ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය අරඹමින් ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන කියයි
- රට ඉදිරියට ගෙන යෑමට මාධ්‍යයට පුළුවන් -රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර
- මාධ්‍යවේදියා රට නංවන්න තොරතුරු සැපයිය යුතුයි - ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක
- පත්තර මහ ගෙදරට සමාජයේ ලොකු ඉඩක් තිබෙනවා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් සභාපති අනූෂ පැල්පිට
ඉගෙන ගනිමින් වැඩ කිරීමටත්, වැඩ කරමින් ඉගෙන ගැනීමටත් හැකි ඇකඩමියක් ලේක්හවුස් ආයතනය තුළ ස්ථාපිත කිරීම මේ පුවත් පත් කලාවේ හැරවුම් ලක්ෂ්‍යයක් බව ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේය.
ලෝකය ඩිජිටල්කරණයත් සමඟ පොතපතින් ඈත් වීම සිදු වන අතර, ලේක්හවුස් ඇකඩමියේ දේ පොතපතින් ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රකාශන අංශයක් ආරම්භ කරන ලෙසට යෝජනා කරන්නේ යැයි ද ඇමැතිවරයා ප්‍රකාශ කළේය.
සීමාසහිත එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගම තුළ පැවැති ලේක්හවුස් මාධ්‍ය ඇකඩමියේ සමාරම්භක උලෙළට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ඊයේ (28) ප්‍රකාශ කළේය.
ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය ඇමැති ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා,
පත්තර මහගෙදර හැරවුම් ලක්ෂ්‍යයක් වන දවසක් අද. මක්නිසාද යත් ඩී.ආර්. විජේවර්ධන ශ්‍රීමතාණන් අපේ රටේ ඉතිහාසයේ ගමන් මඟ වෙනස් කරමින් ජාතික මතවාදයක් රට තුළ ප්‍රචලිත කිරීමට නිර්මාණය කළ ආයතනයක් තමයි ලේක්හවුස් ආයතනය. සිංහල, දෙමළ, ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රකාශයට පත් වූ පුවත්පත්වලින් රටට නිදහසක් ලබා දීමට ප්‍රධානම භූමිකාවක් ඉටු කළා. ස්ව ජාතිකයන්ට නැඟී සිටීමට විශාල මඟ පෙන්වීමක් එමඟින් සිදු කළා. සංස්කෘතිය අගයන මෙරට හර පද්ධතිය සුරකින මිනිසුන් නිර්මාණයට එතුමන් විසින් තෝරා ගත් පුවත්පත් කතුවරුන් තමයි දැයේ මහා ප්‍රාඥයෙක් වන මාර්ටින් වික්‍රමසිංහ මහතා. ඒ ආභාසය අනුව එවකට සිටි බොහෝ කතුවරුන් කතුවැකිය ලීවේ රටේ මිනිසුන්ට පෙනෙනවාට වඩා වැඩි යමක් පෙනෙන්න, ඇහෙනවාට වඩා වැඩි යමක් ඇහෙන්න. රට තුළ මෑත කාලයේ දී සංස්කෘතිකමය අපගමනයක් මනුස්සකමේ නායයාමක් ඇති වුණා. අපි කුඩා කාලයේ සිටි සුන්දර මිනිසුන්, කාට හරි කුමක් හෝ කරදයක් වූ විට අනේ අපොයි කී මිනිසුන් දැන් වන විට කාට හෝ කරදරයක් වූ විට අනේ අපොයි නොකියන තත්ත්වයට ඇවිත් තිබෙනවා. විවිධ මාධ්‍ය ඔස්සේ විශාල වෛරයක් විවිධ තැනැත්තන් තුළ ඇති කිරීමට කටයුතු කළාද කියලා මට විශාල සැකයක් ඇති වෙනවා. මීට සති කිහිපයකට පෙර රුසියාවේ අසාම් අන්තර්ජාතික සිනමා උලෙළට මම සහභාගි වුණා.
එහිදී මා සමඟ කතා කළ විදේශිකයන් වැඩි දෙනකු තුළ අපේ රට ගැන වැරදි චිත්‍රයක් මැවිලා තිබුණා. ඔවුන් ලංකාවට ඒමට බයක් දැක්වූවා. ලංකාව නරක රටක් කියන මතය ඔවුන් තුළ කා වැදී තිබුණා. එසේ වීමට හේතු වී ඇත්තේ ඇතැම් මාධ්‍ය රට ගැන සිදු කරන වැරදි ප්‍රචාරයන්. මට අපේ රට ගැන දුක හිතුණා. කුමන මතවාද දැරුවත් මාතෘ භූමියේ ප්‍රතිරූපයට හානියක් වන දේ නොලිවීම සඳහා කටයුතු කළ යුතුයි. රටට හානියක් නොවන විදියට මාධ්‍ය හැසිරවීම සඳහා දරුවන්ට ඉගැන්වීමට හැකි නම් අද මේ ආරම්භ කරන ලේක්හවුස් ඇකඩමියට එය මෙලොව සහ පරලොව වශයෙන් පිනක්. ඒ පිංකම කරන්නට මේ ඇකඩමියට ශක්තියක් ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. අනාගතයට නිවැරදි මඟ පෙන්වීමක් කළ හැකි සත්පුරුෂයන් බිහි කිරීම සඳහා වඩා හොඳ දැනුම් සම්භාරයක් ලබා දීමට විවිධ විද්වතුන්, දේශකයන්, ක්‍රියාකාරීන් සම්බන්ධ කර ගැනීමට කටයුතු කිරීම ගැන මම සතුටු වෙනවා. මේ ආයතනය තුළ භාවිතයෙන් තොර න්‍යායෙන් ඵලක් නොවන නිසා මේ දේශන හා වෙනත් ආකාරවලින් ලැබෙන දැනුම වැඩ ලෝකයට සරිලන ලෙස ගළපා ගැනීමට අවශ්‍ය සම්පත් උපකරණ රාශියක් තිබෙනවා. වැඩ කරමින් ඉගෙන ගන්න, ඉගෙන ගනිමින් වැඩ කරන්න එමඟින් දරුවන්ට හැකි වෙනවා.
මේ දෙකම කළ හැකි ඇකඩමියක් නිර්මාණය කිරීම ඉතාම වැදගත්. මගේ ජාතියේ දේශපාලනඥයන් ලංකාවේ සිටිනුයේ එක්කෙනයි. ඒ මමම තමයි. මගේ ගෝලයේ මට වඩා නිර්මාණ කරමින් රට ජාතිය ගොඩනැඟීමට දායක වන්නේ නම්, ගුරුවරයකු විදියට මට සතුටු විය හැකියි. ගුරුවරයකු විදියට අපේක්ෂා කරන ලොකුම දෙයත් ඒකම තමයි. ඇකඩමිය තවත් අදියරක් ඉදිරියට ගෙනයාම සඳහා මම යෝජනාවක් කරන්න කැමතියි. අද අපේ රටේ හා ලෝකයේ ඩිජිටල්කරණය තුළ පොතපතින් ඈත් වන ලෝකයක ඉතාම වටිනා පොතපත අනාගතය වෙනුවෙන් ගබඩා කර තැබීමට හැකි මාර්ගය වනුයේ ලියන කියන පොතපත මුද්‍රණය කර තැන්පත් කිරීම. එය බොහෝ කාලයක් නොනැසී පවතිනවා. ලේක්හවුස් ඇකඩමියේ දේ ප්‍රකාශයට පත් කිරීම සඳහා ප්‍රකාශන අංශයකුත් ප්‍රකාශන සමාගමකුත් ලේක්හවුස් ඇකඩමියේ ප්‍රකාශන විදියට ඉදිරිපත් කළ යුතුයි. පර්යේෂණාත්මක ග්‍රන්ථ, ආධුනිකයන්ගේ නිර්මාණාත්මක කෘති එහිදී ලේක්හවුස් ආයතනයෙන්ම ප්‍රකාශයට පත් කළ හැකියි. එමඟින් ජාතික කර්තව්‍යයකට ඉඩකඩක් සලසා දිය හැකියි.
ජනමාධ්‍ය රාජ්‍ය ඇමැති ශාන්ත බණ්ඩාර මහතා
රටේ පමණක් නොව ලෝකයේම මාධ්‍ය කෙරෙහි අවධානය යොමු කර තිබෙනවා. රටක් ඉදිරියට ගෙන යාමට හෝ පසුපසට ගෙන යාමට, පුද්ගලයකු ඇති කිරීමට හෝ නැති කිරීමට මාධ්‍යයට හැකියි. ඒ නිසා තමයි මාධ්‍යයට ඒ තරම්ම වටිනාකමක් ලැබී තිබෙන්නේ. ව්‍යවස්ථාදායකය, විධායකය, අධිකරණය යන කුලුනු තුන හැරුණු විට රටේ සිව්වැනි කුලුන වනුයේ මාධ්‍ය. මේ ඇකඩමිය ආරම්භ කිරීමට කටයුතු කිරීම ඉතාම හොඳ තීරණයක්. මේ ඇකඩමිය විශ්ව විද්‍යාල මට්ටමට ගෙන යාමට අවශ්‍ය සහාය අපිත් දෙනවා. ඇතැම් මාධ්‍ය හැසිරෙන ආකාරය දුටු විට පෞද්ගලික ලෙස මම කනගාටු වෙනවා. පුවත්පත් රාශියක් අද බිහි වෙලා තිබෙනවා. තරගකාරිත්වයක් ඇති වෙලා තිබෙනවා. වැඩිම අලෙවි කරන්නා බවට පත් වීමට මාධ්‍ය උත්සාහ දරනවා. විද්‍යුත් මාධ්‍ය තුළද විශාල තරගකාරිත්වයක් තිබෙනවා. රටක් විදියට ගත් විට අද අපට තිබෙන ලොකුම අභියෝගය තමයි ආර්ථික අභියෝගය. මෙය එක් පුද්ගලයකු සතු වන අභියෝගයක් නොවේ.
මේ අර්බුදයෙන් ගොඩ ඒමට හැකි වනුයේ සාමූහිකව එක්ව කටයුතු කිරීමෙන්. අපි පාසල් යන කාලයේ පවා දරුවන් ක්ලාන්තය හැදිලා වැටෙනවා. එය අදට පමණක් සීමා වූ දෙයක් නොවේ. මේක අලුත්ම මාතෘකාවක් බවට පත් කර තිබෙන්නේ මාධ්‍ය මඟින්. අපේ රටේ කන්න නැහැ කියන එක සමාජගත කිරීමට ඔවුන් කටයුතු කරනවා. වරලත් ජනමාධ්‍ය ආයතනයක් බිහි කිරීම සඳහා ජනමාධ්‍ය ඇමැතිවරයා කැබිනට් අනුමැතිය ලබාගෙන තිබෙනවා. ගුණාත්මක වෘත්තීය මට්ටමෙන් ඉහළ වරලත් මාධ්‍යවේදියකු බිහි කිරීමට අපි ඉදිරියේදී කටයුතු කරනවා.
ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ලේක්හවුස් ආයතනයේ සභාපති සහ කළමනාකාර අධ්‍යක්ෂ අනූෂ පැල්පිට මහතා
පත්තර මහගෙදරට අතීතයේ වගේම වර්තමානයේත් ලොකු ඉඩක් සමාජය තුළ තිබෙනවා. ආර්ථික ගැටලුත් සමඟ අපේ අධ්‍යක්ෂ මණ්ඩලය වගේම නිලධාරීන් කල්පනා කළා දැනට තිබෙන තත්ත්වයට වඩා වෙනස් තත්ත්වයකට යා යුතුයි කියලා. මාධ්‍ය ඇකඩමිය යථාර්ථයක් බවට පත් කළ නිලධාරීන්ට අපි ස්තුතිවන්ත වෙනවා. අපේ මාධ්‍ය ඇකඩමියේ ඉගෙනීම් කටයුතු සඳහා 25 ක කණ්ඩායමක් තෝරා ගත්තා. මේ මාධ්‍ය ඇකඩමියත් සමඟ ඩිප්ලෝමාවෙන් අපි නතර වෙන්නේ නැහැ. ඊට වඩා එහාට අපි යනවා. ඉදිරි මාස එකහමාරක පමණ කාලය තුළදී ඡායාරූපකරණ ජනමාධ්‍ය පාඨමාලාවක් ද ආරම්භ කරනවා.
මුද්‍රණය සම්බන්ධයෙන් වසර 100 කට වඩා අත්දැකීම් අපට තිබෙනවා. ලංකාවේ තිබෙන හොඳම මුද්‍රණ උපකරණ ලේක්හවුස් ආයතනය තුළ තිබෙනවා. ලංකාවේ ඕනෑම ස්ථානයකට ගොස් ජනමාධ්‍ය පාඨමාලා හැදෑරීමට පුළුවන්. නමුත් ප්‍රායෝගික පුහුණුව ලබන්න බැහැ. අපේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගෙන් ඉගෙන ගන්න පුළුවන්. මේ පුහුණුව අවසන් කිරීමෙන් පසුව රැකියාවක් ලබා ගත හැකියි. දක්ෂතම සිසුන් කිහිපදෙනකුට ලේක්හවුස් ආයතනයේ රැකියාවන් ලබා දීමට අපි කටයුතු කරනවා. මේ පාඨමාලාව මූලිකව සකස් කරන විට විෂය පාඨමාලාව හැදීමට මහාචාර්ය ටියුඩර් වීරසිංහ, මහාචාර්ය ධර්මකීර්ති ශ්‍රී රංජන්, ප්‍රදීපා දිසානායක යන මහත්ම මහත්මීන් උදවු කළා. සම්පත්දායකයන් ලෙස මහාචාර්ය ප්‍රනීත් අබේසුන්දර, මොහාන් සමරනායක මහතා ඇතුළු ප්‍රවීණයන් පිරිසක් මේ සඳහා දායකත්වය ලබා දෙනවා. ඉදිරි වසර දෙක තුළ මේ ඇකඩමිය විශ්ව විද්‍යාලයක් දක්වා ඉදිරියට ගෙනයාමට අපි සැලසුම් කරනවා. ලබන ඉරිදා සිට මේ පාඨමාලාව ආරම්භ කරනවා.
හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ප්‍රවීණ මාධ්‍යවේදී මොහාන් සමරනායක මහතා,
දරුණු ආර්ථික කඩා වැටීමකට අපි දැන් මුහුණ දී සිටිනවා. අද හැම ක්ෂේත්‍රයකම කඩා වැටීමක් තිබෙනවා. රුසියාවෙන් ගෑස් දෙන්නේ නැහැ. කර්මාන්තශාලාවලින් සේවකයන් ඉවතට දමනවා. මේ අවස්ථාවේ තොරුතුරු සම්පාදනය කරන අප සමාජය උත්තේජනය කරන තොරුතුරු ලබා දිය යුතුයි. රටක් තව තවත් කඩා වැටෙන විදියට තොරතුරු ඉදිරිපත් නොකළ යුතුයි. මගේ දැනීම විදියට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයන් විද්‍යාඥයන් නොවේ. ඔවුන්ට රසායනාගාර නැහැ. පසුගියදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයෙක් කී කතාවක් නිසා රට තුළ විශාල ආන්දෝලනයක් ඇති වුණා. මේ ප්‍රවෘත්තිය ගත් මාධ්‍යවේදියාට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයාගෙන් අහන්න තිබුණා රසායනාගාර පර්යේෂණයක් නැතිව කෙසේද මෙවැනි ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරන්නේ කියලා. මාධ්‍යවේදියාගෙන් විය යුත්තේ එයයි.
ලේක්හවුස් ආයතනයේ මූල්‍ය අධ්‍යක්ෂ මහාචාර්ය හරේන්ද්‍ර කාරියවසම් මහතා
මෙම ඇකඩමිය දිනක දෙස් විදෙස් ප්‍රචලිත ඇකඩමියක් වනු ඇත. එයයි අපේ සිහිනය. දිගු ඉතිහාසයක් ලේක්හවුස් ආයතනයට තිබෙනවා. අපටම ආවේණික වූ දේ මේ පත්තර මහගෙදර තිබෙනවා. සමාජයට අනූපමේය මෙහෙයක් මෙමඟින් සිදු කරනවා. ආර්ථික අර්බුදය හමුවේ අපට මෙන්ම සමස්ත මාධ්‍ය සමාජයටම බලපෑම් එල්ල වී තිබෙනවා. සාම්ප්‍රදායක ජනමාධ්‍ය ව්‍යුහය ධෛර්යයෙන් යුතුව පරිවර්තනය කිරීමට කැප වී කටයුතු කළ යුතුයි. එහි ප්‍රතිඵලයක් විදියට අද මේ ඇකඩමිය ස්ථාපිත කරනවා. නවීන තාක්ෂණය මුසු කර ගනිමින් මේ ඇකඩමියෙන් දරුවන්ට අධ්‍යාපනය ලබා දීම සිදු කරනවා. ජනමාධ්‍ය පාඨමාලාව හැදෑරීමට පැමිණ සිටින අංකුර මාධ්‍යවේදීන් හැම විටම අලුත් දැක්මක්, අලුත් සමාජයක් පාඨකයා තුළ තැන්පත් කිරීමට නව මාවතක ගමන් කළ යුතුයි. බන්දුල ගුණවර්ධන සර් මගේ ගුරුතුමා. ලේක්හවුස් මාධ්‍ය ඇකඩමිය සම්බන්ධයෙන් සකස් කළ දැන්වීමේ අඩුපාඩු දුටු මාගේ ගුරුවර ජනමාධ්‍ය අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා ඒවා පෙන්වා දී මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට මඟ පෙන්වූයේ සැබැවින්ම පියෙකු ලෙසයි. ආයතනයේ සභාපතිවරයාගේ සිට අධ්‍යක්ෂ මණ්ඩලයත්, ආයතනයේ පහළම සේවකයා දක්වා මේ කර්තව්‍යය සාර්ථක කර ගැනීමට ලබා දුන් සහාය අගය කළ යුතුයි. මෙම අවස්ථාවට රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් දිනිත් චින්තක කරුණාරත්න, හිටපු රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී මොහාන් සමරනායක, කර්තෘ මණ්ඩල අධ්‍යක්ෂ සිසිර පරණතන්ත්‍රි, මෙහෙයුම් අධ්‍යක්ෂ මංජුල මාකුඹුර, සාමාන්‍යාධිකාරී එස්. ජේ. කොතලාවල, සමාගම් ලේකම් එස්.ඩබ්ලිව්.එස්. ප්‍රසංගා යන මහත්ම මහත්මීහු ද ඇතුළු විධායක කමිටු නිලධාරීන් ද, පුවත්පත් ප්‍රධාන කර්තෘවරුන් ඇතුළු නිලධාරීන් ද, මහාචාර්ය ආචාර්යවරුන් ද, ඇකඩමියට සම්බන්ධ වන සිසු සිසුවියන් ඇතුළු දෙමාපියන් ද සහභාගී වූහ.