නවතම පුවත්

ත්‍රිකුණාමල වරාය ක්‍රමෝපායික වරායක් ලෙස දියුණු කළ යුතුයි.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් ක්‍රමෝපායික සංවර්ධන සැලැස්ම ඡන්දය ඉලක්ක කර ගත්තක් නොව, ඊළග පරම්පරාව වෙනුවෙන් ආරම්භ කළ ව්‍යාපෘතියක් බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ත්‍රිකුණාමලය දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මට අනුකූලව වරාය සංවර්ධනයේ දි සහ තෙල් ටැංකි සංකීර්ණය සංවර්ධනය කිරීමේ දී ඉන්දියාව සමග එක්ව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිවරයා අවධාරණය කර සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම (Surbana Jurong plan) පිළිබඳ අද (14) ත්‍රිකුණාමල ඔර්ස් හිල් (Orr’s Hill) එළිමහන් භූමියේ පැවති විශේෂ සාකච්ඡාවට එක් වෙමිනි.

ඉන්දියාවට තෙල් ටැංකි ලබාදීමේ දී මතු වු විරෝධතා පිළිබඳව මෙහිදී සිහිපත් කළ ජනාධිපතිවරයා සදහන් කළේ, එදා එම තෙල් ටැංකි ලබාදීමට ගත් තීරණය මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අවස්ථාව ලබා දුන්නේ නම් රට ඉන්ධන අර්බුදයකට මුහුණ නොදෙන බවයි.

මෙම සාකච්ඡාව ආරම්භ වීමට ප්‍රථම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔර්ස් හිල් (Orr’s Hill) එළිමහන් භූමියේ සිට ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම යටතේ සංවර්ධනය කිරීමට යෝජිත ස්ථාන කිහිපයක් ද නිරීක්ෂණය කළේය.

එමෙන්ම සාකච්ඡාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිකුණාමලය ගාන්ධි වටරවුම ආසන්නයේ පිහිටි වෙරළ තීරය සංචාරක ආකර්ශණය දිනාගත හැකි ස්ථානයක් ලෙස සංවර්ධනය කිරීමට යෝජිත ව්‍යාපෘති භූමිය නිරීක්ෂණය කිරීමට ද එක් විය.

මේ අතර ත්‍රිකුණාමලය දිස්ත්‍රික් ප්‍රාදේශීය මාධ්‍යවේදින් කණ්ඩායමක් ද හමුවූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඔවුන්ගේ තොරතුරු විමසීමට අමතක නොකළේය.

ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම පිළිබඳ සාකච්ඡාවේ දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා,
අපි මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරන්නේ ඊළග ඡන්දයට නොවේ, ඊළග පරම්පරාව වෙනුවෙන්. 2023 අපි 75 වන නිදහස් දින සංවත්සරය සමරනවා. තව අවුරුදු 25යි තිබෙන්නේ නිදහස ලබා වසර 100ක් සම්පූර්ණ වෙන්න. ඊට කලින් මේ වැඩකටයුතු කළ යුතුයි.

ඒ නිසා 2018-2050 සැලසුම් අපි 2020-2048 ලෙස අඩු කර ගමු. මේ නැගෙනහිර පළාතේ විශාල දියුණුවක් අපි ඒ කාලය තුළ ඇති කරන්න ඕන. මම කියන්නේ නැහැ ඊළග වසර 05 එය කළ හැකියි කියලා. අපි කියන්නේ එය ආරම්භ කළ යුතුයි කියලා. එතැනින් ඉදිරියට යා යුතුයි.

පොළොන්නරුව අගනුවරව පැවති කාලයේ ත්‍රිකුණාමල වරාය විශාල වරායක් ලෙස පැවතුණා. එදා අපිට ත්‍රිකුණාමලය වටේ පෙන්නුවා බෙංගාල බොක්ක සිතියම. බෙංගාල බොක්ක කලාපය තවම දියුණු වෙලා නැහැ. තව අවුරුදු 10-15 යයි එම දියුණුව ලබන්න. තායිලන්තයේ තිබෙන දියුණුව දැන බටහිරට එන්න තිබෙනවා. මියන්මාරයේ තවම එය ආරම්භ වෙලා නැහැ, බංගලාදේශයේ ආරම්භ වුණා විතරයි. ජාවා සුමාත්‍රාවල ඒ වැඩකටයුතු කරගෙන යනවා. ඊළග අවුරුදු 10-15 යනකොට තමයි ඒක වරායක් හැටියට වැදගත් වන්නේ. අපේ උත්සාහය ශ්‍රී ලංකාව වරාය කේන්ද්‍රයක් බවට පත් කිරීමයි.

ත්‍රිකුණාමල වරාය ගැඹුරු වරායක් බවට පත් කළයුතුයි. නැගෙනහිර පළාත නාවික කටයුතු සඳහා වැදගත් කාර්යභාරයක් සිදු කරනවා.

ත්‍රිකුණාමල වරාය ප්‍රමුඛ ක්‍රමෝපායික වරායක් බවට පත් කිරීමට අවශ්‍යයි. ඒ කියන්නේ අපේම නාවික යාත්‍රා මෙහෙයුම් කටයුතු සිදු කළ හැකි අයුරින් එය සංවර්ධනය කිරීමයි. ඒ වෙනකොට දැනට තිබෙනවාට වඩා නාවික යාත්‍රා අපේ නාවික හමුදාවට තියෙයි කියලා මම හිතනවා. අපි මේ කටයුතු සැළසුම් කරන විට ඉන්දියාව සමග එකට වැඩ කළයුතුයි. මන්ද ඉන්දියාව අපිට වඩාත් සමීපව පිහිටා තිබීම නිසා එය ඉතා වැදගත් වෙනවා.

දැනට ඉන්දියාව සමග වැඩසටහන් කිහිපයක් ගැන සාකච්ඡා කරමින් සිටිනවා. ඒ නිසා අපට තිබෙන්නේ මේ සාම්පූර් බලාගාරයේ වැඩකටයුතු ඉදිරියට කරන්න. මෙයට බාධා එල්ල වෙනව නම් කෙළින්ම ආණ්ඩුව යටතට අරගෙන ඒ වැඩකටයුතු කරන්න සිදු වෙයි.

ත්‍රිකුණාමල වරාය ගිවිසුමට අපි 2003 අත්සන් කළා. 2003 සිට තෙල් ටැංකි ලබාදීම ගැන වෘත්තීය සමිතිවල විශාල විරුද්ධත්වයක් තිබුණා. අපි එදා තෙල් ටැංකි ලබා දුන්නා නම් අද තෙලුත් තිබෙනවා, අපිට පෝළිංවල ඉන්න වෙන්නෙත් නැහැ, කෝළහාල කරන්න වෙන්නෙත් නැහැ. තෙල් නැති නිසයි මේ ප්‍රශ්න ඇති වුණේ. ඇයි තෙල් නැති වුණේ, රටේ ආර්ථිකය වැටුණත් තෙල් ටැංකිවල තෙල් තිබෙන්න තිබුණා. ඒත් තෙල් ටැංකි හිස්. ඒ නිසා අපේ වාහනවල තෙල් ටැංකිත් හිස්, අපි එදා මේක කළා නම් අද අපිට කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ.

එවැනි බාධකවලට නැවත ඉඩ දෙන්න බැහැ. මේ ප්‍රදේශයේ ජනතාව වෙනුවෙන් එය කළයුතුයි. මම මේ සැලැස්ම පාර්ලිමේන්තුවටත් ඉදිරිපත් කරනවා, පාර්ලිමේන්තුව එකඟ වුණාට පස්සේ එය නීතිගත කරනවා. මොකද ආණ්ඩු මාරු වෙන්න පුළුවන්, පාර්ලිමේන්තු මාරු වෙන්න පුළුවන්. ඒත් ප්‍රතිපත්ති මාරු වෙන්න බැහැ. මේ නිසා බාධක නැතිව අපි ඉදිරියට යන්නයි කටයුතු කළ යුත්තේ.

අපි ඉන්දියාව සමග පුනර්ජනනීය බලශක්තිය පිළිබඳව කටයුතු කරමින් සිටිනවා. එය ක්‍රියාත්මක වන්නේ ත්‍රිකුණාමලයේ, ඉන්දියාව සමග තිබෙන සබඳතා පදනම් කරගෙන ත්‍රිකුණාමලය බලශක්ති කේන්ද්‍රස්ථානයක් බවට පත්කරගත යුතුයි. පුනර්ජනනීය බලශක්තිය දියුණු කිරීමත් සමග එයට හරිත හයිට්‍රජන් සහ හරිත ඇමෝනියා වැනි අගය එකතු කිරීම් සිදු කළයුතුයි. ඉතින් අපට හරිත හයිට්‍රජන් අපනයනය කරන්න වරායක් අවශ්‍යයි. එහිදි මෙතන තිබෙන විභවය සැලකිල්ලට ගත යුතුයි.

උතුරු, උතුරු මැද හා නැගෙනහිර පළාත සැලකිල්ලට ගත්විට එහි කේන්ද්‍රීය වරාය විය යුත්තේ ත්‍රිකුණාමල වරාය. සමහරවිට ඉදිරියේ දී සිංගප්පූරුවටත් අපිට මාර්ගයක් හදාගන්න පුළුවන් වෙයි. ඒ තත්ත්වයට දියුණු කිරීමට විශාල ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා. මේ පළාතේ ආර්ථික විභවය ඉතා විශාලයි. එය ඉලක්ක කරගෙන තමයි අපි මෙය දියුණු කළයුත්තේ.

ආර්ථික වශයෙන් මෙම වරාය නගරය ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට සීමා කරන්න බැහැ. මෙය අනුරාධපුර, වව්නියාව, දඹුල්ල නගර සමග සම්බන්ධ විය යුතුයි. වන්නි, නැගෙනහිර, උතුරු මැද තමයි රටේ ආහාර විශාල ප්‍රමාණයක් නිෂ්පාදනය කරන්නේ. ආහාර නිෂ්පාදන අපනයනය කරවා නම් මෙතනින් තමයි එය සිදු කළ යුත්තේ.

අද අපි පිටි අපනයනය කරනවා. අපි තිරිගු වවන්නේ නැහැ, ඒ වුණාට අපි අපනයනය කරනවා. එය කරන්නේ ප්‍රිමා ආයතනය. අපේ ප්‍රධාන අපනයන ද්‍රව්‍යයක් තමයි තිරිගු පිටි. අපි එය පිටින් අරගෙන අපනයනය කරනවා. ඒ වගේ වෙනත් ද්‍රව්‍යයත් එලෙස අපනයනය කළ හැකියි. අපි ඒ පිළිබඳ සලකා බලමු.

මේ පළාතේ කර්මාන්ත දියුණු කිරීමට ඉන්දියාව සමග එකඟව තිබෙනවා. ඒ අනුව කර්මාන්ත කලාපයකුත් ඇති කළ යුතුයි. මම යෝජනා කර තිබෙන්නේ ඒ කටයුතු ලංකාව සහ ඉන්දියාව ඒකාබද්ධව සිදු කිරීමට. එතකොට වරායටත් ඊට සම්බන්ධයක් තිබෙනවා. ඒ පිළිබඳ ඒකාබද්ධ කණ්ඩායමක් පත් කිරීමට සැලසුම් කරනවා.

ඔවුන්ගේ අදහස් ලබා ගැනීමට පෙර අපි ආර්ථික පැත්ත ගැන සැලකිල්ලට ගත යුතුයි. ආර්ථික පැත්තෙන් බලන විට අපිට තිබෙනවා සංචාරක කර්මාන්තය. විශේෂයෙන් අනුරාධපුර, පොළොන්නරුව, දඹුල්ල සංස්කෘතික ත්‍රිකෝණය තිබෙනවා. ඒ නිසා පැමි‍‍ණෙන සංචාරකයින් ප්‍රමාණය වැඩි වෙනවා.

ත්‍රිකුණාමල ගුවන් තොටුපොළ තිබුණත් එහි විශාල අහස් යානා ගොඩ බැස්සවිය නොහැකි. ඒ නිසා හිඟුරක්ගොඩ හෝ වව්නියාව ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් බවට පත් කරන්න සිදු වෙනවා. ත්‍රිකුණාමලයේ සිට මඩකලපුව දක්වා සංචාරක කර්මාන්තය දියුණු කරන්න ඉඩ ප්‍රස්ථාවක් තිබෙනවා.

නැගෙනහිර පළාත දියුණු කිරීමට අපි සම්පූර්ණ සැලැස්මක් ඇති කළ යුතුයි. එමෙන්ම උතුරු පළාත දියුණු කිරීමට වැඩපිළිවෙළක් තිබෙනවා. උතුරයි, නැගෙනහිරයි මැද තිබෙන්නේ ත්‍රිකුණාමලය. ඒ වගේම උතුරු මැද ගත් විට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල විශාල කොටසක් අයිති වෙන්නේ මේ පළාතට. මෙම ඒකාබද්ධ වැඩසටහන වසර 05 කින් සිදු කළ නොහැකියි. අවුරුදු 20 – 25 කින් කරන්න පුළුවන්. මහවැලි සංවර්ධන ව්‍යාපෘතිය නිම කරන්න අවුරුදු 10ක් ගත වුණා. මෙම මූලික වැඩ කටයුතු ගැන සාකච්ඡා කරලා ඒ පිළිබඳ, කැබිනට් මණ්ඩලය දැණුවත් කර ඊට පසුව ඉදිරි කටයුතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා, රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, නැගෙනහිර පළාත් ආණ්ඩුකාර අනුරාධා යහම්පත් යන මහත්ම මහත්මීහූ ප්‍රමුඛ ත්‍රිකුණාමල දිස්ත්‍රික් ලේකම්, නැගෙනහිර පළාත් ප්‍රධාන ලේකම්, ආණ්ඩුකාර ලේකම් සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය, අයෝජන මණ්ඩලය, නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු රේඛීය ආයතනවල නිලධාරීහු ද, ත්‍රිකුණාමල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම නිර්මාණය කිරීමේ උපදේශන දායකත්වය ලබාදුන් සභානා ජුරෝංග් (Surbana Jurong) ආයතනයේ ප්‍රධාන සැලසුම් විධායක කේටන් කුල්කරණි (Ketan Kulkarni) මහතා ද, නැගෙනහිර පළාත ආවරණය කෙරෙන ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසිය ඉහළ නිලධාරීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම් වියදම් පරතරය පියවා ගැනීම සදහා පස්අවුරුදු සැලැස්මක් ආරමභ කර ඇතැයි තැපැල්පති රංජිත් ආරියරත්න මහතා පවසයි. එහි ආදායම් වියදම් පරතරය රුපියල් බිලියන 07 කි.

පසුගිය තැපැල් දිනයට සමගාමිව පැවැත්වු මුද්දර ප්‍රදර්ශනයේදී අපේක්ෂිත ආදායමට වඩා ඉහල ආදායමක් උපයා ගත් බව ආරියරත්න මහතා සදහන් කරයි. මේ වනවිට මුද්දර මිල වැඩිකර ඇත. එහෙත් ඉන් විශාල ආදායමක් නොලැබේ.

තැපෑල ආදායම වැඩිකර ගැනීම සදහා ජාත්‍යන්තරය සමඟ ද විවිධ සැලසුම් ක්‍රියාත්මක කර ඇත. එබැවින් තැපෑල ප්‍රතිව්‍යුහගත කිරීමක් අවශ්‍ය නොවන බව තැපැල්පතිවරයා පවසයි.

මහජනතාව විසින් රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා උපදෙස් ලබාදී තිබේ.

කාලය, ශ්‍රමය හා මුදල් වැය කරමින් යම් කාර්යයක් ඉටු කර ගැනීම සඳහා රාජ්‍ය ආයතනවලට මහජනතාව නිරන්තරයෙන් පැමිණෙනවාට වඩා, ඔවුන් විසින් යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි (e-mail) සහ දුරකථන ඇමතුම්වලට කඩිනම් ප්‍රතිචාර දක්වමින් අදාළ කාර්යයන් ඉටුකර දීමේ ක්‍රියාවලිය විධිමත් කිරීම පිළිබඳ ජනාධිපතිවරයාගේ අවධානය යොමුව ඇත.

ඒ අනුව රාජ්‍ය ආයතන වෙත යොමු කරන ලිපි, විද්‍යුත් ලිපි සහ දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබාදීමේ දී විධිවිධාන ඇතුළත් කරමින් ජනාධිපති ලේකම්ගේ උපදෙස් පරිදි, රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ අත්සනින් විශේෂ ලිපියක් සියලු අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දෙපාර්තමේන්තු ප්‍රධානීන් වෙත මේ වන විට යොමු කර තිබේ.

මහජනතාවගෙන් රාජ්‍ය ආයතනවලට යොමු වන ලිපි සඳහා ප්‍රමුඛතාව ලබාදී කටයුතු කළ යුතු අතර, වහාම අවසන් පිළිතුරු යැවිය නොහැකි අවස්ථාවකදී සතියක් ඇතුළත ලිපිය ලද බවට අතුරු පිළිතුරක් සහ සති හතරක් (04) ඇතුළත අවසන් පිළිතුරක් යැවීමේ අවශ්‍යතාව අවධාරණය කෙරේ.

එසේම සියලුම රාජකාරී ලිපි සඳහා, පිළිතුරු ලිපි යැවීමේ දී අදාළ ලිපියේ අත්සනට පහළින් එකී ලිපිය අදාළ, විෂය භාර මාණ්ඩලික නිලධාරියාගේ ඍජු දුරකථන අංකය, ෆැක්ස් අංකය හා විද්‍යුත් ලිපිනය ද සඳහන් කළ යුතුය.

කාර්යාලවල පොදු විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරික්ෂා කළ යුතු අතර, ඒ සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතුය. මාණ්ඩලික නිලධරයන්ගේ විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන විද්‍යුත් ලිපි දිනපතා පරීක්ෂා කළ යුතුය.

එලෙස විද්‍යුත් තැපැල් ලිපින වෙත ලැබෙන ලිපි සඳහා එදිනම පිළිතුරු ලබාදීමට උත්සුක විය යුතු අතර, ඒ සඳහා එදිනම පිළිතුරු ලබාදිය නොහැකි නම්, එම ලිපිය ලද බවත්, ඒ සඳහා පිළිතුරු සැපයීමට අවශ්‍ය කාලයත් සඳහන් කර අතුරු පිළිතුරක් (Reply) යොමු කළ යුතුය. එලෙස ම, ඒ සඳහා සාධාරණ කාලයක් තුළ/ දැනුම්දුන් දිනට පෙර එම විමසීම සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතුය.

කාර්යාලය වෙත ලැබෙන සියලුම දුරකථන ඇමතුම් සඳහා පිළිතුරු ලබා දීමට කටයුතු කළ යුතු අතර දුරකථන ඇමතුම් වැඩි ප්‍රමාණයක් ලැබෙන ආයතන/අංශ ඇත්නම්, එම ඇමතුම් සඳහා පිළිතුරු ලබාදිමට නිශ්චිත නිලධාරියෙකු පත් කළ යුතුය.

කාර්යාල වෙත ලැබෙන දුරකථන ඇමතුම් සටහන් කර ගැනීම සඳහා නිශ්චිත නිලධාරියෙක් පත් කළ යුතු අතර එම නිලධාරියා විසින් දුරකථන ඇමතුම් ලබා දුන් පුද්ගලයාගේ නම, කාරණය හා නැවත පිළිතුරක් යොමු කළ යුතු දුරකථන අංකය ආදී තොරතුරු සටහන් කර ගැනීමට කටයුතු කළයුතුය.

එම අවස්ථාවේදී ම, පිළිතුරු ලබාදීමට අපහසු කරුණු සම්බන්ධයෙන් අදාළ මාණ්ඩලික නිලධරයන්/ විෂය භාර නිලධරයන් විසින් සාධාරණ කාලයක් ඇතුළත පිළිතුරු ලබාදීමට කටයුතු කළ යුතුය.

රාජ්‍ය ආයතන සම්ප්‍රදායක ක්‍රමවලින් බැහැරව උපාය මාර්ග සැළසුම් මඟින් අදායම වැඩි කර ගැනීමට ක්‍රියා කළ යුතු බව ජනමාධ්‍ය හා ප්‍රවාහන අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (09) ප්‍රකාශ කළේය.

ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (09) ලෝක තැපැල් දිනය වෙනුවෙන් තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති සැමරුම් උත්සවයේ දී ය.

තැපැල් දෙපාර්තමේන්තුව හා මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව උපාය මාර්ගික ක්‍රියාවලීන් සඳහා අඩිතාලම දමා ඇති අතර ඊට ආයතනවල සේවකයින්, වෘත්තීය සමිති ඇතුළු සියලු දෙනා සහයෝගය ලබා දිය යුතු බව ද, සියල්ලන්ගේම සහයෝගයෙන් යුතුව ආයතන පවත්වාගෙන යාමට ප්‍රමාණවත් අදායමක් ලබා ගත යුතු වන බව ද හෙතෙම පැවසීය.

එමෙන්ම, වර්තමානයේ දී ලංකා ඉතිහාසයේ ප්‍රථම වතාවට ආර්ථික වර්ධනය ඍණ අගයක් වී ඇති අතර මෙවර ඇස්තමේන්තු ගත කර ඇති පරිදි කෘෂිකර්මාන්තය, කර්මාන්ත හා සේවා යන සියලුම අංශ වලින් ජාතික නිෂ්පාදනයට ලැබෙන දායකත්වය ඍණ හතක් වනු ඇතැයි ද ප්‍රකාශ කළ අමාත්‍යවරයා රට ගොඩනැඟීම සඳහා පක්ෂ පාට භේදයකින් තොරව එකතු වී වැඩකළ යුතු බව ද හෙතෙම වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා ද මෙහි දී අදහස් ප්‍රකාශ කළේය.

පසුගිය කොවිඩ් වසංගත සමයේ දී තම ජිවිත අවදානම ද නොතකා ජාතික යුතුකමක් සේ සළකා අහිංසක ජනතාවට ඔවුන්ගේ බෙහෙත් නිවසටම ලබා දීමට කටයුතු කිරීම හෘදයාංගමව අගය කරන බව සඳහන් කළ ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍යවරයා, තැපැල් දෙපාර්තමේන්තුව සතුව තිබෙන පද්ධතිය/තැපැල්ජාලය වර්තමානයට ගැලපෙන ආකරයෙන් සකස් කළ යුතු බව ප්‍රකාශ කළේය.

එමඟින් තැපෑල ලාභ ලබන ආයතනයක් බවට පත් කිරීමට කටයුතු කළ යුතු බවත්, තැපෑල පාඩු ලබනවා නම් එහි වගකීම දේශපාලන අධිකාරිය ලෙස වගකීම ඔවුනුත් ගත යුතු බවත් අවධාරණය කළ හෙතෙම ව්‍යාපාර මානසිකත්වයකින් යුතුව සේවකයින්ගේ ආරක්ෂාව තහවුරු කර ගනිමින් සේවක වැටුප් වැඩි කරමින් ඉදිරියට ය යුතු දෙපාර්තමේන්තුවක් ලෙස තැපැල් දෙපාර්තමේන්තුව පත් කළ යුතු බවත්, එමඟින් තැපැල් දෙපාර්තමේන්තුව පෞද්ගලීකරණය කිරීමට අදහසක් නොවන බවත්, තිබෙන සම්පත් ප්‍රයෝජනයට ගෙන ලාභ ලබන තත්ත්වයට පත් කර මානව හා භෞතික සම්පත් මනාව කළමනාකරණය කළ යුතුයි බවත් රාජ්‍ය අමාත්‍යවරයා මෙහි දී වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

කාබන් හර කිරීමේ ඒකාබද්ධ යාන්ත්‍රණය ශ්‍රී ලංකාව සහ ජපානය අතර ක්‍රියාත්මක කිරීමට අදාළ සහයෝගීතා ගිවිසුමට අත්සන් තැබීම අද (10) පස්වරුව් ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

පරිසර අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති මිසුකෝෂි හිදෙකි මහතා ගිවිසුමට අත්සන් තැබූ අතර අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ ජපාන තානාපතිවරයා ඇතුළු පිරිස සාකච්ඡාවක ද නිරත වූහ.

ජපානය, ගෝලීය උණුසුමට හේතුවන හරිතාගාර වායු විමෝචනය අවම කිරීම සඳහා ගෝලීය ප්‍රජාව විසින් පිහිටුවා ගන්නා ලද කියතෝ සංවිධානයෙහි දෙවන ධුර කාලයෙන් (2013 – 2020) ඉවත්වීමෙන් පසුව ගෝලීය හරිතාගාර වායු විමෝචනය අවම කිරීමට දායකවීම උදෙසා 2013 වසරේ දී ද්විපාර්ශ්වික ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණයක් හඳුන්වා දෙන ලදී.

මෙම යාන්ත්‍රණය සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයන් සමග ඒකාබද්ධව හරිතාගාර වායු විමෝචනය අවම කරමින් එම අවම කරන ලද ප්‍රමාණය සංවර්ධනය වෙමින් පවතින රටවල් හා ජපානය අතර බෙදී යන පරිදි සකස් කර ඇති යාන්ත්‍රණයකි.

ජපානය විසින් මෙම වැඩසටහන සංවිධානය කරනු ලැබුවේ එක්සත් ජාතීන්ගේ දේශගුණ විපර්යාස පිළිබද රාමුගත සම්මුතියේ පාර්ශ්වකරුවන්ගේ 21 වන සමුළුවේදී ඇතිකරගත් පැරිස් ගිවිසුමෙන් එකඟ වූ ජාතික වශයෙන් නිර්ණය කරන ලද දායකත්ව සඳහා අනුගත වීම උදෙසාය.

දැනට මෙම වැඩසටහන මොන්ගෝලියාව, බංගලාදේශය, ඉතියෝපියාව, කෙන්යාව, මාලදිවයින, වියට්නාමය, ලාඕසය, ඉන්දුනීසියාව, කොස්ටරිකා, පලාවු, කාම්බෝජියාව, මෙක්සිකෝව, සවුදි අරාබිය, චිලී, මියන්මාරය, තායිලන්තය හා පිලිපීනය යන රටවල් 17 ක්‍රියාත්මක කරනු ලබයි.

කාබන් විමෝචනය අවම වූ උසස් තාක්ෂණය භාවිතා කර හරිතාගාර වායු විමෝචනය අඩු කිරීමෙන් සංවර්ධනය වෙමින් පවතින රටවල එමගින් අඩු කරනු ලබන කාබන් විමෝචන ඒකක (Carbon Credit Sharing) දෙරට අතර බෙදී යන ලෙස මෙම යාන්ත්‍රණය සකස් කර ඇත.

මෙම යාන්ත්‍රණය (JCM) මගින් සංවර්ධනය වෙමින් පවතින රටවල ක්‍රියාත්මක කිරීම සඳහා ජපාන රජය හෝ එහි පුද්ගලික අංශය තාක්ෂණික දායකත්වය සපයන අතර ඒ සඳහා වැය වන මූලික වියදමෙන් කොටසක් ව්‍යාපෘති සඳහා ආයෝජනය කෙරේ.

එමෙන්ම මෙම යාන්ත්‍රණය යටතේ බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය හා කෘෂිකර්මය යන ක්ෂේත්‍ර යටතේ ව්‍යාපෘති ක්‍රියාත්මක කළ හැකිය.

එම නිසා, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ක්‍රියාත්මක කිරීම යටතේ කාබන් විමෝචනය අඩු කළ හැකි ප්‍රමුඛතම තාක්ෂණික සහ නව නිෂ්පාදන ක්‍රමවේද හඳුන්වාදීම ද එම ව්‍යාපෘතිවල ඉදිකිරීම්, යන්ත්‍ර සුත්‍ර හා උපකරණ ඇතුළු යටිතල පහසුකම් සංවර්ධනය කර ගත හැකි වීම ද ශ්‍රී ලංකාවට ලැබෙන තවත් ප්‍රතිලාභයකි.

ශ්‍රී ලංකාව 2016 සැප්තැම්බර් මස 21 දින දේශගුණික විපර්යාස පිළිබද පැරිස් ගිවිසුමට අනුගත වන ලදී. මෙම ගිවිසුමට අනුව හරිතාගාර වායු විමෝචනය අඩු කිරීම සදහා ජාතිකව නිර්ණය කරන ලද දායකත්වයන් බලශක්ති, කර්මාන්ත, ප්‍රවාහනය, අපද්‍රව්‍ය කළමනාකරණය, කෘෂිකර්මය හා වනාන්තර යන ක්ෂේත්‍රන්ට අදාළව 2021 ජුලි මස 30 වැනි දින ශ්‍රී ලංකාව එක්සත් ජාතීන්ගේ දේශගුණික විපර්යාස පිළිබද රාමුගත සම්මුතිය වෙත ඉදිරිපත් කළේය.

ඒ අනුව, ඒකාබද්ධ කාබන් හර කිරීමේ යාන්ත්‍රණය (JCM) ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීම තුළින් පැරිස් ගිවිසුම යටතේ ශ්‍රී ලංකාව බැඳී ඇති ඉලක්ක සපුරා ගැනීම සඳහා වන ගෝලීය ප්‍රයත්නයට ද දායක වනු ඇත.

ජපානය හා ශ්‍රී ලංකාව අතර ඒකාබද්ධ කාබන් හරකිරීමේ යාන්ත්‍රණය ක්‍රියාත්මක කිරීම සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය හා නීතිපති දෙපාර්තමේන්තුවේ අනුමැතිය ලබා ගෙන ඇති අතර ඊට අදාළ අමාත්‍ය මණ්ඩල අනුමැතිය ද හිමිව තිබේ.

තවද, මෙම යාන්ත්‍රණය (JCM), ශ්‍රී ලංකාව තුළ ක්‍රියාත්මක කිරීමේ දී ඊට අදාළ ව්‍යාපෘති අනුමත කිරීම සඳහා දෙපාර්ශ්වයෙන්ම සමන්විත ඒකාබද්ධ කමිටුවක් ස්ථාපිත කරනු ලබන අතර එහි සම සභාපතිත්වය ශ්‍රී ලංකා රජය හා ජපන් රජය නියෝජනය කරනු ලබයි.

මෙහිදී අදහස් දැක්වූ පරිසර අමාත්‍ය නසීර් අහමඩ් මහතා සඳහන් කළේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීමෙන්, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක මහතාගෙන් සුවිශේෂී අධීක්ෂණය යටතේ මෙම වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීමට හැකි වූ බවයි.

දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති උපදේශක රුවන් විජේවර්ධන මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

වැඩබලන අගවිනිසුරුවරයා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු, ජනාධිපති නීතිඥ බුවනෙක පණ්ඩුකාභය අලුවිහාරේ මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

දිවුරුම් දීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා ද මෙම අවස්ථාවට එක්ව සිටියේය.

ලෝක තැපැල් දිනය අදයි. 1969 ජපානයේ ටෝකියෝ අගනුවරදී රැස් වු ලෝක තැපැල් සංගමය සෑම වසරකම ඔක්තෝබර් 09 වැනිදා ලෝක තැපැල් දිනය ලෙස ප්‍රකාශයට පත් කළේය. ක්‍රි. පු. 225 දී ලෝකයේ පළමු තැපැල් ලේඛණය සොයාගෙන තිබේ. 1838 දී ප්‍රථම පෙර ගෙවුම් තැපැල් ගාස්තු ක්‍රමය හදුන්වා දෙනු ලැබීය. ලෝකයේ පළමු වරට රූපයක් මුද්දරයකට යොදගෙන ඇත්තේ 1849 දීය. 1912 දී ගුවන් තැපැල් සේවය ආරම්භ විය. ලොවපුරා ලක්‍ෂ 50 කට අධික පිරිසක් තැපැල් සේවයේ නිරතව සිටිති. එය ලෝකයේ සේවකයන් වැඩිම පිරිසක් සේවය කරන රැකියාවලින් එකකි.

පෙඩ්‍රික් නෝර්ත් ආණ්ඩුකාරවරයාගේ ප්‍රධානත්වයෙන් 1798 දී මෙරට තැපැල් සේවය ආරම්භ විය. 1857 අප්‍රේල් පළමුවැනිදා වික්ටෝරියා රැජිනගේ රූපය සහිත මෙරට පළමු තැපැල් මුද්දරය නිකුත් කෙරිණි.

මෙවර ලෝක තැපැල් දින සමරු උත්සවය කොළඹ තැපැල් මුලස්ථානයේදී අද පෙරවරුවේ පැවැත්වෙයි. ඇමති බන්දුල ගුණවර්ධන මහතා ප්‍රධාන ආරාධිතයායි. රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර. ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් අනුෂ පැල්පිට. තැපැල්පති රංජිත් ආරියරත්න යන මහත්වරු ඇතුඵ පිරිසක් එම අවස්ථාවට එක්වෙති.

ශ්රී ලාංකික හා ලෝක ඉස්ලාමීය බැතිමතුන්ගේ අතිශය ගෞරව ප්රසාදයට පත් මුහම්මද් නබි නායකතුමාගේ ජන්ම දිනය අදට යෙදී තිබේ.
ලොව පුරා වාසය කරන ඉස්ලාමීය බැතිමතුන්ගේ ආගමික ශාස්තෘවරයා වශයෙන් එතුමාගේ දර්ශනය, අන්කවරදාටත් වඩා අද සමාජයේ පවතින තත්ත්වය සමනය කර ගැනීමට මනා පිටිවහලක් වන බව මගේ විශ්වාසයයි.
මානවීය ගුණයෙන් උසස් ලෙස උපදින සියලු දෙනා එකිනෙකා පරයා යෑමට දරන උත්සාහය වෙනුවට එකිනෙකා පිළිබඳ අවබෝධයෙන් කටයුතු කිරීමට නබි නායකතුමාගේ දර්ශනය ප්රායෝගිකව ජීවිතය හා බද්ධ කර ගැනීම එතුමන්ට කරනු ලබන පූජෝපහාරයකි.
නබි නායකතුමාගේ පහළවීම යනු එතුමාගේ දර්ශනය සමස්ත මානව ප්රජාව මෙන්ම අන්ය සියල්ලෙහි ආරක්ෂාව, පරිහරණය, ගෞරවය, අවංකභාවයේද, සත්ය මූර්තිමත් කරන්නකි. එතුමන්ගේ දර්ශනයට අනුව ස්වකිය ජීවිතය හැඩගස්වා ගැනීමෙන් අධ්යාත්මික වශයෙන් පමණක් නොව සමාජයීය වශයෙන් ද ජිවිතයට ජයග්රහණ ළගා කර ගැනීමට උපකාරී වේ.
අල් අමීන් හෙවත් “විශ්වාසවන්තයා” යන පර්යාය නාමයෙන් හඳුන්වන මුහම්මද් නබි නායකතුමන්ගේ උපන්දිනය ශ්රී ලාංකේය සහ සමස්ත ලෝකවාසී ඉස්ලාමීය ඇතුළු සෙසු ජාතීන්ගේ ද ආධ්යාත්මික සහ සමාජීය ප්රගමනයට, ශාන්තියට හේතු වේවායි ප්රාර්ථනය කරමි.
රනිල් වික්රමසිංහ

වත්මන් අභියෝගයෙන් රට ගොඩගැනීමට නම් රට තුළ ස්ථාවරභාවයක් ඇති කළයුතු බවත්, ඒ සඳහා නිවැරදි තොරතුරු ජනගත කිරීම අත්යවශ්ය බවත් ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා අවධාරණය කළේය.
ප්රචාරණයක් නොමැතිව කිසිවක් සාර්ථක කරගත නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රට ගොඩගැනීමේ රජයේ වැඩපිළිවෙළ නොපමාව ජනතාවට හෙළි කිරීමට කැපවන්නැයි සියලු මාධ්ය ලේකම්වරුන්ට පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කළේ රාජ්ය සන්නිවේදන යාන්ත්රණය පිළිබඳ සියලු කැබිනට් අමාත්යවරුන්ගේ, රාජ්ය අමාත්යවරුන්ගේ සහ ආණ්ඩුකාවරුන්ගේ මාධ්ය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා අද (07) රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී පැවැත්වුණු වැඩමුළුව අමතමිනි.
පෙර දැනුම්දීමකින් තොරව හදිසියේම ජනාධිපතිවරයා මෙම අවස්ථාවට එක්වීම විශේෂත්වයකි.
රජයේ සංවර්ධන හා ප්රතිපත්තිමය වැඩපිළිවෙළ ජනගත කිරීමේ දී ප්රමුඛ වගකීමක් අමාත්යාංශ මාධ්ය ලේකම්වරුන්ට පැවරෙන අතර එහිදී රාජ්ය සන්නිවේදන යාන්ත්රණය ශක්තිමත්ව පවත්වා ගෙනයාමට රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව, ජනාධිපති මාධ්ය අංශය හා අමාත්යාංශ අතර ප්රශස්ත සම්බන්ධීකරණයක් පවත්වාගැනීමේ වැදගත්කම පිළිබඳ මෙම වැඩමුළුවේදී මාධ්ය ලේකම්වරුන් දැනුවත් කෙරිණි.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා,
මෙවැනි වැඩමුළු පැවැත්වීම කාලෝචිත පියවරක් බව කිව යුතුයි. මෙහිදී දීර්ඝ වශයෙන් අදහස් දැක්වීමට මම බලාපොරොත්තු වෙන්නේ නැහැ.
මම දැන් කතා කළා ඇති. ඒ කතාවල හරය රටට ලබාදීමයි දැන් තිබෙන්නේ. ආණ්ඩුවේ වැඩපිළිවෙළ රටට දන්වන්න තිබෙනවා. අපි ඉතා අසීරු කාලයක ඉන්නේ. මම හිතන්නේ 20 වන ශතවර්ෂයේ නෙවෙයි ඊට පෙරවත් මෙවැනි තත්ත්වයකට අප මුහුණ දී නැහැ. අපිට මෙයින් ගොඩඑන්න තිබෙනවා. ජනතාව බොහෝ දෙනෙක්ට බලාපොරොත්තු නැති වෙලා තිබෙනවා. අපි ඒ තත්ත්වය නිවැරදි කළ යුතුයි. ආණ්ඩුවේ වැඩපිළිවෙළ කුමක්ද කියා සඳහන් කළයුතුයි.
රටේ තිබෙන ප්රශ්න ගැන අපි අවධානයෙන් ඉන්නේ, හැම ප්රශ්නයකටම දැනට විසඳුම් සොයන්න බැරි වුණත් අපි ඒ ප්රශ්න ගැන දන්නවා. ඒ පිළිබඳ ජනතාවට පණිවිඩයක් ලබා දිය යුතුයි. හැමකෙනාම දැන ගන්න ඕන මොකක්ද ආණ්ඩුව කරන්නේ කියලා. වැරදි මත තිබෙනවනම් ඒවා නිවැරදි කරගන්න ඕන. මේ අසීරු කාලයෙන් අපි ගොඩඑන්න ඕන. රටේ අස්ථාවර භාවයක් තිබුණොත් ගොඩඑන්න බැහැ. රටේ ස්ථාවර භාවයක් තිබෙන්න ඕන. ඒ ස්ථාවර භාවය ඇති කරන්න ඕන නිවැරදි තොරතුරු ලබා දීලා.
අද විද්යුත් මාධ්යයෙන්, මුද්රිත මාධ්යයෙන් නොවෙයි ගැටලුකාරී තත්ත්වයක් මතුව තිබෙන්නේ සමාජ මාධ්යයෙන්. එහි හොදයි, නරකයි දෙකම තිබෙනවා. ඒක මුළු ලෝකයේම තිබෙන ප්රශ්නයක්. අපිට එය විශේෂයෙන්ම බලපාන්නේ මේ අවස්ථාවේදී. ඉතින් ඔබ සියලුදෙනාට මේ වගකීම ඉෂ්ට කරන්න තිබෙනවා.
ඔබේ වගකීම නිසි ලෙස ඉටු නොකළහොත් මුළු රටටම තවත් ප්රශ්නවලට මුහුණ දෙන්න වෙනවා. ඔබ අද හමුවන්නේ ඒ පණිවිඩය ලබාදීමටයි. මෙම වැඩමුළුවට සියලු මාධ්ය ලේකම්වරුන්ට ආරාධනා කර තිබෙන බව මට දැන ගන්න ලැබුණා. නමුත් පැමිණීමේ ලේඛනය අනුව අද මේ සඳහා සහභාගී වී සිටින්නේ 83%ක පමණ පිරිසක්. ආවේ නැත්තේ කවුද කියලත් හොයන්න ඕන. මොකද මේ අයට වගකීමක් පැවරී තිබෙනවා. කොහොමද මාධ්යයට කරුණු පැහැදිළි කරන්නේ, කොහොමද වැරදි මත නිවැරදි කරන්නේ, ඒ සඳහා විශාල ප්රචාරන ව්යාපාරයක් ගෙනියන්න තිබෙනවා. ප්රචාරය නැතිව කිසිවක් සාර්ථක වෙන්නේ නැහැ.
මීට අමතරව තවත් වැඩසටහන් තිබෙනවා. ඒ පිළිබඳවත් ඔබ දැනුවත් විය යුතුයි. ඒ තමයි නිදහසින් පසු 75 වන සංවත්සරය පවත්වන්නේ ලබන වසරේ. ඒ වගේම ලබන සතියේ සිට හිටපු කතානායකතුමාගේ අදහසක් අනුව ජනසභා ඇති කිරීමේ වැඩපිළිවෙල සැලසුම් කරලා තිබෙනවා. මෙලෙස විශාල වැඩකොටසක් තිබෙනවා. ඒ ගැන ප්රචාරයක් ලබා ගැනීමට තමයි මෙවැනි වැඩසටහන් සංවිධාන කරන්නේ.
ඒ වාගේම මම යෝජනා කරලා තිබෙන්නේ මාස 03කට පමණ සැරයක් මෙම පිරිස කැඳවලා සාකච්ඡා කරන්න. මේ වැඩසටහන කරන අපේ මාධ්ය අංශ භාර ප්රධානීන්ට මෙන්ම ලංකාදීප ප්රධාන කර්තෘතුමාට මම ස්තූතිවන්ත වෙනවා.
රජයේ ප්රවෘත්ති අධ්යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න මහතාගේ මගපෙන්වීමෙන් සංවිධාන කර තිබූ මෙම අවස්ථාවට අමාත්ය බන්දුල ගුණවර්ධන, රාජ්ය අමාත්ය ශාන්ත බණ්ඩාර, ජනාධිපති ජ්යෙෂ්ඨ මාධ්ය උපදේශක මහාචාර්ය සුනන්ද මද්දුමබණ්ඩාර, ජනාධිපති මාධ්ය අධ්යක්ෂ ජනරාල් ධනුෂ්ක රාමනායක යන මහත්වරු සහ ස්වාධීන රූපවාහිනි ආයතනයේ සභාපති නීතිඥ සුදර්ශන ගුණවර්ධන, ලංකාදීප ප්රධාන කර්තෘ සිරි රණසිංහ යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

ශ්‍රී ලංකා මළල ක්‍රීඩා සංගමයට සියවසරක් පිරීම නිමිත්තෙන් සමරු මුද්දරයක් සහ මුල් දින කවරයක් නිකුත් කිරීම අද (06) පෙරවරුවේ කොළඹ ඩී.ආර්. විජේවර්ධන මාවතේ  ශ්‍රී ලංකා තැපැල් දෙපාර්තුමේන්තු ශ්‍රවණාගාරයේදී  ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.  
 
 
මෙයට සමගාමීව මළල ක්‍රීඩාවෙන් ජාත්‍යන්තරය ජය ගත් ඔලිම්පික් පදක්කම් ලාභී  සුසන්තිකා ජයසිංහ මහත්මියගේ රුව සහිත  පුද්ගල කාරක මුද්දරයක්ද නිකුත් කල අතර එය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා විසින් සුසන්තිකා ජයසිංහ මහත්මිය වෙත පිළිගන්වන ලදි. 
 
මෙම අවස්ථාවට ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර , ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය රෝහණ දිසානායක , ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් අනූෂ පැල්පිට , ක්‍රීඩා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය අමල් හර්ෂද සිල්වා , තැපැල්පති රංජිත් ආරියරත්න , ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ  සභාපති විශ්‍රාමික මේජර් ජෙනරල් පාලිත ප්‍රනාන්දු , සංවර්ධන ලොතරැයි මණ්ඩලයේ සභාපති හා ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ උප සභාපති අජිත් නාරගල , ශ්‍රී ලංකා මළල ක්‍රීඩා ආයතනයේ ලේකම් හේමා පින්නවල යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් එක්විය.
 
 

පාසල් දිවා ආහාර වැඩසටහන තවදුරටත් ව්‍යාප්ත කෙරේ. ඒ අනුව තවත් සිසුන් ලක්‍ෂ 10 කට පමණ සම්පුර්ණ පෝෂ්‍යදායි දිවා ආහාරවේලක් සැපයීම සදහා අතිරේකව රුපියල් කෝටි 400 ක් වෙන් කිරීමට රජය තීරණය කර තිබේ.

පාසල් දිවා ආහාර වැඩසටහන මේ වනවිට දිවයිනපුරා පාසල් 7926 ක ක්‍රියාත්මකයි. ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව දස ලක්‍ෂ 80 දහසකි.

ප්‍රතිලාභ ලබන එම සිසුන්ට අමතරව තවත් සිසුන් ලක්‍ෂ 10 කට පෝෂ්‍යදායි ආහාර වේලක් සැපයීමට අදාළව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට ඇමති මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ඒ අනුව දිවා ආහාර වැඩසටහනෙන් ප්‍රතිලාභ ලබන සිසුන් සංඛ්‍යාව විසිලක්‍ෂ 80 දහස දක්වා ඉහළ යන බව ඇමති මණ්ඩල තීරණ දනුම් දීම සදහා කොළඹ ඊයේ පැවැති මාධ්‍ය හමුවේදී ඇමති බන්දුල ගුණවර්ධන මහතා පැවසීය. සමස්ත වැඩසටහන සදහා රුපියල් කෝටි 800 ක් වැය කෙරේ. එමගින් සමස්ත සිසුන්ගෙන් සියයට 51 ක ආහාර සුරක්‍ෂිතතාව තහවුරු වන බව ඇමතිවරයා පෙන්වා දුන්නේය.

විශේෂයෙන් ග්‍රාමීය පාසල්වල දරුවන්ගේ පෝෂණ මට්ටම රැක ගැනීමට මෙමගින් හැකිවෙයි. ඒ වෙනුවෙන් යුනිසෙෆ් සංවිධානය, ලෝක බැංකුව, චීන රජය හා තවත් පෞද්ගලික සංවිධානවල ආධාර ලැබී තිබේ. කිසිදු පුරවැසියෙකු ආහාර නොමැතිකමින් කුසගින්නේ නොතැබිය යුතුය යන රජයේ මුලික අරමුණ සාක්සාත් කරගැනීම වෙනුවෙන් රජය වැඩසටහන් ක්‍රියාත්මක කරන බවද බන්දුල ගුණවර්ධන ඇමතිවරයා පැවසීය.

ආහාර සුරක්‍ෂිතතාව සහ පෝෂණය සහතික කිරීම සදහා ආහාර ප්‍රතිපත්ති කමිටුවක් පිහිටුවීමටද රජය තීරණය කර තිබේ. ඒ සදහා ද ඇමති මණ්ඩල අනුමැතිය ලැබී ඇතැයි ඇමතිවරයා සදහන් කළේය.


 
 
 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter