නවතම පුවත්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලබන මුද්‍රිත වාර්ෂික වාර්තා ඇතුළු ලේඛන මෘදු පිටපත් ලෙස පමණක් ප්‍රකාශයට පත් කිරීමට තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැවසීය.

පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී මේ බව තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (07)පාර්ලිමේන්තුවේ දී නිවේදනය කළේය

රටේ දැනට පවතින දැඩි ආර්ථික අර්බුදකාරී තත්ත්වය පිළිබඳ විශේෂ අවධානය යොමුකොට වියදම් සීමා කිරීමේ පියවරක් ලෙස මෙන්ම, ඇතිවිය හැකි පාරිසරික ගැටලු ද අවම කිරීමේ අරමුණින් මෙම තීරණය ගත් බවත් මේ සම්බන්ධයෙන් සියලු මන්ත්‍රීවරයන්ගේ සහයෝගය බෙහෙවින් අගය කරන බවත් කථානායකවරයා පැවසීය.

තවද මුද්‍රිත කටයුතු සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය සපයාගැනීමේ දී පවතින දුෂ්කරතාවය, එලෙසම දැනට භාවිතා කරන ආනයනික සංයුක්ත තැටි වෙ‍ෙළඳ‍පොළෙන් සොයාගැනීමට ඇති අපහසුතාවය සහ ඒ සඳහා ඉතා අධික මිලක් දැරීමට සිදුවීම, එලෙසම සංයුක්ත තැටි ප්‍රතිචක්‍රීකරණයේ දී පරිසරයට මුදා හැරීමේ දී ඇතිවන අහිතකර පාරිසරික බලපෑම් පිළිබඳව කාරක සභාවේ විශේෂ අවධානය යොමු වූ බවද කථානායකවරයා පැවසීය.

මේ අනුව මේ සම්බන්ධ කටයුතු කිරීමට නිලධාරියකු පත්කොට අදාළ දිනවල දී සභාගත කරනු ලබන එකී වාර්තාවල මෘදු පිටපත් (Soft Copies) ගරු මන්ත්‍රීවරුන් වෙත විද්‍යුත් තැපෑල මගින් යොමු කිරීමට (ඊමේල්) මෙහිදී තීරණය වී ඇත.

එලෙසම දෛනිකව සභාගත කරනු ලබන වාර්තා ආදිය ලැප්ටොප් /ඩෙස්ක්ටොප් පරිගණක, ටැබ් හෝ ජංගම දුරකථන මඟින් පරිශීලනය කිරීමට හැකිවනු පිණිස මෘදු පිටපත් ලෙස පාර්ලිමේන්තු වෙබ් අඩවියේ විශේෂිත වෙබ් පෝටලයකට (web portal) ඇතුළත් කිරීමට මෙහිදී තීරණය වූ බවද කථානායකවරයා නිවේදනය කළේය. තවද එකී වාර්තාවල දෘඩ පිටපත් කිහිපයක් අවශ්‍යතාවය සැලකිල්ලට ගෙන කාරක සභාවල පරිශීලනය කිරීමට හා පුස්තකාලයේ තැබීමට පියවර ගන්නා බවද කථානායකවරයා පැවසීය.

ඒ අනුව මේ සම්බන්ධව සියලුම අමාත්‍යාංශවල ලේකම්වරුන් දැනුවත් කොට එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාත්මක කිරීමට‍ පසුගියදා රැස්වූ පාර්ලිමේන්තු කටයුතු පිළිබද කාරක සභාවේදී තීරණය වූ බව ද මහින්ද යාපා අබේවර්ධන මහතා පවසා සිටියේය.

තවද මේ වනවිට සියලුම ගරු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තාක්ෂණික මෙවලම් භාවිත කරන බැවින් සහ රාජ්‍ය සේවය ඩිජිටල්කරණය කිරීම මඟින් තිරසර ඊ-රාජ්‍ය සේවයක් ඇතිකිරීමේ කාලෝචිතභාවය පිළිබඳ සළකා බැලූ කාරක සභාව මෙම තීරණය ගත් බවද කථානායකවරයා නිවේදනය කළේය.

 පොසොන් පොහෝ දිනය ශ්‍රී ලාංකික ජාතික සංස්කෘතියේ සමාරම්භක දිනය ලෙස චිරාගතව  ශ්‍රී ලාංකික බෞද්ධයන් සමරන  පූජනීය දිනයයි. මෙරට ජාතික සංස්කෘතිය බුදු දහමේ අර්ථ නිරූපණය තුළින්  පෝෂිතව නිර්මාණවීම ඇරැඹෙනුයේ පොසොන් පොහෝ දින සිදු වූ මිහිඳු මහරහතුන් වහන්සේගේ  ආගමනය සමග ය . 
 
එවන් පූජනීය පොසොන් දිනය එළඹී මොහොතේ මාගේ සුභාශිංශන පැතුම් එක්කරමි.  වෙසෙසින්ම  පොසොන් පෝ දිනය යනු අනුබුදු මිහිඳු මහරහතන් වහන්සේ ද දෙවන පෑතිස් රජතුමාද එක්ව ශ්‍රී ලාංකික රාජ්‍යය  ධර්ම හරයාත්මක දේශපාලනයෙන් මෙන්ම ශ්‍රී ලාංකික ජනතාවගේ ආධ්‍යාත්මික සුව සිසිලද එක්තැන් කොට නිර්මාණය කළා වූ  දිනයය. 
 
මෙරට බෞද්ධ ජනතාවගේ නිබද  ගෞරවාදරයට පාත්‍ර වූ පෝය දිනයක් ලෙස මහා සංඝරත්නය සහ ජනතාවද   රාජ්‍ය පාලනය ද එක්ව පොසොන් පොහෝ දිනය  සමරන්නේ එබැවිනි. 2022 වසර පොසොන් පෝ දිනය  උදා වූ  මේ මොහොතේ සිහිපත් කළ යුත්තේ පොසොන් පොහෝ දිනය ජාතික රාජ්‍ය උත්සවයක් බවට පත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස ද මාද මුල් වූ යහපාලන රජයට  හැකි වූ බවය.පොසොන් පෝ දිනය, ශ්‍රී ලාංකික ජාතික ආධ්‍යාත්මික සංකේතීය දිනය ලෙසින් ම ශ්‍රී ලාංකික රාජ්‍ය දේශපාලනයේ ප්‍රභාවිත දිනය ලෙසද අපි සලකන්නේ ය.
 
විශේෂයෙන්ම  වැව,කෙත, දාගැබ මත ස්වයංපෝෂිත වූ ආර්ථිකයකට මග පෙන්වූ ධර්ම සංවාදය ද දේශපාලන සමාජ සංස්කෘතික සංවාදය ද බිහිවූයේ පොසොන් පෝ දිනයේ මිහිඳු මහරහතන් වහන්සේගේ  ආගමනයත් සමගය. 
මේ මොහොතේ ද මිහිඳු මහරහතන් වහන්සේ විසින් අනුදැන වදාළ ධර්ම මාර්ගය ශ්‍රී ලාංකික රාජ්‍යය පත්ව ඇති දේශපාලන සමාජ ආර්ථික වියවුල තුනී කොට සැනසුණු සමාජයක් සඳහා අපට මාර්ග සිතියමක් වැනිය. 
 
දේශීය පොළව මත ආහාර නිපදවා ගනිමින්  වාද භේද හා මතවාදී අසමානතා පසෙක තබා චුල්ල හස්ති පදෝපම සූත්‍රය අනුදැන වදාළමින් මිහිඳු මහරහතන් වහන්සේ ලංකාවේ රාජ්‍ය පාලනය සකස් කිරීමට දුන් ඔවදන  මෙම මොහොතේ අපේ ආදර්ශය  බවට පත්කර ගත යුතුය.එමෙන්ම උදා වූ  පොසොන් පෝ දිනය ට පිළිවෙතින් යුතුව අප සැවොම  අදිටනින් යුතුව එක් විය  යුත්තේ එවන් ප්‍රතිපදා ගත ධර්මය පණිවිඩයකින් ලංකා රාජ්‍යය නැවත මහා සම්මත සන්සුන් දියුණු සමාජයක් බවට පත් කරමින්ය. 
 
මෙකී මාවත මිහිඳු මහරහතන් වහන්සේගෙන් දායාදව සම්මත වූ පොසොන් සංස්කෘතිය ආරක්ෂා කිරීමේ මාර්ගයය. 
 
 
  රනිල් වික්‍රමසිංහ
   අග්‍රාමාත්‍ය, 
 
  ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රවාදී
   සමාජවාදී ජනරජය.

ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ බදාදා (1) දින යුද්ධ හමුදා මූලස්ථානයේ පැවති හමුදා සම්ප්‍රදායානූකූල උත්සවයකදී 24 වන යුද්ධ හමුදාධිපති ලෙස නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රය වෙත සපැමිණි යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් විකුම් ලියනගේ යුද්ධ හමුදා මූලස්ථාන බලසේනාවේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා විසින් පිළිගැනීමෙන් අනතුරුව, ගජබා රෙජිමේන්තුවේ භටපිරිස් විසින් හමුදා සම්ප්‍රදායානුකූල කඳවුරු මුරයේ ගෞරවාචාරය එතුමන් වෙත පුදකළහ.

සරඹ භූමිය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව, යුද්ධ හමුදා මූලස්ථානයේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරල් ජගත් කොඩිතුවක්කු විසින් උණුසුම් අයුරින් පිළිගැනීමෙන් අනතුරුව, සම්මාන මුරයේ ගෞරවාචාරය පුදකිරීම සඳහා එතුමන් යුද්ධ හමුදා මූලස්ථානයේ විධායක ජෙනරල් මේජර් ජෙනරල් ස්වර්ණ බෝතොට විසින් විශේෂ පිඨිකාව වෙත කැටුව යන ලදි.

උත්සවයේ මීළඟ අදියර වශයෙන්, නිලධාරීන් 02 ක් සහ සෙසුනිලයින් 48 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත් සම්මාන ආචාර පෙළපාලියට අණදුන් ගජබා රෙජිමේන්තුවේ කපිතන් එස්. ආර්. වී. කේ. එස් බණ්ඩාර විසින් නව යුද්ධ හමුදාධිපතිතුමන්ට හමුදා සම්ප්‍රදායානුකූලව සම්මාන පෙළපාලිය නිරීක්‍ෂණය කිරීම සඳහා ආරාධනා කරනු ලැබීය.

රෙජිමේන්තු ධජවලින් අලංකාරවත් වූ පසුබිමෙන් යුද්ධ හමුදා තූර්යවාදක කණ්ඩායමෙන් නැගුණු දේශානූරාගී ගී තනු මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපතිතුමන් පෙළපාලියේ අණදෙන නිලධාරී සමඟින් හමුදා සම්ප්‍රදායානුකූල සම්මාන ආචාර පෙළපාලිය නිරීක්‍ෂණය කරන ලදී.

ඉන් අනතුරුව, යුද සේවා ලේකම් කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන්ව ප්‍රධාන මාණ්ඩලික නිලධාරීන් සහ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබූහ. පසුව, යුද්ධ හමුදාධිපති කාර්යාලය වෙත සපැමිණි නව යුද්ධ හමුදාධිපතිතුමන් බෞද්ධ ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව සාම්ප්‍රදායික පොල් තෙල් පහන දල්වා නව ධූරයේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරන ලදී.

රාජකාරි භාරගැනීමෙන් අනතුරුව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මහා සංඝරත්නය උදෙසා දැහැත් වට්ටියක් පූජා කර පංචසීලය සමාදන් වූ අතර, අනතුරුව මිරිසවැටිය විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් විසින් නව යුද්ධ හමුදාධිපති ධූරයට පත්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වෙත ආශීර්වාද එක්කරමින් එම ධූරයට පත්වීම වෙනුවෙන් සුභපැතුම් ද එක්කළේය.

මහා සංඝරත්නයේ සෙත් පිරිත් සජ්ඣායනා මධ්‍යයේ නව යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ රාජකාරි භාරගැනීම සනිටුහන් කරමින් සංකේතාත්මක නිල ලේඛනයකට අත්සන් තැබූහ. එම අවස්ථාව සඳහා එතුමන්ගේ භාර්යාව වන ජානකී ලියනගේ මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයින් කිහිපදෙනෙකු ද එක්ව සිටියහ.

ඉන් අනතුරුව, මෙම උත්සවයේ සමාප්තිය සනිටුහන් කරමින් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ විසින් මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගිමික පූජකවරුන්ගෙන් ආශිර්වාද ලබාගැනීමෙන් අනතුරුව මහා සංඝරත්නය වෙත ‘පිරිකර’ පූජාකරමින් කතෝලික, හින්දු හා ඉස්ලාම් පූජකවරුන් වෙත ත්‍යාග පිරිනමනු ලැබීය.

මෙම සමාරම්භක උත්සවයේ ආගමික වතාවත් පැවැත්වීම සඳහා පූජ්‍ය මිරිසවැටිය විහාරාධිකාරි ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමිපාණන් සහ කතෝලික, හින්දු හා ඉස්ලාම් ආගමික පූජකවරුන් ද එක්වූහ.

නව යුද්ධ හමුදාධිපතිතුමන් පිළිබඳ කෙටි හැඳින්වීමක් පහතින් දැක්වේ:

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමා විසින් 2022 ජුනි මස 01 දින සිට බලපැවැත්වෙන පරිදි ලුතිනන් ජෙනරල් එච්.එල්.වී.එම්. ලියනගේ ආර්ඩබ්ලිව්පී ආර්එස්පී එන්ඩීයූ ලුතිනන් ජෙනරල් නිලයට උසස් කිරීමෙන් අනතුරුව 24 වන යුද්ධ හමුදාධිපති ලෙස පත්කරන ලදී.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නව යුද්ධ හමුදාධිපති ධූරයේ රාජකාරි භාරගැනීමට ප්‍රථම යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ධූරය හොබවනු ලැබීය. ධූරයෙන් නික්ම ගිය යුද්ධ හමුදාධිපතිතුමන්ගෙන් පසුව යුද්ධ හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා ද ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ වේ.

වර්ෂ 1986 ඔක්තෝබර් මස 27 දින ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිත්‍ය බලසේනාවට කෙඩෙට් නිලධාරියෙකු ලෙස එක්වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ පාඨමාලා අංක 26 යටතේ දියතලාව යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් සහ පාකිස්ථාන යුද්ධ හමුදා විද්‍යාපීඨයෙන් මූලික යුද්ධ හමුදා පුහුණුව සාර්ථකව හදාරන ලදී. පසුව, එතුමන් දෙවන ලුතිතන්වරයෙකු ලෙස අධිකාරියට පත්ව ගජබා රෙජිමේන්තුවට අනියුක්ත කරන ලදී.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ජ්‍යෙෂ්ඨ නිලධාරිගේ වසර 35 ක ආදර්ශමත් යුද්ධ හමුදා දිවිය තුළ 4 වන ගජබා රෙජිමේන්තුවේ කණ්ඩභාර නිලධාරි, කණ්ඩායම් භාර නිලධාරි අණදෙන සහ විධායක අධිකාරි ඇතුළු තනතුරු රැසක් හොබවා ඇත. නැගෙනහිර ප්‍රදේශයේ සිදුකළ මානුෂීය මෙහෙයුමේදී එම ප්‍රදේශයෙන් ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ කැපී පෙනෙන කාර්යභාරයක් ඉටුකරන ලදී.

එතුමන්ගේ කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලය තුළ 21 සහ 55 වන පාබල සේනාංකයන්හි බුද්ධි නිලධාරි, 14 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, ජෙනරල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලයේ විධායක අධිකාරි, ගජබා රෙජිමේන්තුවේ රෙජිමේන්තු මධ්‍යස්ථානයේ මාණ්ඩලික නිලධාරි II (පාලන), 10 වන ගජබා රෙජිමේන්තුවේ දෙවන අණදෙන නිලධාරි, මාණ්ඩලික රාජකාරි අධ්‍යක්‍ෂ මණ්ඩලයේ මාණ්ඩලික නිලධාරි II සහ 8 වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධාරි වැනි තනතුරු ද හොබවා ඇත. එමෙන්ම, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය භටපිරිස් සමඟ එක්ව මන්නාරම ප්‍රදේශයේ ත්‍රස්තවාදී ග්‍රහණයේ පැවති ප්‍රදේශ අත්පත්කරගැනීම වෙනුවෙන් සාර්ථකව මෙහෙයුම් දියත් කරන ලදී.

මීට අමතරව, එතුමන් 225 සහ 553 වන පාබල බලසේනාවන්හී කාර්යයේ නියුතු බලසේනාධිපති, කලාප අණදෙන නිලධාරි සහ මෙහෙයුම් ආඥාපති කොළඹ, 215, 542, 224, 221 සහ 623 වන පාබල බලසේනාවන්හී බලසේනාධිපති, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී කාර්යාලයේ අධ්‍යක්‍ෂ පුහුණු හා මූලධර්ම සහ අධ්‍යක්‍ෂ ජෙනරාල් ක්‍රියා හා සැලසුම්, අම්පාර සටන් පුහුණු පාසලේ සේනාවිධායක, මනෝවිද්‍යාත්මක මෙහෙයුම් අධ්‍යක්‍ෂ ජෙනරාල්, 21 වන පාබල සේනාංකයේ සේනාංකාධිපති, ආරක්‍ෂක සේනා ආඥාපති - බටහිර, ආරක්‍ෂක සේනා ආඥාපති - මධ්‍යම, ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ රෙජිමේන්තු අධිපති, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදා වූෂු කමිටුවේ සභාපති වැනි තනතුරු ද හොබවා ඇත.

ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිය වසර ගණනාවක යුද්ධ හමුදා සේවා කාලය තුලදී විවිධ තනතුරු හොබවමින් ලද අත්දැකීම් සහ පුහුණුවෙන් පරිපූර්ණ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු වන අතර එතුමන්ගේ දීර්ඝ යුද්ධ හමුදා සේවා කාලය තුළ අභ්‍යන්තර ආරක්‍ෂක/ ප්‍රතිවිප්ලව යුද පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, ශ්‍රී ලංකා හමුදා විද්‍යාපීඨයේ ඉගැන්වීමේ ක්‍රමවේද පාඨමාලාව, ඉදිරි භූමි නිරීක්‍ෂණ නිලධාරී පාඨමාලාව - මින්නේරිය කාලතුවක්කු පුහුණු පාසල, බලඇණි ආධාරක අවි පාඨමාලාව - මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානය, කණ්ඩභාර නිලධාරි පුනරීක්‍ෂණ පාඨමාලාව - මාදුරුඔය යුද්ධ හමුදා පුහුණු පාසල, කණ්ඩායම්භාර නිලධාරි අණදෙන්නන්ගේ පුනරීක්‍ෂණ පාඨමාලාව - යුද්ධ හමුදා මූලස්ථානය, ඒකක ආරක්‍ෂක නිලධාරී පාඨමාලාව - යුද්ධ හමුදා බුද්ධි බළකාය, කළමනාකරණ සහ නායකත්ව සංවර්ධන පාඨමාලාව - ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, මූලික සමථ නිපුණතා සහ ක්‍රියාවලිය (UNHCR) - 21 වන සේනාංකය, බහුවිධ කණ්ඩායම් පුහුණු අභ්‍යාස - 3 කුකුලේගඟ යන පාඨමාලාවන් සාර්ථකව හදාරා ඇත.

එමෙන්ම, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දේශීය මෙන්ම විදේශීය පාඨමාලාවන් ද රැසක් හදාරා ඇත. ඒ අනුව, නිලධාරී ශාරීරික පුහුණු පාඨමාලාව - ඉන්දියාව, තරුණ නිලධාරී පාඨමාලාව - පාකිස්ථානය, කනිෂ්ඨ අණදෙන්නන්ගේ පාඨමාලාව - ඉන්දියාව, ඒකක අණදෙන නිලධාරි පාඨමාලාව - බංගලාදේශය සහ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරි පාඨමාලාව - ඉන්දියාව වැනි විදේශීය පාඨමාලා හදාරා ඇති එතුමන් උසස් ආරක්‍ෂක සහයෝගීතා වැඩසටහන - හවායි සහ ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස්හී (Lemhannas) ජාතික ආයතනය මඟින් පවත්වනු ලබන නිත්‍ය අධ්‍යාපන වැඩසටහන සඳහා ද සහභාගී වී ඇත.

එමෙන්ම, ඉන්දුනීසියාවේ ලෙම්හන්නාස් (Lemhannas) විශ්වවිද්‍යාලයෙන් උපායමාර්ගික සහ මනා කළමණාකරන අධ්‍යයනය පිළිබඳ ශාස්ත්‍රපති උපාධියක් මෙන්ම හවායි පිහිටි ආරක්‍ෂක අධ්‍යයනය සඳහා වන ආසියා පැසිෆික් මධ්‍යස්ථානයෙන් ‘ඉන්දු-පැසිෆික් කලාපයේ ගෝලීය ආරක්‍ෂාව’ පිළිබඳ උපාධියක්ද එතුමන් සතු වේ. මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ඉන්දියාවේ ඉන්දෝර් විශ්වවිද්‍යාලයෙන් ආරක්‍ෂක කළමනාකරණ ඩිප්ලෝමාව ද හදාරා ඇත.

අවසන් මානුෂීය මෙහෙයුමේ උච්චතම අවස්ථාවේදී සක්‍රීයව ක්‍රියාත්මක වී කටයුතු කළ 57 හා 56 වන සේනාංක යටතේ ස්ථාපිතව තිබු 8 වන ගජබා රෙජිමේන්තුවට අණදෙමින් එල්.ටී.ටී.ඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාගැනීමට එතුමන් සමත්විය. එල්.ටී.ටී.ඊ ත්‍රස්ථවාදයට එරෙහිව දියත්කළ මෙහෙයුම්වලට සක්‍රීයව දායක වූ ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ ත්‍රස්තවාදීන්ට එරෙහිව දක්වන ලද නිර්භීත ක්‍රියාවන් වෙනුවෙන් ‘රණ වික්‍රම පදක්කමෙන්’ සහ ‘රණ ශූර පදක්කමෙන්’ පිදුම් ලබා ඇත. උතුරු නැගෙනහිර මානුෂීය මෙහෙයුම්වලදී ත්‍රස්තවාදය මුලිනුපුටා දැමීමේ පුරෝගාමියෙකු ලෙස කටයුතු කිරිම හේතුවෙන් ජ්‍යෙෂ්ඨ නිලධාරියා සිය හමුදා දිවියේදී තුන් වතාවක් ඉහත පදක්කම් වලින් පිදුම් ලබා ඇත. තවද, ත්‍රස්තවාදයට එරෙහිව සිදුකරන ලද ක්‍රියාන්විත මෙහෙයුම්වලදී තුවාල ලැබීම හේතුවෙන් එතුමන් වෙත ‘දේශ පුත්‍ර පදක්කම’ ද පිළිගන්වා ඇත.

මීට අමතරව, ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු මානුෂීය මෙහෙයුම් පදක්කම, පූර්ණ භූමි පදක්කම, උතුරු නැගෙනහිර සංග්‍රාමික පදක්කම, රිවිරැස මෙහෙයුම් පදක්කම, 50 වන නිදහස් සංවත්සර පදක්කම, ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 50 වන සංවත්සර පදක්කම, දීර්ඝ සේවා පදක්කම, සේවාභිමානී පදක්කම සහ සේවා පදක්කම වැනි පදක්කම් වලින් ද පිදුම් ලබා ඇත.

පාසල් දිවිය තුළදී මළල ක්‍රීඩා සහ හොකී ක්‍රීඩාවෙන් දස්කම් දැක්වූ එතුමන් මාතලේ විජය විද්‍යාලයේ කැපීපෙනෙන ආදි ශිෂ්‍යයකු වේ.

එමෙන්ම, බුද්ධ ශාසනය වෙනුවෙන් ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ සිදුකළ අපරිමිත මෙහෙවර ඇගයීමට ලක්කරමින් එතුමන් වෙත අමරපුර නිකායේ භික්‍ෂූ ශාසනය වෙතින් ‘ජනමාන්‍ය විභූතිරත්න’ යන ගෞරව නාමය ද පිරිනමා ඇත. ජානකී ලියනගේ මහත්මියගේ ආදරණීය සැමියා වන ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ දියණියකගේ සහ පුතෙකුගේ ආදරණීය පියාණන් ද වේ.

පාර්ලිමේන්තුවට පරිපුරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කෙරේ. රුපියල් බිලියන 695 ක ප්‍රතිපාදන සලසා ගැනීම එහි අරමුණයි.

ජාතික අයවැය දෙපාර්තමේන්තුවේ අයවැය සහාය සේවා හදිසි අවශ්‍යතා වගකීම් ව්‍යාපෘතිය යටතේ එම ප්‍රතිපාදන සලසා ගැනීමට නියමිතයි. මුදල් ආර්ථික ස්ථායීිකරණය සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය අනුමත කර තිබේ. සමෘද්ධිලාභින් වතු ජනතා විශ්‍රාමිකයන් සහ රාජ්‍ය සේවකයන් සදහා මේ වසර මුලදී රජය සහන පැකේජයක් හදුන්වා දුන්නේය. ඊට අදාල වියදම් දැරීමට සහ අත්‍යවශ්‍ය රාජ්‍ය සේවා බාධාවකින් තොරව පවත්වාගෙන යාමට අවශ්‍ය අරමුදල් සපයා ගැනීම මෙහි අරමුණයි.

වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයේ කටයුතු කළ ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා හෙට (ජුනි 01) සිට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර තිබෙයි.
 
ඊට අදාළ ලිපිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා වෙත භාරදෙනු ලැබිණ.
යුද හමුදාපති සහ වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස කටයුතු කළ ශවේන්ද්‍ර සිල්වා මහතා අද (31) යුද හමුදාපති ධුරයෙන් ඉවත්ව යාමත් සමග ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ධුරයට පත් කර ඇත.

මේජර් ජෙනරාල් විකුම් ලියනගේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් ශ්‍රී ලංකාවේ  24වන යුද හමුදාපතිවරයා ලෙස පත් කර තිබෙයි.
ඊට අදාළ ලිපිය අද (31) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපතිතුමා විසින් විකුම් ලියනගේ මහතා වෙත භාරදෙනු ලැබිණ.
දැනට යුද හමුදාවේ සිටින ජ්‍යෙෂ්ඨතම නිලධාරියා වන විකුම් ලියනගේ මහතා හෙට (ජුනි 01) යුද හමුදාපති ධුරයේ වැඩ භාරගැනීමත් සමග ලුතිතන් ජෙනරාල් නිලයට උසස් කෙරෙනු ඇත.
මාතලේ, විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය හැදෑරූ විකුම් ලියනගේ මහතා 1986 ඔක්තෝබර් 27 වන දින කැඩෙට් නිලධාරියෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදාවට එක්විය. දියතලාව ශ්‍රී ලංකා හමුදා විද්‍යා පීඨයෙන් සහ පකිස්ථාන හමුදා ඇකඩමියෙන් මූලික හමුදා පුහුණුව ලබාගත් විකුම් ලියනගේ මහතා දෙවන ලුතිතන්වරයෙකු ලෙස ගජබා රෙජිමේන්තුවට පත් කෙරිණ.
35වසරක කීර්තිමත් යුද හමුදා දිවිය තුළ 4වන ගජබා රෙජිමේන්තුවේ ඛණ්ඩභාර නිලධාරී, කණ්ඩායම් භාර නිලධාරී අණදෙන, අණදෙන නිලධාරී, බලසේනා, සේනාංක, ආරක්ෂක සේනා අණදීමේ තනතුරු ඇතුළු මාණ්ඩලික සහ උපදේශක පත්වීම් ගණනාවක් දරා ඇති විකුම් ලියනගේ මහතා ඇමරිකාව, ඉන්දියාව, පකිස්ථානය, ඉන්දුනීසියාව ඇතුළු රටවල් කිහිපයක ආරක්ෂක සහ වෘත්තීය පුහුණු පාඨමාලා හදාරා ඇත.
 
මානුෂීය මෙහෙයුමේ දී 57 සහ 56 සේනාංකවල 8වන ගජබා රෙජිමේන්තුවේ අණදෙන නිලධරයා ලෙස කටයුතු කළ ලියනගේ මහතා එල්ටීටීඊ ත්‍රස්තවාදයට එරෙහිව ජයග්‍රහණ රැසක් ලබාදීමට සමත් වූවෙකි.
 
 රණවික්‍රම, රණශූර පදක්කම්, නැගෙනහිර මානුෂීය මෙහෙයුම් පදක්කම, උතුරු හා නැගෙනහිර මෙහෙයුම් පදක්කම ඇතුළු පදක්කම් රැසක් හිමිකරගෙන ඇත.

21 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන කෙටුම්පත ඉදිරිපත් කිරිමටත් විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමටත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. 21 වැනි සංශෝධනයෙන් පාර්ලිමේන්තුවේ බලතල වැඩිවනු ඇත. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරිමේ ක්‍රමවේදයත් කාල වකවානුවත් පක්ෂ නායකයන් විසින් තිරණය කරනු ඇතැයි විශේෂ ප්‍රකාශයක් කරමින් අගමැතිවරයා ඊයේ සදහන් කලේය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් පාර්ලිමේන්තුව දුර්වල විය එහි ක්‍රියාදාමය අඩපණ විය. ආර්ථික අර්බුදය වලක්වා ගැනිමට පාර්ලිමේන්තුව කටයුතු නොකිරිම සම්බන්ධයෙන් චෝදනාවට ලක්විය. එබැවින් රටට විනිවිධ භාවයක් අවශ්‍ය බව අගමැතිවරයා අවධාරණය කරයි. නිවැරදි ප්‍රතිපත්ති අනුව කටයුතු කල යුතුය. දැන් පවතින පාර්ලිමේන්තුව වෙස්ට්මිනිස්ටර් ක්‍රමයත් එදා පැවැති රාජ්‍යමන්ත්‍රණ සභා ක්‍රමයත් එක්කොට විශේෂ ක්‍රමවේදයක් ඇති කළ යුතු බව වික්‍රමසිංහ මහතා පෙන්වා දෙයි.

නව මුල්‍ය නීති මාලාවක අවශ්‍යතාව ද වික්‍රමසිංහ මහතා අවධාරණය කරයි. මුල්‍ය ණය ආයතන ශක්තිමත් කළ යුතුය. ඒ සම්බන්ධයෙන් බැංකු හා මුල්‍ය සේවා පිලිබද කාරක සභාවක් ඇති කල යුතුය. පාර්ලිමේන්තුව සතු මුල්‍ය බලය ඉහල නැංවිම සදහා කාරක සභා 15 ක් ස්ථාපිත කිරිමට පියවර ගන්නා බවද වික්‍රමසිංහ මහතා කියයි.

කතානායක, අගමැති හා විපක්ෂ නායක ප්‍රමුඛ පක්ෂ නායකයන්ගෙන් සමන්විත ජාතික සභාවක් පිහිටුවිමට ක්‍රියා කෙරේ. එමගින් රටේ ප්‍රතිපත්ති පිලිබදව සාකච්ඡා කල හැකිය. එය දේශපාලන මණ්ඩලයකි. ජනාධිපතිවරයා, අගමැතිවරයා, අමාත්‍ය මණ්ඩලය, ජාතික සභාව සහ කාරක සභා පාර්ලිමේන්තුවට වගකිව යුතුවෙයි. මෙවැනි යෝජනා ගණනාවක් සංවිධාන රැසකින් ඉදිරිපත් වී ඇත. ඒවා ද සැලකිල්ලට ගනිමින් එකගතාවන් හරහා පාර්ලිමේන්තුවේ බලතල සම්බන්ධයෙන් කටයුතු කල හැකි බව වික්‍රමසිංහ මහතා වැඩි දුරටත් සඳහන් කරයි.

අග්රාමාත්ය රනිල් වික්රමසිංහ මහතා මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්රතිපත්ති අමාත්ය ධුරයේ දිවුරුම් දෙයි.
දිවුරුම් දීම අද (25) පෙරවරුවේ කොළඹ, කොටුව ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ සිදු විය.
ජනාධිපති ලේකම් ගාමිණී සෙනරත් මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ ජ්‍යේෂ්ඨ පරිපාලාන නිලධාරියකු වන අනූෂ පැල්පිට මහතා අද (25) සුබ මොහොතින් සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජාපක්ෂ මහතා ඉදිරියේ ඊයේ (24) ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අභිනව ලේකම්වරයා ලෙස අනූෂ පැල්පිට මහතා නැවත වරක් දිවුරුම් දුන්නේ ය. අත්දැකීම් බහුල පරිපාලන නිලධාරියකු වන ඔහු මීට පෙරද ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළේය.

මීට පෙර ඒ මහතා, කර්මාන්ත අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය අංශයේ තනතුරු රැසක් හොබවා ඇත. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පළමු ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස ද අනූෂ පැල්පිට මහතා  කටයුතු කළේ ය.

අභිනව රජය රාජපක්ෂවාදි රජයක් යැයි ඇතැමුන් කරන චෝදනා තමා ප්‍රතික්ෂේප කරන බව ඇමති ආචාර්ය බන්දුල ගුනවර්ධන මහතා පවසයි. වර්තමානයේ පවතින ආර්ථික ගැටළුවලට විසඳුම් සෙවීම පවතින රජයේ ප්‍රධාන අරමුණ වී තිබේ. ගැටඑ විසඳීමට විකල්පයක් යෝජනා කිරීමට කිසිවෙකුටත් නොහැකි විය.

වෙළඳපළේ භාණ්ඩ මිල ඉහළ යමින් තිබේ. ලෝක වෙළඳපළේ මිලට වඩා අඩුවෙන් මෙරට භාණ්ඩ අලෙවිකළ නොහැක. එමෙන්ම රටේ ප්‍රමානවත් ඩොලර් සංචිත ද නොමැත. මේ නිසා ජනතාව පිඩනයක් යටතේ දෛනික කටයුතු පවත්වාගෙන යමින් සිටී. ජනතාව මුහුණ දී ඇති ගැටළු පිළිබඳව කැබිනට් මණ්ඩලය අවධානය යොමුකර ඇතැයි ද ඇමතිවරයා රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තිරණ දැනුම්දිමේ මාධ්‍ය හමුවේදී කිවේය.

ඉන්ධන මිල ඉහළ දැමුවත් තවදුරටත් ඛනිජ තෙල් සංස්ථාවට පාඩු බව ඇමති සම කැබිනට් ප්‍රකාශක කංචන විජේසේකර මහතා පවසයි. ඉදිරියේදි භූමිතෙල් මිල සංශෝධනය කිරීම පිළිබඳව ද අවධානය යොමුවී තිබේ. ගැස් මිල අධික බැවින් බොහෝදෙනා භූමිතෙල් පරිභෝජනය කරති. එවැනි තත්ත්වයක් හමුවේ භූමිතෙල් මිල ඉහළ නැංවීමට මෙතෙක් තීරණයක් ගෙන නොමැත. ඉන්ධ මිල සුත්‍රයක අවශ්‍යතාව දැඩිව බලපා තිබු බව ද ඔහු මෙම හමුවේදී කිවේය.

21 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයේ අවසන් කෙටුම්පත සියලු පක්ෂවලට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කැබිනට් අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර තිබේ.

21 වැනි සංශෝධනයේ අවසන් කෙටුම්පත සම්බන්ධයෙන් තවම සාකච්ඡා කොට අවසන් එකඟතාවකට පැමිණ නැති අතර ඒ සාකච්ඡා අවසන් වීමෙන් පසු ඉදිරි පියවර ගැනීමට නියමිතය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter