නවතම පුවත්

කඩාවැටීමට ලක්ව ඇති මෙරට තේ කර්මාන්තය නැවත නඟාසිටුවීමට විධිමත් සැලැස්මක් ඔස්සේ පියවර ගන්නා බවත්, අපනයන ආර්ථිකයක් කරා යන ගමනේ දී එය ඉතා වැදගත් බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
අතීතයේදී මෙරට තේ කර්මාන්තයේ පැවති සශ්රිකත්වය යළිත් උදා කර ගත යුතු බව ද ජනාධිපතිවරයා සඳහන් කළේය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30) පස්වරුවේ බත්තරමුල්ල වෝටර්ස් ඒජ් හෝටලයේ පැවති ශ්රී ලංකා තේ කර්මාන්ත ශාලා හිමියන්ගේ සංගමයේ 32 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා,
අද තේ කර්මාන්තය පිළිබඳ ඔබේ සභාපතිවරයා ඉදිරිපත් කළ වාර්තාවට මම සවන් දුන්නා. ඔහු කනගාටුදායක කතාවක් ඉදිරිපත් කළා. මේ වන විට අපේ රට මුහුණදී සිටින තත්ත්වය දෙස බැලීමේදී අපට එය අවබෝධ කරගත හැකියි. දැන් මගේ කණගාටුදායක කතාව ඉදිරිපත් කිරීමට මට අවස්ථාව ලැබී තිබෙනවා. මොකද මම ටයිටැනික් නෞකාව භාරගෙන තිබෙන්නේ අයිස් කුට්ටියේ ගැටීමෙන් අනතුරුවයි. ඒ නිසා ඔබට සිතා ගත හැකි මම කොතැනින්ද ආරම්භ කළ යුත්තේ කියා. හැම දෙයක්ම අගාධයට වැටිලයි තිබුණේ. අපි බංකොලොත් බව ප්රකාශයට පත් කළා.
අපිට දැන් මොනවද කරන්න තිබෙන්නේ. පළමුව අනෙකුත් අපහසුතා තිබියදී ජනතාවට ප්රමාණවත් තරම් ආහාර තිබේද යන්න පිළිබඳව අපි සහතික විය යුතුව තිබෙනවා. අප විසින් ප්රකාශ කරන ලද මෙම බංකොලොත්භාවය සමඟත් අපේ ආර්ථිකය නතරවීමක් සිදුව තිබෙන අතර එහිදී උද්ධමනය, බංකොලොත් භාවය මේ සෑම දෙයක්ම අපගේ ආර්ථිකයට සිදුව තිබෙනවා.
අපි කොහොමද නැවත අපේ ආර්ථිකය ගොඩනඟන්නේ. මම සිතුවා ඒ වෙනුවෙන් අපි දැන් සිදුකරමින් සිටින ක්රියාවලිය ඔබට පැහැදලි කිරීමට. ප්රථමයෙන්ම අප කළ යුතු වන්නේ විදේශ විනිමය ආරක්ෂා කර ගැනීමයි. එහිදී ආනයන සීමා කළ යුතුයි. එමගින් අපිට ඉන්ධන, පොහොර සහ ඖෂධ මිලදී ගත හැකියි.
මුලදී මෙම ක්රියාවලිය සාර්ථක නොවුණත් එහි යහපත් තත්ත්වයක් දැන් දක්නට ලැබෙනවා. අපේ ආදායම අඩුවී ඇති නිසා අපේ බිල්පත් ගෙවීම සහ අනෙක් අවශ්යතා සපුරා ගැනීම අපහසු වී තිබෙනවා. අපි කරුණු දෙකක් මතක තබා ගත යුතුයි. මිලියන 1.7ක් වන රාජ්ය සේවකයන්ගේ වැටුප් ගෙවීම සහ ලබාගෙන ඇති ණය ගෙවීම් සිදු කිරීම. එය මතක තබාගෙනයි අපි කටයුතු කළ යුතු වන්නේ.
අපි දැන් බංකොලොත් බව ප්රකාශ කර ඇති බැවින් අපේ පළමු කටයුත්ත විය යුත්තේ මෙම බංකොලොත් ලේබලය ගලවා දැමීමට ප්රමාණවත් පියවර ගැනීමයි. ඒ අනුව ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ සාකච්ඡා කිරීමට සිදු වෙනවා. සෑම රටක්ම, සෑම ආයතනයක්ම අපිට දන්වා සිටියේ ජාත්යන්තර මූල්ය අරමුදලට ගොස් යම් සැලැස්මක් සකස් කර ගන්නා ලෙසයි. අපට 2019 වසර වන තෙක් එවැනි සැලැස්මක් තිබුණා. නමුත් පසුව එය අවලංගු වුණා. එම නිසා ජාත්යන්තර මූල්ය අරමුදල සමඟ නැවත සාකච්ඡා ආරම්භ කරන්න අපිට සිදු වුණා. අපිට වෙනත් විකල්පයක් තිබුනේ නැහැ. මේ වසරේ අපේ ආර්ථික වර්ධනය වේගය ඍන 8ක් පමණ වෙනවා. පසුගිය වසරේ තිබුනෙත් ඍන අගයක්, ලබන වසරේ එය ඍන 3ක අගයක් ගනු ඇතැයි පුරෝකථනය කර තිබෙනවා.
නමුත් කනගාටුවට කාරණය තමයි එම පුරෝකථනය සිදුකරන අවස්ථාවේ සියලුදෙනාම සිතුවේ ලෝක ආර්ථිකය හොඳ මට්ටමක තිබෙයි කියලා. නමුත් දැන් ගෝලීය ආර්ථිකය අයහපත් අතට පත්වනු ඇති බවට ඇඟවීම් ලැබී තිබෙනවා. අපිට එහි බලපෑම දැනෙන්නේ කොහොමද. යුරෝපයේ සහ අනෙක් රටවල උද්දමනය ඉහළ යාම නිසා ජීවන වියදම වැඩිවෙනවා. එවිට අපි එම රටවලට සිදු කරන ඇඟළුම්, තේ, කෝපි අපනයන අඩුවෙනවා. අපි මෙයත් අවබෝධ කර ගත යුතුයි.
අපි ඉදිරි වසර දෙක කළමනාකරණය කරත යුතු වෙනවා. අපේ ආදායම 15% සිට 8.5% දක්වා අඩු වුණා. ඒ නිසා අපි නැවතත් අපේ ආදායම 15% ක් දක්වා වැඩි කර ගත යුතුයි. එම ඉලක්ක අපි 2026 වසර වන විට සපුරාගත යුතුයි.
මෙම සැලැස්මට අපි වසර 04ක් යොදා ගත්තා. මොකද මෙය වසර දෙකකින් සිදු කිරීමට ගියොත් අපිට ඇති වන පීඩනය දරාගන්න පුළුන් වෙයි කියා මම හිතන්නේ නැහැ. අපි වසර 04ක් ලබා ගැනීම සුදුසුයි කියා සිතන්නේ 2023 වසර ශ්රී ලංකාවට පමණක් නොව මුළු ලෝකයේම ආර්ථිකය අයහපත් වන බව පෙනෙන්න තිබෙන නිසයි.
පළමුව අපට මුදල් උපයා ගැනීමට සිදු වෙනවා. ඒ සඳහා කෘෂිකර්මාන්තය ද ඇතුළුව හැම දෙයකින්ම බදු අය කිරීමට අපට සිදු වුණා. ඒ හැර අපට වෙනත් මගක් තිබුණේ නැහැ. 2019දී බදු ගෙවන ප්රමාණයේ අඩුවක් සිදු වුණා. එවිට ආදායම අඩු වුණා. බදු ආදායම 2019ට පෙර පැවති මට්ටමට ගෙන ඒම සඳහා අපි දැන් උත්සාහ කරමින් සිටිනවා.
2019 වසරේ බදු අය කිරීම දෙස බලන විට දැන් එය තනි ඉලක්කමේ අගයක් බවට පත් වෙලා. නමුත් 2020 වසර සමඟ බලන විට එහි විශාල පරතරයක් තිබෙනවා. නමුත් අපි දැන් පීඩාවට පත් වෙලා. බදු පමණක් නොවේ, අපේ රුපියල අවප්රමාණය වී පොලී අනුපාත ඉහළ ගොස් තිබෙනවා.
මේ පසුබිම තුළ තමයි අපිට කටයුතු කිරීමට සිදුවී තිබෙන්නේ. අද සාමාන්ය ජනතාවට ජීවත්වීම අපහසු වී තිබෙනවා. එවන් පසුබිමක් තුළ තමයි අපිට ඉදිරියට යාමට සිදුව තිබෙන්නේ.
අපි ණය ප්රතිව්යුහගත කිරීම සිදු කළ යුතුයි. ඒ සඳහා අපිට ණය ලබාදුන් අය සමඟ සාකච්ඡා කිරීමට අපිට සිදු වෙලා තිබෙනවා. ඒ සඳහා මුලින්ම මම බටහිර සහ ජපාන ණය දෙන්නන්ගෙන් සමන්විත පැරිස් සමාජය සමග සාකච්ඡා ආරම්භ කළා.
අපිට ණය ලබාදෙන ප්රධාන රටවල් 03න් එක් රටක් වන ජපානය තමයි පැරිස් සමාජයේ ඉන්නේ. අපිට ණය දෙන අනෙක් ප්රධාන රටවල් දෙක වන චීනය සහ ඉන්දියාව ඒ අතර නැහැ. චීනය ප්රථමයෙන්ම බංකොලොත්භාවය කළමනාකරණය සම්බන්ධයෙන් කටයුතු කළේ සැම්බියාව සමඟයි. මම හිතන්නේ ඉන්දියාව පළමුව එය සිදු කරන්නේ ශ්රී ලංකාව සමගයි. මම මේ වන විටත් ජපානය සමඟ සාකච්ඡා ආරම්භ කරලයි තිබෙන්නේ. ඉන් පසුව ඉන්දියාව සහ චීනය සමඟත් සාකච්ඡා කර තිබෙනවා. එකිනෙකාට බලපාන ද්විපාර්ශ්වික ගැටලු පිළිබඳ සාකච්ඡා කරන අතරම එය විසඳා ගන්නේ කෙසේද යන්න පිළිබඳ පොදු වේදිකාවකට පැමිණිය යුතුයි.
අපිට මෙම වැඩපිළිවෙළ ක්රියාත්මක කර නොවැම්බර් මාසය මැද වන විට ගිවිසුමකට එළැඹ, දෙසැම්බර් මාසය මැද වන විට ජාත්යන්තර මූල්ය අරමුදලට යාමට හැකි වුවහොත් ඉතා වාසිසහගත තත්ත්වයක් උදාකරගත හැකියි. චීනයේ පක්ෂ සම්මේලනයෙන් පසුව මේ පිළිබඳ අවධානය යොමුව තිබෙන නිසා මෙය සාර්ථක කර ගැනීමට පුළුවන් වෙයිද කියා මම දන්නේ නැහැ. එසේ නොවුණහොත් ජනවාරි මාසය වන විට එය සාර්ථක කර ගැනීමට අපි ඉලක්කසහගතව කටයුතු කළ යුතුයි.
ඒ අනුව ඉහළ ආදායමක් ලබාගෙන ඉදිරියට යා හැකි බව අපි පෙන්විය යුතුයි. අනතුරව ලබන වසරේ වඩා හොඳ ආදායම් තත්ත්වයත් තිබෙන බව අපි සහතික විය යුතුයි.
මේ වන විට බොහොමයක් සංවිධාන සහ රටවල්වලින් අපිට සහාය ලැබෙන්න පටන් අරගෙන තිබෙනවා. සමහර රටවල් අපිට සෘජුව උදව් කර තිබෙන අතර තවත් සමහර රටවල් සංවිධාන මගින් සහාය ලබා දී තිබෙනවා.
ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව සහ ආහාර සහ කෘෂිකර්ම සංවිධානයට අපි ස්තූතිවන්ත වෙනවා අපිට ප්රමාණවත් තරම් පොහොර ලබාදීමට කටයුතු කිරීම සම්බන්ධව. ඇමරිකාව පවා අපට සහාය ලබා දී තිබෙනවා. ඒ නිසා පොහොර ගැටළුව විසඳාගැනීමට අපිට හැකි වුණා. කිසිවෙක් අපිට ඉන්ධන සඳහා මුදල් සපයා දෙන්නේ නැහැ. ඒ නිසා පොහොරවලට වැය කෙරෙන විදේශ විනිමය අපට ඉන්ධන ලබා ගැනීම සඳහා යෙදවීමට හැකියි.
අද වන විට ඉන්ධන මිල අඩු වී තිබුණත් යුක්රේන යුද්ධය නිසා ශීත ඝෘතුවේදී ඉන්ධන මිල ඉහළ යන බවට සියලුදෙනාගේ විශ්වාසයක් තිබෙනවා. මින් පසුව අපිට මුහුණදීමට සිදුවන අභියෝගය එයයි. නමුත් අපිට පොහොර තිබෙන නිසා ප්රථමයෙන් අපි සිදුකළ යුත්තේ කෘෂිකර්මය නඟාසිටුවිමයි. එය වී ගොවිතැනින් ආරම්භ කර තේ සහ අනෙකුත් බෝගවලට ව්යාප්ත කළ හැකියි.
ඒ නිසා මෙය එක කොටසක් පමණි. ලබන වසරේ මාර්තු, අප්රේල් වනවිට මහ කන්නයේ හොඳ අස්වැන්නක් ලබාගතහොත් රටේ ආර්ථිකය ස්ථාවර කරන්න එය මනා පිටිවහලක් වෙනවා. මේ අතර අපිට එකඟතාවන්ට එන්න පුළුවන් වුණොත් අනෙක් රටවල සහාය අපිට හිමි වෙනවා.
