සත් වැනි ඉන්දීය සාගර සමුළුවට සහභාගි වීමට ඔස්ට්‍රේලියාවේ පර්ත් නුවර සංචාරයක යෙදුනු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බටහිර ඔස්ට්‍රේලියාවේ ශ්‍රී ලංකා කොන්සල් කාර්යාලයේ නිරීක්ෂණ චාරිකාවක පෙරේදා (10) නිරත විය.

කොන්සල් කාර්යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා සහ ප්‍රියංකා ගමගේ මහත්මිය විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය. අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු එහි කාර්ය මණ්ඩලය සමඟ සුහද කතාබහකට එක් වූ අතර, ශ්‍රී ලංකාවේ ආර්ථිකය යළි ගොඩනැඟීමේ ක්‍රියාවලියේදී ඔවුන්ට දැක්විය හැකි සක්‍රිය දායකත්වය පිළිබඳව එහිදී පුළුල් අවධානයක් යොමු කෙරිණි.

කොන්සල් ජනරාල් ආචාර්ය රොෂ් ජලග්ගේ මහතා විසින් මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත විශේෂ සිහිවටන තිළිණයක්ද පිළිගන්වනු ලැබීය. අනතුරුව ජනාධිපතිවරයා කොන්සල් ජනරාල් ඇතුළු කාර්ය මණ්ඩලය සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය. ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක මහතාද මේ අවස්ථාවට එක් වී සිටියේය.