නවතම පුවත්

ජනමාධ්‍ය ඇමැති රුවන් විජයවර්ධන මහතා පසුගිය 8 වැනිදා ලේක්හවුස් ආයතනයේ නිල චාරිකාවකට එක්විය. ලේක්හවුස් ජාතික සේවක සංගම් නියෝජිතයන් විසින් ඇමැතිවරයා පිළිගැනීමෙන් අනතුරුව දිවංගත ඩී. ආර්. විජයවර්ධන ශ්‍රීමතාණන්ගේ පිළිරුව වෙත මල්දමක් පළඳවා සිය ගරු බුහුමන් පිරිනැමීය.

35

minister lakehouse visit

ආයතන සභාපති කළමනාකාර අධ්‍යක්ෂ ක්‍රිෂාන්ත ප්‍රසාද් කුරේ මහතා ප්‍රධාන අධ්‍යක්ෂ මණ්ඩලය, පරිපාලන විධායක නිලධාරීන්, පුවත්පත් කතුවරුන් සමඟ ඇමැති රුවන් විජයවර්ධන මහතා ඉහළ රැස්වීම් ශාලාවේදී සාකච්ඡා මේසයකට එක්වූ අතර අනතුරුව ආයතනයේ සියලුම වෘත්තීය සමිති නියෝජිතයන් හමුවද සිදු කෙරිණි.
ඉන් පසු පුවත්පත් මුද්‍රණ අංශය ප්‍රමුඛ ආයතන පරිශ්‍රයේ නිරීක්ෂණ චාරිකාවකට ඇමැතිවරයා ප්‍රධාන නිල මඬුල්ල එක්වෙමින් ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලිය අධ්‍යයනයක නියැළුණහ.
අමාත්‍යාංශ ලේකම් සුනිල් සමරවීර මහතා ප්‍රමුඛ මාධ්‍ය නිලධාරී මණ්ඩලය ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

z

 

 

 මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩසටහනට මෙම අප්‍රේල් 03 වන දායින් පසු පොලීසිය සමඟ ත්‍රිවිධ හමුදාව වඩා ශක්තිමත් ලෙස දායක කර ගන්නා බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ 08 දින පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආණ්ඩුකාරවරුන් සමඟ පැවති හමුවක දී ය. මත්ද්‍රව්‍යවලින් තරුණ පරපුර රැක ගැනීම වෙනුවෙන් ඉදිරියේ දී ක්‍රියාවට නැංවෙන “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද මෙහි දී සාකච්ඡාවට බඳුන් විය.
අප්‍රේල් 03 වනදා සිට අධ්‍යාපන, සෞඛ්‍ය, රාජ්‍ය පරිපාලන, ක්‍රීඩා ඇතුළු රජයේ ප්‍රධාන අමාත්‍යාංශවල සහ ආයතනවල සහය ද මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළට වඩා සක්‍රීයව ලබාගැනීමට කටයුතු කරන බව ජනාධිපතිතුමා මෙහිදී සඳහන් කළේය.
මත්ද්‍රව්‍ය නිවාරණ වැඩපිළිවෙළේ සුවිශේෂී වැඩසටහනක් ලෙස මත්ද්‍රව්‍යවලට එරෙහි ව රටම එක් ව ප්‍රතිඥා දෙන අවස්ථාව අප්‍රේල් 03 වන දා උදෑසන 8.00 ට එළැඹෙයි. සියලු පාසල් දරුවන් පාසල් වලදීත්, රාජ්‍ය සේවකයන් තම සේවා ස්ථානවලදීත් දිවුරුම් දෙන එම අවස්ථාව වෙනුවෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේ පැවැත්වෙන කෙටි උත්සවයට එක්වන ලෙස තමා පක්ෂ භේදයෙන් තොරව අග්‍රාමාත්‍යවරයා, විපක්ෂනායකවරයා ප්‍රමුඛ සියලු මැති ඇමතිවරුන්ට ආරාධනා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
එමෙන් ම තරුණ තරුණියන් මත්ද්‍රව්‍ය මර්දන වැඩසටහනට දායක කර ගැනීම සඳහා දීප ව්‍යාප්තව ආරම්භ කිරීමට නියමිත “සුජාත දරුවෝ” වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී ආණ්ඩුකාරවරු දැනුවත් කළේය.
මේ වන විට පුළුල් ලෙස ක්‍රියාවට නංවා ඇති මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන පිළිබඳව අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ පාතාලයට මේ රටේ වෙනම ආණ්ඩු කිරීමට ඉඩ දිය නොහැකි බවයි. මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාතාලය මර්දනය වෙනුවෙන් ක්‍රියාත්මක වැඩසටහන් සඳහා දේශපාලන පක්ෂ බේදයෙන් තොරව සියලුදෙනා අත්වැල් බැඳගැනීමේ අවශ්‍යතාවය ජනාධිපතිතුමා අවධාරණය කළේය.
රටේ විවිධ ප්‍රදේශවලින් වාර්තාවන කප්පම් ලබා ගැනීමේ සිදුවීම් පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ පිළිබඳ තම උපදෙස් පරිදි පොලිසිය මේ වන විට අවශ්‍යය පියවර ක්‍රියාවට නංවා ඇති බවයි.
අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ද, පළාත් ආණ්ඩුකාරවරුන් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් සහ පළාත් ප්‍රධාන ලේකම්වරුන් ඇතුළු රාජ්‍ය නිලධාරින් ද, ත්‍රිවිධ හමුදාපතිවරුන්, පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

 ලෝකය සමඟ ඉදිරියට යාමට අවශ්‍ය නවීන අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ඇති කිරීමේ වගකීම තම රජය බාරගත් බවත් මේ වන විට පුහුණු ගුරුවරු, ගොඩනැගිලි පහසුකම්, සෞඛ්‍ය ආරක්ෂාව, නව තාක්ෂණය, දහතුන් වසරක අධ්‍යාපනය අනිවාර්ය කිරීම වැනි ප්‍රධාන අංගයන් ලබා දෙමින් අනාගත අධ්‍යාපනයේ රාමුව ගොඩ නගා තිබෙන බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

වත්මන් රජය පසුගිය වසර 04 තුළ අධ්‍යාපනය වෙනුවෙන් විශාල වැඩකොටසක් සිදු කළ බවත්, ඒ අනුව අධ්‍යාපනය නවීකරණය කිරීමට හැකිවීම ගැන තමන් සතුටු වන බවද අග්‍රාමාත්‍යවරයා පැවසිය
2019 මාර්තු මස 08 වන දින අරලියගහ මන්දිරයේ පැවති විද්‍යාපීඨ ශික්ෂණලාභීන් සඳහා ඩිප්ලෝමා ප්‍රදානෝත්සවයට සහභාගිවෙමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මේ බව පැවසී ය

 එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා රජයේ පොලී සහන ණය යෝජනා ක්‍රමයෙන් ණය මුදල් ලබාගැනීමේදී පැන නඟින ගැටලු විසඳාලීමට මැතිවරණ කොට්ඨාස මට්ටමින් ජංගම සේවා වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට රජය තීරණය කොට ඇත.

එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමයෙන් බැංකු ණය ලබාගැනීමේදී ජනතාවට විවිධ බාධක හා ගැටලුවලට මුහුණදීමට සිදුවී ඇතැයි නැ‍ඟෙන හඬට විසඳුමක් ලෙස මේ ජංගම‍ සේවා වැඩපිළිවෙළ ආරම්භ කිරීමට තීරණය කළ බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කළේය.
බැංකු ණය ලබාගැනීමට අපේක්ෂා කරන ගනුදෙනුකරුවෝ මුහුණදෙන ප්‍රශ්න අතුරින් ඇපකරුවන් ඉදිරිපත් කිරීම, වෙළෙඳපොළ මගින් ලබාදීම, විවිධ බලපත්‍ර හා නීතිමය අවශ්‍යතා සපුරාලීම ප්‍රධාන වේ. මේ පුංචි පුංචි ප්‍රශ්න නිසා බැංකු ණය ලබාගැනීම ප්‍රමාද වී තිබේ. මේ ප්‍රමාදයන් අවම කොට කඩිනමින් ණය මුදල් ජනතාව වෙත මුදාහැර ව්‍යාපාර දියුණු කිරීම රජයේ දැක්ම බව මුදල් ඇමැතිවරයා කීය.
ඒ අනුව මැතිවරණ කොට්ඨාස මට්ටමින් පවත්වන ජංගම සේවා වැඩපිළිවෙළ මාතර දිස්ත්‍රික්කයේ වැලිගම මැතිවරණ කොට්ඨාසයේ මේ මස 16 හා 17 දින දෙකේදී සිදුකරනු ලැබේ.
මේ ජංගම සේවා වැඩපිළිවෙළ මැතිවරණ කොට්ඨාස සෑම එකකම පවත්වා කඩිනමින් ජනතා ගැටලු විසඳාලීමට සියලු බැංකු ආයතන, රජයේ ආයතන කැමැත්ත පළ කොට තිබේ.
මීට අමතරව එන්ටර්ප්‍රයිස් ශ්‍රී ලංකා ණය යෝජනා ක්‍රමය පිළිබඳව යම් ගැටලුවක් ඇතිනම් දුරකථන අංක 1925 අමතා දැනුම් දිය හැකිය.

සැප සම්පත් විදින ධනේෂ්වර පංතිය මෙන්ම සුඛෝපභෝගී වාහන භාවිත කරන දේශපාලනඥයන් සහ රජයේ ඉහළ නිලධාරින් එම සුව පහසුව අත්විඳින්නේ විදේශීය ගෘහ සේවයේ නිරත කාන්තාවන් රටට උපයා දෙන මුදලින් බව ජනාධිපතිතුමා පවසයි.

රටට විදේශ විනිමය උපයා දෙන ප්‍රධාන මාර්ගය විදේශීය ගෘහ සේවය වුවත්, එහි නිරතවන මවුවරුන්, සොහොයුරියන් සහ දියණියන් බොහෝ දෙනාගේ ජීවිත කතා ශෝකාන්තයන් බව සඳහන් කළ ජනාධිපතිතුමා විදේශීය ගෘහ සේවයට ශ්‍රී ලාංකික කාන්තාවන් යැවීම පිළිබඳව තමා පෞද්ගලික ව විරුද්ධ බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ අදට යෙදී ඇති ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ පැවති ජාත්‍යන්තර කාන්තා දින සැමරුම් උත්සවය අමතමිනි.

“සුහුරු කතක් – සොඳුරු ලොවක්” තේමාව යටතේ පැවති මෙම සැමරුම් උත්සවයට කාන්තාවන් 8000කට වැඩි පිරිසක් එක්ව සිටියහ.

1908 වසරේ ඇමරිකාවේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක සේවිකාවන් පිරිසක් සිය වෘත්තීය අයිතිවාසිකම් ඉල්ලා ආරම්භ කළ අරගලයෙන් ඇරඹි කාන්තා අයිතිවාසිකම් ව්‍යාපාරයේ බලපෑමෙන් 1911 වසරේ මාර්තු 08 වැනිදා ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරිණි.

කාන්තා අයිතීන් සුරැකීම සහ කාන්තා අභිවෘද්ධිය වෙනුවෙන් ශ්‍රී ලංකාවේ ද එය සැම වසරකම උත්කර්ෂවත්ව සැමරෙන අතර කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශය විසින් මෙවර ද ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක් සංවිධාන කර තිබේ.

2019 ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් සම්පාදනය කළ ප්‍රකාශනය ද මෙහි දී ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

ජාතික වශයෙන් විශිෂ්ට මෙහෙවරක් ඉටු කළ කාන්තාවන් ජනාධිපතිතුමා අතින් ඇගැයීමට ලක් වූ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයේ තෝරාගත් ව්‍යවසායක කාන්තාවන් කිහිප දෙනෙකුට ඇගැයීම් සම්මාන හා සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර, ඇමතිනි තලතා අතුකෝරළ, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් දර්ශනී සේනානායක යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජනමාධ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරයා ලෙස පත් වූ සුනිල් සමරවීර මහතා අද (08) පෙරවරුවේ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී රාජකාරි ආරම්භ කළේ ය.

මෙම අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ අතිරේක ලේකම්(පාලන) රමණි ගුණවර්ධන මහත්මිය හා රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා ඇතුළු අමාත්‍යාංශය යටතේ පවතින ආයතනවල ප්‍රධානීන් සහ අමාත්‍යංශයේ උසස් නිලධාරීන් සහභාගී වුහ.

sec

sec1

2019.03.07

ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන ජාතික ක්‍රියාකාරී සැලැස්ම 2019-2023 එළි දැක්වීම පිළිබඳ මාධ්‍ය නිවේදනයයි.

රටක අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා දර්ශනයක් තිබිය යුතුය. ඒ දර්ශනය සැලැස්මක ආකාරයෙන් සමස්ත මහජනතාවට ප්‍රදර්ශනය කළ යුතුය. අල්ලස දූෂණය තුරන් කරන්නට සමස්ත මහජනතාවගේ සහයෝගය ලැබෙන්නේ එවිටය. මෙම කාරණය 2015 බලයට පැමිණි රජය තේරුම් ගත්තේ 2017 ඔක්තෝබර් මසදී ය. ඒ අනුව ශ්‍රී ලංකාවෙන් අල්ලස දූෂණය තුරන් කිරීම සඳහා ජාතික සැලැස්මක් නිර්මාණය කරන ලෙස අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට දැනුම් දෙන ලදී.

අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව, ජනාධිපති ලේකම් කාර්යාලය හා රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය ඇතුළු සියලු ආයතන ඒකරාශී කර ගනිමින් මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම සකස් කිරීමට සියලු පාර්ශවයන් ආවරණය වන පරිදි මහජන අදහස් ලබා ගැනීමට කටයුතු කරන ලදී. එ් අනුව දිවයින පුරා විද්වත් කතිකා 50 කට ආසන්න ප්‍රමාණයක් පවත්වා ඇති අතර ඉන් අවස්ථා 04 ක් ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ දී පවත්වා ඇත. එ් අනුව මහජන න‍ියෝජිතයන් හට තම අදහස් පළ කිරීමට අවස්ථාව ලබා දී ඇත. තවද රාජ්‍ය නිලධාරීන්, වෘත්තිකයන්, සිවිල් සංවිධාන, කලාකරුවන්, මාධ්‍ය ආදී සෑම ක්ෂේත්‍රයකින්ම අදහස් ලබා ගන්නා ලදී. එසේ ලබා ගන්නා ලද අදහස් සහ යෝජනා අඩංගු කරමින් අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා වන ක්‍රියාකාරී සැලැස්මක් සකස් කරන ලදී. එය 2019 පෙබරවාරි 05 වන දින කැබිනට් මණ්ඩලය විසින් අනුමත කර ඇත.

එසේ අනුමත කරන ලද ජාතික ක්‍රියාකාරී සැලැස්ම උත්සවාකාරයෙන් දියත් කිරීම 2019 මාර්තු මස 18 වන දින කොළඹ දී සිදු කරනු ලබයි. ඒ සඳහා ගරු ජනාධිපතිතුමා ප්‍රමුඛ සියලු මැති ඇමතිවරු සහභාගී වීමට නියමිතය. මෙම උත්සවය සඳහා දිවයිනේ සෑම ප්‍රදේශ‍යකින්ම සියලු ක්ෂේත්‍රයක්ම නියෝජනය වන පරිදි අමුත්තන් 1250 කට පමණ ආරාධනය කිරීමට බලාපොරොත්තු වේ.

‍ශ්‍රී ලංකාව තුළින් අල්ලස හා දූෂණය වැළැක්වීම සඳහා වන මෙම ජාතික ක්‍රියාකාරී සැලැස්ම අප රටින් අල්ලස හා දූෂණය තුරන් කිරීමේ ප්‍රධාන උපාය මාර්ග 04 ක් හඳුනා ගෙන ඇත. එම උපායමාර්ග 04 නම් නිවාරණය, යහපත් ආකල්ප වර්ධනය කිරීම, විමර්ශනය හා පැහැදිලි ශක්තිමත් කිරීම සදහා වන නීති හා නව නීති සහ ප්‍රතිපත්ති හඳුන්වා දීම ය.

තවද අල්ලස දූෂණය තුරන් කිරීමේ ලා ඉතාමත්ම තීරණාත්මක සාධකයක් වන කරුණු සම්බන්ධයෙන් ද සකස් කරන ලද ග්‍රන්ථ 04 ක් ජාතික ක්‍රියාකාරී සැලැස්ම සමඟ නිකුත් කිරීමට බලාපෙ‍ාරොත්තු වේ. මෙම ග්‍රන්ථ 04 නම්,

  1. ත්‍යාග රීති අඩංගු යෝජනා කෙටුම්පත
  2. බැඳියාවන් අතර ඝට්ටනයට අදාළ රීති අඩංගු කොට සාදන ලද යෝජනා කෙටුම්පත
  • iii. රාජ්‍ය නිලධාරීන් සඳහා සුපිළිපන්නබවේ අත්පොත
  1. අල්ලස් වත්කම්, බැරකම්, කොමිෂන් සභා මැතිවරණ ප්‍රචාරණ සහ හඬ නඟන්නන්ට අදාළ නීති කෙටුම්පත් යෝජනා

ඒ අනුව ජාතික වැඩපිළිවෙල සහ ඉහත ග්‍රන්ථ 4 දියත් කිරීමට සැලසුම් සකස් කොට ඇත. ජාතික ක්‍රියාකාරී සැලැස්ම සහ මෙම ග්‍රන්ථ 4 ද්‍රවිඩ හා ඉංග්‍රීසි භාෂාවෙන් ද පරිවර්තන කටයුතු කර ඇත. ඒ අනුව ග්‍රන්ථ 15 ක් එළිදැක්වීම සඳහා සූදානමින් සිටී.

මෙම ලියවිලිවල සැබෑ උරුමකරුවන් වන්නේ සබුද්ධික කතිකාවට පුරා වසරක් මුළුල්ලේ දායකත්වය දැක්වූ සමාජයේ හරස්කඩක් නියෝජනය කළ ජනතාවය. අපගේ අරමුණ වන්නේ සැබෑ හරයන්ගෙන් පෝසත් දරු පරම්පරාවක් නිර්මාණය කිරීමත් සුපිළිපන්න බවෙන් ඉහළ රාජ්‍ය හා පෞද්ගලික සේවයක් බිහි කිරීමත් යුක්තිය හා නීතිය සර්ව සාධාරණව සැමට එක සේ බෙදන කාර්යක්ෂම යුක්තිය පසිඳලීමේ ක්‍රමවේදයක් ඇති කිරීමය.

ඉදිරි වසර 5 ක කාලය තුළ අපගේ ඉලක්කය මේ රටේ අල්ලස හා දූෂණය තුරන් කිරීම සඳහා සාමූහික හැඟීමෙන් යුතුව එකිනෙකාට පැවරී ඇති වගකීම හා කාර්ය භාරය ඉටු කිරීමයි.

 දිවයිනට පැමිණ සිටින නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් (Marianne Hagen - State Secretary of Foreign Affairs) මහත්මිය ඊයේ (06) යාපනයේ සංචාරයක නිරත වීය.

එහිදී ඇය බිම් බෝම්බ ඉවත් කිරීමේ කාර්යය පිළිබඳව නිරීක්ෂණය කිරීමට සුදානම් බව ශ්‍රී ලංකාවේ නෝර්වේ තනාපති කාර්යාලය පැවසීය.
මෙරට බිම් බෝම්බ ඉවත් කිරීමේ වැඩපිළිවෙළ සඳහා නෝර්වේ රාජ්‍ය විසින් අමෙරිකානු ඩොලර් මිලියන 7ක මූල්‍ය ප්‍රතිපාදන ලබා දීමට ද ය එකඟ වී තිබේ.
මේ අතර නොර්වේ රාජ්‍යයේ නියෝජ්‍ය විදේශ අමාත්‍ය මේරිඈන් හාගන් මහත්මිය ඇතුළු දූත පිරිස ඊයේ(05) අරලියගහ මන්දිරයේ දී ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවී සාකච්ඡා පැවැත්වීය.
එම අවස්ථාවට අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතා ද එක්ව සිටියේය

* මතට එරෙහිව රටම දිවුරුම් දෙන ‘බක්මහ දිවුරුම’ අප්‍රේල් 03 වනදා 

* ඒ නිමිත්තෙන් පැවැත්වෙන කෙටි උත්සවයට පාර්ලිමේන්තුව නියෝජනය කරන පක්ෂ නායකයන් ඇතුළු 225 ට ම ජනපතිගෙන් ආරාධනා
* මෙතෙක් අත්අඩංගුවට ගත් මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රේල් 01 වනදා කටුනායක දී
* මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට භාවිතා කරන අතිනවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට කඩිනමින්
* ජනපති මාධ්‍ය ආයතන ප්‍රධානීන්ට කියයි.


මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ශක්තිමත් කිරීම මෙන්ම රටේ දරුවන්ගේ හෙට දවස වෙනුවෙන් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීමට සියලු පුරවැසියන් සිය හෘද සාක්ෂිය අනුවම කැපවිය යුතු බව ජනාධිපතිතුමා පවසයි.
ඒ පිළිබඳ සිහිපත් කරමින් මත්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකෙන බවට රටම එක්ව සිදුකරන දිවුරුම් දීමක් අප්‍රේල් 03 වනදා පෙ.ව 8.00 ට ‘බක්මහ දිවුරුම’ නමින් සංවිධානය කර තිබේ. උදෑසන රැස්වීමේ දී සියලු පාසල් දරුවන් ඊට එක් කරගන්නා අතර, විශ්වවිද්‍යාල සිසුන්, ව්‍යවස්ථාපිත ආයතන, සංස්ථා ඇතුළු සියලු රාජ්‍ය නිලධාරින්, පෞද්ගලික අංශය ඇතුළු සියලුදෙනාට ඒ සඳහා විවෘත ආරාධනයක් සිදු කරන බව පැවසූ ජනාධිපතිතුමා අප්‍රේල් 03 වනදා උදෑසන 8.00 ට කොළඹ නිදහස් චතුරස්‍රයට පැමිණ එම දිවුරුමී දීමට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු මැති ඇමතිවරුන්ට සහ පක්ෂ නායකයන්ට ආරාධනා කළේ ය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) ජනාධිපති මන්දිරයේ දී මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමු වූ අවස්ථාවේ දී ය.
මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප්‍රකාශ කළේ මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය වෙනුවෙන් මේ වන විට ගෙන යන වැඩසටහන්වල සාර්ථක ප්‍රතිඵල ලැබී ඇති බවයි.
කිසිදු බලපෑමකින් තොරව එම කටයුතු කරගෙන යෑමට නිලධාරින්ට අවස්ථාව සැලසී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මත්ද්‍රව්‍යවලට එරෙහි නීතිරීති ක්‍රියාත්මක කිරීමට ඔවුන්ට කිසිඳු බලපෑමක් අද සිදු නොවන බව ද සඳහන් කළේය.
මේ අතර මෙතෙක් අත්අඩංගුවට ගත් සියලු නීතිවිරෝධි මත්ද්‍රව්‍ය විනාශ කිරීම අප්‍රෙල් 01 වනදා විනිසුරුවරුන් සහ පොලිස් නිලධාරින් ඉදිරියේ දී කටුනායක දී සිදු කෙරෙන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
මේ අතර ජනාධිපතිතුමා මෙහි දී වැඩිදුරටත් සඳහන් කළේ නීති විරෝධි මත්ද්‍රව්‍ය හඳුනාගැනීම පිළිබඳ භාවිත කරන නවීන තාක්ෂණික උපකරණ ශ්‍රී ලංකාවට ලබාගැනීම සඳහා මේ වන විට මිල ගණන් කැඳවා තිබෙන බවත්, තවත් මාස කිහිපයකින් එම උපකරණ මෙරටට ලබා ගැනීමට හැකි වනු ඇති බවත්ය.
මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීන්දුව ක්‍රියාත්මක කිරීම පිළිබඳ නැඟු ප්‍රශ්නයකට පිළිතුර දුන් ජනාධිපතිතුමා සඳහන් කළේ අනිවාර්යයෙන් ම එම තීන්දුව ඉදිරියේ දී ක්‍රියාත්මක කරන බවයි.
ඊට විරෝධතා දක්වන කිසිවෙකු මත්ද්‍රව්‍ය උවදුරෙන් රටට සිදුවන විනාශය වළක්වා ගැනීමට සහය ලබා නොදෙන බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා කවුරුන් විරුද්ධ වුව ද රටේත්, ජනතාවගේත් අනාගතය වෙනුවෙන් එම වගකීම ඉටුකරන බව අවධාරණය කළේය.

 මෙවර අයවැය සමබර ලෙස ඉදිරිපත් කර තිබෙන බවත් අයවැයෙන් ඉදිරි පියවරක් තබා තිබෙන බවත් ජනමාධ්‍ය කැබිනට් නොවන අමාත්‍ය සහ ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පවසයි.

පාර්ලිමේන්තුවේ දී ඊයේ (5) ඉදිරිපත් කළ අයවැය කතාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අඳහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ ය.
මෙවර අයවැය සමබර ලෙස ඉදිරිපත් කර තිබෙනවා. සමහරු කිව්වා මෙම අයවැය ඡන්දයක් ඉලක්ක කර ඉදිරිපත් කර තිබෙන බව.අපට යුතුකමක් තිබෙනවා,වගකිව යුතු රජයක් ලෙස , පසුගිය ආණ්ඩුව ගත්ත ණය බේරන්න සිදුවී තිබෙන්නේ අපටයි. මේ අයවැයෙන් ජනතාවට සහන ලබාදීමට කටයුතු කර තිබෙනවා. විශේෂයෙන් ම රණ විරුවන් ගැන බලලා,අවශ්‍ය සහන ලබාදී තිබෙනවා.මේ අයවැයෙන් වෙනසක් රට තුළ කරන්න පුළුවන්.ණයෙන් රට මුදවා ගෙන රට සංවර්ධනය කර අවශ්‍ය සහන ජනතාවට ලබාදීම එකම ඉලක්කයයි. අයවැයෙන් ඉදිරි පියවරක් තබා තිබෙනවා යැයි ද අමාත්‍යවරයා පැවසී ය.

 

 එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයෙන් ශ‍්‍රී ලංකා මාතෘ භූමිය මුළුමනින් නිදහස් කරගත් රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරීම නිමිත්තෙන් රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කිරීමට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි පියවර ගෙන තිබේ.

දේශයේ භෞමික අඛණ්ඩතාවය සහ ස්වෛරිත්වය ආරක්ෂා කරනු වස් දිවිපිදු, අතුරුදන් වූ හා ආබාධිත වූ රණවිරුවන්ට ජාතියේ උත්තමාචාරය පුදකිරීම සහ අනුස්මරණය කිරීම උදෙසා සෑම වසරකම රණවිරු සැමරුම් මාසයක් කි‍්‍රයාත්මක කරමින් විවිධ වැඩසටහන් කි‍්‍රයාත්මක කෙරෙයි.
රණවිරු විජයග‍්‍රහණයට දස වසරක් සපිරෙන මෙම 2019 වසරේ දී රණවිරු සැමරුම් වසරක් ප‍්‍රකාශයට පත් කරමින් වඩා පුළුල් වැඩසටහන් මාලාවක් දීප ව්‍යාප්තව කි‍්‍රයාත්මක කිරීමට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් රණවිරු සේවා අධිකාරිය පියවර ගෙන ඇත.
රණවිරු සැමරුම් වසර ප‍්‍රකාශයට පත් කරමින් ඒ හා සමගාමී ව දියත් කර ඇති රණවිරු කොඩි ව්‍යාපාරයේ පළමු කොඩිය රණවිරු සේවා අධිකාරියේ සභාපති ජම්මික ලියනගේ මහතා විසින් 05 ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පැලඳවීය.
2018 වසරේ රණවිරු කොඩි ආදායම පළාත් ආණ්ඩුකාරවරුන් විසින් මෙහි දී නිල වශයෙන් ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූ අතර ජනාධිපතිතුමා එය රණවිරු සේවා අධිකාරියේ සභාපතිවරයා වෙත භාර දුන්නේ ය.
ඉන් අනතුරුව 2019 රණවිරු කොඩි ජනාධිපතිතුමා අතින් පළාත් ආණ්ඩුකාරවරුන් වෙත භාර කෙරිණි.
රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, විජයදාස රාජපක්ෂ, මහින්ද අමරවීර යන මහත්වරුන් ද පළාත් ආණ්ඩුකාරවරුන් සහ පළාත් ප‍්‍රධාන ලේකම්වරුන් ද. ති‍්‍රවිධ හමුදාපතිවරු ඇතුළු ආරක්ෂක අංශ ප‍්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter