නවතම පුවත්

මෙම වසරේ ජනවාරි මස සිට වාහන සඳහා කාබන් බද්දක් අය කිරීමට රජය තීරණය කර ඇත. නීල හරිත ආර්ථිකය පදනම් කර ගත් රජයේ ආර්ථික වැඩපිළිවෙළ යටතේ පරිසර හිතකාමී පියවරක් ලෙස පාරිසරික අවදානම අඩු කිරීමේ තවත් පියවරක් ලෙස මෙය ක්‍රියාත්මක කෙරේ.
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2018 අයවැය මගින් යෝජිත පරිදි වාහන හිමිකරුවන්ගෙන් මෙම කාබන් බද්ද ලෙස ඉතා සුළු මුදලක් අය කරනු ලබන අතර පරිසර හිතකාමී තත්ත්වය දිරි ගැන්වීම සඳහා ඉලෙක්ට්‍රොනික වාහනවලින් මෙම බද්ද අය නොකිරීමට ද රජය තීරණය කර ඇත.
ඉලෙක්ට්‍රොනික වාහනවලින් හැර අන් සියලු වාහනවල එන්ජින් ධාරිතාව මත අය කරනු ලබන මෙම කාබන් බද්ද වාහනය ලියාපදිංචි කරන මුල් වසරේ දී අය කරනු නොලැබේ. 2019 ජනවාරි මස සිට ක්‍රියාත්මක මෙම බද්ද වාහනයේ ආදායම් බලපත්‍රය අලුත් කරන අවස්ථාවේ දී අය කරනු ලැබේ.
ඒ අනුව වර්ගීකරණ තුනක් යටතේ වාහනයක එන්ජින් ධාරිතාව පදනම් කරගෙන එහි
එක් ඝන සෙන්ටමීටරයක් (cm3) සඳහා වාර්ෂිකව මෙම බද්ද පහත පරිදි කරනු ලැබේ.


වාහන වර්ගය             වසර 5ට අඩු           වසර 5 -10 අතර           වසර 10ට වැඩි
ඉලෙක්ට්‍රික්                    නැත                        නැත                              නැත
දෙමුහුන්                       ශත 25                     ශත 50                          1.00
පෙට්‍රල් සහ ඩීසල්           ශත 50                     1.00                             1.50


ඒ අනුව උදාහරණයක් ලෙස වසර පහකට අඩු


එන්ජින් ධාරිතාව 125 යතුරු පැදියක් සඳහා (125 x ශත 50) = 62.50
එන්ජින් ධාරිතාව 1000 මෝටර් රථයක් සඳහා (1000 x ශත50) = 500.00
එන්ජින් ධාරිතාව 2600 ජීප් රථයක් සඳහා (2600 x ශත50) = 1300.00
වශයෙන් වාර්ෂිකව ගෙවිය යුතු වේ.

මගී ප්‍රවාහන බස් රථ සඳහා කාබන් බද්ද වාර්ෂික ස්ථාවර ගාස්තුවක් ලෙස
පහත පරිදි අය කරනු ලැබේ.


වාහන වර්ගය                               වසර 5ට අඩු                          වසර 5 – 10ත් අතර                 වසර 10ට වැඩි
මගී ප්‍රවාහන බස් රථ                         1000/=                                      2000/=                                 3000/=

 ඉකුත් ඔක්තෝම්බර් 26 වැනිදා සිදුවූ දේශපාලන අස්ථාවරත්වය හේතුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් මෙරටට ලබාදීම ප්‍රමාද කළ ණය වාරික යළි දිනා ගැනීම සඳහා එහි බලධාරින් සමඟ සාකච්ඡා කිරීමට මුදල් හා ජනමාධ්‍ය ඇමැති මංගල සමරවීර මහතා හෙට (11) අමෙරිකා‍ව බලා පිටත්ව යෑමට නියමිතය.

වසර 2016 සිට 2019 දක්වා කාලය සඳහා එක්සත් ජනපද ඩොලර් බිලියන 1.5 ක ණය මුදලක් වාරික 06 ක් යටතේ ශ්‍රී ලංකාවට ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එකඟතාව පළකොට තිබුණි.
ඒ අනුව නියමිත පරිදි වාරික 04 ක් ශ්‍රී ලංකාවට ලබාදීමටද ඔවුන් කටයුතු කර තිබුණි. එහෙත් 2018 නොවම්බර් මාසයේ ලබාදීමට නියමිතව තිබූ වාරිකය මෙරටට ලබාදීම ප්‍රමාද විය. එයට හේතුව ඔක්තෝබර් 26 වැනිදා රටේ සිදුවූ දේශපාලන අස්ථාවරභාවයයි.
‍ෙම් නිසා නැවත එම වාරිකය ලබාගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ෙල් ප්‍රධානීහු සමඟ සාකච්ඡා කිරීමට මංගල සමරවීර මහතා ප්‍රමුඛ ශ්‍රී ලංකා රජයේ නියෝජිත පිරිසක් හෙට මෙරටින් වොෂින්ටන් බලා පිටත්ව යති.
මේ පිරිස එහිදී ජාත්‍යන්තර මූල්‍ය අරමුද‍ෙල් කළමනාකාර අධ්‍යක්ෂ මිට්සුහීරෝ ෆොර්ෂුවා, නියෝජ්‍ය අධ්‍යක්ෂ චැංයෝන් හී, ආසියා පැසිෆික් කලාපීය අධ්‍යක්ෂ මනූයිල් ගොරෙතී සහ එහි විධායක කණ්ඩායමේ පිරිස හමුවී කතිකා කරනු ඇත.
ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග, මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි යන මහත්වරු ප්‍රමුඛ පිරිසක් සහභාගි වෙති.

pm

කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර ඇතුළු තෙමහල් ගොඩනැඟිල්ල සහ පාසලට වසර 75ක් සපිරීම වෙනුවෙන් පාසලේ දරු දැරියන් විසින් සංවිධාන කළ නව නිපැයුම් ප්‍රදර්ශනයට පාසලේ සිසුවෙක් ඉදිරිපත් කළ දුරස්ථ පාලකයක් සහිත බස් රථය අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ අවධානයට යොමුවූ අයුරු.

 නව මුදල් රාජ්‍ය ලේකම්වරයා ලෙස සුජාන් නානායක්කාර මහතා ඊයේ (07) වැඩ භාර ගත්තේය. 

සුජාන් නානායක්කාර මහතා මීට පෙර ජාතික සමගිය හා සංහිඳියාව පිළිබඳ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස කටයුතු කරමින් සිටියේ ය. මීට අමතරව විදේශ රැකියා ප්‍රවර්ධන, ජනමාධ්‍ය සහ පළාත් පාලන යන අමාත්‍යාංශවල අතිරේක ලේකම්වරයා ලෙස ද නානායක්කර මහතා රාජකාරි කටයුතු කර ඇත. ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය සහ තවත් ව්‍යාවස්ථාපිත ආයතන කිහිපයක අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කර ඇති නානායක්කාර මහතා ආසියානු සංවර්ධන බැංකුවේ සහ AusAID වැඩසටහනේ මෙරට ව්‍යාපෘති අධ්‍යක්ෂවරයෙක් ලෙස ද සේවය කර ඇත.
වැඩ භාර ගැනීමේ අවස්ථාවට මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආර්. සේමසිංහ යන මහත්වරු සහභාගී වුහ.

 මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් ඉදිරිපත් කරන ලද 2019 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතට 2019.01.07 දින අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබිණි. එම විසර්ජන පනත් කෙටුම්පතට අනුව 2019 වසරේදී ඇස්තමේන්තු කල සමස්ත රාජ්‍ය වියදම රු. බිලියන 4,470 ක් වේ. ඒ අනුව මේ වසරේ අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයෙන් 4.8% ක් පමණ වේ.

2014 වසරේදී දළ දේශීය නිෂ්පාදිතයෙන් 11.5% ක්ව පැවැති රාජ්‍ය ආදායම මෙම රජය බලයට පත්වූවායින් පසුව ක්‍රමිකව වැඩිකර ගෙන ඇති අතර එය 2019 වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක් දක්වා වැඩිවනු ඇතැයි ගණන් බලා තිබේ.

මෙවර අයවැය කාර්ය සාධනය මත පදනම්ව සකස් කර ඇති අතර ඒ අනුව අමාත්‍යාංශ වලට ප්‍රතිපාදන වෙන්කරනු ලැබේ. එමෙන්ම, දැනට සිදුකරමින් පවත්නා රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතා වැඩසටහන ශක්තිමත් කිරීමේ අරමුණින් යුතුව 2021 වනවිට රජයේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 17% ක් දක්වා වැඩිකිරීම සහ රජයේ පුනරාවර්තන වියදම දළ දේශීය නිෂ්පාදිතයෙන් 15% ක ප්‍රතිශතයකට සීමාකිරීමට රජය අපේක්ෂා කරයි.

2019 වසර සඳහා ණය සේවාකරණය වෙනුවෙන් රු. බිලියන 2,200 ක් වෙන්කර තිබේ. මෙය, ශ්‍රී ලංකා ඉතිහාසයේ රජයක් විසින් වසරක ණය ගෙවීම සඳහා වැයකිරීමට සිදුවන විශාලම මුදලයි. රාජ්‍ය අංශයේ සේවා වියදම් අතුරෙන් පුනරාවර්තන වියදම් සඳහා රු. බිලියන 1,425 ක්ද, ප්‍රාග්ධන වියදම් සඳහා රු. බිලියන 838 ක් ද වෙන්කර ඇත.

2019 විසර්ජන පනත් කෙටුම්පත පෙබරවාරි මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිත අතර, අයවැය යෝජනා මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මාර්තු මස 05 වන දින පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 සිව් වසරක අත්දැකීම් සමග ජනතාවාදී වැඩපිළිවෙළ ජයග්‍රහණය කරා මෙහෙයවන බව ජනපති පවසයි.

 ජනපතිට ආශිර්වාද පළකරමින් ආගමික වැඩසටහන් රැසක්
 බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට ජනපතිගෙන් උපහාර
 ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට
 දුම්බර මිටියාවත අස්වද්දන කළු ගඟ ජලාශය ජනතා අයිතියට පැවරේ


අදින් සිව් වසරකට පෙර තමා මේ රටේ රාජ්‍ය නායකයා ලෙස පත්කර ගනිමින් ජනතාව තැබූ අපේක්ෂා ඉටුකිරීමට ගෙන ගිය වැඩපිළිවෙළේ සාර්ථක මෙන්ම අසාර්ථක වූ අවස්ථා ද තිබූ බවත්, එහි දී ලැබූ ජයග්‍රහණ තවදුරටත් තහවුරු කිරීමට කටයුතු කරනවා සේම ලැබූ පරාජයන් ජයග්‍රහණය කරා මෙහෙයවීමට ඉදිරි කාලසීමාව තුළ දී කැපවන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මේ බව අවධාරණය කළේ ලග්ගල නව හරිත නගරය අද (08) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදීමෙන් අනතුරුව පැවති ජන හමුව අමතමිනි.
ජනතාවගේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස තහවුරු කරමින් සියලු ජාතීන් බියෙන් සැකෙන් තොරව ජීවත්වන සමාජයක් ගොඩනැගීම මෙන්ම නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැගීමට සහ ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ඉකුත් සිව් වසර තුළ වැදගත් පියවර රාශියක් ගත් බව ජනාධිපතිතුමා මෙහි දී සිහිපත් කළේය.
රට ගොඩනැගීමට ප්‍රබලතම අභියෝගයක්ව පවතින වංචාව, දූෂණය සහ අක්‍රමිකතාවය පිටුදැකීමට පසුගිය සිව් වසර තුළ සුවිශේෂී කැපකිරීමක් සිදු කළ අතර ඉකුත් අත්දැකීම් ආශිර්වාදයක් කර ගනිමින් දූෂණය සහ වංචාව පිටුදැකීමට ශක්තිමත් වැඩපිළිවෙළක් ඔස්සේ අත්වැල් බැඳ ගැනීමට එක් වන ලෙස ජනාධිපතිතුමා මෙහිදී සියලුදෙනාට ආරාධනා කළේය.
එමෙන්ම මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ අද රටට අවශ්‍ය වන්නේ පක්ෂ පාටවලට බෙදී බලය ගැන පමණක් සිතා පෞද්ගලික න්‍යාය පත්‍රවලට අනුව කටයුතු කරන පිරිසක් නොව පොදු න්‍යාය පත්‍රයක් අනුව රට ගැන සිතා කටයුතු කරන පිරිසක් බවත්, අලුතින් සිතා, අලුතින් සැලසුම් කර අලුත් ගමනක් යාමට ලැබූ නව වසරේ අත්වැල් බැඳගන්නා ලෙස තමා සියලුදෙනාට ආරාධනා කරන බවත් ය.
රජ රට ජනතාවගේ ජල ගැටලුව විසඳීම සඳහා මොරගහකන්ද – කළු ගඟ දැවැන්ත වාරි යෝජනා ක්‍රමය ක්‍රියාත්මක කළා සේම, තමාට සැබෑ ලෙසම සතුටු විය හැක්කේ උතුරේ ජනතාවගේ ජල ගැටලුවට ද නිසි විසඳුමක් ලබා දුන් දිනක බව ජනාධිපතිතුමා සඳහන් කළේය.
නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය මෙන්ම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත්විය හැකි සමාජයක් ගොඩනැගීමේ පුළුල් මෙහෙවර ඉටුකිරීමේ දී ජාතින් අතර සමඟිය සහ සංහිඳියාව ගොඩනැගීමට කළ හැකි සෑම කාර්යයක්ම ඉටුකරන බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
පොදුජන අපේක්ෂාවන් ඉටුකරමින්, සාමකාමී දේශයක් සහ තිරසර සංවර්ධනයක් ගොඩනැගීමේ අරමුණින් 2015 ජනවාරි 08 වනදා මෙරට හැට දෙලක්ෂයකට අධික ජනතාවගේ ඡන්දයෙන් ජනාධිපති ධුරයට පත් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, සිය ධූරයට පත්ව අදට සිව් වසරක් සපිරේ.
ඒ නිමිත්තෙන් ජනපතිට ආශීර්වාද පළ කරමින් ආගමික වතාවත් ස්ථාන රැසක දී පැවැත්වුණු අතර, සර්ව රාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනයක් ඊයේ (07) රැය පහන්වන තුරු ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි. අද උදෑසන මහා සංඝරත්නය විෂයෙහි හීල් දානමය පුණ්‍ය කර්මයක් සිදු කෙරිණි.
මේ අතර අද උදෑසන ජනාධිපතිතුමා විසින් සිය කටයුතු ආරම්භ කරනු ලැබුවේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ පිළිරුවට පුෂ්පෝපහාර දක්වමිනි. දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 120 වැනි ඡන්ම දින සැමරුම නිමිත්තෙන් ගාලු මුවදොර පිහිටි බණ්ඩාරනායක පිළිරුව අභියස පැවති උත්සවයට එක්වූ ජනාධිපතිතුමා පිළිරුවට මල් කළඹක් තැන්පත් කර පුෂ්පෝපහාර දැක්වීය.
“මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” ආර්ථික හා සංස්කෘතික පුනරුදයේ, පස් අවුරුදු පිවිසුම සනිටුහන් කරමින් මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් යටවන පැරණි ලග්ගල නගරය වෙනුවට ඉදිකළ ලග්ගල නව හරිත නගරය ජනතා අයිතියට පවරාදීමේ අවස්ථාවට ඉන් අනතුරුව ජනාධිපතිතුමා එක් විය.
මොරගහකන්ද ජලාශයට සම්බන්ධ අනෙක් මහා ජලාශය වන කළුගඟ ජලාශය ද අද ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පවරාදීම සිදු විය.
නවීන පහසුකම්වලින් සමන්විත අංග සම්පූර්ණ නව ලග්ගල නගරය එම ජනතාවට හිමි වූයේ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා රජ රට ජනතාව වෙනුවෙන් දුටු සිහිනයක් ඉටුකරමින් දශක හතරකට පසු මෙරට ඉදිකළ විශාලතම බහුකාර්ය ව්‍යාපෘතිය වූ මොරගහකන්ද- කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතියේ තවත් අතුරු ප්‍රතිඵලයක් ලෙසිනි.
මොරගහකන්ද – කළුගඟ ව්‍යාපෘතියෙන් අවතැන් වන පවුල් 3000 කගේ සේවා අවශ්‍යතා සපුරාලමින් කළුගඟ ජලාශයට යටවන ලග්ගල නගරය වෙනුවට කළුගඟ ජලාශයට නුදුරු ව නව ලග්ගල නගරය ඉදිකර තිබේ. අනාගත අවශ්‍යතාවයන් සලකා බලමින් හා නව නාගරික සංකල්පය වන, උද්‍යාන නගර සංකල්පයට අනුව මෙම නගරය සැලසුම් කර තිබෙන අතර, මුළු ආයෝජනය රුපියල් මිලියන 4500 කි.
ලග්ගල නව නගරයේ රාජ්‍ය ආයතන 26ක් සඳහා ගොඩනැගිලි ඉදිකර තිබෙන අතර මහජන සේවා සපයන එම ආයතන සියල්ල එකිනෙකට පහසුවෙන් සම්බන්ධ විය හැකි ආකාරයට සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ඒ අනුව ඉදිකෙරුණු ලග්ගල නව ප්‍රදේශීය රෝහල ජනතා අයිතියට පවරාදීම සහ පල්ලේගම මධ්‍ය මහා විද්‍යාලයේ පරිපාලන ගොඩනැගිල්ල සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.
එමෙන්ම නව නගරයේ ඉදිකළ නව ප්‍රදේශීය ලේකම් කාර්යාලය, පොලිසිය, ක්‍රීඩාංගණය, වෙළෙඳපොළ, බස් නැවතුම්පොළ, ගොවි ජන සේවා මධ්‍යස්ථානය, තැපැල් කන්තෝරුව, සෞඛ්‍ය මධ්‍යස්ථාන, මහා මාර්ග පද්ධති ඇතුළු රාජ්‍ය සේවා හා ප්‍රජා යටිතල පහසුකම් ජනතා අයිතියට පවරාදීම මැති ඇමතිවරුන් අතින් අද සිදු කෙරිණි.
මැති ඇමතිවරු රැසක් එම අවස්ථාවන්ට එක්ව සිටියහ.
මෙම සියලු සංවර්ධන කටයුතු ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ජනාධිපති ධූරයට පත්ව සිව් වසරක් සපිරෙන අද දිනයේ ජනගත කරන ලද්දේ, ජනතා හිත සුව පිණිස ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිව් වසරක් පුරා ගෙන ගිය සංවර්ධන වැඩපිළිවෙළේ තවත් මහඟු ප්‍රතිලාභයන් ලෙසිනි.


නව ලග්ගල නගරය ජනතා අයිතියට පත් කිරීමේ උත්සවය අමතා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සිදුකළ කතාව. 2019-01-08


අපේ රටේ ජාතික ආර්ථිකයේ ප්‍රබල, පුළුල්ම බලවේගය වූ ගොවි ජනතාව ගේ ආර්ථිකය නඟාසිටුවමින්, එයින් ජාතික ආර්ථිකයට යෝධ ජවයක් සපයන මොරගහකන්ද කළු ගඟ ව්‍යාපාරයේ එක් වැදගත් පියවරක් තබන දිනක මේ ආදරණීය ජනතාව හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.
අද ජනවාරි 08 වෙනිදා. 2015 ජනවාරි 08 මේ රටේ ජනතාව මා කෙරෙහි විශ්වාසය තබලා, රටේ නායකයා වගේ ම ප්‍රධාන මහජන සේවකයා විදියට මාව පත් කරගෙන අදට වසර හතරක් සම්පූර්ණ වෙනවා. මේ අවුරුදු හතර තුළ මේ රටේ ජනතාව ගේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න, නිදහස ශක්තිමත් කරන්න, බියෙන් සැකෙන් තොරව ජීවත් වන සමාජයක් ගොඩනඟන්න, නිදහස් මාධ්‍යයක්, ස්වාධීන අධිකරණයක්, අපක්ෂපාති රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා පුළුල් පියවර රාශියක් අරගෙන ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට ගත් වැදගත් පියවර රාශියක් තිබෙනවා.
ගෙවී ගිය සිව් වසරක කාලය තුළ රටේ ජනතාව බලාපොරොත්තු වූ අරමුණු ඉෂ්ට කර ගන්න අපි ලොකු කැප කිරීමක් කර තිබෙනවා. එහි ප්‍රතිඵල රාශියක් තිබෙනවා. එහි බොහෝ සාර්ථකභාවයන් තිබෙනවා. ඒවගේම අසාර්ථකභාවයන් ද තිබෙනවා. ජය මෙන්ම පරාජය ද තිබෙනවා. ලැබූ ජයග්‍රහණ පිළිබඳව කතා කරනවා වගේම ලබා ඇති පරාජයන් පරාජය කර ඒවායින් ජයග්‍රහණය කරන්න ඉදිරි කාලසීමාව තුළ මම තමුන්නාන්සේලා වෙනුවෙන් කැපවෙනවයි කියන එක මේ අවස්ථාවේ සහතික කරනවා. ඒ ලැබූ ජය ගැන මා දිගට කතා කරන්නේ නැහැ. යහපාලන දේශපාලන සංකල්පයේ මූලික පදනම ලෙස සැලකූ රාජ්‍යයේ සහ රාජ්‍ය යාන්ත්‍රණයේ දූෂණය, වංචාව, නාස්තිය, හොරකම පරාජය කිරීමේදී අපි පරාජය වෙලා තිබෙනවා. මම එයයි කිව්වේ පරාජය වූ දේ ජයගන්න අපි සියලුදෙනාම නැවත අධිෂ්ඨානශීලිව එකතුවෙමු කියලා. සිව් වසරක අත්දැකීම් විමසත් දි, මේ රට ගොඩනඟන්න, මේ රටේ ජාතික ආදායම ශක්තිමත් කරන්න, ජනතාවට සුඛිත මුදිත ආර්ථිකයක් සමඟ ප්‍රබුද්ධ සමාජයක් ගොඩනඟන්න මේ රටේ අපට තිබෙන බරපතළම අභියෝගය දූෂණය, හොරකම, නාස්තිය සහ වංචාවයි. දේශපාලනඥයන් ගේ සිට පහළට ගලා ගිය මේ මහා ජාතික ව්‍යසනය මේ රටින් තුරන් කරන්න අපි සියලුදෙනා අත්වැල් බැඳ ගන්න ඕනෑ. මා ඊට වඩා ඒ ගැන කතා කරන්නෙ නැහැ.
අද ලග්ගල ලංකාවේ ප්‍රථම හරිත නගරය විවෘත කළා. මා දන්නා විදියට පෙර රජ දවසින් පසු අංගසම්පූර්ණ නගරයක් එකට ඉදි කර ජනතාවට භාර කළ ඓතිහාසික ලග්ගල හරිත නගරය ජනතාවට භාර කරලා අද අපි සතුටු වෙනවා. අපේ රටේ ඉතිහාසය ගැන යම් සුළු අවබෝධයක් අපට තිබෙනවා. 1948 නිදහසින් පසු ඩී. එස් සේනානායක මැතිතුමා දියුණු ගොවි ජනපද, සංවර්ධන යෝජනා ක්‍රම ගොඩනැංවීමට පෙරමුණු ගත් බව අපි දන්නවා.
මගේ පියාත් ඒ ගොවිජනපද ව්‍යාපාරයේ ගොවියෙක් බව ඔබ දන්නවා. පරාක්‍රම සමුද්‍රයේ දියකඳෙන් පෝෂණය වූ නිල්වන් කෙත්වතු යායක ආර්ථිකයෙන් පෝෂණය වු ගොවි දරුවෙක් මම. කැත්ත, උදැල්ල, හරකබාන, හොඳට පුරුදු කෙනෙක් මම. ඒ නිසා මගේ ජීවිතය හැඩ ගැසුණේ කෘෂි ආර්ථිකයක් එක්ක. වාරි ශිෂ්ටාචාරයක් එක්ක, මේ මහා සමාජ බලවේගත් සමග. මහවැලිය ගැන කියන විට මහවැලි මහා සැලැස්මේ අපි මේ අවසන් කරමින් සිටින්නේ අවසන් මහා යෝධ ව්‍යාපෘතියයි. කොත්මලේ, වික්ටෝරියා, රන්ටැඹේ, මාදුරුඔය, එය ආරම්භ කිරීමට පෙර පොල්ගොල්ල හැරවුම සිට පංචමහා ජලාශ වල මහා ව්‍යාපෘති රාශියක් අවසන් කරලා මහවැලි මහ සැලැස්මේ අවසන් ව්‍යාපෘතියයි මොරගහකන්ද කළුගඟ.
එදා මෙදා තුර කාලය තුළ මහා ශිෂ්ටාචාරයක් සහ නව මහවැලි ගොවි සංස්කෘතියක් සමග රටේ ජාතික ආර්ථිකය ශක්තිමත් කරන්න යෝධ කැපකිරීමක් කළ ඉංජිනේරුවන්, කම්කරුවන්, නිලධාරීන් බොහොදෙනෙක් සිටියා. ලංකාවේ පළමුවැනි මහවැලි ඇමති සී.පී.ද සිල්වා මැතිතුමා, මෛත්‍රීපාල සේනානායක, ගාමිණි දිසානායක, ගාමිණි අතුකෝරල ඔවුන් කිසිවිටෙකත් මට අමතක කළ නොහැකියි. සී.පී ද සිල්වා මැතිතුමා හැරුණුවිට අන් සියල්ලන්ම මා ඉතා ළඟින් ඇසුරු කර තිබෙනවා. සී.පී ද සිල්වා මැතිතුමා මා ඇසුරු කර නැහැ. පාසල් ශිෂ්‍යයෙක් විදියට, තරුණයෙක් විදියට, ගමේ ප්‍රශ්න ඉදිරිපත් කරන්න ඒ කාලයෙත් පෙත්සම් ලියාගෙන සී.පී ද සිල්වා මැතිතුමා හමුවෙලා තිබෙනවා.
එදා මෙදා කාලය තුළ ලංකාවේ ප්‍රමුඛතම බහුකාර්ය යෝජනා ක්‍රමය විදියට ජාතික ආර්ථිකය ගොඩනැගීමේ ව්‍යාපෘතිය රටට ඉමහත් වූ ඵලදායී වූ ප්‍රතිඵල රාශියක් ලබා දී තිබෙනවා. සිය දැනුම, බහුශ්‍රැතභාවය, ජාතියේ අනන්‍යතාවය සඳහා පූජාකළ මේ රටේ කීර්තිමත් විශිෂ්ට ඉංජිනේරුවරයෙක් වූ, මහවැලි ව්‍යාපාරයට මහා ශක්තියක් වූ ආචාර්ය ඒ.එන්.එස් කුලසිංහ මහතා මා මෙහිදී විශේෂයෙන් සිහිකළ යුතුයි. 90 දශකයේ අග භාගයේ මොරගහකන්ද කළුගඟ මහා වනාන්තරයට නියෝජ්‍ය ඇමතිවරයෙක් විදියට මාව එක්කගෙන ඇවිත්, මහා ගල් කඳුවල මාව එක්කගෙන ගිහින් ජලාශය මෙතැනයි, උමඟ මෙතැනයි ආදි වශයෙන් මට පෙන්වපු ආචාර්ය කුලසිංහයන්ගේ නමින් මා මොරගහකන්ද ජලාශය නම් කළේ ඔහු වගේ ම මේ රටේ මුළුමහත් තාක්ෂණික සේවයේ සිටින අවංක, රට වෙනුවෙන් කැපවන සියලු ඉංජිනේරුවරුන්ට ගරු කිරීම සඳහා.
අපි අද උදේ මේ වැඩේ පටන්ගත්තා. මම ආරාධනා කළා ආණ්ඩුවේ මැතිඇමතිවරුන්ට. මැති ඇමතිවරුන් රාශියක් ආවා මේ වැඩේට. අද පාර්ලිමේන්තු දවසක්. ඒ නිසා ඒ සියලු දෙනාම ඒ කටයුතු අවසන් කරලා පාර්ලිමේන්තුවට සහභාගීවන්න ගියා. ඒ සියලු දෙනාට මම මගේ ස්තුතිය පළකරනවා මෙම අවස්ථාවට පැමිණ, විවෘත කිරීම් කරලා මටත් ජනතාවටත් ලබාදුන් සහය පිළිබඳව. ඉරිතැලුණ මහ පොළොව තෙත් කළ, ඉරිතැලුණ සිත් සනසා සිසිල් කළ කළුඟග මොරගහකන්ද මහා ජලාශය අපි ජනතා අයිතියට පත්කළා. 2016-07-25 වනදා අපි කළුගඟේ නිධන් වස්තු තැන්පත් කරලා වේල්ල ඉදිකරන තැන වේල්ලේ වැඩ කටයුතු අවසන් කළා. කළුගඟ හරස්කොට ඉදිවූ මේ මහා ජලාශයේ ධාරිතාව ඔබ දන්නවා අක්කර අඩි දෙලක්ෂයක්. අපි දැනට ජලය නිකුත් කර තිබෙන මොරගහකන්ද ජලාශයේ අක්කර අඩි හාරලක්ෂ හැටදහසක් ධාරිතාවයක් තිබෙනවා. ලංකාවේ විශාලතම ජලාශය සේනානායක සමුද්‍රය, දෙවැනි ජලාශය මේ කළුඟග මොරගහකන්ද බව ඔබ සෑම කෙනෙක්ම දන්නවා.
විශේෂයෙන් මම සඳහන් කරන්නට ඕනෑ මෙම ව්‍යාපෘතිය පිළිබඳව කතා කරන විට ලග්ගල හරිත නගරයට විතරක් අපි රුපියල් කෝටි 215කට වැඩි ප්‍රමාණයක් වියදම් කර තිබෙනවා. අලුත් ගොඩනැගිලි 112 ක් හදලා තියෙනවා. මේ ප්‍රදේශයේ මාර්ග පද්ධතිය හදන්න කෝටි 955කට වැඩියෙන් වැය කරලා තියෙනවා. පානීය ජල යෝජනා ක්‍රමය සදහා ආයෝජනය කෝටි 450කට වැඩියි. මේ මොරගහකන්ද කළුගඟ මහා ජලාශ ව්‍යාපෘතිය යටතේ ඉහළ ඇළහැර, මිනිපේ මහ ඇළ, වයඹ මහ ඇළ මේ වනවිට වැඩ කරගෙන යනවා. මේ සියල්ල සඳහා මුළු ආයෝජන වියදම රුපියල් කෝටි 26000 යි.
මෙවැනි යෝධ ආයෝජනයක් ලංකාවේ කිසිම සංවර්ධන වැඩසටහනකට ආයෝජනය කර නැහැ. මේ තමයි ලංකාවේ විශාලතම ආයෝජනය රටේ ජාතික සංවර්ධනය සඳහා. මේ තුළ ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ මේ ජීවත්වන ලග්ගල ප්‍රදේශයේ ජනතාවට වගේම පළාත් පහක ජීවත්වන ජනතාවගේ ආර්ථිකය ශක්තිමත් කරමින් සුඛිත මුදිත අනාගතයක් ඔවුන්ට ලබාදීමයි. දුගී භාවයෙන් පෙළෙන මේ රටේ දුප්පතුන්ගේ දුක් කඳුළු පිස දමන්නට දුප්පත්කම අප විසින් ජයගත යුතු ප්‍රබලතම අභියෝගය බව ඔබ දන්නවා. දුගී භාවයෙන් නිදහස් වෙන්නට නම් ලංකාවේ දූෂණය, වංචාව, නාස්තිය නැවතිය යුතුයි. ආර්ථික සංවර්ධනය ඇතිවිය යුතුයි. ආදායම් වර්ධනය විය යුතුයි. කෘෂිකර්ම මෙන්ම කාර්මික ක්ෂේත්‍රයේ නිෂ්පාදන වර්ධනය විය යුතුයි. වේගවත් විය යුතුයි. රටේ උගතුන්, බුද්ධිමතුන් වැඩි සමාජයක් බිහිවිය යුතුයි. ජාතියේ අනාගතය සඳහා උගතුන්ගෙන් පරිපූර්ණ වූ ජාතියක් බිහිවිය යුතුයි. ඒ සඳහායි අපි මේ සියල්ල කැප කරන්නේ. මම මේ උත්සවයට එනවිට මේ පාසලේ පුංචි දරුවෝ මඟේ ළඟට ඇවිත් මාව අල්ලගත්තා. මම ඇහුවා දරුවනේ ඇයි මොනවාද ඔයාලට අඩුපාඩු, අපි අද හොඳ පාසලක් විවෘත කළා නේද කියලා. දරුවෝ කිව්වා පාසල් විවෘත කළා තමයි ඒ වුණාට අපිට ඩෙස් පුටු නැහැ කියලා. අපිට පරිගණක නැහැයි කිව්වා. ක්‍රීඩා උපකරණ නැහැයි කිව්වා.
දෙමව්පියනි ඩෙස් පුටු නම් ඉක්මනින් දෙන්න බැහැ. හදලා දෙන්න ඕනෑ. මම ගිය සතියේ ටෙන්ඩර් එකක් අත්සන් කළා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් ඩෙස් පුටු හදලා පාසල්වලට දෙන්න. පළාත් සභාවේ හෝ අධ්‍යාපන අමාත්‍යාංශයේ තිබෙනවා නම් මම ඉක්මනින් එවනවා. නමුත් මට කියන්න බැහැ එහි තත්ත්වය කුමක්ද කියලා. මාස කිහිපයක් පසුවී හෝ මම ඩෙස් පුටු ටික එවනවා වගේම ඉදිරි සතියක් දෙකක් ඇතුළත ඒ දරුවෝ ඉල්ලපු සියලු දේ මේ පාසලට එවනවා කියන එක මම සඳහන් කිරීමට කැමතියි.
අපි මේ හරිත නගරය ගොඩ නගන්නේ කරන්නේ රටේ අනාගතය ගොඩ නගන්නයි. ඒ නිසා හෙට දවස හොඳ දවසක් කරන්න, මේ රටේ දරුවන්ගේ සිහින සැබෑ කරන්න අපි සියලු දෙනා කැපවිය යුතු වෙනවා. අපි මේ ජලය දීලා සැනසෙනවා වගේම මම පැහැදිලිව කියන්නට ඕනෑ සැබෑ ලෙසම සැනසෙන්න පුළුවන් වෙන්නේ උතුරේ ජනතාවගෙත් ජල ප්‍රශ්නය විසඳපු දවසටයි කියන එක. මාස හත අටකට පෙර මුලතිව්, කිළිනොච්චි, මන්නාරම්, වව්නියා ප්‍රදේශවලට ගිය වෙලාවේ ඒ ප්‍රදේශවල ජල ප්‍රශ්නය උග්‍රවෙලා තිබුණා නියඟයත් එක්ක. ඒ ප්‍රදේශවල ජනතාව සතියකට සැරයක් ලොකු ට්‍රැක්ටර්වල නැගලා නාන්න යනවා. ගම්වල බොන්න වතුර නැහැ අලුතින් වතුර මුදලාලිලා හැදිලා ජල සම්පත් මණ්ඩලයවත් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගෙන්වත් කිසිදු නිරීක්ෂණයක් පරීක්ෂණයක් නොමැතිව ඔවුන් මහා ලොකු බැරල් වලට වැව්වලින් ජලාශවලින් ගම්වලට ගෙනල්ලා වතුර විකුණනවා. වතුර බෝතලයක් රුපියල් දෙකත් දහයත් අතර මිලට අලෙවි කරනවා.
එක් පැත්තකින් පානීය ජල හිඟයෙන්, අනෙක් පැත්තෙන් කෘෂි කාර්මික නිෂ්පාදනයට අවශ්‍ය ජලය නැතිකමින් ඔවුන් දුගීභාවයේ අන්තයේ සිටින්නේ. ඒ නිසා මම ජනාධිපති ධුරයට පත් වෙලා වසර 4 ක් සම්පූර්ණ වෙන වේලාවේ නව වසරකට ප්‍රවේශ වෙන වේලාවේ මම පැහැදිලව කියන්නට ඕන නිදහස, ප්‍රජාතන්ත්‍රවාදය, ආර්ථික සමෘද්ධිය වගේම ජනතාවට බියෙන් සැකෙන් තොරව ජීවත් වීමේ පුළුල් සමාජ මෙහෙවර ඉටුකිරීමේදී ජාතීන් අතර සමඟිය සංහිදියාව ඇති කරන්නට කළ හැකි සියලු කැපකිරීම් අපි කරනවයි කියන එක. ඒ වෙනුවෙන් දේශපාලන පක්ෂ පාට අමතක කරලා රට ගොඩනගන්න සියලු දෙනා එකට එකතු විය යුතුයි. පක්ෂ පාටවලින් බෙදිලා හෙට දවසේ කොහොමද බලයට එන්නේ කියන න්‍යාය පත්‍ර නෙමෙයි අවශ්‍ය වෙන්නේ. එක් එක් පුද්ගලයින්ගේ න්‍යාය පත්‍ර නෙමෙයි අවශ්‍ය වෙන්නේ. රටේ දුගීභාවය, රටේ ආර්ථිකය, විනයගරුක සමාජයක්, අධ්‍යාත්මික සංවර්ධනය පුළුල් කරගත් සමාජයක් ගොඩනගන න්‍යාය පත්‍රය තුළ අවශ්‍ය වන්නේ. ඒ සඳහා සෑම කෙනෙක්ම අවංකව කැපවීමෙන් අධිෂ්ඨානශිලීව එකට එකතු විය යුතුයි.
දේශපාලන පක්ෂ දූෂිත වෙලා, දේශපාලනයේ සිටින බොහෝ නායකයින් දුෂිත වෙලා, දේශපාලනයට අලුතින් ප්‍රවේශ වෙන ප්‍රාදේශීිය සභාවේ මන්ත්‍රීවරයා දුෂිත වෙලා. රට ගොඩනගන්න තිබෙන ඒ අභියෝගය අපි තේරුම් ගත යුතුයි. ජනතාවට ලැබෙන වරම තුළ ජනතාව තීන්දු තීරණ ගැනීමේදී පැහැදිලිව රටට අවශ්‍ය වන්නේ රට ගොඩනගන්න, රටට ආදරේ කරන, පුද්ගලික න්‍යාය පත්‍ර පසෙක තැබූ, දේශපාලන පක්ෂවල බලය පිළිබඳ න්‍යාය පසෙක තැබූ අවංකව කැපවීමෙන් වැඩ කරන, දේශපාලනඥයින් පිරිසක් බව සිහි තබා ගත යුතුය. ඒ නිසා අපිට තිබෙන සම්ප්‍රදායන් සිරිත් විරිත් යහපත් දේ හොඳ දේ අපි ශක්තිමත් කළ යුතුයි, ආරක්ෂා කළ යුතුයි වගේ ම මේ නව තාක්ෂණයත් සමග හෙට දවසේ බිහිවෙන උගත් තරුණ පරපුරට විශේෂයෙන්ම යහපත් අනාගයක් සමග යහපත් රටක් ගොඩනගන්න අපි අලුතින් හිතන්නට ඕන, අලුතින් සැලසුම් කරන්නට ඕන, අලුතෙන් ගමනක් යන්නට ඕන. අලුතෙන් සිතලා, අලුතෙන් සැලසුම් කරලා, අලුතින් ගමනක් යන්න ලබපු නව වර්ෂයේ මේ රටේ සමස්ත ජනතාව අප සමඟ එක්ව අත්වැල් බැඳගමුයි කියන ගෞරවනීය ආයාචනය මහවැලි සංවර්ධන ව්‍යාපාරය වගේම රටේ පුළුල් ජාතික ආර්ථිකයක් සඳහා ලැබූ විශිෂ්ට ජයග්‍රහණයක උතුම් ඵලය භූක්ති විඳින්නා සේ එයින් වඩාත් ඵලදායි තත්ත්වයත් ලබාගන්න මේ ව්‍යාපෘතියේ ඉතිරි වැව් 2400 සහ මහා යෝධ ඇළවල් තුනේ කටයුතු සම්පූර්ණ කරගත යුතුයි.
අද කළුගඟ ජනතා අයිතියට පත් කරපු වේලාවේ මං ඉංජිනේරු මහත්තයගෙන් ඇහුවා ජලාශයේ පිරිලා තියෙන ජල ධාරිතාවයේ ප්‍රමාණය කොච්චර ද කියලා එතුමා කිව්වා දැන් පිරිලා තියෙන්නේ 27% කියලා. මම දේවාශිර්වාදය වගේම තෙරුවන් සරණින් ප්‍රාර්ථනා කරනවා ඉදිරි මාස කිහිපය තුළ මොරගහකන්ද ජලාශය සේම පිටාර ගලන්නට කළුගඟ ජලාශයේ ජලය එක් රැස් වී, ස්වභාවධර්මයේ ආශිර්වාදය ලබා, මේ රටේ දුගී දුප්පත්කම තුනී කරන්න නැති කරන්න යහපත් සමෘද්ධිමත් ආර්ථිකයක් ගොඩනගන්න දුප්පතුන්ගේ කඳුළු පිසදාන්න සෑම කෙනෙකුටම යහපත් ආර්ථිකයක් ඇතිකරන්න ඒ ආශිර්වාදය අපිට ලැබෙන්න කියලා.
අද මේ කටයුතුවලට සහභාගී වී උදේ සිට අපිට ආශිර්වාද කළ වන්දනීය පූජනීය මහා සංඝරත්නය, අනෙකුත් සියලුම පූජකතුමන්ලා සියලු මැති ඇමතිවරු සියලු රාජ්‍ය නිලධාරින් ගම්වාසී සියලු දෙනා පැමිණි ඔබ සැම අනුග්‍රහය සහයෝගය සහභාගීත්වය සහ කැපවිම් කළ සියලු දෙනාටම රජය වෙනුවෙනුත් පෞද්ගලිකවත් මගේ ගෞරවනීය ස්තූතිය පුද කරමින් ලැබු 2019 වර්ෂය වඩාත් වාසනාවන්ත සුබවාදී වර්ෂයක් ලෙස රටේ අනාගතයේ ඉදිරියට යන්නට අප සියල්ල එක් වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබෙන් සමුගන්නවා.
ස්තූතියි

L1

L2

L3

L4

L5

L7

L8

L9

L10

L

{jathumbnail off}

 ඒ අනුව කටයුතු කරන්නැයි අගමැති ඇමැතිවරුන්ට කියයි

රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථාවල සභාපතිවරු සහ අධ්‍යක්ෂ මණ්ඩල සාමාජිකයින් පත් කිරීම සඳහා ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ උපදෙස් මත ජනාධිපති ලේකම්වරයා විසින් නිකුත් කළ චක්‍රලේඛය ඉතා හොඳ පියවරක් බැවින් ඒ අනුව කටයුතු කරන ලෙස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එක්සත් ජාතික පෙරමුණේ ඇමැතිවරුන්ට දැනුම් දෙනු ලැබීය.
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙම දැනුම්දීම කළේ කොළඹ අරලියගහ මන්දිරයේදී ඊයේ (06) පැවැති මැති ඇමැතිවරුන්ගේ හමුවකදී අදහස් දක්වමිනි.
රාජ්‍ය , අර්ධ රාජ්‍ය, ව්‍යවස්ථාපිත මණ්ඩල සහ සංස්ථා සභාපතිවරුන් සහ අධ්‍යක්ෂවරුන් පත් කිරීම් සඳහා සුදුසුකම් බලා නිර්දේශ ඉදිරිපත් කිරිමට කමිටුවක් පත් කරමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදෙස් මත චක්‍රලේඛයක් නිකුත් කෙරිණි.
ජනාධිපති නියෝජිතයින් දෙදෙනෙක්, අග්‍රාමාත්‍ය නියෝජිතයින් දෙදෙනක් සහ මුදල් අමාත්‍යංශයේ නියෝජිතයෙක් ඉහත කමිටුවට ඇතුළත් වෙති.
රාජ්‍ය ආයතන ප්‍රධානීන් පත් කිරීම සඳහා චක්‍රලේඛයක් නිකුත් කරමින් කමිටුවක් පත්කිරීමට ජනපති ගත් තීරණය ඉතා හොඳ තීරණයක් බව කී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සියලු අමාත්‍යවරුන්ට ඒ අනුව කටයුතු කළ යුතු බව ද පෙන්වා දුන්නේය.

 ශාසනික අභිවෘද්ධිය උදෙසා ජනපති ඉටුකළා වූ මහඟු මෙහෙවර මහ නා හිමිවරුන්ගේ පැසසුමට

උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට ප‍්‍රකාශයට පත් කළා සේම එය උතුම් ලෝක උරුමයක් බවට පත් කිරීමේ මැදිහත්වීම ද තමා ඉදිරියේ දී සිදු කරන බව ජනාධිතිතුමා පවසයි.
අති පාරිශුද්ධ ථෙරවාදී බුදු දහමේ සාරය තවත් වසර දහස් ගණනක් ආරක්ෂා කරමින් පූජනීය ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ ජාතික මහෝත්සවය ගෞරවනීය මහා සංඝරත්නයේ ආශිර්වාදයෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (05) පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී පැවැත්වුණු අතර ජනාධිපතිතුමා එහිදී මේ බව ප‍්‍රකාශ කළේය.
වසර දහස් ගණනක් පුරා රැකගෙන ආ නිර්මල බුදුදහම ලෝකවාසී ජනතාවටත්, අනාගත පරපුරටත් නිවැරදි ලෙස ආරක්ෂා කොට පවත්වාගෙන යාමේ අරමුණින් මහා සංඝරත්නයේ උපදෙස් සහ මඟපෙන්වීම මත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් මෙම පුණ්‍ය කටයුත්ත සිදු කෙරිණි.
උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් බවට පත් කිරීමේ ඓතිහාසික කටයුත්තට උරදෙමින් ශාසනික අභිවෘද්ධිය උදෙසා ඉටු කළා වූ මහඟු මෙහෙවර පිළිබඳ මෙහිදී මහා සංඝරත්නයේ පූර්ණ ආශිර්වාදය, ප‍්‍රශංසාව සහ ඇගැයීම ජනාධිපතිතුමා වෙත පළ කෙරිණි.
විශේෂ අනුශාසනාවක් සිදු කළ ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ සඳහන් කළේ ජාතියේ, සම්බුද්ධ ශාසනයේ මෙන්ම සම්ප‍්‍රදායේ අභිවෘද්ධිය උදෙසා ජනාධිපතිතුමා ඉටුකළ මෙම උත්කෘෂ්ට කාර්යය සමස්ත මහා සංඝරත්නයේ දැඩි ප‍්‍රශංසාවට ලක් වන බවයි.
ධර්මය විකෘති කරමින් සිටින යුගයක එම බරපතළ තත්ත්වය පිළිබඳ රාජ්‍ය නායකයා ලෙස නිසි අවධානය යොමු කරමින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකළ මෙම කාර්යය එතුමාගේ ධූර කාලය තුළ ඉටුකළා වූ විශිෂ්ට කාර්යභාරයන් අතර ඉතා උතුම් කටයුත්තක් බව ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමිපාණන් වහන්සේ මෙහිදී ප‍්‍රකාශ කළහ.
අද දින සිදු කරන ලද මෙම උතුම් කටයුත්ත සේම 1818 කැරැල්ලේ දී රාජද්‍රෝහින් ලෙස නම් කළ අපගේ ජාතික වීරයන් එම අපවාදයෙන් ගලවා දේශපේ‍්‍රමින් ලෙස ජාතික වීරයන්ගේ නාමාවලියට ඇතුළත් කිරීමට ජනාධිපතිතුමා ගත් පියවර මෙරට මහා සංඝරත්නයේ දැඩි ප‍්‍රශංසාවට ලක්ව තිබෙන බව ද උන්වහන්සේ පෙන්වා දුන්හ.
පුණ්‍ය මහෝත්සවය ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ මෙම ඓතිහාසික කටයුත්ත මගින් උතුම් ති‍්‍රපිටකය විකෘති අර්ථ විවරණයන්ගෙන් බේරාගෙන ඊට නෛතික ආරක්ෂාව සැලසීමට හැකි වන බවයි. මින් ඉදිරියට රජයේ අවසරයකින් තොරව ති‍්‍රපිටකය සංස්කරණයට, පරිවර්තනයට හෝ අනිසි කටයුතුවලට භාවිතා කිරීමට කිසිවෙකුට ඉඩක් නොලැබෙන අතර. මින්පසු ති‍්‍රපිටකය පරිවර්තනයට හා සංස්කරණයට ඉඩ ලැබෙන්නේ ප‍්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණක් බවත්, මේ අයුරින් රාජ්‍ය මැදිහත්වීම සිදුකළේ උතුම් ති‍්‍රපිටකයට අවැඩ සඳහා වන සියලු කටයුතු වළක්වාලීමට බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.
ති‍්‍රපිටකය ආරක්ෂා කරන අතරම ඉර හඳ මෙන් බබළන එහි විවෘත භාවය උදෙසාත් කටයුතු කිරීම අප සතු වගකීමක් වන අතර බෞද්ධ සම්ප‍්‍රදායේ පිහිටමින් ශාස්තී‍්‍රය ලෙස බුද්ධ වචනය තේරුම් ගැනීම සඳහා කරන විමර්ශනයන්ට අනුබල දීමක් මෙමගින් සිදුවන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. මහා සංඝරත්නයේ අපේක්ෂාව හා අනුශාසනා පරිදි මෙම අත්‍යාවශ්‍ය තීරණයට තමා එළැඹියේ ධර්මයේ හැසිරෙන සහ බුද්ධ භාෂිතය පිළිබඳ අප‍්‍රමාණ ගෞරවාදරයකින් බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම උතුම් පුණ්‍ය කටයුත්ත තම ධූර කාලය තුළ ඉටු කිරීමට ලැබීම තම පුණ්‍ය මහිමයක් ලෙස සලකන බව ද කියා සිටියේය.
අද පෙරවරුවේ මාතලේ ඓතිහාසික අලුවිහාරය වෙත ගිය ජනාධිපතිතුමා සමරු ඵලකය නිරාවරණය කර උතුම් ති‍්‍රපිටකය ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීම සනිටුහන් කළේය.
අනතුරුව පැවති උත්සව සභාවේ දී ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමේ සන්නස් පත‍්‍රය ජනාධිපතිතුමා විසින් මහානායක හිමිවරුන් වෙත පිළිගැන්වීය.
ආලෝක විහාරාධිපති පූජ්‍ය ආචාර්ය ඉනාමලුවේ නන්දරතන හිමිපාණන් වහන්සේ විසින් විශේෂ සිහිවටන තිළිණයක් ලෙස ‘ධම්ම චක්ක ධම්ම’ සූත‍්‍රය ඇතුළත් පුස්කොළ පොත ජනාධිපතිතුමා වෙත පිළිගන්වන ලදි.
විද්වත් ලිපි සංග‍්‍රහයක් ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.
මෙම ඓතිහාසික කටයුත්ත සිහිපත් කරමින් සමරු මුද්දරයක් නිකුත් කෙරුණු අතර එය මහානායක හිමිවරුන් වෙත සහ ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීම සිදු විය.
ශ්‍යාමෝපාලි මහානිකායේ අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක පූජ්‍ය වරකාගොඩ ඤාණරතන නායක ස්වාමින් වහන්සේ, ශ්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු මහා විහාර පාර්ශ්වයේ අනුනායක පුජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින් වහන්සේ, ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත පූජ්‍ය කොටුගොඩ ධම්මාවාස මහානායක හිමිපාණන් වහන්සේ ප‍්‍රමුඛ දිවයිනේ නන්දෙසින් වැඩම කළ මහා සංඝරත්නය එක්දහස් පන්සීයකට අධික පිරිසක් ද බුද්ධ ශාසන අමාත්‍ය ගාමිණි ජයවික‍්‍රම පෙරේරා මහතා ඇතුළු මැති ඇමතිවරු, ආණ්ඩුකාරවරු, රාජ්‍ය නිලධාරින් ඇතුළු සැදැහවත් ජනතාව විශාල පිරිසක් මෙම පුණ්‍ය මහෝත්සවයට එක්ව සිටියහ.


ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත්කිරීමේ පුණ්‍ය මහෝත්සවයේ දී ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා විසින් සිදුකළ කතාව – 2019-01-05


අද මේ උතුම් පුණ්‍ය භූමියේ දී මුළු මහත් ලෝකවාසී බෞද්ධ ජනතාව පමණක් නොව සමස්ත ලෝක ජනතාවම ඓතිහාසික දාර්ශනික උරුමයක් සේ සලකන උතුම් ථේරවාදී දර්ශනය ඇතුළත් වූ ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට පත් කරන අවස්ථාව. මේ උතුම් කාර්යය රජය මගින් ඉටුකර ගැනීම සඳහා පසුගිය කාලය තුළ වන්දනීය මහා සංඝරත්නය අවස්ථා ගණනාවක දී ම අනුශාසනා කළා. උපදෙස් දුන්නා. ඉල්ලීම් කළා. අපිව දැනුවත් කළා. ඒ අනුව අපි රජය මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා 2018 සැප්තැම්බර් 13 වනදා අමාත්‍ය මණ්ඩල රැස්වීමට අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරනු ලැබුවා. මේ අමාත්‍ය මණ්ඩල සංදේශය අත්සන් කළේ මමත්, බුද්ධශාසන ඇමතිවරයාත්, එවකට සංස්කෘතික අමාත්‍යවරයා ලෙස කටයුතු කළ ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාත් විසින්. මේ කැබිනට් සංදේශයට අපි කරුණු කිහිපයක් ඇතුළත් කළා. පූර්ණත්වයට පත් වූ ථේරවාදී ත‍්‍රිපිටකය ක‍්‍රි.පූ 03 වන සියවසයේ දී සිදුවූ මහින්දාගමනයෙන් ශ‍්‍රී ලංකාවට උරුම විය. ශතවර්ෂ ගණනාවක් ශ‍්‍රී ලාංකික භික්ෂු පරපුර විසින් මුඛ පරම්පරාවෙන් ආරාක්ෂා කරගෙන ආ ථේරවාදී ත‍්‍රිපිටකය ක‍්‍රි.පූ 01 වන සියවසේ දී වලගම්බා රජු සමයේ මාතලේ ඓතිහාසික අලුවිහාරයේ දී ග‍්‍රන්ථාරූඪ කරන ලදී.
එම ග‍්‍රන්ථ ශ‍්‍රී ලංකාවේ පැරණි ම ග‍්‍රන්ථ වන අතර ඒවා ක‍්‍රි.ව 1956 වසරේ එළැඹි 2500 වන ශ‍්‍රී සම්බුද්ධ ජයන්ති සමරුවේ විශේෂ ව්‍යාපෘතියක් වශයෙන් සංස්කරණය කොට පූර්ණ ග‍්‍රන්ථාවලියක් වශයෙන් මුද්‍රණය කරන ලදී. අතිපූජ්‍ය බලංගොඩ ආනන්ද මෛත‍්‍රී නාහිමියන්ගේ අනුශාසනය පරිදි අතිපූජ්‍ය ලබුගම ලංකානන්ද නාහිමිපාණන්ගේ ප‍්‍රධාන සම්පාදකත්වයෙන් විද්වත් ස්වාමින් වහන්සේලාගෙන් සමන්විත සම්පාදක මණ්ඩලයක් විසින් පූර්ණ වශයෙන් ලියා රජයේ නිල ප‍්‍රකාශයක් වශයෙන් මුද්‍රණය කොට ඇත. ලොව ඇති ග‍්‍රන්ථ අතරින් ශ‍්‍රී ලංකාවේ ත‍්‍රිපිටකයට ප‍්‍රමුඛස්ථානයක් හිමිවේ. ථෙරවාදී රටවල් අතර ප‍්‍රමුඛත්වයක් ගන්නා ශ‍්‍රී ලංකාවේ බෞද්ධ දර්ශනයේ මූලික කරුණු ආරක්ෂා කිරීමට කටයුතු කිරීමට අවශ්‍ය වී ඇත. ඒ සඳහා මෙය ජාතික උරුමයක් බවට පත්කරන්නට රජයේ අනුමැතිය පළකරන සංදේශය අපි එදා ඉදිරිපත් කළා. ඒ අනුව අපි අපේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ මඟ පෙන්වීම මත අද මේ උතුම් අවස්ථාවට අපි සෑම කෙනෙක්ටම සහභාගී වෙන්න ලැබිලා තිබෙනවා.
ත‍්‍රිපිටකය වසර 2000 ක ට පෙර වලගම්බා රජ දවස ග‍්‍රන්ථාරූඪ කළා. එයින් පසුව මහා සංඝරත්නයේ මූලිකත්වය, සහ මඟපෙන්වීම් ඔස්සේ මේ අති උතුම් සද්ධර්මය සංරක්ෂණය කොට තැබීමේ ඓතිහාසික කටයුත්ත ඉටු කිරීමට ලැබීම පිළිබඳව අපි ඉතාමත් සතුටු වෙනවා. ඒ වගේම මා පෞද්ගලිකව සතුටු වෙනවා ජනාධිපතිවරයා වශයෙන් මගේ ධුර කාලය තුළ මේ මහා පුණ්‍ය කටයුත්ත කරන්න ලැබීම පිළිබඳ මගේ ජීවිතයේ මා පෙර කළ පිනක් වශයෙනුයි මා මෙහිදී සඳහන් කරන්නේ.
ප‍්‍රථම ධර්ම සංගායනාවේ දී බුදුරජාණන් වහන්සේ 45 වසක් පුරා දෙසූ ධර්මය විනය, සූත‍්‍ර, අභිධර්ම යනුවෙන් පිටක තුනකට බෙදා වෙන් කර ගැනුණා. ඒ උතුම් ධර්මය වසර 2600 ක් පුරා පරිශුද්ධ ව පවතිනුයේ බුදුන් වහන්සේ ජීවමාන කාලයේ දී ම ධර්මයේ ආරක්‍ෂාව සඳහා යෙදු විධිමත් ක‍්‍රියාමාර්ග නිසයි. බුදුන් වහන්සේ ගේ පරිනිර්වාණයෙන් පසු ශ‍්‍රාවකයන් වහන්සේලා තම දිවි හිමියෙන් ධර්මය සුරැකීම සඳහා යොදාගත් ක‍්‍රමවත් වැඩපිළිවෙළ නිසාත් ධර්මය ආරක්‍ෂා වුණා. ත‍්‍රිපිටක ධර්මය ඇසීමෙන් ධාරණය කොට වනපොත් කරමින් පාරම්පරික ව ආරක්‍ෂා කළ ඥාන සම්භාරයක්. ත‍්‍රිපිටකය නමැති මේ මහා ආගමික හා සංස්කෘතික උරුමය මුල් බුදුදහමේ පරිපූර්ණ ස්වභාවය හඳුනාගැනීමට ඇති මූලාශ‍්‍රය බව ඔබ සැම දන්නවා.
බුද්ධ පරිනිර්වාණයෙන් අවුරුදු 236 කට පසු මෙහි වැඩම කළ අනුබුදු මිහිඳු මාහිමියන් ප‍්‍රමුඛ සංඝයා වහන්සේලා අපට දායාද කළේ, මුල් සංගායනා දෙකෙහි දී සම්මත වී, තෙවැනි සංගායනාවේ දීත් අනුමත වූ අටුවා සහිත ත‍්‍රිපිටක ධර්මය යි. කලින් කලට ත‍්‍රිපිටක ධර්මයේ පැවැත්මට යම් යම් තර්ජන එල්ල වූ බව ඉතිහාසය විමසන විට පෙනී යනවා. දොළොස් වර්ෂයක් පැවතුණු බව කියන බැමිණිතියා සාය සමයේ අප‍්‍රමාණ දුක් අනුභව කරමින් ත‍්‍රිපිටක ධර්මය මතක ශක්තියෙන් පවත්වා ගැනීමට එවක භික්‍ෂූන් වහන්සේලා දැරුවේ අප‍්‍රමාණ ප‍්‍රයත්නයක්. මේ මහා සාගත කාලයේ ඇතැම් ස්වාමීන් වහන්සේලා රට හැර යන්නට ගියා. මෙහි නතර වූ භික්‍ෂුන් වහන්සේලා නෙළුම් දඬු, කර කොළ, මී පොතු ආදිය කමින් යන්තම් ජීවිත රැක ගනිමින් ත‍්‍රිපිටකය කටපාඩමේ තබා ගැනීමට දැරූ වෙහෙස මෙතෙකැ යි කිව නොහැකි යි. කටපාඩමින් ත‍්‍රිපිටකය පවත්වාගෙන යෑමේ දී ඇති විය හැකි අනාගත හානි පිළිබඳ අත්දැකීම දුර්භික්‍ෂයේ දී අපේ මහා සංඝරත්නයට ලැබුණා. ඒ සමග ම අනාගතයේ ක‍්‍රමානුකූල ව පුද්ගල මතක ශක්තිය හීන වී යෑමේ අන්තරායයක් ඇති බව උන්වහන්සේලාට අවබෝධ වුණා. ඒ නිසා ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීමට ශාසන භාරය දැරූ හිමිවරුන් තීරණය කළා.
මේ ඓතිහාසික මාතලේ අලුවිහාරය හෙවත් ආලෝක විහාරයේ දී ත‍්‍රිපිටකය ග‍්‍රන්ථාරූඪ කිරීම නිසා උදාර ශාසනික ප‍්‍රබෝධයක් ඇති වුණා. අතිශය ක‍්‍රමවත් ව ලියූ පරිපූර්ණ ත‍්‍රිපිටකයක් ලොවට ම උරුම වීමට මේ අලුවිහාරයේ දී සිදු කළ ත‍්‍රිපිටකය ලේඛනගත කිරීම හේතු වුණා. ස්වදේශීය අනන්‍යතාවෙන් යුත් බුදුදහමට මෙමගින් පදනම සැකැසුණා. මෙසේ ලිඛිත දායාදයක් බවට පත් වූ ත‍්‍රිපිටකය ආගමික, සංස්කෘතික මෙන් ම භෞතික වූ උරුමයක්. ඒ වගේ ම උතුම් ආධ්‍යාත්මික උරුමයක්. ත‍්‍රිපිටකය ජාතික උරුමයක් බවට නිල වශයෙන් ප‍්‍රකාශ කිරීම යනුවෙන් අර්ථවත් වන්නේ එය සිංහල ජාතියට පමණක් වන නීත්‍යනුකූල උරුමයක් කිරීම නොවෙයි. ජාතික යන වචනය ශ‍්‍රී ලාංකික යන පුළුල් අර්ථයෙනුයි අප අද වටහා ගන්නේ.
සැබැවින් ම ත‍්‍රිපිටකය අපේ ජාතික දායාදයක් වීමට පළමු එය පාලි භාෂාව ව්‍යවහාර කළ ලෝකයට අයත් වුණා. පාලි ත‍්‍රිපිටකය අග්නිදිග ආසියාවේ වෙනත් රටවලත් භාවිත වෙනවා. මේ රටේ සේවා කළ සුදු නිලධාරියකු වූ රීස් ඬේවිඩ්ස් මෙහි දී පාලිය ඉගෙන ගෙන යුරෝපයේ බුදුදහම ප‍්‍රචලිත කිරීමට කටයුතු කළා, පාලි පොත් සංගමය ආරම්භ කරමින්. එනිසා ථේරවාද ත‍්‍රිපිටකය අද අන්තර්ජාතික උරුමයක්. එය ජාතිකත්වයේ සීමාවන්ට කොටු වූ උරුමයක් නොවෙයි.
ත‍්‍රිපිටකය අද දවසේ මුළු ශ‍්‍රී ලංකාවේ ම උරුමයක් ලෙස පිළිගැනීමටත්, එ සේ සියලු ජාතීන් ගේ උරුමයක් ලෙස භේදයෙන් තොර ව සමාජගත වීමටත් අවශ්‍ය මූලික පදනම සකස් කිරීමට ත‍්‍රිපිටකය ජාතික උරුමයක් සේ ප‍්‍රකාශයට පත් කිරීම නිසා හැකි වෙනවා. ඒ සඳහා ත‍්‍රිපිටකයට නෛතික පදනමක් ලබා දීම ද මෙමගින් සිදු වෙනවා. විනයගරුක, ප‍්‍රඥාසම්පන්න සමාජයක් ගොඩනැඟීමට අපට ඇති ස්ථිරසාර ඥාන දර්ශනය ත‍්‍රිපිටකය බව වටහාගෙන ක‍්‍රියා කිරීම සඳහා අවශ්‍ය පරිසරය අප සියල්ලන් එක් ව ගොඩනැඟිය යුතු යි.
ත‍්‍රිපිටකය ලොව ඇති අති විශාල වූත් ග‍්‍රන්ථාරූඪ වූත් ඥාන සමුදාය යි. මෙරට ජනාධිපති වශයෙන් මාගේ බලතල ප‍්‍රකාර ව මේ ත‍්‍රිපිටක ධර්ම දායාදය සුවිශේෂ ජාතික උරුමයක් ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් ත‍්‍රිපිටකය විකෘති අර්ථ විවරණයන් ගෙන් බේරාගැනීම සඳහා වන නෛතික ආරක්‍ෂාව සැලසෙනවා. අද එක් එක් පුද්ගලයන් තමන් ගේ පෞද්ගලික වාසිය උදෙසා ත‍්‍රිපිටකාගත ධර්ම කරුණු වැරැදි ලෙස වටහා ගනිමින් විකෘති කිරීම් සහිත පොත් ලියා පළ කොට තිබෙනවා. ත‍්‍රිපිටකයේ ඇතැම් පාලි ශබ්දයන්ට වැරැදි අර්ථකථන දී තිබෙනවා. ඇතැමුන් ත‍්‍රිපිටකය සරල බසින් වටහා දීමට සිතා නව සංස්කරණ ඉදිරිපත් කරන බව පෙනෙනවා. පාලි බස පිළිබඳ විශාරද අවබෝධයක් නැති අය ලවා ඇතැම් ආයතන ත‍්‍රිපිටකය සිංහලයට පරිවර්තනය කර තිබෙනවා.
සමාජජාල වෙබ් අඩවිවල ද්වේශසහගත ධර්ම ප‍්‍රචාරයන්ට ත‍්‍රිපිටක ධර්මය යොදා ගත් අවස්ථා අප දකිනවා. ත‍්‍රිපිටකය ජාතික උරුමයක් සේ අද දින නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම නිසා මින්පසු රජයේ අවසරයකින් තොර ව ත‍්‍රිපිටකය සංස්කරණය කිරීමට හෝ පරිවර්තනයට අනිසි කටයුතුවලට භාවිත කිරීමට කිසිවකුටත් ඉඩක් නොමැති බව අතිපූජ්‍ය සංඝරත්නය ඉදිරියේ මා සඳහන් කරනවා. ඉතිහාසයේ ඇතැම් තර්ජනාත්මක කාලවල ථේරවාද බුදුදහම රැකගත්තේ රාජ රාජ මහාමාත්‍යාදීන් විසිනුයි. ඒ අයුරින් ම මේ මොහොතේ රජයේ මැදිහත්වීම සිදුවන්නේ ත‍්‍රිපිටක ධර්මයට අවැඩ සඳහා වන සියලු කටයුතු වළක්වාලීමට යි. ත‍්‍රිපිටකය පරිවර්තනයට හා සංස්කරණයන්ට මින්පසු ඉඩ ලැබෙන්නේ ප‍්‍රාමාණික විද්වත් මණ්ඩලයකට පමණයි.
ත‍්‍රිපිටකය ආරක්‍ෂා කරන අතරම ඉර හඳ මෙන් බබළන එහි විවෘත භාවය උදෙසාත් කටයුතු කිරීම අප සතු වගකීමක්. බෞද්ධ සම්ප‍්‍රදායයේ පිහිටමින් ශාස්ත‍්‍රීය ලෙස බුද්ධ වචනය තේරුම් ගැනීම සඳහා කරන විමර්ශනයන්ට අනුබල දීමත් මෙමගින් සිදුවෙනවා. මහා සංඝරත්නයේ අපේක්‍ෂාව හා අනුශාසනා පරිදි මේ අත්‍යවශ්‍ය තීරණයට මා එළැඹුණේ ධර්මයේ හැසිරෙන කෙනකු ලෙස යි.
එ සේ ම බුද්ධ භාෂිතය පිළිබඳ අප‍්‍රමාණ ගෞරවාදරයක් පෙරදැරිවයි. ධම්මෝභවේ රක්ඛති ධම්මචාරී. අපි සැමවිටම විශ්වාස කරන්නේ එයයි. ඒ වගේම අපි සැමවිටම විශ්වාස කරන්නට ඕන අපි රජය ජාතික උරුමයක් වශයෙන් මෙම ත‍්‍රිපිටකය ප‍්‍රකාශයට පත්කළා වගේම යුනෙස්කො ආයතනය මගින් මෙය උතුම් ලෝක උරුමයක් බවට පත්කිරීම සඳහා අපි එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගෙන් ඉල්ලීමක් කරනවා.
මේ උතුම් කටයුත්ත සඳහා මුල සිට අද දක්වාම මෙයට අපට අනුශාසනා කළ මඟපෙන්වූ මහා සංඝරත්නයටත්, මේ සඳහා දායක වූ සියලුම දෙනාටත්, මේ කටයුතු සඳහා දායක වූ ජනාධිපති කාර්යාලය, බුද්ධශාසන අමාත්‍යාංශය, සංස්කෘතික අමාත්‍යාංශය ඇතුළු සියලුම ආයතනවලටත්, මා රජය වෙනුවෙනුත් පෞද්ගලිකවත් මාගේ ස්තුතිය පළකරනවා.

07

08

09

10

11

13

14

{jathumbnail off}

 ඔස්ලෝ නුවර නියෝජ්‍ය නගරාධිපති කම්ෂාජිනී ගුණරත්නම් මහත්මිය (Khamshajiny Gunaratnam) ඊයේ (04) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමු වූවාය.

කොළඹ නගරය හා ඒ ආශ්‍රිතව පවතින දැඩි රථවාහන තදබදයට විසඳුමක් ලෙස සැහැල්ලු දුම්රිය මාර්ග පද්ධතියක් (LRT) ස්ථාපනය කිරීම මෙම වසර තුළ ආරම්භ කිරීමට නියමිත අතර ඒ සඳහා වැයවන ඇ.ඩො.මි. 1850 ක ණය ආධාර ලබාදීමට ජපානය එකඟතාවය පළකර තිබේ.

කොළඹ කොටුව සිට මාලඹේ දක්වා දුම්රිය ස්ථාන 16 කින් සමන්විත කි.මී. 17 ක් පමණ දිගින් යුක්ත මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතියට මූල්‍ය හා තාක්ෂණික ආධාර සැපයීමට ජපානයේ ජාත්‍යන්තර සහයෝගිතා ආයතනය (ජයිකා) ඉදිරිපත් වී ඇත.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් මෙම ණය ආධාර ලබාගැනීම පිණිස ඉදිරිපත් කරන ලද අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී ඇත. ඒ අනුව, ජයිකා ආයතනය විසින් 2018 – 2024 කාලය තුළ අදියර 6 කින් මෙම ණය මුදල ලබාදීමට නියමිත වන අතර මෙහි පළමු අදියර යටතේ ඇ.ඩො.මි. 260 ක් ලබාදීමට නියමිතයි. ඒ සඳහා ජයිකා ආයතනය සමඟ ගිවිසුමකට එළඹීමට අමාත්‍ය මංගල සමරවීර මහතා කරන ලද නිර්දේශයට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ.

ජපාන රජය විසින් 0.1% ක ඉතා අඩු සහන වාර්ෂික පොලී මත ලබාදෙන මෙම ණය මුදල අවු. 12 ක සහන කාලයක් සහිතව වසර 40 කින් ආපසු ගෙවීමට නියමිතය.

මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට යෝජිත අතර එහි වැඩකටයුතු මෙම වසර තුළ ආරම්භ කරනු ඇත.

කොළඹ නගරයේ සහ තදාසන්න ප්‍රදේශවල පවත්නා දැඩි රථවාහන තදබදය සැලකිල්ලට ගනිමින් ශීඝ්‍රගාමී ප්‍රවාහන පද්ධතියක් තුළින් ඵලදායී, කාර්යක්ෂම මගී ප්‍රවාහන ක්‍රමවේදයක් හඳුන්වා දීම රජයේ "දැක්ම 2025 : පොහොසත් රටක්" (V 2025) යන ප්‍රතිපත්තිය හරහා හඳුනාගෙන ඇත.

 පසුගියදා පැවති බංග්ලාදේශ මහ මැතිවරණයෙන් විශිෂ්ට ජයග‍්‍රහණයක් ලැබූ බංග්ලාදේශ අගමැතිනි ෂෙයික් හසීනා මහත්මිය වෙත ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය උණුසුම් සුබ පැතුම් පිරිනමයි.

ෂෙයික් හසීනා මහත්මිය වෙත විශේෂ පණිවිඩයක් යොමු කරමින් සිය සුබපැතුම් පළ කර තිබෙන ජනාධිපතිතුමා එළැඹි නව වසරේ සියලු කටයුතු සාර්ථක වේවා යි ද සුභාශිංසන පිළිගන්වා තිබේ.
ෂෙයික් හසීනා මහත්මිය නියෝජනය කළ අවාමි ලීගය විජයග‍්‍රහණය කරවීම මගින් බංග්ලාදේශයේ ජනතාව ෂෙයික් හසීනා මහත්මිය සහ ඇයගේ රජය ගෙන යනු ලබන ප‍්‍රායෝගික සහ සාර්ථක ප‍්‍රතිපත්ති පිළිබඳ තබා ඇති විශ්වාසය නැවත වරක් තහවුරු කර ඇති බව ජනාධිපතිතුමා සිය පණිවිඩයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.
බංග්ලාදේශය හා ශ‍්‍රී ලංකාව අතර අතීතයේ පටන් පවතින සම්බන්ධතා පොදු අභිලාෂය හා අන්‍යෝන්‍ය ගෞරවය පදනම් කර ගනිමින් වර්ධනය වී තිබෙන අතර, එම සබඳතා ආර්ථික, දේශපාලන, ආරක්ෂක සහ සංස්කෘතික ආදී පුළුල් ක්ෂේත‍්‍ර පුරා මේ වන විට පැතිර තිබෙන බව ද ජනාධිපතිතුමා පෙන්වා දී තිබේ.
දෙරට අතර පවතින මෙම ශක්තිමත් සබඳතාව සහ නොබිදෙන මිතුදම ඉදිරියේ දි තවදුරටත් ප‍්‍රවර්ධනය වනු ඇතැයි තමා විශ්වාස කරන බව ජනාධිපතිතුමා සිය පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.

 “Friends of Sri Lanka Group” හි සාමාජිකයින් ලෙස ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත යුරෝපා පාර්ලිමේන්තු සාමාජික දෙදෙනකු වන ලෝඩ් විලියම් ඩාර්ට්මවුත් සහ ජෙෆරි වැන් ඕර්ඩ්න් මුදල් හා ජනමාධ්‍ය ඇමති මංගල සමරවීර මහතා හමු විය.

මෙම හමුවේ දී පොදු ගැටලු පිළිබඳ දෙපාර්ශ්වයේ දැක්ම හුවමාරු කර ගත් අතර යුරෝපා සංගමයේ ජී.එස්. පී. සහනය යටතේ ශ්‍රී ලංකාවේ ප්‍රතිලාභ උපරිමයෙන් හිමි වන පරිදි ද්වීපාර්ශ්වීය වෙළෙඳ සහ සංචාරක සබඳතා වැඩි දියුණු කිරීමට එකඟ විය.
මේ අවස්ථාවට සංවර්ධන උපායමාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳ ඇමති මලික් සමරවික්‍රම මහතා, මහ භාණ්ඩාගාර සහ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස් සමරතුංග මහතා සහ මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂඨ උපදේශක මනෝ තිත්තවැල්ල මහතා ද සහභාගි විය.

DSC 5540

DSC 5560

DSC 5598

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter