නවතම පුවත්

සමාජ මාධ්‍ය ජාලා වල අයිතිකරුවෙකු නොමැති ගිණුම්, සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ නොයෙකුත් ක්‍රමවේදයන් හරහා රටට, ජනතාවට, ජාතික සමඟියට අහිතකර ක්‍රියාමාර්ග සිතාමතාම ඇතිකරන පුද්ගලයින් සම්බන්ධයෙන් යම් ක්‍රියාමාර්ගයක් ගත යුතු බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද (08) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී  පැවසුවේය.

සමාජ මාධ්‍ය ජාල වල පළවන ප්‍රවෘත්ති විමර්ශනය කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යොදවන බව ඊයේ පොලිස් මාධ්‍ය ප්‍රකාශක වරයා නිවේදනය කරන ලදුව, සමාජ මාධ්‍ය ඇත්තටම රජයට තර්ජනයක් ද යන්න පිළිබඳව මාධ්‍යවේදියෙකු විසින් කරන ලද ප්‍රශ්න කිරීමකට පිළිතුරු වශයෙන් ඔහු මේ බව අවධාරණය කළේය. 

මීට සති කිහිපයකට පෙර මේ සම්බන්ධව කැබිනට් පත්‍රයක් ද ඉදිරිපත් කරන ලදුව එයට අනුමැතිය හිමිව තිබෙන බව සඳහන් කළ අමාත්‍යවරයා, ලංකාවේ පමණක් නොව ඉන්දියාව, ඔස්ට්‍රේලියාව වැනි ලෝකයේ රටවල් ගණනාවක් මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇති බව ද සඳහන් කරන ලදුව, ඇතැම් කරුණු ඉදිරියට පැමිණියේ මෙවැනි කරුණු කාරණා සාධනීයව ඉදිරිපත් කරන මාධ්‍යවේදීන් නිසා බවත්, එවැනි සාධනීය වශයෙන් කරුණු කාරණා ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ට පවා මෙවැනි අහිතකර ක්‍රියාමාර්ග සිතාමතාම ඇති කරන පුද්ගලයින් ප්‍රශ්නයක් බවත්, ජනමාධ්‍යවේදීන්ගේ නිවැරදි මඟ පෙන්වීම් වෙනත් මානයන්ට ගෙනයාමට හැකි බවත්, මෙවැනි තත්ත්වයන් ඇති වන්නේ එවැනි අසංවර ලෙස කටයුතු කරන සහ වෙනත් න්‍යාය පත්‍රයන් ක්‍රියාත්මක කිරීමට වක්‍රව දායක වන පුද්ගලයින් නිසා බවත් කරුණු පැහැදිළි කළේය.

ඒ අනුව, සාධනීය කරුණු නිසි ඉදිරිපත් කරන ජනමාධ්‍යවේදීන්ගේ ද රැකවරණයට මෙම ගන්නා ක්‍රියාමාර්ගය ඉවහල් වනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද හෙතෙම වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

 

කාබනික පොහොර භාවිතයට එළඹීමේ දී පැමිණෙන අභියෝග නොතකා මහජන නියෝජිතයන් ජනතා සුභසිද්ධිය පිණිස ඉදිරියට යායුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.
නිරෝගී සහ ඵලදායී පුරවැසියෙක් බිහිකිරීමට වස විසෙන් තොර ආහාර වේලක් සඳහා වූ ජනතා අයිතිය “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් තහවුරු කර තිබේ. ඒ වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට කෘෂිකර්මාන්තය රැගෙන යාම රජයේ දැඩි ස්ථාවර වී තිබේ. එම වැඩපිළිවෙළ ඇතැම් පාර්ශ්වයන්ගේ විවේචනවලට ලක් වුවද අනාගත දරු පරපුරේ යහපත උදෙසා ක්‍රියාත්මක විය යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.
හිඟයක් ඇති කිරීමට උත්සාහ ගත්ත ද ඉදිරි කන්නය දක්වා අවශ්‍ය පොහොර ප්‍රමාණවත් තරම් ගෙන්වා තිබේ. එම නිසා සියලු වගා කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි බව ජනාධිපතිතුමා පෙන්වා දෙයි.
දිස්ත්‍රික් සංවර්ධන කමිටු සභාපතිවරුන් සමග ඊයේ (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා මේ බව පැවසීය.
කාබනික කෘෂිකර්මාන්තයට යොමුවීම රජය හදිසියේ ගත් තීරණයක් නොවේ. “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ මෙන්ම පසුගිය අය වැයේදී මේ පිළිබඳ රජයේ ස්ථාවරය ඉදිරිපත් කෙරිණ . එහෙත් කාබනික පොහොර සම්බන්ධයෙන් ගොවීන් දැනුවත් නොකිරීම අනිසි බියට හේතු වී තිබේ.
කාබනික පොහොර කෘෂිකර්මාන්තය සඳහා ලංකාවේ විශාල විභවයක් පවතී. සංක්‍රාන්ති කාලය තුළ ගොවියාට මුහුණ පෑමට සිදුවන අසීරු අවස්ථා කළමනාකරණය කිරීමට උපරිම සහන සලසා දීම රජයේ ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා පැහැදිලි කළේය.
දශක කිහිපයක සිට රසායනික පොහොර භාවිතයට ගොවියා පෙළඹීම හේතුවෙන් විශාල පිරිසක් විවිධ
බෝ නොවන රෝගවලට මුහුණ පෑහ. එම තත්ත්වයෙන් අනාගත පරපුර ගලවා ගැනීම රටවැසි සියලු දෙනාගේ වගකීම විය යුතු බව ජනාධිපතිතුමා පැවසීය.
අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ අමාත්‍යාංශ ලේකම්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

විදේශයන්ගෙන් ණය ලබාගැනීම වෙනුවට ණය නොවන විදේශ විනිමය ගලා එන මාර්ග සකස් කළයුතු බව ශ්‍රී ලංකා ආයෝජන සංසදය - 2021 දෙවන දිනයේ සමාරම්භක උත්සවය අමතමින් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා අවධාරණය කළේය. 

එහි සම්පූර්ණ අදහස් දැක්වීම 

‘‘ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් වෙළඳපොළ සහ ලංකා වාණිජ මණ්ඩලය යන ආයතන එකමුතුව සංවිධානය කළ, මෙම අන්තර්ජාල සංසදයට සහභාගී වීමට ලැබීම අපට සතුටක්. එය ඉතා කාලෝචිත පියවරක් වශයෙන් ද අපි දකිනවා.2006 සිට 2014 දක්වා වසර 9ක කාලය තුළ දී අප රට සංවර්ධනය වූ වේගය පිළිබඳව ඔබතුමන්ලා හොඳින් දන්නවා. ඒ කාලයේ දී විවිධ අභියෝග මධ්‍යයේ වුවත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා ඉතා ශීඝ්‍රයෙන් වැඩි කර ගන්නට අපට හැකි වුණා.

එහෙත්, ඊට පසු 2015 සිට 2019 වසර 5 තුළ දී, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 82 දක්වා පමණයි. ඒ නිසා, අප රටේ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය වීම අඩාල වුණා. අලුත් ව්‍යාපෘතීන් ආරම්භ කිරීම නතර වුණා. 2020 වසරේ දී, අප නැවත රජය භාරගත් පසුව, මුළු ලෝකය ම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදු වුණා. රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66ක් තිස්සේ මුළු රට ම වසා තැබීමටත් අපට සිදු වුණා. මුළු ව්‍යාපාර ක්‍ෂේත්‍රය ම දැඩි අභියෝගවලට මුහුණ දුන්නා.ඒ බලපෑම් නිසා, මුළු ලෝකයේ ම සිදු වූ ආකාරයට අප රට ද පසුබෑමකට ලක් වෙමින්, 2020 වසරේ දී, සියයට 3.6කින් ආර්ථිකය සංකෝචනය වුණා. ඒ නිසා, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 80 දක්වා අඩු වුණා. එසේ වුණත්, ජන ජීවිතය සතුටුදායක මට්ටමක අඛණ්ඩව පවත්වා ගෙන යාමට අප රජයට හැකි වුණා. මිත්‍රවරුනි, රටක් හැටියට මෙම බැරෑරුම් තත්ත්වයට දිගින් දිගට ම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩබිමක් බවට පත් කරන්නට අපට දැන් අවශ්‍යයි.

අපි දැනටමත් මාර්ග කිලෝමීටර ලක්ෂය, “සැමට ජලය”, නව අධිවේගී මාර්ග ඉදිකිරිම් වැනි රට පුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති ඔස්සේ ආර්ථිකමය පිබිඳීමක් ඇති කර ගෙන යනවා.ජනතාව අතර නැවත මුදල් පරිහරණය කරවීම හරහා ව්‍යාපාරික කටයුතු ගොඩනංවනවා. ව්‍යාපාර පහසුවෙන් කර ගැනීම පිණිස අවශ්‍ය ක්‍රියාමාර්ග දියත් කරගෙන යනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපය තුළින්, නව කර්මාන්ත ආරම්භ කිරීමට අවස්ථාව උදා කර දෙනවා. රට පුරා ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉදිකරනවා. කොළඹ පෝට් සිටි ව්‍යාපෘතිය කඩිනමින් දියත් කිරීමට අවශ්‍ය නීතිමය රාමුව සකස් කොට ක්‍රියාත්මක කිරීමට කටයුතු කර තිබෙනවා. රටේ සාර්ව ආර්ථික සාධක යහපත් මාවතකට යොමු කිරීමට සැලසුම් ක්‍රියාත්මක කරනවා.ඒ අනුව, අප රට නැවත සියයට 6ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට අපි දැන් යොමු වෙමින් සිටිනවා.මිත්‍රවරුනි, ශ්‍රී ලංකාවේ වර්ධන වේගය වේගවත් කළ යුතු බව අපි හැමෝම පිළිගන්නවා. ඒ සඳහා ප්‍රාග්ධන ආයෝජන (capital investment) සැලකිය යුතු ලෙස පුළුල් කිරිම අවශ්‍යයයි. යටිතල පහසුකම් සංවර්ධනයට මෙන් ම ආර්ථිකයේ නිෂ්පාදන ධාරිතාව පුළුල් කිරීම සඳහා වැඩි ආයෝජනයක් අවශ්‍ය බව ද අපි දන්නවා.

මේ සඳහා රජයේ ප්‍රාග්ධන වියදම් වැඩසටහන් අඛණ්ඩව සිදු කිරීමට අපි බලාපොරොත්තු වනවා. ඒ අතර ම, ආයෝජන ඉහළ නැංවීමේ ක්‍රියාවලියේ දී රජය විශාල කාර්යභාරයක් ඉටු කිරීමට ද බලාපොරොත්තු වනවා. ඒ අනුව, 2020 නොවැම්බර මාසයේ දී අප විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අවසාන අයවැය තුළින්, බෝට්ටු සෑදීම, බන්ධිත ගුදම්, අක්වෙරළ ව්‍යාපාරවලට අදාළ ගුදම් සහ පුනර්-ජනනීය බලශක්තිය වැනි තෝරාගත් අංශවල ආයෝජකයින්ට නව බදු නිදහස් කිරීම්, මූල්‍ය සහ මූල්‍ය නොවන දිරිගැන්වීම් යනාදිය අප හඳුන්වා දුන්නා. ඒවා සියල්ල ම ඉතා ඉක්මනින් ක්‍රියාත්මක කිරීමට අප දැන් කටයුතු කරගෙන යනවා.ඒ අතර ම, නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළඟ අවුරුදු 5 තුළ දී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ෂණය කර ගැනීමටත් අපි දැන් කටයුතු කර ගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද වන විටත්, නව පනතක් තුළින් අප ස්ථාපනය කර තිබෙනවා. ඒ හරහා කොවිඩ් වසංගත මධ්‍යයේ වුව ද, අප රටේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කරවීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා. නව පනත යටතේ, එක කවුළුවකින් සියලු ම සේවාවන් ආයෝජකයාට ලබා ගැනීමට හැකි වන නිසා, අපේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේ ම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට දිරිමත් කිරිමයි.

මිත්‍රවරුනි, වර්තමානයේ දී ණය ගන්නවා වෙනුවට, ණය-නොවන විදේශ විනිමය ගලා ඒම් අපි ඉලක්ක කළ යුතුයි. ඒ සඳහා, විවිධ මෙවලම් සහ වැඩසටහන් අපි ක්‍රියාත්මක කළ යුතුයි. මේවා අතරින්, පුද්ගලික කොටස් (Private Equity) අලෙවිය, කොටස් වෙළඳපොළේ ලැයිස්තුගත සුරැකුම්පත් (listed securities) වර්ධනය කිරීම, ණය උපකරණ (Debt instruments) කාර්යක්ෂම කිරීම, නව ව්‍යාපාර ප්‍රාග්ධනය (Venture Capital) ජනප්‍රිය කිරීම යනාදි වැඩසටහන්වලට අප මුල් තැනක් ලබා දිය යුතු වෙනවා. ඒ වෙනුවෙන්, නව ව්‍යාපාර සඳහා විදේශයන්ගෙන් කෙරෙන ආයෝජන සඳහා පසුබිම අපි දැනටමත් සකස් කරමින් සිටිනවා. වසංගතය මධ්‍යයේ වුව ද කොළඹ කොටස් වෙළඳපොළේ මෑතකාලීන ක්‍රියාකාරීත්වය ගැන සතුටුවිය හැකියි.මිත්‍රවරුනි, පුද්ගලික අංශයේ ආයෝජකයින්ට උනන්දුවක් දැක්විය හැකි නිශ්චිත ආයෝජන අවස්ථා ගණනාවක් ගැන මා දැනටමත් විස්තර කළා. ඒවායින් බොහොමයක් මෙම ආයෝජන සමුළුව තුළ ඉස්මතු කෙරෙන බවත් මට පෙනෙනවා. මෙම සංසදයට සහභාගී වන අදාළ රාජ්‍ය ආයතන සහ පෞද්ගලික අංශයේ ආයතන අතර සම්බන්ධයක් ඇති ආයෝජන අවස්ථා කඩිනමින් සිදු කරවීමට ඔබ සියලු දෙනාට ම අවස්ථා උදාවනු ඇතැයි ද අප විශ්වාස කරනවා...‘‘ 

කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ වැඩපිළිවෙළට සහය වීම සඳහා ඉන්දියානු නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් මහතා විසින් රුපියල් ලක්ෂ 65ක් වටිනා පී.සී.ආර්. යන්ත්‍රයක් පසුගියදා (07) අරලියගහ මන්දිරයේ දී අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා වෙත ප්‍රදානය කෙරුණි. 
මෙම කටයුත්ත සම්බන්ධීකරණය කළේ ලංකා කම්කරු ක්‍රොංගසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන් මහතා ය. සෞඛ්‍ය අමාත්‍යංශ නිර්දේශ අනුව අදාළ පී.සී.ආර්. යන්ත්‍රය දියතලාව රෝහලට ලබා දීමට අගමැතිවරයා උපදෙස් ලබාදී තිබේ. 
කොවිඩ්-19 වසංගතය පාලනය කිරීමේ රජයේ ප්‍රයත්නයට පෞද්ගලික අංශයෙන් ලැබෙන දායකත්වය මෙහි දී එතුමාගේ ඇගයීමට ලක්විණි.
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, ලංකා කම්කරු ක්‍රොංගසයේ උප සභාපති සෙන්දිල් තොණ්ඩමන්, නිරු ඩයමන්ඩ් කටර්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සංජය බේඩ් යන මහත්වරු ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

අද (8) ට යෙදී තිබෙන ලෝක සාගර දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවුඩය තුළින් අවධාරණය කර සිටින්නේ, පසුගියදා කොළඹට නුදුරු මුහුදේ අනතුරුට පත් නෞකාවෙන් සිදුවූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බවත් සමුද්‍රීය පරිසරය ආරක්ෂා කරගැනීමට පෙළගැසිය යුතු බවත්ය. 

‘‘සමුද්‍රීය පරිසරයේ වැදගත්කම ගැන ලෝක ප‍්‍රජාව දැනුවත් කිරීම උදෙසා එක්සත් ජාතීන්ගේ සංවිධානය ප්‍රකාශයට පත්කළ “ලෝක සාගර දිනය” වෙනුවෙන් සුබ පැතුම් එක්කරනුයේ ඉමහත් සතුටිනි.

සංවර්ධනය සහ කාර්මීකරණය යන‍ මානව ක්‍රියාකාරකම්වල බලපෑම හේතුවෙන් සමුද්‍රීය පරිසර දූෂණය ද මේ වනවිට ඉහළ යමින් ඇති බව පරිසර විද්‍යාඥයන්ගේ අදහසයි.

ඉන්දියන් සාගරයට මැදිව පිහිටි ශ්‍රී ලංකාව සමුද්‍රීය පරිසරය ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් වැඩි අවධානයක් යොමු කිරීම ඉතා වැදගත්ය.

ඒ වෙනුවෙන් 2008 වසරේ දී සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පිහිටුවීමටත් සමුද්‍රීය ආරක්ෂාව හා බැඳී පවතින නෛතික ක්‍රියාදාමයන්ට මුලපිරීමටත් අපට හැකියාව ලැබිණි.

අප ජීවත්වන මෙම පෘථිවි තලයෙන් සියයට 70 ක්ම වැසී ඇත්තේ ජෛව විවිධත්වයේ නිවහන ලෙස සැලකෙන සාගරයෙනි. ජීවින්ගේ පැවත්මට සෘජුව දායකවන සාගර පරිසර පද්ධතිය විවිධ මිනිස් ක්‍රියාකාරකම් මත දූෂණයට ලක්වීම කණගාටුවට කරුණකි.

සාගරයට අපද්‍රව්‍ය එක්වූ පසු ඒවා නිවැරදි කිරීමට ගත හැකි පියවර සීමාසහිත වන නිසා එම බලපෑම මත්ස්‍යයන් ඇතුළු සමුද්‍රීය ජීවීන්ටත් මුළු මහත් සමුද්‍රීය පරිසර පද්ධතියටත් සෘජුව බලපාන අතර දේශගුණික විපර්යාස බලපෑම් දක්වා එය දිගුවනු ඇත.

නෞකා සහ යාත්‍රා දියත්වීම සහ ඒවායේ අනතුරු සාගරය දූෂණයට සෘජුව බලපා ඇති අතර පසුගියදා කොළඹට නුදුරු මුහුදේ අනතුරුට පත් නෞකාවෙන් සිදුවූ හානිය වන්දි මුදලක් මගින් තක්සේරු කළ නොහැකි බව මාගේ විශ්වාසයයි.

ඒ තුළින් අපගේ වෙරළ තීරයටත්, සාගර ජීවීන්ටත්, සාගර පරිසරයේ ජෛව විවිධත්වයට සහ ධීවර ප්‍රජාවට එල්ල කළ බලපෑම ගණනය කළ නොහැකි තරම්ය.

ගංගා හෝ ඇළ මාර්ගවලින් මෙන්ම සෘජු ලෙස නාගරික ඝන අපද්‍රව්‍ය සාගරයට මුදා හරින බව පසුගියදා පරිසර විද්‍යාඥයන් විසින් පෙන්වා දෙන ලදි. ඒ අනුව ගත්විට වෙරළ දූෂණයට ප්‍රධානම බලපෑම එල්ල වනුයේ ඒ තුළිනි.

ප්ලාස්ටික් සහ පොලිතින් මේ ආකාරයට සාගරයට එක්වුවහොත් එමගින් ඇතිවන බලපෑම නූපන් පරපුර දක්වා දිගුවනු ඇත. මේ පිළිබඳව අවධානය යොමු කළ රජය මේ වසරේ දී ඝන අපද්‍රව්‍ය කළමනාකරණ කරමින් විදුලිය නිපදවීමේ ව්‍යාපෘතියක් සඳහා මූලාරම්භය තබා තිබේ.

වෙරළ තීරයේ කඩොලාන ප්‍රතිශ්ථාපනය මෙන්ම, කොරල් පර ප්‍රතිස්ථාපන වැඩසටහන් සැළකිය යුතු මට්ටමෙන් ඉදිරියට ගෙනයාමටත් පාරසරික ආරක්ෂණ ප්‍රදේශ පිළිබඳව පශ්චාත් අධීක්ෂණයන් වඩාත් කාර්යක්ෂම කිරීමටත් විෂය භාර අමාත්‍යවරයා ලෙස මම උපදෙස් දී ඇත්තෙමි.

සාගර විශ්ව විද්‍යාලයක් පිහිටුමින් මෙම විෂයට තිබෙන උනන්දුව සහ සාගරය පිළිබඳව අධ්‍යනයන් ඉදිරියට ගෙන යාමට මා එදා තැබු පියවර අදට වඩා හෙට තවත් කාලෝචිත වන බව මාගේ විශ්වාසයයි.

ධීවර ප්‍රජාව ඇතුළු සමුද්‍රීය පරිසරය ජීවනෝපාය කරගත් ලක්ෂ සංඛ්‍යාත ජනතාවගේ ජීවනෝපායන් ශක්තිමත් කිරීම වෙනුවෙන් ද සෘජුව බලපාන සමුද්‍රීය පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ගත හැකි සෑම පියවරක්ම රජය ගන්නා බව සිහිපත් කරමි.

“ජීවිතය හා ජීවනෝපාය සාගරයයි“ යන මෙවර ලෝක සාගර දින තේමාව ද මේ ආකාරයට සාගරය හා බැදුණු සියලු වටිනාකම් සිහිපත් කරයි.

ඉන්දියන් සාගරයේ මුතු ඇටය ලෙස විරුදාවලිය ලත් අපේ මාතෘ භූමියේ පැවැත්ම සහ සුන්දරත්වය වෙනුවෙන් සමුද්‍රීය පරිසර පද්ධතිය ආරක්ෂා කර ගැනීමට පෙළගැසෙමු යැයි මම ඔබට ආරාධනා කරමි...‘‘ 

 

2021 ශ්‍රී ලංකා ආයෝජන සංසදයේ සමාරම්භක සැසිය අමතමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පළකල අදහස්. 

‘‘මෙම අවස්ථාව, ශ්‍රී ලංකාව සිය ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකින්ම ලබාදෙන විවිධාකාර හා බහුල වු ආයෝජන අවස්ථා පිළිබඳව පූර්ණ දෘෂ්ටියක් ලබාදෙයි.
මෙම සැසිවාරය, ප්‍රමුඛ ප්‍රතිපත්ති සම්පාදකයින්, ව්‍යවසායකයින් සහ ව්‍යාපාරික නායකයින් සමග ආයෝජන මණ්ඩලය, කොළඹ කොටස් වෙළෙඳපොළ සහ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය එක් වේදිකාවකට කැඳවනු ලබයි. මෙය අපගේ ආයෝජන පරිසරය පිළිබඳව ශක්තිමත් සංවාදයක් අතිකරලීමට සහ තොරතුරු හුවමාරු කරගැනීමට ඇති අවස්ථාවන් දිරිගන්වන අතර, එය සෘජු ආයෝජන සඳහා ඇති අවස්ථාවන් මෙන්ම ප්‍රාග්ධන වෙළඳපොළවල සහ ණය වෙළෙඳපොළවල පවතින අවස්ථා ද ඉස්මතු කරනු ඇත.
මෙම ආයෝජන සමුළුව ශ්‍රී ලංකාව තුළ පවත්වන්නේ අප රටට ඉතා වැදගත් අවස්ථාවකය.
දශකයක් තුළදී ජාතික නිෂ්පාදනය වර්ධනය තුළින් වේගවත් ආර්ථික වර්ධනයක් ඇතිකිරීමෙන් 2030 වන විට අපගේ ඒක පුද්ගල ආදායම ඇ.ඩො. 8,000 දක්වා දෙගුණ කිරීම උදෙසා අප රජය සැලසුම් යොදා ඇත.
අපගේ අද්විතීය භූ මුලෝපායික පිහිටීම, දේශපාලන ස්ථාවරත්වය, ශක්තිමත් ආයතන සහ සාමාජයීය ව්‍යුහය උගත් හා දක්ෂ ශ්‍රම බලකාය සහ උසස් ජීවන තත්ත්වය යනාදී සාධක ශ්‍රී ලංකාවේ වර්තමාන ශක්තීන්ගෙන් කිහිපයකි. අපගේ වර්ධන ඉලක්ක සඳහා අවශ්‍ය පසුබිම සැකසීමට මෙම සාධක අප ප්‍රයෝජනයට ගන්නෙමු.
ඊට අමතරව, අපගේ යටිතල පහසුකම්වල සැලකිය යුතු මට්ටමේ වැඩි දියුණු කිරීම් අඛණ්ඩඩ සිදු කෙරෙමින් පවතී.
පුනර්ජනනීය ප්‍රභවයන්ගෙන් විදුලිබල උත්පාදනය වැඩි කිරීම, මාර්ග හා දුම්රිය ජාල වැඩිදියුණු කිරීම තුළින් සබඳතාවයන් වර්ධනය සහ අපගේ වරායන් තවදුරටත් පුළුල් කිරීම සහ වැඩිදියුණු කිරීම අපගේ සංවර්ධන ක්‍රියාදාමය වේගවත් කරලීමට පහසුකම් සපයයි.
ස්ථාවර සාර්ව ආර්ථික පරිසරයක් තුළ ප්‍රතිපත්ති ස්ථායිතාව සහ අනුකූලතාව පවත්වා ගැනීමට අපි දැඩි ලෙස කැපවී සිටිමු.
ආයෝජකයින් සඳහා වැඩි ප්‍රතිචාරයක්, විනිවිදභාවක් සහ ආරක්ෂාවක් සහතික කිරීම සඳහා අපගේ නෛතික හා නියාමන රාමු සංශෝධනය වෙමින් පවතියි. අනවශ්‍ය නිලධාරීවාදය ඉවත් කෙරෙන අතර ව්‍යාපාර කටයුතු සිදුකිරීමට වඩා පහසුවන ආකාරයෙන් ක්‍රියාපටිපාටීන් විධිමත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාවේ ජනාධිපතිවරයා වශයෙන්, මෙම වෙනස්කම් සුපරීක්ෂණය කිරීමටත්, ආයෝජන සඳහා දැනටමත් අපගේ පවතින ධනාත්මක පරිසරය තවදුරටත් වර්ධනය කිරීමටත් මම අධිෂ්ඨාන කරගෙන සිටිමි.
ශ්‍රී ලංකාවේ බොහෝ ආර්ථික ක්ෂේත්‍රයන්හි විදේශීය හා දේශීය ආයෝජකයින්ට එක හා සමානවම විශාල ප්‍රතිලාභ ලබාදිය හැකි සුවිශේෂි අවස්ථාවන් පවතියි.
ප්‍රධාන ගෝලීය කේන්ද්‍රස්ථාන වලට ගුවන් මගින් පැය කිහිපයකින් ළඟා විය හැකි භූමුලෝපායික පිහිටීමක් ඇති ශ්‍රී ලංකාව දකුණු ආසියාවේ හොඳම සම්බන්ධිත රටවලින් එකකි. වාණිජ අගනුවර වන කොළඹ, කලාපයේ වඩාත් ආකර්ශනීය සහ ජීවත්වීමට සුදුසු නගර වලින් එකකි.
ඉතාම උසස් නේවාසික, වාණිජ, සමාජයීය සහ විනෝදාස්වාද පහසුකම් සහිත කොළඹ වරාය නගර ව්‍යාපෘතිය මගින් මෙම නගරය දැනටමත් ලබාදෙන බොහෝ අවස්ථාවන් තවදුරටත් වැඩිදියුණු කරනු ඇත.
අපගේ දැක්ම වන්නේ, වරාය නගරය ලෝකයේ වේගයෙන් වර්ධනය වන කලාපයන් අතුරින් ප්‍රධාන සේවා සපයන මධ්‍යස්ථානයක් බවට පත්කරලීමයි. එහි පදිංචිකරුවන්ට ඵලදායී කාර්යයන්වල නිරතවීමට අවශ්‍ය සියලු පහසුකම් ඇති අතර පැරණි හා නව සංකල්පයන්ගෙන් සම්මිශ්‍රණය වු විචිත්‍රවත් නිවර්තන වෙරළබඩ පරිසරයක ඉතා උසස් ජීවන තත්ත්වයන් භූක්ති විඳින අතරතුර ඔවුන්ට තම කාර්යයන් සිදුකළ හැක.
පුළුල් ආර්ථික බලපෑමත් ඇති කළ හැකි ව්‍යාපාර සඳහා විශේෂ දිරිගැන්වීම් සහ වැඩි සහන සහතික කරනු වස්, විශේෂ නීති දැනටමත් සම්මත කර ඇත. මෙහි ආයෝජනය කිරීමෙන් වරාය නගරය ලබාදෙන සුවිශේෂි ශක්තීන් සහ පුළුල් අවස්ථාවන්ගෙන් උපරිම ප්‍රයෝජන ගන්නා ලෙස අපි සියලු රටවල ප්‍රමුඛ ව්‍යාපාරිකයින් දිරිමත් කරමු.
ශතවර්ෂ ගණනාවක් පුරා ශ්‍රී ලංකාව පෙරදිග හා අපරදිග සම්බන්ධ කළ කේන්ද්‍රස්ථානයකි. කොළඹ සහ හම්බන්තොට හි පවතින ලෝක මට්ටමේ වරාය යටිතල පහසුකම් මගින් කාර්යබහුල වූ ඉන්දියානු සාගරයේ ගමන් කරන විශාලතම බහාලුම් නැව්වලට පවා සේවා සැපයීමට රට සමත් වේ.
එබැවින්, කලාපයේ ප්‍රතිනැව්ගත කිරීමේ සහ සැපයුම් මධ්‍යස්ථානයක් ලෙස රට මනාව ස්ථානගත වී ඇති අතර, මෙම අංශයේ ආයෝජන සඳහා අපි දැඩි ලෙස උනන්දු කිරීම් කරන්නෙමු. මේ සඳහා පහසුකම් සැලසීම සඳහා, එවැනි ආයෝජනවලට බාධා විය හැකි සම්ප්‍රදායික නීති සහ රෙගුලාසි නැවත සලකා බලමින් සංශෝධනය කරමින් සිටී.
ඉතා සාරවත් පරිසරයක් සහ වගාවන් සම්බන්ධ ගැඹුරු ඉතිහාසයක් ඇති ශ්‍රී ලංකාවට වසර දහස් ගණනක් පුරා පැතිරී ඇති පොහොසත් ගොවිජන උරුමයක් ඇත.
දේශගුණික විපර්යාස ලොව පුරා ආහාර සුරක්‍ෂිතතාවයට වැඩි වැඩියෙන් තර්ජනයක් වී ඇති හෙයින්, අපගේ කෘෂිකාර්මික නිෂ්පාදන ඉතා යුහුසුළුව හා තිරසාරව ඉහළ නැංවීම සඳහා මෙම පොහොසත් උරුමය නව තාක්‍ෂණික දියුණුව සමඟ ඒකාබද්ධ කිරීමට අපි උත්සාහකරමු.
සෞඛ්‍ය සම්පන්න හා කාබනික කෘෂිකර්මාන්තයකට සහය දැක්වීම සඳහා මගේ රජය දැඩි ප්‍රතිපත්තිමය ස්ථාවරයක් ගෙන තිබේ. සෞඛ්‍ය සම්පන්නබව අගයන කලාපයේ ජනතාවට උසස් තත්ත්වයේ කෘෂිකාර්මික නිෂ්පාදන සැපයීමට අනාගතයේ දී ශ්‍රී ලංකාවට හැකි වනු ඇති බව මාගේ විශ්වාසයයි. මෙම සන්දර්භය තුළ ආයෝජන සඳහා බොහෝ අවස්ථාවන් නිර්මාණය වනු ඇත.
අපගේ වනාන්තර ආවරණය තවදුරටත් ඉහළ නැංවීම සඳහා වන අපගේ ජාතික කැපවීම සැලකිල්ලට ගෙන, ඉඩම් භාවිතය තවදුරටත් වැඩි නොකර අපගේ කෘෂිකාර්මික පදනමේ ඵලදායිතාව වැඩිදියුණු විය යුතුය.
එබැවින් කාබනික, සෞඛ්‍ය සම්පන්න සහ තිරසාර මාර්ගවලින් ඵලදායීතාව ඉහළ නැංවිය හැකි නව තාක්‍ෂණයන් හා ගොවිතැන් ක්‍රම සඳහා සිදුකරන ආයෝජනය අපි සාදරයෙන් පිළිගනිමු. අපගේ සත්ව පාලන සහ ධීවර අංශවල ඵලදායිතාව තිරසාරව ඉහළ නැංවිය හැකි දියුණු කිරීමේ ක්‍රමවේදයන් ද අපි අපේක්ෂා කරමු.
අපගේ කෘෂිකාර්මික නිෂ්පාදනවල මෙන්ම තේ, රබර් සහ පොල් වැනි අපගේ සාම්ප්‍රදායික අපනයන භෝග වල අපනයන හැකියා විභවය ඉහළ දැමිය හැකි අගය එකතු කිරීමේ ව්‍යාපාර සඳහා කෙරෙන ආයෝජන දැඩි ලෙස දිරිමත් කරනු ලැබේ.
ශ්‍රී ලංකාව සිය කාර්මික පදනම පුළුල් කිරීමට ගන්නා උත්සාහයේදී සපුරාලිය යුතු වඩාත් වැදගත් අවශ්‍යතාවයක් වනුයේ විදුලිබල උත්පාදනය වැඩි කිරීමයි.
වසර 2030 වන විට අපගේ ජාතික විදුලි අවශ්‍යතාවයෙන් 70% ක්ම පිරිසිදු, පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් නිපදවන බව සහතික කිරීම සඳහා පොසිල ඉන්ධන භාවිතය අවම කිරීමට මගේ රජය කැපවී සිටී.
එබැවින් අපගේ විදුලිබල සැපයුම තිරසාරව ඉහළ නැංවිය හැකි සහ කාර්මිකකරණය තවදුරටත් වැඩි දියුණු කිරීමට සහ ආර්ථික වර්ධනය සඳහා වේදිකාව සැකසිය හැකි මහා පරිමාණ සූර්ය හා සුළං බලශක්ති ව්‍යාපෘති වෙනුවෙන් සිදුකරන ආයෝජන සඳහා අපි ආරාධනා කරන්නෙමු.
අධි තාක්‍ෂණික කර්මාන්ත කිහිපයක භාවිතා වන බොහෝ අමුද්‍රව්‍ය ප්‍රභවයන් ශ්‍රී ලංකාවේ ඇත. මෙම සම්පත් වලට වටිනාකමක් එක් කරන නිෂ්පාදන කර්මාන්ත සඳහා ආයෝජන දිරිගැන්වීමට අපි උනන්දු වන අතර එමඟින් අනාගතයේදී ගෝලීය වෙළඳපොළ සඳහා ඉලෙක්ට්‍රොනික උපාංග නිෂ්පාදකයෙකු බවට පත්වීමේ මාවතට රට යොමු කිරීමට හැකි වනු ඇත.
ශ්‍රී ලංකාවේ තොරතුරු තාක්ෂණ අංශය විශේෂයෙන් ශක්තිමත් ය. ජාත්‍යන්තරව සිය සලකුණ තැබූ සමාගම් කිහිපයක් අප සතුව ඇති අතර ඉහළ ගුණාත්මක බවින් යුතු අධ්‍යාපන ආයතන සෑම වසරකම මෙම ක්ෂේත්‍රයෙන් දක්ෂ සේවකයින් බොහෝ පිරිසක් බිහි කරයි.
අපගේ අඛණ්ඩ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මඟින් අනාගතයේදී අපගේ තොරතුරු තාක්ෂණ ශ්‍රම බලකායේ ගුණාත්මකභාවය හා ප්‍රමාණය තවදුරටත් ඉහළ නංවනු ඇත. එවැනි කුසලතා සංවර්ධනයට අමතරව රජය වෙනත් ක්‍රියාකාරී පියවර ගනිමින් සිටී. තොරතුරු තාක්‍ෂණ උද්‍යාන ඇතුළු නව යටිතල පහසුකම් ගොඩනැගීම සහ ශ්‍රී ලංකාවේ මූලස්ථානය පිහිටි තාක්‍ෂණ සමාගම් සඳහා ශුන්‍ය බදු ප්‍රතිපත්තියක් අනුගමනය කිරීම ඇතුළුව සහාය ප්‍රතිපත්ති යාන්ත්‍රණයක් ක්‍රියාත්මක කිරීම මෙයට ඇතුළත් ය
ශ්‍රී ලංකාවේ ටෙරාබයිට් මිලියන ගණනක් දත්ත සම්ප්‍රේෂණය කරන මුහුද පත්ලෙන් සම්බන්ධ කර ඇති ප්‍රධාන රැහැන් වලට භූගෝලීය වශයෙන් සමීප නිසා දත්ත මධ්‍යස්ථාන සහ කලාපයේ තොරතුරු අවශ්‍යතා සපුරාලන වෙනත් මෙහෙයුම් සඳහා ආකර්ශනීය ගමනාන්තයක් බවට පත් කරයි.
ගෝලීය ප්‍රමිතීන්ට අනුකූලව රටේ නෛතික හා නියාමන පරිසරය ගෙන ඒම සඳහා සකස් කරමින් ඇති පුද්ගලික දත්ත සුරැකීම පිළිබඳ නව නීති සම්පාදනය කිරීමත් සමඟ මෙම විභව ශක්තිය තවදුරටත් ශක්තිමත් කෙරෙමින් පවතී.
ලොව පුරා සිටින සංචාරකයින් සඳහා ශ්‍රී ලංකාව ගමනාන්තයක් ලෙස දිගු කලක් තිස්සේම ජනප්‍රිය වේ. දැනට පවතින COVID-19 වසංගතයට එය දැඩි ලෙස ඝෘණාත්මකව බලපා ඇතත්, වසංගතයෙන් පසුව නැඟී සිටින සංචාරක උද්යෝගයෙන් ප්‍රයෝජන ගැනීමට ශ්‍රී ලංකාව සිය විචිත්‍රවත් සංචාරක කර්මාන්තය පුනර්ජීවනය කිරීමට උත්සාහ දරමින් සිටී.
එබැවින් ඉහළ මට්ටමේ වියදම් දැරීමට කැමති සංචාරකයින් රටට ආකර්ෂණය කර ගත හැකි හෝටල්, නිවාඩු නිකේතන, විනෝදාස්වාද පහසුකම් සහ අත්දැකීම් සහිත සංචාරක ව්‍යාපෘති සඳහා ආයෝජන අප පිළිගනු ලැබේ.
ගෝලීය වශයෙන් පිළිගත් පෞද්ගලික රෝහල් සහ අන්තර්ජාතික මට්ටමේ ඉහළ සුදුසුකම් ලත් පළපුරුදු වෛද්‍ය වෘත්තිකයන්ගෙන් අනුකූල ශක්තිමත් සෞඛ්‍ය සේවා පද්ධතියක් සමඟින්, වර්ධනය වන ගෝලීය වෛද්‍ය සංචාරක කර්මාන්තයෙන් ප්‍රතිලාභ ලබා ගැනීමට ද, ශ්‍රී ලංකාව සූදානම්ව සිටී.
අපගේ ඉහළ සුදුසුකම් ලත්, පළපුරුදු, ජාත්‍යන්තර වශයෙන් පිළිගත් වෛද්‍ය වෘත්තිකයන් සහ අපගේ පිළිගත් පෞද්ගලික රෝහල් සමඟ ශ‍්‍රී ලංකාව වෛද්‍ය සංචාරක කර්මාන්තයේ ආයෝජනය සඳහා ද හොඳ තැනක සිටී. ශ‍්‍රී ලංකාවේ අපට උරුම වුණු මානසික සුවය, පරිපූර්ණ සුවය වැනි ජාත්‍යන්තර වශයෙන් පිළිගත් පහසුකම් සපුරාලිය හැකි සංචාරක ව්‍යාපෘති සඳහා වන ආයෝජන ද අපි සාදරයෙන් පිළිගනිමු.
ආකර්ශනීය ස්ථාන, හොඳ යටිතල පහසුකම්, උසස් ජීවන තත්ත්වය සහ එහි ගතික, ක්‍රියාශීලී හා බුද්ධිමත් තරුණ තරුණියන් සිටින ශ්‍රී ලංකාව, කලාපය පුරා සිසුන් ආකර්ෂණය කරගත හැකි ප්‍රමුඛ පෙළේ විශ්ව විද්‍යාල පිහිටුවීම සඳහා ශක්‍ය ගමනාන්තයක් බවට පත් කළ හැකිය.
එවැනි ආයෝජන සඳහා සහාය දීමට මගේ රජය සූදානම්, මෙම ආයෝජන මෙහිදී මා සාකච්ඡා කළ වෙනත් බොහෝ අංශයන් සඳහා පරිවර්තනය කළ හැකි වේ.
මෙම අවස්ථාවට සහභාගිවන්නන්ට මෙම දින තුන තුළදී, මේවා හැදෑරීමට හැකි වන අතර ශ්‍රී ලංකාව විසින් සපයනු ලබන තවත් බොහෝ අවස්ථාවන් විස්තරාත්මකව අධ්‍යයනය කළ හැකි වනු ඇත.
එමෙන්ම, ඔබට ඉහළ මට්ටමේ ප්‍රතිපත්ති සම්පාදකයින් මෙන්ම කාර්මික විශේෂයින්, ව්‍යාපෘති හිමිකරුවන් සහ ශ්‍රී ලංකාවේ ඔබේ ආයෝජන අභිලාෂයන්ට සහාය විය හැකි අනාගත හවුල්කරුවන් සමඟ සෘජුව සම්බන්ධ වීමට ඔබට හැකි වනු ඇත.
ශ්‍රී ලංකා රජය පෙර සූදානමක් සහිතව හා ව්‍යාපාරික කටයුතුවලට ඉතාමත් ගැතිව කටයුතු කරයි. අපගේ ආර්ථිකයට මෙන්ම අපගේ ජාතික පැතිකඩට ද පරිවර්තනීය බලපෑමක් ඇති කළ හැකි ආයෝජන කෙරෙහි අපි අවධානය යොමු කරනු ඇති අතර, එවැනි ආයෝජනවල සාර්ථකත්වය සඳහා අවශ්‍ය පරිසරයක් නිර්මාණය කිරීමට අපි අපේ උපරිමය කරන්නෙමු.
අප දැන් සිටින්නේ ශ්‍රී ලංකාව නඟා සිටුවීමට පමණක් නොව සමස්ත කලාපයටම ධනාත්මක බලපෑමක් ඇති කළ හැකි එමගින් විවිධ අංශ හරහා සහ විවිධ උපාංග හරහා ආයෝජකයින්ට ඉමහත් වටිනාකමක් ලබාදෙනු ලබන ජාතික මට්ටමේ පරිවර්තනයක් අභියසයි.
ශ්‍රී ලංකාවේ ආයෝජනය කරමින් මෙම පරිවර්තනීය ගමනට අප හා එක්වන ලෙස මම ඔබට ආරාධනා කරමි...‘‘

අද (7) ට යෙදී තිබෙන ලෝක ආහාර සුරක්ෂිතතා දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ පණිවිඩය.

‘‘වෙනස්වන දේශගුණයක් තුළ ජීවිතයට අනුවර්තනය වීමට එක් එක් රටවල් විසින් විවිධ උපායමාර්ග යෙදිය යුතුවේ. කෘෂි පරිසර විද්‍යාත්මක අනුවර්තනය තුළින් ආහාර සුරක්‍ෂිතතාවය සහතික කිරීම මෙහි අත්‍යවශ්‍ය අංගයකි.
අපගේ පෘථිවියේ සෞඛ්‍යය සුරැකීමට සහ මානව තිරසාර බව සහතික කිරීමට නම් ලොව පුරා රජයන් නිර්භීත ප්‍රතිපත්ති අනුගමනය කිරීමට පසුබට නොවිය යුතුය. එවැනි ප්‍රතිපත්තීන් පාරිසරික සංරක්ෂණයට සහාය විය යුතු අතර, එමගින් ජෛව විවිධත්වය විනාශවීම වැළැක්වීමට මෙන්ම වඩාත් තිරසාරානුකූලව ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කර ගැනීමට ජනතාවට හැකි විය යුතුය.‘‘

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සහ අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ (USAID) ශ්රී ලංකා කාර්යාලයේ අධ්යක්ෂ රීඩ් ජේ. ඇෂ්ලිමන් (Reed J. Aeschliman) මහතා සමග අද (07) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී USAID), ප්රදාන මගින් ශ්රී ලංකාව තුළ සිදුවන සංවර්ධන කටයුතු වේගවත් කිරීමට පියවර ගැනීම  පිළිබඳ සාකච්ඡා කෙරිණ.
 
USAID ප්රදාන මගින් දැනටමත් රට තුළ සංවර්ධන කටයුතු ගණනාවක් සිදු කෙරෙමින් පවතී. ඒවායේ ඇතැම් ව්යාපෘති විවිධ හේතූන් මත අක්රීයව පවතී. ඊට බලපා ඇති කරුණු පිළිබඳව සොයා බලා, එම සංවර්ධන කටයුතු කඩිනමින් නිම කිරීම පිළිබඳව දෙපාර්ශ්වය අතර සාකච්ඡාවට ලක්විය.
 
“සෞභාග්යයේ දැක්ම” ප්රතිපත්ති ප්රකාරව රට තුළ දැවැන්ත සංවර්ධන ක්රියාදාමයක් සැලසුම් කර තිබේ. ඊට අනුකූලව USAID ප්රදාන මගින් කෙරෙන සංවර්ධන කටයුතු වඩා ඵලදායීව ක්රියාවට නැංවීමේ අවශ්යතාව ජනාධිපතිතුමා විසින් පෙන්වා දෙනු ලැබිණි.
 
ඇමෙරිකා එක්සත් ජනපදයෙන් පරිත්යාග කෙරුණු ඩොලර් මිලියන 6කට අධික කොවිඩ් මර්දන වෛද්ය සහ සෞඛ්යාරක්ෂණ උපකරණ රැගත් විශේෂ ගුවන් යානයක් පසුගියදා මෙරටට ළඟා විය. ඊට සිය ස්තූතිය පළ කළ ජනාධිපතිතුමා කොවිඩ් මර්දනය වෙනුවෙන් රජය ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද දැනුවත් කළේය.
 
ඇමෙරිකානු තානාපති කාර්යාලයේ නියෝජ්ය දූත මණ්ඩල ප්රධානි කෙලී මාර්ටින් (Kelly Martin), අන්තර්ජාතික සංවර්ධනය සඳහා වූ එක්සත් ජනපද ආයතනයේ වැඩසටහන් අධ්යක්ෂ, ක්රිස්ටෝපර් ෆෝලි (Chistopher Foley), ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, මුදල් ලේකම් එස්.ආර්. ආටිගල සහ මුදල් අමාත්යාංශයේ විදේශ සම්පත් පිළිබඳ අධ්යක්ෂ ජනරාල් අජිත් අබේසේකර යන මහත්වරු මේ අවස්ථාවට එක්ව සිටියහ.
 

වසංගත හෝ ආපදා හෝ වේවා ජනතාව සමඟ එක්ව ඕනෑ ම අභියෝගයක් ම භාර ගැනීමට රජයක් ලෙස අප සූදානම් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා අද (07) අරලියගහ මන්දිරයේ දී පැවසුවේය. ඒ නව කැලණි පාලමේ සිට අතුරුගිරිය දක්වා කුලුනු මත ඉදිවෙන කිලෝමීටර 16.4ක අධිවේගී මාර්ගය, ගැටඹේ, කොහුවල, කොම්පඤ්ඤවීදියේ විනිසුරු අක්බාර් මාවත, උත්තරානන්ද මාවත, බාලදක්ෂ මාවත හා චිත්තම්පලම් ඒ. ගාඩ්නර් මාවත යන ස්ථානවල ඉදිවන නව ගුවන් පාලම් 6ක වැඩ ආරම්භ කිරීමේ අවස්ථාවට වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

එහිදී ඔහු සිදුකළ සම්පූර්ණ කතාව,
"මිත්‍රවරුනි,
අද අපි මේ මුලපුරන්නේ කොළඹ සහ මහනුවර අධික රථ වාහන තදබදයට විසඳුම් ලැබෙන ව්‍යාපෘති කිහිපයකට බව ඔබ දන්නවා. මේ ස්ථානවල තිබෙන රථ වාහන තදබදය ගැන බොහෝ අය ඉතිහාසයේ මොනතරම් සංවාද කළා ද කියලා ඔබ දන්නවා. වාහන පෝලිම දිනෙන් දින දිගු වුණා මිසක් කවුරුවත් ප්‍රායෝගික විසඳුමක් දුන්නෙ නැහැ.
මිත්‍රවරුනි,
කාලය කියන දේ අපි හැමෝට ම වටිනවා. මහ ජනතාවට වගේ ම අවසානයේ එය රටටත්, රටේ අනාගතයටත් එක සේ වටිනව බව ඔබ දන්නවා. වාහන තදබදයෙන් මහ ජනතාව මහ මගට ගෙවා දමන කාලය අඩු කරලා, ඒ කාලය යම් ප්‍රයෝජනවත් කාර්යකට ඉතිරි කරලා දෙන්න පුළුවන් නම් ඒක අප ලබන ජයග්‍රහණයක් වශයෙන් මා දකිනවා.
අද මේ ආරම්භ කරන ව්‍යාපෘති අතරට සම්පූර්ණයෙන්ම කුලුනු මතින් ඉදිවන, මේ රටේ 8 වැනි අධිවේගී මාර්ග ව්‍යාපෘතියත් ඇතුළත්. එම අධිවේගී මාර්ගය නව කැලණි පාලමේ ඉදන් අතුරුගිරිය දක්වා ඉදිවෙනවා.
මංතීරු හතරකින් ඉදිවෙන මේ අධිවේගී මාර්ගය අපේ රටේ පළමු හා දෙවැනි අධිවේගී මාර්ග එකිනෙකට සම්බන්ධ කිරීම විශේෂත්වයක්. ඒ වගේ ම දෙමටගොඩ, රාජගිරිය, කොස්වත්ත සහ හෝකන්දර අන්තර් හුවමාරු ඉදිවන විට, කොළඹ රථ වාහන තදබදයෙන් සැලකිය යුතු ප්‍රමාණයකින් අවම කර ගන්නට අපට හැකියාව ලැබෙනවා.
මෙම අධිවේගී මාර්ගයේ වසර 15ක මෙහෙයුම් හා නඩත්තු ඇතුළත් ඉදිකිරීම් වෙනුවෙන් සීමා සහිත චයිනා හාබර් ඉංජිනේරු සමාගම රුපියල් බිලියන 135කට ආසන්න මුදලක් වැය කරනවා. ඔවුන්ටත් මගේ ස්තුතිය මේ අවස්ථාවේ පිරිනමන්න කැමතියි.
මිත්‍රවරුනි,
සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් අපි රට හදන්න ජනතාවට ප්‍රතිඥාවක් දුන්නා. කොවිඩ් වසංගතය හමුවේ වුවත් රටේ සංවර්ධන ව්‍යාපෘති නතර නොකරන්න යැයි ජනාධිපතිවරයා අපි හැමෝටම උපදෙස් දුන්නා.
ජනතාවට මතක නම්, මේ එක වසංගතයක්වත් නැතිව තමයි අද ඉන්න විපක්ෂෙ එදා කිසි ම වැඩක් නොකර හිටියෙ. අද ඒ අය ම අපෙන් අහනවා, අපි මොනවද කරන්නේ කියලා.
මිත්‍රවරුනි,
වගකිවයුතු රජයක් විදිහට අපි ජනතාවට එන්නත් ගෙනල්ලා දෙනවා කියලා සහතිකයක් දුන්නා. එන්නත් කරලා අපේ ජනතාව ආරක්ෂා කරන වැඩපිළිවෙළ අපි අදටත් අඛණ්ඩව ක්‍රියාත්මක කරනවා. යම් යම් අඩුපාඩු නිවැරදි කරගනිමින් අපි ඉදිරියට ඇවිල්ලා තිබෙනවා. වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්යය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව පොලිසිය සහ ඊට සහය වන ජනතාව මේ වසංගත තත්ත්වය පාලනය කරන්න විශාල කැප කිරීමක් කරනවා කියලා ඔබ දන්නවා.
සමහරුන්ට ඒක බලා ගෙන ඉන්න බැහැ. අතන මෙහෙමයි මෙතන මෙහෙමයි කියලා ඒක කඩාකප්පල් කරන්න හදනවා. වැරදි ප්‍රචාරයන් කරනවා. එන්නත ගත්තා ම මැරෙනවා කියල එහෙමත් කිව්වා. ජනතාව බය කරන්න හැදුවා. ඒ වගේ බොරු ප්‍රචාර කරලා ජනතාවගෙ ජීවිත බිල්ලට දාලා දේශපාලන වාසි හොයන්න එපා කියලා තමයි අපි විපක්ෂයට කියන්නේ. මේ වසංගතය අපි හැමෝ ම ඉදිරියේ තියෙන අභියෝගයක්. අපි එකට එක්වෙලා මේ අභියෝගය ජයගත යුතුයි.
හොඳ දේ හොඳ විදිහයට දකින විපක්ෂයේ ම ඇතැම් මන්ත්‍රීවරු තමන්ගේ සමාජ මාධ්‍යවල රජයේ එන්නත්කරණ වැඩපිළිවෙළ අගය කරනවා මම දැක්කා. රටේ ජනතාවත් මේ වෙලාවේ බලාපොරොත්තු වෙන්නේ රට හමුවේ තියෙන මේ අභියෝගයට එකට එකතු වෙලා මුහුණ දෙන්න.
සංචරණ සීමා පැනෙව්වා ම මහ ජනතාවට විවිධ දුෂ්කරතා ඇති වන බව අපි දන්නවා. නමුත් ඔබ සියලු දෙනාගේ හැම ජීවිතයක් ම අපට වටිනවා. ඒ නිසා රජය ඒ ගෙන යන ඒ වැඩපිළිවෙළට ඔබේ සහය ලබා දෙන්න කියන ඉල්ලීම අපි ජනතාවට කරනවා. ඔබ ආරක්ෂා වන ගමන් ඔබේ ආදරණීයන් ආරක්ෂා කර ගන්න. එවිට මුළු රට ම ආරක්ෂා වෙනවා.
වසංගත තත්ත්වය වේවා, ආපදා තත්ත්වය වේවා, ජනතාව සමඟ එක්ව ඒ ඕනෑ ම අභියෝගය භාරගන්න රජයක් විදිහට අපි සූදානමින් සිටිනවා. ජනතාවට ක්‍රමවත් මාර්ග පහසුකම් ලබා දීමට අප කටයුතු කරන්නෙත් අදට වඩා එහි ඇති අනාගත ප්‍රතිඵලය දිහා බලලයි.
මිත්‍රවරුනි,
දුෂ්කරතා හමුවේ වුවත් මහා මාර්ග අමාත්‍යංශය විශාල වැඩපිළිවෙළක් දැනට ක්‍රියාත්මක කරනවා. අපේ ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා ඊට නායකත්වය දෙනවා. ඒ කටයුත්ත හොඳින් ඉටුකරනවා. නිමල් ලාන්සා රාජ්‍ය ඇමතිතුමාත්, අමාත්‍යංශයේ ලේකම්තුමාත්, රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම්තුමාත්, මාර්ග සංවර්ධන අධිකාරියේ සියලු ම දෙනාත් ඊට හොඳ ශක්තියක් ලබා දෙන බව අපි දන්නවා. පසුගිය දා මධ්‍යම අධිවේගී මාර්ගයේත් රුවන්පුර අධිවේගී මාර්ගයේත් වැඩකටයුතු ආරම්භ කරන්න අපට හැකියාව ලැබුණෙ ඒ නිසයි.
ඒ විතරක් නෙමෙයි අද වැඩ ආරම්භ කළ කොම්පඤ්ඤවීදියේ ගුවන් පාලම් ත්‍රිත්වයත්, කොහුවල සහ විනිසුරු අක්බර් මාවතේ ගුවන් පාලම් දෙක සහ මහනුවර ගැටඹේ ගුවන් පාලමේ ඉදිකිරීම් ඉතා කඩිනමින් අවසන් කරන්න බලාපොරොත්තු වෙන බව ජොන්ස්ටන් ඇමතිතුමා අපි සමඟ කිව්වා. මේ සඳහා මූල්‍ය ආධාර දෙන හංගේරියානු රජයටත්, ඊට ක්‍රියාකාරීව සම්බන්ධ වී ඉතා කෙටි කලෙකින් මෙම ව්‍යාපෘති අවසන් කිරීමට සැලසුම් කළ දේශීය ඉංජිනේරුවන් සහ කොන්ත්‍රාත් සමාගම්වලටත් මාගේ සුබ පැතුම් මේ අවස්ථාවේ පුද කරනවා.
ඒ වගේ ම ජොන්ස්ටන් ප්‍රනාන්දු ඇමතිතුමා සහ එම අමාත්‍යංශය මේ සඳහා කැප වෙලා කරන වැඩපිළිවෙළ අපි අගය කරන බව මා මේ අවස්ථාවේ නැවත වරක් මතක් කරනවා."
මෙම අවස්ථාවට අමාත්‍යවරු වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, දිනේෂ් ගුණවර්ධන, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, බන්දුල ගුණවර්ධන, ගාමිණී ලොකුගේ, උදය ගම්මන්පිල, සරත් වීරසේකර, රාජ්‍ය අමාත්‍යවරු වන නිමල් ලාන්සා, සුසිල් ප්‍රේමජයන්ත, දිලුම් අමුණුගම, ලොහාන් රත්වත්තේ, අනුරාධ ජයරත්න, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු වන මධුර විතානගේ, ජගත් කුමාර, යදාමිණි ගුණවර්ධන, තිලක් රාජපක්ෂ, බස්නාහිර පළාත් ආණ්ඩුකාර රොෂාන් ගුණතිලක, මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මහා මාර්ග අමාත්‍යාංශ ලේකම් ආර්.ඩබ්ලිව්.ආර්. ප්‍රේමසිරි, මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපති චමින්ද අතුලුවගේ යන මහත්වරු ඇතුළු රාජ්‍ය නිලධාරී පිරිසක් එක්ව සිටියහ.

අමෙරිකාවේ කැලිෆෝනියා රෝහල් සේවා උපකාර පදනමෙන් (Hospital Services Support Foundation (HSSF) කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයට පරිත්‍යාග කළ වෛද්‍ය උපකරණ තොගයක් හම්බන්තොට දිස්ත්‍රික්කයේ රෝහල් හයක් සඳහා ප්‍රදානය කිරීමේ අවස්ථාව සමග අද (06) පැවැත්වුණි.
මෙම වෛද්‍ය උපකරණ තොගය තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරස්ථානයේ දී තංගල්ල සහ වලස්මුල්ල මූලික රෝහල් සහ අම්බලන්තොට, වීරකැටිය, කටුවන සහ සූරියවැව දිස්ත්‍රික් රෝහල් සඳහා මෙලෙස බෙදා දුන්නේ රුහුණු කරළිය සංවිධානයේ ඉල්ලීමක් අනුව ය.
දිවයින පුරා රෝහල් 150කට පමණ මෙම පදනම (HSSF) විසින් මෙයට පෙර ද අත්‍යවශ්‍ය වෛද්‍ය උපකරණ හා ද්‍රව්‍ය පරිත්‍යාග කර තිබීම විශේෂත්වයකි.
කොළඹ මහ රෝහලේ රෝහල් සේවා මණ්ඩලයේ අධ්‍යක්ෂ පූජ්‍ය රජවැල්ලේ සුභූති නාහිමි, මහරගම සිරි වජිරඤාණ ධර්මායතනාධිපති, උතුරු ඇමෙරිකාවේ ප්‍රධාන සංඝනායක මහරගම ධම්මසිරි නාහිමි, තංගල්ල පුරාණ කුඩා වනවාස විහාරයේ විහාරාධිකාරී මන්ඩාඩුවේ ධීරානන්ද නාහිමි ඇතුළු මහා සංඝරත්නය මෙම අවස්ථාවට වැඩම කළහ.
අමාත්‍ය බන්දුල ගුණවර්ධන, දකුණු පළාත් සභාවේ සභාපති සෝමවංශ කෝදාගොඩ, හම්බන්තොට දිස්ත්‍රික් ලේකම් එච්.පී. සුමනසේකර, දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය දීපිකා පටබැඳිගේ, තංගල්ල මූලික රෝහලේ වෛද්‍ය අධිකාරී විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ, රුහුණු කරළිය සභාපති, අග්‍රාමාත්‍ය සම්බන්ධීකරණ ලේකම් නිශාන්ත ජයසිංහ, ජ්‍යේෂ්ඨ උප සභාපති නීතිඥ විදුර වීරකෝන් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අද (6) ට යෙදී තිබෙන බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය නිමිත්තෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය.

“බහු ආංශික තාක්ෂණික සහ ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්‍රිත රටවල මුලපිරීම හෙවත් බිම්ස්ටෙක් සංවිධානයේ 24 වන සංවත්සරය සමරන අවස්ථාවේ ශ්‍රී ලංකා රජය සහ එහි ජනතාව වෙනුවෙන් සුභාශිංසන එක් කිරීමට ලද මෙම අවස්ථාව මා ඉතා ගෞරවයක් ලෙස සලකමි.

වර්ෂ 1997 දී ශ්‍රී ලංකාවට මෙම ගෞරවාන්විත සංවිධානයේ ආරම්භක සාමාජිකයෙකු වීමට ලැබීම මහත් අභිමානයට ද හේතු වේ.

බිම්ස්ටෙක් සංවිධානයේ වර්තමාන සභාපතිවරයා වශයෙන්, 17 වැනි බිම්ස්ටෙක් අමාත්‍ය රැස්වීම ඇතුළුව ප්‍රධාන බිම්ස්ටෙක් රැස්වීම් අටක් ශ්‍රී ලංකාව විසින් පවත්වන ලදී. මෙම රැස්වීම්වල ප්‍රතිඵලයන් ලෙස සමාජික රටවල් සාමුහිකව බිම්ස්ටෙක් ප්‍රඥප්තිය සඳහා වූ කෙටුම්පත සම්පාදනය කිරීමටත්, බිම්ස්ටෙක් සංවිධානයේ අංශ සහ උප අංශ වඩාත් විධිමත්කරණය සිදු කිරීම උදෙසා එකඟත්වයක් ඇතිකර ගැනීමටත්, බිම්ස්ටෙක් සමාජික රටවල රාජ්‍ය තාන්ත්‍රික විද්‍යාතන/පුහුණු ආයතන අතර සහයෝගීතාවයට ද්විපාර්ශවික අවබෝධතා ගිවිසුමකට එළඹීමටත් හැකි වූ අතර, මේ තීරණ 5 වැනි බිම්ස්ටෙක් සමුළුවේදී සම්මත කර ගැනීමට අපේක්ෂිතයි. මෙම ප්‍රතිඵලයන් ලබා ගැනීමට මහ ලේකම් කාර්යාලය ප්‍රශංසානාත්මක සහයක් සහ අවශ්‍ය පහසුකම් සැලසීම සිදු කරන ලදි.

කොවිඩ් වසංගතය පැතිරීම පාලනය කරන ආකාරය සහ සාමාජික රටවල සංචරණ සීමාවන් ලිහිල්වන ආකාරය අනුව ශ්‍රී ලංකාව 5 වැනි බිම්ස්ටෙක් සමුළුව, මෙම වසරේ අගභාගයේ දී ශ්‍රී ලංකාව තුළ පැවැත්වීමට අපේක්ෂා කරන බව පැවසීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.

බිම්ස්ටෙක් සංවිධානය ලෝක ජනගහනයෙන් 22 % ක ප්‍රමාණයක් නියෝජනය කළ ද එය ලෝක දළ දේශීය නිෂ්පාදනයට සපයන දායකත්වය 4 % කි. එබැවින්, කලාපීය අභියෝග හඳුනාගැනීමට සහ සහයෝගී සංවර්ධනයක් ලඟා කර ගැනීම සඳහා පවතින බොහොමයක් අවස්ථාවන් ග්‍රහණය කර ගැනීමට, සාමාජික රටවල් තවදුරටත් සහයෝගීතාව වර්ධනය කළ යුතු බවට මා දැඩි ලෙස ධෛර්යමත් කරමි.

පෙර පරිදිම සියලු බිම්ස්ටෙක් මුලපිරීම් සඳහා ශ්‍රී ලංකාව තම උපරිම කැපවීම ලබා දෙන බවට මම නැවත සහතික වෙමි. අපගේ ජනතාවට සෞභාග්‍යය සහ සාමය උදාකරනු වස් බිම්ස්ටෙක් සංවිධානයේ සියලු සාමාජික රටවල් එකමුතුව ක්‍රියාත්මක වෙමු.”

 

ශ්‍රී ලංකාවේ ආර්ථිකයේ ඩිජිටල් යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම අරමුණු පදනම කරගත් රජයේ ව්‍යාපෘති වල අඛණ්ඩ වර්ධනයක් පසුගිය වසරේ පෙන්නුම් කල බව නවතම මහ බැංකු වාර්තාව (2020) පෙන්වාදෙයි.

මේ අනුව අන්තර්ජාල සම්බන්ධතා වර්ධනය ද 30.7% කින් ඉහල ගොස් තිබේ. එම සේවාවන් අතර ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය මගින් ක්‍රියාත්මක ලංකා රාජ්‍ය ජාලය (Lanka Government Network - LGN) සහ ලංකා රාජ්‍ය මේඝය (Lanka Government Cloud - LGC) ප්‍රධාන තැනක් ගැනයි.

ජනාධිපති ලේකම් විසින් 2020 ජනවාරි මස 13 වන දින නිකුත් කරන ලද PS/GPA/Circular/01/2020 දරණ චක්‍රලේඛය මඟින් මෙම ලංකා රාජ්‍ය ජාලය සහ ලංකා රාජ්‍ය මේඝය ශ්‍රී ලංකා රජයේ ජාතික තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ඩිජිටල් යටිතල පහසුකම් පද්ධතිය ලෙස නම් කර ඇත. ලංකා රාජ්‍ය ජාලය (LGN) මගින් සියලුම රාජ්‍යය ආයතන එකම පරිගණක ජාලයකින් සම්බන්ධ කර, ඒ ඒ ආයතනවල ඇති තොරතුරු ලිපිගොනු ඉ- මේල් සේවා සහ වෙනත් විද්‍යුත් අන්තර්ගතයන් රාජකාරි කටයුතු හා මහජන අවශ්‍යතා සදහා යොදාගැනීම අපේක්ෂා කෙරෙන බව තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ඩිජිටල් යටිතල පහසුකම් පිළිබද අධ්‍යක්ෂ රවින්ද්‍ර පතිරණ මහතා පවසයි.

එමගින් රාජ්‍ය ආයතන 3500 ක් අධිවේගී පුළුල් පරාස ජාලයක් Wide Area Network (WAN) තුලින් එකිනෙක සම්බන්ධ කර ජාලගත කිරීමට සැලසුම් කෙරින. එහි පළමු පියවර ලෙස රාජ්‍යය ආයතන 860 ක් මෙම ලංකා රාජ්‍ය ජාලය (LGN) හරහා සම්බන්ධ කිරීම පළමු පියවර යටතේ මේ වන විට අවසන් කර ඇත. ඊට ජනාධිපති ලේකම් කාර්යාලය, අග්‍රාමාත්‍ය කාර්යාලය, අමාත්‍ය මණ්ඩල කාර්යාලය සහ අමාත්‍යංශ, රාජ්‍ය අමාත්‍යාංශ 49 ක් දෙපාර්තමේන්තු, දෙපාර්තමේන්තු ශාඛා සහ අනුබද්ධ ආයතන 191 ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25 ක් ප්‍රාදේශීය ලේකම් කාර්යාල 331 ක් ව්‍යවස්ථාපිත මණ්ඩල සහ ඒවායේ ශාඛාවන් 47 ක් රජයේ රෝහල් 46 ක් පළාත් සභා සහ පළාත් පාලන ආයතන හා ඒවායේ අනුබද්ධ ආයතන 167 ක් ඇතුලත් වෙයි.

ඊට අමතරව මහජනතාවට පොදු ස්ථාන වලදී අන්තර්ජාලය හා නොමිලේ සම්බන්ධ විය හැකි නිදහස් වයිෆයි (Free Wi-Fi) කළාප 1400 ක් ස්ථාපනය කර ඇත. රාජ්‍ය සේවකයන්ට ලංකා රාජ්‍ය ජාලය (LGN) හා සම්බන්ධ වෙනත් ඕනෑම රජයේ සේවා ස්ථානයක සිට තම සේවා ස්ථානය හා සම්බන්ධ වී රාජකාරි කර ගැනීමට හැකියාව ලැබෙන අතර මහජනතාවට කාර්යක්‍ෂම සේවාවක් ලබා දීමට මෙමඟින් හැකියාව ලැබේ. එමගින් බාධාවකින් තොරව පහසු ලෙස රාජ්‍ය ආයතන වලට දත්ත හුවමාරු කරගත හැකි විශ්වාසනීය මාර්ගයක් ලෙසත් ලාබදායි ලෙසත් ප්‍රයෝජනයට ගතහැකි වන බව පතිරණ මහතා පෙන්වා දෙයි.

එමෙන්ම ලංකා රාජ්‍ය මේඝය රාජ්‍ය ආයතන 150 කට ඔවුන්ගේ ඩිජිටල් සේවා පවත්වාගෙන යාමට අවශ්‍ය පහසුකම් සපයා ඇත. එමගින් විවිධ ඩිජිටල් සේවා 175 කට වැඩි ප්‍රමාණයක් හා 500 කට අධික වෙබ් අඩවි සංඛ්‍යාවක් මහජන සේවා සදහා යොදවා ඇති බව ද ඔහු පෙන්වාදෙයි.

තාක්ෂණය පදනම් කරගත් සමාජයක් ස්ථාපනය කිරීම පිළිබද වූ ජාතික ප්‍රතිපත්ති හා උපාය මාර්ගයට අනුකූලව ඩිජිටල් රජයක්, ඩිජිටල් ආර්ථිකයක් සහ ඩිජිටල් සේවා ස්ථිරසාරව ස්ථාපනය කිරම සදහා අවශ්‍ය පියවර රැසක්ද ක්‍රියාත්මක කර ඇති බව මහ බැංකු වාර්තාවේ සදහන් කර ඇත. රාජ්‍ය අංශයේ සියලුම ඩිජිටල් සන්වර්තන කටයුතු තාක්ෂණ අමාත්‍යංශය යටතේ ඇති ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතයේ මග පෙන්වීම හා මෙහෙයවීම යටතේ ක්‍රියාත්මක කෙරේ.

 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter