බහු-ධ්‍රැවීය ලෝකය යනු මෙතෙක් ගලා ආ ලෝක සංවර්ධන ඉතිහාසයේ නවතම ප්‍රවණතාව පමණක් නොවේ. එය ජාත්‍යන්තර ප්‍රජාවේ පොදු අභිලාෂයේ ද පිළිබිඹුය.

2023 දෙසැම්බර් 27-28 දිනයන්හි, බීජිං හි පැවති, විදේශ කටයුතු සම්බන්ධ මධ්‍යම සමුළුව, වර්තමාන සහ අනාගත යන කාල ද්විත්වය සම්බන්ධයෙන්, චීනයේ බාහිර ලෝක සම්බන්ධතා පිළිබඳව පුළුල් සැලසුම් සකස් කළේය. චීනයේ විදේශ සබඳතා සහ බාහිර කටයුතු ගැන සැලකිලිමත් වන සියලුම මිතුරන් මෙම කතිකාවත හේතුවෙන් ලොව පුරා වේගවත්, විශාල පරිවර්තනයක් සිදු වනු ඇතැයි අනුමාන කරන බව මම විශ්වාස කරමි.

අපේ කාලයේ ලෝකයේ, ඓතිහාසික වෙනස්කම් රාශියක් පෙර නොවූ විරූ ලෙස දිග හැරෙමින් තිබේ. ලෝකය, කැලඹිලි සහ නව පරිවර්තනයේ කාල පරිච්ඡේදයකට දැන් අවතීර්ණ වී ඇත.

අද ලෝකය මුහුණ දෙන ප්‍රධාන ගැටලු සහ අභියෝග මාලාව සැලකිල්ලට ගෙන, ජනාධිපති ෂී ජින් පිං ගේ තීක්ෂණ නායකත්වය යටතේ චීනය සිය මාර්ගය තුළ බහු ධ්‍රැවීය ලෝකයක් සඳහා ප්‍රවේශයක් මේ අනුව සපයා අවසන්ය.

බහු ධ්‍රැවීයතාව

බහු ධ්‍රැවීයතාව යනු ලෝක සංවර්ධනයේ සමස්ත ප්‍රවණතාවය වේ. එය සංවර්ධනය වෙමින් පවතින රටවල හෝ ගෝලීය දකුණේ නැඟී එන බලපෑමෙන් පිළිබිඹු වේ. දශක තුනකට වැඩි කාලයකට පෙර සීතල යුද්ධයේ අවසානයෙන් පසු, සිදු වන වර්ධනයන් පෙන්නුම් කරන්නේ, සංවර්ධනය වෙමින් පවතින රටවල් වැඩි වැඩියෙන් ජාත්‍යන්තර කටයුතු සම්බන්ධයෙන්, අදහස් දැක්වීමට දැඩි උනන්දුවක් දක්වන බැවින්ය.

ඔවුන් බහු ධ්‍රැවීය ලෝකයක, සිය ඉලක්කය හඹා යන අතර ඒක පාර්ශ්විකත්වයට සහ බල දේශපාලනයට විරුද්ධ වෙති. බල ගැටුම් අඛණ්ඩව පැවතීම, ජාත්‍යන්තර සබඳතා සඳහා තනි ප්‍රවේශය හෙවත් එය කෙළිබිමක් බවට පත් කර ගැනීම, අපේක්ෂා නොකරන්නේය. විශේෂයෙන්ම යුද්ධ සහ ගැටුම් හෙළා දැකීම ද තුන්වෙනි ලෝකයේ සිරිතය. කෙසේ වෙතත්, දැනට ලෝකයේ සිදුවන පුළුල් වෙනස්කම් හමුවේ බහු-ධ්‍රැවීය ලෝකයක් ගොඩනඟා ගන්නේ කෙසේද යන්න පිළිබඳව තවමත් එකඟතාවයක් නොමැත. මෙම පසුබිමට එරෙහිව මුලපුරමින්, චීනය ලෝක බහු ධ්‍රැවීයතාව සඳහා නිවැරදි දිශාව පෙන්වා දෙයි.

අපි සමාන බහු-ධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිමු, එයින් අදහස් කරන්නේ ප්‍රමාණය හෝ දේශපාලන බලය නොසලකා සියලු රටවල් සමාන ලෙස සැලකීම, අධිපතිවාදය සහ බල දේශපාලනය ප්‍රතික්ෂේප කිරීම, රටවල් කිහිපයක ජාත්‍යන්තර කටයුතුවල ඒකාධිකාරය ප්‍රතික්ෂේප කිරීම සහ ප්‍රජාතන්ත්‍රවාදය සැබවින්ම ජාත්‍යන්තර සබඳතා තුළ ප්‍රවර්ධනය කිරීමය. ජාත්‍යන්තර කටයුතු සියලු රටවල් විසින් උපදේශනයෙන් විසඳා ගත යුතු අතර, ලෝකයේ අනාගතය සහ ඉරණම සියලු රටවල් විසින් තීරණය කළ යුතුය.

බහු ධ්‍රැවීයතාව යන්නෙන් අදහස් කරන්නේ විශාල සහ බලවත් රටවල් කිහිපයක් පමණක් යන සාම්ප්‍රදායික ආඛ්‍යානය බිඳ දමමින්, සෑම රටකටම හෝ රටවල් සමූහයකට ගෝලීය බහු ධ්‍රැවීය පද්ධතිය තුළ තමන්ගේම ස්ථානයක් සොයාගත හැකි වීමය. ඉතිහාසයේ ප්‍රවණතාවලට එරෙහිව යමින්, සීතල යුද මානසිකත්වයට ඇලී සිටීම සහ ආධිපත්‍යය පවත්වා ගැනීමේ උමතුව, ඒක පාර්ශ්විකවාදය පසුපස හඹා යාම, කඳවුරු ගැටුම් ඇවිස්සීම සහ වෙනත් රටවල් පාලනය කිරීමට යෑම සහ මර්දනය කිරීම වැනි අසාර්ථක මූල ධර්ම මෙම සංකල්පයෙන් බිද වැටේ.

අපි ක්‍රමවත් බහු-ධ්‍රැවීය ලෝකයක් වෙනුවෙන් පෙනී සිටිමු, එයින් අදහස් කරන්නේ බහු-ධ්‍රැවීයතාවේ ප්‍රගතිය ස්ථායී සහ නිර්මාණාත්මක ලෙස තබා ගැනීමයි. බහුධ්‍රැවීය ක්‍රියාවලිය ගෝලීය අස්ථාවරත්වය සහ ‘අක්‍රමිකතා’ ගෙන එනු ඇති බවට සමහර රටවල දක්වන උත්සුකයන් සඳහා අපගේ ප්‍රතිචාරය එයය.

ඓතිහාසික ක්‍රියාවලිය

බහු ධ්‍රැවීය ක්‍රියාවලිය යනු බෙදීමට වඩා එකමුතුකමේ, ගැටුමට වඩා සංවාදයේ, අරගලයට වඩා සහයෝගීතාවය ගුරු කොට ගත්තකි. මෙය හරසුන් එකතුවක් නොවේ. ලෝක ජයග්‍රහණය සඳහා වන ඓතිහාසික ක්‍රියාවලියකි. මෙම පොදු අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා, එක්සත් ජාතීන්ගේ (UN) ප්‍රඥප්තියේ අරමුණු සහ මූලධර්ම, සියල්ලන් විසින් පිළිපැදිය යුත්තේය. ජාත්‍යන්තර සබඳතා පාලනය කරන විශ්වීය වශයෙන් පිළිගත්, මූලික සම්මතයන්, සියල්ලන් විසින් පිළිපැදිය යුතුය. සෑම විටම සැබෑ බහු පාර්ශ්විකත්වය ප්‍රගුණ කළ යුතුය.

ජාත්‍යන්තර ප්‍රජාවේ කැමැත්තට පටහැණිව, ස්වකීය ප්‍රමුඛතාවය සඳහා අනුගත වූ, සියල්ල ජයග්‍රහණයෙන් කෙළවර වේ යැයි සිතන, ආරක්ෂණවාදය ප්‍රවර්ධනය කරන, ‘කුඩා අංගණ සහ උස් තාප්ප’ගොඩනඟන පිරිස මේ සඳහා හානිකරය. ලද සෑම අවස්ථාවකදීම වෙනත් රටවලට බලපෑම් කරන සහ සම්බාධක පනවන්නා වෙත මෙහිදී අනාගතයක් නැත.

බිලියන අටකට වඩා වැඩි මුළු ගෝලීය ජනගහනයක් සහිත ලෝකයේ, රටවල් 200 කට ආසන්න සංඛ්‍යාවක් ඇත. සියලුම රටවල් එක දේශපාලන ආකෘතියක් සහ ‘විශ්වීය වටිනාකමක්’ අනුගමනය කරන ලෝකයක් ගැන සිතීම දුෂ්කරය. එවැනි ලෝකයක්, එක් බලයක් හෝ කණ්ඩායමක් විසින් ආධිපත්‍යය දරනු ඇතැයි සිතීම ද දුෂ්කරය.

සමාන හා ක්‍රමවත් ලෝක බහු ධ්‍රැවීයතාවක් වෙනුවෙන් පෙනී සිටීම සියලුම රටවල ජනතාවගේ පොදු අභිලාෂයන්ට අනුකූල වේ. සාධාරණ ගෝලීය පාලන පද්ධතියක් ගොඩ නැඟීම ප්‍රවර්ධනය කිරීම වනාහි සමස්ත ලෝක ප්‍රජාව වෙත සාධාරණ ලෝකයක් ගොඩනැඟීම සඳහා වැදගත් මාවතක් සපයයි. මානව වර්ගයා සඳහා ඒකාධිකාරී බලහත්කාරකමක් වෙනුවට, සාධාරණ අනාගතයක් වෙනුවෙන් මෙම කර්තව්‍යය අත්‍යාවශය. ලෝකයේ බහුතර කැමැත්ත මෙය වේ. එය මානව සංවර්ධනයේ ආපසු හැරවිය නොහැකි ප්‍රවණතාවයකි.

චීනය සහ ශ්‍රී ලංකාව අන්‍යෝන්‍ය විශ්වාසයේ සහ සහයෝගයේ අවංක මිතුරන් වන අතර පොදු සංවර්ධනය සහ සමෘද්ධිය සඳහා හවුල්කරුවන් වේ. ශ්‍රී ලංකාවට එහි ස්වාධීනත්වය, ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව තහවුරු කිරීම සඳහා ස්ථිර ලෙස, චීනය සහාය දෙන අතර, ශ්‍රී ලංකාව එහි ජාතික තත්ත්වයන්ට ගැළපෙන සංවර්ධන මාවතක් ස්වාධීනව තෝරා ගැනීමට චීනය ගරු කරයි.

සැමට ප්‍රතිලාභ ගෙන දෙන සමාන හා ක්‍රමවත් බහු-ධ්‍රැව ලෝකයකට සහ ආර්ථික ගෝලීයකරණයකට සහාය දැක්වීමට, වඩාත් සාධාරණ දිශාවකට ගෝලීය පාලනය ප්‍රවර්ධනය කිරීමට සහ සංවර්ධනය වෙමින් පවතින රටවල පොදු අවශ්‍යතා සහ නීත්‍යානුකූල අයිතිවාසිකම් ආරක්ෂා කිරීමට චීනය ශ්‍රී ලංකාව සමඟ කටයුතු කිරීමට සූදානම්ය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති

කී ශෙන්හොං