තෙවනුව අපි සංචාරක කර්මාන්තය දියුණු කළයුතුව තිබෙනවා. ලබන වසරේ දෙසැම්බර් මාසය වනවිට සංචාරකයින් සැලකිය යුතු ප්රමාණයක් මෙරටට ගෙන්වා ගැනීමට ඉලක්ක සහගතව කටයුතු කළහොත් මෙය සාර්ථක කරගත හැකියි. අවසානයේදී විදේශ මූල්ය සංචිත අවශ්ය වෙනවා. දැන් එය වැඩිකරගත හැකි ක්රමයක් නැහැ. අපි අනෙක් සියලුම ක්රම අහිමි කරගෙන තිබෙන නිසා අපට විදේශ සංවිත වැඩි කරගත හැකි එකම ක්රමය වන්නේ අපේ ව්යවසායන් ඩොලර්වලට අලෙවි කිරීමයි. එමගින් ඩොලර් බිලියන 4ක් පමණ සංචිතවලට ඇතුළත් කරගැනීමට හැකි වනු ඇති අතර එමඟින් රුපියල තවදුරටත් ශක්තිමත් වෙනවා. අපි සම්පූර්ණයෙන්ම වෙළඳ ආර්ථිකයක් සහ ඉහළ වර්ධන වේගයක් සහිත ආර්ථිකයක් වෙත ගමන් කරනවනම් පමණයි අපට මේ සියල්ල කළහැකි වනුයේ.
ඔබේ ක්ෂේත්රයේ ගැටලු තිබෙන බව මම දන්නවා. ගොඩනැඟිලි ක්ෂේත්රය වැනි සියලුම ක්ෂේත්රවල ගැටලුකාරී තත්ත්වයන් ඇති වී තිබෙනවා. මට ඒ ගැන අවබෝධයක් තිබෙනවා. ඒ නිසා තමයි පොලි අනුපාතය ක්රම ක්රමයෙන් පහළට දමන්න උත්සාහ කරන්නේ.
උද්ධමනය ඉහළ අගයකට පැමිණ තිබෙන බව මහ බැංකු අධිපතිතුමා අපිට දැනුම් දී තිබෙනවා. ලබන වසරේ පෙබරවාරි මාර්තු වන විට පොලී අනුපාතයන්ගේ අඩුවක් දැකගන්න පුළුවන් වේවි. ඒ නිසා අපි ගන්නා මෙම ක්රියාමාර්ග සමග ලබන වසර මැද වන විට පොලී අනුපාතයන් අඩුවිමේ සහනය ජනතාවට ලබාදීමට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.
පසුගිය වසර දෙක තුළ රුපියල් ට්රිලියන 3.2ක මුදල් අච්චු ගහලා තිබෙන බව ඔබ මතක තබා ගත යුතුයි. ඒ නිසා නිෂ්පාදනය ඉහළ දැමීම හැර වෙනත් කෙටි මාර්ගයකින් මේ ප්රශ්න විසඳා ගැනීමට අපට පුළුවන්කමක් නැහැ.
ඔබට සහාය දැක්විය යුත්තේ කෙසේද යන්න පිළිබදව අපි අවධානය යොමු කර තිබෙනවා. අපි ප්රමාණවත් පරිදි පොහොර ලබාගෙන තිබෙනවා. ඒ වගේම පොහොර සැපයුම්කරුවන්ට ගෙවීම් කරන්න තිබෙනවා. තවම ඒ සඳහා මුදල් ලැබී නැහැ. නව බදු එකතු කිරීමෙන් මෙම මුදල් ලබාගත හැකිවේවි යැයි අපි බලාපොරොත්තු වෙනවා.
අපි තේ කර්මාන්තය සංවර්ධනය කළයුතුයි. ඇමැතිතුමා හා රාජ්ය ඇමැතිතුමා මේ සම්බන්ධයෙන් කටයුතු කරන බවට මම සහතික වෙනවා. ඔවුන් මේ සඳහා කැපවීමෙන් කටයුතු කරනවා. තේ කර්මාන්තයට උදව් කරනවා කියන්නේ අපි අපිටම උදව් කරනවා කියන එකයි. ලබන වසරේදී අපි අනෙක් නිෂ්පාදනත් වර්ධනය කිරීමට බලාපොරොත්තු වෙනවා. රුපියල ස්ථාවර කරන අතරතුර මේ වැඩපිළිවෙළ අපි ක්රියාත්මක කර තිබෙනවා. මේ ආර්ථික මොඩලය සමඟ අපි ඉදිරියට යා යුතුයි. අපනයනය මත පදනම් වූ ආර්ථිකයකට අපි කඩිනමින් ගමන් කළයුතු වෙනවා.
ඔබලට පොහොර අවශ්ය බව අපි දන්නවා. තේ කර්මාන්තයේ දී ප්රතිරෝපණය ඉතා වැදගත් වෙනවා. තේ කර්මාන්තයේ කඩාවැටීමට ප්රධාන හේතුව ප්රතිරෝපණය නොමැති කමයි. එයින් හෙක්ටයාරයකට ලැබෙන අස්වැන්න අඩුවෙලා යනවා. අද වන විට වියට්නාමය පවා අපිව අභිබවා ගිහින් තිබෙනවා.
අද අපි කෘෂිකර්මාන්තය නවිකරණය කිරීමේ වැඩසටහනකට යොමු වෙලා තිබෙනවා. එයින් තේ කර්මාන්තයට විශාල වටිනාකමක් ලැබේවි. තරගකාරී වගේම දියුණු තේ කර්මාන්තයක් යළිත් රටේ ඇති කළ යුතුයි. ගුණාත්මකභාවයෙන් ඉහළ තේ නිෂ්පාදනය කෙරෙහි අපි අවධානය යොමු කළ යුතුයි. රටේ ඉහළ හා මධ්යම ප්රදේශවල වැවෙන තේ වුණත් ඒවායේ ගුණාත්මකභාවය අඩු නම් තරගකාරිත්වයක් නැහැ. ඒ නිසා තේ කර්මාන්තය දියුණු කළ යුතුයි. කර්මාන්තශාලා නවීකරණය කළයුතුයි.
ඇතැම් තේ කර්මාන්ත ශාලා හිමිකරුවන්ගේ සේවය ඉතා හොඳ මට්ටමක තිබෙනවා. නමුත් ඇතැමුන් ක්ෂේත්රයට අගෞරවයක් වන අන්දමින් කටයුතු කරනවා. තේ කර්මාන්තය ප්රතිව්යුහගත කර ඔබේ සහයෝගය ඇතුව ඉදිරියට යන වැඩපිළිවෙළක් අපි ක්රියාත්මක කළ යුතුයි. මෙය ඉටු කරගන්නා අන්දම පැහැදිලි නැතත් ටයිටැනික් නෞකාව ගැටුණු හිමකන්දෙන් ඉවතට ගන්න මම උපරීම උත්සාහ කරනවා.
මෙහි කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්ය රමේෂ් පතිරණ, ශ්රි ලංකා තේ කර්මාන්තශාලා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත්, බවර් සමාගමේ ප්රධාන විධායක නිලධාරී Rolf Blazer යන මහත්වරු අදහස් දැක්වූ අතර වැවිලි කර්මාන්ත රාජ්ය අමාත්ය ලොහාන් රත්වත්තේ, එක්සත් ජාතික පක්ෂ සභාපති පාර්ලිමේන්තු මන්ත්රී වජිර අබේවර්ධන, කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්යාංශයේ ලේකම් බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති, ශ්රී ලංකා තේ මණ්ඩලයේ සභාපති නිරාජ් ද මෙල් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

බ්‍රිතාන්‍ය සහ ශ්‍රී ලංකාව අතර පවතින සබඳතා එරට නව අගමැතිවරයා ලෙස පත් වු රිෂී සුනක් මහතා යටතේ තවදුරටත් ශක්තිමත් වනු ඇතැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පල කරයි. බ්‍රිතාන්‍ය නව අගමැතිවරයාට සුබ පැතුම් පණිවුඩයක් යවමින් ඔහු ඒ බව සදහන් කර තිබේ. සුනාක් මහතා සතු අතිවිශාල අත්දැකීම් අගමැති ධුරයේ වගකීම් ඉටුකිරීමේදී බෙහෙවින් ප්‍රයෝජනවත් වනු ඇතැයි වික්‍රමසිංහ මහතා කියයි. ශ්‍රී ලංකාව සහ බ්‍රිතාන්‍ය සම්ප්‍රදායික ඉතිහාසයක් බෙදා ගන්නා රටවල් දෙකකි. නොබැදි රටවල් අතර පවතින ගෝලීය බ්‍රිතාන්‍ය ප්‍රතිපත්ති හා බ්‍රිතාන්‍යයේ නව ප්ලැටිනම් හවුල්කාරීත්වය මගින් දෙරට අතර ඇති සබඳතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමා සිය සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් සදහන් කර තිබේ.

 
හින්දු බැතිමතුන් මහත් භක්තියෙන් සමරන වර්ණවත් සංස්කෘතික මංගල්‍යයක් වූ දීපාවලි උත්සවය නිමිත්තෙන් සුබ පැතුම් පිරිනැමීමට ලැබීම පිළිබඳ මම ඉතා සතුටු වෙමි.
 
හින්දු භක්තිකයන් විසින් කෝවිල, මහ මන්දිරය මෙන්ම පැල්පත ද ගෙවතු සේම මංමාවත් ද සුවහසක් පහන් ආලෝකයෙන් ඒකාලෝක කිරීම දීපාවලි දිනයේ දී සිදු කරන අතර අවිද්‍යාවේ අඳුර දුරු කර ආලෝකයේ දීප්තිය ලබා ගැනීම එහි අරමුණයි.
 
අඳුර පලවා හරින්නට හැකි වන්නේ ආලෝකයට පමණයි. එසේනම් ඉතිහාසයේ නොවූ විරු අභියෝගවලට මුහුණදී සිටින මාතෘ භූමිය වෙළාගෙන ඇති ඝන අඳුර පලවා හරින්නට අප සියලුදෙනා එක්ව සාමුහික වැඩපිළිවෙළකට එළැඹිය යුතුය.
 
දීපාවලියේ ඉගැන්වීම වන සාමය, සහෝදරත්වය සහ එකමුතුකම එහිදී ඉතා වැදගත් වන අතර ජාති, ආගම්, පක්ෂ, පාට බේදයකින් තොරව ආලෝකය පරම අපේක්ෂාව කර ගනිමින් රට ගොඩනැඟීම නම් පහන් සිළුව වටා අප සියලුදෙනා සාමුහිකව අත්වැල් බැඳ ගනිමු යැයි මෙම දීපාවලි දිනයේ දී මම සියලු දෙනාගෙන් ඉල්ලා සිටිමි.
 
මෙවර දිපාවලි සැමරුම සැමගේ සිතුම් පැතුම් ඉටුවන සහ ශ්‍රී ලංකාව සෞභාග්‍යමත් ජාතියක් බවට පත්කරන යහපත් අනාගතයක ආරම්භය වේවායි ප්‍රාර්ථනා කරන අතර සියලුම හින්දු භක්තිකයින්ට සුබ දීපාවලී සැමරුමකට සුභාශීංසන එක් කරමි.
 
 
 
 
 
 
 
 
 
 

ලොව පුරා හින්දු බැතිමතුන් අද දිනයේ දීපාවලී උළෙල සමරනවා. එය ඔවුන්ගේ අලුත් අවුරුදු ආරම්භයක් බවට පත්වනවා.පුද පූජා පැවැත් වෙනවා. තෑගි බෝග හුවමාරු කෙරෙනවා. අද දිනයේ පැවැත්වෙන්නේ  ඔවුන් අතර අන්තර් සහයෝගීතාවය සහජීවනය වර්ධනය කෙරෙන ජාතික උත්සවයක්.පසුගිය කාල පරිච්ඡේදය තුළදී අප රටේ ජාති, ආගම්, කුල, වර්ණ, ලිංග භේද අනුව බෙදී වෙන්වී යන්නට උත්සාහ කළ ජාතියක්‌ දීපවාලි උත්සවය පදනම් කරගෙන වඩ වඩාත් අඳුරෙන් ආලෝකයට පැමිණ, ශ්‍රී ලාංකීය සියලුම ජනතාවට  කැමති තැනක ජීවත් වීමට හා ජීවනෝපාය සලසා ගැනීමටත් රට තුළ බියෙන් හා සැකයෙන් තොරව සාමකාමීව සහයෝගයෙන් ජීවත් වන්නටත් හැකියාව ලැබෙන සුභ දිපාවලි දිනයක් වේවායි මම ප්‍රාර්ථනා කරනවා.
 මාධ්‍ය ඒකකය
ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය අමාත්‍යාංශය.

ශ්‍රී ලංකාවේ සිදු කළ කොළ ඇපල් වගාවක මුල් ඵලදාව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත පිළිගැන්වීම අද (20) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී සිදු විය.

එම්.පී. ලක්ෂ්මන් කුමාර ගොවි මහතා විසින් ගල්ගමුව, තඹුත්තේගම ප්‍රදේශයේ අක්කර දෙකක භූමි භාගයක මෙම ඇපල් වගාව සිදු කර තිබේ.

ගොවි මහතාගෙන් වගාව පිළිබඳ තොරතුරු විමසූ ජනාධිපතිවරයා තමන් ඉදිරියේදී එම ඇපල් වගාව නැරඹීම සඳහා පැමිණීමට අපේක්ෂා කරන බව ද පැවසීය.

ඇපල් බීජය මෙරටට ගෙන්වා නව පරීක්ෂණයක් සිදු කර වගාව ආරම්භ කළ බවත්, අක්කර දෙකක සරු ඵලදාවක් මේවන විටත් ලැබී ඇති බවත් ලක්ෂ්මන් කුමාර ගොවි මහතා සඳහන් කළේය.

මෙම වගාව ප්‍රචලිත කිරීමට අවශ්‍ය බීජ නිෂ්පාදනය කර ලබාදීමට හැකියාව පවතින බවත් ලංකාව තුළ ඕනෑම ප්‍රදේශයක වගා කළ හැකි අයුරින් මෙම බීජ නිපදවා ඇති බවත් ඔහු සඳහන් කළේය.

කොළ ඇපල් පිළිගත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහි රස බැලීමට ද අමතක නොකළේය.

ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, හිටපු රාජ්‍ය අමාත්‍ය චම්පිකා ප්‍රේමදාස සහ පී.ජේ. අසංක ලයනල් යන මහත්වරු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

  • පසුගිය කාලයේ සිදු කළ වැරදි ආර්ථික ප්‍රතිපත්ති නිසා රටට රුපියල් බිලියන 700ක් අහිමි වෙලා
  • පසුගිය වසර දෙක හමාර තුළ රුපියල් බිලියන 2300ක මුදල් අච්චු ගැසීම නිසා උද්ධමනය 70%කින් වැඩිවෙලා
  • ඍජු බදු වැඩි කර, රටේ ආදායම වැඩි නොකළ හොත් නැවත පෝලිං යුගයකට යාමට සිදු වෙනවා

ණය ප්‍රතිව්‍යුහගතකරණය සාර්ථක කරගෙන නිවැරදි ආර්ථික කළමනාකරණයක් ඇති කිරීමට රජය සූදානම් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ බදු ප්‍රතිපත්තිය සම්බන්ධයෙන් අද (19) විශේෂ ප්‍රකාශයක් සිදු කරමිනි.

රටේ ආදායම වැඩි නොකර ආර්ථිකය ශක්තිමත් කිරීමට හැකියාවක් නොමැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමට නම් අකමැත්තෙන් වුවද අසීරු තීන්දු තීරණවලට එළැඹිමට සිදු වන බව පැවසීය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සිදු කළ සම්පූර්ණ ප්‍රකාශය පහත දැක්වේ.

ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩසටහනේ වැදගත් පියවරක් පසුගිය සතියේ සිදු වුණා. මුදල් රාජ්‍ය ඇමතිතුමා යටතේ කණ්ඩායමක් වොෂින්ටන් නුවර පැවැති ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික (ඔක්තෝබර් 07) රැස්වීමට සහභාගී වුණා. ඒ අවස්ථාවේ දී ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානත්වයෙන් ලංකාවට ණය ලබා දුන් රටවල් හා ණය ලබාදුන් සමහර පුද්ගලික ආයතන සමඟ රැස්වීමක් පැවැත්වූවා. 75 දෙනෙකුට වැඩි පිරිසක් සෘජුව සහ සූම් තාක්ෂණය ඔස්සේ එම රැස්වීමට සහභාගී වුණා.

ලංකාවට ණය ලබාදුන් ප්‍රධාන රටවල් 03 වන ජපානය, චිනය සහ ඉන්දියාව සමඟ පොදු වේදිකාවකට පැමිණ සහන ලබාදීමට ගතයුතු ඉදිරි පියවර කුමක්ද යන්න සාකච්ඡා කිරීම මෙහි මූලික අරමුණ වුණා.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත්, ශ්‍රී ලංකාවත් මේ රැස්වීමේ දී පෙන්වා දුන්නේ, පොදු වේදිකාවක තිබෙන අවශ්‍යතාව. ඉන්දියාව සහ චීනය ඒ පිළිබඳ තවදුරටත් විමර්ශනය කර පිළිතුරු ලබා දෙන බව දන්වා තිබෙනවා. ඒ වගේම ද්වී පාර්ශ්වික සාකච්ඡාත් අවශ්‍ය වෙන්න පුළුවන් කියලා දැනුම් දී තිබෙනවා.

තවත් රටවල් ගණනාවක් මෙයට සහභාගී වුණා. විශේෂයෙන් අමෙරිකාවේ, භාණ්ඩාගාරයේ සහකාර ලේකම්වරයෙක් මේ සාකච්ඡාවට පැමිණියා. මේ සියල්ල සිදු කිරීමට අපිට අවස්ථාව ලැබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡා කර අපි ගත් තීන්දු ක්‍රියාත්මක කරන නිසයි.
ලංකා රජයේ ආදායම් පිළිබඳව එක් කාරණයක් මතුව තිබෙනවා. 2015 ජාත්‍යන්තර මූල්‍ය සංවිධානයේ නියෝජිතයන් මෙරටට පැමිණි අවස්ථාවේ ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් අවශ්‍යය බව අපිට දැනුම් දුන්නා. ඒ වගේම අපි 2017-2018 වර්ෂවල ඒ අතිරික්තය ලබා දුන්නා. නමුත් 2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය නිසා එය අඩු වුණා. ඒ ගැන විශාල ප්‍රශ්නයක් ඇති වුණේ නැහැ. අපිට ප්‍රාථමික අය වැයෙහි අතිරික්තයක් තිබෙන නිසා අපේ ආදායම වැඩිකරගන්න අපිට පුළුවන් වෙයි කියා ඒ අය බලාපොරොත්තු වුණා.

එදා අපේ ආදායම තිබුණේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් – 15%ක් අතර ප්‍රමාණයක්. එහෙත් ක්‍රමානුකූලව මෙය 17%-18%කට වැඩි කරගන්න පුළුවන් කියලා තමයි අපි එකඟ වුණේ.

නමුත් 2019 නොවැම්බර් මාසයේදී මේ රටේ බදු විශාල ලෙස අඩු කළා. එවිට රජයේ ආදායම 8.5%කට අඩු වුණා. එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙම ගිවිසුම්වලින් ඈත් වෙලා ආධාර ලබා දීමට නොහැකි බව ප්‍රකාශ කළා.

අපිට රුපියල් බිලියන 600ක්, 700ක් පමණ ඒ වසරේ අහිමි වුණා. ඒ එක්කම කොවිඩ් වසංගතයටත් අපිට මුහුණ දීමට සිදු වුණා. ලංකාවේ ආර්ථිකය කඩා වැටීමට ප්‍රධාන හේතු වුණේ මෙම තත්ත්වයයි.

අපේ ප්‍රාථමික අය වැයේ අතිරික්තයත් ලබාගත යුතු බවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපිට දැනුම් දුන්නා. ඔවුන්ගේ සහාය අවශ්‍ය නිසා අපිත් එයට එකඟ වුණා.

අනිත් කරුණ තමයි රටේ ආදායම දළ දේශීය නිෂ්පාදනයෙන් 8.5% සිට 14.5%ක් දක්වා වැඩි කිරීමට තීරණය කිරීම. එය එකවර සිදු කිරීම අසීරු කාර්යයක්. ඒ නිසා 2026 වන විට රටේ දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක් දක්වා ආදායම වැඩිකර ගැනීමට අපි සැලසුම් කර තිබෙනවා.
රටේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේ ද කියා පළමුවෙන්ම අපට සිතන්න සිදු වෙනවා. ආදායම අඩු වූ නිසා අපි මුදල් මුද්‍රණය කර තිබෙනවා. ඒ අනුව පසුගිය වසර දෙකේ දී මුද්‍රණය කළ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 2300ක්. ඒ නිසා උද්ධමනය 70% – 75%ක් දක්වා ඉහළ ගියා. ඒ වගේම ආහාර උද්ධමනය ඊටත් වඩා වැඩි වී තිබෙනවා.

මේවා පාලනය කිරීමත් අවශ්‍යයි. ඒ වගේම ආදායම ලබා ගැනීමටත් අවශ්‍යයි. එබැවින් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවති මෙම සාකච්ඡාවලදී අලුත් බදු ක්‍රමයක් ඉදිරිපත් වුණා. අපනයන කර්මාන්තවලටත් බදු ගෙවන්න අවශ්‍යයි කියලා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල දැනුම් දී තිබුණා.

අපනයන ආර්ථිකයක් තිබෙන රටවල් බදු ගෙවන බව ඔවුන් පෙන්වා දුන්නා. ඒ වගේම ඔවුන් සඳහන් කළේ අපේ පළමුවෙනි අපනයන ආර්ථිකය වුණේ වැවිලි කර්මාන්තය බවත්, බ්‍රිතාන්‍ය පාලන කාලයේ දී තේ, පොල්, රබර් සෑම වැවිලි ක්ෂේත්‍රයකින්ම බදු ගෙවීම සිදු කළ බවත්ය. ඒ නිසා අපි එම ඉලක්කයට ගමන් කරනව නම් බදු ගෙවන්න සිදු වෙයි කියා දැනුම් දුන්නා.
ඒ ගැන දැන් අපනයන ක්ෂේත්‍රය අපෙන් ප්‍රශ්න කර තිබෙනවා. එම කරුණු ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ඉදිරිපත් කරන්න අපි බලාපොරොත්තු වෙනවා.

දෙවන කාරණය පුද්ගලික බදු. අපි වැඩිපුරම බදු ලබාගත්තේ වක්‍ර බදු ලෙසයි. රටේ දුප්පත් සාමාන්‍ය ජනතාවටත් එම වක්‍ර බදු ගෙවීමට සිදු වුණා. අපි සෘජුව ලබාගත් බදු ආදායම 20%යි. 80%ක ප්‍රමණයක් ලබාගත්තේ වක්‍ර බදු වලින්.

විශේෂයෙන්ම ඒ පිළිබඳ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට ප්‍රශ්න තිබුණා, ඒ අය කිව්වේ සෘජු බදු වලින් ලබාගන්න බදු ප්‍රමාණය 20%කට වඩා වැඩි විය යුතු බවයි. නැත්නම් මෙය සාර්ථක නොවන බවත්, සාමාන්‍ය ජනතාවටත් බදු ගෙවීමට සිදුවන බවත් ඔවුන් පෙන්වා දුන්නා.

ඒ නිසා මෙම ක්‍රමවේදයට අනුවත්, 2026 ඉලක්ක ළඟා කර ගැනීම සඳහාත් මෙම බදු අය කිරීම ලක්ෂ 02ක අදායමක් ලබන අයගෙන් සීමා කළ හැකි ද යන්න පිළිබඳව භාණ්ඩාගාරයත්, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලත් සාකච්ඡා කළා, එහෙත් ඒ අරමුණ ඉටු වුණේ නැහැ. අවසානයේ සිදු වුණේ ලක්ෂයකට වැඩි ආදායමක් ලබන පිරිසගෙනුත් ආදායම් බදු අය කිරීමයි. මේ පිළිබඳ රටේ විශාල ප්‍රශ්නයක් ඇති වී තිබෙනවා.

මෙවන් පසුබිමක් තුළ මෙම බදු ක්‍රමය අනුගමනය නොකළහොත් අපිට අවශ්‍ය ඉලක්ක කරා ළඟා වීමට නොහැකි විය හැකියි. අපි එකඟ වූ ඉලක්කය වන්නේ 2026 වන විට දළ දේශීය නිෂ්පාදනයෙන් 14.5%ක – 15%ක ආදායමක් ලබා ගැනීමයි. අපි මේ වැඩපිළිවෙළින් ඉවත් වුණොත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආධාර අපිට ලැබෙන්නේ නැහැ. ජත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහතිකය ලැබෙන්නේ නැත්නම් ලෝක බැංකුව, ආසියානු සංවර්ධන බැංකුව වැනි ජාත්‍යන්තර මුල්‍ය ආයතනවලත්, සහයෝගය ලබාදෙන අනෙකුත් රටවලත් සහාය අපිට හිමි වන්නේ නැහැ. එහෙම වුණොත් අපිට නැවත පෝලිං යුගයට යන්න වෙනවා.

මීටත් වඩා අසීරු කාලයක් අපට ඉදිරියේදී ඇති විය හැකියි. මෙම ණය ලබාගෙන ණය ප්‍රතිව්‍යුහගතකරණ වැඩපිළිවෙළට අපි යා යුතුයි. අපි මේ කටයුතු කැමැත්තෙන් කරන්නේ නැහැ. අකමැත්තෙන් හෝ අපිට සමහර තීරණ ගන්න සිදු වෙනවා. ඒවගේම එම තීරණ පිළිබඳ අපි විටින් විට සලකා බලනවා.

ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන සාර්ථක කර ගන්නවා වගේම, මහකන්නයේ අපිට හොඳ අස්වැන්නක් ලැබුණාම එයින් ආර්ථික වාසියක් ලබාගෙන ඉදිරියට යන්න අපි බලාපොරොත්තු වෙනවා. එමගින් අපිට තිබෙන ආර්ථික පීඩාව අඩු වෙනවා. ඒ වගේම අපේ විදේශ විනිමය සංචිතය වැඩි කර ගැනීම පිළිබඳ සාකච්ඡා කර තිබෙනවා. මෙම පියවර කිහිපය ක්‍රියාත්මක කළ විට අපිට ඉදිරියට යා හැකියි.

අද අපේ රට ඉතා අසීරු කාලයකට මුහුණ පා සිටිනවා. ඒ අසීරු කාලයේ අසීරු තීරණ ගන්න වෙනවා. වෙන කවුරුත් ඉදිරිපත් නොවූ අවස්ථාවක මම ඒ අසීරු කටයුත්ත භාරගත්තා. ඉතින් මම හිතුවා මේ පසුබිම ගැන සියලුදෙනා දැනුවත් කරන්න මට යුතුකමක් තිබෙනවා කියලා. මේ ගැන තවදුරටත් සාකච්ඡා කරන්න ආණ්ඩුව සූදානම් බව ද සඳහන් කරන්න කැමතියි.

ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සිදු කෙරෙන සාකච්ඡාවලදී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ අඛණ්ඩ සහාය ලබාදෙන බව අමෙරිකා එක්සත් ජනපදයේ දකුණු සහ මධ්‍යම ආසියානු කලාප භාර සහකාර රාජ්‍ය ලේකම් ඩොනල්ඩ් ලූ මහතා (Donald Lu) සඳහන් කළේය.

ඩොනල්ඩ් ලූ මහතා මේ බව සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේ දී ය.

මෙම හමුව අද (19) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු වූ අතර ශ්‍රී ලංකාවේ අමෙරිකානු තානාපතිනි ජුලී චංග් (Julie Chung) , දේශපාලන හා ආර්ථික උපදේශක සුසන් වෝක් (Susan Walke) යන මහත්මීහු ද ඊට එක්ව සිටියහ.‍

ශ්‍රී ලංකාව සඳහා අමෙරිකානු රජය ලබා දෙන අඛණ්ඩ සහාය මෙහිදී අගය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ පිළිබඳ සිය ස්තූතිය පිරිනැමීය.
ශ්‍රී ලංකාව තුළ සාමකාමී වාතාවරණයක් ඇති කිරීම පිළිබඳ ජනාධිපතිවරයා වෙත සුභාශීංසන පිරිනැමූ සහකාර රාජ්‍ය ලේකම්වරයා, අභියෝග ජය ගනිමින් රට තුළ ආර්ථික ස්ථාවරත්වයක් ඇති කිරීමට හැකි සුදුසුම පුද්ගලයා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බව පැවසීය.

මෙම දුෂ්කර කාල පරිච්ඡේදයේ දී ශ්‍රී ලංකාවට සහ එහි ජනතාවට ලබාදිය හැකි සෑම සහයක්ම ලබාදීම අපේක්ෂාව බව සඳහන් කළ ඩොනල්ඩ් ලූ මහතා ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ශක්තිමත් කිරීමට සහ ජාතීන් අතර සංහිඳියාව ගොඩනැඟීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ගන්නා උත්සාහය ද ඇගයීමට ලක් කළේය.

අපවත්වී වදාළ අනුරාධපුර අටමස්ථානාධිපති උතුරු මධ්‍යම දිසාවේ ප්‍රධාන සංඝ නායක ආචාර්ය අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමිපාණන්ගේ  ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය අනුග්‍රහය යටතේ සිදු කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් දී තිබේ.
 
එම කටයුතු සම්බන්ධීකරණය සඳහා බුද්ධ ශාසන අමාත්‍ය විදුර වික්‍රමනායක සහ උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත් යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත් කිරීමට ජනාධිපතිවරයා පියවර ගනු ලැබීය.
 
මෙරට මහා සංඝරත්නය අතුරින් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරමින් සිය පැවිදි දිවිය අර්ථවත්ව ගත කළ අතිපූජ්‍ය පල්ලේගම සිරිනිවාස නා හිමිපාණන්  වහන්සේ රජරට ජනතාවගේ මෙන්ම රටවැසි සියලු ජනතාවගේ සුබ සෙත උදෙසා නිරන්තරයෙන් කැප වූ සංඝ පිතෘන් වහන්සේ නමකි.

ජාත්‍යන්තර සුදු සැරයටි දිනයට සමගාමීව ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා වෙත කොඩිය පැළඳවීම අද (17) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.
 
ජනාධිපති කාර්යාලයේ වියදමින්, දෘශ්‍යාබාධිත වූවන් වෙනුවෙන් ලබා දුන් සුදුසැරයටි 300ක් සංකේතාත්මකව දෘශ්‍යාබාධිත සංගමය වෙත පිරිනැමීම ද ජනාධිපති ලේකම්වරයා  අතින් සිදු කෙරිණි.
 
ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා මෙහිදී සඳහන් කළේ   දෘශ්‍යාබාධිත  පිරිස් මුහුණ දෙන ගැටලු විසඳීමට ජනාධිපති කාර්යාලය  හැකි  උපරිම  සහයෝගය ලබා දෙන බවයි.
 
දිවයිනේ සෑම පළාතක්ම ආවරණය වන පරිදි මෙම සංගමය පිහිටුවා ඇති බවත් දෘශ්‍යාබාධිත කාන්තාවන්ගේ සුභසිද්ධිය උදෙසා ආබාධිත කාන්තා සංගමය එහි එක් ශාඛාවක් ලෙස ක්‍රියාත්මක වන අතර, ආබාධිත තරුණයින්ගේ ගැටලු විසඳීම සඳහා ආබාධිත තරුණ සංගමයක් ද ක්‍රියාත්මක  බව මෙහිදී අදහස් දැක්වූ ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ ලේකම් ප්‍රසන්න වික්‍රමසිංහ මහතා සඳහන් කළේය. 
 
ශ්‍රී ලංකා ජාතික දෘශ්‍යාබාධිත සංගමයේ සභාපති කමල්සිරි නානායක්කාර මහතා ඇතුළු සංගමය නියෝජනය කරමින් නිලධාරීන් පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.

සියඹලාණ්ඩුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රතුමඩ, වීරකඳවල අවට වගා භූමියේ නිරීක්ෂණ චාරිකාවකට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (16) එක් විය. චාරිකාව නිම කර පැමිණෙන අතරතුරදී ජනාධිපතිවරයා සියඔලාණ්ඩුව කලුඔබ්බ ධර්මාශෝක පෙර පාසලේ දහම්පාසල වෙත පැමිණ එහි දරුදැරියන්ගේ සුවදුක් විමසූ අයුරු සේයාරුවෙන් දැක්වේ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter