නවතම පුවත්

ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය. 

‘‘ලෝක රුධිර පරිත්‍යාගශීලීන්ගේ දිනය අදට (14) යෙදී තිබේ. ස්ව කැමැත්තෙන් ඉදිරිපත් වී තවත් ජීවිතයක් රැක ගැනීම උදෙසා සිය රුධිරය දන් දෙන නිහඬ වීරයින් පිරිසක් වන රුධිර පරිත්‍යාගශීලීන්ට මම මගේ ප්‍රණාමය පුද කරමි. එසේ ම දිවයින පුරා වාර්ෂිකව රුධිර පරිත්‍යාග වැඩසටහන් සංවිධානය කරන පිරිස ද මම මේ අවස්ථාවේ කෘතවේදීව සිහිපත් කරමි.
වර්තමාන කොවිඩ් වසංගත තත්ත්වය සහ ඒ නිසා පනවා ඇති සංචරණ සීමා නිසා මෙතෙක් රට පුරා සිදු කළ බොහෝ රුධිර පරිත්‍යාග කටයුතු මේ වන විට බොහෝ දුරට සීමා වී තිබේ. මේ නිසා අත්‍යවශ්‍ය ශෛල්‍යකර්ම, ඇතැම් කායික රෝග තත්ත්ව, ගැබිනි මව්වරුන්ට සහ දරු ප්‍රසූති අවස්ථා සඳහා රුධිරය සපයා ගැනීමේ දී අපහසුතාවලට මුහුණ පෑමට සිදුව තිබේ.
කෙසේ වුව ද මෙම ගැටලුකාරී වාතාවරණය මැද වුව අපහසුතා අවම වන ආකාරයට දිවයින පුරා පිහිටි 107කට අධික රුධිර බැංකු කරා පැමිණ රුධිරය පරිත්‍යාග කිරීම සඳහා මේ වන විට ජාතික රුධිර පාරවිලයන සේවය (https://www.facebook.com/nbts.srilanka/) මගින් කටයුතු සම්පාදනය කර තිබේ.
මේ අවස්ථාවේ නිරෝධායනයට ලක් නොවී සිටින අපගේ නීරෝගී, සෞඛ්‍යසම්පන්න රුධිර පරිත්‍යාගශීලීන්ට රටේ රුධිර සංචිත පවත්වා ගෙන යාම සඳහා සිය මහාර්ඝ දායකත්වය ලබා දීමට එකතු වන ලෙස ආරාධනා කිරීමට ද මම මෙය අවස්ථාවක් කර ගනිමි...‘‘

අභියාචනාධිකරණයේ සභාපති, විනිසුරු අර්ජුන ඔබේසේකර මහතා අද (14) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
අභියාචනාධිකරණ විනිසුරු ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා, අභියාචනාධිකරණයේ නව සභාපතිවරයා ලෙස සහ මහාධිකරණයේ හිටපු විනිසුරු ශෂී මහේන්ද්‍ර මහතා අභියාචනාධිකරණ විනිසුරුවරයෙක් ලෙස දිවුරුම් දුන්හ.
ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා මේ අවස්ථාවට එක්ව සිටියේය.

මාර්ග ගත (Online) අධ්‍යාපන ක්‍රමය විධිමත් කිරීම සදහා වූ සාකච්ඡාවක් අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.

දැනට අන්තර්ජාලය භාවිතා කිරීමේදී ඩේටා සදහා යන අධික වියදම, දුෂ්කර පළාත් සදහා දුරකතන සංඥාවල දුර්වලතා පිළිබඳව මෙන්ම දරුවන්ගේ අධ්‍යාපනය සදහා ජංගම දුරකතන මෙවලමක් ලබා දීමේ ක්‍රමවේදයක් පිළිබදව මෙහිදී සාකච්ඡා විය.

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ක්‍රියාත්මක වන අධ්‍යාපනය සදහා වෙන්වූ රූපවාහිනී නාලිකාවක් ආරම්භ කිරීම සදහා වූ මූලික කටයුතු සැළසුම් කරන ලෙස මෙම සාකච්ඡාවේදී අමාත්‍යවරයා විසින් නිළධාරීන් වෙත උපදෙස් ලබා දෙන ලදි.

අධ්‍යාපන අමාත්‍යාංශය විසින් පවත්වාගෙන යන e-තක්සලාව මාර්ග ගත ඉගැන්වීම් වෙබ් පිටුව අන්තර්ජාල සේවා ගාස්තුවකින් තොරව (Free Of Data Charge) පරිහරණය කිරීමේ අවස්ථාව ලබා දී ඇත. මේ හරහා සියලුම දරුවන්ගේ පාසල් විෂය නිර්දේශය ආවරණය වන පරිදි අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාමට හැකි බව පෙන්වා දුන්නේය.

මෙම සාකච්ඡාව සදහා අධ්‍යාපන අමාත්‍ය ජී.එල්.පීරිස් මහතා, අධ්‍යපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්ව විද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතා, අමාත්‍යාංශ ලේකම්වරු, ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂන ආයතනයේ නිළධාරීන්, විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ නිළධාරීන්, ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ නියෝජිත ආයතනයේ නිළධාරීන් සහභාගී විය.

 

කොවිඩ්-19 වසංගත තත්ත්වය හේතුවෙන් වසා දමා තිබෙන පාසල් නැවත ආරම්භ කිරීමේ දී දරුවන් මුහුණපා ඇති ගැටලු හඳුනා ගැනීම සඳහා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සහය ලබා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඊයේ (11) පස්වරුවේ අධ්‍යාපන බලධාරීන්ට උපදෙස් දුන්නේය. 
ඒ, පාසල් නැවත විවෘත කිරීම සහ ගුරුවරුන්ට, සිසුන්ට කොවිඩ් ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම පිළිබඳ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමිනි.
කොවිඩ් වසංගත තත්ත්වය පාලනය වූ වහා ම අදියර කිහිපයක් යටතේ පාසල් නැවත ආරම්භ කිරීමේ වැදගත්කම ද ගුරුවරුන්ට අවශ්‍ය එන්නත් සෞඛ්‍ය අමාත්‍යංශය ඔස්සේ ලබාගත හැකි බව ද ඔහු එහි දී පෙන්වා දී තිබේ. 
පාසල් නැවත ආරම්භ කිරීමේ දී ඇති වන ගැටලු මගහරවා ගැනීම සඳහා සිය සංගමයේ සහය අධ්‍යාපන කලාප මට්ටමෙන් ලබා දිය හැකි බව මෙම සාකච්ඡාවට එක්ව සිටි ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ නියෝජිතයෝ ප්‍රකාශ කළහ. රටේ අධ්‍යාපන කලාප 99 උදෙසා ම තම සංගමයේ නියෝජිතයින් නම් කරමින් අදාළ කටයුතු විධිමත් කරන බව ඔවුහු පැවසූහ.
පාසල් නැවත ආරම්භ කිරීමට අදාළව එන්නත්කරණ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වන්නේ නම් 11 ශ්‍රේණියේ හා 13 ශ්‍රේණියේ දරුවන්ට එහි ප්‍රමුඛතාව දිය යුතු බව අධ්‍යාපන අමාත්‍යංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පෙන්වා දුන්නේ ය. මෙම කටයුත්ත සාර්ථක කරගැනීම සඳහා දෙලක්ෂ හැත්තෑ නව දහසක් පමණ වන ගුරුවරුන් සහ අනධ්‍යයන කාර්ය මණ්ඩලය ඇතුළු ලක්ෂ තුනකට ආසන්න පිරිසට එන්නත් ලබා දීමේ වැදගත්කම ද ලේකම්වරයා පෙන්වා දුන්නේ ය.
රටේ අනාගත දරු පරපුර මෙන් ම ඔවුන්ට මග පෙන්වන ගුරුවරු ද ආරක්ෂා කර ගැනීමට රජය සෑම විට ම කටයුතු කරන බව අවධාරණය කළ අගමැතිවරයා පාසල් ආරම්භ කිරීමේ දී දරුවන් සහ ගුරුවරුන් ආරක්ෂිත ක්‍රමවේදයක් ඔස්සේ පාසලට කැඳවා ගැනීම පිළිබඳ ව වැඩපිළිවෙළක් සකස් විය යුතු බව ද පාසල් ළමුන් ප්‍රවාහනය කිරීමේ දී අනුගමනය කළ යුතු සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳ ව විශේෂ අවධානයක් යොමු කළ යුතු බව ද පැවසුවේය.
මෙම අවස්ථාවට අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, පාසල් කටයුතු අතිරේක ලේකම් එල්.එම්.ඩී. ධර්මසේන, පාසල් සෞඛ්‍ය හා පෝෂණ අංශයේ අධ්‍යක්ෂ කමණි ගුණරත්න, ළමා රෝග විශේෂඥ වෛද්‍යවරු වන ටී.එල්.පී. සෝමතුංග, මහේන්ද්‍ර ආර්නල්ඩ්, ශාමන් රජීන්ද්‍රජිත්, සුරන්ත පෙරේරා, මහචාර්ය සනත් ළමාබදුසූරිය ඇතුළු ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ පිරිසක් ද සහභාගී වී සිටියහ.

අද (12) ට යෙදී තිබෙන ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය වෙනුවෙන් අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය.

‘‘ගෝලීය වශයෙන් ළමා ශ්‍රම භාවිතය තුරන් කිරීමට අන්තර් ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලය ලෝක ප්‍රජාව පෙළ ගස්වමින් සිටින කාලයක ළමා ශ්‍රම භාවිතය තුරන් කිරීමට සාධනීය කාර්යභාරයක් ඉටුකර තිබෙන ශ්‍රී ලංකාවේ අග්‍රාමාත්‍යවරයා ලෙස අදට යෙදී තිබෙන "ලෝක ළමා ශ්‍රම විරෝධී දිනය" වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරනුයේ ඉමහත් සතුටිනි.
"ළමා ශ්‍රමය තුරන් කරන්න - දැන් ම ක්‍රියාත්මක වන්න" තේමාවෙන් ලෝකය ම අද පෙළ ගැසෙන්නේ 2021 වසර ළමා ශ්‍රමය තුරන් කිරීමේ අන්තර් ජාතික වර්ෂය ලෙස ද නම් කිරීමට කටයුතු කරමින් ඇති බව මම ඔබට සිහිපත් කරමි.
අන්තර් ජාතික කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල ගෝලීය තිරසර ඉලක්කයක් ලෙස 2025 වසර වන විට ළමා ශ්‍රම භාවිතය ලොවෙන් තුරන් කිරීමේ ඉලක්කගත වැඩපිළිවෙළකට මුලපුරා තිබේ.
දරුවන්ගේ අනාගතය සුබවාදී මාවතකට ගෙන ඒම වෙනුවෙන් අතීතයේ කැපවීම් කළ අප අදත් ඒ වෙනුවෙන් වෙහෙසී කටයුතු කරන බව අමුතුවෙන් මතක් කළ යුතු නැත.
රජයක් ලෙස ළමා ශ්‍රම භාවිතය තුරන් කිරීම සඳහා මේ දක්වා ගෙන ඇති වැදගත් තීන්දු තීරණ හේතුවෙන් ඉතා නුදුරේ දී ම ගෝලීය තිරසර ඉලක්ක සපුරමින් ශ්‍රී ලංකාවෙන් ළමා ශ්‍රමය තුරන් කිරීමට හැකිවනු ඇති බව මාගේ විශ්වාසයයි.
අනර්ථකාරී රැකියා සඳහා ළමුන් යොදා ගැනීම ද ඇතුළු ව සියලු ම ආකාරයේ කටයුතු සඳහා ළමා ශ්‍රමය යොදා ගැනීම් වැළැක්වීමට අණ පනත් කිහිපයක් ම මේ වන විටත් රජයක් ලෙස අපි සංශෝධනය කර තිබේ. 1956 අංක 47 දරන වසර 65ක් පැරණි "කාන්තාවන් තරුණ අය හා ළමුන් සේවයේ යෙදවීමේ පනත" සංශෝධනය කරමින් මෙතෙක් මෙරට සේවයේ යෙදවිය හැකි අවම වයස් සීමාව අවුරුදු 14 සිට අවුරුදු 16 දක්වා ඉහළ නැංවීමට ද අපි පියවර ගත්තෙමු. ඒ අනුව දැන් වයස අවුරුදු 16ට අඩු ළමුන් ශ්‍රී ලංකාව තුළ සේවයේ යෙදවීම තහනම් අතර එය දඬුවම් ලැබිය හැකි වරදකි.
කම්කරු දෙපාර්තමේන්තුව ඒ සම්බන්ධයෙන් කැපවීමෙන් කටයුතු කරන අතර, ළමුන් සේවයට යෙදවීම් සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවත්, ජාතික ළමා ආරක්ෂණ අධිකාරියත්, පරිවාස දෙපාර්තමේන්තුවත්, ශ්‍රී ලංකා පොලීසියේ ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යංශයත් ප්‍රසංශනීය සේවයක් ඉටුකරයි. ළමයාගේ ළමා කාලය අපි ලබා දිය යුත්තේ ළමුන්ට ම ය. විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ද ඔවුන්ට ලබා දිය යුතු ය. නිසි ගෞරවය ද හිමිවිය යුතු ය. මෙම නව වෙනසින් ඒ සියල්ල ළමයාට හිමි ව ඇත්තේ අවුරුදු 16 දක්වා අනිවාර්ය විධිමත් පාසල් අධ්‍යාපනයක් ලැබීමේ අයිතිය ද තහවුරු කරමිනි.
ඒ අනුව පාසල් නොයන වයස අවුරුදු 16ට අඩු ළමුන් හඳුනා ගනිමින් පාසල් වෙත යොමු කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් ද කම්කරු දෙපාර්තමේන්තුව ඇතුළු ව ආයතන කිහිපයක් එක්ව ක්‍රියාවට නංවා තිබේ.
මෙරට යුද්ධය පැවැති සමයේ එල්.ටී.ටී.ඊ.ය සිය ත්‍රස්ත ක්‍රියාකාරකම් සඳහා ළමුන් යොදා ගැනීම් බහුල ව සිදුවිය. ඒ හේතුවෙන් ළමා සොල්දාදුවන් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව ලොව නම් දැරූ රටක් ලෙස සැලකිනි. වසර 12 කට පෙර ඊට ද අපි නැවතීමේ තිත තැබු නිසා උතුරු හා නැගෙනහිර පළාත්වල දරුවන්ට ද ළමයින්ට හිමි සියලු ම අයිතීන් හිමිකර දීමට අපි කැප වී ඇත්තෙමු.
ඒ අනුව ළමා ශ්‍රමය පමණක් නොව, ළමයින්ට එරෙහිව සිදුවන සියලු ම ආකාරයේ හිංසන වැළැක්වීම සඳහා අන්තර් ජාතික ප්‍රඥප්ති හා බැඳීම්වලට අනුගතව අපි රටක් ලෙස කටයුතු කරමින් සිටිමු. අද අප ළමුන් සම්බන්ධයෙන් තීන්දු තීරණ ගනු ලබන්නේ වර්තමාන ළමා පරපුර පමණක් නොව අනාගත ළමා පරපුර ගැන ද කල්පනා කරමිනි.
එබැවින් ළමා ශ්‍රමයට පමණක් නොව, ළමයාට සිදුවන සියලු ම හිංසන සහ අපරාධ පිටුදකිමින් ඊට එරෙහිව නැගී සිටීමට කිසි විටකත් පසුබට නොවන මෙන් ශ්‍රී ලංකාවේ ආදරණීය ජනතාවගෙන් මම ඉතා කරුණාවෙන් ඉල්ලා සිටිමි..‘‘

අද (12) ට යෙදී තිබෙන ලෝක ළමා ශ්‍රමය තුරන් කිරීමේ දිනය වෙනුවෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිකුත් කළ පණිවිඩය. 

