එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ මූල්‍ය අනුග්‍රහය ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීමය ගුණාත්මකභාවය ඉහළ නැංවීමට වැදගත් වූ බව ප්‍රවාහන හා මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරයි.
මාධ්‍යවේදීන්ගේ ධාරිතා සංවර්ධන වැඩසටහන යටතේ ‘EMPOWER’ මැයෙන් ප්‍රවෘත්ති අංශ මාධ්‍යවේදීන් උදෙසා සංවිධානය කළ විශේෂ වැඩමුළුවක් ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹදී පැවැත්විණි.
එක්සත් ජාතීන්ගේ සංවර්ධන (UNDP) වැඩසටහනේ මෙහෙයවීම මත ක්‍රියාත්මක වූ මේ වැඩමුළුව 2023 අගෝස්තු මස 02 සහ 03 දිනවල පැවති දෙදින වැඩමුළුවකින් ඇරඹි අතර, අනතුරුව ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පුහුණු කිරීමේ වැඩසටහන් මාලාවකින් ද සමන්විත විය. එහි අවසන් සමාලෝචන වැඩසටහන මෙලෙස පැවැත්විණි. තොරතුරු සහ දුෂ්ට අරමුණින් පතුරුවන සැබෑ තොරතුරු සහ වෛරී ප්‍රකාශන, පුද්ගලික තොරතුරු වාර්තාකරණය පිළිබඳ නීතිමය ප්‍රතිපාදන, සාවද්‍ය තොරතුරු සහ දුෂ්ට අරමුණින් පතුරුවන සැබෑ තොරතුරු සහ වෛරය ප්‍රකාශන, අපරාධ වාර්තාකරණය ඇතුළු අංග කිහිපයක් යටතේ මේ වැඩසටහන ක්‍රියාත්මක විය.
එහිදී වැඩසටහනේ පළමු දේශනය සිදු කළ ඇමැතිවරයා මෙලෙස අදහස් පළ කළේය.
“රට තුළ පවතින විභාග කේන්ද්‍රීය අධ්‍යාපන ක්‍රමය තුළ ගන්නා විෂයානුබද්ධ දැනුමට පරිබාහිරව රටේ බිහිවන බොහෝ වෘත්තිකයන්ට රට මුහුණදී ඇති ආර්ථික අර්බුදය ඇතුළු අර්බුද පිළිබඳව ප්‍රාමාණික දැනුමක් නොමැති තත්ත්වයක් පවතිනවා. එම නිසා එවැනි සමාජයක් තුළ මාධ්‍යවේදීන් වෙත විශාල වගකීමක් පැවරෙනවා. පවතින තත්ත්වය පිළිබඳ විෂයානුබද්ධ අවබෝධයක් සහිත විද්වතුන්ගෙන් සත්‍ය තොරතුරු ගනිමින් සාධාරණ ලෙස විවේචනාත්මකව, විචාරාත්මකව සහ විචක්ෂණශීලී ලෙස සමාජයට ඉදිරිපත් කිරීම සහ සමාජය දැනුම්වත් කිරීමේ වගකීම ඔවුන්ට පැවරෙනවා. වෛරය මුසු නොවූ, ප්‍රචණ්ඩත්වයෙන් තොර, මිනිස්කම අගයන සමාජයක් උදෙසා එය අතිශයින් වැදගත් කාර්යභාරයක් ඉටු කරන බව මා විශ්වාස කරනවා.
ඒ වෙනුවෙන් ඉතා දීර්ඝ කාලීන කැප කිරීමක් සිදු කරමින් දිවයිනේ සියලුම ජාතීන්වලට අයත් සියලුම ප්‍රදේශවලට අයත් මාධ්‍යවේදීන් දායක කර ගනිමින් මේ වැඩසටහන් ක්‍රියාත්මක කිරීම පිළිබඳව ඊට දායක වූ සියලු දෙනාට මගේ ගෞරවය පිරිනමනවා. ඒ වෙනුවෙන් විශාල මූල්‍ය අනුග්‍රහයක් දැක්වූ එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩපිළිවෙළට ශ්‍රී ලංකා රජය සහ විෂය භාර ඇමැතිවරයා ලෙස මාගේ ස්තූතිය පිරිනමනවා.
ජීවත්වීම සඳහා ජීවිතය සමඟ අරගලයක නිරත වන මිනිසුන් හෙට දිනයේදී ද ඔවුන්ගේ අවශ්‍යතා ඉටු කරමින් ජීවත් කරවීම අප හමුවේ ඇති විශාලම අභියෝගයයි. මන්දයත් මීට වසරකට පමණ පෙර කාලයේ ආර්ථික වශයෙන් ඉතාමත් අභියෝගකාරී අත්දැකීම්වලට මුහුණ දීමට රටක් වශයෙන් අපට සිදු වුණා. රටට අවශ්‍ය ඉන්ධන, ගෑස් ආදී අත්‍යවශ්‍ය ද්‍රව්‍ය ආනයනය කිරීමට කිසිදු විදේශ සංචිතයක් අප සතුව පැවතුණේ නෑ. අවසන් අදියරේ පැවති ඉදිකිරීම් ව්‍යාපෘති පවා අතරමඟ නතර වුණා. ජනතාවට ඉන්ධන, ගෑස් ගැනීමට දිගු පෝලිම්වල රැඳී සිටීමට සිදු වුණා. එහිදී ඇතැමුන්ගේ ජීවිත පවා අහිමි වුණා. කලකෝලාහල ඇති වුණා. දීර්ඝ කාලයක් විදුලිය කප්පාදු කළා. මේ තත්ත්වයන් පිළිබඳ මාධ්‍ය විවිධ ආකාරයෙන් වාර්තා කළා. ජනතාව මුහුණ දුන් අපහසුතා හමුවේ සමාජය තුළ බොහෝ වෛරී සිතුවිලි ඇතිවීමට මේ තත්ත්වය හේතු වුණා. රට ආර්ථික වශයෙන් මුහුණ දුන් මේ අර්බුදයට ඇත්තේ ආර්ථික විසඳුමක් පමණයි. ඊට දේශපාලන විසඳුමක් නෑ. මේ තත්ත්වය පිළිබඳ නිවැරදි අවබෝධයක් දීමට සාධාරණ, සත්‍ය, විවේචනාත්මක කාර්යභාරයක් මාධ්‍ය තුළ සිදු වූ බව මා විශ්වාස කරන්නේ නෑ. තවදුරටත් ජනතාවට මේ ආකාරයෙන් හෝ කටයුතු කිරීමට හැකියාව ලැබී තිබෙන්නේ මේ වන විටත් ගත් විදේශ ණය නොගෙවා සිටීම මතයි. ණය නොගෙවා ඉතිරි කර ගත් මුදල් ප්‍රමාණය මත පසුගිය වසර දෙකක පමණ කාලයේ රටේ අවශ්‍යතා ඉටු කරගෙන තිබෙනවා.
එම තත්ත්වය ළඟා කරගෙන තිබෙන්නේ ජනාධිපතිවරයා ඇතුළු රජය, රාජ්‍ය නායකයන්, ජාත්‍යන්තර ආයතන සමඟ දීර්ඝ වශයෙන් සාකච්ඡා කිරීමෙන් අනතුරුව එළඹුණු එකඟතාවලට අනුවයි. එම එකඟතාවලට අනුව නීතිමය ක්‍රියාමාර්ගවලට එළඹීමකින් තොරව ණය ආපසු ගෙවීමට සහන කාලයක් ගැනීමට හැකියාව ලැබී තිබෙනවා. එලෙස ගෙවීමට නියමිතව පවතින විදේශ ණය ප්‍රමාණය අමෙරිකානු ඩොලර් බිලියන 36ක්. පසුගිය කාලයේ ක්‍රියාත්මක කළ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සහ වරාය නගර ව්‍යාපෘතිය යන දෙකෙන්ම රටට ලැබුණු ආයෝජනය ඩොලර් බිලියන 2.8ක් පමණයි.
