සමන්තභද්‍ර නාහිමියන් නව උත්පාදන හා නිර්මාණාත්මක කාර්යභාරයන් කිරීම පිළිබඳ රටට ආදර්ශයක් සපයපු යතිවරයාණන් වහන්සේ නමක් ලෙස අපි දකිනවා යැයි ජනමාධ්‍ය, ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (23) පස්වරුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් උමංදාව බෞද්ධ විශ්ව ගම්මානය තුළ ඉදි කළ රන් වේලායුද මණ්ඩපය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එංගලන්තයේ පදිංචි චින්තක මණ්ඩාවෙල මහතා විසින් මෙම රන් වේලායුද මණ්ඩපය ඉදිකිරීම සඳහා වැය වූ රුපියල් සත් කෝටියක වියදම දරා ඇත.

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය, ‍ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා

මීට වර්ෂයකට පෙර සමන්තභද්‍ර නාහිමියන් වහන්සේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා හා අප ඇතුළු විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් මෙම ඓතිහාසික ස්ථානය ඉදිකිරීමට මුල්ගල් තබනු ලැබුවා. වර්ෂයක් ගතවීමටත් පෙර දින 364ක් තුළ මහා විශ්ව කර්මයක් ලෙස මෙය ඉදිකළ අවසන් කළා. සමන්තභද්‍ර හිමියන්ගේ කැපවීම ද ඒ සඳහා මුල් වුණා.

උන් වහන්සේ කැලණිය විශ්වවිද්‍යාලයෙන් විද්‍යා අංශයෙන් අධ්‍යාපනය ලබල උගත් යතිවර ප්‍රතිභා ප්‍රභා සහිතව හිතනවාට වඩා වැඩිපුර යමක් සිතමින්, පෙනෙනවාට වඩා වැඩිපුර යමක් දකිමින්, ඇසෙනවාට වඩා වැඩිපුර යමක් අසමින් නව උත්පාදන හා නිර්මාණාත්මක කාර්යභාරයන් කිරීම පිළිබඳ රටට ආදර්ශයක් සපයපු යතිවරයාණන් වහන්සේ නමක් ලෙස අප දකිනවා.

ගෞතම බුදුරජාණන් වහන්සේ දේශනා කළා ‘සබ්බේ සත්තා ආරක්ඛිතා’ සියලු සත්වයෝ ආහාර මත රඳන නිසා උන් වහන්සේ මහ පොළොව පදනම් කරගෙන මුඩු බිම් සරු බිම් බවට පත් කරමින් විවිධ පර්යේෂණ කරමින් මේ සත්ත්වයාගේ බඩගින්න නිවන්නට පමණක් නොව ඒ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙන යෑම සඳහා විශාල වෙහෙස කර ක්‍රියාමාර්ගයක නිරත වෙනවා. විවිධ අවලාද, අපහාස, උපහාසවලට ඉන්ද්‍රඛීලයක් ලෙස නොසැලී සිටිමින් මේ රටට වැඩ කරන්න ජාතියට අගයක් එකතු කරන්න, රටේ වැඩි ජනතාවකට ස්වකීය නිෂ්පාදන ක්‍රියාවලිය ශක්තිමත් කරන්න අත හිතදීම් රාශියක් සිදු කරනවා. ඒ අනුව අපේ රට තුළ ආගමික, ආර්ථික, සංස්කෘතික මෙහෙවරයන් සඳහා නව නිර්මාණාත්මක දායකත්වයක් සැපයීමෙන් උන් වහන්සේ ඔප්පු කර තියෙනවා. ‘නත්ති ජාතන් සිද්ධානං’ උපන්නෙකුට කළ නොහැක්කක් නොමැත. යතිවර ප්‍රතිභා ප්‍රභා සහිත ගෞරවනීය ස්වාමීන් වහන්සේට මේ රටට මෙවන් ආදර්ශයක් ඉටු කිරීමට ශක්තිය ධෛර්යය වාසනාවත් දීර්ඝායුෂත් ලැබේවා යයි ද අමාත්‍යවරයා වැඩි දුරටත් පැවසීය.

මෙම අවස්ථාවට සිරි සමන්තභද්‍ර නාහිමියන් ඇතුළු ගරුතර මහා සංඝරත්නය, වයඹ පළාත් ආණ්ඩුකාර ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන යූ. කේ. සුමිත් උඩුකුඹුර, රොෂාන් රණසිංහ, රුහුණු කතරගම මහා දේවාලයේ බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර මහත්වරුන්, විදේශ තානාපතිවරුන්, වන්නිල ඇත්තෝ ඇතුළු පිරිසක් එක් විය.