"ළමා ශ්‍රමය තුරන් කරන්න - දැන් ම ක්‍රියාත්මක වන්න" තේමාව කරගත් ලෝක ළමා ශ්‍රමය තුරන් කිරීමේ දිනය අදයි.
වැඩිහිටියන් ලෙස අපගේ වගකීම වන්නේ අප දුවා දරුවන්ගේ ළමා කාලය සුරක්ෂිත කිරීමයි. ශ්‍රී ලංකාව මේ වන විට ලෝක කම්කරු සංවිධානය සහ එක්සත් ජාතීන්ගේ ළමා අරමුදල විසින් දියත් කර ඇති 2025 වසරට පෙර ලෝක ළමා ශ්‍රම භාවිතය ශුන්‍ය කිරීමේ කර්තව්‍යය සාක්ෂාත් කරගැනීමෙහි ලා කැපවී සිටී.
ජාතියේ ළමා පරපුර සුරක්ෂිත කිරීමේ මෙහෙයුමේ දී මාගේ උපරිම කැපවීම තවදුරටත් ලබාදීමට මම කැපවෙමි.'' යන්නයි. 

පොළොන්නරුවේ ඉදිකෙරුණු චීන - ශ්‍රී ලංකා මිත්‍රත්ව ජාතික වෘක්කවේද විශේෂිත රෝහල අද (11) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනතා අයිතියට පත් කෙරිණ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා 2015 වසරේ චීනයේ සිදුකෙරුණු සංචාරයේ දී කළ ඉල්ලීමකට අනුව චීන රජයේ පූර්ණ ප්‍රදානයක් ලෙස රෝහල් සංකීර්ණය මෙරටට හිමි විය.
චීන සහ ශ්‍රී ලංකා පෞරාණික ගෘහ නිර්මාණ ශිල්පයට අනුව ඉදිකෙරුණු රෝහල් සංකීර්ණය අක්කර 16ක භූමි ප්‍රමාණයක විහිදී තිබේ. ඒ සඳහා වැය කෙරුණු මුදල රුපියල් කෝටි 1200ක් වන අතර ඉදිකිරීම් සඳහා ගතවු කාලය මාස 30කි.
වකුගඩු බද්ධ කිරීම සඳහා නවීන පහසුකම් සහිත ශල්‍යාගාර 05කින් යුත් මෙහි රෝගීන් 200 කට නේවාසික පහසුකම් සැපයේ. දැඩි සත්කාර ඇඳන් සංඛ්‍යාව 20කි. යන්ත්‍ර 100කින් සමන්විත රුධිර කාන්දුකරණ ඒකකයක්, වකුගඩු රෝගී සායන සංකීර්ණයක්, අති නවීන තාක්ෂණයෙන් යුත් රසායනාගාර හා පර්යේෂණාගාර, විකිරණ සහ සී.ටී ස්කෑන් සේවාව සහ නවීන ශ්‍රවණාගාරයක් මීට අයත් වේ. වාහන 300ක් නවතා තැබිය හැකි රථ ගාලක් සහ රෝහල් කාර්ය මණ්ඩලයේ සෑම අයෙකුටම නේවාසිකාගාර පහසුකම් සැලසුම් කර තිබීම විශේෂත්වයකි.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් සමරු ඵලකය නිරාවරණය කර රෝහල් සංකීර්ණය විවෘත කෙරිණ.
රෝහලේ කාර්යභාරය පිළිබඳව පොළොන්නරුව මහා රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එම්.කේ. සම්පත් ඉන්දික කුමාර මහතා විස්තර කළේය.
ජනාධිපතිතුමා ඇතුළු ආරාධිත පිරිස රුධිර කාන්දුකරණ ඒකකය, ශල්‍යාගාරය, දැඩි සත්කාර ඒකකය ඇතුළු රෝහල් සංකීර්ණය නිරීක්ෂණය කළහ.
හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරු වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන අමරකීර්ති අතුකෝරල, සුරේන් රාඝවන්, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් විශ්‍රාමික මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, ශ්‍රී ලංකාවේ චීන තානාපති චී. චෙන්ග් හොන්ග් යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සෞභාග්‍යයේ දැක්ම යතාර්ථයක් බවට පත්කරමින් ජනමාධ්‍යවේදීන් සඳහා කිසිඳු අයකිරීමකින් තොරව ලබාදෙන ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය‘‘ ජනමාධ්‍ය අමාත්‍යංශය මගින් මේ වනවිට ආරම්භ කර ඇත.

ඒ අනුව, ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණ යෝජනා ක්‍රමය 2021-2022‘‘ සඳහා අයදුම්පත් කැඳවීම 2021 ජූනි මස 10 වන දින සිට ආරම්භ කර ඇති අතර අයදුම්පත් යොමුකළ හැකි අවසන් දිනය 2021 ජූනි මස 30 වන දින වේ. අදාළ අයදුම්පත සහ වැඩි විස්තර ජනමාධ්‍ය අමාත්‍යංශයේ වෙබ් අඩවියෙන් (www.media.gov.lk) බාගත කරගත හැකිය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ලියාපදිංචි වලංගු මාධ්‍යවේදී හැඳුනුම්පතක් හිමි වයස අවුරුදු 19 ත්, 65 ත් අතර, මාධ්‍ය ආයතනයකින් රක්ෂණාවරණයක් නොලබන, සක්‍රීයව මාධ්‍ය ක්ෂේත්‍රයේ නියුතු ජනමාධ්‍යවේදීන්ගෙන් මෙම රක්ෂණාවරණය සඳහා අයදුම්කළ හැක.

නිසි පරිදි සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රය 2021 ජූනි මස 30 දිනට පෙර අතිරේක ලේකම් (සංවර්ධන හා සැලසුම්), අංක 163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05 ලිපිනයට ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතු අතර, ලියුම් කවරයේ වම් පස ඉහළ කෙළවරේ ‘‘ඇසිදිසි හදිසි අනතුරු හා වෛද්‍ය රක්ෂණය‘‘ යනුවෙන් සඳහන් කළ යුතුය. සම්පූර්ණ කරන ලද අයදුම්පත්‍රයෙහි ඡායා පිටපතක් (Scanned Copy) . යන විද්‍යුත් ලිපිනයට ද යොමු කළ හැකිය.

 

ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය (ICTA), ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් (පුද්) සමාගම (PwC ශ්‍රී ලංකාව) සමඟ එක්ව තාක්ෂණික සමාගම් සඳහා මෙම වැඩසටහන හදුන්වදෙනලදී. සාම්ප්‍රදායික ණය ඇගයීමේ ක්‍රම මඟින් නිශ්චිත ණය ප්‍රමාණයක් ලබා ගැනීමට හෝ ව්‍යාපාර ණයක් සඳහා සුදුසුකම් ලැබීමට භෞතික ඇපකර ඉදිරිපත් කිරීමට අවශ්‍ය වේ. එහිදී තාක්ෂණික සමාගම්වලට දුෂ්කරතා රැසකට මුහුණ දීමට සිදු වේ. එම දුෂ්කරතා ජයගැනීම සදහා මෙම වැඩසටහන හදුන්වාදීමේ අරමුණ වි තිබේ.

සීමාසහිත කැල්සි ටෙක්නොලොජීස් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මංගල කරුණාරත්න , ලංකා ඒන්ජල් නෙට්වර්ක් හි ප්‍රධාන විධායක නිලධාරී චලින්ද අබේකෝන් ,එන්ඩීබී ඉන්වෙස්ට්මන්ට් බෑන්ක් ලිමිටඩ් හි ප්‍රධාන ආයතනික උපදේශක නිලධාරී නිලේන්ද්ර වීරසිංහ , සිමෙක්ස් (පුද්) සමාගමේ අධ්යක්ෂ වෙලිංටන් පෙරේරා සහ සී මැසෙන්ජර් (පුද්) සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනී ජයෝමි ලොකුලියන යන අයගෙන් සමන්විත මෙහෙයුම් කමිටුවක නිසි සහයෝගය හා උපදේශනය සමගින් මෙම වැඩසටහන සකස් කර ඇත .

නව වැඩසටහන පිළිබඳව අදහස් දක්වමින් ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ මහතා මෙසේ පැවසීය. “නව්‍ය තාක්ෂණික ව්යවසායක
පරිසර පද්ධතියට රටේ ආර්ථිකය පුනර්ජීවනය කිරීමේ හැකියාවක් පවතින මොහොතක, ඔවුන්ගේ විශාල අපනයන ධාරිතාව ද සැලකිල්ලට ගනීමින් මෙම තාක්ෂණික සමාගම් වර්ධනය සඳහා මුල්‍ය සහයෝගය ලබා දීම අත්‍යවශ්‍ය වේ.

මෙම විකල්ප ණය ඇගයීමේ ක්‍රියාවලිය මඟින් තාක්ෂණික සමාගමක් පුද්ගලික ආයෝජන මත රඳා නොසිට ණයක් සඳහා ඉල්ලුම් කල හැකිය ” එම යාන්ත්‍රනය තවදුරටත් විධිමත් කිරීම සඳහා බැංකු කිහිපයක ණය ඇගයීම් නිලධාරීන්ගේ නිර්දේශයන් සමඟ වැඩසටහන සැලසුම් කර තිබීම විශේෂත්වයකි. ණය ක්‍රියාවලිය සඳහා තාක්ෂණ සමාගම් තක්සේරු කිරීමේදී නව වැඩසටහන සලකා බැලීමට සෙලාන් බැංකුව, ඩීඑෆ්සීසී බැංකුව, යුනියන් බැංකුව සහ එන්ඩීබී බැංකුව මේ වන විටත් සහයෝගය ලබා දී ඇත.

තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරි අනුර ද අල්විස් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය. “රැකියා අවස්ථා ලබා දීම දී තාක්ෂණික කර්මාන්ත රටේ ආර්ථික වර්ධනයට මූලික දායකත්වයක් දක්වයි.නමුත් බොහෝ තාක්ෂණික සමාගම් භෞතික ඇපකරයක් නොමැතිකම හේතුවෙන් ණය ලබා ගැනීමේ දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටී. COVID-19 වසංගතය හමුවේ තාක්ෂණික සමාගම් අභියෝග රැසකට මුහුණ දී ඇති අතර එය ඔවුන්ගේ වර්ධනය යම් දුරකට අඩපණ කර ඇත .මෙම පසුබිම තුළ, PwC සමඟ එක්ව දියත් කරන ලද නව වැඩසටහන තාක්ෂණික කර්මාන්ත නංවාලීම සඳහා තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරනු ඇත.නව වැඩසටහන සැලසුම් කිරීම සඳහා අප සමඟ හවුල් වීම ගැනත්, සමස්ත ක්‍රි යාවලියම සාර්ථක කර ගැනීම සඳහා මෙහෙයුම් කමිටුවෙන් ලැබෙන උපදේශනය හා මග පෙන්වීම ගැනත් අපි ස්තූතිවන්ත වෙමු.

PWC ශ්‍රී ලංකා ආයතනයේ ගනුදෙනු අධ්‍යක්‍ෂ කාවින්ද වීරකෝන් මහතා අදහස් දක්වමින් ." මෙම වටිනා මුලපිරුමට PwC ආයතනය සමග සම්බන්ධ වූ ICTA ආයතනයට ට අපි ස්තූතිවන්ත වන්නෙමු. මෙම වැඩපිළිවෙල සංවර්ධනය කිරීම සඳහා PwC ආයතනය විශේෂ උපදේශන කමිටුවක් සම්බන්ධ කර ගෙන තිබේ.ආර්ථිකයේ ඉහළ බලපෑමක් ඇති තාක්ෂණය මත පදනම් වූ අංශ සංවර්ධනය කිරීම සඳහා නම්යශීලී හා නව්‍ය මුල්‍ය පහසුකම් සැපයීමේ අරමුණින් ණය දෙන ආයතන සඳහා මෙම රාමුව උත්පෙරකයක් ලෙස ක්‍රි යා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙමු. ”

ශ්‍රී ලංකාවේ වේගයෙන් සංවර්ධනය වෙමින් පවතින මුල්‍ය තාක්ෂණික (ෆින්-ටෙක්) සමාගමක් වන පේමීඩියා හි නිර්මාතෘ කනිෂ්ක වීරමුන්ඩ මහතා එන්ඩීබී වෙතින් ණයක් ලබා ගෙන ඇති ආකාරය පැහැදිලි කරන ලදී .”ඔබේම සමාගමක් ආරම්භ කිරීම තරමක් අභියෝගාත්මක නමුත් එය ප්‍රතිලාබ දායක ක්‍රි යාවලියක් විය හැකිය. “දේශීය බැංකුවකින් ණයක් ලබා ගැනීම නව්‍ය තාක්ෂණික ව්‍යසායක ආයතනයක් සඳහා හොඳ අවස්ථාවක් වී තිබේ.ව්‍යාපාරයට අරමුදල් සැපයීම සඳහා කොටස් හුවමාරු කර ගැනීමට හෝ ඇපකර ලබා දීමට සිදු වන වෙනත් නව තාක්ෂණික ව්‍යසායකයින්ට මෙය ඉතා වටිනා අවස්ථාවක් වනු ඇත.”
“මෙම ණය ලබා ගැනීමේ ක්‍රියාවලියේදී ව්‍යාපාරික යෝජනාවක් සමඟ අයදුම්පතක් ඉදිරිපත් කරන ලෙසත් මෙයින් පසුව, ණය ලබා ගැනීම සඳහා අපගේ අරමුණ ඉදිරිපත් කරන ලෙසත් අපෙන් ඉල්ලා සිටි අතර සති 3 කටත් අඩු කාලයකදී අපට අනුමැතිය ලැබී ණය ලබා දීමටද හැකිවිය .සමස්ත ක්‍රියාවලියම සිදු වූයේ COVID-19 වසංගතයේ දෙවන රැල්ල අතරතුරය.”

අන්තර්ජාලය ඔස්සේ පවතී මෙම අවස්ථාව සඳහා ශ්‍රී ලංකාවේ තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ අංශයේ සභාපති මහාචාර්ය ලලිත් ගමගේ, තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රධාන විධායක නිලධාරී මහින්ද බී. හේරත් ,තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ අංශයේ ප්‍රධාන ඩිජිටල් ආර්ථික නිලධාරී අනුර ද අල්විස්, ප්‍රයිස්වෝටර්හවුස් කූපර්ස් ( පුද්) සමාගමේ ගනුදෙනු සේවා අධ්‍යක්ෂ කාවින්ද වීරකෝන් , ඩී.එෆ්.සී.සී බැංකුවේ නියෝජ්‍ය ප්‍රධාන විධායක නිලධාරි තිමල් පෙරේරා, ඩී.එෆ්.සී.සී. බැංකුවේ ප්‍රධාන අවදානම් නිලධාරී අශෝක් ගුණසේකර ,එන්.ඩී.බී බැංකුවේ මධ්‍යම වෙළෙඳපොළ හා ව්‍යාපාර බැංකුකරණයේ උප සභාපති - ඉන්දික රණවීර , පේමීඩියා (පුද්) සමාගමේ නිර්මාතෘ / ප්‍රධාන විධායක නිලධාරී කනිෂ්ක වීරමුන්ද යන ය මෙම අවස්ථාවට එක්වුහ.

සෞඛ්‍ය නිර්දේශ අනුව, ලෝක තත්ත්වය සලකා එන්නත්කරණයට තුන්වන මාත්‍රාවක් අවශ්‍ය නම් එය දැන්ම ඇණවුම් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි.
ලොව ප්‍රධාන පෙළේ රටවල් ගණනාවක් තුන්වන මාත්‍රාව සඳහා එන්නත් මේ වන විටත් ඇණවුම් කර තිබේ. ශ්‍රී ලංකාව ද ඒ පිළිබඳ විශේෂ අවධානය යොමු කර තෙවන මාත්‍රාව ලබාදීම සඳහා සූදානම් වීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
ලොව පුරා සියලු රටවලින් එන්නත් සඳහා විශාල ඉල්ලුමක් පවතී. එම තරගකාරී තත්ත්වය තුළ වැඩි එන්නත් ප්‍රමාණයක් ශ්‍රී ලංකාවට ලබා ගැනීම සඳහා රටවල් රැසක නායකයන් සමඟ සාකච්ඡා කර සහාය ඉල්ලා සිටි බව ජනාධිපතිතුමා සඳහන් කළේය. ඒ අනුව ඉතා අසීරුවෙන් ලබාගත් එන්නත් විනිවිද භාවයකින් හා විධිමත්ව ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.
මේ වන විට එන්නත් විශාල ප්‍රමාණයක් ලැබී ඇති හෙයින් වයස අවුරුදු 60ට වැඩි සියලු දෙනාට සහ හඳුනාගත් ආසාදිතයන්ගේ ආශ්‍රිතයන්ට ද කඩිනමින් එන්නත ලබා දීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. ඊට සමගාමීව බෝ නොවන රෝගවලින් පෙලෙන සියලු දෙනාට ද එන්නත ලබාදීමට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් දුන්නේය.
වැඩි පිරිසකට එන්නත් ලබාදීමෙන් කොවිඩ් වසංගතය පැතිර යාම සහ ආසාදිතයන් අසාධ්‍ය තත්ත්වයට පත්වීම වළක්වා ගත හැකි බව කොවිඩ් මර්දන විශේෂ කමිටුව අද (10) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ රැස් වූ අවස්ථාවේ ජනාධිපතිතුමා පැවසීය.
විධිමත් එන්නත්කරණයට සහ එන්නත් ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ දත්ත එක්රැස් කිරීමට තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ නියෝජිතායතනය (ICTA) විශේෂ මෘදුකාංගයක් නිර්මාණය කර තිබේ.
එමඟින් ග්‍රාමසේවා සහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මට්ටමින් එන්නත ලබා ගැනීමට දිනයක් සහ වේලාවක් පහසුවෙන් වෙන් කර ගැනීමට හැකි වේ.
මේ වන විට එන්නත් ලබා ගෙන ඇති සහ ඉදිරියට ලබා ගන්නා සියලු දෙනා පිළිබඳ තොරතුරු ඊට ඇතුළත් කිරීමටත් එන්නත්කරණය පිළිබඳ ජාත්‍යන්තරය පිළිගන්නා සහතිකයක් නිකුත් කිරීමටත් රජය අපේක්ෂා කරයි.
කොවිඩ් නොවන මරණ, පී.සී.ආර්. පරීක්ෂණයට ලක් කිරීමෙන් අවසන් කටයුතු කිරීමට සිදුවන ප්‍රමාදය පිළිබඳව බොහෝ දෙනාගෙන් චෝදනා එල්ල වී තිබේ. එය සැලකිල්ලට ගෙන වෙනත් හේතූන් මත මිය යන අයගේ අවසන් කටයුතු පැය 24ක් ඇතුළත සිදු කිරීමට පියවර ගැනීමට කොවිඩ් විශේෂ කමිටුව තීරණය කළහ.
අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, කෙහෙළිය රඹුක්වැල්ල, මහින්දානන්ද අලුත්ගමගේ, ප්‍රසන්න රණතුංග, රෝහිත අබේගුණවර්ධන, නාමල් රාජපක්ෂ, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනි ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ, ජනාධිපති ලේකම් පී.බී ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, සෞඛ්‍ය ලේකම් (විශ්‍රාමික) මේජර් ජෙනරල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ යන මහත්ම මහත්මීහු, ත්‍රිවිධ හමුදාපතිවරු සහ සෞඛ්‍ය අංශ ප්‍රධානීහු මේ අවස්ථාවට එක්ව සිටියහ. 

විශ්‍රාම ලත් හෙද හෙදියන් සේවා අවශ්‍යතාව අනුව කොන්ත්‍රාත් පදනම මත නැවත සේවයට බඳවා ගන්නා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මැතිතුම අද (09) සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට උපදෙස් දුන්නේය.
හෙද සේවයේ පවතින ගැටලු සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සභාපති, බස්නාහිර පළාත් ප්‍රධාන සංඝනායක මුරුත්තෙට්ටුවේ ආනන්ද නාහිමියන්ගේ ඉල්ලීමකට අනුව අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකට එක්වෙමින් මේ බව සඳහන් කර තිබේ.
දිවයින පුරා හෙද හෙදියන් 34 000ක් පමණ මේ වන විට සේවයේ නිරත ව සිටින අතර ඔවුන් දැනට මුහුණ පා ඇති ගැටලු සඳහා කෙටි කාලීන හා දිගු කාලීන විසඳුම් යෝජනා පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා මෙම හමුව කැඳවා තිබිණි.
කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල හා නෙවිල් ප්‍රනාන්දු රෝහලේ දැඩි සත්කාර ඒකක සඳහා නුපුහුණු හෙදියන් යොදා ගැනීම සම්බන්ධයෙන් ද උන්වහන්සේ මෙහි දී පෙන්වා දුන්හ. දැනට වසරකට පුහුණුව සඳහා බඳවා ගන්නේ හෙද හෙදියන් 2000ක් තරම් අඩු පිරිසක් නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බව සෞඛ්‍ය ඇමැතිනිය පෙන්වා දුන්නා ය.
එම නුපුහුණු හෙද හෙදියන් අදාළ ඒකකවල සේවය කරන කාලය ද පුහුණු කාලයට එක් කිරීමට හා ඊට අමතර ව දැඩි සත්කාර ඒකක සේවයට කෙටි කාලීන පුහුණු වැඩසටහන් හඳුන්වා දෙන ලෙසද අගමැතිවරයා දැනුම් දී තිබේ.
එහි දී අදහස් දැක්වූ සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්, විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ මහතා, දැනටමත් හෙද හෙදියන් 840 දෙනෙකුට දැඩි සත්කාර ඒකක සේවා සම්බන්ධයෙන් කෙටි කාලීන පුහුණුවක් දී ඇති බවත් තවත් 1000කට ආසන්න පිරිසකට කඩිනම් පුහුණු වැඩසටහනක් ක්‍රියාත්මක කරන බවත් කියා සිටියේ ය. එසේ ම හෙද හෙදියන්ගේ සේවා කාලය වසර 63ක් දක්වා දීර්ඝ කිරීමේ අමාත්‍ය මණ්ඩල සන්දේශය මේ වන විට කැබිනට් මණ්ඩල අනුමැතියට යොමු කර ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම්තුමා මෙහි දී අනාවරණය කළේ ය.


සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, මුදල් අමාත්‍යංශයේ ලේකම් එස්.ආර්. ආටිගල, අග්‍රාමාත්‍ය කාර්යය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, සෞඛ්‍ය අමාත්‍යංශ ලේකම් විශේෂඥ වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන, රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ ප්‍රධාන ලේකම් එච්.ඒ.ඩී. කල්‍යාණි, උප සභාපති ආර්.කේ. බටුවිට, උප ලේකම් පුෂ්පා රම්‍යානි ද සොයිසා, කඳාන හෙද විදුහලේ විදුහල්පති ඩබ්ලිව්.ඒ. කීර්ති යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටියහ.

ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා ලක්ෂ 06ක් ලබා දෙන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජපාන අග්‍රාමාත්‍ය යොෂිහිඩේ සුගා මහතාගෙන් (Yoshihide Suga) කළ ඉල්ලීමට සුබවාදී ප්‍රතිචාර හිමි වේ.
ජනාධිපතිතුමා සහ ශ්‍රී ලංකාවේ ජපාන තානාපති සුගියාමා අකිරා (Sugiyama Akira) මහතා අතර අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේදී මේ බව සඳහන් කෙරිණ.
කොවිඩ් මර්දන, වෛද්‍ය සහ සෞඛ්‍යාරක්ෂණ උපකරණ ලබා ගැනීමට ජනාධිපතිවරයා කළ ඉල්ලීම කෙරෙහි ද ජපාන රජයේ එකඟතාව පළ වී තිබේ. සමුද්‍රීය අනතුරු පිළිබඳ ඉක්මන් ප්‍රතිචාර දැක්වීමට අවශ්‍ය තාක්ෂණික සහාය ලබා ගැනීම කෙරෙහි ද ජනාධිපතිතුමා ජපාන තානාපතිවරයාගේ අවධානයට යොමු කළේය.
ජපාන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය තානාපති හා අමාත්‍ය කිතමුරා තොෂිහිරො (Kitamura Toshihiro), පළමු ලේකම් ඉමමුරා කායෝ (Imamura Kayo), ජනාධිපති ලේකම්
පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග සහ විදේශ ලේකම් අද්මිරාල් ජයනාත් කොළඹගේ යන මහත්ම මහත්මීහු මේ අවස්ථාවට එක්ව සිටියහ

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter