ඇමැති අතින් විශේෂ සමරු මුද්දරයක් සහ මුල්දින කවරයකුත් එළිදකී

ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය බව මැන්ඩෙලා වරක් කීවෙත් ඒකයි

වසර 100ක් පිරෙන ශ්‍රී ලංකාවේ ප්‍රථම මුස්ලිම් බාලිකාවේ විද්‍යා හා තාක්ෂණික විෂය ධාරා ආරම්භ කළ යුතුයැයි ප්‍රවාහන,මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

ශ්‍රී ලංකාවේ පළමු මුස්ලිම් බාලිකා විදුහල වන බේරුවල මරදාන අල්ෆාසියාතුල් නශ්‍රියා මුස්ලිම් බාලිකා මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවය සහ ඒ වෙනුවෙන් නිකුත් කරන ලද විශේෂ සමරු මුද්දරය සහ මුල්දින කවරය එළිදැක්වීම ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් විද්‍යාලයීය ප්‍රධාන ශාලාවේදී පැවැත්විණි. එම උත්සවයේදී ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

1924 වසරේ ආරම්භ කෙරුණු විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් රුපියල් 25ක් වටිනා මුද්දරයක් සහ මුල් දින කවරයක්‌ එළිදැක්වීම ද මෙහිදී සිදුවිය.

එහිදී ඇමැතිවරයා මෙසේද පැවසීය.

Òශ්‍රී ලංකා ඉතිහාසයේ ප්‍රථම මුස්ලිම් ජනාවාසය වූ ප්‍රථම ඉස්ලාමීය දේවස්ථානය පිහිටි ඓතිහාසික බේරුවල පුරවරයේ ලංකාවේ පළමු ඉස්ලාමීය බාලිකා විද්‍යාලයේ සියවස් සමරුව වෙනුවෙන් සමරු මුද්දරයක් නිකුත් කිරීම ඉතාමත් සුවිශේෂී අවස්ථාවක්.

මෙරට ව්‍යවස්ථාදායකයේ, පාර්ලිමේන්තු කතානායක ධූරයේ වූ වගකීම දැරූ අප ගරු කරන මුස්ලිම් ජාතික කතානායකවරුන් දෙදෙනෙකු අපට මුණ ගැසෙනවා. ඉමිතියාස් බාකීර් මාකර් මහතාගේ පියා බාකිර් මාකර් මහතා සහ එම්. එච්. මොහොමඩ් මහතා ඒ කථානායකවරුන් ඉතාමත් උසස් පාර්ලිමේන්තු සම්ප්‍රදායක් ඇති කිරීමට කටයුතු කළා. වෛරයෙන් තොරව සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු ජන කොටස් සමානාත්මතාව මත පදනම්ව එකම රටක දරුවන් ලෙස සිතීමේ පාලම තැනීමට ඉමිතියාස් බාකිර් මාකර් මහතා ද විශාල මෙහෙවරක් ඉටුකළා.

ලෝකය වෙනස් කළ හැකි බලවත්ම ආයුධය අධ්‍යාපනය බව නෙල්සන් මැන්ඩෙලා වරක් පවසා තිබෙනවා. වසර සියයක් සපිරෙන මේ පාසල ඒ ඉතිහාසය පුරාවටම මුහුණ දුන් අධ්‍යාපනයේ ප්‍රධානතම අර්බුදයක් වූයේ ගුරුවරුන් ඇතුළු පහසුකම්වල හිඟයයි. බොහෝ ගම්බද ප්‍රදේශවල සිසුන් ගුරුවරුන්ගේ හිඟය ඇතුළු තත්ත්වයන් මත උසස් පෙළ සඳහා වැඩි වශයෙන් යොමු වුණේ කලා අංශයෙන්. ඒ අනුව විශ්ව විද්‍යාලවලින් බිහි වූ කලා උපාධිධාරීන්ට සරිලන රැකියා වෙළෙඳපොළක් පැවතුණේ නැහැ.පවතින රැකියාවලට ගැළපෙන උගතුන් බිහි වුණේ නැහැ. තමන් ලද අධ්‍යාපනයෙන් ජීවන උපායක් සලසා ගැනීමට නොහැකි වූ බොහෝ තරුණ පිරිස් තම මව්පියන්ට, සමාජ ක්‍රමයට, රටට වෛර කරන පිරිසක් බවට පත්වුණා. ඒ වෛරය පුපුරා යෑම තුළින් බොහෝ ප්‍රචණ්ඩකාරී ක්‍රියාමාර්ගවලට ඔවුන් පෙළඹුණා. නූගත් සමාජයක වෛරය පැතිරවීම ඉතාමත් පහසුයි. නිදහසින් පසු දශක තුනකට අධික කාලයක් එවැනි යුදමය වාතාවරණයක අත්දැකීම් වර්තමාන සමාජයේ සියලු දෙනාට පවතිනවා. ඒ තත්ත්වය බිහිවීමට ප්‍රධාන වග උත්තරකරුවකු වන්නේ පැවති අධ්‍යාපන ක්‍රමය බව හිටපු අධ්‍යාපන ඇමැතිවරයකු ලෙස මා විශ්වාස කරනවා.

මෙහි තත්ත්වය පිළිබඳව අවබෝධයක් ඇතිව මා අධ්‍යාපන ඇමැතිවරයා වශයෙන් අභියෝග රාශියක් මධ්‍යයේ උසස් පෙළට තාක්ෂණවේදය විෂය මාලාව ශ්‍රී ලංකාවේ ආරම්භ කිරීමට පියවර ගත්තා. ඒ වෙනුවෙන් පහසුකම් සහිත තාක්ෂණ විද්‍යාගාර දහසක් දිවයින පුරා සෑම ප්‍රදේශයකම ආරම්භ කළා. දිවයින පුරා විශ්ව විද්‍යාලවල තාක්ෂණ පීඨ දහතුනක් මේ වන විට ඇති වී තිබෙනවා. සිසුන් අතර වඩාත්ම ජනප්‍රිය උසස් පෙළ විෂය ධාරාව වන්නේ තාක්ෂණවේදයයි. ඒ අනුව දැනට කලා සහ වාණිජ විෂය ධාරාවන් පමණක් උසස් පෙළ අංශයෙන් පැවැත්වෙන මේ විද්‍යාලයට ඉදිරි වසරේ තාක්ෂණ වේදය විෂය ධාරාව ආරම්භ කිරීමට අවශ්‍ය දායකත්වය අප ලබාදෙනවා. ඒ සඳහා අවශ්‍ය වන මුදල් සහ ගුරුවරුන් සොයා ගැනීම සඳහා මව්පියන්ගේද දායකත්වය ලැබෙනු ඇති බව මා විශ්වාස කරනවා.Ó විද්‍යාලයේ සියවස් සමරු උලෙළේ ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස එක් වූ ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සහ අනෙකුත් ආරාධිත අමුත්තන් වෙත විශේෂ සමරු තිළිණ පිරිනැමීමද මෙහිදී සිදුවිය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ඉමිතියාස් බාකීර්, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ප්‍රසන්න සංජීව,කළුතර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ අජිත් වික්‍රමාරච්චි, බේරුවල ප්‍රාදේශීය ලේකම් රංජන් පී. පෙරේරා, විදුහල්පතිනි එම්.එම්. මස්නාවියා මහත්ම මහත්මීන්ද, ආචාර්ය මණ්ඩලය, සිසුවියන් සහ මව්පියන්, ආදි ශිෂ්‍යාවන් ඇතුළු විශාල පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.