නවතම පුවත්

2021.04.29

 

රට තුළ පවතින කොවිඩ් 19 වෛරස ව්‍යාප්තිය හේතුවෙන්, නැවත දැනුම් දෙන තුරු ගරු ජනමාධ්‍ය අමාත්‍යතුමා සහ ලේකම්තුමා හමුවීම සඳහා පැමිණීමට ප්‍රථම පහත සඳහන් දුරකථන අංක අමතා දිනයක් හා වේලාවක් වෙන්කර ගැනීමට කටයුතු කරන ලෙස කාරුණිකව ඉල්ලමි.

 

අමාත්‍ය කාර්යාලය 

රමිත් රඹුක්වැල්ල මහතා (ගරු අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම්)

0727684684

ලේකම් කාර්යාලය 

බන්දුල විජේමාන්න මහතා (ලේකම්තුමාගේ සම්බන්ධීකරණ ලේකම්)

0112513467 / 0772019920

අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී, කිංස්ලි රත්නායක මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් පත්විම් ලිපිය ලබා ගත්තේය.

කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙක් වන ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ උපාධිධාරියෙකි.
විසි හත් (27) වසරක මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු ලෙස සුවිශේෂී දක්ෂතා දක්වා ඇති ඒ මහතා ප්‍රමුඛ විද්‍යුත් මාධ්‍ය නාලිකාවක වැඩසටහන් කළමනාකරුවෙකු, වැඩසටහන් අධ්‍යක්ෂවරයෙකු, අධ්‍යක්ෂ ජනරාල්වරයෙකු සහ නාලිකා ප්‍රධානී ඇතුළු ප්‍රධාන තනතුරු රැසක් හෙබවීය.

ශ්‍රී ලාංකීය ගුවන් විදුලියේ නව හැරවුමක් සනිටුහන් කළ කිංස්ලි රත්නායක මහතා නිර්මාණශීලි හැකියාවන් තුළින් මාධ්‍ය ක්ෂේත්‍රයට සුවිශේෂී කාර්ය භාරයක් ඉටුකළ අයෙකි.

හරිත- සමාජ - ආර්ථික රටාවක්:දේශගුණික විපර්යාසය ජයගැනීමට ජනපතිගෙන් තිරසර සැලසුම්...

 Press Release on 28.04.2021 page 001

Press Release on 28.04.2021 page 002

 

රසායනික පොහොර හා කෘමිනාශක ආනයනය කිරීම සම්පූර්ණයෙන්ම තහනම් කිරීමට අදාළ ජනාධිපතිතුමා ගෙනා යෝජනාවට කැබිනට් මණ්ඩලයට අනුමැතිය ලැබුණු බව අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසනවා.

රසායනික පොහොර කෘමිනාශක හා වල්නාශක භාවිතය එළඹෙන මහ කන්නයේ පටන් තහනම් කිරීමට කටයුතු සිදු කරන බවයි අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේ.

මේ අතර කාබනික පොහොර නිෂ්පාදකයින්ට හා ගොවීන්ට මූල්‍යාධාර ලබාදීම, පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීම, කටුපොල් වගාකළ ඉඩම්වල රබර් සහ ජලපෝෂිත වගාවන්  හදුන්වාදීම, වනඝනත්වය වැඩිකිරීමට රක්ෂිත වනාන්තරවල පදිංචිකරුවන් සුදුසු ස්ථානවල පදිංචි කිරීම යන යෝජනාවන්ට ද කැබිනට් අනුමැතිය ලැබී තිබුණා.

කොවිඩ් වසංගතය හමුවේ රජයේ නිලධාරීන් සේවයට කැදවීම සම්බන්ධ චක්‍ර ලේඛය රාජ්‍ය සේවා පළාත් සභා හා පලාත් පාලන අමාත්‍යංශය අද නිකුත් කර තිබෙනවා.

 

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි චීන රාජ්‍ය මන්ත්‍රී හා ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe)මහතා සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතර නිල හමුව අද (28) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී සිදු විය.

ජනාධිපති කාර්යාලය වෙත පැමිණි චීන ආරක්ෂක අමාත්‍යවරයා ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර සහ විදේශ ලේකම් අද්මිරාල්(විශ්‍රාමික) මහාචාර්ය ජයනාත් කොළඹගේ මහත්වරුන් විසින් පිළිගනු ලැබීය.

ජනාධිපතිතුමා සහ තමා අතර ද්විපාර්ශ්වික සාකච්ඡා බෙහෙවින් ඵලදායී විනැයි චීන ආරක්ෂක අමාත්‍යවරයා පැවසීය.

එසේම දෙරට අතර පවතින සබඳතා මෙම සංචාරයෙන් තවත් ශක්තිමත් විනැයි එතුමා සඳහන් කළේය

චීන ආරක්ෂක අමාත්‍ය ජෙනරාල් වෙයි ෆෙන්ග්හ (Wei Fenghe) මහතා, හමුව සනිටුහන් කරමින් විශේෂ ආරාධිතයන් සඳහා වූ සමරු පොතෙහි අත්සන් තැබීය.

ශ්‍රී ලංකාවේ චීන තානාපති ෂී සෙන්හොන් (Qi Zhenhong), චීන මහජන හමුදාවේ ඒකාබද්ධ මාණ්ඩලික දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය ප්‍රධානී හා ජාත්‍යන්තර කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ජනරාල් ලුතිතන් ජෙනරාල් ෂාඕ යැන්ග්මින් (Lt. Gen. Shao Yuanming ), මේජර් ජනරාල් සි ග්ව්ඕවෙයි (Ci Guowei ) සහ ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර යන මහත්වරු ද්වි පාර්ශ්වික සාකච්ඡාවට එක්ව සිටියහ.

 
 

ප්‍රවීණ මාධ්‍යවේදී සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ධූරයට පත් කෙරේ.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අතින් ජනාධිපති කාර්යාලයේ දී පත්වීම් ලිපිය භාරගත් සුදේව හෙට්ටිආරච්චි මහතා ඉදිරි සතියේ දී ධූරයේ වැඩ භාර ගැනීමට නියමිතය. කොළඹ ආනන්ද විද්‍යාලයේ කීර්තිමත් ආදී ශිෂ්‍යයෙක් වන සුදේව හෙට්ටිආරච්චි මහතා හසල අත්දැකීම් සහිත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදියෙකි.

වසර 25කට අධික මාධ්‍ය ජීවිතය තුළ ජනප්‍රිය නිවේදකයෙකු, නිෂ්පාදකවරයෙකු වූ ඒ මහතා ප්‍රමුඛ මාධ්‍ය ආයතන කිහිපයක සහකාර කළමනාකාරවරයෙකු, කළමනාකාරවරයෙකු, සහකාර සාමාන්‍යාධිකාරීවරයෙකු, සාමාන්‍යාධිකාරීවරයෙකු, අධ්‍යක්ෂවරයෙකු සහ ප්‍රධාන විධායක නිලධාරියෙකු ලෙස කටයුතු කළ දක්ෂ පරිපාලන නිලධාරියෙකි.

සුදේව හෙට්ටිආරච්චි මහතා ජනාධිපති මාධ්‍ය අධ්‍යක්ෂ ජනරාල් ලෙස පත්වීම් ලැබීමට පෙර ස්වර්ණවාහිනී මාධ්‍ය ජාලයේ ප්‍රධාන විධායක නිලධාරී ලෙස කටයුතු කළේය.

 

සමස්ත ලංකා සංස්කෘතික පරිසර සුරැකීමේ සංවිධානය විසින් ආරක්ෂක, කලා, සෞඛ්‍ය, පරිසර ඇතුළු ක්ෂේත්‍ර රැසකට දායකත්වය ලබාදුන් පිරිස් ඇගයීම වෙනුවෙන් පසුගියදා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී සංවිධානය කර තිබූ ගෞරව සම්මාන උළෙලකදී යහපත් මාධ්‍ය සංස්කෘතියක් බිහිකිරීම උදෙසා මෙන්ම මෙරට කලා ක්ෂේත්‍රයට සිදු කළ මෙහෙය වෙනුවෙන් ස්වාධීන රූපවාහිනී මාධ්‍ය ජාලයේ සභාපති සුදත් රෝහණ මහතා ඇගයීමට ලක්කෙරුණි. 

 

 

අගමැති මහින්ද රාජපක්ෂ

ශ්‍රී ලංකාවේ නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් කොවිඩ් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරී වූ බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පැවැසීය.

අගමැතිවරයා එසේ ප්‍රකාශ කළේ, ඊයේ (26) දින වීඩියෝ පණිවිඩයක් මගින් එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ (UNESCAP) 77 වැනි සැසිවාරය අමතමිනි.

මෙම 26 සිට 29 දක්වා පැවැත්වෙන 77 වැනි සැසියේ තේමාව වී ඇත්තේ “ආසියානු හා පැසිෆික් කලාපීය සහයෝගීතාව තුළින් පෙරටත් වඩා සවිමත්ව අර්බුධයන් තුළින් නැවත නැගී සිටිමු” යන්නයි. කොවිඩ්-19 වසංගතය පිළිබඳ සාකච්ඡාව මෙවර සැසියේ ප්‍රධාන තැනක් ගන්නා අතර දේශගුණික විපර්යාස, ණය සහන, ආයෝජන, සමාන සෞඛ්‍ය ප්‍රවේශය, තිරසාර සංවර්ධනය සහ කලාපීය සහයෝගීතාව වැනි කරුණු පිළිබඳ මෙහි දී සාකච්ඡාවට ලක් වේ.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා සැසියේ ආරම්භයට එක්වෙමින් මෙසේ ප්‍රකාශ කළේය. .

ආයුබෝවන් !.එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසමේ 77 වැනි සැසිවාරය ඇමතීමට ලැබීම ගැන මම සතුටුවෙමි. වර්තමානයේ පවතින අභියෝග හමුවේ වුව ද මෙම සැසියට එක්වීමට ලැබීම අපට ඉතා වැදගත් වෙනවා.

වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය හා සමාජ තත්ත්වය නැවත ගොඩනැගීම සඳහා අප සැවොම උපාය මාර්ගික සැළසුම් සකස් කරමින් සිටින කාල වකවානුවක මෙවර සැසියේ තේමාව ඉතා කාලෝචිත හා වැදගත් වන බවයි මගේ විශ්වාසය. පසුගිය කාලයේ කොවිඩ්-19 පැතිරීම පාලනය කිරීමේ දී ශ්‍රී ලංකාව කැපී පෙනෙන ප්‍රගතියක් අත්කර ගත්තා. විශේෂයෙන් කොවිඩ් රෝගීන් හඳුනා ගැනීම, ඔවුන්ගේ සබඳතා ඔස්සේ නිරෝධායන ක්‍රියාවලිය පවත්වා ගෙන යෑම, නිරෝධායනය සහ රෝගීන්ට ප්‍රතිකාර කිරීම හා අවම මරණ අනුපාතයක් පවත්වා ගැනීමට අපට හැකියාව ලැබුණා.

ශ්‍රී ලංකාවේ ශක්තිමත් මහජන සෞඛ්‍ය ආරක්ෂක වැඩපිළිවෙළක් තිබෙනවා. නිදහස් සෞඛ්‍ය සේවා පහසුකම් වසංගත තත්ත්වය පාලනය කිරීමට උපකාරි වුණා. ශ්‍රී ලාංකේයන් ලක්ෂයක් එන්නත් කිරීමට අප රජයට පසුගිය පෙබරවාරි මාසයේ දී හැකි වුණා.

මේ වනවිටත් අපගේ රජය ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම සඳහා දැඩි කැපවීමක නිරතව සිටිනවා. ඒ සඳහා මාගේ නායකත්වයෙන් තිරසර සංවර්ධන ඉලක්ක සාක්ෂාත් කර ගැනීම උදෙසා වූ අන්තර් අමාත්‍ය මෙහෙයුම් කමිටුවක් පිහිටුවා තිබෙනවා.

2021-2030 නිපුණතා සංවර්ධන දශකය ලෙස රජය විසින් ප්‍රකාශයට පත්කර තිබෙන නිසා අපගේ සංවර්ධන න්‍යාය පත්‍රයේ ඉතා වැදගත් තැනක් තරුණ තරුණියන්ට හිමිවෙනවා.

කලාපීය සබඳතා ශක්තිමත් කිරීමටත් අප උනන්දුවෙන් කටයුතු කරනවා. ඒ වගේම දකුණ- දකුණ

( “South-South”) සහයෝගිතාව වේගවත් කිරීමේ අවශ්‍යතාව අප අවධාරණය කරනවා.

ඒ සඳහා එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම අංශ කිහිපයක් ඔස්සේ ක්‍රියාමාර්ග ගනිමින් ඊට ප්‍රතිචාර දැක්විය යුතුයැයි අප විශ්වාස කරනවා.

වසංගත තත්ත්වයෙන් පීඩාවට පත්ව සිටින කුඩා රටවල්වලට එම තත්ත්වයෙන් අත්මිදීම සඳහා එන්නත් කරන වැඩසටහනට සහය වීම, විදේශ රැකියා අවස්ථා වැඩිදියුණු කරමින් ඊට දිරිමත් කිරීම, පාරිසරික හා සෞඛ්‍ය සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනය කිරීම සහ සංවර්ධනය වෙමින් පවතින රටවල ආයෝජනයන් සඳහා දිරිමත් කිරීම සහ ඔවුන්ට වෙළඳ පොළ සොයාදීම ඒ අතර ඉතා වැදගත් වෙනවා. අවසන් වශයෙන් කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ නැවත නැගී සිටීම වෙනුවෙන් ඉතා කාලෝචිතව මෙම සැසිය සංවිධානය කරමින් සමාජික රටවල් එක් වේදිකාවකට ගෙන ඒමට එක්සත් ජාතීන්ගේ ආසියානු හා පැසිෆික් ආර්ථික හා සමාජ කොමිසම ක්‍රියා කිරීම අප බෙහෙවින් අගය කරනවා. සැසියේ ඉදිරි කටයුතු සර්වප්‍රකාරයෙන් සාර්ථකවේවා ! යැයි ද ප්‍රාර්ථනා කරනවා.

“ගම සමග පිළිසඳර” පළමු වැඩසටහනේ ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (26) පෙරවරුවේ බදුල්ල දිස්ත්‍රික්කයේ හල්දුම්මුල්ල, වෙලංවිට ග්‍රාමයේ චාරිකාවක නිරත විය.

මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්වල ජනතාව හමුවී ඔවුන්ගේ ගැටලු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කොට විසඳුම් දීමේ අරමුණින් පසුගිය සැප්තැම්බර් 25 වන දින “ගම සමග පිළිසඳර” වැඩසටහන ජනාධිපතිතුමා විසින් ආරම්භ කෙරිණ.

බදුල්ල දිස්ත්‍රික්කයේ දුෂ්කරතම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය ලෙස හඳුනාගෙන තිබූ හල්දුම්මුල්ල වෙලංවිට ග්‍රාමය, වැඩසටහනේ පළමුවැන්න විය. ජනතාව පෙන්වා දුන් සහ එහිදී හදුනාගත් ගැටලුවලට කඩිනමි විසඳුම් දීමට ජනාධිපතිතුමා අදාළ බලධාරින් වෙත පවරනු ලැබීය. මාස 07 කට පසු එහි ප්‍රගතිය සොයා බැලීම ජනාධිපතිතුමාගේ අද (26) චාරිකාවේ අරමුණ විය.

‍ජනතාවගේ ඉල්ලීම පරිදි යුද හමුදාව ඉදි කළ කොටබෝගස්තැන්න ක්‍රීඩාංගණයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ චාරිකාව ආරම්භ කෙරිණ.

හපුතලේ සිට වෙලංවිට දක්වා බස් රථ දෙකක් ධාවනයට එක් කිරීම  අද සිට සිදු කෙරේ. දිනකට ගමන් වාර දෙක බැගින් ගම්මාන 08ක් ඔස්සේ බස් රථ දෙක ධාවනයෙන් මෙතෙක් පැවති ප්‍රවාහන දුෂ්කරතාවට විසඳුම් ලැබේ.

වන අලි පහරින් කැඩී ගිය, යුද හමුදාව ඉදිකළ නව නිවස ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් කෙරිණ.                 “ ගම සමග පිළිසඳරින්” ප්‍රතිලාභ අත්කරගත් ඉඩම් ඔප්පු ලාභීන් කිහිප දෙනෙකු සමග කථා කළ ජනාධිපතිතුමා වගා කටයුතුවල අඛණ්ඩව නිරත වන ලෙස උපදෙස් දුන්නේය.

වෙලංවිට ග්‍රාමයේ විදුලි අලි වැට වසර දෙකකට ආසන්න කාලයක් අක්‍රීයව පැවතිණ. එහි දිග කි.මි 6 කි. විදුලි වැට ප්‍රතිසංස්කරණය කර සක්‍රීය කර ඇත. අලි වැට ආරක්ෂා කර ගැනීම ගම්මානයේ ජනතාවටම පවරා තිබේ. එක් කිලෝ මීටරයකට එක් අයෙකු බැගින් මාසිකව රුපියල් 7500ක දීමනාවක් ලැබෙන සේ පුද්ගලයන් 06 දෙනෙකු ඒ සඳහා පත් කර සිටිති.

අක්කර සියය, කුමාරතැන්න සහ වෙලංවිට ගම්මානවල විදුලි සැපයුම සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 54කි. නිවාස 83කට තෙමසක් තුළ විදුලිය සැපයීමට විදුලි බල මණ්ඩලය පියවර ගෙන ඇත.

නිරීක්ෂණ චාරිකාවේ නිරත ජනාධිපතිතුමා මග දෙපස රැස්ව සිටී ජනතාවගෙන් තොරතුරු විමසා බැලීය.

වැඩ අවසන් හා ක්‍රියාත්මක වෙමින් පවතින සංවර්ධන ව්‍යාපෘති සහ මාර්ග සංවර්ධන කටයුතු  නිරීක්ෂණය කළ ජනාධිපතිතුමා ඒවා කඩිනමින් නිම කර ජනතා අයිතියට පවරාදීමේ අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

ජනාධිපතිතුමාගේ පැමිණීම සමග ගමේ පොදු ජන ජීවිතය මුහුණ දුන් ගැටළු රැසකට විසඳුම් ලැබීම පිළිබඳව මහ සංඝරත්නයේ සහ ජනතාවගේ බලවත් ප්‍රසාදය රාජපක්ෂ මැතිතුමා වෙත පිරිනැමිණ.

බණ්ඩාරවෙල නගර සැලැස්ම සහ හපුතලේ නගරය සංචාරක ආකර්ශණයක් සහිතව සංවර්ධනය කිරීමට ජනතා නියෝජිතයන් කළ ඉල්ලීම කෙරෙහි  ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, රාජ්‍ය අමාත්‍ය තේනුක විදානගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන සුදර්ශන දෙනිපිටිය, චාමර සම්පත් දසනායක, තිස්ස කුට්ටිආරච්චි යන මහත්වරු, ප්‍රදේශයේ මහජන නියෝජිතයෝ සහ රාජ්‍ය නිලධාරීහු මේ අවස්ථාවට එක්ව සිටියහ.

අද (25) සිට ඉදිරි දෙසතිය ඇතුළත පැවැත්වීමට සංවිධාන කර තිබූ සියලු රාජ්‍ය උත්සව නතර කිරීමට රජය තීරණය කරයි.

එසේම, ඉදිරි දෙසතිය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පෞද්ගලික අංශයේ සියලු උත්සව, රැස්වීම් හා සාද නිරෝධායන රෙගුලාසි යටතේ තහනම් කිරීමට ද රජය තීරණ කර තිබේ.

කොවිඩ් 19 ව්‍යාප්තිය පාලනය කරනු පිණිස මේ පියවර ගෙන ඇත

කොවිඩ් 19 වසංගත උවදුරට අවසන් විසඳුම එන්නත්කරණය පමණි. ජනතාවට එන්නත ලබාදීම සඳහා සැකසූ විධිමත් වැඩපිළිවෙළක් රජය සතුව තිබේ. අභියෝගය සාර්ථකව ජය ගැනීමට නම් කොවිඩ් වසංගතය පැතිර ගිය පළමු වටයේ දී කලාක් මෙන්, සෞඛ්‍ය බලධාරීන් නිර්දේශ කර ඇති සියලු නීති රීති හා උපදෙස් ජනතාව අකුරටම පිළිපැදිය යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ලෝක සෞඛ්‍ය සංවිධානය දැනට අනුමත කර ඇති සහ ඉදිරි කාලය තුළ අනුමත කිරීමට නියමිත කොවිඩ් මර්දන එන්නත් අතරින් හතරක්ම ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට රජය විධිවිධාන සකසා තිබේ. ප්‍රථමයෙන් ගෙන්වනු ලැබූ ඇස්ට්‍රසෙනෙකා එන්නත පුද්ගලයින් 925,242කට මේ වන විට ලබාදී ඇත. එම එන්නතේ දෙවන මාත්‍රව ලබාදීම මැයි මස මුල සතිය තුළ ආරම්භ කිරීමට නියමිතය. ඉදිරි පෙළ සෞඛ්‍ය නිලධාරීන්, කොවිඩ් මර්දනයේ නිරත ත්‍රිවිධ හමුදා සහ පොලිස් නිලධාරීන් ඇතුළුව 356,000ක් දෙනාට දෙවැනි මාත්‍රාව දෙනු ලැබේ. ඉතිරි අවශ්‍යතාව සපුරාගැනීම සඳහා ඇස්ට්‍රාසෙනකා එන්නත නිෂ්පාදනය කරන ලෝකයේ සෙසු ආයතන සමග රජය දැන් සාකච්ඡා කරමින් සිටී.

රුසියාවේ නිෂ්පාදිත ස්පුට්නික් එන්නතේ මාත්‍රා 200,000 අප්‍රේල් අවසානයේ දීත්, මාත්‍රා 400,000ක් මැයි මාසයේදීත්, මාත්‍රා 800,000ක් ජූනි මාසයේදීත්, මාත්‍රා 1,200,000ක් ජූලි මාසයේදීත් ගෙන්වා ගනු ලැබේ. ස්පුට්නික් එන්නත් මාත්‍රා මිලියන 13ක් ගෙන්වීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය දැනටමත් ලැබී ඇත.

පරිත්‍යාගයක් ලෙස චීනයෙන් ලැබී ඇති සයිනොෆාම් එන්නත් මාත්‍රා 600,000 ඉදිරි සති කිහිපය තුළ ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබීමත් සමග මෙරට ජනතාවට ලබාදීමට සැලසුම් කර ඇත.

මීට අමතරව රාජ්‍ය ඖෂධ සංස්ථාව ෆයිසර් එන්නත ගෙන්වීම සඳහා අවශ්‍ය මූලික ගිවිසුම් දැටනමත් අත්සන් කොට ඇති අතර එම එන්නත හැකි ඉක්මණින් ගෙන්වා ගැනීමට රජය ක්‍රියාකාරමින් සිටී.

කොවිඩ් 19 ව්‍යාප්තිය පිටුදැකීමේ කොඳුනාරටිය වනුයේ මූලික මහජන සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපැදීම බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා ඊයේ (24) ජිනීවා නුවරදී යළිත් වරක් අවධාරණය කළේය. නිසි පරිදි මුහුණු ආවරණය, සබන් හෝ විෂ බීජ නාශක යොදා විටින් විට දෑත් සේදීම, සමාජ දුරස්ථභාවය ආරක්ෂා කිරීම, අනවශ්‍ය ගමන් බිමන් වලින් සහ උත්සව සහ සාද වැනි ඒකරාශීවීම් වලින් වැලකී සිටීම ඒ අතර ප්‍රධාන තැන ගනී.

සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම හා ශික්ෂණයක් සහිත විනයගරුක සමාජ චර්යාව වෛරස ව්‍යාප්තිය නතර කිරීමට සාර්ථක විසඳුමක් බව එවැනි ශික්ෂණයක් පෙන්නුම් කළ සියලු රටවල අත්දැකීමය.

කොවිඩ් 19 උවදුරට විසඳුමක් ලෙස යම් කලකට රට වසා දැමිය යුතුය යැයි සමහරු කල්පනා කරති. ආරම්භක අවස්ථාවේදී එවැනි ක්‍රියාමාර්ගයකින් සතුටුදායක ප්‍රතිඵල අත්වුවද දිගුකාලීනව එය ජන ජීවිතයට සහ ආර්ථිකයට අතිශය හානිකර බලපෑම් ඇති කරයි. ආර්ථික ක්‍රියාකාරිත්වය මුලිමනින් අඩපණ කරන අගුල් දැමීම් හෝ ඇඳිරි නීතිය පැනවීම් ශ්‍රි ලංකාව වැනි සංවර්ධනය වෙමින් පවතින රටවලට කළ නොහැකිය. අප රටේ ආදායම් උපයන්නන්ගෙන් බහුතරය අවිධිමත් ජීවනෝපාය මාර්ග මත යැපෙති.

එබැවින් රජය සිය කාර්ය ඉටුකරන අතර, ජනතාව රටේත්, තමාගේත් සුබ සිද්ධිය තකා ස්වකීය වගකීම සහ යුතුකම ඉටුකළ යුතු බව ජනාධිපතිතුමා අදහස් කරයි.

 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter