නවතම පුවත්

 

 දෙරට අතර වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීමට අවධානය 

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු අග්‍රාමාත්‍ය ලී සියැන් ලුන්ග් (Mr Lee Hsien Loong) මහතා අතර හමුව ඊයේ (25) දහවල් සිදු විය.
දෙරට අතර පවතින වෙළෙඳ, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත්‍රයේ සබඳතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබඳව මෙහි දී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙඳ ගිවිසුම පිළිබඳව ද මෙහි දී අදහස් දැක්වූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කියා සිටියේ එය සකස් කිරීමේ දී ශ්‍රි ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව තිබෙන බවත්, ඒ සඳහා අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත් ය. ඉදිරියේ දී ඒ පිළිබඳව කටයුතු කිරීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.
එමෙන්ම කලාපයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා එක්ව කටයුතු කිරීම පිළිබඳව ද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර මත් උවදුර මැඬලීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය.
ශ්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිංගප්පූරුවේ විවිධ ක්ෂේත්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස් අධ්‍යාපනය ලබන ශ්‍රී ලාංකික සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් සිංගප්පූරු රජය දක්වන සහය පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහි දී සිංගප්පූරු අග්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.
මේ අතර ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපතිවරයා වන (Slim kiisler) මහතා ද අද ජනාධිපතිතුමා හමුවී සාකච්ඡා පැවැත්වීය.
පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ මගපෙන්වීමෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහි දී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයටම ආදර්ශයක් සපයමින් වැදගත් පියවර රැසක් තබා ඇති ශ්‍රී ලංකා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා, පරිසර අභියෝග ජය ගැනීම පිළිබඳව අද දින පැවති සමුළුවේ දී ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා ඒවා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනා වනු ඇති බව සඳහන් කළේය.
මේ අතර ලබන මාර්තු මාසයේ දී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙස ද ජනාධිපතිතුමා වෙත ඇරයුම් කළේය.
කාලගුණික දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග ජය ගැනීමේ දී මෙන්ම පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළේ දී එක්සත් ජාතින්ගේ සංවිධානය ශ්‍රී ලංකාවට ලබා දෙන සහය මෙහි දී අගය කළ ජනාධිපතිතුමා පොලිතින් තහනම වැනි දැඩි නීති රීති ක්‍රියාවට නංවමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබඳවත්, පරිසරය ආරක්ෂා කිරිම වෙනුවෙන් ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගනිමින් ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳවත් අමාත්‍යවරයා දැනුවත් කළේය.
ඇස්ටෝනියාව සහ ශ්‍රී ලංකාව අතර මේ වන විටත් පවතින ද්විපාර්ශ්වික සබඳතා නව ක්ෂේත්‍ර ඔස්සේ වර්ධනය කර ගැනීම පිළිබඳව ද මෙහි දී අවධානය යොමු විය.

එක්සත් ජාතීන්ගේ ආසියානු ශාන්තිකර කලාපීය පරිසර අමාත්‍යවරුන්ගේ සහ පරිසර ආයතන ප්‍රධානීන්ගේ සමුළුවේ ප්‍රධාන දේශකයා ලෙස සහභාගීවීමට සිංගප්පූරුව බලා පිටත්ව ගිය ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ සිංගප්පූරු ජනාධිපතිනි හලීමා යේකුබ් (Halimah Yacob) මැතිණිය අතර හමුව අද (24) පෙරවරුවේ සිදු විය.

සිංගප්පූරුවේ ඉස්තානා මන්දිරය වෙත ගිය ජනාධිපතිතුමා සිංගප්පූරු ජනාධිපතිනිය විසින් ඉතා සුහදශීලීව පිළිගත් අතර අනතුරුව නායක දෙපළ සුහද කථා බහකට එක් විය.
ශ්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර පවතින ද්වීපාර්ශ්වික සබඳතා ශක්තිමත් ලෙස ඉදිරියට ගෙන යාම පිළිබඳව මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර වර්තමාන ශ්‍රී ලංකාව දේශපාලන, සමාජ සහ ආර්ථික වශයෙන් මේ වන විට ඉදිරියට තබා ඇති වැදගත් පියවර පිළිබඳව ද සිංගප්පූරු ජනාධිපතිනිය ජනාධිපතිතුමා වෙත සිය ප්‍රශංසාව පළ කළාය.
එමෙන්ම ශ්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනිම සඳහා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ නායකත්වයෙන් ගෙන යන ශක්තිමත් වැඩපිළිවෙළ ද සිංගප්පූරු ජනාධිපතිනියගේ ඇගැයීමට ලක් විය.
ශ්‍රී ලංකා ජනාධිපතිතුමා වෙනුවෙන් සූදානම් කර තිබූ විශේෂ දිවා භෝජන සංග්‍රහයට ඉන් අනතුරුව ජනාධිපතිවරු එක් වූහ.

 ශක්තිමත් ආර්ථිකයක් සහ සාරවත් දේශයක් යන තේමාව යටතේ මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මහතා විසින් 2019 වසර සඳහා වූ අයවැය යෝජනාවලිය මාර්තු මස 05 දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත ය. එය වඩා ජනතාවාදී අයවැයක් බවට පත් කිරීමේ අපේක්ෂාවෙන් ඒ සඳහා ඇතුළත් කළ යුතු යෝජනා ඇත් නම් පෙබරවාරි මස 11 වැනි දින හෝ එදිනට පෙර ඉදිරිපත් කරන ලෙස මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය සියලු පාර්ශ්වකරුවන්ගෙන් හා මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

ප්‍රජාතන්ත්‍රවාදය, සංහිඳියාව සහ සංවර්ධනය යන තේමාවන් යටතේ ජනතා අභිලාෂයන් ඉටු කිරීම සඳහා රජයේ ප්‍රතිපත්ති සකස් කිරීමට වෘත්තිකයන්, විද්වතුන් මෙන් ම ආර්ථිකයේ ප්‍රධාන කොටස්කරුවන් වන කෘෂිකාර්මික, කාර්මික හා සේවා අංශවල නිරත වෘත්තිකයන්ගේ විශේෂ දායකත්වයක් ද මේ සඳහා මුදල් අමාත්‍යාංශය අපේක්ෂා කරයි.
මෙවර කාර්ය සාධනය පදනම් කරමින් ඉදිරිපත් කරනු ලබන අයවැය යටතේ රජයේ ව්‍යාපෘති සඳහා ප්‍රතිපාදන වෙන් කරනු ලබනුයේ ඒ සඳහා අදාළ අංශ වෙතින් ඉදිරිපත් කරනු ලබන ක්‍රියාකාරී සැලැස්මට අනුව වීම විශේෂත්වයක් වේ.
අයවැය - 2019 සඳහා වන තම යෝජනා;
අධ්‍යක්ෂ ජනරාල්,
වෙළඳ හා ආයෝජන ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුව,
මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශය,
මහ ලේකම් කාර්යාලය, කොළඹ - 01 යන ලිපිනයට හෝ,

. යන විද්‍යුත් තැපෑලට පෙබරවාරි මස 11 වැනි දින හෝ එදිනට පෙර යොමු කළ යුතු ය.

සමස්ත ශ‍්‍රී ලංකාවටම මහත් ව්‍යසනයක්ව පවතින මත්ද්‍රව්‍ය උවදුර පාලනය හා මර්දනය සඳහා ගරු ජනාධිපතිතුමා විසින් ගෙන යන වැඩපිළිවෙළේ දී පාසල් දරුවන් පිළිබඳ විශේෂ අවධානයක් යොමුව තිබෙන අතර, ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතියක් ප‍්‍රකාශයට පත් කර තිබේ.

පාසල් සිසු සිසුවියන් මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාවලියෙහි සකී‍්‍රය කොටස්කරුවන් බවට පත් කරන ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ සතිය ජනවාරි 21 වනදා සිට 28 වනදා දක්වා කි‍්‍රයාවට නංවා තිබෙන අතර එහි සමාරම්භක උත්සවය ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (21) පෙ.ව 9.00 ට මුලතිව් මුල්ලියාවෙලෙ විද්‍යානන්දන් මහා විද්‍යාලයේ දී පැවැත් වේ.
ඒ හා සමගාමීව උතුරේ පාසල්වල සිසු දරුවන් එක් ලක්ෂ පනස්දහසක් උදෑසන ශිෂ්‍ය රැස්වීමේ දී මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධ ප‍්‍රතිඥාව ලබාදීමට නියමිතය.
මත්ද්‍රව්‍ය නිවාරණ පාසල් සතිය තුළ ජනවාරි 21 වැනිදා මත්ද්‍රව්‍ය නිවාරණය සම්බන්ධයෙන් පන්ති කාමර තුළ දරුවන් දැනුවත් කිරීමේ කි‍්‍රයාකාරකම් ද, ජනවාරි 22 වැනිදා මවුපියන් පාසල වෙත කැඳවා පන්ති මට්ටමින් දරුවන් සමග සිදු කරන මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ද, ජනවාරි 23 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් වන නීතිමය කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන් ද සිදු කරනු ලබයි.
ජනවාරි 24 වැනිදා මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් දේශපාලන අධිකාරිය දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 25 වැනිදා විවිධ ජනමාධ්‍ය භාවිත කරමින් පාසල් තුළ හා පිටත මත්ද්‍රව්‍ය නිවාරණ පණිවුඩ ප‍්‍රචලිත කිරිම හා ජනමාධ්‍යවේදින් දැනුවත් කිරීමේ වැඩසටහන ද, ජනවාරි 26 වැනිදා ස්වේච්ඡා සංවිධානවල මත්ද්‍රව්‍ය නිවාරණ කි‍්‍රයාකාරකම් ඇතුළු වැඩසටහන් ද පැවැත්වීමට කටයුතු යොදා තිබේ. එමෙන්ම ජනවාරි 27 වැනිදා ආගමික ස්ථාන හා දහම් පාසල් හරහා මත්ද්‍රව්‍ය නිවාරණ කටයුතු කි‍්‍රයාවට නැංවෙයි.
මත්ද්‍රව්‍ය ජාවාරම් සහ ඒ හා සම්බන්ධ සංවිධානාත්මක අපරාධ පිළිබඳ පැමිණිලි ලබාදීම සඳහා හඳුන්වාදුන් 1984 ගාස්තු රහිත කෙටි දුරකථන අංකය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීම ද මෙම උත්සවයේ දී ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් සිදු වෙයි.
කිලිනොච්චිය හා මුලතිව් දිස්ති‍්‍රක්කවල ගංවතුරෙන් හානියට පත් පාසල් 11 ක ප‍්‍රතිසංස්කරණ කටයුතුවල මූලික වියදම් සඳහා මුදල් ප‍්‍රදානය, මුලතිව් දිස්ති‍්‍රක්කයේ පානීය ජල පහසුකම් නොමැති පාසල් 13 ක් සඳහා ජල පහසුකම් සපයා ගැනීමට මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ආදී වැඩසටහන් රැසක් ද කි‍්‍රයාවට නැංවේ.

 පිලිපීනයේ සිව් දින රාජ්‍ය සංචාරයක නිරත වූ ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මාතෘ භූමියට ප‍්‍රතිලාභ රැසක් සමගින් සිය රාජ්‍ය සංචාරය සාර්ථකව නිමවා ඊයේ (19) රාති‍්‍රයේ යළි දිවයිනට පැමිණියේ ය.

ජනාධිපතිතුමා පිලිපීන රාජ්‍ය සංචාරය ආරම්භ කළේ පසුගිය 15 වෙනිදායි. ඒ 58 වසරක දෙරට අතර රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතා තුළ පිලිපීන රාජ්‍ය සංචාරයක් සඳහා ශ‍්‍රී ලංකා රාජ්‍ය නායකයෙකුට ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමිනුයි.
ශ‍්‍රී ලංකාවේ ප‍්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප‍්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයාගේ කැමැත්ත පළ කෙරුණේ ද ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ සුවිශේෂී ප‍්‍රතිලාභයක් ලෙසයි.
එමෙන්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ පිලිපීන රාජ්‍ය සංචාරයේ තවත් විශේෂ කටයුත්තක් ලෙස පිලිපීනයේ ලොස් බානොස්හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනය සහ ශ‍්‍රී ලංකාව අතර පස් අවුරුදු කි‍්‍රයාකාරි සැලැස්මකට අත්සන් තැබීම ද සිදු විය. ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත කිරීම සඳහා වන ජාතික සැලැස්ම කි‍්‍රයාවට නැංවීමට අදාළව මෙම කි‍්‍රයාකාරී සැලැස්මට අත්සන් තැබුණු අතර ශ‍්‍රී ලංකාව සහලින් ස්වයංපෝෂිත රටක් බවට පත් කර ගැනීමේ ඉලක්ක සපුරා ගැනීම සහ දේශගුණික විපර්යාස සඳහා වන බලපෑම් අවම කර ගැනීම එහි අරමුණයි.
එමෙන්ම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා සිය ධූර කාලය තුළ උර දී සිටින සුවිශේෂීම කාර්යභාරය වූ නීතිවිරෝධි මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සඳහා පිලිපීන රජයේ සහය පළවීම ද මෙම සංචාරයෙන් හිමිවූ සුවිශේෂි ප‍්‍රතිලාභයකි. ඒ සඳහා ලබාදිය හැකි තාක්ෂණික උපදේශන සේවාවන් පිළිබඳ සොයා බැලීමට පිලිපීන විශේෂඥ කණ්ඩායමක් ළගදීම දිවයිනට පැමිණීමට නියමිත බව ප‍්‍රකාශ කෙරුණේ ජනාධිපතිතුමා පිලිපීන මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් පිලිපීන ජාතික පොලිස් සේවාවේ ප‍්‍රධානි ඇතුළු ජ්‍යෙෂ්ඨ නිලධාරින් සමග පැවති සාකච්ඡුාවේ දී ය.
ජනාධිපතිතුමා 15 වනදා රාති‍්‍රයේ මැනිලා නුවර නිනෝයි අකිනෝ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා වූ අතර එහිදී එරට වෙළෙඳ සහ කර්මාන්ත අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ‍්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
සිය සංචාරයේ පළමු කටයුත්ත සනිටුහන් කරමින් පිලිපීන විප්ලවයට උරදුන් ජාතික වීරයන් සිහිපත් කිරීම උදෙසා මැනිලා නුවර ඓතිහාසික නාගරික උද්‍යානය වන Rizal park හි ස්ථාපිත කර ඇති ස්මාරකය වෙත ගිය ජනාධිපතිතුමා මල් කළඹක් තැන්පත් කර ඊට පුෂ්පෝපහාර දැක්වීය.
ඉන් අනතුරුව පිලීපන ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස් වෙත ගිය ජනාධිපතිතුමාට පිිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙරතේ මැතිතුමාගෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. දෙරට අතර ආර්ථික, වෙළෙඳ සහ සංස්කෘතික සබදතා නව ප‍්‍රවේශයන් ඔස්සේ ඉදිරියට ගෙන යාම පිළිබඳ එහිදී රාජ්‍ය නායකයන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ අතර දෙරට අතර එම සබඳතා සවිමත් කර ගැනීම සඳහා නව ගිවිසුම් 05 කට අත්සන් තැබුණේ ද රාජ්‍ය නායකයන් ඉදිරියේ යි.
මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙනුවෙන් පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා විසින් පිළිගන්වන ලද විශේෂ රාති‍්‍ර භෝජන සංග‍්‍රහය 16 වනදා රාති‍්‍රයේ මලකන්යන්ග් පැලස් හි දී පැවැත්විණි. එහිදී සුවිශේෂී සමරු තිළිණයක් ලෙස ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ රුව සහිත ආලේඛ්‍ය චිත‍්‍රයක් පිලිපීන ජනාධිපතිතුමා විසින් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත පිරිනැමුයේ සිය හෘදයාංගම මිත‍්‍රත්වය තහවුරු කරමිනුයි.
පිලිපීන ශ‍්‍රී ලංකා රාජ්‍ය නායක හමුවෙන් පසු පිලිපීන ජනාධිපති රොඩ්රිගෝ දුතෙර්තේ මැතිතුමා මාධ්‍ය අමතමින් කියා සිටියේ විශ්වාසනීය මිත‍්‍රත්වයක් සමග පිලිපීන – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත් කර ගැනීමට කැපවන බවයි.
ශ‍්‍රී ලංකාවට සහය පළ කිරීමට පිලිපීන ජනාධිපතිවරයාගේ මගපෙන්වීමෙන් ඉදිරියේ දී එරට රජය කි‍්‍රයාවට නංවන සියලු වැඩසටහන්වලට පිලිපීන පාර්ලිමේන්තුවේ එකඟතාවය එකහෙළා ප‍්‍රකාශ කරන බව පිලිපීන කථානායකවරිය ජනාධිපතිතුමා හමු වූ අවස්ථාවේ දි සඳහන් කළාය.
සිය සංචාරයේ දී මැනිලා නුවර ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවක නිරත වූ ජනාධිපතිතුමා ලොස් බානොස් හි පිහිටි ජාත්‍යන්තර සහල් පර්යේෂණායතනයේ නිරික්ෂණ චාරිකාවකට ද එක් විය. ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ තවත් සුවිශේෂී සිදුවීමක් වූයේ ජාත්‍යන්තර සහල් පර්යේෂණායතන භූමියේ එක් බිම් කොටසක් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ නමින් නම් කිරීමට පියවර ගෙන තිබීමයි. කෘෂිකර්මාන්තය කෙරෙහි කැපවීමක් සහ ළැදියාවක් දක්වන නායකයෙකු ලෙස එතුමාට සිදුකරන උපහාරයක් ලෙස මේ සඳහා කටයුතු කර තිබුණි.
1961 වසරේ ආරම්භ කෙරුණු ශී‍්‍ර ලංකා – පිලිපීන රාජ්‍ය තාන්ති‍්‍රක සබඳතාවල සුවිශේෂී කඩඉමක් වසර 58 කට පසු සනිටුහන් කරමින් මාතෘ භූමියට ප‍්‍රතිලාභ රැසක් සමගින් ජනාධිපතිතුමාගේ පිලිපීන සංචාරය නිමාවට පත් විය.

 මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ශ්‍රී ලංකාවට අවශ්‍ය තාක්ෂණික සහය ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුව සූදානමින් 

දේශගුණික විපර්යාසවලින් සිදුවන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා ද ශ්‍රී ලංකාවට ආසියානු සංවර්ධන බැංකුවේ සහය


ශ්‍රී ලංකාවේ ප්‍රමුඛ ව්‍යාපෘති 03ක් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් මිලියන 455ක ණය සහ ප්‍රදානයක් ලබාදීමට ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා හමුවේ එකඟ වෙයි.
පිලිපීනයේ රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (17) පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ නිරික්ෂණ චාරිකාවකට එක් වූ අතර, එහිදී එහි සභාපති තකෙහිකෝ නාකාඕ (Takehiko Nakao) මහතා සමග පැවති සාකච්ඡාවේ දී මෙම එකඟතාවය පළ කෙරිණි.
මෙයින් ඇමරිකන් ඩොලර් මිලියන 300ක මුදලක් ශ්‍රී ලංකාවට සැපයීමට එකඟතාවය පළ වී ඇත්තේ කොළඹ වරායට පිවිසීම සඳහා කුලුනු සහිත මහාමාර්ගයක් ඉදිකිරීමේ ව්‍යාපෘතියක් සඳහායි. ආසියානු සංවර්ධන බැංකුවේ දකුණු ආසියානු උප කලාපය සඳහා ආර්ථික සහයෝගය සැපයීමේ ප්‍රතිපත්ති රාමුව තුළ එම එකඟතාවය පළ වී තිබේ.
එමෙන්ම විද්‍යා තාක්ෂණික හා මානව සම්පත් සංවර්ධන ව්‍යාපෘතියක් වෙනුවෙන් ශ්‍රී ලංකාවට ඇමරිකානු ඩොලර් මිලියන 145ක මුදලක් ලබාදීමට එකඟතාවය පළ කෙරිණි. නගර සංවර්ධන ව්‍යාපෘතිවල සක්‍යතා අධ්‍යයනය වෙනුවෙන් තාක්ෂණික ආධාර සැපයීමේ යෝජනා ක්‍රමයක් සඳහා ඇමරිකානු ඩොලර් මිලියන 10 ක මුදලක් ලබාදීමට ද එකඟතාවය පළ වී තිබේ. මෙම එකඟතාවයන්ට අදාළ ගිවිසුම්වලට ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා අතර අත්සන් තැබීම ද මෙහිදී සිදු විය.
මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අද ශ්‍රී ලංකාව ප්‍රධාන අභියෝග දෙකකට මුහුණ දී සිටින බවයි. දුගී බව තුරන් කිරීම සහ මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීම එම අභියෝග බව සඳහන් කළ ජනාධිපතිතුමා ඒ සඳහා ගෙන යන වැඩපිළිවෙළ වෙනුවෙන් ආසියානු සංවර්ධන බැංකුවේ ප්‍රමුඛ සහයක් අපේක්ෂා කරන බව ද කියා සිටියේය. මෙරටට නීති විරෝධි මත්ද්‍රව්‍ය ගෙන ඒම වැළැක්වීමට රේගුව සඳහා අවශ්‍ය නවීන තාක්ෂණය සහ විශේෂඥ තාක්ෂණ දැනුම ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලන බව ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේය.
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ අද ශ්‍රී ලංකාව නියඟය සහ ගංවතුර යන දෙකෙන්ම පීඩාවට පත්වන අතර ඊට මුහුණදීම සඳහා වඩා විධිමත් වැඩපිළිවෙළක අවශ්‍යතාවය මතුව ඇති බවයි. ඒ අනුව දේශගුණික හා කාලගුණික විපර්යාසවලින් ශ්‍රී ලංකාවට වන හානිය අවම කර ගැනීමේ ව්‍යාපෘති සඳහා සහය දැක්වීමට ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපතිවරයා එකඟතාවය පළ කළේය.
තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ ද මෙහිදී ජනාධිපතිතුමා පැහැදිළි කළ අතර රට තුළ වඩා යහපත් ආර්ථිකයක් ගොඩනැංවීම වෙනුවෙන් එය අත්‍යවශ්‍ය කටුයුත්තක් බව ද සඳහන් කළේය. එහිදී ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා සඳහන් කළේ අපේක්ෂිත ඉලක්ක මුළුමනින්ම සම්පූර්ණ නොවුණත් අද ශ්‍රී ලංකාවට හොඳ ආර්ථික වර්ධන වේගයක් අතකර ගැනීමට එම වැඩපිළිවෙළ තුළින් හැකියාව ලැබී තිබෙන බවයි.
බලශක්ති සංරක්ෂණය, කෘෂිකර්ම, යටිතල පහසුකම්, කාලගුණික සහ පරිසර, වන සංරක්ෂණ ආදි විවිධ ක්ෂේත්‍රවලින් මේ වන විට ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට සහය ලබාදෙමින් සිටින අතර එම සහය අඛණ්ඩ ව ඉදිරියට ලබාදීමට කටයුතු කරන බව සභාපතිවරයා සඳහන් කළේය. එමෙන්ම වාරිමාර්ග, මහාමාර්ග සහ ඩිජිටල් යටිතල පහසුකම් සංවර්ධන ක්ෂේත්‍රයේ නව ව්‍යාපෘති සඳහා ඉදිරියේ දී සහය දැක්වීමට අපේක්ෂා කරන බව ද කියා සිටියේ ය.
කුඩා හා මධ්‍ය පරිමාණ කාෂිකර්මාන්තය වැඩිදියුණු කිරීම මගින් මූල්‍ය කළමනාකරණය ඇති කර ගැනීමේ හැකියාව මෙහිදී පෙන්වා දුන් ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයා ඒ වෙනුවෙන් විශේෂ සහයක් ලබාදීමට අපේක්ෂා කරන බව ද පැවසීය.
එමෙන් ම අද ශ්‍රී ලංකාව සෞඛ්‍ය ක්ෂේත්‍රය තුළ ලබා ඇති ප්‍රගතිය ඇගැයීමට ලක් කළ සභාපතිවරයා ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය වැඩිදියුණු කර ගැනීමට අවශ්‍ය ව්‍යාපෘති පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකුවේ අවධානය යොමු කරන බව සඳහන් කළේය.
පරිසර සංරක්ෂණය වෙනුවෙන් ශ්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී සභාපතිවරයා දැනුවත් කළ ජනාධිපතිතුමා ශ්‍රී ලංකාවේ වන ඝනත්වය 28% – 32% දක්වා වර්ධනය කර ගැනීම අපේක්ෂාව බවත්, ඒ පිළිබඳ තමන් පරිසර අමාත්‍යවරයා ලෙස පැරිස් සමුළුවේ දී ද කථා කළ බවත් සඳහන් කළ අතර ඒ පිළිබඳව ද ආසියානු සංවර්ධන බැංකු සභාපතිවරයාගේ අවධානය යොමු කළේය.
ශ්‍රී ලංකාවේ බෝග වගාවට සතුන්ගෙන් සිදුවන හානිය වළක්වා ගැනීමේ කඩිනම් වැඩපිළිවෙළක අවශ්‍යතාවය පිළිබඳව ද ජනාධිපතිතුමා සභාපතිවරයා සමඟ සාකච්ඡා කළේය.
අඩ සිය වසකට වැඩි කාලයක සිට එනම් 1966 වසරේ පටන් ශ්‍රී ලංකාව සමග ඉතා ශක්තිමත් හවුල් සබඳතාවයක් ගොඩනගා ගනිමින් ආසියානු සංවර්ධන බැංකුව ශ්‍රී ලංකාවට ලබාදෙන සහය පිළිබඳ මෙහිදී ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කලාපයේ අනෙකුත් සංවර්ධනය වෙමින් පවතින රටවල් සඳහා ද ආසියානු සංවර්ධන බැංකුවෙන් හිමි වන සහයෝගය ඇගැයීමට ලක් කළේය.
මෙහිදී අදහස් දැක්වූ තකෙහිකෝ නාකාඕ මහතා තමන් ශ්‍රී ලංකාවේ අවස්ථා කිහිපයකදී ම සිදු කළ සංචාර පිළිබඳ සිහිපත් කරමින් කියා සිටියේ ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමෙන් පසු මේ වන විට ශ්‍රී ලංකාව ලබා ඇති පර්වර්තනය පිළිබඳ සතුටු වන බවයි. අද ආසියාවේ සංචාරයට සුදුසු රටවල් දෙක තුනක් අතරින් ශ්‍රී ලංකාව එක රටක් බව ද ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා සඳහන් කළේය.

 මෙම වෛද්‍ය පීඨය කුරුවිට බටුහේනේ තිබූ රජයේ විගණකාධිපති දෙපාර්තමේන්තුවට අයත් ඉඩමක ඉදිකර ඇති අතර, එම ඉඩමේ ඔප්පුව අග්‍රාමාත්‍යවරයා විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය එම්. සුනිල් ශාන්ත මහතාට පිරිනැමූ අයුරු. ඇමැතිවරුන් වන රවුෆ් හකීම්, වෛද්‍ය රාජිත සේනාරත්න මහත්වරු ද එක්ව සිටියහ. 

 

මෙරට ස්ථාපිත දසවැනි වෛද්‍ය පීඨය ලෙස සබරගමුව විශ්වවිද්‍යාලයේ ඉදිකළ නව වෛද්‍ය පීඨය අග්‍රාමත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් ඊයේ (17) සිසු අයිතියට පැවැරිණි.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමාගේ මුලිකත්වයෙන් ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලය, ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂක ක්‍රිස්ටින් ලගාර්ඩ් මහත්මිය ජනවාරි මස 15 වන දින වොෂින්ටන් හිදී හමු වු අතර, ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වැඩ සටහන් නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබදව සාකච්ජා පැවැත්විණ.

මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය ගරු මංගල සමරවීර මැතිතුමා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කළමනාකාරිත්වය සමග ශ්‍රී ලංකා ආර්ථිකයේ මෑතකාලීන වර්ධනයන් පිළිබද යාවත්කාලීන කළේය.

2016 එකග වී තිබුණු ඇමරිකානු ඩොලර් මිලියන 1.5 වසර තුනක් ඉක්ම වු දිගුකාලීන අරමුදල් පහසුකම් වලින් ඇමරිකානු ඩොලර් මිලියන 01 ක වියදම් ප්‍රමාණය ඉක්මවා ගොස් තිබුණි.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ කලමණාකාර අධ්‍යක්ෂ ලගාර්ඩ් මහත්මිය ප්‍රකාශ කලේ ශ්‍රී ලංකා බලධාරින් මේ දරන ප්‍රයත්නයයට සහයෝගය ලබා දීමට අන්තර් ජාතික මුල්‍ය අරමුදල තවමත් සුදානම්ව සිටින බවයි. අන්තර් ජාතික මුල්‍ය අරමුදලේ කණ්ඩායමක් 2019 පෙබරවාරි මාසයේදී කොළඹ දී සාකච්ජා වැඩ සටහන් ආරම්භ කිරීමට සැලසුම් කොට තිබේ.

පොදු සැපයීම් සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කැබිනට් නොවන අමාත්‍ය ගරු හර්ෂ ද සිල්වා මැතිතුමා, මහා භාණ්ඩාගාර ලේකම් ආර්.එච්.එස්.සමරතුංග මැතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මැතිතුමා, ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය එන්.පී.වීරසිංහ මැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ආර්ථික කටයුතු පිළිබද උපදේශක දේශාල් ද මෙල් මැතිතුමා මෙන්ම ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ විධායක අධ්‍යක්ෂ එම්.සිරිවර්ධන මැතිතුමාද මෙම ශ්‍රී ලංකා නියෝජිත මණ්ඩලයට ඇතුලත් විය.

 ශ්‍රී ලංකාව සහ පිලිපීනය අතර 58 වසරක රාජ්‍ය තාන්ත්‍රික සබඳතා තුළ ශ්‍රී ලංකා ජනාධිපතිවරයෙකුට පිලීපීන රාජ්‍ය සංචාරයක් සඳහා ආරාධනා හිමි වූ පළමු අවස්ථාව සනිටුහන් කරමින් එරට සිව් දින රාජ්‍ය සංචාරයක් ආරම්භ කළ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඊයේ (15) රාත්‍රියේ මැනිලා නුවර නිනෝයි අකිනෝ (Ninoy Aquino) ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ළඟා විය.

එහිදී එරට වෙළෙඳ සහ ආයෝජන අමාත්‍යවරයා ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් ජනාධිපතිතුමා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස මහත් ගෞරවයෙන් යුතුව පිළිගනු ලැබීය.
පිලිපීන රජය 1961 ජනවාරි මස කොළඹ දී දූත මණ්ඩල කාර්යාලයක් විවෘත කිරීමත් සමඟ, ශ්‍රී ලංකාව හා පිලිපීනය අතර රාජ්‍යතාන්ත්‍රික සබඳතා ආරම්භ කෙරිණි.
1973 වසරේ දී සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණිය ආණ්ඩුව නියෝජනය කරමින් පිලිපීනයේ සංචාරයක නිරත වූවාය. ඊට පසුව ජාත්‍යන්තර සමුළු සඳහා සහභාගීවීමට නායකයන් කිහිප දෙනෙකු පිලිපීනයේ සංචාරය කළ ද පිලිපීනයෙන් ශ්‍රී ලංකාවට රාජ්‍ය තාන්ත්‍රික මට්ටමේ ආරාධනාවක් හිමි වූ පළමු අවස්ථාව මෙයයි.
දෙරට අතර පවතින දීර්ඝකාලීන දේශපාලන, ආර්ථික සහ සංස්කෘතික සබඳතා නව ක්ෂේත්‍රයන් කරා ව්‍යාප්ත කර ගනිමින් දෙරටටම අන්‍යෝන්‍ය ප්‍රතිලාභ හිමිවන අයුරින් සහයෝගීතාවය ඉහළ නංවා ගැනීම ජනාධිපතිතුමාගේ මෙම සංචාරයේ අරමුණයි.
සිය සංචාරය අරඹමින් අද (16) පෙරවරුවේ මැනිලා නුවර ස්ථාපිත කර ඇති පිලීපීන ජාතික වීරයන්ගේ ස්මාරකය වෙත යන ජනාධිපතිතුමා ඊට පුෂ්පෝපහාර දැක්වීමට නියමිත ය.
ඉන් අනතුරුව එරට ජනාධිපති මන්දිරය වන මලකන්යන්ග් පැලස්හි දී (Malacanang Palace) ජනාධිපති රොඩ්රිගෝ ඩියුටර්ට් මැතිතුමා සමග ද්වි පාර්ශ්වික සාකච්ඡාවලට එක් වනු ඇත.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් ද ජනාධිපති මන්දිරයේ දී සංවිධානය කර තිබේ.
දෙරට අතර ආරක්ෂක, අධ්‍යාපන, කෘෂිකර්ම සහ සංචාරක ක්ෂේත්‍රයන්හි සහයෝගිතාවය ඉහළ නංවා ගැනීම පිළිබඳ ගිවිසුම් කිහිපයකට රාජ්‍ය නායක හමුවෙන් අනතුරුව අත්සන් තැබීමට නියමිතය.
සිය සංචාරයේ දී පිලිපීනයේ මැනිලා නුවර පිහිටි ආසියානු සංවර්ධන බැංකු මූලස්ථානයේ සහ ලොස් බැනෝස්හි පවතින ජාත්‍යන්තර සහල් පර්යේෂණ ආයතනයේ සංචාරයකට ද ජනාධිපතිතුමා එක්වන අතර ආසියානු සංවර්ධන බැංකුවේ සභාපති තකෙහිකෝ නාකාඕ මහතා ද (Takehiko Nakao) ජනාධිපතිතුමා හමු වී සාකච්ඡා පවත්වනු ඇත.

p1

p2

p3

p4

{jathumbnail off}

 ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍ය මංගල සමරවීර මැතිතුමා චීන තානාපති එච්.ඊ.චෙන් ෂු යුවාන් මැතිතුමා සහ නියෝජිත පිරිස භාණ්ඩාගාරයේදී 11 දින හමු විය. ගරු මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යවරයා සහ ශ්‍රී ලංකා රජයේ චීන තානාපති වරයා අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග නැවත වරක් ශ්‍රී ලංකා රජයේ සැලසුම් පිළිබද කටයුතු කිරීම ගැන ප්‍රශංසාව පල කල අතර අඛණ්ඩව ශ්‍රී ලංකාවට සහයෝගය ලබාදීම කෙරෙහි චීන රජයට ස්තුතිය පල කළේය.

චීන තානාපති එච්.ඊ.චෙන් ෂු යුවාන් මැතිතුමා ශ්‍රී ලංකා ආර්ථිකයේ සංවර්ධනයට සිය රටවල් වල සහයෝගය ලබා දීම ගැන නැවතත් අවධාරණය කළේය. අන්තර් ජාතික මුල්‍ය අරමුදල සමග තිරසාර අයුරින් නැවත කටයුතු කිරීමට අප දරන ප්‍රයත්නයට ඔවුන්ගේ සහයෝගය ලබා දෙන බවට ප්‍රතිඥාවක්ද ලබා දුන්නේය.
මහා භාණ්ඩාගාර ලේකම් ආචාර්ය එච්.එස්.එස්.සමරතුංග මැතිතුමා, මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මනෝ තිත්තවැල්ල මැතිතුමා ඇතුඵ අමාත්‍යාංශයේ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරිහු මෙම රැස්වීමට සහභාගි වුහ.

 

 ඉන්ධන මිල තීරණය කිරීමේ මිල යාන්ත්‍රණය අනුව ඊයේ(10) මධ්‍යම රාත්‍රියේ සිට පෙට්‍රල් සහ ඩීසල් ලීටරයක මිල රුපියල් 2/= බැගින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. එහෙත් යුරෝ 4 (EURO-4) විමෝචන ප්‍රමිතිකරණය යටතේ පරිසර හිතකාමී ඉන්ධන වර්ගයක් වන සුපිරි ඩීසල් ලීටරයක මිල රුපියල් 3.00 කින් අඩු කිරීමට රජය තීරණය කර ඇත. 

ඒ අනුව අද මධ්‍යම රාත්‍රියේ සිට ඩීසල් සහ පෙට්‍රල් මිල පහත පරිදි අඩු කරනු ලැබේ.


ඉන්ධන වර්ගය                    පවත්නා මිල ලීටරයක් රු.                     සංශෝධිත මිල ලීටරයක් රු.                     ලීටරයක අඩු වූ මිල රු.
ඔක්ටේන් 92 පෙට්‍රල්                         125/=                                       123/=                                                          2/=
ඔක්ටේන් 95 පෙට්‍රල්                         149/=                                       142/=                                                          2/=
ඔටෝ ඩීසල්                                     101/=                                         99/=                                                          2/=
සුපිරි ඩීසල්                                       121/=                                       118/=                                                          3/=

ඉන්ධන මිල සෑම මසකම 10 වැනි දින සමාලෝචනය කිරීම යටතේ මෙවර ද මිල අඩු කරන ලද නමුත් ජාත්‍යන්තර වෙළෙඳපොළේ ඉන්ධන මිල වැඩිවීමේ ප්‍රවණතාවක් පවතින බව රජය අවධාරණය කරයි. සිංගප්පූරුවේ බ්‍රෙන්ට් (BRENT) වෙළෙඳපොළේ බොරතෙල් මිල සහ සිංගප්පූරුවේ ම ෆ්ලැට්ස් (PLATTS) වෙළෙඳපොළේ නිමි පෙට්‍රල් සඳහා වන මිල පසුගිය සති දෙකක කාලයක් තිස්සේ අඛණ්ඩව වැඩි වෙමින් පවතී.
තෙල් මිල අවසන් වරට වැඩි කළ පසුගිය වසරේ ඔක්තෝබර් 10 වැනි දින තෙක් ඉන්ධන මිල අඛණ්ඩව වැඩි වූ අතර ඔක්තෝබර් මස 10 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 85ක් ලෙස සඳහන් විය. එය ඔක්තෝබර් 26 වැනි දා වන විට ඇ.ඩො. 58 දක්වා අඩු වූ අතර අවසන් වරට මිල අඩු කළ දෙසැම්බර් 21 වන විට බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 52 දක්වා අඩු වී තිබිණි.
කෙසේ වෙතත් 2019 ජනවාරි මස දෙවැනි සතියේ සිට බොරතෙල් මිල අඛණ්ඩව වැඩිවෙමින් පවතින අතර අද වන විට (ජනවාරි 10) බොරතෙල් බැරලයක මිල ඇ.ඩො. 59 ඉක්මවා ගොස් ඇත.

 පාසල් දරුවන් ඉලක්ක කර ගනිමින්, පාසල් අවට සිදු කෙරෙන විවිධ විෂ මත්ද්‍රව්‍ය අලෙවි කිරීමේ ජාවාරම මුලිනුපුටා දැමීමේ විධිමත් වැඩපිළිවෙළක් සියලු පාර්ශ්වයන්ගේ දායකත්වයෙන් ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දෙයි.

ඒ සඳහා අවශ්‍ය නීති ද කඩිනමින් සංශෝධනය කර ක්‍රියාවට නංවන ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට දැනුම් දුන්නේ ය.
ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මත්ද්‍රව්‍ය පාලනය සහ අවම කිරීම සම්බන්ධයෙන් ඊයේ (10) ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවක දී ය.
පාසල් අවට සිදුවන විවිධ මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සිසුන් ඊට ඇබ්බැහිවීම පිළිබඳ විවිධ තොරතුරු තමා වෙත ලැබී ඇති බව සඳහන් කළ ජනාධිපතිතුමා මෙම ව්‍යසනයට හිස එසවීමට ඉඩ නොතබන ලෙස ද පොලීසිය වෙත උපදෙස් දුන්නේ ය.
නීතිවිරෝධි මත්ද්‍රව්‍ය පාලනය උදෙසා රජය මේ වන පියවර රැසක් ගෙන තිබෙන අතර වැටලීම්වලට අදාළ වැඩපිළිවෙළ ශක්තිමත් කරමින් අදාළ නීති පනත් සංශෝධන කටයුතු ද මේ වන විට සිදු වෙමින් පවතී.
එම සියලු නීති සංශෝධන කඩිනමින් සිදුකර, අදාළ බලතල පවරාදීම් කඩිනම් කරන ලෙස ද ජනාධිපතිතුමා මෙහි දී නිලධාරින්ට උපදෙස් දුන්නේ ය.
එමෙන්ම මත්ද්‍රව්‍යවලට අදාළ විමර්ශන කටයුතුවල දී අනෙකුත් ආයතනවල සහය ලබා ගැනීම, බන්ධනාගාරවල ආරක්ෂාව සඳහා ගෙන ඇති පියවර ඇතුළු කරුණු පිළිබඳව ද සාකච්ඡාවට ලක් කෙරිණි.
ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා ඇතුළු අමාත්‍යාංශ ලේකම්වරුන් ද, අදාළ ආයතන ප්‍රධානින් සහ රාජ්‍ය නිලධාරින් ද පොලිස්පති ඇතුළු ආරක්ෂක අංශ ප්‍රධානීහු මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter