නවතම පුවත්

කොවිඩ් වසංගතය සහ එහි ප්‍රතිවිපාක සැලකිල්ලට ගනිමින් ආසියානු කලාපයේ රටවල් අතර අනොන්‍ය අවබෝධය සහ සබඳතා වඩා ශක්තිමත් කර ගැනීමේ අවශ්‍යතාව දැඩිව මතුව ඇතැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඊයේ (20) පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ආරම්භ කෙරුණු “ආසියාවේ අනාගතය” (The Future of Asia) පිළිබඳ 26 වන ජාත්‍යන්තර සමුළුව වීඩියෝ තාක්ෂණය ඔස්සේ අමතමින් සඳහන් කළේය.
ආසියාව ප්‍රමුඛව ගෝලීය වශයෙන් ද ජාතීන් අතර සබඳතා පුළුල් කර ගත යුතුය. ලෝකයම මුහුණ දී ඇති කොවිඩ් වසංගතය හේතුවෙන් ජීවිත විශාල ප්‍රමාණයක් අහිමි වෙමින් තිබෙන අතර ලොව පුරා ආර්ථික ක්‍රියාකාරකම්වලට ද විනාශකාරී බලපෑමක් එල්ල කර තිබේ.
කිසිදු ජාතියක් සූදානම්ව නොසිටි, පෙර නොවූ විරු අභියෝගයක් නිර්මණය වී ඇති මෙහොතක සියලු ජාතීන් අවබෝධයෙන් සහ විශ්වාසයෙන් එක් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.
වසංගතය ජාතික සීමාවන් නොසලකයි. වෛරසය ලෝකයේ ඕනෑම තැනක පාලනයකින් තොරව පැතිරීමට ඉඩ සැලසුව හොත් වෙනත් තැන්වල එන්නත්කරණය තුළින් දැනටමත් ලබා ඇති ප්‍රගතියට තර්ජනයක් සහ මාරාන්තික බලපෑමක් එල්ල විය හැකිය. එබැවින් වේගය ඉතා වැදගත් වේ. නිෂ්පාදන ධාරිතාව සැලකිය යුතු ලෙස ඉහළ නැංවිය යුතු අතර, කෙටි කාලයක් තුළ ගෝලීයව එන්නත් ලබා ගත හැකි යාන්ත්‍රණයක් නිර්මාණය කර සැපයුම් කඩිනමින් ජයගත යුතු බව ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.
වෙළෙඳාම සහ ආයෝජන සම්බන්ධයෙන් සියලු රටවල් සමග සහ විශේෂයෙන් ආසියානු කලාපයේ පාර්ශ්වකාර රටවල් සමග ද්විපාර්ශ්වික සබඳතා ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ජපානයේ “නික්කෙයි” (Nikkei) පුවත්පත 1995 වසරේ සිට වාර්ෂිකව මෙම සමුළුව සංවිධානය කරයි. “පශ්චාත් - කොවිඩ් යුගය හැඩගැස්වීම: ගෝලිය ප්‍රතිසාධනයේ ආසියාවේ භූමිකාව” (Shaping the post – COVID era : Asia’s role in the global recovery) යන්න මෙවර එහි තේමාව වී තිබේ. ආසියානු පැසිෆික් කාලාපයේ දේශපාලන, ආර්ථික, ශාස්ත්‍රීය ගැටලු සහ ලෝකය තුළ ආසියාවේ කාර්ය භාරය පිළිබඳව නිදහස් අදහස් ඉදිරිපත් කිරීමට එකතු වන ජාත්‍යන්තර සමුළුවක් ලෙස මෙය සැලකේ.
ශ්‍රී ලංකාව දකුණු ආසියානු රටක් ලෙස චීනය සහ ඉන්දියාව සමග ඇති සබඳතාවය සමබර කරන්නේ කෙසේදැයි සැසියේ දී යොමු කළ ප්‍රශ්නයට පිළිතුරු දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේ ශ්‍රී ලංකාව ඉන්දියාව හා චීනය සමග සියවස් ගණනාවක් පුරා පවතින ඓතිහාසික සබඳතාවක් පවත්වාගෙන යන බවයි. චීනය සමග අපගේ සහයෝගීතාව, සමස්ත ආර්ථික හා වාණිජ ගමන් පථයන්ට සමානව පිහිටා ඇත.
වෙනත් බොහෝ රටවල් මෙන්ම චීනය ද ශ්‍රී ලංකාවේ ප්‍රධාන ආයෝජන හවුල්කරුවෙකි. සංවර්ධනය වෙමින් පවතින රටක් ලෙස සංවර්ධන අභිලාෂයන් වේගවත් කර ගැනීම සහ ජනතාවගේ ජීවනෝපායන් වැඩිදියුණු කිරීමට සියලු හවුල්කාර ජාතීන්ගේ සහාය ලබා ගැනීමට ශ්‍රී ලංකාව අපේක්ෂා කරයි. ආසියානු රටවල් හා අනෙකුත් රටවල් සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමට රජය උනන්දුවෙන් කටයුතු කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.
ලෝක බල එදිරිවාදිකම් සහ කලාපීය බල ගතිකතාවයන් පිළිබඳව අපි දැනුවත්භාවයෙන් පසු වෙමු. කෙසේ වෙතත් අප අනුගමනය කරන්නේ මධ්‍යස්ථ විදේශ ප්‍රතිපත්තියකි. ඉන්දියාව අපගේ සමීපතම අසල්වැසියා සහ දිගුකාලීන මිතුරෙකු ලෙස සලකන අතර, ඔවුන්ගේ ආරක්ෂක අවශ්‍යතා සහ සංවේදීතාවන් අපි තේරුම් ගනිමු. සියලු රටවල යහපත උදෙසා, ඉන්දියානු සාගරයේ සුරක්ෂිතතාවය සහතික කිරීමට ඉන්දියාව සහ සියලුම ප්‍රාදේශීය හවුල්කරුවන් සමග සමීපව කටයුතු කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ නව සභාපති ලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා ජනමාධ්‍ය අමාත්‍ය කැබිනට් ප්‍රකාශක ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා විසින් පත් කරනු ලැබීය.

 

නව සභාපතිවරයාගේ පත්වීම් ලිපිය ජනමාධ්‍ය අමාත්‍යාංශයේදී අද (19) පෙරවරුවේ  අමාත්‍යවරයා විසින්  රෙජිනෝල්ඩ් කුරේ මහතා වෙත භාරදෙනු බාරදෙනු ලැබිණි.

 

වත්මන් රජය මෙරට ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ  ප්‍රවර්ධනය උදෙසා වැඩපිළිවෙළ රැසක් ගෙන ඇති බවත් ඒ අනුව නවීන තාක්ෂණයෙන් යුත් නව  ප්‍රවෘත්ති මැදිරි  දෙකක්  ඉදිරියේදී  ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවට හා ස්වාධීන රූපවාහිනී  මාධ්‍ය ජාලය වෙත  ලබාදීමට කටයුතු කෙරෙන බවත්  අමාත්‍ය රඹුක්වැල්ල  මහතා මෙහිදී පෙන්වා දුන්නේය.

 

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාවේ  සභාපති වෛද්‍ය නිහාල් ජයතිලක මහතා ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපති ලෙස පත් වීමෙන් පසු ඇතිවූ පුරප්පාඩුවට මෙලෙස රෙජිනෝල්ඩ් කුරේ මහතා පත් කරනු ලැබිණි.

 

බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයෙකු, එහි සභාපති, නියෝජ්‍ය අමාත්‍යවරයකු,බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය, ජනමාධ්‍ය අමාත්‍ය ,අධිකරණ නියෝජ්‍ය අමාත්‍ය, සුළු අපනයන බෝග ප්‍රවර්ධන අමාත්‍ය, ගුවන් සේවා අමාත්‍ය, උතුරු පළාත් ආණ්ඩුකාර,මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සභාපති ලෙසද  මෙයට පෙර ඒ මහතා කටයුතු කර තිබිණි.

 

නව සභාපතිවරයාගේ  පත්වීම සිදුකෙරුණු අවස්ථාවට ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී.විජේවීර මහතාද එක්ව සිටියේය

කොළඹ වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් සියයට 75ක් වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන් විය යුතු යැයි යන සංශෝධන ගෙනෙන්නට බලාපොරොත්තුවන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සදහන් කරයි.

පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළග අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ශණය කර ගැනීමට දැන් කටයුතු කරගෙන යන බව අගමැතිවරයා පවසා සිටියේ අද (19) උදෑසන කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත් කෙටුම්පත සම්බන්ධයෙන් වන පාර්ලිමේන්තු විවාදය ආරම්භකරමින් එහි විශේෂ ප්‍රකාශයක් කරමින්ය.

2021.05.19 දින අග්‍රාමාත්‍යතුමා පාර්ලිමේන්තුවේදී සිදු කළ කථාව….

ගරු කථානායකතුමනි,

අද දින කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභාව ස්ථාපනය කිරීමේ පනත මේ ගරු සභාවට මා ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටිනි.
මෙම නව කොළඹ වරාය නගරය ඉදිකිරීම ආරම්භ කරන ලද්දේ 2014 වසරේ සැප්තැම්බර් 17 දින මාගේ ජනාධිපති ධූර කාලයේදී බව ඔබතුමා දන්නවා. එම ඉඳිකිරීම් කටයුතු සඳහා මුල්ගල තබන ලද්දේ මහජන චීනයේ ජනාධිපති ශී ජින් ජින්ග් මැතිතුමා සහ මා විසින් බවත් ඔබතුමා දන්නවා.

එලෙස ආරම්භ කළ එම දැවැන්ත ව්‍යාපෘතිය අද වන විට හෙක්ටෙයාර් 269 කින් සමන්විත භූමියක් ශ්‍රී ලංකාවට එකතු කිරීමට සමත්වී ඇති බවත්, අප සියලු දෙනාම දන්නවා. එම නව භූමිය, 2019 අගෝස්තු මස, පසුගිය රජය විසින් කොළඹ දිස්ත්‍රික්කයට එකතු කරන ලද අතර, මේ වන විට “කොළඹ වරාය නගරය” ලෙස හැඳින්වීමකින් ශ්‍රී ලංකා ආර්ථිකයට දැවැන්ත අවස්ථා රාශියක් එකතු කිරීමට අපට වටිනා අවස්ථාවක් උදා කර තිබෙනවා.

ගරු කථානායකතුමනි, මෙම නව ව්‍යාපෘතියෙන් නිසි ඵල නෙළා ගැනීමට නම්, එම නගර සංකීර්ණය හරහා විශාල ආයෝජනයක් රට තුළට ගලා ඒමට අවශ්‍ය වන නිතීමය සහ වාණිජමය රාමුව මනාව සකස් කිරීම අත්‍යාවශ්‍යයය. එසේ කිරීමට අප රජයට විශේෂ වගකීමක් දැන් පැවරී ඇති බව අප වටහා ගත යුතුය.

එම රාමුව නිසි ලෙස සකස් කරවීමට අපට හැකිවන්නේ නම්, ඒ හරහා, අප රටේ ආර්ථිකයට ඊළඟ වසර 5 තුළදී ඇමරිකානු ඩොලර් බිලියන 15 ක පමණ ආයෝජනයක් ලබා ගැනීමට හැකිවන්නේ යැයි ආර්ථික විශේෂඥයින් පවසා තිබෙනවා. ඒ සමඟම, නව නගරය ඉඳිකිරීම් කාර්යය සඳහා පුද්ගලයින් දෙලක්ෂයකට පමණ රැකියා හා ජීවනෝපාය අවස්ථාවන්ද මුල් වසර 5 දී බිහි කරන්නට හැකි වෙනවා. තවද, මුල් අවුරුදු 5 තුළ ක්‍රමක්‍රමයෙන් නව ස්ථීර රැකියාවන් අසුතුන් දාහක් පමණ බිහි කරන්නට ද අවකාශය උදා වන්නේ යැයි ආර්ථික විශේෂඥයින් ගණනය කොට තිබෙනවා.

ගරු කථානායකතුමනි, තම ආයෝජන ලෝකයේ ඕනෑම රටකට යොමු කිරීමට ආයෝජකයින්ට අද අවස්ථාව තියෙනවා. ඒ සමඟම, විදේශ ආයෝජන තම රටවලට ආකර්ෂණය කර ගැනීමට අද ලෝකයේ රටවල් අතර විශාල තරඟයක් තිබෙනවා. ඒ නිසා, ආයෝජන බලාපොරොත්තු වන රටවලින් ආයෝජකයන්ට ලබා දිය යුතු දිරිගැන්වීම්, පහසුතාවයන් සහ සේවාවන් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි.
කොළඹ වරාය නගරය තුළත් එසේ වන්නට නම්, තම කාර්යන් සහ වගකීම් මැනවින් ඉටු කරන, දක්ෂ කොමිෂන් සභාවකින් මේ නගරය සහ එහි සේවාවන් කළමනාකරණය විය යුතුය. එමෙන්ම, මෙම නව නගරයට ආයෝජනය කිරීමට පිවිසෙන සියලුම ආයෝජකයින් අවහිරතාවයන් හෝ බාධා වලට භාජනය නොවී, තම ව්‍යාපාර කටයුතු වලට නිරතවීමේ වාතාවරණය සකස් විය යුතුය.

එසේ කිරීම සඳහා, දැනට අපේ රටේ බොහෝ ආයෝජකයින්ට සිදු වන අසාධාරණ බාධා, කාලය නාස්ති කිරිම්, අනපේක්ෂිත වියදම්, නිලධාරීවාදී ප්‍රමාදයන්, හදිසි ප්‍රතිපත්ති වෙනස් කිරීම්, යනාදිය මේ නව නගරයේදී අවම කිරීම අත්‍යාවශ්‍යයි.

මේ සඳහා විසඳුමක් වශයෙන් අප රජය යෝජනා කර ඇත්තේ එකම කවුළුවකින් (Single Window) මෙම නගරයට පිවිසෙන විදේශ ආයෝජකයින්ට අවශ්‍ය සියලුම සේවාවන් සහ පහසුකම් ලබා දී, ඔවුන්ගේ ආයෝජනය රටට ගලා ඒමට අවශ්‍ය යහපත් වාතාවරණය සැලැස්වීමයි.

ගරු කථානායකතුමනි, ඕනෑම ආයෝජකයෙකු තම ආයෝජනය කරද්දී බලාපොරොත්තු වන වාසීන් සහ අවශ්‍යතාවයන් තිබෙනවා. ඒවායෙන් කිහිපයක් සඳහන් කිරීමට මා කැමතියි.

තමා ආයෝජනය කරන රට පිළිබඳව තම විශ්වාසය තබාගත හැකි දේශපාලනික සහ ආයතනික වාතාවරණයක් තිබිය යුතුයි. එම රටේ ආරක්ෂාව සහ සාමය තිබිය යුතුයි. එම රටේ ආයෝජනය කිරීමට පහසු විය යුතුයි. එම රටේ ව්‍යාපාර කිරීමට ඇති පහසුතාවය ඉහළ මට්ටමක තිබිය යුතුයි. එම රටේ බදු සහන සහ වෙනත් දිරිගැන්වීම් තිබිය යුතුයි. එම රටේ සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමක තිබිය යුතුයි. එම රටේ ආයෝජකයන්ට සහ ඔවුන්ගේ කණ්ඩායම් වලට සුරක්ෂිතව සහ ජාත්‍යන්තර මට්ටමකින් ජීවත්වීමට හැකියාව තිබිය යුතුයි. එම රටේ වරාය, ගුවන් තොටුපල, මාර්ග, විදුලිය, සන්නිවේදන පහසුකම් ඇතුලු යටිතල පහසුකම් ජාත්‍යාන්තර මට්ටමක තිබිය යුතුය. සෞඛ්‍ය සහ අධ්‍යාපනික පහසුකම් ඉතා ඉහළ මට්ටමක තිබිය යුතුයි. ක්‍රීඩා සහ විනෝදාංශ වාතාවරණය උසස් මට්ටමක තිබිය යුතුයි. අලංකාර නගර පරිසරයක් තිබිය යුතුයි.

එසේ නම්, අප රටට ආයෝජනය ආකර්ශණය කර ගැනිමට, මේවා සියල්ලම අප රට තුළ ආයෝජකයන්ට ලබා දෙන්නට අප කටයුතු කල යුතුයි.

ගරු කථානායකතුමනි, අප රටේ ව්‍යාපාර කිරීමේ පහසු තාවය පසුගිය රජයේ කාලය තුළදී විශාල පසුබෑමකට ලක්ව තිබු බව අකැමැත්තෙන් වුවත් අපට පිළිගන්නට සිදුවනවා.

2014 දී ලෝක බැංකුවේ “ව්‍යාපාර කිරීමේ පහසුතාවය” ජාත්‍යන්තර ශ්‍රේණියේ ශ්‍රී ලංකාව පසුවූයේ 85 වෙනි ස්ථානයේය. එහෙත්, 2019 වන විට ශ්‍රී ලංකාව 99 වෙන ස්ථානයට වැටී තිබුණා. 2014 දී අපි දකුණු ආසියාවේ පලමුවෙනි ස්ථානයේ සිටියද, 2019 වන විට, 4 වෙනි ස්ථානයට වැටී තිබුණා.

එහෙයින්, ජාත්‍යන්තර ආයෝජන ආකර්ෂණය කර ගැනීමේදී අප රට යම් පසුබෑමකට ලක් ව තිබූ නිසා, එම තත්ත්වයෙන්ද අපි ඉතා ඉක්මනින් ඉහළ යෑමට වෑයම් කල යුතුයි. එසේ කරන්නට නම්, අප රට තුළ ආයෝජකයන්ට පහසු තාවයන් ඇති කරවීමට කටයුතු කල යුතු බව අවිවාදයෙන් පිළි ගන්නට අපට සිදු වෙනවා. එම ප්‍රයත්නයේ එක් මුලික අංගයක් වශයෙන්, අප රටෙහි මේ නව වරාය නගරය තුල ව්‍යාපාර කිරීමේ පහසුකම් ඉහළ මට්ටමකට ලක් කිරිමෙන්, ව්‍යාපාරිකයන් සහ ආයෝජකයන් ආකර්ශණය කර ගැනීමට අපට හැකිවනු ඇතැයි අපි විශ්වාස කරනවා.

එවගේම, එම නව ගැම්ම හරහා, සමස්ථයක් වශයෙන් රට පුරාම ව්‍යාපාර කිරීමේ අනිකුත් පහසුතාවයන්ද වැඩි කර ගැනීමට හැකිවීම මෙම ව්‍යාපෘතියෙන් ලබා ගත හැකි තවත් විශේෂ වාසියකි.

ගරු කථානායකතුමනි, 2006 සිට 2014 දක්වා වසර 9 ක කාලය තුළදී අප රට සංවර්ධනය වූ වේගය පිළිබඳව ඔබතුමා හොඳින් දන්නවා. ඒ කාලයේදී විවිධ අභියෝග මධ්‍යයේ වුවත්, ශ්‍රී ලංකාවේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 24 සිට බිලියන 79 දක්වා වැඩි කරගන්නට අපට හැකි වුණා. එහෙත්, ඊට පසු 2015 සිට 2019 වසර 5 තුළදී, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය වැඩි වූයේ ඇමරිකානු ඩොලර් බිලියන 80 සිට බිලියන 82 දක්වා පමණයි. ඒ නිසා, අප රටේ ආර්ථික ප්‍රතිලාභ වර්ධනය වීම සම්පූර්ණයෙන්ම පාහේ අඩාල වුනා. කිසිදු ව්‍යාපෘතියක් ආරම්භ කිරීමට හෝ ක්‍රියාත්මක කිරීමට ඒ කාලයේදී එම රජය අසමත් වුනා.

2020 වසරේදී, අපි නැවත රජය භාරගත් පසුව මුලු ලෝකයම වෙලාගත් කොවිඩ් වසංගතයට අපට මුහුණ දෙන්නට සිදුවුණා. රටේ ජනතාව කොවිඩ් උවදුරෙන් ආරක්ෂා කර ගැනීමට දින 66 ක් තිස්සේ මුළු රටම වසා තැබීමට අපට සිදු වුනා. මුලු ව්‍යාපාර කේෂ්ත්‍රයටම දැඩි අභියෝග වලට මුහුණ දීමට සිදු වුනා.

ඒ හරහා, මුලු ලෝකයේම සිදුවූ ආකාරයට අප රටද පසුබෑමකට ලක්වෙමින්, 2020 වසරේදී සියයට 3.6 කින් ආර්ථිකය සංකෝචනය වුනා. ඒ නිසා, අප රටේ දළ දේශීය නිෂ්පාදිතය ඇමරිකානු ඩොලර් බිලියන 82 සිට බිලියන 80 දක්වා තව දුරටත් අඩු වුනා. එසේ වුනත්, ජන ජීවිතය සතුටු දායක මට්ටමක අඛණ්ඩව පවත්වාගෙන යාමට අප රජය සමත් වුනා.

ගරු කථානායකතුමනි, රටක් හැටියට මෙම බැරැරුම් තත්ත්වයට දිගින් දිගටම මුහුණ දෙමින් අප රට නැවතත් කඩිසර වැඩ බිමක් බවට පත් කරන්නට අවශ්‍යයි. අපි දැනටමත් මාර්ග කිලෝමීටර් ලක්ෂය, “සැමට ජලය”, නව අධිවේගි මාර්ග ඉඳිකිරීම්, වැනි රට පුරා ක්‍රියාත්මක කරන දැවැන්ත ව්‍යාපෘති හරහා ආර්ථිකමය පිබිදීමක් ඇති කර ගෙන යනවා. ජනතාව අතර නැවත මුදල් පරිහරණය වීම ඇති කරවීම හරහා ව්‍යාපාරික විශ්වාසය ගොඩ නංවනවා. හම්බන්තොට වරාය ආශ්‍රිත කාර්මික කලාපයක් තුළින්, නව කර්මාන්ත නිර්මාණය කිරීමට අවස්ථා උදා කර දෙනවා. රට පුරා, ඖෂධ ඇතුළු අලුත් කර්මාන්ත කලාප දැනටමත් ඉදි කරනවා. එසේ කරමින්, රට නැවත සියයට 6 ක පමණ වර්ධන වේගයක් ඉක්මවා යන මාවතකට යොමු කරලීම අපේ බලාපොරොත්තුවයි.

ගරු කථානායකතුමනි, මෙම නව පෝට් සිටි නගරය පදනම් කොට ගෙන ඊළග අවුරුදු 5 තුළදී අප රට තුළට අවම වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 15ක පමණ ආයෝජන ආකර්ශණය කර ගැනීමට අපි දැන් කටයුතු කරගෙන යනවා. ඒ සඳහා අවශ්‍ය නීතිමය සහ ව්‍යාපාර කිරීමේ පහසුතා රාමුව, අද මේ නව පනත තුළින් අප ස්ථාපනය කරනවා. ඒ හරහා කොවිඩ් වසංගතය මධ්‍යයේ වුවද, අප රටේ හැරවුම් ලක්ෂයක් අපට සනිටුහන් කරවීමට හැකිවනවා. මේ පනත තුළින්, එක කවුළුවකින් සියලුම සේවාවන් ආයෝජකයාට ලබාගැනීමට හැකිවන නිසා, අපේ බලාපොරොත්තුව වන්නේ ලෝකයේම ඉහළ පෙළේ ආයෝජකයන් අප රටට පිවිසෙන්නට යොමු කිරීමයි.

ගරු කථානායකතුමනි, අප රජය නිරන්තරයෙන් ජනතාවට සවන් දෙන රජයක් බව ඔබතුමා දන්නවා. ජනතා අදහස් අප අගය කරනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට ගරු කරනවා. එහෙයින්, මේ පනත පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දී ඇති සියලුම උපදෙස් හා නියෝග දෙවන කියවීමේදී එකතු කිරීමට අප බලාපොරොත්තු වෙනවා. ඒ සමඟම, ජනතා අදහස් හා අප සහෝදර පක්ෂ අදහස් වලටත් ඇහුම්කම් දෙමින්, මේ පනතට තවත් සංශෝධන එකතු කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.

එයින් එකක්, මේ කොමිෂන් සභාවේ සංයුතිය පිළිබඳවයි. කොමිෂන් සභාවේ සංයුතිය බහුතරයක් ශ්‍රී ලාංකිකයින් විය යුතු යැයි යන යෝජනාව, පනත තුළින්ම තහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ අතරම, කොමිෂන් සභාවේ සභාපතිද ශ්‍රී ලාංකිකයෙකු විය යුතු යන මතය පනත තුළින්ම තහවුරු කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. මෙවැනි සංශෝධනයක් ඉදිරිපත් කරන්නට අවශ්‍යතාවය පැන නැගීමට හේතුව පසුගිය රජය විසින් කරන ලද අඥාන පත්වීම් හරහා ශ්‍රී ලංකාවට සිදු වු දැවැන්ත පාඩු බව අපි දන්නවා. එම අත්දැකීම් වලින් බැට කෑ අපගේ ජනතාවගේ සිත් තුළ, අද, දැඩි බියක් ඇති වී තිබෙනවා. එම බිය සාධාරණ බවත් අප පිළිගන්නවා.

ඒ අතරම, මෙම වරාය නගරයේ බිහිවන රැකියා අවස්ථා වලින් සියයට 75ක් වත් ශ්‍රී ලාංකිකයින්ට වෙන් විය යුතු යැයි යන සංශෝධනයද අප ගෙනෙන්නට බලාපොරොත්තු වනවා. එසේ කරනවාත් සමඟම, අවශ්‍ය විශේෂ නිපුණතා ශ්‍රී ලාංකිකයින් සතු නොවන සමහර අවස්ථා වලදී, මෙම කොන්දේසිය ලිහිල් කිරීමට කොමිෂන් සභාවට අවකාශය ලබා දිය යුතු යැයිද අපි විශ්වාස කරනවා. ඒ අනුව, එවැනි විශේෂ අවස්ථා වලදී මෙම කොන්දේසිය ලිහිල් කිරීමට බලයක්ද පවරමින්, ශ්‍රී ලාංකිකයන් විශාල සංඛ්‍යාවකට රැකියා අවස්ථා සැලසෙන ආකාරයට මෙම පනත සංශෝධනය කිරීමට අප බලාපොරොත්තු වෙනවා.

ගරු කථානායකතුමනි, 2015 සිට 2019 දක්වා කාලය තුළදීත්, පසුගිය රජය මෙම ව්‍යාපෘතියේ වටිනාකම අවබෝධ කර ගැනීම සතුටට කරුණකි. එහි හොඳම නිදසුන වන්නේ, 2014 දී අප රජය කාලයේදී ආරම්භ කළ මෙම වරාය පෝට් සිටි ඉඳි කිරීම, 2015 සිට විවිධ හේතූන් නිසා අඩාල වුවද, මන්දගාමී වුවද, විශාල වන්දියක් ගෙවන්නට සිදු වුවද, පසුගිය රජය එම ව්‍යාපෘතිය දිගටම ක්‍රියාත්මක කිරීමයි.

අද විපක්ෂයේ සිටින මන්ත්‍රීතුමන් ඒ අවස්ථාවේදී දැක්වූ එම යහපත් ප්‍රතිචාරය නිසා අප රටට ඉදිරියේදී අත්වන්නට නියමිත වාසියේ කොටස්කරුවන් වන්නට එතුමන්ලාටත් අයිතියක් තිබෙනවා. ඒ නිසා, පටු දේශපාලන කෝණවලින් නොබලා, රටේ අභිවෘද්ධිය වෙනුවෙන් එතුමන්ලා ඒ අවස්ථාවෙන් ඵල නෙළා ගනීවි යයි මා විශ්වාස කරනවා. ඒ අනුව, අද අප රජය ඒ නව නගරය ඉඳිකිරීමට ගන්නා ප්‍රයත්නයට සහයෝගය ලබාදෙමින්, අලුත් උත්තේජනයක් රටට ලබාදීමට අද විපක්ෂයේ සිට වුවත්, ඔබතුමන්ලා සහයෝගය ලබා දෙනු ඇතැයි අප විශ්වාස කරනවා. ඔබ සියලු දෙනාම එසේ කළහොත්, එම පණිවිඩය ජාත්‍යන්තරයට අප ලබාදෙන විශිෂ්ට පණිවිඩයක් බව අමතක කරන්න එපා. එවැනි පණිවිඩයක් තුළින් අපේ රටට ගලා එන ආයෝජන ප්‍රමාණය ඉක්මනින් වැඩි වෙන බව නිසැකවම අපට කියන්නට පුළුවන්‍. එවිට මෙම ව්‍යාපෘතියේ ජයග්‍රහණය අප සියලු දෙනාටම පක්ෂ භේදයකින් තොරව භුක්ති විඳීමට හැකිවනු ඇත.

එසේ නම්, ගරු කථානායකතුමනි, අපේ රටට ආදරය කරන, රටේ ඉදිරි ගමනට ආශිර්වාද කරන, සියලුම මන්ත්‍රීවරුන්ට පක්ෂ භේදයකින් තොරව මෙම පනතට සහය ලබාදෙන ලෙස මා ඉතා ඕනෑකමින් ආරාධනා කරනවා.

රාමසාන් උපවාස සමය අවසන් කර ඊදුල් ෆිතර් මංගල්‍යයට ශ්‍රී ලාංකේය මුස්ලිම් ජනතාව  එක්වන්නේ ඔවුන්ගේ සිතුම් පැතුම් අල්ලාහ් දෙවියන් පිළිගනිත්වා යන ප්‍රාර්ථනය ඇතිවය. එකී යහපත් සියලූ ප්‍රාර්ථනා ඉටු වේවා යි ඊදුල් ෆිතර් මංගල්‍යය වෙනුවෙන් මම සුබ පතමි.

උස් පහත් භේදයකින් තොරව සියල්ලෝ එක්ව රාමසාන් සමය ගත කොට සමෘද්ධිමත් ජීවිතයකට අල්ලාහ් දෙවියන්ගේ ආශිර්වාදය ලබා ගැනීම ආගමික චාරිත්‍රයක් වුව ද එහි සාමාජීය අර්ථය ද අගනේය. රාමසාන් සමය පවිත්‍ර ජීවිත සේම ආත්ම දමනය හුරුවීමට ඇති වටිනා අවස්ථාවක් ලෙස ඉස්ලාම් භක්තිකයෝ සළකති. වැඩිහිටියන් විසින් ගත කරන එම රාමසාන් සමය දූ දරුවෝ ආභාෂ කොට ගනිති.

වර්තමානයේ ලෝකයට මුහුණ දීමට සිදුව ඇති කොවිඩි ව්‍යසනයෙන් ලෝ වැසි ජනතාව නිදහස් කර දෙන්නැයි යන ප්‍රාර්ථනය ද අපේ ඉස්ලාම් භක්තිකයන් තුළ වන්නට ඇත. මුළු මහත් ජනතාවගේ ප්‍රාර්ථනයත් කැපවීමත් පවතින වසංගතයෙන් නිදහස් වූ සෞඛ්‍ය සම්පන්න ජීවන රටාවකි. රාමසාන් සමය ඒ සදහා ඉවහල් කර ගැනීම අගනේය.

සාමය, සහෝදරත්වය ගොඩනගා ලොවට පෙන් වූ සංහිඳියාව සමස්ත ඉස්ලාමීය ලෝකයට අප පෙන්වූ වටිනා ආදර්ශයකි. ශුද්ධ වූ අල් කුරානය අදහන සැබෑ ඉස්ලාම් භක්තිකයන්ගේ සාමූහික කැපවීමත්, අධිෂ්ඨානයත් ඒ සඳහා තව තවත් යොමු වනු ඇතැයි විශ්වාස කරමි.

ලොව පුරා ඉස්ලාම් භක්තිකයන් සමග අපේ මුස්ලිම් බැතිමතුන් එක්ව සමරන ඊදුල් ෆිතර් උත්සවය ප්‍රීතිමත් වේවා! යි මම ප්‍රාර්ථනා කරමි.

ඊද් මුබාරක්!

ගෝඨාභය රාජපක්ෂ

2021 මැයි මස 13 වන දින

 
 

ස්වසන අපහසුතා ඇති රෝගීන්ගේ ස්වසන පහසුව සඳහා භාවිතා කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිෂ්පාදනය කළ තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකය (HEATED HUMIDIFIED OXYGEN THERAPY) ඊයේ (12) ජනාධිපති කාර්යාලයේ දී නිල වශයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දුන්නේය.

කොවිඩ් 19 වසංගතය හමුවේ ජනාධිපතිතුමාගේ උපදෙස් පරිදි, නවෝත්පාදන ක්ෂේත්‍රයේ ජාත්‍යන්තර තානාපතිවරයෙකු වන විද්‍යාජෝති ආචාර්ය බන්දුල විජේ මහතාගේ සංකල්පයක් අනුව මහාචාර්ය රනිල් ද සිල්වා සහ වෛද්‍ය තිලංක රත්නපාල මහතා ඇතුළු ප්‍රවීණ වෛද්‍ය කණ්ඩායමකගේ දායකත්වයෙන් උපකරණ කට්ටලය නිර්මාණය කර තිබේ.

පූර්ණ ආර්ධතාව සහිත අධි ධාරිතාවයකින් පාලන උෂ්ණත්ව ඔක්සිජන් වායුව ශ්වසන අපහසුතා ඇති රෝගීන්ට ලබාදීම මෙම උපකරණය මගින් සිදු කෙරේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීමෙන් ගුවන් හමුදා අණ දෙන නිලධාරී ගෘප් කැප්ටන් ප්‍රසන්න මාටිනෝ මහතාගේ අධීක්ෂණය යටතේ ගුවන් හමුදා ඉංජිනේරු බලකායේ ගුවන් යානා නඩත්තු ඒකකය නිෂ්පාදන කටයුතු සිදු කළේය. සීමාවන්, ආරක්ෂිත අංග සහ කාර්ය සාධන ප්‍රමිතීන් පරීක්ෂා කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකා ජාතික ඖෂධ නියාමන අධිකාරියට ඉදිරිපත් කරන ලද අතර, විදුලි ආරක්ෂණ ප්‍රමිති අනුකූලතාව  මොරටුව විශ්ව විද්‍යාලය විසින් සනාථ කර තිබේ.

උපකරණයේ නිෂ්පාදන කටයුතු සඳහා ලක්ෂ 15ක මුදලක් වැය වෙතැයි ඇස්තමේන්තුගත කර තිබුණ ද ලක්ෂ 03 ක් වැනි අඩු මුදලකින් නිෂ්පාදන කටයුතු නිම කිරීම විශේෂත්වයකි.

දැනට උපකරණ කට්ටල 50 ක් නිෂ්පාදනයට සැලසුම් කර ඇති අතර සෞඛ්‍ය අංශවල අවශ්‍යතාව අනුව අඛණ්ඩව නිෂ්පාදන කටයුතු සිදු කෙරේ.

උපකරණයේ ක්‍රියාකාරිත්වය ජනාධිපතිතුමා වෙත හඳුන්වාදීම මෙහිදී  සිදු කෙරිණ.

සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි, ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, සෞඛ්‍ය ලේකම් සංජීව මුණසිංහ, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

හැට වසරකට පසුව ගත් ජයගත යුතු අභියෝගාත්මක තීන්දුවක් … විශේෂඥයෝ පෙන්වා දෙති.

කාබනික පොහොර භාවිතයට එළැඹීම නිරෝගීමත් අනාගත පරපුරක් වෙනුවෙන් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

මෙරට කෘෂිකර්මාන්තය මුළුමනින්ම කාබනික පොහොර භාවිතයට යොමු කළ යුතු බව “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයෙන් සඳහන් කෙරිණ. එලෙස ජනතාවට දුන් පොරොන්දු ඉටු කරමින් ක්‍රියාත්මක වීම රජයක වගකීමකි. කාබනික පොහොර භාවිතය ප්‍රචලිත කිරීමට මීට පෙර පැවති රජයන් උත්සහ කළ ද එය අඛණ්ඩව පවත්වාගෙන යාමට නොහැකි විය. මෙය අභියෝගාත්මක ක්‍රියාවකි ; අපහසුය,  එනමුත් නිවැරදි ක්‍රමෝපාය හඳුනාගෙන රට වෙනුවෙන් කළ යුතු කාර්යයක් බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

“දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයන් සමග ඊයේ (11) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති හමුවේ දී ජනාධිපතිතුමා විසින් මේ බව සඳහන් කෙරිණ.

කාබනික පොහොර භාවිතයේ දී අස්වැන්න අඩුවී ආදායමේ වෙනසක් වුවහොත් සහතික මිල ඉක්මවා වී මිලදී ගැනීමට රජය සූදානම් බවත් ගොවියා ඒ සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් පාරිභෝගිකයාට පවතින මිලට සහල් ලබාගත හැකි පරිදි වැය බර දැරීමට රජය සූදානම් බවත් ජනාධිපතිතුමා සඳහන් කළේය.

රසායනික පොහොර ආනයනය කළ සමාගම් කාබනික පොහොර නිෂ්පාදනය ආරම්භ කරන්නේ නම් ඊට අවශ්‍ය පහසුකම් සැලසීමට රජය  සූදානම් යැයි ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේය.

ත්‍රස්තවාදයෙන් රට බේරා ගැනීමේදී ඇතැම් සටන් පරාජය විය. අවසානයේ දී ත්‍රස්තවාදය පරාජය කර රට දිනවූවා සේ සියලු අභියෝග ජය ගනිමින්, ජනතාවට වස විසෙන් තොර ආහාර වේලක් ලබා ගැනීමේ අයිතිය ලබාදීමට රජය සූදානම් බව ජනාධිපති විශේෂ නියෝජිත හා කාර්ය සාධක බලකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා මෙම සාකච්ඡාවට සහභාගී වෙමින් පැවසීය.

හැටේ දශකය ආරම්භයේ  සිට රසායනික පොහොර භාවිතයට හුරු පුරුදුව ඇති මෙරට කෘෂිකර්මාන්තය කාබනික පොහොර භාවිතය වෙත යොමු කරවීම යුද්ධයෙන් රට බේරාගත්තා සේම ජනතාවට ලබාදෙන විශේෂ ජයග්‍රහණයක් බව ක්ෂේත්‍රයේ විශේෂඥයෝ පෙන්වා දුන්හ.

ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර මහතා සහ  දේශගුණික විපර්යාසයන්ට තිරසර විසඳුම් සහිත හරිත ශ්‍රී ලංකාවක් ඇති කිරීමේ ජනාධිපති කාර්ය සාධක බලකායේ” සාමාජිකයෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

රාජ්‍ය සේවයේ අත්‍යාවශ්‍ය සේවා අවම කාර්යමණ්ඩලයකින් පවත්වා ගෙන යාමට අමාත්‍යංශ ලේකම්වරුන්ට, දෙපාර්තමේන්තු ප්‍රධානීන්ට අවසර ලබා දී තිබෙන බව රාජ්‍ය පරිපාලන අමාත්‍යංශ සදහන් කරයි.

ඒ අනුව සියළුම රජයේ ආයතනවල අවම කාර්ය මණ්ඩලයක් සහිත අත්‍යවශ්‍ය සේවාවන් පමණක් සිදු කිරීමට තීරණය කර ඇත.

  • “සයිනොෆාම්” එන්නත සඳහා අනුමැතිය ඉදිරි තෙදින තුළ…

 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජෙනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් (Tedros Adhanom) මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ සිට සූම් (ZOOM) තාක්ෂණය ඔස්සේ පැවති  සාකච්ඡාව ඵල දරයි.

කොවිඩ් පාලනය සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළට ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රශංසාව පළ කළ ටෙඩ්‍රොස් මහතා ඊට පූර්ණ සහාය ලබාදෙන බව ජනාධිපතිතුමා සමඟ පැවසීය.

පළමු කොවිඩ් රැල්ලට සාර්ථකව මුහුණ දෙමින් වසංගතය පාලනයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා දුන් නායකත්වය ටෙඩ්‍රොස් ඇඩ්හැනොම් මහතාගේ ප්‍රසාදයට ලක්විය. එහිදී ශ්‍රී ලංකාව අත්කරගත් සාර්ථකත්වය පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ මූලිකත්වයෙන් පැවති සමුළුවලදී සාකච්ඡාවට ලක් කෙරුණු බව අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කියා සිටියේය.

මෙවරද, කොවිඩ් වෛරසය පැතිර යාම ඉතා ඉක්මණින් පාලනය කිරීමට ශ්‍රී ලංකා රජයට හැකිවනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය බලාපොරොත්තු පළ කළේය.

දෙවන මාත්‍රාව සඳහා ඇස්ට්‍රාසෙනිකා එන්නත් මාත්‍රා මිලියන 20ක අවශ්‍යතාවක් ගෝලීය වශයෙන් පවතී. මෙරටට ඇති එහි අවශ්‍යතාව එන්නත් මාත්‍රා ලක්ෂ 6කි. එම අවශ්‍යතාව සපුරා ගැනීමට ලෝක සෞඛ්‍ය සංවිධානයේ සහාය ලැබෙනු ඇතැයි තමා අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය.

සයිනොෆාම් එන්නත භාවිතයට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ඉදිරි තෙදින තුළ ලබාදීමට හැකි වෙතැයි ටෙඩ්‍රොස් මහතා සඳහන් කළේය. අනුමැතියත් සමඟ මෙරට ජනතාවගෙන් වැඩි පිරිසකට සයිනොෆාම් එන්නත ලබාදීමට හැකිවන බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

ලෝක සෞඛ්‍ය සංවිධානය කලාපීය මට්ටමින් හා කොළඹ පිහිටි කාර්යාලයෙන් ලබාදෙන සහයෝගය පිළිබඳව ජනාධිපතිතුමා ටෙඩ්‍රොස් මහතාට සිය ප්‍රශංසාව පළ කළේය.

 
 

වෛරසය පැතිර යාම වැළැක්වීමට සහ රෝහල් පහසුකම් ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට පියවර ගෙන තිබෙනවා

-නිලධාරීහු පෙන්වා දෙති

කොවිඩ් එන්නත ජනතාවට ලබාදීම සහ ගෙන්වීම යන පියවර දෙකම වේගවත් කරන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා නිලධාරීන්ට උපදෙස් දෙයි. කෙටි කාලයක් තුළ හැකි උපරිමයෙන් එන්නත් ලබාදීම කළ යුතු බව දෛනිකව රැස්වෙන කොවිඩ් කමිටුව සමඟ අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිතුමා අවධාරණය කළේය.

රෝගය පැතිර යාමට බොහෝ සෙයින් පාදක වන බස්නාහිර පළාත කෙරෙහි විශේෂ අවධානය යොමු කිරීම වැදගත් වෙයි. රුසියාවේ නිෂ්පාදිත “ස්පුට්නික්” (Sputnik) එන්නත ලබාදීම ඊයේ (06) සිට ආරම්භ කෙරිණ. චීනයෙන් ලැබුණු “සයිනොෆාම්” එන්නත් ලක්ෂ 6ක් සෞඛ්‍ය අංශ සතුව ඇත. රටවල් 51ක මිලියන 55කට අධික පිරිසකට “සයිනොෆාම්” එන්නත සාර්ථකව ලබාදී තිබේ. එම රටවල සෞඛ්‍ය බලධාරීන් සමඟ සාකච්ඡා කර එම එන්නත කඩිනමින් ලබාදීමට ඇති හැකියාව සොයා බලන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ. පළමු එන්නත ලබාගත් පිරිසට “ඇස්ට්‍රාසෙනිකා” එන්නතෙහි දෙවන මාත්‍රාව දීම සිදු කෙරෙමින් පවතී.

“ඇස්ට්‍රාසෙනිකා” එන්නත් අතිරික්තයක් ඇති රටවලින් එන්නත් ලබාගැනීමට අවශ්‍ය සාකච්ඡා මේ වන විටත් සිදු කර තිබේ.

ආසාදිතයන් හඳුනා ගත් ප්‍රදේශ වසා දමමින් සහ සීමා පනවමින් රෝගය පැතිර යාම වැළැක්වීමට උපරිම පියවර ගෙන ඇති බව නිලධාරීහු පෙන්වා දුන්හ. සියලු රෝහල්වල පහසුකම් අවශ්‍ය මට්ටමින් පවත්වාගෙන යාමට  පියවර ගෙන තිබේ. රෝගය පැතිර යාම වැළැක්වීමට ගෙන ඇති පියවර සාර්ථක කර ගැනීමට ජනතාවගේ සහායද අත්‍යාවශ්‍ය බව නිලධාරීහු පැවසුහ.

සෞභාග්‍යයේ දැක්ම” වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම වෙනුවෙන් ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සකස් කළ “සෞභාග්‍යයේ දැක්ම උදෙසා ජනතා කේන්ද්‍රීය ප්‍රකාශනය” අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත පිළිගැන්වීය.

ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා විසින් ප්‍රකාශනය පිළිගන්වනු ලැබිණ.

ජාතික ආරක්ෂාවට ප්‍රමුඛතාව දීම, මිත්‍රශීලි නොබැදුණු විදේශ ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීම, දූෂණයෙන් වංචාවෙන් තොර පිරිසිදු රාජ්‍ය පාලනයක් ගොඩනැගීම, ජනතාවට වග කියන ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණයක් ඇතුළු “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ සඳහන් කරුණු ගණනාවක් පිළිබඳ පක්ෂයේ ක්‍රියා පිළිවෙත මෙහි අන්තර්ගතය.

ප්‍රකාශනයේ ඉදිරිපත් කර ඇති වැඩපිළිවෙළ පිළිබඳ ග්‍රාමීය ජනතාව දැනුවත් කිරීම සඳහා දේශපාලනික, සමාජ කටයුතුවල නිරත පුද්ගලයන් ඒකරාශී කර සම්මන්ත්‍රණ 100ක් පැවැත්වීමට ද ප්‍රජාතන්ත්‍රවාදී වාමාංශික පෙරමුණ සැලසුම් කර තිබේ.

මොනරාගල දිස්ත්‍රික් පාර්ලිමේන්ත්‍ර මන්ත්‍රී, වෛද්‍ය ගයාෂාන් නවනන්දන මහතා ද මේ අවස්ථාවට එක්ව සිටියේය.

අග්‍රාමාත්‍ය මහින්ද රාපජක්‍ෂ මහතා ආසියානු සංවර්ධන බැංකුවේ අධීපතිවරුන්ගේ මුලසුනට තේරී පත්වෙයි. එම බැංකුවේ 54 වැනි වාර්ෂික මහා සභා රැස්වීම ඊයේ පැවැත්විණ.

එහිදී මහින්ද රාජපක්‍ෂ මහතා 2021 / 2022 වර්ෂය සදහා එහි අධීපතිවරුන්ගේ මුලසුනට පත්විය.

මෙම තනතුරට පත්වන විට අගමැතිතුමා මෙරට ආසියානු සංවර්ධන බැංකු අධිපති ධුරය හොබවමින් සිටියේය. ආසියානු සංවර්ධන බැංකුවේ 55 වන වාර්ෂික සභා රැස්වීම ලබන වසරේ කොළඹදී පැවැත්වීමට නියමිතය.

 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter