නවතම පුවත්

 05 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට තම යෝජනාව පරිදි රජය තීරණය කර තිබෙන බව ජනාධිපතිතුමා පවසයි.

ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදිමට සිදුව ඇති පීඩාවන් පිළිබඳ අවධානය යොමු කරමින් එම තීරණයට එළැඹි බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ “මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය” ඊයේ (25) පස්වරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.
ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් අද එය ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත්වීමේ තරගයක් වී අති බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
විශ්වවිද්‍යාල අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බව සංඛ්‍යා ලේඛන මඟින් පෙන්වා දෙන බව මෙහි දී පැවසු ජනාධිපතිතුමා එබැවින් ශිෂ්‍යත්ව විභාගය පිළිබඳ අද ගැටලුවක් පවතින බව සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ සිදුවිය යුත්තේ ජනප්‍රිය යැයි සම්මත පාසල් සඳහා ඇතුළත්වීමේ තරගයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප්‍රදේශවල මැති ඇමතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත්ය.
‘පිබිදෙමු පොළොන්නරුව’ දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ රුපියල් මිලියන 140 ක් වැය කරමින් ආසන 5000 කින් සමන්විතව මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය ඉදිකර තිබේ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ ආදි සිසුවෙකු ලෙස විද්‍යාලය වෙනුවෙන් ඉටුකළ යුතු සෑම යුතුකමක්ම තමන් මේ වන විට ඉටුකර තිබෙන බවයි. ඒවා නිසි කළමනාකරණයට සහ නඩත්තුවට ලක් කරමින් ඉදිරියට පවත්වාගෙන යාම වත්මන් සිසු පරපුරේ වගකීම බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
මධ්‍යම පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, පා.ම මොහාන් ලාල් ග්‍රේරු, පොළොන්නරුව නගරාධිපති චානක සිදත් රණසිංහ, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන යන මහත්වරුන් ද විදුහල්පති රවීලාල් විජේවංශ මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ශ්‍රී ලාංකික ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින්, මුදල් අමාත්‍යංශය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශය මගින් ක්‍රියාවට නංවනු ලබන 2019 “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම්පත් කැඳවීම මේ වන විට ආරම්භ කර ඇත.

මෙම ණය යෝජනා ක්‍රමය යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට රුපියල් ලක්ෂ තුනක (300,000.00) උපරිමයකට යටත්ව පොලී රහිත ණය මුදලක් හෝ තමන් සතුව පවතින මාධ්‍ය උපකරණ වැඩිදියුණු කරගැනීම සඳහා රුපියල් එක්ලක්ෂ පනස් දහසක (150,000.00) උපරිමයකට යටත්ව පවතින පොලී අනුපාතයෙන් 50%ක පොලී සහනයක් යටතේ ණය ලබාදෙනු ඇත.
වසර තුනක සේවා කාලයක් සපුරා ඇති වයස අවුරුදු 60ට අඩු දිවයිනේ පිළිගත් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය ආයතනවල පූර්ණකාලීන හෝ අර්ධකාලීන පදනම මත සේවයෙහි නියැලී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන් හට මෙම “මාධ්‍ය අරුණ” විශේෂ ණය යෝජනා ක්‍රමය සඳහා අයදුම් කළ හැකිය.
පරිගණක (ලැප්ටොප්/ඩෙස්ක්ටොප්/අයිපෑඩ්), කැමරා, ෆැක්ස් යන්ත්‍ර සහ ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් නිර්දේශ කරනු ලබන මාධ්‍ය උපකරණ මිලදී ගැනීමට හෝ වැඩිදියුණු කර ගැනීම සඳහා මෙම ණය මුදල ලබා දෙනු ඇත.
2017 හා 2018 වර්ෂවලදී පිළිවෙලින් මෙම ණය යෝජනා ක්‍රමය යටතේ මාධ්‍යවේදීන් 823ක් හා 554 දෙනෙකු තෝරා ගන්නා ලදී. මෙහිදී අයදුම් කළ සුදුසුකම් සපුරා ඇති සියළු මාධ්‍යවේදීන් තෝරා ගෙන බැංකුව වෙත ඉදිරිපත් කර ඇත. මෙවර ණය යෝජනා ක්‍රමය මහජන බැංකුව හා ප්‍රාදේශීය සංවර්ධන බැංකුව මඟින් ක්‍රියාත්මක කරනු ලැබේ.
“මාධ්‍ය අරුණ” ණය යෝජනා ක්‍රමය සඳහා සම්පූර්ණ කරන ලද අයදුම්පත් 2019.04.30දින හෝ එදිනට පෙර ලැබෙන සේ අධ්‍යක්ෂ (මාධ්‍ය), ජනමාධ්‍ය අමාත්‍යංශය, “ඇසිදිසි මැදුර” අංක 163, කිරුළපන මාවත,පොල්හේන්ගොඩ, කොළඹ 05 යන ලිපිනය වෙත ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.
මේ පිළිබඳව වැඩි විස්තර හා අයදුම්පත් සඳුනි මෙනෙවිය හෝ චන්දන මහතා දුරකතන අංක 0112513645/0112513459/0112513460 මඟින් අමතා හෝ www.media.gov.lk යන වෙබ් අඩවියෙන් ලබාගත හැක.

 මෙරට දැවැන්තම ආයෝජන ව්‍යාපෘති දෙකේ ඉදිකිරීම් අරඹමින් අගමැති කියයි

නිසි ආර්ථික ප්‍රතිපත්තියක් නොමැතිව පසුගිය රජය විසින් ඉදිකළ ව්‍යාපෘතීන් නැවත සංවර්ධනය කර රුහුණු ආර්ථික සංවර්ධනයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත් කරන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හම්බන්තොටදී ඊයේ (24) පැවසීය. එක් තිරසර ප්‍රතිපත්ති මාලාවක් ඔස්සේ ආර්ථිකය ඉදිරියට ගෙන යෑමේ ප්‍රතිඵලයක් ලෙස ශක්තිමත් සංවර්ධන පදනමක් සැකසී ඇති බව පැවසූ වික්‍රමසිංහ මහතා තම උපන්දිනය වෙනුවෙන් ලැබුණු වටිනාම ත්‍යාගය හම්බන්තොට තෙල් පිරිපහදුව සහ සිමෙන්ති කර්මාන්ත ශාලාව බව යැයි සිහිපත් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ හම්බන්තොට උදාව වැඩසටහන යටතේ ඊයේ (24) හම්බන්තොට, මිරිජ්ජවෙල වෙළෙඳ කලාපයේ ඉදිකිරීමට යෝජිත නව තෙල් පිරිපහදුවට සහ සිමෙන්ති කර්මාන්තශාලාව සඳහා මුල්ගල තැබීමේ අවස්ථාවට එක්වෙමිනි.
එම අවස්ථාවේ ප්‍රධාන ආරාධිතයා වූයේ ඕමාන් රජයේ ගෑස් හා ඛනිජ තෙල් සම්පත් අමාත්‍යවරයා වන මොහොමඩ් බින් හමාඩ් අල් රුමි මහතාය.
එහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් Silver park International pet ltd නැමති තෙල් පිරිපහදු කර්මාන්තශාලාව ඉදිකීරීම සඳහා මුල්ගල තැබීමෙන් පසු එම ස්ථානයට ආසන්නයේ ඉදිවන Ceylon Steel corporation නැමති සිමෙන්ති කර්මාන්තශාලාව සඳහාද මුල්ගල තැබුවේය.
හම්බන්තොට, මිරිජ්ජවෙල වෙළෙඳ කලාපයේ ඉදිකළ මේ අයෝජන ව්‍යාපෘති දෙක ඉතිහාසයේ විශාලතම ආයෝජන ව්‍යාපෘති දෙක වන අතර එම ව්‍යාපෘති දෙකෙහි මුළු ආයෝජන වල වටිනාකම අමෙරිකානු ඩොලර් බිලියන 4ක් වේ.
මේ කර්මාන්ත දෙක මගින් සෘජු හා වක්‍ර රැකියා අවස්ථා 3500ක් පමණ උත්පාදනය වන අතර මේ කර්මාන්ත දෙක මිරිජ්ජවෙල වෙළෙඳ කලාපයේ ඉදිවීමත් සමග එහි සමස්ත භූමි ප්‍රමාණය තුළ ආයෝජන ලබාදීම අවසන් වේ.
2015 ජනාධිපතිවරණයේදී හම්බන්තොට වරාය, මත්තල ගුවන්තොටුපළ, සූරියවැව ක්‍රිකට් ක්‍රීඩාංගණය, සම්මන්ත්‍රණ ශාලා, සම්පූර්ණයෙන්ම හිස්ව තුබූ බවත් අද ඒවා සක්‍රීය කිරිමට ආණ්ඩුවට හැකි වී‍ ඇති බවත් අගමැතිවරයා පැවසිය.
1967 වර්ෂයේ සපුගස්කන්ද තෙල් පිරිපහදුවෙන් පසු පළමු වරට වත්මන් රජය යටතේ මිරිජ්ජවෙල අපනයන සැකසුම් කලාපයේ තෙල් පිරිපහදු කිරීමේ කර්මාන්තශාලාවක් ඉදිවන බවත් මෙමගින් ප්‍රදේශයේ තරුණ, තරුණියන්ගේ විරැකියාවට විසදුමක් ලැබෙන බව වික්‍රමසිංහ මහතා පැවසීය.
හම්බන්තොට ප්‍රදේශයේ සිදුවන සීඝ්‍ර සංවර්ධනය මගින් ශ්‍රී ලංකාවේ මූල්‍ය ආර්ථිකයේ කේන්ද්‍රස්ථානය බවට හම්බන්තොට පත්වන බවත් චීන, ඉන්දියානු, ලාංකික ආයෝජන හරහා හම්බන්තොට සිට මොනරාගල දක්වා වෙළඳ කලාප ඉදිකිරීමට බලාපොරොත්තු වනබවද වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.

pm bday

pm H tota

 

 ‘විශ්වවිද්‍යාල පර්යේෂණ විශිෂ්ටතා’ සම්මාන උලෙළ පසුගියදා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති මන්දිරයේ දී පැවැත්විණි.

වසර 02 කට වරක් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාලයීය උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුව විසින් සංවිධානය කරන මෙම විශිෂ්ටතා සම්මාන උලෙළ මෙවර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වීම විශේෂ අවස්ථාවක් විය.
විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ප්‍රධාන ක්ෂේත්‍ර 06ක් යටතේ ජාතික සහ අන්තර්ජාතික වශයෙන් සිදුකරන සේවය ඇගැයීමට ලක් කරමින් සම්මාන පිළිගැන්වීම මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල පද්ධතිය තුළ පර්යේෂණාත්මක සංස්කෘතියක් ඇතිකිරීම සහ දියුණු කිරීම වෙනුවෙන් සිදුකරන ලද විශිෂ්ට සේවය උදෙසා ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල උපකුලපතිවරුන්ගේ හා අධ්‍යක්ෂවරුන්ගේ කමිටුවේ සභාපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

බුදුපියාණන් වහන්සේගේ දේශනාව ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බව ජනපති පවසයි.

ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට පියවර ගනිමින් ජනපති සමස්ත ලෝක බෞද්ධ ජනතාව වෙනුවෙන් ඉටු කළ වගකීම මහා නා හිමිවරුන්ගේ පැසසුමට.


උතුම් වූ සද්ධර්ම කෝෂ්ඨාගාරය වන ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස නම් කිරීමේ යෝජනාව, අතිපූජනීය ත්‍රෛනිකායික මහා සංඝරත්නයේ ආශිර්වාද මධ්‍යයේ එක්සත් ජාතින්ගේ සංවිධානයේ නියෝජිතවරිය වෙත භාරදීමේ භාග්‍යවත් අවස්ථාව අද (23) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු විය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් එම යෝජනාව නිල වශයෙන් එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය වෙත පිළිගන්වනු ලැබීය.
නිර්මල බුද්ධ ධර්මයෙහි චිරස්තිථිය සාක්ෂාත් කරනු වස් උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ජාතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමා පසුගිය දා පියවර ගත් අතර, ඉන් නොනැවතී උතුම් ත්‍රිපිටකය තවත් වසර දහස් ගණනක් සුරක්ෂිත කරමින් ලෝක උරුමයක් බවට පත් කිරීමට ද පියවර ගෙන තිබේ.
මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ බුදුපියාණන් වහන්සේගේ දේශනාව ඇතුළත් ත්‍රිපිටකය ආරක්ෂා කරමින් හා පෝෂණය කරමින්, ලිඛිතව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ්‍රී ලාංකිකයන් වන අප සතු බවයි. ලෝකයේ ඇති විශාල වූත්, ග්‍රන්ථාරූඪ වූත් ඥාන සුමදාය වන ත්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප්‍රකාශයට පත් වන තුරු ම එය රැකගත්තේ ශ්‍රී ලාංකේය මහා සංඝරත්නය බව පැවසූ ජනාධිපතිතුමා යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මෙම අප්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමඟින් හිමිකාරිත්වය, භාරකාරිත්වය පිළිබඳව ශ්‍රී ලංකාව ලෝකයේ ම පිළිගැනීමට ලක්වීමේ අවස්ථාව උදාවීම බව ද කියා සිටියේය. එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ කුමන අන්දමේ විරුද්ධ අදහස් සහ අභයෝග එල්ල වුවද උතුම් ත්‍රිපිටක ධර්ම දායාදය ලෝක උරුමයක් බවට පත් කිරීමට තැබූ පියවර සාර්ථකව ඉදිරියට තබන බවයි.
මෙහිදී විශේෂ අනුශාසනාවන් සිදු කළ මහා නා හිමිවරුන් පෙන්වා දුන්නේ උතුම් ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කිරීමට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ගත් පියවර සමස්ත ලෝක බෞද්ධ ජනතාවගේ ම පැසසුමට ලක්වන බවයි.
ස්‍යාමෝපාලි මල්වතු මහාවිහාර පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහානායක ස්වාමින් වහන්සේ, ස්‍යාමෝපාලි අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය වරකාගොඩ ඤාණරතනාභිධාන මහානායක ස්වාමින් වහන්සේ, අමරපුර මහා නිකායේ මහානායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක ස්වාමින් වහන්සේ, රාමඤ්ඤ මහානිකායේ මහානායක අතිපූජ්‍ය අග්ගමහා පණ්ඩිත නාපාන පේමසිරි නායක ස්වාමින් වහන්සේ ප්‍රමුඛ මල්වතු, අස්ගිරි උභය විහාරවාසි අනුනායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා ඇතුළු ගෞරවණිය මහා සංඝරත්නය ද, ථෙරවාද බෞද්ධ රාජ්‍යයන් වන මියන්මාරය, තායිලන්තය, ලාඕසය, කාම්බෝජ සංඝරාජ හිමිවරුන් සහ විදේශ රටවල් නියෝජනය කරමින් වැඩම කරන ලද මහා සංඝරත්නය ද, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍යවරුන් වන ගාමිණි ජයවික්‍රම පෙරේරා, සජිත් ප්‍රේමදාස යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් සහ ආණ්ඩුකාරවරුන්, පළාත් ප්‍රධාන අමාත්‍යවරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, එක්සත් ජාතින්ගේ සංවිධානයේ නේවාසික නියෝජිතවරිය වන හැනා සිංගර් මහත්මිය, යුනෙස්කෝ සංවිධානය ඇතුළු එක්සත් ජාතීන්ගේ සංවිධානයේ වෙනත් ආයතනවල නියෝජිතවරුන් සහ විදේශීය තානාපතිවරුන්, මහකොමසාරිස්වරුන් ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයින් ද, දියවඩන නිලමේ නිලංග දෑල බණ්ඩාර මහතා ඇතුළු සතර මහා දේවාල බස්නායක නිලමේවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරිහු ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ත‍්‍රිපිටකාභිවන්දනා ජාතික මහෝත්සවයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019.03.23 වන දින ඓතිහාසික ශ‍්‍රී දළදා මාලිගා මහමළුවේ දී
අද මේ ඓතිහාසික මහා උතුම් පින්බිමේ දී වන්දනීය පූජනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ ව සිදු කරන්නා වූ උතුම් මහා පුණ්‍ය කටයුත්ත පිළිබඳව ඔබ සෑම කෙනෙකුටම පුළුල් අවබෝධයක් තිබෙනවා.
පසුගිය 17 වනදා සිට අද දවස දක්වා ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් වශයෙන් රජය ප‍්‍රකාශයට පත් කළා. ඒ වගේම ගෞරවනීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ ඔබ සෑම කෙනෙක්ම දන්නා පරිදි පසුගිය ජනවාරි මාසයේ දි උතුම් ත‍්‍රිපිටකය අපි ජාතික උරුමයක් බවට පත් කළා. අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යස්ථාවේ ඉතාම පැහැදිලිව සඳහන් වෙනවා. ශ‍්‍රී ලංකා ජනරජය බෞද්ධාගම පෝෂණය කිරීමට ද සුරක්ෂිත කිරීමට ද බැඳී සිටින්නේය කියලා. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සඳහන් ඒ වගකීම ඉටු කිරීමට වගේම ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමෙන් පසුව කාලානුරූපව මෙම යුගය තුළ අප විසින් කළ යුතු උතුම් කාර්යයක් වශයෙන් ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමේ ඒ උතුම් කර්තව්‍යයටයි අප සෑම කෙනෙක්ම අද එක් වී සිටින්නේ.
‘විනයගරුක ප‍්‍රඥා සම්පන්න සමාජයක් ගොඩනැඟීමට අපට ඇති ස්ථිරසාර ඥානදර්ශනය ත‍්‍රිපිටකය බව වටහාගෙන ක‍්‍රියා කිරීම සඳහා අවශ්‍ය පරිසරය අප සියල්ලන් එක් ව ගොඩනැඟිය යුතුය’ යන්න මා අවධාරණය කළේ 2019 ජනවාරි 01 දා මාතලේ අලුවිහාරයේ දි යි. ඒ, ත‍්‍රිපිටකය ජාතික උරුමයක් ලෙස නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ මහෝත්සව අවස්ථාවේ දි යි. බුදුපියාණන් වහන්සේ ගේ දේශනාව ආරක්ෂා කරමින්, පෝෂණය කරමින්, ලිඛිත ව ලෝකයට ඉදිරිපත් කිරීමේ උරුමය ශ‍්‍රී ලාංකිකයන් වන අප සතු යි.
ලෝකයේ ඇති අති විශාල වූත්, ග‍්‍රන්ථාරූඪ වූත් ඥාන සමුදාය වන ත‍්‍රිපිටකය මුද්‍රණ ද්වාරයෙන් ප‍්‍රකාශයට පත් වන තුරු ම රැකගත්තේ ශ‍්‍රී ලාංකේය මහා සංඝරත්නය යි. අතිශය ක‍්‍රමවත් ව ලියූ පරිපූර්ණ ත‍්‍රිපිටකයක් ලොවට ම උරුමවීමට අලුවිහාරයේ දී කළ ලේඛනගත කිරීම හේතු වුණා. යුනෙස්කෝ ලෝක මතක වැඩසටහන යටතේ මේ අප‍්‍රමාණ උරුමය ලැයිස්තුගත කිරීමටත් වඩා වැදගත් වන්නේ මෙමගින් එහි හිමිකාරිත්වය, භාරකාරත්වය පිළිබඳ ව ශ‍්‍රී ලංකාව ලෝකයේ ම පිළිගැනීමට ලක් වීමේ අවස්ථාව උදා වීමයි. ලෝකයේ මේතරම් පුළුල් ඥානස්කන්ධයක් ග‍්‍රන්ථාරූඪ කර, එක ම වෙළුම් පෙළක් ලෙස පිළියෙළ කොට ඇත්නම් ඒ ත‍්‍රිපිටකය ම පමණයි. එහි එක් අකුරක් හෝ ජීව ලෝකයේ හෝ අජීව ලෝකයේ කිසිවකුට, කිසි දෙයකට අවැඩ පිණිස යෙදී නැහැ. ත‍්‍රිපිටකයේ එන පරම ප‍්‍රාර්ථනය වන්නේ සියලු ශ‍්‍රී ලාංකිකයන් නිදුක් වෙත්වා යන්න නොවෙයි. සියලු සත්ත්වයෝ නිදුක් වෙත්වා යන්න යි. එහි ඇති ලෝක හිතානුකම්පක ප‍්‍රාර්ථනය මුළු මහත් විශ්වයට ම අදාළ යි.
එනිසා ත‍්‍රිපිටක ධර්මය සමස්ත ලෝකයේ ම යහපත සඳහා යි. ත‍්‍රිපිටකය ලෝක දායාදයක් වීමට සුදුසු වන්නේ සියලු සත්ත්වයා කෙරෙහි එහි ඇති අප‍්‍රමාණ මෛත‍්‍රී චින්තාව නිසයි. රීස් ඩේවිඩ්ස් පඬිවරයා 1881 දී එංගලන්තයේ ආරම්භ කළා පාලි පොත් සමාගම. (Pali Text Society) ඒ මගින් සිදු වුණු ත‍්‍රිපිටක පරිවර්තනයට මූලාධාර වුණේ අපේ පාලි ත‍්‍රිපිටකය යි.
බොහෝ දෙනා ස්වාභාවික භූමියක්, භෞතික වස්තුවක්, පෞරාණික ස්ථානයක් පමණක් ලෝක උරුම ගණයට අයත් වන බවයි වටහාගෙන ඉන්නේ. එය යුනෙස්කෝ ලෝක උරුම සම්මුතිය අනුව, එහි නිර්වචනය අනුව නිවැරදියි. ඒත් මනුෂ්‍ය සමාජයක ලේඛනගත උරුමය සලකා බැලෙන්නේ එහි ඇති විශ්වීය අගය අනුව යි.
එවැනි ලිඛිත උරුමයන්ට ඇතුළත් වන්නේ අතින් ලියූ අකුරු, අතින් ඇඳපු චිත‍්‍ර, සංකේත, සිතියම් ආදිය යි. පටිගත කළ, පරිගණක මාධ්‍යයෙන් රැස්කරගත් නිර්මාණත් මීට ඇතුළත් වනවා. අද අප මේ සිදු කරන්නේ ත‍්‍රිපිටකය යුනෙස්කෝ ලෝක මතක ලේඛනයට ඇතුළත් කිරීමේ යෝජනාව ඉදිරිපත් කිරීම යි. එවිටයි එය ලෝක මතක වැඩසටහන යටතේ පිළිගැනීම සඳහා සලකා බැලෙන්නේ.
ගෞරවනීය මහා නායක හාමුදුරුවනේ, මේ උතුම් ත‍්‍රිපිටකය ජාතික උරුමයක් කිරීමේ කටයුත්ත ආරම්භ කළ අවස්ථාවෙත් ඉන් පසුවත් ඒ වගේම ලෝක උරුමයක් බවට පත් කිරීමට කටයුතු කරගෙන යන මේ අවස්ථාවෙත් ත‍්‍රිපිටකාභිවන්දනා සතියක් ප‍්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුවත් මේ පිළිබඳ ව නොයෙකුත් විවේචන, මත, සංවාද ඉදිරිපත් වෙන්න පටන් ගත්තා. ඔබවහන්සේලා මෙහි දී අනුශාසනා කළ පරිදි අපේ නිර්මල බුදු දහමට අභියෝගයක් වන ආකාරයට විකල්ප බෞද්ධ දර්ශනයක් පිළිබඳ ව අදහස් ඉදිරිපත් කරන්නට භික්ෂූන් වහන්සේලා කිහිප දෙනෙක් ප‍්‍රචාරයක් ගෙන යනවා. මා මේ පිළිබඳව සොයා බැලුවා. එය ඉතාමත්ම පැහැදිලි ලෙස විදේශයන්හි සම්බන්ධකම් තිබෙන රාජ්‍ය නොවන සංවිධාන කීපයක අනුග‍්‍රහය මගින් කෙරෙන්නා වූ දෙයක්. මහා සංඝරත්නය පෙරටු කරගෙන රජයක් විදියටත් බෞද්ධයන් විදියටත් ශ‍්‍රී ලාංකිකයින් විදියටත් ඒ කටයුත්තේ දී අප සියලු දෙනා ඒ තත්ත්වය නිරවුල් කරගෙන පවිත‍්‍ර වූ බුදුදහම ආරක්ෂා කර ගන්නට ජීවිත පරිත්‍යාගයෙන් කැපකිරීමේ වැදගත්කම විශේෂයෙන් අප කවුරුත් පිළිගන්නා වූ දෙයක්.
ඒවගේම ලෝක උරුමයක් කිරීමේ මේ යෝජනාව ඉදිරිපත් කිරීමෙන් පසු ව ඇතැම් පිරිසක් කියන්න පටන් ගත්තා ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීම සුදුසු නැහැ කියලා. ජාතික වශයෙන් වගේම අන්තර්ජාතික වශයෙන් මේ තත්ත්වයන් සැලකිල්ලට ගැනීමේ දී පසුගිය දශක කීපයේත් ඈත අතීතයේත් වසර දහස් ගණනකට පෙරත් බෞද්ධ රටවල් මේ උතුම් ත‍්‍රිපිටකය පිළිබඳව ගෙන ඇති තීන්දු තීරණ රාශියක් තිබෙනවා. මෙහි අද ඉන්දියාව එහෙම නැත්නම් එදා මහා භාරතය ත‍්‍රිපිටකය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ පූජා කිරීම් පැහැදිලි කිරීම අවශ්‍ය වන්නේ නැහැ. ඒ වගේම ලෝකයේ අනිකුත් බෞද්ධ රටවල් සහ බෞද්ධ නොවන රටවල් ත‍්‍රිපිටකය සම්බන්ධයෙන් ගෙන ඇති තීන්දු තීරණ සහ පිළිගැනීම් කෙසේ ද යන්න මා සොයා බැලුවා. බෞද්ධ රටවල් වගේම බෞද්ධ නොවන රටවල් ත‍්‍රිපිටකය පිළිබඳව බොහෝ දේ පසුගිය දශක කීපයෙත් මීට වසර සිය ගණනකට පෙරත් කර තිබෙනවා. මා අතට පත් වූවා පාලි ත‍්‍රිපිටක මුද්‍රණ ආඥා පනත පිළිබඳ ව බුරුමයේ අග‍්‍රාමාත්‍ය ඌනෝ මහතාණන් විසින් 1954 මාර්තු මස 13 වන දින බුරුමයේ ජාතිය අමතා කරන ලද කතාව. මේ බුරුමයේ ජාතිය අමතා කරන ලද කතාවේ දී බුරුම අග‍්‍රාමාත්‍යතුමා 1954 දි ඉදිරිපත් කළ කරුණු කිහිපයක් මා ඉතාමත් කෙටියෙන් සඳහන් කරනවා.
මෙකී පරිදි ත‍්‍රිපිටකය ගල්වල කෙටීම දක්වා අවස්ථා හතරක් ඇති වූ බව අපට පෙනෙන්නට තිබෙනවා. ත‍්‍රිපිටකයේ කොටස් අටළොසකට බෙදා මහා තෙරුන් සතළොස් නමකුත් මහා පඬිවරයන් දෙදෙනෙකුත් විසින් කොටස බැගින් ගෙන ශුද්ධ කළ පළමුවෙනි අවස්ථාව. මෙසේ ශුද්ධ කළ පොත් මහ තෙරවරුන් දස නමකුත් ගිහි පඬිවරයන් දෙදෙනකුත් විසින් නැවතත් එහි ඒ ශබ්ද ශාස්ත‍්‍ර ග‍්‍රන්ථයන් හා සසඳා බලා ශුද්ධියට පැමිණ වූ දෙවෙනි අවස්ථාව. මෙසේ ශුද්ධියේ කටයුතු නිම කළ ඉක්බිතිව මහරජ අගමෙහෙසිය යුවරජ යන මේ රාජකීය උතුමන් ගේ ප‍්‍රමුඛත්වයෙන් පුස්කොළවල ලියවූ තුන්වෙනි අවස්ථාව. පිරිසුදුව ලියූ පුස්කොළ පොත්වලින් ගල් පුවරු මත කෙටූ සිවුවෙනි අවස්ථාව යන්න මෙහි සඳහන් කිරීමට පුළුවන්.”
මේ සඳහන් කරන්නේ විශේෂයෙන්ම බුරුමයේ අග‍්‍රාමාත්‍යතුමා 1954 දි කරන ලද කතාවේ කොටස්. ඒ වගේම එතුමා ගේ කතාවේ සඳහන් වෙනවා ත‍්‍රිපිටකය පිළිබඳව සඳහන් කිරීමේ දි පාචිත්‍ය පාලිය, චුල්ල වග්ග පාලිය, පරිවාර පාලිය සහ දීඝනිකායේ මේ සම්බන්ධයෙන් තිබෙන ඒ කරුණු එතුමාගේ ඒ කතාවේ සඳහන් වෙනවා.
මේ අවස්ථාවේ මා ඉදිරිපත් කිරීමට කැමතියි ජර්මන් රට බෞද්ධයන් බහුතරයක් සිටින රටක් නොවෙයි. මේ ජර්මන් රටේ ත‍්‍රිපිටකය ජර්මානු භාෂාවෙන් සම්පූර්ණයෙන්ම ලියැවිලා තිබෙනවා. මෙය ජර්මන් රජය තානාපති කාර්යාලය මගින් අපට එවලා තිබෙනවා. ඒ අනුව අපට පැහැදිලි ලෙසම සාක්ෂි සාධක රාශියක් තිබෙනවා බෞද්ධ රටවල් වගේම බෞද්ධ නොවන රටවල ත‍්‍රිපිටකය පිළිබඳව බොහෝ දේ කරුණු ඇතුළත් පිළිගැනීම්. බුරුමය පාර්ලිමේන්තුවේ පනතක් සම්මත කරලා නීතිගත කරලා ත‍්‍රිපිටකය පිළිබඳව එය පිළිගැනීම සහ එය ක‍්‍රියාත්මක කිරීම පනතකින් නීතියකින් ක‍්‍රියාත්මක කරලා තිබෙන්නේ 1954 වසරේ. ජර්මනියේ බෞද්ධයන් ඉතාම සුළු පිරිසක් ඉන්නේ. නමුත් ජර්මන් රජය ජර්මන් භාෂාවෙන් මේ උතුම් ත‍්‍රිපිටකය මුද්‍රණය කරලා ඒ විදියට බෙදා හැරීමක් කරලා තිබෙනවා. ඒ නිසා අද අපි මේ කරන්නා වූ උතුම් කාර්යයේදි මා විශ්වාස කරනවා අප මේ ගෙනියන වැඩපිළිවෙළ කුමන විදියේ විකල්ප අදහස්, කුමන විදියේ අභියෝග, කුමන විදියේ මීට විරුද්ධ වූ මත ඉදිරිපත් වි තිබුණත් වන්දනීය පූජනීය මහා සංඝරත්නය ඔබ වහන්සේලා අනුශාසනා කළ පරිදි මේ කටයුත්ත සාර්ථකව ලෝක උරුමයක් කිරීමේ කාර්යය අපට ඉතාමත් ම පැහැදිලිව ඉටු කිරීමට පුළුවන් බව. ඒ නිසා අප සියලුදෙනාගේම සාමූහික වගකීමක් විදියට වන්දනීය පූජනීය මහා සංඝරත්නයත් ඒවගේම රජය මේ රටේ ජනතාව ඒ වගේම මේ සඳහා සහයෝගය දෙන සියලුම රටවල් ත‍්‍රිපිටකය ලෝක උරුමයක් කිරීමට මේ අදහස ඉදිරිපත් කිරීමත් සමග ම ඉන්දීය රජයේ නියෝජිතයෙක් අපට පණිවිඩයක් එව්වා යුනෙස්කෝ ආයතනය තුළ මේ සඳහා කරන යෝජනාවේදී ශ‍්‍රී ලංකා රජය කරන යෝජනාව ඉන්දීය රජයට අවස්ථාව දෙන්න කියලා ඒ යෝජනාව ස්ථිර කිරීම සඳහා.
ඒ වගේම බෞද්ධ රටවල් රාශියක් මේ වන විට ශ‍්‍රී ලංකා රජයට දැනුම් දී තිබෙනවා, බෞද්ධ රටවල් රැසක් ඉල්ලීම් කරලා තිබෙනවා යුනෙස්කෝ ආයතනය සංවිධානය මෙය සාකච්ඡාවට ගන්නා අවස්ථාවේ දී එහි වැඩසටහනට න්‍යාය පත‍්‍රයට සහයෝගය දක්වලා අදහස් ඉදිරිපත් කරන්න ඒ රටවල නියෝජිතයන්ට අවශ්‍ය ඉඩකඩ සලසා දෙන්නැයි කියලා. ඒ නිසා මේ වන විටත් මේ පිළිබඳව අන්තර්ජාතික වශයෙන් පුළුල් සහයෝගයක් ලැබිලා තිබෙනවා. මේ ඓතිහාසික අවස්ථාවේ දී අපි ඉදිරි වගකීම් අනුව එය අන්තර්ජාතික වශයෙන් එය ලෝක උරුමයක් ලෙස පිළිගැනීමට අද සිට අප විසින් ගන්නා වූ ක‍්‍රියාමාර්ගය වඩාත් සාර්ථක වන බවයි මාගේ විශ්වාසය. ඔබවහන්සේලා ගේ ආශිර්වාදය තුළ මා විශ්වාස කරනවා ඒ කටයුත්ත ඉතාමත් සාර්ථකව කළ හැකි බව. ඒ නිසා අද දවසේ මේ උතුම් පුණ්‍ය කටයුත්තට ඔබ වහන්සේලා ප‍්‍රමුඛ ව මේ ඓතිහාසික මහා බෞද්ධ පූජනීය පින්බිමේදි මේ එක්වුණු අවස්ථාව ඉතාමත් වැදගත් වනවා.
ඒ වගේම මම ඉමහත් සතුටින් මේ අවස්ථාවේ ප‍්‍රකාශ කරන්නට ඕනෑ ඉතාම කලාතුරකින් දකින දර්ශනයක් අපි දකිනවා අපේ මහා නායක හාමුදුරුවනේ. මේ උතුම් බෞද්ධ පින්බිමේ දී අස්ගිරි, මල්වතු, ශ‍්‍රී ලංකා රාමඤ්ඤ නිකාය, එසේම අමරපුර මහානිකායේ මහානායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේලා ඉතාම කලාතුරකින් තමයි අපට දැක ගන්නට ලැබෙන්නේ මේ විදියට එකට අසුන්ගෙන සිටිනවා. මගේ ජීවිත කාලය තුළ ඇත්තටම මීට කලින් මේ අවස්ථාව මම දැකලා නැහැ. මහානායක ස්වාමින් වහන්සේලා සිවු නම ම මේ අවස්ථාවට වැඩම කරලා මේ උතුම් කටයුත්තේ දී අපට දෙන අනුශාසනාව පිළිබඳව බෞද්ධ ජනතාව විදියට අපි ඉතාමත් සතුටු වෙනවා.
මේ සියලු කටයුතු අපි කරන්නේ ඔබවහන්සේලාගේ අනුශාසනා, මඟපෙන්වීම, උපදෙස් මතයි කියන කාරණය මා සඳහන් කරන්නට ඕනෑ.
මීට අදාළ නොවන කරුණක් එහෙත් මේ දිනවල විශේෂයෙන් අපේ ගෞරවනීය බෞද්ධ භික්ෂූන් වහන්සේලා ප‍්‍රමුඛ අපේ බෞද්ධ ජනතාව තුළ සාකච්ඡාවට ලක් වෙන එක කාරණයක් පිළිබඳව වචනයක් පමණක් කියන්නට මම බලාපොරොත්තු වෙනවා. ඒ මොකද මාධ්‍ය තුළත් මේ දිනවල බොහෝම තදින් ප‍්‍රචාරය වෙනවා මේ විල්පත්තු අභයභූමියේ වන සංරක්ෂණය තුළ මේ ඉඩම් දීමක් පිළිබඳව. අපේ මහ නායක හාමුදුරුවනේ මම බොහෝම පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ මේ ගෙවී ගිය වසර 04 තුළ 2015 ජනවාරි 08 වෙනිදා සිට අද දක්වා කාලසීමාව තුළ විල්පත්තු වන රක්ෂිතයේ අභයභූමියේ කිසි ම පුද්ගලයකුට හෝ කිසිම ආයතනයකට බිම් අඟලක්වත් අප විසින් දී නොමැති බව ඔබවහන්සේලාට ගෞරව පූර්වකව මෙහි දී සඳහන් කරන්නට ඕනෑ.
ඔබ සියලු දෙනාටම ස්තූතියි.

 අප සතු ස්වාභාවික ජල සම්පත රැකගැනීමට නම් සමස්ත ජනතාවගේ සක්‍රිය දායකත්වය හිමි විය යුතු බවත් ඒ සඳහා සමාජය දැනුවත් කරමින් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලෝක ජලදිනය අවස්ථාවක් කරගන්නා ලෙසත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.

අග්‍රාමාත්‍යවරයා “ ලෝක ජල දිනය“ වෙනුවෙන් නිවේදනයක් නිකුත් කරමින් මේ බව ප්‍රකාශ කරයි. එහි වැඩිදුරටත් මෙසේ ද සඳහන් වේ.
ජල සම්පත මහත් ගරුත්වයෙන් සැලකූ දේශයක් ලෙස ශ්‍රී ලංකාව අනාදිමත් කාලයක සිට ජල සම්පාදනය, කළමනාකරණය සහ සුරක්ෂිතතාව සම්බන්ධව සුවිශේෂ අවධානයකින් කටයුතු කොට ඇත.
ජල කළමනාකරණයේ නවමු සංකල්පයන් අත්හදා බලමින්, ජල සම්පාදන ක්ෂේත්‍රය වඩ වඩාත් දියුණු කරමින් ජනතාවට ප්‍රතිලාභ සැලසූ විශිෂ්ඨ වාරි ඉතිහාසයක් අප රට සතු ය.
එක්සත් ජාතීන් ප්‍රකාශයට පත් කොට ඇති තිරසර සංවර්ධන අරමුණු අතර සැමට ජලය සහ සනීපාරක්ෂක පහසුකම් ලබා ගැනීම මෙන්ම, ඒවායේ තිරසර කළමනාකරණය සහතික කිරීම කෙරෙහි ද ප්‍රමුඛ අවධානය යොමු වේ. එහි සාමාජික රටක් ලෙස එම තිරසර අරමුණු සාක්ෂාත් කරගැනීම සඳහා සහය ලබා දීම අපගේ ද වගකීමකි.
සමස්ත ලෝකය උග්‍ර පානීය සහ පරිභෝජන ජල අර්බුදයක ගිලී සිටින මේ මොහොතේ, අපගේ අතීත ජල කළමනාකරණ උරුමයට නවමු අගයක් ලබා දෙමින් අපගේ ජල මූලාශ්‍ර සුරක්ෂිත කිරීම සහ ඒවායේ තිරසර කළමනාකරණය සඳහා කටයුතු කිරීම අතිශය වැදගත් යුග මෙහෙවරකි.
අප සතු ස්වාභාවික ජල සම්පත රැකගැනීමට නම් සමස්ත ජනතාවගේ සක්‍රිය දායකත්වය හිමි විය යුතුය. ඒ සඳහා සමාජය දැනුවත් කරමින් පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට ලෝක ජල දිනය අනගි අවස්ථාවක් කරගනිමු.

 “රට වෙනුවෙන් – එකට සිටිමු” පුත්තලම දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් හෙට (22) පෙරවරුවේ පුත්තලම ශක්තී ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

ගරු ජනාධිපතිතුමාගේ උපදෙස් හා මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය මෙහෙයවන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන, දරුවන් සුරකිමු ජාතික වැඩසටහන, පරිසර සංරක්ෂණ ජාතික වැඩසටහන ඇතුළු විශේෂ ව්‍යාපෘති සහ විවිධ අමාත්‍යාංශ විසින් ක්‍රියාත්මක කරන ජාතික සංවර්ධන වැඩසටහන් හා සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව හා ඵලදායීව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා ජනතාවට උපරිම මහජන සේවාවන් හා ප්‍රතිලාභ අත්පත් කර දීම ‘රට වෙනුවෙන් එකට සිටිමු’ වැඩසටහනේ ප්‍රමුඛ අරමුණයි.
එහි පළමු දිස්ත්‍රික් වැඩසටහන පසුගියදා 18 වනදා පුත්තලම දිස්ත්‍රික්කයෙන් ආරම්භ කෙරුණු අතර පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 16 හා ග්‍රාම නිලධාරි වසම් 332ම ආවරණ කරමින් ප්‍රදේශයේ ජනතාවගේ අධ්‍යාපන ගැටලු, සෞඛ්‍ය ගැටලු, රැකියා ගැටලු ආදි ගැටලු රැසකට විසඳුම් ලබාදීම ඇතුළු මහජන සේවාවන් රැසක් එහිදී ක්‍රියාත්මක කෙරිණි.
එමෙන්ම දිස්ත්‍රික්කයේ ස්ථාන රැසක දී මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන්, වකුගඩු රෝග නිවාරණ වැඩසටහන්, පරිසර සංරක්ෂණ වැඩසටහන් ඇතුළු විශේෂ වැඩසටහන් ද ක්‍රියාත්මක විය.
දීර්ඝ කාලයක් පුරා මහජනතාව මුහුණ දී ඇති ගැටලුවලට කඩිනම් විසඳුම් ලබාදෙමින් මහජන අවශ්‍යතා ඉටුකෙරෙන “රට වෙනුවෙන් – එකට සිටිමු” වැඩසටහන ඉදිරියේ දී දිවයිනේ සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය කරමින් ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මේ අතර හෙට ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන පුත්තලම දිස්ත්‍රික් සමාප්ති උත්සවයට සමගාමීව පුත්තලම නව නගර සභා ක්‍රිඩාංගණය විවෘත කිරීම, නව නගර ශාලාව විවෘත කිරීම සහ පුත්තලම දිස්ත්‍රික් Smart sri lanka පරිගණක ඒකකය විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරේ.

 ථෙරවාදි පාලි ති‍්‍රපිටකය යුනෙස්කෝ ලෝක මතක උරුම ලේඛනයට ඇතුළත් කිරීම සඳහා වන තාක්ෂණික ක‍්‍රියාවලිය වෙනුවෙන් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් විද්වත් කමිටුවක් පත් කිරීමට පියවර ගෙන තිබේ.

ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් ඇසළ වීරකෝන් සහ බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම යන මහත්වරුන්ගේ ප‍්‍රධානත්වයෙන් යුත් මෙම කමිටුව මහාචාර්ය මැදගම්පිටිය විජිත නන්ද ස්වාමින් වහන්සේ, නිවාස, ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ජී.විජිත නන්ද කුමාර්, ශ‍්‍රී ලංකා යුනෙස්කෝ කොමිෂන් සභාවේ ලේකම් ජනරාල් පේ‍්‍රමලාල් රත්නවීර, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ වැඩබලන අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය පී.බී. මණ්ඩාවල, මහාචාර්ය කේ.ඩී. පරණවිතාන, මහාචාර්ය මාලනී ඇදගම, මහාචාර්ය පී.බී. නන්දදේව, මහාචාර්ය චන්දිම විජේබණ්ඩාර යන මහත්ම මහත්මීන් ඇතුළු විද්වත් පිරිසකගෙන් සමන්විත ය.
එම කමිටු සාමාජිකයන් වෙත පත්වීම් ලිපි පිළිගැන්වීම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අතින් 19 පස්වරුවේ ජනාධිපති මන්දිරයේ දී සිදු විය.

 භූ විද්‍යා සමීක්ෂණ සහ පතල් කාර්යාංශය මඟින් පරිසර හිතකාමී දේශයක් බිහිකරනු උදෙසා සංවිධාන කරන ලද “භූ අභිමානි” හරිත හරසර ප්‍රණාම උලෙළ 2019 ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (18) පස්වරුවේ කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී පැවැත්විණි.

ශ්‍රී ලංකාව සතු ඛනිජ සම්පත අවභාවිත කිරීම මැඬලීම මගින් ,තිරසර හෙටක් – සංවර්ධිත රටක්, ගොඩනැඟීම උදෙසා මහත් කැපවීමෙන් හා පරිශ්‍රමයෙන් යුතුව තම දේශය වෙනුවෙන් යුතුකම් ඉටු කරමින් ඛනිජ සම්පත් ආරක්ෂා කිරිමෙහිලා සහ පරිසරයේ පොදු සුභ සිද්ධිය උදෙසා සිදු කරනු ලැබු මහඟු සේවය අගය කරමින් නිලධාරින් වෙත ජනාධිපති ප්‍රශංසා සම්මාන පිළිගැන්වීම මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.
භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනන්‍යතාව තහවුරු කරනු වස් නිර්මාණය කරනු ලැබූ භූ විද්‍යා ධජය එළිදැක්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
මහවැලි සංවර්ධන හා පරිසර රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නප්පෙරුම, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ සභාපති අසේල ඉද්දවෙල, අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය සී.එච්.ඊ.ආර්. සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 මහබැංකු බැඳුම්කර සිදුවීමට අදාළ ප්‍රධාන වගඋත්තරකරුවා ශ්‍රී ලංකා රජයට භාරදීම සම්බන්ධව තම ප්‍රතිපත්තිය පිළිබඳ පැහැදිලි ප්‍රකාශයක් සිංගප්පූරු රජය සිදු කළ යුතුව ඇති බව ජනාධිපතිතුමා පවසයි.

තමා ඒ පිළිබඳ සිංගප්පුරු අග්‍රාමාත්‍යවරයා සමඟ සාකච්ඡා කළ බව ද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ප්‍රකාශ කළේ අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම එළිදැක්වීමේ අවස්ථාවට අද (18) පෙරවරුවේ කොළඹ දී එක් වෙමිනි.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ 2015 ජනවාරි 08 වනදා හැට දෙලක්ෂ පනස්දහසක ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් වූ තමාගේ මැතිවරණ ප්‍රකාශයේ ප්‍රධාන කරුණක් වූයේ අල්ලස හා දූෂණය තුරන් කිරීම බවයි. ඒ වෙනුවෙන් පසුගිය වසර 04 තුළ පියවර රැසක් ගත් අතර කිසිදු රජයක් නොගත් දැඩි තීන්දු තීරණ රැසක් ද ඒ අතර වන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
ඉතිහාසයේ සිදුවූ විශාලම මංකොල්ලය වූ මහ බැංකු බැඳුම්කර සිදුවීම පිළිබඳ සොයා බැලීමට තමා පත් කළ ජනාධිපති කොමිසම මේ රටේ ජනතාවගේ අවධානයට ලක් වූයේ කොමිෂන් සභා පිළිබඳ මෙතෙක් ජනතාව තුළ තිබූ අවිශ්වාසය සහ පසුගාමි අදහස් වෙනස් කරමින් බව ද ජනාධිපතිතුමා පැවසීය. එම පරීක්ෂණ සිදුකරන නිලධාරින්ට විවිධ අභියෝග සහ ගැටලුවලට මුහුණදීමට සිදු වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා ඇතැම්විට ඔවුන්ට විරුද්ධව පරීක්ෂණ පැවැත්වීමට ද කටයුතු කළ අතර එය රාජ්‍ය පාලනය තුළ සිදුවූ දුර්වල අවස්ථාවක් ලෙස තමා සලකන බව කියා සිටියේ ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ යහපත් රාජ්‍ය පාලන සංකල්පය තුළ රටක් ලෙස ඉදිරියට යාමට තිබෙන ප්‍රධානතම අභියෝගය වංචාව සහ දූෂණය නම් එය වැළැක්වීමට රටට ආදරය කරන සියලු පාර්ශ්වයන් එක්විය යුතු බවයි. බලය රැකගැනීම මිස රටේ සැබෑ තත්ත්වය පිළිබඳ කතා කරමින් ඒවාට විසඳුම් සෙවීමට කිසිවෙකු කටයුතු නොකරන අතර, එවන් තත්ත්වයක් තුළ කිසිවෙකු මේ පිළිබඳව විවෘතව කථා නොකරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අල්ලස හා දූෂණය මැඬලීම වෙනුවෙන් පැහැදිලි වැඩපිළිවෙළක් දැනට රට තුළ ක්‍රියාත්මක වුව ද වැරදිකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳ ගැටලුකාරි තත්ත්වයක් පවතින බවයි. සුපිළිපන්න රාජ්‍ය සේවයක් තුළ වංචාවෙන් දූෂණයෙන් තොර යහපත් රටක් ගොඩනැගීමට වංචාවට සහ දූෂණයට එරෙහිව ද කඩිනමින් දණ්ඩනය ක්‍රියාත්මක විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කරන ලදී.
අල්ලස හා දූෂණය තුරන් කිරීමේ පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම මෙහි දී අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය. ශ්‍රී ලංකාව තුළ වංචාව සහ දූෂණය තුරන් කරමින් එමඟින් ආර්ථික, සාමාජයීය, සංස්කෘතික සහ පාරිසරික වශයෙන් තිරසර සංවර්ධනයක් උදාකර ගැනීම මෙම ක්‍රියාකාරි සැලැස්ම සකස් කිරීමේ අරමුණයි. වසරක පමණ කාලයක් අල්ලස් පනතේ අල්ලස, දූෂණය, වත්කම්, බැරකම් දඬුවම් සහ වෙනත් ඊට අදාළ දුර්වල නීතිරීති අණ පනත්වලට සම්බන්ධ කරුණු කැබිනට් මණ්ඩල අනුමැතියෙන් සංශෝධනය කර ඒ අනුව මෙම නව නීතිරීති ඇතුළත් පස් අවුරුදු ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබේ. මෙරට සියලු රාජ්‍ය ආයතන ව්‍යූහයන්හි අල්ලස නිවාරණය, හර පද්ධති වැඩිදියුණු කිරීම, දඬුවම් ක්‍රමවේද හා නීති ප්‍රතිපත්ති සංශෝධනය කිරීම යන ප්‍රධාන සාධක පදනම් කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරි සැලැස්ම සකස් කර තිබෙන අතර එහිදී සාකච්ඡා වට 40 ක් පමණ පවත්වා විද්වතුන්, විදෙස් විශේෂඥයන්, මහජනතාව ඇතුළු විවිධ තරාතිරම්වල පිරිස්වල අදහස් විමසීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව කටයුතු කොට ඇත.
ගෞරවනීය ත්‍රෛනිකායික මහාසංඝරත්නය ඇතුළු අන්‍යාගමික පූජකවරුන් ද, කථානායක කරූ ජයසුරිය, විපක්ෂනායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, නීතිපති ජයන්ත ජයසූරිය මහතා ඇතුළු නීති ක්ෂේත්‍රයේ ප්‍රවිණයන් සහ ඇමරිකානු තානාපතිනි Alaina B Teplity , එක්සත් ජාතින්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක Hanaa Singer යන මහත්ම මහත්මීන් ඇතුළු දෙස් විදෙස් නියෝජිතයන් හා අල්ලස් හෝ දුෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ සභාපතිවරයා, අධ්‍යක්ෂවරුන් ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

 ශ්‍රී ලංකාවේ ඩිජිටල් ආර්ථිකයක් ඇති කිරීම වෙනුවෙන් වත්මන් රජය කැපවී සිටින බවත්, ඉදිරි වසර 05 තුළ ඩිජිටල් ආර්ථිකයක් ඇති කරමින්, රටට නව ආදායම් මාර්ග සහ නව විදේශ ආදායම් මාර්ග ඇති කිරීම සඳහා අවශ්‍ය සේවාවන් ජනතාව වෙනුවෙන් රජය විසින් ලබා දෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඉඩම් ඔප්පු ලියාපදිංචි කිරීමේ එක්දින සේවාව සහ ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුව සැකසුණු නව උප්පැන්න සහතික සහ නව ආරක්ෂිත ක්‍රමෝපායන් සහිත විවාහ සහ මරණ සහතික ලබාගැනීමේ ජාතික වැඩපිළිවෙළ පෙරේදා (16) දින බත්තරමුල්ල රෙජිස්ටාර් ජෙනරාල් කාර්යාලයේදී ආරම්භ කිරීමේ උත්සවයට එක්වෙමින් පැවසීය.

ජනතා සේවය වඩාත් පහසුවෙන් හා වේගවත්ව සිදු කිරීම රජයේ අරමුණ බව සඳහන් කළ අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ඒ අනුව අද සිට රෙජිස්ටාර් දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි සියලූ ලිපි හා සහතික අනවශ්‍ය මුදල් ගෙවීම්වලින් තොරව ඉතා පහසුවෙන් හා ක්ෂණිකව ලබාගැනීමට අවස්ථාව උදාවන බව ද මෙහිදී වික්‍රමසිංහ මහතා පැවසීය.

 

 'රට වෙනුවෙන් එකට සිටිමු''ජාතික සංවර්ධන වැඩසටහනේ සමාරම්භක වැඩසටහන පුත්තලම දිස්ත්‍රික්කයෙන් අද (මාර්තු 18 දින) සිට ආරම්භ වෙයි.

ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ සංකල්පයක් අනුව ජනාධිපති කාර්යාලය විසින් මෙම වැඩපිළිවෙල සංවිධානය කර මෙහෙයවනු ලබයි.
රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩසටහනේ සමාරම්භක ව්‍යාපෘතිය පුත්තලම දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 16ක් ඉලක්ක කරගෙන එකම දිනක එකම වේලාවක මහජන සේවාවන් ආරම්භ කෙරේ
ජනාධිපතිතුමාගේ මඟ පෙන්වීම පරිදි ජනාධිපති කාර්යාලය විසින් මෙහෙයවනු ලබන ජාතික සංවර්ධන ව්‍යාපෘති වන මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන,රණවිරු සත්කාරක සේවා වැඩසටහන,ඩෙංගු මර්දන වැඩසටහන,දරුවන් සුරකිමු ව්‍යාපෘතිය ඇතුළු විශේෂ ව්‍යාපෘති ඇතුළුව විවිධ අමාත්‍යාංශ මඟින් ක්‍රියාත්මක ජාතික සංවර්ධන වැඩසටහන්, සමාජ සුබසාධන වැඩසටහන් කාර්යක්ෂමව,ඵලදායි ලෙස ග්‍රාමීය මට්ටමේ සිට දිස්ත්‍රික් මට්ටම දක්වා උපරිම සේවාවක් මහජනතාවට අත්පත් කරදීම රට වෙනුවෙන් එකට සිටිමු ජාතික වැඩපිළිවෙලේ මුඛ්‍ය අරමුණයි.


ඒ අනුව පුත්තලමෙන් ආරම්භ වන මෙම ජාතික වැඩසටහන 18 වැනි දින වන අද දින සිට 22 වන දින දක්වා පුත්තලම දිස්ත්‍රික්කයේ පුත්තලම, මුද්දලම,පල්ලම,මහවැව, වෙන්නප්පුව,වනාතවිල්ලුව, දංකොටුව,මහකුඹුක්කඩවල,කරුවලගත්වැව,ආණ්මඩුව,නවගත්තේගම,කල්පිටිය,හලාවත ,ආරච්චිකට්ටුව,නාත්තන්ඩිය සහ මාදම්පේ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ කේන්ද්‍රකර ගනිමින් මහජන සේවාවන් මේ සතිය පුරා ක්‍රියාත්මක කිරීමට සැලසුම් කොට ඇත.
''රටවෙනුවෙන් එකට සිටිමු'' ජාතික වැඩසටහනේ පුත්තලම් දිස්ත්‍රික් වැඩසටහනේ සමාප්ති උත්සවය මාර්තු 22 දින ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් මහජන නියෝජිතයන් රැසකගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතය.
මෙම ජාතික ව්‍යාපෘතිය තුළින් මහජන ගැටළු හා අවශ්‍යතාවයන් කඩිනමින් විසඳීමට කටයුතු කරන බැවින් පුත්තලම දිස්ත්‍රික්කයේ මහජනතාවට මෙම ජාතික වැඩසටහනට සක්‍රියව දායක වන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටියි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter