නවතම පුවත්

 මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් අද (මාර්තු 05) පස්වරුවේ දී පාර්ලිමේන්තුව වෙන ඉදිරිපත් කරනු ලබන මෙම රජයේ පස් වැනි අයවැය මගින් ජනතාව සවිබල ගැන්වීම, දුප්පතුන් පෝෂණය කිරීම (Empowering the people, nurturing the poor) ප්‍රධාන කොටගෙන සියලු ජනතාවගේ මූලික අධ්‍යාපන, සෞඛ්‍ය සහ ජිවනෝපාය අවශ්‍යතාවන් ඉටු කිරීම අරමුණ වේ. 

අද ඉදිරිපත් කරනු ලබන මෙම අයවැය මගින් ව්‍යවසායකත්ව ශ්‍රී ලංකා (Enterprise Sri Lanka) වැඩසටහන යටතේ ව්‍යාපාර හා මානව සම්පත් සවිබල ගැන්වීම තව දුරටත් පුළුල් කිරීමට අවශ්‍ය වැඩ පිළිවෙළ දියත් කරනු ඇත. දුප්පතුන් පෝෂණය කිරීමේ වැඩපිළි‍වෙළ තව දුරටත් නංවාලමින් සැමට අවශ්‍ය මූලික පහසුකම් සපුරාලීම මෙම අයවැය යෝජනාවලට ඇතුළුත් කර තිබේ.
2019 අයවැයේ සමස්ත රාජ්‍ය වියදම රුපියල් බිලියන 4550 ක් වන අතර රාජ්‍ය ආදායම රුපියල් බිලියන 2400 ක් වනු ඇතැයි ගණන් බලා තිබේ. ඒ අනුව මෙවර අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් (ද.දේ.නි.) 4.5%ක් පමණ වේ.
අයවැය පරතරය 2020 වන විට ද.දේ.නි.යෙන් 3.5% ප්‍රතිශතයක් ලෙස අඩු කර ගැනීම ඉලක්ක කරගෙන කටයුතු කරන මෙම රජය 2015 වසරේ සිට ම ක්‍රම ක්‍රමයෙන් එම ඉලක්කය පසුරා ගනිමින් පවතී. 2015 වසරේ දී 7.6%ක් වූ අයවැය පරතරය 2018 වසරේ දී 5.3% දක්වා අඩු කරන ලදී. 2019 වසරේ දී 4.4% දක්වා තව දුරටත් අඩු කිරීමට කටයුතු කර ඇති අතර ඒ අනුව 2020 දී අයවැය පරතරය අපේක්ෂිත පරිදි දළ දේශීය නිෂ්පාදිතයෙන් 3.5%ක ප්‍රතිශතයකට ළගා කර ගැනීමට හැකිවනු ඇතැයි අපේක්ෂා කරයි.
තව ද දශක පහක පමණ කාලයකට පසුව අයවැයේ ප්‍රාථමික ශේෂයේ (Primary Balance) ප්‍රථම වරට 2018 වසරේ දී අතිරික්තයක් පැවැති අතර එය 2019 වසරේ දී තව දුරටත් වර්ධනය කර ගැනීමට අපේක්ෂා කෙරේ. ප්‍රාථමික ශේෂයේ වැඩි වීම හේතුවෙන් රාජ්‍ය ආදායමෙන් ණය සේවා කරණය කිරීමට හැකි තත්ත්වයක් උදා වී බැවින් ණය ගැනීමේ සීමාව ද සාපේක්ෂව අඩු වනු ඇත. ඒ අනුව 2019 වසරේ දී ණය සේවාකරණය සඳහා වෙන් කර ඇති රුපියල් බිලියන 2200 ට සාපේක්ෂව ණය ලබා ගැනීමේ ප්‍රමාණය රුපියල් බිලියන 2079 දක්වා අඩු වනු ඇතැයි අපේක්ෂා කරයි.
අයවැය දෙවැනි වර කියවීමේ විවාදය මාර්තු මස 06 වැනි දින සිට 12 දින දක්වා පැවැත්වෙන අතර එදින සවස්වරුවේ දී දෙවැනි වර කියවීමේ ඡන්ද විමසීම පැවැත්වීමට නියමිතය. අයවැය තෙවැනි වර කියවීමේ කමිටු විවාදය මාර්තු මස 13 වැනිදා සිට අප්‍රේල් මස 05 දා දක්වා පැවැත්වීමෙන් අනතුරුව අප්‍රේල් මස 05 වැනි දා සවස් භාගයේ දී අයවැය සඳහා වන අවසන් ඡන්ද විමසීම සිදු කරනු ලැබේ.

ශ්‍රී ලංකාවේ ඉදිකිරීමට නියමිත යෝජිත විශාලතම අපනයන සැකසුම් කලාපය ඊයේ (04) බිංගිරියේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ කෙරිණි.

මෙමඟින් ඍජු විදේශ ආයෝජන, අපනයනය සහ රැකියා උත්පාදනය මගින් ආර්ථිකයට නව ජීවයක් ලබා ගැනීමට අපේක්ෂිතය. මෙම සංවර්ධන කලාපය අදියර තුනක් යටතේ සංවර්ධනය කරන අතර, පළමු අදියර යටතේ ජර්මන් වත්ත නම් වූ අක්කර 164 ක භූමි ප්‍රදේශය සංවර්ධනය කර නව කර්මාන්ත ශාලා 25 ක් ස්ථාපිත කරනු ලබයි. එමගින් ඍජු රැකියා 10,000 ක් ද වක්‍ර රැකියා 3000 ක් ද ලබාදීමට සැලසුම් කර තිබේ.
දෙවන අදියර යටතේ අක්කර 282 ක් වන ගොරකගස්ආර ප්‍රදේශයේ නව කම්හල් ඇරඹිම සඳහා සංවර්ධනය කරන අතර, එහි ස්ථාපිත කරනු ලබන නව කර්මාන්ත ශාලා තුළින් ඍජු රැකියා 25,000 ක් සහ වක්රය රැකියා 10,000 ක් අපේක්ෂා කරයි.
තෙවන සහ අවසන් අදියර වන විට අපනයන සැකසුම් කලාපය සතු සමස්ත ඉඩම් ප්‍රමාණය අක්කර 1200 ක් වන අතර, එහි ස්ථාපනය කරන නව කර්මාන්ත ශාලා තුලින් ජනිත කරන ඍජු රැකියා ප්‍රමාණය 75,000 ක් පමණ වනු ඇත. බිංගිරිය අපනයන සැකසුම් කලාපයේ සමස්ත සංවර්ධන ක්‍රියාදාමය වසර 8 ක් 12 ක් දක්වා කාල පරාසයකදී වැඩ නිම කිරීමට අපේක්ෂිතය.

 විෂය භාර අමාත්‍යවරයා ලෙස තමා පොලිස් දෙපාර්තමේන්තුවෙන් බලාපොරොත්තු වන්නේ පදවිය, තනතුර හා පක්ෂය කුමක් වුවත් ඒ කිසිවක් නොසලකා සැමට එක ලෙස නීතිය ක්‍රියාත්මක කරන පොලිස් සේවාවක් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා පොලීසියේ ඉදිරි ක්‍රියාකාරිත්වය හා අභියෝග පිළිබඳ ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී ය.
පොලිස් දෙපාර්තමේන්තුවේ සියලු අංශ නියෝජනය කරන ජ්‍යෙෂ්ඨ නිලධාරීහු මෙම සාකච්ඡාවට කැඳවා තිබූ අතර එක් එක් අංශවල ක්‍රියාකාරිත්වය පිළිබඳ ඔවුන් පැහැදිලි කිරීම් සිදු කළහ.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ තම දේශපාලන ජීවිතය තුළ වැරදිකරුවන් පිළිබඳ කතා කිරීමට තමා කිසිදු පොලිස් ස්ථානයකට දුරකථන ඇමතුම් ලබා දී නොමැති බවයි.
සමීප මහජන සේවාවක් සපයන අතරතුරම වැරදිකරුවන්ට එරෙහිව නිසි පියවර ගනිමින් රට සහ මහජනතාව වෙනුවෙන් පැවරී ඇති කාර්යභාරය නිසි ලෙස ඉටුකිරීමට පොලිස් සේවයේ සියලුදෙනා කැපවිය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ පොලිස් දෙපාර්තමේන්තුවේ භෞතික සම්පත් සංවර්ධනය කරමින් එහි දියුණුවට කටයුතු කරනවා සේම දෛනිකව පොලිස් ස්ථාන වෙත ලැබෙන පැමිණිලි සංඛ්‍යාව අවම කර ගැනීමට ද විද්‍යාත්මක පදනමකින් සකස් කෙරුණු විධිමත් ක්‍රමවේදයක් අවශ්‍ය බවයි.
ඒ සඳහා විද්වත් සහ විශේෂඥ සහය ලබාගනිමින් නිසි ක්‍රමවේදයක් සකස් කිරීමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිතුමා පෙර පැමිණිලි පිළිබඳ අධ්‍යයනය කරමින් කෙටිකාලීන, මධ්‍යකාලීන සහ දිගුකාලීන වැඩපිළිවෙළ ඔස්සේ එම වැඩසටහන් ක්‍රියාත්මක කිරීමේ හැකියාව ද පැහැදිලි කළේය.
මේ පිළිබඳ අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ දියුණු රටක ලක්ෂණය වන්නේ පොලිස් ස්ථාන හෝ සිරගෙවල් වැඩි කිරීම නොව වැරදි වළක්වා ගැනීම සඳහා ගතයුතු සමාජමය වෙනස්කම් පිළිබඳ අවධානය යොමු කිරීම බවයි.
පොලිස් නිලධාරින්ගේ බඳවාගැනීම්, ස්ථාන මාරුවීම් සහ සුබසාධන කටයුතු පිළිබඳව ද මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි.
ප්‍රතිපත්තිමය තීන්දුවකින් තොරව පොලිස් ස්ථාන ස්ථාපිත කිරීම තුළින් මතුව ඇති භෞතික සම්පත් ගැටලුව පිළිබඳව මෙහිදී ජනාධිපතිතුමාගේ අවධානය යොමු වූ අතර ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ඉදිරියේ දී පොලිස් ස්ථාන ස්ථාපිත කිරීමේ දී කමිටුවක් හරහා ඒ පිළිබඳ තීන්දු තීරණ ගැනීම ප්‍රතිපත්තිමය කරුණක් ලෙස ඉදිරියට ක්‍රියාත්මක කරන ලෙසයි. එහිදී පළාතේ ජනගහනය, ලැබෙන පැමිණිලි ප්‍රමාණය ඇතුළු අනෙකුත් පසුබිම් සලකා බැලීමේ වැදගත්කම ද පෙන්වා දුන්නේ ය.
විශේෂයෙන් උතුරු නැගෙනහිර පළාත්වල පොලිස් ස්ථාන සඳහා දෙමළ භාෂාව කතා කළ හැකි පොලිස් නිලධාරින් බඳවා ගැනීමට ගෙන යන වැඩපිළිවෙළේ ප්‍රගතිය විමසූ ජනාධිපතිතුමා එම කටයුතු තවදුරටත් ශක්තිමත් කිරීමට ද උපදෙස් දුන්නේය.
පරිගණක අපරාධ මැඩලීම සඳහා පොලිස් නිලධාරින් පුහුණු කිරීම ඇතුළු පොලිස් නිලධාරින්ගේ පුහුණු කටයුතු පිළිබඳව ද සාකච්ඡාවට බඳුන් වූ අතර උතුරු ප්‍රදේශයේ ඉදිකිරීමට යෝජිත පොලිස් අභ්‍යාස ආයතනයේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කිරීමට ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේ ය.
මේ අතර කොළඹින් බැහැර ප්‍රදේශවල ප්‍රධාන රෝහල්වල පොලිස් නිලධාරින් සඳහා වෙනම වාට්ටු සංකීර්ණ ස්ථාපිත කිරීමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.
එමෙන්ම දුරබැහර සිට රාජකාරි සඳහා කොළඹට පැමිණෙන කාන්තා පොලිස් නිලධාරිනියන් ඇතුළු පොලිස් නිලධාරින්ගේ පහසුකම් වැඩිදියුණු කිරිමේ වැඩපිළිවෙළක් පිළිබඳව ද ජනාධිපතිතුමා නිලධාරින්ගේ අවධානය යොමු කළේය.
පොලිතින් තහනම ක්‍රියාත්මක කිරීම ඇතුළු පරිසර සංරක්ෂණ වැඩපිළිවෙලේ දී පොලිස් දෙපාර්තමේන්තුවට පැවරී ඇති වගකීම් පිළිබඳව ද ජනාධිපතිතුමා කරුණු පැහැදිලි කළ අතර මෑතක සිට දුරබැහැර බස් රථවල සිදුවන කප්පම් ලබා ගැනීම පිළිබඳ ලැබෙන වාර්තා සැලකිල්ලට ගත් ජනාධිපතිතුමා ඒ පිළිබඳව ද කඩිනමින් අවධානය යොමුකර වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙස පොලිස් දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේ ය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ තෘප්තිමත් මනසකින් යුතුව සිය මහජන සේවාව සැපයීම සඳහා පොලිස් දෙපාර්තමේන්තුවේ පහළ ශ්‍රේණිවල නිලධාරින්ගේ සියලු ගැටලුවලට අදියරෙන් අදියර විසඳුම් ලබාදීමේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි.
මේ අතර මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙලේ දී මෙන්ම අපරාධ මැඩලීමේ වැඩපිළිවෙලේ දී පොලිස් දෙපාර්තමේන්තුව ලබාදෙන සහය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් දා සිට තමා වෙත එම සියලුදෙනා ලබාදෙන සුවිශේෂී සහය පිළිබඳව සිය ස්තූතිය පිරිනැමීය.

 මාතර දිස්ති‍්‍රක් පාර්ලිමේන්තු මන්තී‍්‍ර සහ මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතාගේ දේශපාලන දිවියට වසර 30 ක් සපිරීම වෙනුවෙන් පවත්වන ලද උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවැත්විණි.

වසර 1989 දී ප‍්‍රථම වරට පාර්ලිමේන්තුවට තේරිපත් වූ මංගල සමරවීර මහතා එදා මෙදා තුර අමාත්‍ය ධූර ගණනාවක් හොබවමින් රටේත්, මාතර පුරවරයේත් ජනතාවගේ දියණුව වෙනුවෙන් සුවිශේෂී සේවයක් ඉටු කළේය.
“සිහිනය වෙනුවෙන් ඛේමාගේ කොලුවා“ නමින් මෙම උත්සවය සංවිධානය කර තිබූ අතර උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා සඳහන් කළේ තමාට පැවරෙන සෑම වගකීමක්ම දැඩි කැපවීමෙන් ඉටුකරන මංගල සමරවීර අමාත්‍යවරයා ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සංහිඳියාව ගරු කරන දේශපාලනඥයෙක් බවයි.
ඔහුගේ 30 වසරක දේශපාලන දිවිය ඇගැයීමට ලක් කළ ජනාධිපතිතුමා ඉදිරි කටයුතු වෙනුවෙන් ද සිය ආශිර්වාදය පළ කළේය.
මෙම උත්සවයේ ප‍්‍රධාන දේශනය එක්සත් ජාතින්ගේ සංවිධානයේ හිටපු එක්සත් ජනපද තානාපතිනි සැමැන්තා පවර් මහත්මිය විසින් සිදු කරනු ලැබුවාය.
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ, එක්සත් ජාතීන්ගේ සංවිධානයේ හිටපු ඇමෙරිකා එක්සත් ජනපද තානාපතිනී සැමැන්තා පවෙල්, කතානායක කරූ ජයසූරිය, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ, හිටපු ජනාධිපතිනී චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරණතුංග, ඇමැතිවරුන් වන මලික් සමරවික්‍රම, මනෝ ගනේෂන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන කුමාර වෙල්ගම, ලසන්ත අලගියවන්න, මහින්ද අමරවීර, ෆයිසර් මුස්තාෆා, සරත් ෆොන්සේකා, ආර්. සම්බන්ධන් මහත්ම මහත්මීන් ඇතුළු රාජ්‍ය නිලධාරින්, විදෙස් තානාපතිවරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත විශාල පිරිසක් මෙම උත්සවයට එක්ව සිටියහ.

අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදු කළ කතාව -
මුදල් ඇමැති මංගල සමරවීර මහතා හිත හොඳ මිනිසෙක්. බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කරයි.
ඔහු බාරගත් ඕනෑම විෂයක වගකීම නිවැරැදිව ඉටුකර තිබෙන බවද, මංගල සමරවීර මහතා දක්ෂයෙක් මෙන්ම කැපවීමෙන් ඕනෑම කටයුත්තක් කරන පුද්ගලයකු බව ද ඔහුගේ දක්ෂතාව, හැකියාව, බුද්ධිය, පරිනත බව රටට අවශ්‍ය වී තිබෙන බව ද ඒ මහතා පෙන්වාදෙයි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ තමා සමඟ මුල් කාලයේ දී එකට පාර්ලිමේන්තුවට පැමිණි මිත්‍රයකු ලෙස වත්මන් මුදල් ඇමැති මංගල සමරවීර මහතා හඳුන්වා දියහැකි බවත් ඔහු කිසිවකුටත් කඩේ නොගිය කෙනෙක් බවත්ය.
ගෙවී ගිය 30 වසරට වඩා රටට ප්‍රතිඵල පෙන්විය හැකි මෙන්ම දේශපාලන ක්ෂේත්‍රයේ ඉදිරියට යාහැකි සැබෑ මානවවාදී, ප්‍රජාතන්ත්‍රවාදය ගරුකරන, ජාතික සමඟිය හා සංහිඳියාව ශක්තිමත් කිරීමේ ප්‍රමුඛ කාර්යයේ වගකීම ඉටුකරන්න හැකිවේවායි සුබපතන බව ද ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමා විසින් සිදු කළ කතාව -
නිදහස් සමාජයක ප්‍රජාතන්ත්‍රවාදී සහ දියුණු ආර්ථිකයක් ස්ථාපිත කිරීමේ මූලධර්මය තුළ සිට මුදල් ඇමැති මංගල සමරවීර මහතා කටයුතු කරන දේශපාලනඥයෙක් බව අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරයි.
ආණ්ඩුවක් වශයෙන් ඉදිරියට ගමන් කරනවිට මංගල සමරවීර මහතාගේ සහාය හැමවිටම තිබෙන බව පෙන්වාදෙන ඒ මහතා අපේ සිහිනය ද එය බව ද එම සිහිනය ඉටුකර ගැනීමේ අභියෝගය බියෙන් සැකයෙන් තොරව බාරගෙන ඉදිරියට යායුතු බව ද පෙන්වාදෙයි.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් අගමැතිවරයා පෙන්වා දුන්නේ පාර්ලිමේන්තුවට පැමිණි මුල්කාලයේ මංගල සමරවීර මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ ද තමා එක්සත් ජාතික පක්ෂයේ සිටි බවත් මංගල සමරවීර මහතා තමාට විරුද්ධ විවේචනයේ මුල්තැන ගත් කෙනෙක් බවත්ය. ඒ මහතා යම්කිසි මූලධර්මයකට අනුව වැඩකළ බව පෙන්වාදුන් ඒ මහතා නිදහස් සමාජයක, නිදහස් වාතාවරණයක, නිදහස් ආර්ථිකයක මූලධර්මය සමඟ සිටි බව ද එම මූලධර්මවලින් එක්සත් ජාතික පක්ෂය කිසිදා වෙනස් නොවූ බව ද සිහිපත් කළේය.
රටේ සංහිඳියාව, ශ්‍රී ලාංකික අනන්‍යතාව වෙනුවෙන් සහ දේශප්‍රේමීභාවය වෙනුවෙන් අප එක් ස්ථාවරයක සිට වැඩකළ බව පෙන්වාදුන් අගමැතිවරයා 2015 වසරේ දී යලිත් විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණි පසුව මංගල සමරවීර මහතා අපේ රටේ ගෞරවය ස්ථාපනය කරන්න, පරමාධිපත්‍ය ආරක්ෂා කරන්න කටයුතු කර තිබෙන බව ද පැවැසීය.
මුදල් ඇමති මංගල සමරවීර මහතා විසින් සිදු කළ කතාව -
රටේ තිරසාර සංවර්ධනය සහ ජාතියේ හෙට දවස වෙනුවෙන් වසර 30ක් පුරා තමන් විසින් සිහින දකින බව මුදල් ඇමැති මංගල සමරවීර මහතා ප්‍රකාශ කරයි. උපන් මාතෘභූමිය වෙනුවෙන් මෙලෙස සිහින දකින බව පෙන්වාදෙන ඒ මහතා ජාතිය, ආගම නොව සාමය වෙනුවෙන් සිහිනයක් තිබුණු බව ද ඒ වෙනුවෙන් අවශ්‍ය පියවර ගතයුතු බව ද කියා සිටී.
එහි දී වැඩිදුරටත් අදහස් පළකරමින් මංගල සමරවීර මහතා පෙන්වා දුන්නේ සිංහල ගම්මානවලට දේශපාලන විසඳුමක අවශ්‍යතාව හඳුන්වා දෙන්න අවශ්‍ය වූ බවත් සුදු නෙළුම් ව්‍යාපාරය හරහා ඒ වෙනුවෙන් කටයුතු කිරීමට හැකිවූ බවත්ය.
තම වටිනාකම් හඳුනාගත් පක්ෂයක් ලෙස එක්සත් ජාතික පක්ෂය දකින බව පැවසූ මුදල් ඇමැතිවරයා දේදුනු විප්ලවය හඳුන්වා දෙමින් රටට අවශ්‍ය අරමුණු රැසක් ඉටුකර ගන්න පියවර ගත් බව ද පසුගිය වසර හතරක කාලයේ දී මේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය ශක්තිමත්ව තිබෙන බව ද පෙන්වා දුන්නේය.

 

 

 ජාත්‍යන්තර කාන්තා දිනය-2019, ජාතික සැමරුම් උත්සවය මාර්තු මස 08වන දින උදේ 9.00ට ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන්ගේ සහ ,අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් , කාන්තා හා ළමා කටයුතු ,වියළි කළාප සංවර්ධන ඇමැතිනී චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය ඇතුළු මැති ඇමැතිවරුන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගනයේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


මෙම ජාතික සැමරුම් උත්සවය 'සුහුරු කතක්-සොඳුරු ලොවක්'තේමාව යටතේ පැවැත්වෙන අතර එයට කාන්තාවන් 6000ක් පමණ සහභාගි වීමට නියමිතය.

ප්‍රධාන ජාතික උත්සවයට සමගාමීව මාර්තු මස 07 සහ 08 දෙදින තුළ අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගන උත්සව භූමි පරිශ්‍රයේදී ,ව්‍යවසායක කාන්තාවන්ගේ නීෂ්පාදන ඇතුලත් අළෙවි කුටි 100 කින් සමන්විත අලෙවි පොළක් හා වෙ‍ළෙඳ ප්‍රදර්ශනයක්ද කාන්තාවන් උදෙසා සුවනාරි සායනයක් ද පැවැත්වීමට කටයුතු යොදා ඇත.
එමෙන්ම මෙම ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව දිවයිනේ සියලුම ප්‍රාදේශිය ලේකම් කොට්ටාශ මට්ටමින් කාන්තාවන්ගේ ආර්ථික තත්ත්වය ඉහළ නැංවීමේ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමටද අපේක්ෂිතය.කාන්තා හඬ අවදි කරවීම උදෙසා වන උද්දේශන පාගමනක්ද අද (01)දා කොළඹ විහාර මහා දේවී උද්‍යානය අසලදී පැවැත්වේ.

එමෙන්ම 'සැමට සුන්දර ගමනක්' මැයෙන් උද්දේශන වැඩසටහනක්ද මාර්තු මස 06 දා අනුරාධපුර නගරයේදී පැවැත්වෙනු ඇත.මෙහිදී පොදු ප්‍රවාහන සේවාවන්හිදී කාන්තාවන්ට වන හිංසන වැළැක්වීමට පොදු මහජනතාව දැනුවත් කිරීම සිදු කෙරේ.

 

ශ්‍රී ලංකාව පළමු වරට පසුගියදා නිෂ්පාදනය කරන ලද මල්ටි බැරල් රොකට් විදිනයේ සහ මිසයිලයේ අනුරුවක් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත පිළිගැන්වීම පසුගියදා (26) ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

අතීත යුද අත්දැකීම් ද ඇසුරු කර ගනිමින් ආරක්ෂක අමාත්‍යාංශය යටතේ පවතින පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානය විසින් නිර්මාණය කළ මෙරට මුල්ම මල්ටි බැරල් රොකට් විදිනය සහ මිසයිලය පසුගිය 71 වන ජාතික දින උලෙළේ දී ජාතියට ප්‍රදර්ශනය කෙරිණි.
පර්යේෂණ හා සංවර්ධන මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් බි්‍රගේඩියර් ආචාර්ය ටිරාන් ද සිල්වා මහතා විසින් එම අනුරුව ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

 මෙරට ආර්ථිකය නව මගකට යොමු කරමින් ගොවි ජන ජීවිතය ශක්තිමත් කළ, අද ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මඟපෙන්වීමෙන් නව ජවයක් ලබමින් තිබෙන මහවැලි ව්‍යාපාරය ආරම්භ වී පනස් වසරකට පිවිසීම අද දින සනිටුහන් කෙරේ.

1970 පෙබරවාරි මස 28 වන දින එවකට අග්‍රාමාත්‍ය ඩඞ්ලි සේනානායක මහතා සහ ඉඩම්, වාරිමාර්ග හා විදුලිබල අමාත්‍යවරයා වූ සී.පී. ද සිල්වා මහතා විසින් මහවැලි මහ සැලැස්ම ආරම්භ කිරීමේ මංගල පියවර තබමින් මෙරට වාරි සංස්කෘතියේ හැරවුම් ලක්ෂය වූ පොල්ගොල්ල බෝවතැන්න ජලාශයේ ඉදිකිරීම් ආරම්භ කළේය.
එදා පොල්ගොල්ලෙන් ඇරඹි යෝධ මහවැලියේ පංච මහා ජලාශ සංකල්පය යථාර්ථයක් බවට පත්වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් මොරගහකන්ද – කළුගඟ මහා ජලාශය නිම කර ජාතියට දායාද කිරීමත් සමග ය.
එමෙන්ම මහවැලි සංවර්ධන වැඩපිළිවෙළ විෂය භාර අමාත්‍ය, ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ උපදෙස් මත මේ වන විට අත මිට සරු නව ගොවි පරපුරක් බිහි කිරීමේ නව මාවතකට යොමුව තිබේ.
ශ්‍රී ලංකාව සතු විශාලතම ස්වභාවික සම්පත් ජාලය අතර ප්‍රමුඛයා ලෙස මහවැලි ගඟ පත්කොට ඒ ඇසුරෙන් රටේ ගොවිතැන, විදුලිය, පානීය ජලය වැනි මූලික මිනිස් අවශ්‍යතා සපුරා ගැනීමේ කඩිනම් ඉලක්කගත වැඩපිළිවෙළ මේ වන විට ජනාධිපතිතුමාගේ මගපෙන්වීමෙන් ක්‍රියාත්මකය.
ශ්‍රී ලංකාවේ භූමියෙන් තුනෙන් එකක් ආවරණය වන මහවැලි ගොවි ජනපදවල ජීවත්වන පවුල් ලක්ෂ තුනකට ආසන්න ගොවි ජනතාවගේත්, ලක්ෂ 10 කට අධික පිරිසගේත් ආර්ථික තත්ත්වය නංවාලීම සඳහා ඉලක්කගත වැඩපිළිවෙළ ගණනාවක් ද මේ වන විට ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක වෙමින් පවතී.
සැමට මහවැලි බිමේ උරුමය පිරිනමමින් සෑම මහවැලි ජනපදිකයෙකුටම ඉඩම් අයිතිය ලබාදීමේ ජාතික වැඩසටහන ඉන් ප්‍රමුඛ වන අතර මහවැලි ගොවි දූ පුතුන්ගේ ක්‍රීඩා දක්ෂතා ඔප් නැංවීමට වාර්ෂිකව සංවිධානය කෙරෙන මහවැලි ක්‍රීඩා උලෙළ ද සුවිශේෂි වැඩසටහනකි.

 රජයේ සංවර්ධන වැඩකටයුතු වේගවත් කිරීම සම්බන්ධව දිස්ත්‍රික් ලේකම්වරු සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අතර විශේෂ සාකච්ඡාවක් ඊයේ (26) අරලියගහ මන්දිරයේ දී පැවැත්විණි.


ගම්පෙරළිය වැඩසටහන යටතේ ආරම්භ කර තිබෙන සංවර්ධන ව්‍යාපෘති හා අනෙකුත් සංවර්ධන වැඩකටයුතුවල ප්‍රගතිය මෙන්ම එම කටයුතු වේගවත්ව සිදුකළ යුතු ආකාරය පිළිබඳව මෙම සාකච්ඡාවේ දී වැඩි අවධානයක් යොමුකරන ලදී.

මෙම අවස්ථාවට අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන, වරාය හා නාවික කටයුතු සහ දක්ෂිණ සංවර්ධන අමාත්‍ය හා අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී සාගල රත්නායක, ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු රාජ්‍ය අමාත්‍ය නිරෝෂන් පෙරේරා, මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න, අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන රාජ්‍ය අමාත්‍ය ජේ. සී. අලවතුවල, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක යන මහත්වරුන් ප්‍රමුඛ අමාත්‍යාංශ කිහිපයක ලේකම්වරු ද සහභාගි වී සිටියහ.

 

ජාතික ආර්ථීක සභාව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ(26) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී රැස් විය.

අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාජිත සේනාරත්න, අර්ජුන රණතුංග, රිෂාඩ් බදියුදීන්, දයා ගමගේ යන මහත්වරුන් ඇතුළු මැති ඇමැතිවරු පිරිසක් ද ජාතික ආර්ථීක සභාවේ මහලේකම් මහාචාර්ය ලලිත් සමරකෝන්, මුදල් අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්.එච්.එස්. සමරකෝන්, මහබැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහත්වරුන් ඇතුළු නිලධාරීහූ මෙම සාකච්ඡාවට එක්ව සිටියහ

 

 ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන්ගේ යුතුකම හා වගකීමයි. ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා වන්නේ මාධ්‍ය නිසයි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තිබිය යුතුයයි'' ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි.

ඒ මහතා ජනමාධ්‍ය අමාත්‍යාංශයට පැමිණ අද (25) උදේ වැඩ භාර ගැනීමෙන් පසු රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේ පැවති පිළිගැනීමේ උත්සවයේදී මේ බව පැවසීය.
තමාට අභියෝගයක් වූ මෙම අමාත්‍ය ධූරය භාරගන්නේ මේ රටේ රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ඇතුළු සියලුම මාධ්‍යවලට සේවයක් කිරීමට බවත් ඇමතිවරයා මෙහිදී තවදුරටත් පැවසීය.
එසේම සිය වෘත්තිය තුළ අභිමානයක් ගොඩනගාගත හැකි වාතාවරණයක් ජනමාධ්‍යවේදීන් උදාකර දීමට අවශ්‍ය පහසුකම් ලබාදීමට තමා බලාපොරොත්තු වන බවද ඇමතිවරයා කීය.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා: මාධ්‍ය නිදහස ආරක්ෂා කරන ගමන් මාධ්‍ය සදාචාරය ගැනත් බැලිය යුතුයි. මේ රටේ මාධ්‍ය සදාචාරය ගොඩනගා ගන්නේ කොහොමද කියන එක ගැනත් සමාජ මාධ්‍ය පිළිබඳවත් අපේ අවධානය යොමුකරන්න ඕන.
මේ රටේ ජනතාවට ඇත්ත දැනගැනීමට සැලැස්වීම මාධ්‍යවේදීන් හැටියට අපේ යුතුකමක් හා වගකීමක්. මාධ්‍යවේදීන්ගේ වගකීම ජනතාව දැනුවත් කිරීමයි. එවැනි දේවල් වලට අපි මැදිහත් වියයුතුයි.
මාධ්‍ය මගින් ඕනෑම රටක ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු කළ හැකියි. ඒ සඳහා නිදහස් මාධ්‍ය වගේම මාධ්‍ය සදාචාරයත් තියෙන්න ඕන. ඒ සඳහා සම්පූර්ණ සහාය දීමට අමාත්‍යාංශයක් හැටියට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වෙනුවෙන් මාධ්‍ය සමඟ අත්වැල් බැඳ ගන්නා ලෙස අමාත්‍යාංශයේත් ඒ යටතේ ඇති ආයතන වල ප්‍රධානීන් ගෙනුත් සෙසු කාර්ය මණ්ඩල වලිනුත් මා ඉල්ලා සිටිනවා.‍
මේ අවස්ථාවට අමාත්‍යවරුන් වන රවී කරුණානායක, පී.හැරිසන්,කැබිනට් නොවන අමාත්‍ය අජිත් පි.පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ආශු මාරසිංහ යන මහත්වරුන්ද, ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම්(පාලන) රමණි ගුණවර්ධන, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කළුවැව යන මහත්ම මහත්මීන්ද, අමාත්‍යාංශය යටතේ ඇති සියලුම ආයතනවල ප්‍රධානීහුද ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් සහභාගී වූහ.

 IMG 0154

IMG 0164

IMG 0188

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter