නවතම පුවත්

 තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම පිළිබඳ සිවිල් පුරවැසියන් දැනුවත් කිරීමේ “ගමට තොරතුරු අයිතිය” ජංගම සේවා වැඩසටහන් මාලවේ දෙවෙනි වැඩසටහන 2019.03.16 වන දින මඩකලපුව නව කල්මුනේ පාරේ ශිවානන්ද ජාතික පාසලේදී පැවැත්වීය.

ජනමාධ්‍ය අමාත්‍යංශය විසින් නැගෙනහිර පළාත් ජනතාව ඉලක්ක කර සංවිධානය කරනු ලබන මෙම වැඩසටහන සමාජීය පොදු ගැටළු විසදීමේදී තොරතුරු පනත භාවිතා කරන ආකාරය, තොරතුරු පනත භාවිතයෙන් එම ගැටලු සඳහා විසදුම් හඳුනා ගැනීම,තොරතුරු ඉල්ලුම් පත්‍රයක් පුරවන ආකාරය ඇතුළු තොරතුරු ලබාගන්නා අවස්ථාව දක්වා සම්පූර්ණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් පුරවැසියන් දැනුවත් කිරීම මෙම ජංගම සේවය තුළින් සිදු කරන ලදී.
පුරවැසියන් 400ක පමණ සහභාගීත්වයෙන් පැවැත්වූ මෙම ජංගම සේවය සාර්ථක කර ගැනීමට AFRIEL තරුණ සංවිධානෙය් සහයද ලැබිණි.
ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම් රමණී ගුණවර්ධන මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම වැඩසටහනට නැගෙනහිර පළාත් සභාව නියෝජනය කරමින් එහි නියෝජ්‍ය ප්‍රධාන ලේකම්තුමිය ජේ. මුරලිදරන් මහත්මියත්, මඩකලපුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය හා අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලය නියෝජනය කරමින් අතිරේක දිස්ත්‍රික් ලේකම්වරුන් හා මඩකලපු දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම්වරුනුත් ජනමාධ්‍ය අමාත්‍යංශයේ අධ්‍යක්ෂ (මාධ්‍ය) කේ.ජයන්ත මහතා සහ සහකාර ලේකම් සුධර්මා කරුණාරත්න මහත්මිය ඇතුළු තොරතුරු දැන ගැනීමේ ඒකකයේ නිලධාරී මහත්වරුන් සහභාගී වන ලදී.
එසේම සම්පත් දායකත්වය සඳහා තොරතුරු කොමිෂන් සභාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් පියතිස්ස රණසිංහ මහතා, නීතීඥ ජගත් ලියනාරච්චි මහතා, කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය ආචාර්ය ප්‍රදීප් වීරසිංහ මහතා සහ යාපනය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය රඝුරාම් මහතා සහභාගී වන ලදී.

 

ශ්‍රී ලංකාවත් කෙන්යාවත් අතර ඉපැරණි මිත්‍රත්වය තවදුරටත් තහවුරු කරමින් සහ දෙරට අතර නව සහයෝගීතා ගමනකට මුල පුරමින් සිය කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (17) පෙරවරුවේ යළි දිවයිනට පැමිණියේ ය.

එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිතයෙකු ලෙස එක්වීමට කෙන්යා ජනාධිිපති උහුරු කෙන්යාටා මැතිතුමාගෙන් ලද විශේෂ ආරාධනය පරිදි ජනාධිපතිතුමා පසුගිය 13 වනදා කෙන්යා නිල සංචාරය ආරම්භ කළේය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා, ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන්, ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, මැඩගස්කරයේ ජනාධිපති ඇන්ඩි්‍ර රජොයිලිනා යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් රටවල් 58ක පරිසර අමාත්‍යවරුන් සහ නියෝජිතයන් පන්දහසකට අධික පිරිසකගේ සහභාගිත්වයෙන් මාර්තු 14 වන දා නයිරෝබි නුවර එක්සත් ජාතින්ගේ පරිසර සංවිධාන මූලස්ථානයේ දී ජගත් පරිසර සමුළුව ආරම්භ කෙරුණු අතර, තුන්වන කථිකයා ලෙස ජනාධිපතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කරනු ලැබීය.
මේ අතර ශ්‍රී ලංකාවේ සම අනුග්‍රහකත්වයෙන් විශේෂ යෝජනා 04 ක් මෙහි දී පරිසර සමුළුවට ඉදිරිපත් කිරීම ද විශේෂත්වයකි.
පරිසර අමාත්‍යවරයෙකු ලෙස මෙන් ම රාජ්‍ය නායකයෙකු ලෙස පරිසරය සුරැකීම වෙනුවෙන් දැඩි කැපවීමකින් කටයුතු කරන සහ ඒ පිළිබඳ ප්‍රතිපත්තිමය තීන්දු තීරණ රැසකට එළැඹි නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ දේශනය සමුළුවට සහභාගී වූ සියලුදෙනාගේ දැඩි අවධානයට ලක්ව තිබූ අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ පරිසර හිතකාමී සංවර්ධන වැඩපිළිවෙළ ඔවුන්ගේ ඇගැයීමට ලක් වීම ද විශේෂත්වයකි.
ජනාධිපතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡාවලට මාර්තු 15 වන දා එරට රාජ්‍ය මන්දිරයේ දී එක්වුණු අතර දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා නව ප්‍රවේශයන් ඔස්සේ ශක්තිමත් කර ගැනීමට මෙන්ම ජාත්‍යන්තර තලයේ දී එක්ව කටයුතු කිරීමට එහිදී නායකයෝ සහතික වූහ.
සිය සංචාරයේ දී නයිරෝබි නුවර පිහිටි කෘෂි වන වගා පර්යේෂණ ජාත්‍යන්තර මධ්‍යස්ථාන මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් වූ ජනාධිපතිතුමා එරට වෙසෙන ශ්‍රී ලාංකිකයන් සමග හමුවකට ද එක්වෙමින් ඔවුන්ගේ ගැටලු පිළිබඳ සොයා බැලීමට අමතක නොකළේය.
මේ අතර කෙන්යා නිල සංචාරය සාර්ථකව අවසන් කළ ජනපතිට ගෞරවණීය සමුදීමක් වෙනුවෙන් එරට ජල සම්පාදන අමාත්‍ය Simon Kiprono Chelugui මහතා ඇතුළු නියෝජිත පිරිසක් නයිරෝබි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත පැමිණ සිටියහ.

 

 ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය ගෞරවය අපේක්ෂා කළ හැකි වන්නේ වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීමෙන් පමණක් බව ජනමාධ්‍ය අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා අද(15) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දි පැවැති "ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව" ප්‍රදානය කිරීමේ උළෙල අමතමින් ප්‍රකාශ කලේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමා,

ජනමාධ්‍ය අමාත්‍යවරයා වශයෙන් වැඩභාර ගැනීමෙන් අනතුරුව ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ මා සහභාගී වන පළමු නිල උත්සවය ජනමාධ්‍යවේදීන් උදෙසාම වූ උළෙලක් වීම, මා පෞද්ගලිකව අතිශය සතුටුවන කාරණාවක්. ජනමාධ්‍යවේදියාගේ භූමිකාව තුළ සුවිශේෂිතවූ සමාජ වගකීමක් නිරායාසයෙන්ම ඔහු හෝ ඇය වෙත පැවරී තිබෙනවා. ජනමාධ්‍ය යනු කලාවක්. ඒ නිසා එම ක්ෂේත්‍රයෙහි නිරතවී සිටින ජනමාධ්‍යවේදියෝ යනු එක්තරා කලාකරුවන් කොට්ඨාසයක්. කලාකරුවා එක් අතකින් දාර්ශනිකයි. ඒ වගේම සංවේදියි. නමුත් අනාගතය ගැන ඉතාමත් සවිඥානිකයි. ඒ අර්ථයෙන් මම ජනමාධ්‍යවේදියා කලාකරුවෙක් ලෙස හදුන්වා දෙන්න කැමතියි.

අද අපි ජීවත්වන සමාජය තොරතුරුවලින් පිරුණු සමාජයක්. ජනමාධ්‍යවේදියා තොරතුරු සමාජගත කරනවා. සේවා තොරතුරු එක් එක් දෘෂ්ටිවාදයන් තුළ හා මාධ්‍ය අධිකාරීත්ව බලපෑම මත ප්‍රතිනිර්මාණය කිරීමක් හෝ ප්‍රතිනිෂ්පාදනය කිරීමක් තුළින් සමාජගත කිරීමක් සිදුකරනවා. එය ඉතාමත් භාරදූර්ය වගකීමක් මෙන්ම සංකීර්ණ ක්‍රියාවලියක්. මමත් මගේ ජීවිතේ එක්තරා අවධියක මාධ්‍යවේදියෙක් ලෙස කටයුතු කළා. ඒ වගේම මම ඉපදුනෙත් මාධ්‍යයට බොහෝ සම්බන්ධ පවුලක. මාධ්‍ය ආචාර ධර්ම සුරකිමින් සමාජයට ඉතාමත් හරවත් ගෞරවාන්විත සේවාවක් ඉටුකළ බොහෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන් මම කුඩා කළ සිට ඇසුරු කරලා තිබෙනවා. ඔවුන් සමාජයට අමිල මාධ්‍ය මෙහෙවරක් ඉටු කළා. නමුත් ඒ බොහෝ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදීන්ගේ පෞද්ගලික ජීවිතය ඉතා අපිළිවෙලකින් යුත් ඛේදාන්තයක් බවට පත්වෙලා තිබුණා. එයට මා දකින සුවිශේෂිත හේතුව වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත වී නොතිබීමයි.

 වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීමෙන් පමණයි ජනමාධ්‍යවේදියාගේ වෘත්තීය ගෞරවය අපේක්ෂා කළ හැකි වන්නේ. ඒ තුළින් පමණයි ජනමාධ්‍යවේදියාට සමාජමය, ආර්ථිකමය වටිනාකමක් ගොඩනැගෙන්නේ. ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් සංවිධානය කළ “ඇසි දිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන” මඟින් ජනමාධ්‍යවේදියා දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සංවර්ධනය කරන්නට පුළුවන්. ඒවාගේම විසිඑක්වන සියවසට ගැලපෙන මාධ්‍යවේදියෙක් නිර්මාණය කර ගැනීමට අවශ්‍ය නූතන දැනුම, තාක්ෂණය, ආකල්ප උසස් අධ්‍යාපනයක නිරතවීමෙන් අප කාටත් ළඟා කරගත හැකියි.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල දීර්ඝ කාලීන හෝ අර්ධ කාලීන පදනම මත වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කල මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ ලක්ෂ දෙකක මුදලක් මෙම වර්ෂයේ සිට ලබා දීමට ජනමාධ්‍ය අමාත්‍යාංශය තීරණය කරලා තියෙනවා. ඒවාගේම කෙටි කාලීන හෝ දිගුකාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක උපරිමයකට යටත්ව ශිෂ්‍යත්ව මුදල් ලබා දෙනවා. ඒ අනුව අද දිනයේ මාධ්‍යවේදීන් 109 දෙනෙකු “ඇසිදිසි ජනමාධ්‍ය ශිෂ්‍යත්ව” ප්‍රදානයට තෝරාගෙන තිබෙනවා. එලෙස තෝරා ගනු ලැබූ සියළු මාධ්‍යවේදීන් වෙත තමන්ගේ උසස්  අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගන්නට ශක්තිය, ධෛර්යය ලැබේවා කියා මා ප්‍රාර්ථනා කරනවා.

ජනමාධ්‍යවේදියාගේ මාධ්‍ය සාක්ෂරතාව මෙන්ම  සංහතිකයන්ගේ මාධ්‍ය සාක්ෂරතාවය නැංවීමද රජයේ වගකීමක් ලෙස මා සිතනවා.

අද උසස් පෙළ විෂය ධාරාවට මාධ්‍ය විෂයක් ලෙස ඇතුළත් කර තිබෙනවා. ඒ තුළින් මාධ්‍ය සාක්ෂරතාවයක් ඇති දුවා දරුවන් රටට නිර්මාණය වනවා. ජනතාවගේ මාධ්‍ය සාක්ෂරතාව ඉහළ යනවාට සාපේක්ෂව ජනමාධ්‍යවේදියගේ මාධ්‍ය සාක්ෂරතාව දැනුම, කුසලතා, ආකල්ප ඉහළ යායුතුයි.

ඉතින් “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්වය ජනමාධ්‍යවේදීන් වෙත ජනමාධ්‍ය අමාත්‍යාංශය මඟින් ලැබෙන අති විශිෂ්ඨ තිළිණයක් සේම යුගයේ මහා සමාජ වගකීමක් ඉටුකිරීමක් වෙනවා. මීළඟ පියවරේදී මීටත් වඩා ශිෂ්‍යත්වලාභීන් පිරිසක් රටට දායාද කරමින් උසස් වෘත්තීය ජනමාධ්‍ය කලාවක් බිහිකරන්න මම බලාපොරොත්තු වෙනවා. සමාජ වගකීම් හඳුනාගත් මාධ්‍ය ආචාර් ධර්ම ගරුකොටගත් උගත්, දැනුමෙන්, සන්නද්ධ, කුසලතාවයන්ගෙන් පිරි මාධ්‍යවේදීන් 109 දෙනෙකුගේ ලස්සන අනාගතයකට නැවතත් සුභ පතනවා.

රටට අවශ්‍ය වන වෘත්තීය ජනමාධ්‍යවේදීන් පිරිසක් බිහි කිරීම “ඇසි දිසි ශිෂ්‍යත්ව”වැඩසටහනේ අරමුණ බව මෙම උත්සවයේදී පිළිගැනීමේ කතාව කරමින් ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා ප්‍රකාශ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් සුනිල් සමරවීර මහතා,

2006 සිට ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතියේ අද දිනයේදී ජනමාධ්‍යවේදීන් 109 දෙනෙක් ශිෂ්‍යත්ව ලබාගන්නව.එයින් 78 දෙනෙක්ම උපාධි පාඨමාලා සහ ඉහළ උපාධි මට්ට්ම වෙනුවෙන් ශිෂ්‍යත්ව ලබාගැනීම විශේෂත්වයක් වෙනව. මෙම ශිෂ්‍යත්වලාභීන් රාජ්‍ය අංශය වගේම පුද්ගලික අංශත් නියෝජනය කරනව. එනිසා අද දිනය අපිට සුවිශේෂී දිනයක්.

වර්තමානයේ ජනතාව හැමදෙයක් දිහාම බලන්නේ විවේචනාත්මක ස්වරූපයෙන් බැවින් වෘත්තීය ජනමාධ්‍යවේදීන් රටට අවශ්‍ය වී තිබෙනවා.අප රටේ ගවේෂණාත්මක,නිර්මාණාත්මක ජනමාධ්‍යවේදීන් පිරිසක් සිටිනවා.වර්තමානයේ තාක්ෂණය ඉතා දියුණු බැවින් ඔබ කරන කාර්යය ගවේෂණාත්මක මෙන්ම නිර්මාණාත්මක විය යුතුයි.

ජනතාවගේ බදු මුදලින් කරන්නා වූ සියළු දෙයක් පිළිබඳවම දැනගැනීමට ජනතාවට අයිතියක් තිබෙනව.ඒ නිසා ජනමාධ්‍යවේදීන්ට වගකීමක් තිබෙනව නිවැරදි තොරතුරු ජනතාව අතරට ගෙන  යාමට.

ඒ වගේම අපි බලාපොරොත්තු වෙනව වසර දෙකකට පසු ඔබගේ පාඨමාලාව අවසන් වීමෙන් පසුව ඔබ කරන්නා වූ නිබන්ධනයේ,පර්යේෂණ කෘතියේ  පිටපතක් වෘත්තීයමය ජනමාධ්‍යවේදී කලාවක්  වෙනුවෙන් අනාගතයේ අන් අයගේ අධ්‍යයනය වෙනුවෙන් අප අමාත්‍යාංශය වෙත ලබා දෙන ලෙසද අවසන් වශයෙන් කාරුණිකව ඉල්ලා සිටිනව.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් (පාලන) රමණි ගුණවර්ධන මහත්මිය ,ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා ඇතුළු අමාත්‍යාංශයේ උසස් නිලධාරීන් රැසක්ද සහභාගී වූහ.

Media Minister Ruwan Wijewardane

secretary Sunil Samaraweera 

 YAM5190

 

 YAM5189

  YAM5196

 

crowd 

 ශ්‍රී ලාංකික භික්ෂු පරම්පරාවේ උත්කෘෂ්ට දායකත්වයෙන්, රැකගෙන ආ නිර්මල බුද්ධ වචනය අන්තර්ගත වූ ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත් කිරීමේ යෝජනාව නිමිත්තෙන් හෙට (මාර්තු 16) සිට මාර්තු 23 වන දින දක්වා වන සතිය “ත්‍රිපිටකාභිවන්දනා” සතිය ලෙස ප්‍රකාශයට පත් කර තිබේ.

ථෙරවාද ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කරන ලෙසට යුනෙස්කෝ සංවිධානය වෙත සියලු බෞද්ධ රටවල සහයෝගයෙන් ශ්‍රී ලංකාව ඉදිරිපත්කරන යෝජනාව ප්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ත්‍රෛනිකායික මහා නායක හිමිවරුන් ප්‍රමුඛ මහා සංඝරත්නයේ ප්‍රධානත්වයෙන් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වයෙන් මාර්තු 23 වනදා ඓතිහාසික දළදා මාලිගාවේ මහමළුවේ දී සිදු කෙරේ.
ථෙරවාද ත්‍රිපිටකය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත් කිරීම ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් පසුගියදා ඓතිහාසික මාතලේ අලුවිහාර පුදබිමේ දී සිදු විය. මහඟු ත්‍රිපිටක ධර්ම දායාදය ශ්‍රී ලංකාවේ ජාතික උරුමයක් බවට පත්කිරීමෙන් නොනැවති එය ලෝක උරුමයක් බවට පත් කර සංරක්ෂණය කරවීමට ජනාධිපතිතුමා ගත් පියවර සමස්ත මහා සංඝරත්නය ඇතුළු සියලු ලෝක බෞද්ධ ජතාවගේ පැසසුමට ලක්ව තිබේ.
ජනාධිපති කාර්යාලය, බුද්ධ ශාසන අමාත්‍යාංශය සහ නිවාස, ඉදිකිරීම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සෙසු අමාත්‍යාංශ සමග ඒකාබද්ධව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය පුරාවට ආගමික වැඩසටහන් රැසක් උත්කර්ෂවත් අන්දමින් සංවිධානය කර තිබෙන අතර එම සතිය තුළ රාජ්‍ය ආයතන, පෞද්ගලික ආයතන සියලුම නිවාසවල, රථ වාහන සහ මංමාවත්වල බෞද්ධ කොඩි ප්‍රදර්ශනය කරන මෙන් සියලුම ජනතාවගෙන් ඉල්ලීමක් කෙරේ.
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය තුළ ප.ව 6.00 සිට 6.15 දක්වා දීප ව්‍යාප්තව විහාරස්ථානවල ශබ්ද පූජා පැවැත් වේ. මේ අතර “ත්‍රිපිටකාභිවන්දනා” සතියට සමගාමීව සර්වඥ ධාතු ප්‍රදර්ශන ද දිවයින පුරා ස්ථාන කිහිපයක දී සංවිධාන කර ඇත.
“ත්‍රිපිටකාභිවන්දනා” සතිය ආරම්භ කෙරෙන මාර්තු 16 වනදා පොලිස් වසම් මට්ටමින් දීප ව්‍යාප්තව පිණ්ඩපාත දානමය පිංකම් හා විදේශයන්හි ශ්‍රී ලාංකික විහාරස්ථාන පදනම් කරගෙන විවිධ ආගමික වැඩසටහන් සංවිධාන කර තිබේ.
මාර්තු 17 වන ඉරිදා දහම් පාසල් ගොඩනැගිලි නොමැතිව ගස් යට දහම් අධ්‍යාපනය ලබන දූ දරුවන් වෙනුවෙන් තෝරාගනු ලැබූ විහාරස්ථාන 226 ක දහම් පාසල් ශාලා ඉදිකිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට නියමිත අතර මෙම සියලු ඉදිකිරීම් මාස 03 කින් අවසන් කර සිසු අයිතියට පවරාදීමට නියමිතය. මාර්තු 18 වන සඳුදා දීප ව්‍යාප්තව පාසල් හා පිරිවෙන් පදනම් කරගත් ආගමික වැඩසටහන් පැවැත්වෙන අතර මාර්තු 19 වන අඟහරුවාදා රාජ්‍ය නොවන අංශයේ ආයතන පදනම් කරගෙන විවිධ වැඩසටහන් සංවිධානය කර තිබේ.
මාර්තු 20වන බදදා පොහෝ දින “ජනපති සදහම් යාත්‍රා” වැඩසටහන පැවැත්වෙන අතර එදින දිවයින පුරා විහාරස්ථානවල ත්‍රිපිටක ධර්ම දායාදය පිළිබඳ ජනතාව දැනුවත් කරමින් ධර්ම දේශනා පැවැත්වීමට කටයුතු සූදානම් කර ඇත.
මාර්තු 21 වන බ්‍රහස්පතින්දා ජනාධිපති කාර්යාලය සහ සියලුම ආණ්ඩුකාර කාර්යල එක්ව දානමය වැඩසටහන් සංවිධානය කර තිබෙන අතර, මාර්තු 22 වන සිකුරාදා සියලුම රාජ්‍ය ආයතනවල දානමය පුණ්‍ය කර්ම ඇතුළු විවිධ ආගමික වැඩසටහන් සංවිධානය කර ඇත.මාර්තු 23 වන සෙනසුරාදා ඓතිහාසික දළදා මාළිගා පරිශ්‍රයේ පැවැත්වෙන ජාතික මහෝත්සවයෙන් අනතුරුව “ත්‍රිපිටකාභිවන්දනා” සතිය නිමාවට පත් කෙරේ.

 කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ ශක්තිමත් කර ගැනීමට දෙරටේ නායකයෝ එකඟ වෙති.

කෙන්යාවේ නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා සහ කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා අතර නිල හමුව අද (15) දහවල් සිදු වූ අතර එහි දී නායකයෝ මේ පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කළහ.
කෙන්යා ජනාධිපති මන්දිරය වෙත ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මහතා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබීය.
සුහද කතා බහකින් අනතුරුව රාජ්‍ය නායක දෙපළ ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක් වූහ.
අතිශය සමාන පරිසරයක් සහ අත්දැකීම් සහිත මෙන්ම වර්මානයේ එක හා සමාන අභියෝගයන්ට මුහුණ දී ඇති රටවල්වන කෙන්යාව සහ ශ්‍රී ලංකාව අතර සබඳතා ශක්තිමත් කර ගැනීමට ඉඩ ප්‍රස්ථාවන් රැසක් පවතින අතර දෙරටේම ජනතාවට පුළුල් ප්‍රතිලාභ ලැබෙන අයුරින් එම සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳ මෙහිදී නායකයන්ගේ අවධානය යොමු කෙරිණි.
විශේෂයෙන් කෘෂිකර්ම ක්ෂේත්‍රයේ කටයුතුවල දී සහයෝගයෙන් කටයුතු කිරීමට නායකයන් එකඟ වූ අතර කෙන්යාවේ පොල් වගාව ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අවශ්‍ය සහය සහ තාක්ෂණික දැනුම ලබාදෙන ලෙසට කෙන්යා ජනාධිපතිතුමා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කරන ලද ඉල්ලීමට ජනාධිපතිතුමාගේ එකඟතාවය පළ කෙරිණි.
1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ :ෂධඍ්* සාමාජික රටවල් වෙති.
රටවල් දෙක අතර මෙන්ම ජත්‍යන්තර තලයේ දී ද සහයෝගයෙන් කටයුතු කිරීමට මෙහිදී නායකයෝ එකඟ වූහ.
කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළෙඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප්‍රතිලාභය උදෙසා, භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී.
මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල නිරත වෙති. ඔවුන්ගේ පහසුකම් තවදුරටත් පුළුල් කිරීම පිළිබඳව ද මෙහි දී ජනාධිපතිතුමා කෙන්යා ජනාධිපතිතුමාගේ අවධානය යොමු කළේය.

වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහන යටතේ ජනමාධ්‍යවේදීන් සඳහා නිල වශයෙන් ශිෂ්‍යත්ව පිරිනැමීමේ උළෙල ගරු ජනමාධ්‍ය අමාත්‍ය හා ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජයවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් සුනිල් සමරවීර මහතාගේ සහභාගීත්වයෙන් 2019 මාර්තු මස 15 දින පෙරවරු 10.00 ට රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ දී පැවැත්වේ.
විසිඑක් වන සියවසේ අභියෝගයට මුහුණදෙනු වස් මාධ්‍යවේදීන්ට පුහුණු පාඨමාලා මගින් තම වෘත්තීය කුසලතා වර්ධනය කරගැනීමට ඉඩ ප්‍රස්ථා සලසාදීම හා උනන්දු කරවීම මෙම ව්‍යාපෘතියේ අරමුණකි.
දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන් , ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.
උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00) මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතිකපත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සදහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබා දේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල , උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාලව පාඨමාලා හැදෑරිය හැක.
ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් මාධ්‍යවේදීන් වෙනුවෙන් ආපසු නොගෙවන පදනම යටතේ ක්‍රියාත්මක කරනු ලබන මෙම “ඇසිදිසි”ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය යටතේ උපාධි හා පශ්චාද් උපාධි හැදෑරීම සඳහා මෙතෙක් ලබා දෙන ලද රු.100,000.00 ක මුදල මෙවර රු. 200,000.00 දක්වා වැඩිකර තිබීම විශේෂත්වයකි. මෙහිදී ජනමාධ්‍යවේදීන් 109 දෙනෙක් සඳහා ශිෂ්‍යත්ව ලබාදීමට නියමිතය.

 කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරය සඳහා සහභාගිවීමට දිවයිනෙන් පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (13) රාත්‍රියේ නයිරෝබි හි ජොමො කෙන්යාටා ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළගා විය.

එහිදී එරට විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස හරසරින් පිළිගන්නා ලදී.
කෙන්යා විදේශ කටයුතු ප්‍රධාන පරිපාලන ලේකම් Ababu Namwamba ජලසම්පාදන හා සනීපාරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍ය මෙන්ම කැබිනට් ලේකම් Simon Kiprono Chelugui යන මහත්වරුන් සහ කෙන්යාවේ ශ්‍රී ලංකා මහකොමසාරිස් සුනිල් ද සිල්වා මහතා ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.
මේ අතර ජනාධිපතිතුමා නවාතැන් ගන්නා හෝටලයේ දී ද එරට ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිලධාරින් විසින් ජනාධිපතිතුමාව සාම්ප්‍රදායානුකූලව පිළිගනු ලැබීය.
කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසිවාරයේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස එක් වෙයි.
ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙන්ම පරිසරය සුරැකීම වෙනුවෙන් වැදගත් තීන්දු තීරණ රැසක් ගත් නායකයෙකු ලෙස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සහභාගිත්වය සමුළුව තුළ සුවිශේෂි බව කෙන්යාවේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් සුනිල් ද සිල්වා මහතා පෙන්වා දෙයි.
“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන්න මෙවර සමුළුවේ තේමාව වන අතර ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද දහවල් සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිතය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට එක් වෙයි.

 

කෙන්යාවේ නයිරෝබි නුවර පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ පරිසර සමුළුවේ විශේෂ ආරාධිතයකු ලෙස සහභාගිවීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (13) පෙරවරුවේ දිවයිනෙන් පිටත්ව ගියේය.

කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමාගේ විශේෂ ආරාධනයකට අනුව ජනාධිපතිතුමා මෙම සමුළුවට එක් වෙයි.
“පරිසර අභියෝග සහ තිරසර පරිභෝජනය හා නිෂ්පාදනය සඳහා නවෝත්පාදක විසඳුම්” යන තේමාව යටතේ මාර්තු 11 වන දා ආරම්භ කෙරුණු එක්සත් ජාතින්ගේ පරිසර සමුළුවේ හතරවන සැසි වාරය මාර්තු 15 වනදා දක්වා නයිරෝබි නුවර දී පැවැත් වේ.
එහි ඉහළ මට්ටමේ ප්‍රධාන රැස්වීම හෙට ආරම්භ කෙරෙන අතර, හෙට දහවල් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සමුළුව අමතා සිය විශේෂ දේශනය ඉදිරිපත් කිරීමට නියමිත ය.
ප්‍රංශ ජනාධිපති එමැනුවෙල් මැක්රොන් මැතිතුමා ඇතුළු රාජ්‍ය තාන්ත්‍රිකයෝ කිහිප දෙනෙකු ද සමුළුවට සහභාගීවීමට නියමිතය.
තිරසර ආහාර පද්ධති, ආහාර සුරක්ෂිතතාවය සහ ජෛව විවිධත්ව විනාශය වැළැක්වීම ඇතුළු දිළිදුභාවයට සහ ස්වභාවික සම්පත් කළමනාකරණයට අදාළ පරිසර අභියෝග, සම්පත්වල කාර්යක්ෂමතාව, බල ශක්තිය, රසායනික ද්‍රව්‍ය හා අපද්‍රව්‍ය කළමනාකරණය වෙනුවෙන් ජීවන චක්‍ර ප්‍රවේශයන් සහ සීග්‍ර තාක්ෂණික වෙනස්වීම්වලට භාජනය වන අවධියක නවෝත්පාදක තිරසර ව්‍යාපාර සංවර්ධනය පිළිබඳව මෙවර සමුළුවේ දී අවධානය යොමු කෙරේ.
සිය සිවු දින කෙන්යා නිල සංචාරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කෙන්යා ජනාධිපති උහුරු කෙන්යාටා මැතිතුමා ද හමුවීමට නියමිත ය.
1970 වසරේ දී නිල රාජ්‍ය තාන්ත්‍රික සබඳතා පිහිටුවාගත් ශ්‍රී ලංකාව සහ කෙන්යාව අතර පවතින්නේ මිත්‍රශිලි සබඳතාවයකි. දෙරට ම පොදුරාජ්‍ය මණ්ඩලයේ හා ඉන්දියානු සාගර වටද්දර රටවල සංගමයේ (IORA) සාමාජික රටවල් වෙයි.
කෙන්යාව ශ්‍රී ලංකාවෙහි විශේෂිත වෙළඳ සහකරුවෙකු නොවන නමුත් අන්‍යෙන්‍ය ප්‍රතිලාභය උදෙසා, භාවිතා නොකළ ආර්ථික විභවයන් ගවේෂණය කිරීම පිළිබඳව දෙරටම උනන්දුවක් දක්වමින් සිටී.
මේ වන විට ශ්‍රී ලාංකිකයෝ කෙන්යාවේ ප්‍රධාන වශයෙන්, ඇඟලුම්, උද්‍යාන විද්‍යාව, ජල විදුලිය හා මෝටර් රථ පිළිබඳ ක්ෂේත්‍රවල පුහුණු රැකියාවල යෙදෙති.

 අයවැය 2019 විවාදයේ තුන්වැනි වර කියවීමේ විවාදය ( කාරකසභා අවස්ථාව )අද (13) සිට පාර්ලිමේන්තුවේ දී ආරම්භ වෙයි.

කාරක සභා අවස්ථාවේ විවාදය දින 19ක් පුරා පැවැත්වෙයි. අයවැය දෙවැනිවර කියවීමේ විවාදය ඊයේ (12) දිනෙන් අවසන් වූ අතර දෙවැනිවර කියවීමේ විවාදය වැඩි ඡන්දයෙන් සම්මත විය.
අතිගරු ජනාධිපති,අග්‍රාමත්‍ය කාර්යාලය,උපරිමාධිකරණවල විනිශ්චයකාරවරු,අමාත්‍ය මණ්ඩල කාර්යාලය,පරිපාලන අභියාචනා විනිශ්චය අධිකාරිය,,පාර්ලිමේන්තුව,පාර්ලිමේන්තුවේ සභා නායකතුමාගේ කාර්යාලය,පාර්ලිමේන්තුවේ ආණ්ඩුපක්ෂයේ ප්‍රධාන සංවිධායකතුමාගේ කාර්යාලය.පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමාගේ කාර්යාලය,පරිපාලන කටයුතු පිළිබඳ කොමසාරිස් කාර්යාලය සහ රාජ්‍ය සේවා,අධිකරණ සේවා,ජාතික පොලිස් කොමිෂම,අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව,ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂම,මැතිවරණ කොමිෂන් සභාව,ජාතික විගණන කාර්යාලය,විගණන සේවා කොමිෂන් සභාව,ජාතික ප්‍රසම්පාදන කොමිෂන් සභාව,සීමා නීර්ණ කොමිෂන් සභාව යන වැය ශීර්ෂ විවාදයට ගැනීමට නියමිතය.

 ජාතික උරුමයක් ලෙස පසුගිය දා නම් කරනු ලැබූ ත්‍රිපිටකය ලෝක උරුමයක් ලෙස ද ප්‍රකාශයට පත් කරන ලෙස ඉල්ලා යුනෙස්කෝ සංවිධානය වෙත යෝජනාවක් බාර දීම මාර්තු මස 23 දින ප.ව. 2.00ට ශ්‍රී දළඳා මාළිඟා මහ මළුවේ දී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන උත්සවයක දී සිදු කෙරේ.

රජය විසින් මේ නිමිත්තෙන් මාර්තු 16 සිට 23 දක්වා කාලය තුළ ත්‍රිපිටකාභිනන්දන සතිය නමින් දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට කටයුතු සකසා ඇතැයි ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඊයේ (12) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති මාධ්‍ය හමුවේ දී පැවසීය.
මෙම සතිය තුළ පළාත් සහ දිස්ත්‍රික්ක මට්ටමින් විවිධ බෞද්ධ වැඩසටහන් සහ උත්සව පැවැත්වීමට පියවර ගෙන ඇත. මාර්තු 23 වැනි දින ත්‍රෛනිකායික මහ නාහිමිවරුන්ගේ ප්‍රධානත්වයෙන් හා ස්වාමින් වහන්සේලාගේ සහභාගීත්වයෙන් සහ ලෝකයේ අනෙකුත් බෞද්ධ රටවල නියෝජිතයන් ද සහිතව ත්‍රිපිටකය ලෝක උරුමයක් කරන ලෙස සිදු කරනු ලබන ඉල්ලීම ඇතුළත් යෝජනාව යුනෙස්කෝ සංවිධානයේ ප්‍රධානියා වෙත බාරදීමට නියමිතය.
ත්‍රිපිටකාභිනන්දන සතිය තුළ නිවාස,පෞද්ගලික හා රජයේ ගොඩනැගිලි සේවා ස්ථානවල බෞද්ධ ධජවලින් සරසන ලෙස රජය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. මෙයට අමතරව පාසල් දහම් පාසල්, බෞද්ධ සමිති සමාගම් සම්බන්ධ කරගෙන දානමය පිංකම් රැසක් ද සංවිධානය කෙරෙන බව ජනාධිපති ලේකම්වරයා පැවසී ය.
අභ්‍යන්තර ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පාළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් කමල් පද්මසිරි මහතා, බුද්ධ ශාසන අමාත්‍යාංශයේ ලේකම් ඒ.පී.ජී.කිත්සිරි මහතා, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව මහතා අතුළු නිලධාරිහු පිරිසක් මාධ්‍ය හමුවට එක්ව සිටියහ

 

අයවැය 2019 දෙවැනිවර කියවීම අද (12) පාර්ලිමේන්තුවේ දී වැඩි ඡන්දයෙන් සම්මත විය.

අයවැය 2019 දෙවැනිවර කියවීමේ විවාදයේ ඡන්ද විමසීම අද (12) පාර්ලිමේන්තුවේ දී සිදුවිය. අයවැය දෙවැනිවර කියවීමට පක්ෂව ඡන්ද119 ලැබුණු අතර විපක්ෂව ඡන්ද 76 ලැබුණි.
මාර්තු 05 වැනි දින අයවැය යෝජනා ඇතුළත් අයවැය කතව මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.ඉන් අනතුරුව මාර්තු 06 දින සිට දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ විය.ඒ අනුව දෙවැනිවර විවාදයේ අවසන් දිනය අද පැවැත්විණි.මාර්තු 13 දින වන හෙට දින සිට තුන්වනවර කියවීමේ විවාදය ආරම්භ වෙයි.තුන්වැනිවර කියවීමේ විවාදය දින 19ක් පැවැත්වෙයි

 

මාතර දිස්ත්‍රික් බාලදක්ෂ සංගමයට සියවසක් සපිරීම නිමිත්තෙන් පැවැත්වෙන සියවස් සමරු ජම්බෝරියේ නිල ලාංඡනය එළි දැක්වීම සහ එහි පළමු ලාංඡනය ශ්‍රී ලංකාවේ ප්‍රධාන බාලදක්ෂ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවිම අද (12) පෙරවරුවේ ජනාධිපති නිල නිවසේ දී සිදු විය.
මාතර දිසා බාලදක්ෂ සංගමයේ උපදේශක, නියෝජ්‍ය අමාත්‍ය බුද්ධික පතිරණ මහතා විසින් ලාංඡනය ජනාධිපතිතුමා වෙත පැළඳවීය.
සියවස් සමරු ජම්බෝරිය 2019-05-01 වන දින සිට 2019-05-05 වන දින දක්වා පැවැත්වෙන අතර ඒ නිමිත්තෙන් එළිදැක්වුණු වෙබ් අඩවිය ද මෙහි දී ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.
මාතර දිසා බාලදක්ෂ කොමසාරිස් වී.ජී. ඉන්දික ප්‍රසන්න, සහකාර දිසා බාලදක්ෂ කොමසාරිස් සංජය කුමාර, සියවස් සමරු ජම්බෝරියේ නියෝජ්‍ය සභාපති පද්මකුමාර ඩයස් සමරවීර, ලේකම් තිරුන්ද තුෂාක ලියනගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු සාමාජිකයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter