මානව සංහතියේ ප්රගමනය වෙනුවෙන් සුවිශේෂී මෙහෙවරක් සිදුකළ ගුවන් විදුලියේ නිර්මාතෘවරයා ලෙස සැලකෙන ඉතාලියානු සම්භවයක් සහිත භෞතික විද්‍යාඥයකු වන ගුග්ලිමෝ මාකෝනි මහතාගේ 150 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු වැඩසටහනක් ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථා පරිශ්‍රයේදී පැවත්විණි.
මෙයට සමගාමීව ගුග්ලිමෝ මාකෝනි මහතාගේ 150 වැනි ජන්ම සංවත්සරය වෙනුවෙන් විශේෂ සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් එළිදැක්වීම අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන්, කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ සහ ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගීත්වයෙන් සිදු කෙරිණි.
වර්ෂ 1930 දශකයේ මාර්කෝනි සංචාරය කළ රටක් වන ශ්‍රී ලංකාව සහ ඉතාලිය අතර පවතින ශක්තිමත් බැඳීම සහ දිගු කාලීන මිත්‍රත්වය සැමරීමේ අවස්ථාවක් ද මෙම මුද්දරය නිකුත් කිරීමෙන් සනිටුහන් කරනු ලබයි.
රුපියල් පනහක වටිනාකමකින් යුතු මෙම මුද්දරය සුලක්ෂිකා රත්නායක විසින් නිර්මාණය කර තිබේ.
මෙම වැඩසටහනේ ප්‍රධාන දේශනය ගුග්ලිමෝ මාකොනි පදනමේ සභාපති ජුලියා ෆෝචුනාටෝ මහත්මිය විසින් සිදු කරන ලදී.
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, කථානායක මහින්ද යාපා අබේවර්ධන, ශ්‍රී ලංකාවේ ඉතාලි තානාපති දමියානෝ ෆ්රෑන්කෝවික් (Damiano Francovigh)මහත්වරුන්, පාර්ලිමේන්තු මැති ඇමැතිවරුන්, ගුවන් විදුලි සංස්ථාවේ සභාපති හඩ්සන් සමරසිංහ ඇතුළු නිලධාරීන්, ශ්‍රී ලංකාවේ ඉතාලි තනාපති කාර්යාලය නියෝජනය කරන රාජ්‍ය තාන්ත්‍රික නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.