ලංකා – තායිලන්ත නිදහස් වෙළෙඳ ගිවිසුමට අත්සන් තබනු ලැබීම තායිලන්ත අග්‍රාමාත්‍යවරයාගේ සහ ජනාධිපති වික්‍රමසිංහ මහතාගේ නිරීක්ෂණයට ලක් විය. දෙරට අතර වෙළෙඳ සහ ආයෝජන සබඳතා වර්ධනය කිරීම සඳහා මෙම නිදහස් වෙළෙඳ ගිවිසුමෙන් ශක්තිමත් පිටිවහලක් ලැබෙනු ඇතැයි අපේක්ෂිතය.

ථෙරවාද බුදුසමයෙන් සවිමත් වන පොදු ඓතිහාසික හා සංස්කෘතික සබඳතා පිළිබඳ අවධානය යොමු කළ දෙපාර්ශ්වය, ශ්‍රී ලංකාව සහ තායිලන්තය අතර ආගමික හා සංස්කෘතික සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට ගිවිස ගත්හ. සමුද්‍රීය සම්බන්ධතා විෂයෙහි, තායි බිම් සේතු ව්‍යාපෘතිය සහ ශ්‍රී ලංකාවේ වර්තමාන වරාය සංවර්ධන වැඩ කටයුතු සම්බන්ධයෙන් සාකච්ඡා පැවැත්විණි. ශ්‍රී ලංකාවේ සහ තායිලන්තයේ භූක්‍රමෝපායික පිහිටීම් සම්බන්ධයෙන් සලකා බලන කල, සමුද්‍රීය සම්බන්ධතා වැදගත් අනාගත සහයෝගිතා ක්ෂේත්‍රයක් වශයෙන් සැලැකිල්ලට ගැනිණි. සිය සංචාරය අවසන් කොට ශ්‍රී ලංකාවෙන් පිටව යන අග්‍රාමාත්‍ය ශ්‍රෙත්ථා තවිසින් මහතාට සහ නියෝජිත පිරිසට, විදේශ කටයුතු අමාත්‍ය එම්.යූ.එම්. අලි සබ්රි මහතා ගුවන්තොටුපොළේදී උණුසුම් ලෙස සමු දුන්නේය.