ඒ අනුව ඉදිරි වසර පහක කාලයේ ගෙවීමට පවතින ණය ප්‍රමාණයෙන් 37%ක්, වසර 6ත් -20ත් අතර 51%ක් සහ අනතුරුවත් තවත් 12% ගෙවීමේ වැඩපිළිවෙළක් සඳහා එකඟතාව පළවී තිබෙනවා. එතෙක් ජාත්‍යන්තර අධිකරණවල ශ්‍රී ලංකාවට එරෙහිව නඩු පැවරීම වළක්වා ගැනීමට හැකිවී තිබෙනවා. එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටින ජාත්‍යන්තර ආයතන මඟින් ගෙන ඇති එකඟතාවලට අනුව 2027 වන විට ඇතිවිය හැකි විදේශ සම්පත් පරතරය ඇ. ඩො. බිලියන 3911ක්. එය පියවීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විස්තීර්ණ ණය පහසුකම යටතේ ඇ.ඩො. මි. 329ක්, 2027 අය-වැය සැකසීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ඩොලර් මිලියන 600ක්, ලෝක බැංකුව විසින් ඩොලර් මිලියන 300ක්, ආසියානු සංවර්ධන බැංකුව ඩොලර් මිලියන 300ක් සහ ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් ලැබෙන වාසිය ඩොලර් මිලියන 1428 ලැබෙනු ඇති. ඒ අනුව 2027දී ඇති වන මිලියන 1500 හිඟය සඳහා ජාත්‍යන්තර වෙළෙඳපොළේ ස්වෛරීත්ව බැඳුම්කරයකින් 1500ක් ගත හැකියි. ඒ වන විට ජාත්‍යන්තර සංචිතය ඇ.ඩො.බිලියන 14කට වඩා වැඩි විය යුතුයි. මේ වන විට පවතින සංචිතය 4.4ක් පමණයි. මේ තත්ත්වය පිළිබඳ සංඛ්‍යා දත්ත සහිතව පසුගියදා මා විසින් කෘතියක් ද එළි දක්වනු ලැබුවා.
කිසිවකුටත් සරල ලෙස අර්ථ දක්වමින් මේ තත්ත්වයට විසඳුමක් ඉදිරිපත් කිරීමට හැකියාවක් නෑ. මේ පිළිබඳ වඩාත් විද්වත් සංවාදයක් ගොඩනැඟිය යුතුයි. කවුරුන් ආණ්ඩු බලය හෙබවුවත් කවර ක්ෂේත්‍රයක් ඉදිරියට ගෙන යෑමට වුවත් නොදැනුම්වත් කම තුළ අත්හදා බැලීම් කිරීමෙන් හැකියාවක් නෑ. මේ පිළිබඳ ආර්ථික විද්‍යාත්මක සත්‍යය එයයි. නමුත් මේ සත්‍ය ඒ ආකාරයෙන් හෙළිදරව් කිරීම විශාල ගැටලුවලට මුහුණ දීමට සිදු වන තත්ත්වයක් බවට පත්වී තිබෙනවා. එවැනි අමිහිරි අත්දැකීම්වලට මුහුණ දීමට මීට පෙර ද අපට සිදුවී තිබෙනවා. මහපොළොව තුළ ඇති ප්‍රායෝගික යථාර්ථය සමාජය වෙත වෙනස් ලෙස සමාජගත කිරීමෙන් විශාල වෛරයක් නූගත් සහ වෙනත් අරමුණු සහිත මිනිසුන් තුළ ඇතිවීම වැළැක්වීමට නොහැකියි. එලෙස වෛරයෙන් මුසපත් නොවන, මිනිසුන් සුවපත් කරන මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමට මෙවැනි වැඩසටහන් සුවිශාල මෙහෙවරක් ඉටු කරන බව මා විශ්වාස කරනවා.”
ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනුෂ පැල්පිට, එක්සත් ජාතීන්ගේ සංවර්ධන (UNDP) වැඩසටහනේ නියෝජ්‍ය නේවාසික නියෝජිත මාලින් හවිග්, චතුරංග හපුආරච්චි, මාධ්‍ය විශ්ලේෂක, එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන (UNDP), නීතිඥ ජගත් ලියනආරච්චි, මහින්ද පතිරණ, නාලක ගුණවර්ධන මහත්ම මහත්මීන් ඇතුළු විද්වතුන් පිරිසක් වැඩසටහනේ සම්පත් දායකයන් සහ ආරාධිතයන් ලෙස එක්ව සිටි අතර, රාජ්‍ය සහ පුද්ගලික මුද්‍රිත සහ විද්‍යුත් මාධ්‍ය ආයතන රැසක ප්‍රවෘත්ති අංශ මාධ්‍යවේදීන් සහ ආයතන ප්‍රධානීන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.