නවතම පුවත්

දැනට ක්‍රියාත්මක හදිසි නීතිය මේ සතිය අවසන් වනවිට ඉවත් කිරීමට හැකිවනු ඇතැයි ජනාධීපති රනිල් වික්‍රමසිංහ මහතා විශ්වාසය පළකරයි.

මේ වනවිට රට ස්ථාවර පවතින බැවින් හදිසි නීතිය දීර්ඝ කිරීමේ අවශ්‍යතාවයක් නැතැයි ජනාධිපතිතුමා පෙන්වා දෙයි. කොළඹ දී ඊයේ පැවති විද්වත් වෘත්තිකයින්ගේ සංගම් සම්මේලනයේ 2022 සම්මාන උළෙලට ප්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමින් ජනාධීපතිතුමා එම කරුණු සදහන් කළේය.

රට ගොඩනැගිම සදහා මේ වනවිට ක්‍රියාමාර්ග රැසක් ගෙන තිබෙ. ඒ සදහා සැමගේ සහාය අවශ්‍ය බව ජනාධීපතිතුමා පැවසීය. ඩයස්පෝරාවේ සහාය ශ්‍රි ලංකාවට ලබාගැනිම සදහා ඩයස්පෝරා කාර්යාලයක් ශ්‍රි ලංකාවේ පිහිටුවිම කෙරෙහි රජයේ අවධානය යොමු වි ඇතැයි ද ජනාධීපතිතුමා සදහන් කළේය.

රට මුහුණ දි ඇති වත්මන් අර්බුදයෙන් ගොඩ ඒමට විද්වත් වෘත්තිකයන්ගේ මගපෙන්විම් අත්‍යවශ්‍ය බව එම අවස්ථාවට එක් වු කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසිය.

දූෂණ විරෝධි පනත් කෙටුම්පත සම්මත කර ගැනිම රජයේ අරමුණ බව ඇමති විජේදාස රාජපක්ෂ මහතා එහිදි පැවසිය. ඒ සදහා විද්වත් වෘත්තිකයන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනේ. පනත් කෙටුම්පත සදහා දැනටමත් ඇමති මණ්ඩල අනුමැතිය ලැබි ඇතැයි ඔහු සදහන් කළේය.

පාර්ලිමේන්තු මන්ත්‍රි එරාන් වික්‍රමරත්න මහතා පැවසුවේ රට මුහුණ දි ඇති අභියෝග ජයගත හැක්කේ වර්තමානයට ගැලපෙන ප්‍රතිපත්ති හදුන්වාදිමෙන් පමණක් බවයි. ඒ සදහා පාර්ලිමේන්තුව ශක්තිමත් කිරිමේ අවශ්‍යතාව ඔහු පෙන්වා දුන්නේය.

විද්වත් වෘත්තිකයන්ගේ සංගමයේ සභාපති දුලිත පෙරේරා මහතා ද අදහස් දැක්වීය.

චීන රජයට මෙන්ම ඉන්දියානු, පකිස්ථාන් සහ ඇමරිකන් රජයන් සම්බන්ධයෙන්ද ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් බව කැබිනට් ප්‍රකාශක ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා කියා සිටියේය.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ, (16) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී චීන නෞකාවක් අද උදෑසන මෙරටට ළඟාවීම සම්බන්ධයෙන් සිදුකළ විමසුමේදී අදහස් දක්වමිනි.

අප රටෙහි ජාත්‍යන්තර වශයෙන් විදේශ කටයුතු අමාත්‍යංශයත්, ආණ්ඩුවත් සියලුම රටවල භෞමික අඛණ්ඩතාවයට සහ ස්වෛරීත්වයට ගරු කරමින් රටවල් අතර පවත්නා මිත්‍ර සම්බන්ධතා පලුදු වීමට ඇති ඉඩ ප්‍රස්ථා හැකිතාක් අවම කරමින් ජාත්‍යන්තර කටයුතු මෙහෙයවන බව අමාත්‍යවරයා කියා සිටියේය.

විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්‍රි මහතා මෙම චීන නෞකාව ලංකාවට පැමිණීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයට පැහැදිලි කිරීමක් සිදුකළ බව කියාසිටි අමාත්‍යවරයා, මීට පෙරද මෙරටට යුධ නෞකා, ඇමරිකා එක්සත් රාජධානි හා පකිස්ථාන්, ඉන්දියානු, චීන ආදී වෙනත් රටවල නෞකා පැමිණ ඇති බවද සිහිපත් කළේය.

තෙවැනි පාර්ශවයකට කිසියම් අවහිරයක් සිදුනොවෙනවා නම් හෝ කිසියම් ගැටලුවකට තුඩු නොදෙන්නේනම් ඒ සදහා අවස්ථාව ලබාදීම ස්වෛරීත්ව සමානාත්මතා ප්‍රතිපත්තිය හා මූලධර්මය අනූව කරන කටයුත්තක් බවද, එමනිසා ඒ අනූව චීන නෞකාවට පැමිණීම සඳහා අවසරය ලබාදී තිබුණු බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ඒ සම්බන්ධයෙන් අසල්වැසි ඉන්දියාව විසින් යම් යම් ප්‍රශ්න මතුකිරීම් කළ බවද, එලෙස මතුකළ ප්‍රශ්න සම්බන්ධයෙන් සාකච්ඡා හමාර වන තෙක් චීන නෞකාව පැමිණීම ටික දිනක් පමා කරන ලෙස ලංකා ආණ්ඩුව ඉල්ලා සිටි බවද පැවසුවේය.

සිදුකළ සාකච්ඡා සියල්ල ඉන්දියන් බලධාරීන්, චීන බලධාරීන් සහ රාජ්‍යයන් අතර කිසිදු රටකට, තෙවැනි පාර්ශවයකට අගතියක් නොවන අයුරින් එම පහසුකම් ලබාගෙන යාම සදහා අනෙකුත් රටවලට හිමිවන වරප්‍රසාදය චීන රජයටත් ලබාදී ඇතැයිද ඔහු අවධාරණය කළේය.

චීන රජයට මෙන්ම ඉන්දියානු, පකිස්ථාන් සහ ඇමරිකන් රජයන් සම්බන්ධයෙන්ද ලංකාව අනුගමනය කරන්නේ නොබැඳි පිළිවෙතක් බවද, එම සෑම රටක්ම මෙරටට අතිශයින්ම වැදගත් බවද විශාල වශයෙන් අප රටට ඉතිහාසය පුරා උදවු කර ඇතැයිද අමාත්‍යවරයා සඳහන් කළේය.

මෙරට බෙදුම්වාදය පරාජය කර ඒකීයභාවය ආරක්ෂා කිරීමටත් භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරීත්වය ආරක්ෂා කිරීමටත් මෙම රටවල් අපට උදවු කර ඇති බවද මෙම මිත්‍ර රටවල් සමග ගැටුම් ඇති නොවන අයුරින් කටයුතු කිරීමට විදේශ කටයුතු අමාත්‍යංශය හා විදේශ කටයුතු ඇමතිතුමා වගකීමකින් ක්‍රියාකර ඇති බවද අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා වැඩිදුරටත් පැවසුවේය.

 

 

මෙරට ඉහළ සංචාරක ආකර්ශනය දිනාගත් දුම්රිය ගමනාන්තයක් වන කොලඹ සහ බදුල්ල දක්වා නගරාන්තර අධි සුඛෝපභෝගී සති අන්ත " ඇල්ල ඔඩෙසි " දුම්රිය 13-08-2022 වන අද දින පෙ.ව 5.30 ට ප්‍රවාහන ,මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ සහභාගිත්වයෙන් කොලඹ කොටුව දුම්රිය ස්ථානයෙන් ආරම්භ කෙරිණි.

මීට පෙර මෙම දුම්රිය මහනුවර සිට ඇල්ල දක්වා ධාවනය කෙරිණි. අද දින කොලඹ කොටුවෙන් ගමන් ආරම්භ කල මෙම බලවේග කට්ටල දුම්රිය මැදිරි 8 කින් සමන්විත ය. කලින් මුදල් ගෙවා මෙහි ආසන වෙන් කරගත යුතුවන අතර පලමු දෙවන සහ තෙවන පංතියේ ආසන වලින් දුම්රිය සමන්විත වේ.

දුම්රිය ගමන ආරම්භ කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ ආචාර්ය බන්දුල ගුණවර්ධන, විදේශීය සංචාරකයින්ට පමණක් නොව දේශීය සංචාරකයන්ටත් විශේෂ අධි සුඛෝපභෝගී සංචාරක දුම්රිය සේවයක් ලබා දීම මෙහි ප්‍රධාන අරමුණයි. අද එහි පළමු පියවර වශයෙන් කොළඹ කොටුවේ සිට බදුල්ල දක්වා දුම්රිය සේවයක් ආරම්භ කළා. අනුරාධපුරය, යාපනය, බෙලිඅත්ත වැනි ප්‍රදේශ වලටත් ඉදිරියේදී මෙවැනි සති අන්ත අධි සුඛෝපභෝගී දුම්රිය සේවයක් යෙදවීමට බලාපොරොත්තු වෙනවා.මෙම ඇල්ල ඔඩෙසි දුම්රියේ ඇති සුවිශේෂත්වය නම් මහනුවර සිට බදුල්ල දක්වා ඇති ආකර්ෂණීය නැරඹුම් ස්ථාන වල දුම්රිය මද වේලාවක් නවතා මඟීන්ට එම ස්ථාන නැරඹීමට අවස්ථාව සලසා දීමයි. ඉදිරියට මෙවැනි සුවිශේෂී දුම්රිය වැඩසටහන් ආරම්භ කර සංචාරක කර්මාන්තය නඟා සිටුවීමට රුකුලක් වීමට දුම්රිය දෙපාර්තමේන්තුවේ හැකි වන බව මාගේ විශ්වාසයයි

දළදා පෙරහර සමාප්ති උත්සවයේ දී ජනපති කියයි.
දැවැන්ත ආර්ථික අර්බුදයකට මුහුණ පා සිටියත් එම අර්බුදයෙන් නියත වශයෙන්ම රට ගොඩගන්නා බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඒ සඳහා දළදා වහන්සේගේ මෙන්ම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදය විශාල ශක්තියක් බව පැවසිය.
සියලු ජනතාවට යහපත් ජීවිතයක් උදා කරන අලුත් ආර්ථිකයක් වෙනුවෙන් සියලු දෙනා අලුත් බලාපොරොත්තු සමග ඉදිරියට ගමන් කළයුතු බව ද වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.
ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සහ සතර මහා දේවාලවල වාර්ෂික පෙරහර සාර්ථකව පවත්වා අවසන් කළ බව සැලකිරීමට, මහනුවර ජනාධිපති මන්දිරයේ අද (12) පස්වරුවේ පැවති උත්සවයේ දී රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසීය.
පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන් ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියසදී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.
අනතුරුව දියවඩන නිලමේතුමා සාම්ප්‍රදායානුකූලව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.
පෙරහරේ ගමන් කළ අලි ඇතුන් සංකේතවත් කරමින් “සිංදු” ඇතාට පළතුරු සංග්‍රහයක් කිරීම ද වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
චිරාගත සාම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරු සමූහ ඡායාරූපයකට පෙනී සිටියේ ඉන් අනතුරුවය.
පෙරහරට සහභාගී වූ කලා ශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූලව තිළිණ හා සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු වු අතර, ජීවිතයට එක් වරක් පමණක් පිරිනැමෙන අතිවිශිෂ්ට සම්මාන 07ක් ඇතුළු සම්මාන 162ක් ප්‍රදානය කෙරිණ. මේ සඳහා ඇසළ පෙරහර භාරය සහ ජනාධිපති කාර්යාලය වාර්ෂිකව අනුග්‍රහය දැක්වීම සිදු කරයි.
අනතුරුව දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා විසින් ඓතිහාසික පෙරහර සමාප්තිය පිළිබඳ කරුණු ඇතුළත් සංදේශය ජනාධිපතිතුමා ප්‍රමුඛ සභාවට ඉදිරිපත් කරනු ලැබීය
“ඇසළ පෙරහර භාරය” පිටිසර දේවාල වෙනුවෙන් සිදු කරන මූල්‍යාධාර ප්‍රදානය ජනාධිපතිතුමා අතින් සිදු කෙරුණු අතර “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද පිළිගැන්විණි.
අනතුරුව පැවති උත්සව සභාව අමතමින් රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සඳහන් කළේ,
“මේ උතුම් වගකීම ඉෂ්ට කිරීම ගැන මම පළමුවෙන්ම දියවඩන නිලමේතුමාට ප්‍රශංසා කරනවා. මේ ඓතිහාසික ඇසළ මහා පෙරහර උත්කර්ෂවත් අයුරින් පැවැත්වීමට හැකි වූයේ වසර කිහිපයකට පසුවයි. පසුගිය වසර දෙකේ එය උත්කර්ෂවත්ව පවත්වන්න අපට අවස්ථාව ලැබුණේ නැහැ.
මෙවර ඉතා අලංකාරවත් සහ සංවිධානාත්මකව පෙරහර පැවැත්වුණා. ඒ වගේම විශාල ජනතාවක් ඊට එක් වුණා. ඒ කටයුතු සංවිධානය කළ දියවඩන නිලමේතුමා, බස්නායක නිලමේතුමන්ලා ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා.
රටට අලංකාරවත් පෙරහරක් නරඹන්න අවස්ථාව ලැබුණා. මේ සමගම දෙවිනුවර සිට නල්ලූර් දක්වා පෙරහර පැවැත්වුවා. සතර මහා දෙවිවරුන්ට පමණක් නොව “ශිව” දෙවියන් ඇතුළු අනෙකුත් දෙවිවරු වෙනුවෙන් පෙරහර පැවැත්වුණා. ඒ හැම පෙරහරකටම විශාල ජනතාවක් එක්ව සිටියා. විශේෂයෙන්ම මේ පෙරහර පැවැත්වීම අපේ රටේ සම්ප්‍රදායේ කොටසක්. ඒ වගේම අපේ රටේ පැවැත්මේ කොටසක්. හැම ප්‍රදේශයකම ජනතාව නුවරට එකතු වෙන්නේත් දන්ත ධාතුන් වහන්සේ මහනුවර නගරය වටා පෙරහරින් වැඩම කරවන්නේත් උන්වහන්සේගේන් අපේ රටට ආරක්ෂාව ඉල්ලලා. දෙවියන්ගේ ආරක්ෂාව ඉල්ලලා. මේ රට විපතින් බේරගන්න කියලා කරන ඉල්ලීම කරමින්. ඒක අපේ රටේ සම්ප්‍රදායට ඉතා වැදගත් දෙයක්. ඒ නිසා ඉතා වැදගත් මාසයක් ලෙස ඇසළ මාසය අපි සලකනවා.
මෙවර පෙරහර මංගල්‍ය වැදගත් වන්නේ එයා ඉතා අසීරු කාලයකදී පැවැත්වීම නිසයි. අනෙක් අතට මේ රටේ විශාල ආර්ථික කඩා වැටීමක් තිබෙන කාලයක්. මේ අසීරුතාව අපි හැම දෙනාටම බලපාලා තිබෙනවා. අපි මෙතනින් මේ කාලය අවසන් කළ යුතුයි. මීට වඩා අභියෝග තිබෙන කාලයක් එන්න පුළුවන්. මේ හැම දෙයකින්ම අපි ගොඩඑන්න ඕන, අපි සූදානම් වෙන්න ඕන ඉදිරියට ඇවිල්ලා එපේ රටට අලුත් ආර්ථිකයක් ගොඩනගා ගන්න.
මට කිසිම සැකයක් නැහැ දළදා වහන්සේ උදෙසා මහනුවර පැවැත්වූ මේ ඇසළ මහා පෙරහර, රටේ පැවැත්වූ අනෙකුත් පෙරහර ඇතුළු ආගමික උත්සව නිසා අපට විශාල ආශිර්වාදයක් ලැබෙනවා. එය අපට විශාල ශක්තියක්, ආරක්ෂාවක්. මගේ ප්‍රාර්ථනාව මේ විපතින් රටේ ආර්ථිකය ගොඩගැනීම. මේ ආගමික උත්සවවලින් ලැබෙන ආශිර්වාදය ඊට විශාල ශක්තියක්.
ඒ ශක්තිය සමග අපි ඉදිරියට යමු. රටට හොඳ අනාගතයක් ඇති කරමු. දන්ත ධාතුන් වහන්සේගේ වගේම සියලු දෙවිවරුන්ගේ ආශිර්වාදයෙන් ලබන වසර වන විට අපේ රට ගොඩගන්න ශක්තිය ලැබෙන්න කියලා මම ඉල්ලා සිටිනවා”
මෙම අවස්ථාව සනිටුහන් කරමින් ජනාධිපති මන්දිර පරිශ්‍රයේ “නා” පැළයක් රෝපණය කිරීම රනිල් වික්‍රමසිංහ මහතා අතින් සිදු විය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අමාත්‍යවරුන් වන කෙහෙළිය රඹුක්වැල්ල, විජයදාස රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් වන මහාචර්ය රංජිත් බණ්ඩාර, ගුණතිලක රාජපක්ෂ, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, මහනුවර නගරාධිපති කේසර සේනානායක යන මහත්වරුන් ද දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ඇතුළු සතර මහා දේවාල හා පිටිසර දේවාල නියෝජනය කරන බස්නායක නිලමේවරු හා සෙසු නිලමේවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.
ජනාධිපති මාධ්‍ය අංශය
2022-08-12

ලාංකේය සිනමා කර්මාන්තය හා චිත්‍රපට සංස්කෘතිය ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි ජාතික චිත්‍රපට සංස්ථාව නව්‍යකරණය කිරීමේ හා ජාතික සිනමා ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමේ සැලසුම් පිළිබඳ සාකච්ඡාවක් ජනමාධ්‍ය, ප්‍රවාහන හා මහාමාර්ග අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් (10) ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී පැවැත්විණි.

ජාතික චිත්‍රපට සංස්ථාවේ නව සභාපතිවරයා වශයෙන් නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා පත්වීමත් සමග චිත්‍රපට කර්මාන්තයේ ප්‍රගමනයට ක්ෂේත්‍රය පිළිබඳ විද්වතුන්, කලාකරුවන්, ආයෝජකයින් හා අදාළ නිලධාරීන්ගේ අදහස් හා යෝජනා ලබා ගැනීම මෙම සාකච්ඡාවේ අරමුණ විය.

මෙහිදී අදහස් දැක්වූ අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසුවේ සිනමා ශාලාවකට ගොස් චිත්‍රපටයක් නැරඹීමේ පුරුද්ද තරුණ පරපුර වෙතින් ගිළිහී යමින් ඇති මෙම කාලයේ ජනතාව ආශක්ත වන නව සිනමා සංස්කෘතියක් රට තුළ ඇති කිරීමට කඩිනම් ක්‍රියාමාර්ග ගත යුතු බවයි. සිනමාව කලාවක් මෙන්ම කර්මාන්තයක් ලෙසද ප්‍රවර්ධනය කිරීමට ඉවහල් වන පරිදි මෙම ක්‍රියාමාර්ග සැලසුම් කළ යුතු බව අමාත්‍යවරයා අවධාරණය කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා,
“ සුද්දිලාගේ කතාව” චිත්‍රපටයෙන් ආරම්භ වී “ද නිවුස්පේපර්” චිත්‍රපටය දක්වා චිත්‍රපට නිෂ්පාදන ක්ෂේත්‍රය ඔස්සේ ලාංකීය සිනමා කර්මාන්තයට සෘජුවම සම්බන්ධ පුද්ගලයකු වශයෙන් අද මෙම සාකච්ඡාවට සහභාගි වීම සතුටක් ලෙස සලකනවා. චිත්‍රපට කලාව හා කර්මාන්තය නඟා සිටුවීමට මෙම අවස්ථාවට එක්ව සිටින සියලු නිෂ්පාදකයින්ගේ, කලාකරුවන්ගේ හා විද්වතුන්ගේ අදහස් හා යෝජනා මම බලාපොරොත්තු වෙනවා. මෙම දියුණුව උදෙසා මා හඳුනාගත් මූලික සැලසුම් කීපයක් තිබෙනවා. එකක් තමයි සිනමා ශාලා සංඛ්‍යාව වැඩි කිරීම. පළාත් පාලන ආයතන මට්ටමින් සිනමා ශාලා ඇති කිරීමට එම අමාත්‍යවරයා හා සාකච්ඡා කර වැඩපිළිවෙලක් සැකසීමට මා කටයුතු කරනවා. ඒ වගේම බටහිර රටවල පවා ජනප්‍රිය “Wheel Cinema” එනම් ජංගම වාහනයක් උපයෝගී කරගෙන සිනමා ප්‍රදර්ශනය යන සංකල්පය ක්‍රියාත්මක කිරීම සිනමාව තරුණ ප්‍රජාව අතර ජනප්‍රිය කිරීමට ඉවහල් වනු ඇති. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පෙර කාලයේ මෙම සංකල්පය ක්‍රියාත්මක කළා. එය වඩාත් නව්‍යකරණය කර ක්‍රියාත්මක කළ හැකියි.

අප හඳුනාගත් තවත් අත්‍යවශ්‍ය ක්‍රියාමාර්ගයක් වන්නේ ජාතික චිත්‍රපට සංස්ථාව නියාමන කොමිසමක් ලෙස ක්‍රියා කරන ආකාරයට කටයුතු සැලසීමයි. පෞද්ගලික අංශය දිරිගන්වමින් අවශ්‍ය පහසුකම් හා නියාමනය සලසන ආයතනයක් ලෙස එය ක්‍රියා කළ යුතුයි. නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතාගේ පාලනය යටතේ මේ සඳහා හොඳින් කටයුතු කළ හැකි වනු ඇතැයි අප අපේක්ෂා කරනවා. ඒ වගේම වසර දෙකකින් පමණ පැවැත්විය නොහැකි වූ ජනාධිපති සිනමා සම්මාන උළෙල මෙම වසර අවසන් වීමට පෙර පැවැත්වීමට අදහස් කරනවා. චිත්‍රපට කර්මාන්තයේ උන්නතිය සඳහා වන නව ක්‍රියාමාර්ග සම්බන්ධව චිත්‍රපට නිෂ්පාකයින් හා ශාලා හිමියන් සමග තවදුරටත් සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වෙනවා. ”

නව සභාපති නීතිඥ දීපාල් චන්ද්‍රරත්න මහතා සාකච්ඡාවට එක්වෙමින් ප්‍රකාශ කළේ මෙම කාලය සිනමා කර්මාන්තයට ඉතාමත් අභියෝගාත්මක කාලයක්
බවයි. නමුත් ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අවබෝධාත්මක මැදිහත්වීම හා සියලු සම්බන්ධිත පාර්ශ්වයන්ගේ දායකත්වය මත වසරක් වැනි කෙටි කාලයක් තුළ මෙම අභියෝග ජයගනිමින් සිනමා ක්ෂේත්‍රය නගා සිටුවීමට පියවර ගත හැකි බව සභාපතිවරයා අවධාරණය කළේය.

සංස්කෘතික අමාත්‍යාංශයේ මැදිහත්වීම මත, ප්‍රවීණ සිනමා විචාරක ගාමිණී වේරගම මහතාගේ මූලිකත්වය ඇති කමිටුව සම්පාදනය කළ සිනමා ජාතික ප්‍රතිපත්තිය මෙහිදී අමාත්‍යවරයා වෙත භාරදුන් අතර, ජනාධිපතිවරයා වෙත එම ලේඛනය පිළිගැන්වීමෙන් පසු ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට තීරණය කරගන්නා ලදී. ක්ෂේත්‍රයට අදාළ විද්වතුන් හා ආයෝජකයින්ද සමග සාකච්ඡා කර වඩාත් සාධනීය ලෙස එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා කමිටුවක් පත් කර ගැනීමද මෙහිදී සිදු විය.

මෙම සාකච්ඡාවට පාර්ලිමේන්තු මන්ත්‍රිනී, ප්‍රවීණ රූපණවේදිනී ගීතා කුමාරසිංහ මහත්මියද, ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම් අනූෂ පැල්පිට මහතා ප්‍රධාන අමාත්‍යාංශ නිලධාරීන්ද, රාජ්‍ය මාධ්‍ය ආයතන ප්‍රධානීන්ද, බුද්ධි කීර්තිසේන, මහාචාර්ය සුනිල් ආරියරත්න, මහාචාර්ය ආරියරත්න ඇතුගල, ප්‍රවීණ රූපණවේදිනී ශ්‍රියානි අමරසේන වැනි කලා ක්ෂේත්‍රයේ ප්‍රවීණයින්ද සිනමා නිෂ්පාදකයින් හා සිනමා ශාලා හිමියන්ද ඇතුලු ක්ෂේත්‍රයට සම්බන්ධිත පාර්ශ්වයන් නියෝජනය කරමින් විද්වත්හු රැසක් එක්ව සිටියහ.

 

සෑම පක්ෂයකටම සාධාරණ නියෝජනයක් සහිත පාලන ව්‍යුහයක් සකස් කිරීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. 
සර්ව පාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීම පිළිබඳ පක්ෂ කිහිපයක් සමග   (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවල දී ජනාධිපතිතුමා මේ බව සඳහන් කළේය. 
 
පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් මහතාගේ නායකත්වයෙන් යුත් සමස්ත ලංකා මුස්ලිම් කොංග්‍රසය,  පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඇතුළු කණ්ඩායම, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් මහතාගේ නායකත්වයෙන් යුත් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය, පාර්ලිමේන්තු මන්ත්‍රී සී.වී. විග්නේෂ්වරන් මහතාගේ නායකත්වයෙන් යුත් තමිල් මක්කල් තේසීය කුට්ටනි පක්ෂය, පාර්ලිමේන්තු මන්ත්‍රී මනෝ ගනේෂන් මහතාගේ නායකත්වයෙන් යුත් දෙමළ ප්‍රගතිශීලි සන්ධානය සාකච්ඡා සඳහා  එක්ව සිටියහ.
 
පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කමිටු පත් කිරීමේ කටයුතු මේ වන විට සිදුවන බව පැවසූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවත් අතුරු කමිටු කිහිපයක් පිහිටුවීමේ අවශ්‍යතාව හඳුනාගෙන තිබෙන බව සඳහන් කළේය.
 
ජාතික සභාව ඇති කිරීම ප්‍රධාන ඉලක්කය බව පෙන්වා දුන් ඒ මහතා  සියලු පක්ෂවල නියෝජනය සහ සන්ධාන තුළ ඇති අනෙකුත් පක්ෂ සහ කණ්ඩායම්වල සම්පූර්ණ නියෝජනයක් ඒ සඳහා අවශ්‍ය බව පැවසීය.
කමිටු සභාපතිවරුන් වෙත කැබිනට් අමාත්‍යවරුන් හාසමාන බලයක් සහ නියෝජනයක් ලබාදීමටත්, අවශ්‍ය අවස්ථාවල ඔවුන් කැබිනට් සාකච්ඡා සඳහා සහභාගීකර ගැනීමේ වැදගත්කමත් වික්‍රමසිංහ මහතා පැහැදිලි කළේය. 
 
කමිටු ක්‍රමය නියෝජනය කරනවාද,  ඒසේ නැති නම් ආණ්ඩුවට එක්වනවාද යන්න ඒ ඒ පක්ෂ සාකච්ඡා කොට තමන් වෙත දැනුම් දෙන ලෙස ද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත්  ඉල්ලා සිටියේය. 
අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන, ජනාධිපති ලේකම් සමන් ඒකනායක, ජනාධිපති අතිරේක ලේකම් නීතිඥ චමින්ද කුලරත්න යන මහත්වරු ද සාකච්ඡා සඳහා එක්ව සිටියහ

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ගේ ආරාධනයකට අනුව ශ්‍රී ලංකාවේ 8 වන විධායක ජනාධිපති ලෙස පසුගිය දා රාජකාරි භාරගත් සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් අඟහරුවාදා (09) දින ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේ සිය ප්‍රථම නිල සංචාරයේ නිරත විය.

ගරු ජනාධිපතිතුමන් රැගත් පරිවාරක රථ පෙළපාලිය පෙරවරු 09.00 පැයට යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන දොරටුව වෙත පැමිණි අතර ආරක්‍ෂක අමාත්‍යාංශ ගොඩනැඟිල්ල ඉදිරිපිටදී ජනාධිපතිතුමන් වෙත යුද්ධ හමුදා භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ (drive-past) ගෞරවාචාරය පිරිනමනු ලැබීය. පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් ගරු ජනාධිපතිතුමන් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව එතුමන් වෙත හමුදා සම්ප්‍රදායානූකූල ගෞරවාචාරයන් පුදකිරීම සඳහා ප්‍රධාන පීඨිකාව වෙත කැටුව යන ලදී.

යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරයේ නිරත ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයට පැමිණීමට පෙර ගරු අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමන්, ගරු කථානායක මහින්ද යාපා අබේවර්ධන මැතිතුමන්, ගරු මහජන ආරක්‍ෂක අමාත්‍ය ටිරාන් අලස් මැතිතුමන්, ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානි සහ ජාතික ආරක්‍ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක සාගල රත්නායක මැතිතුමන් ද එම අවස්ථාවට සහභාගී වූහ. යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රථම නිල සංචාරයේ නිරත ගරු ජනාධිපතිතුමන්, ආරක්‍ෂක ලේකම් ජෙනරල් කමල් ගුණරත්න (විශ්‍රාමික), ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී, නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් කිහිපදෙනෙකු විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ.

ඉන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් වලින් සැදුම්ලත් වර්ණවත් සම්මාන මුරයේ ගෞරවාචාරය අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත පිරිනමනු ලැබීය. අනතුරුව, සම්මාන මුරයේ පෙල අණදෙන නිලධාරිගේ ආරාධනයකට අනුව ගරු ජනාධිපතිතුමන් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන මුරයේ ගෞරවාචාරය පිළිගැනීම සඳහා විශේෂ පීඨිකාව වෙත පැමිණියේය. පසුව, නිලධාරින් 04 දෙනෙකු සහ සෙසුනිලයන් 100 දෙනෙකුගෙන් සමන්විත ජනාධිපති වර්ණ සහ රෙජිමේන්තු වර්ණයන්ගෙන් සමන්විත සම්මාන මුරයේ ගෞරවාචාරය ගරු ජනාධිපතිතුමන් වෙත පිරිනමනු ලැබූහ.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද සේවා ලේකම් කාර්යාලයේ ප්‍රධාන දොරටුව අභියසදී ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත යුද්ධ හමුදා මූලස්ථානයේ ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් හඳුන්වාදෙනු ලැබීය. ඉන් අනතුරුව, යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ අතර සුහඳ අදහස් හුවමාරුවක් ද පැවැත්විණි. එහිදි, යුද්ධ හමුදාධිපතිතුමන් විසින් ‘Sri Lanka Army Keystone Doctrines; Command, Operations Other Than War and Sustenance’ යන ග්‍රන්ථයේ මුල් පිටපත් ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගන්වනු ලැබීය.

තවද, මෙම සංචාරයේදී ගරු ජනාධිපතිතුමන් පාර්ලිමේන්තු සංකීර්ණය අසල මීට සති කිහිපයකට ප්‍රථම විරෝධතාකරුවන් පිරිසක් සිදුකළ කලහකාරි තත්ත්වය පාලනය කිරීමට කටයුතු කිරිමේදී තුවාල ලැබු භටපිරිස් සමඟින් ද සුහඳව අදහස් හුවමාරු කරගත්තේය.

ඉන් අනතුරුව, භටපිරිස් ඇමතු ගරු ජනාධිපතිතුමන් පසුගිය දා ඇති වූ කලහකාරි තත්ත්වය හමුවේ භටපිරිස් කටයුතු කළ ආකාරය ඇගයීමට ලක්කරමින් ඔවුන් වෙත සිය ස්තූතිය පුදකිරීමෙන් අනතුරුව “ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව, ප්‍රජාතන්ත්‍රවාදය සහ ස්වෛරීභාවය ආරක්‍ෂා කිරීම උදෙසා නිර්භීතව කටයුතු කළ බව” ද සඳහන් කළේය. අනතුරුව, ජනාධිපතිතුමන්ගේ සුරතින් එම භටපිරිස් වෙත සහතික පත් ද ප්‍රදානය කරන ලදී.

පසුව, යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් යුද්ධ හමුදාවේ සියලු නිලයන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මූලස්ථානයේ සංචාරයේ නිරත ගරු ජනාධිපතිතුමන් වෙත විශේෂ සමරු තිළිණයක් ද ප්‍රදානය කරන ලදී.

ඉන් අනතුරුව, යුද්ධ හමුදා මූලස්ථානයේ විශේෂ අමුත්තන්ගේ පොතේ සමරු සටහනක් තැබූ ගරු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මැතිතුමන් වෙත සිදුකරනු ලැබූ ඉල්ලීමකට ප්‍රතිචාර දක්වමින් යුද්ධ හමුදා මූලස්ථානයේ මාණ්ඩලික නිලධාරින් සමඟ සමූහ ඡායාරූපයකට ද එතුමන් එක්විය.

රටේ ගැටලුවලට විසඳුම් ලබාදීම සඳහා ශක්තිමත් රජයක් අත්‍යවශ්‍ය බවත්, ඒ සඳහා සර්වපාක්ෂික ආණ්ඩුකරණය ඉතා වැදගත් බවත් ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහනායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය දොඩම්පහල චන්ද්‍රසිරි නාහිමියන් පවසනවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ හමුවූ අවස්ථාවේ උන්වහන්සේ මේ බව කියා සිටියා. රාජගිරිය කලපළුවාව ගෝතම තපෝවන විහාරස්ථානයට පැමිණි ජනාධිපතිතුමා, පළමුව ආගමික වතාවත්වල නිරත වුණා. අනතුරුව, මහ නාහිමිපාණන් වහන්සේ බැහැදැක ආශීර්වාද ලබා ගත්තා.

රට ගැන සිතා සර්වපාක්ෂික ආණ්ඩුවක් පිහිටුවීමට සියලුදෙනා එක්විය යුතු බව මහ නාහිමියන් ප්‍රකාශ කළා. කෘෂිකර්මාන්තයට මුල් තැන දී රට ස්වයංපෝෂිත කිරීමේ වැඩපිළි‍වෙළක් අවශ්‍යයි. කුසළතා පදනමින් රැකියා ඉලක්ක කරගත් ජාතික ප්‍රතිපත්තියක්ද සැකසිය යුතුයි. ලෝකය ජය ගත හැකි අයුරින් අධ්‍යාපන ක්‍රමයද යාවත්කාලීන වියයුතු බව උන්වහන්සේ ප්‍රකාශ කළා.

ඇඟලුම් කර්මාන්තයට ප්‍රමුඛතාව

සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන් වෙනුවෙන් තීරු බදු ඇතුළු සහන රැසක් දීමට රජය තීරණය කර තිබේ.

මෙරට සුළු හා මධ්‍ය පරිමාණ කර්මාන්තකරුවන්ට තමන්ගේ නිෂ්පාදන සඳහා උපාංග ගෙන්වීමට අවශ්‍ය ඩොලර් ලබා දෙන ලෙසත්, උපාංග ආනයනයට සහ බැංකු ණය පහසුකම් ලබා දෙන ලෙසත් කර ඇති ඉල්ලීම සලකා බලා මේ සඳහා අවශ්‍ය අවසර ලබා ගැනීමට කර්මාන්ත ඇමැති වෛද්‍ය රමේෂ් පතිරණ මහතා විසින් යෝජනාවක් ද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර, ඒ සඳහා අනුමැතිය පළ කෙරිණි.

ඒ අනුව දේශීය ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේදී තීරු බදු සහන දීමට ද තීරණය කර තිබේ.

ඇඟලුම් කර්මාන්තකරුවන් මුහුණ පා සිටින අමුද්‍රව්‍ය මිල ඉහළ යෑම සහ රට තුළ පවතින අයහපත් වාතාවරණය හේතුවෙන් දේශීයව නිෂ්පාදනය නොකරන ඇඟලුම් නිෂ්පාදනයට අවශ්‍ය උපාංග ආනයනය කිරීමේ මේ අනුව මේ තීරු බදු සහන ලැබෙන බව ප්‍රවාහන මහාමාර්ග හා ජනමාධ්‍ය ඇමැති, ආචර්ය බන්දුල ගුණවර්ධන මහතා කැබිනට් තීරණ දැනුම්දීමේ හමුවේදී කීවේය.

 

ඒ අනුව සංයෝජිත වර්ගීකරණ (එස්.එච්) කේත අංක 19 ක් යටතේ වන උපාංග සහ අයිතම සඳහා තීරු බදු සහන දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.

ආනයනය හා අපනයනය කෙරෙන සෑම භාණ්ඩයකටම ශ්‍රී ලංකා රේගුව මගින් කේත අංකයක් නිකුත් කර තිබේ. සංයෝජිත වර්ගීකරණ (එස්. එච්) කේත ලෙස හඳුන්වන එම කේත අංක19 කට අදාළ වන උපාංග සහ අයිතම සඳහා මෙලෙස තීරු බදු සහන ලබා දීමක් සිදු වෙයි. කොවිඩ් -19 වසංගත තත්ත්වය යටතේ වුවද ශ්‍රී ලංකාවට විදේශ විනිමය ලබා දෙන ප්‍රධානතම ක්ෂේත්‍රයක් බවට ඇඟලුම් කර්මාන්තය පත්ව තිබේ. මෙරට ජනතාවගෙන් අති විශාල ප්‍රමාණයක් ඇඟලුම් ක්ෂේත්‍රය ආශ්‍රිත රැකියා මගින් ජීවත් වන හෙයින් ඒ සම්බන්ධයෙන්ද අවධානය යොමු කරමින් මෙලෙස තීරුබදු සහන දීමට පියවර ගත් බව ද ඇමැතිවරයා සඳහන් කළේය.

මෙලෙස තීරුබදු සහන දෙන උපාංග සහ අයිතම ලැයිස්තුව පිළිබඳ ශ්‍රී ලංකා රේගුවේ තොරතුරු මධ්‍යස්ථානයෙන් දිනමිණ කළ විමසීමේදී ඔවුන් සඳහන් කළේ ඊට අදාළ ගැසට් නිවේදනය පළ විය යුතුව ඇති බවයි

- ලෝකයේ දක්ෂයන් අතර දක්ෂයකු වීම පිළිබඳ ආඩම්බර වෙනවා
- වසර 24ක මලල ක්‍රීඩා පදක්කම් පිපාසය යුපුන් සංසිඳවයි

ලෝකයේ දක්ෂයන් අතර දක්ෂයකු වීමට ලැබීම සතුටක් බව කෙටිදුර ධාවන ශූර යුපුන් අබේකෝන් පවසයි. බර්මින්හැම්හී ඇලෙක්සැන්ඩර් ක්‍රීඩාංගණයේ ඊයේ අලුයම් කාලයේ පැවති මීටර් 100 අවසන් තරගයේ ලෝකඩ පදක්කම තත්පර 10.14කින් දිනාගත් යුපුන් අබේකෝන් එදා මෙදාතුර වසර 92ක පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උලෙළ ඉතිහාසයේ මීටර් 100 ඉසව්වෙන් පදක්කමක් දිනාගත් පළමු ශ්‍රී ලාංකික ක්‍රීඩකයා බවට පත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළේ වේගවත්ම මිනිසා බවට පත් වෙමින් කෙන්යාවේ ඔමන්යාලා ෆර්ඩිනැන්ඩ් තත්පර 10.02කින් රන් පදක්කම දිනාගත් අතර, දකුණු අප්‍රිකාවේ සදිම්බිනී අකානී තත්පර 10.13කින් රිදී පදක්කම දිනා ගත්තේය.

එමෙන්ම පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළකදී වසර 24කට පසු ශ්‍රී ලංකාවට මලල ක්‍රීඩා පදක්කමක් දිනාදීමට යුපුන් අබේකෝන් සමත් වීම ද විශේෂත්වයකි. අවසන් වරට මලල ක්‍රීඩාවෙන් පොදු රාජ්‍ය මණ්ඩලීය පදක්කමක් ශ්‍රී ලංකාව දිනා ඇත්තේ 1998 ක්වාලාලාම්පූර් ක්‍රීඩා උලෙළේදී ශ්‍රියානි කුලවංශ මීටර් 110 කඩුලු මතින් දිවීමේ රිදී පදක්කම හා සුගත් තිලකරත්න මීටර් 400න් ලෝකඩ පදක්කම පමණි. එතැන් සිට මලල ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකාවට තිබූ පදක්කම් පිපාසය යුපුන් අබේකෝන් නිමා කළේය. පොදු රාජ්‍ය මණ්ඩලීය පළමු පදක්කම ශ්‍රී ලංකාවට ගෙන ආවේ 1950දී ඩන්කන් වයිට්ය. ඒ යාර 440 කඩුලු ඉසව්වෙන් නවසීලන්තයේදීය.

ලෝකඩ පදක්කම දිනා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය ඇමැතූ යුපුන් අබේකෝන් පැවසුවේ “මම මේ ක්‍රීඩා උලෙළට ආවේ අවසන් මහා තරගයට සුදුසුකම් ලබන්නයි. ඒ දේ මා පළමුව ඉටු කළා. කිසිම පීඩනයක් නැතිව මට දුවන්න කියා මගේ පුහුණුකරු මට උපදෙස් දුන්නා. ඔහු කිව්වේ පදක්කමක් සමඟ තරග අවසානයක් මට කරන්න පුළුවන් කියලයි. මේ වගේ තත්ත්වයකින් මෙවැනි තරගයක් නිමා කිරීමට ලැබීම සතුටක්. මගේ මීළඟ ඉලක්කය පියවරෙන් පියවර ගොඩනැඟීම අපේක්ෂාවයි” යුපුන් අබේකෝන් පැවසීය.

යුපුන් මේ ක්‍රීඩා උලෙළේ අවසන් පූර්ව තරගය තත්පර 10.20කින් නිමා කොට අවසන් මහා තරගයට පිවිසියේය. එම අවසන් පූර්ව වටයේදී ක්‍රීඩකයන් 27කින් 8 වැනියා බවට පත් විය. පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උලෙළක පිරිමි මීටර් 100 අවසන් මහා තරගයට සුදුසුකම් ලැබූ පළමු ශ්‍රී ලාංකිකයා ලෙස එහිදී යුපුන් ඉතිහාසයට එක් විය. මෙහි මූලික වටයේ තරගයට එක් වූ යුපුන් අබේකෝන් තත්පර 10.06කින් තරගය නිම කොට අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේය.


එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් (Antonio Guterres) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත සුභාශිංසන එක් කර තිබේ.

 
ජනාධිපතිතුමා වෙත පසුගිය (03) දා විශේෂ සුබපැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මහ ලේකම්වරයා පවසා ඇත්තේ රට මුහුණ දී සිටින වත්මන් අභියෝග ජයගැනීමට හිතකර පරිසරයක් හා ස්ථාවරත්වයක් ගොඩනැගීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නායකත්වය තීරණාත්මක වනු ඇති බවයි.
 
මෙම අභියෝගවලට මුහුණ දීම සඳහා ජාතික උපායමාර්ගයක් සකස් කිරීමේදී සියලු දේශපාලන පක්ෂ අතර සම්මුතියක් ඇති කර ගැනීමට ජනාධිපතිතුමා දක්වන කැපවීම එක්සත් ජාතීන්ගේ මහ ලේකම්තුමා පිළිගෙන ඇති අතර එසේ කිරීමේදී, මහජනතාව සමඟ අදහස් විමසීම මෙන්ම නීතියේ ආධිපත්‍යය සහ මූලික මානව හිමිකම් මූලධර්මවලට ගරු කිරීම ඇතුළු සියලුම පාර්ශවකරුවන් අතර සංවාදය දිරිමත් කිරීමේ වැදගත්කම ද පෙන්වා දී ඇත.
 
තවද, කාන්තාවගේ දේශපාලන සහභාගීත්වය සඳහා ශ්‍රී ලංකාව දරණ උත්සාහය පිළිගැනීමට සහ ප්‍රගතිය වේගවත් කිරීම සඳහා ජනාධිපතිතුමාගේ නායකත්වය දිරිමත් කිරීමට සහයෝගය පළ කර ඇත.
 
එක්සත් ජාතීන්ගේ සංවිධානය ශ්‍රී ලංකා රජයට සහ ජනතාවට ක්ෂණික හා දිගුකාලීන අවශ්‍යතා සපුරාලීමට සහය දැක්වීමට සූදානමින් සිටින අතර සියලු ශ්‍රී ලාංකිකයන් වෙනුවෙන් සාමය ගොඩනැගීම, තිරසර සංවර්ධනය සහ මානව හිමිකම් ප්‍රවර්ධනය සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සහයෝගීතාව අඛණ්ඩව පවත්වාගෙන යාමට අපේක්ෂා කරන බවද පවසා ඇත.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter