නවතම පුවත්

ශිව දෙවිඳුන්ගේ ආලෝක කදම්භයෙන් මෝහාන්ධකාරය දුරුකොට, ප්‍රඥා මහිමය අත්කර ගැනීමේ ප්‍රාර්ථනය පෙරදැරිව, ශ්‍රී ලාංකේය සහ ලොව පුරා හින්දු බැතිමත්හු, අනාදිමත් කාලයක සිට මහ ශිවරාත්‍රී දින මහත් භක්තියෙන් යුතුව ස්වකීය ආගමික වතාවත්හි නිරත වෙති.

ලොව බලවත්ම දෙවිඳුන් ලෙස ඔවුන් පිළිගන්නා ශිව දෙවියන්ගේ ආශිර්වාදය සමාජ, ආර්ථික සහ සෞඛ්‍ය අභිවෘද්ධියටත්, ආධ්‍යාත්මික පෝෂණයටත් ප්‍රබල පිටිවහලක් බව හින්දූන්ගේ විශ්වාසයයි.

හින්දු සාහිත්‍යයේත්, ජන සමාජයේත් උත්තම දිනයක් බවට පත්ව ඇති මහ ශිවරාත්‍රී දින ඔවුහු නිදි වර්ජිතව, සංස්කෘතික අගයක් සහිත විවිධ වූ කාර්යයන්හි නියැලෙමින් ශිව දෙවියන්ට පූජෝපහාර කරති. එමගින් සර්ව කාලීන ආශිර්වාදය අපේක්ෂා කරති. සිත තැන්පත් කරගනිමින් භාවනානුයෝගීව මහා ශිව දෙවි ආවර්ජනය කිරීමෙන් ආත්මය සුවපත් වන බව හින්දු බැතිමත්හු අදහති.

අතීතයේ පටන් ශ්‍රී ලාංකේය හින්දු ලබ්ධිකයන්ගේ මේ විචිත්‍රවත් සංස්කෘතික උළෙල
අපේ ජන සමාජයට අමිල වටිනාකමක් එක් කළේය. බහුවිධ සාහිත්‍ය කලා සේම, නර්ථනයන් බිහිකිරීමට ද මේ ආගමික චාරිත්‍රය හේතු වී තිබේ.

පසුගිය වසරේ පැතිර ගිය කොවිඞ් වසංගතය නිසා සෞඛ්‍ය නීති රිතීවලට අනුගතව මහා ශිව රාත්‍රී දින වතාවත් කරන්නට හින්දු බැතිමතුන්ට සිදුවිය. මෙවර යම් ලිහිල් කිරීමක් ඇතත් සෞඛ්‍ය උපදෙස් පිළිපදමින් මහ ශිවරාත්‍රී දිනය සමරනු ඇතැයි යන්න අපගේ විශ්වාසයයි.

මහ ශිවරාත්‍රී දින පහන්සිල හින්දු ජනයාගේ ආධ්‍යාත්මය ආලෝකමත් කරන්නා සේම, සමස්ත සමාජය පූරා සාමය, සංහිඳියාව සහ සතුට සාක්ෂාත් කර ගැනීමට ශිව දෙවිඳුන්ගේ ආශිර්වාදය වේවා යි මම ප්‍රාර්ථනා කරමි.

නිරවුල් හිමිකමක් නැතිව රජයේ ඉඩම් භුක්ති විඳිමින් සිටි පවුල් වෙත දීමනා පත්‍ර ප්‍රදානය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ආරම්භ කෙරිණ.

“සෞභග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය ප්‍රකාරව  සෑම පවුලකටම නිරවුල් ඉඩමක හිමිකම සහතික කිරීම රජයේ අරමුණයි. ඉඩම් සංවර්ධන ආඥා පනතේ හා රජයේ ඉඩම් ආඥා පනතේ ප්‍රතිපාදනවලට යටත්ව මුළු දිවයිනම ආවරණය වන පරිදි නීත්‍යානුකූලව තෝරාගන්නා ලද 20,000ක් දෙනාට පළමු අදියර යටතේ දීමනා පත්‍ර පිරිනැමේ.

මේ වැඩසටහන ගොවිතැනින් ජිවත්වන අඩු ආදායම්ලාභීන් සඳහා වැඩි අවධානයක් යොමු කර ඇත. ඔවුන්ට ඉඩම්වල හිමිකම පැවරීමෙන් ආදායම් මට්ටම වැඩි කර ගැනීමට ඝෘජු බලයක් සැපයීම රජයේ අපේක්ෂාවයි.

දීමනා පත්‍රලාභීන්ට සිය ඉඩම් නිවසක් තනා ගැනීම, කෘෂිකාර්මික අවශ්‍යතා, වෙනත් භෝග වගා සහ ව්‍යාපාර කටයුතු සඳහා යොදා ගත හැකිය. ඵලදායී ඉඩම් උපයෝජනයෙන් ජාතික ආර්ථිකය ශක්තිමත් කිරිමට දායකවීම ඉඩම්ලාභීන්ගෙන් අපේක්ෂා කෙරේ.

ජනාධිපතිවරයාගේ ප්‍රදානයක් වන දීමනා පත්‍රය සින්නක්කර ඔප්පුවක් සේ සැලකේ. එය ඇපයට තබා බැංකු ණයක් ගැනීමේ හැකියාව දීමනා පත්‍රලාභීන්ට හිමි වෙයි. මේ වසර අවසානයට පෙර හිමිකම් පත් ලක්ෂයක් දීමට අපේක්ෂා කරන බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

වැඩසටහන සංකේතවත් කරමින් සියලු පළාත් නියෝජනය වන පරිදි තෝරාගත් 19 දෙනෙකුට ජනාධිපතිතුමා විසින් දීමනා පත්‍ර ප්‍රදානය කෙරිණ.

ජනාධිපති කාර්යාලය, ඉඩම් අමාත්‍යාංශය සහ මහවැලි අමාත්‍යාංශය එක්ව වැඩසටහන ක්‍රියාත්මක කරයි.

අමාත්‍ය එස්.එම්. චන්ද්‍රසේන, සිරිපාල ගමලත්, අනුරාධ ජයරත්න රාජ්‍ය අමාත්‍යවරු, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු සහ රේඛීය අමාත්‍යාංශවල ලේකම්වරු සහ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
 

ශ්‍රී ලාංකේය සමාජය ස්ත්‍රීය දියණියක, සහෝදරියක, බිරිඳක, මවක සහ ගෘහණියක ලෙස ඇගේ භූමිකාව අතීතයේ සිට ගෞරව බුහුමනින් යුතුව අගය කළේය. යම් රටක් කාන්තාවට සලකන ආකාරය එරට සැබෑ සංවර්ධනය පෙන්නුම් කරන සමාජ දර්ශකයකි. ඒ අතින් ශ්‍රී ලංකාව සෙසු බොහෝ රටවලට ආදර්ශයක් සපයා ඇත.

කවර ප්‍රජාවක වුවද මූලික ඒකකය වන පවුල් සංස්ථාවේ පදනම සකසන්නී කාන්තාවය. සිය ජීවිත කාලය තුළ නන්විධ භූමිකා ඉටු කරන ඇය පවුල් ඒකක එක්වීමෙන් නිර්මාණය වන සමාජය එකට බැඳ තබන ශක්තිමත් හුයක් බඳුය. හැමවිටම මුදලින් ගණනය නොකළ ද ජාතික නිෂ්පාදනයට ඇගෙන් ලැබෙන දායකත්වය නිසැකවම ඉතා ඉහළ අගයක් ගනී. ස්ත්‍රීයගේ අභිමානය, ගෞරවය සහ සතුට ආරක්ෂා කරමින් පෝෂණය කිරීම සමාජ වගකීමක් වන්නේ එබැවිනි.

වර්තමාන ශ්‍රී ලංකාවේ ආර්ථික, සාමාජයීය, සංස්කෘතික ජීවිතයේ ක්ෂේත්‍ර ගණනාවක වැඩි නියෝජනය හිමි කර ගැනීමට ස්ත්‍රීහූ සමත්ව සිටිති. තවත් ක්ෂේත්‍ර රැසක ඇය පිරිමියාට අභියෝග කරමින් සිටින්නීය. මේ ජයග්‍රහණ කාන්තාවගේ බුද්ධියට, ධෛර්යයට හා කැපවීමට මෙන්ම අපේ සමාජයේ සමාජ සාධාරණත්වයට හා පරිණතභාවයට ද නිදසුනකි. දේශපාලන ක්ෂේත්‍රයේ ඇගේ සහභාගිත්වය වර්ධනය කළ යුතුව තිබේ.

” රටකි – දැයකි – ලොවකි – ඇය ” යන්න මෙවර අන්තර්ජාතික කාන්තා දින තේමාව කොට ගැනීම අතිශයින් කාලෝචිතයයි හඟමි.

කාන්තාවගේ කාර්යභාරය නිවැරදිව හඳුනාගත් ”සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය කාන්තා පරපුරේ සමාජ, ආර්ථික දායකත්වය ප්‍රවර්ධනය ප්‍රතිඥා දී ඇත. එහි සඳහන් අටවැදෑරුම් ක්‍රියාමාර්ග දැන් යථාර්ථයක් බවට පත් කෙරෙමින් තිබේ.

අන්තර්ජාතික කාන්තා දිනය සමග එක්වන අපේ කාන්තා පරපුරට මගේ ආශීර්වාදය සහ ශුභාශිංසන පිරිනමමි.

ගෝඨාභය රාජපක්ෂ

2021 මාර්තු මස 07 වන දින

ජනාධිපතිතුමා වෙත භාර දුන් පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳ ජනාධිපති පරීක්ෂණ කොමිෂන් සභා වාර්තාවේ පිටපත් රාමඤ්ඤ මහා නිකායේ මහා නායක අග්ගමහා පණ්ඩිත අතිපූජ්‍ය මකුලෑවේ විමල හිමිපාණන්ට සහ අමරපුර මහා නිකායේ වැඩබලන උත්තරීතර මහානායක අතිපූජ්‍ය ගංතුනේ අස්සජි හිමිපාණන්ට පිළිගැන්වේ.

රාමඤ්ඤ නිකායේ මහා නායක හිමියන් වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත ඊයේ (04) පස්වරුවේ සහ අමරපුර මහා නිකායේ වැඩබලන මහා නායක හිමියන් වැඩ වෙසෙන කෑගල්ල, ගන්තුන උග්ගල පුරාණ විහාරය වෙත අද (05) පෙරවරුවේ ගිය ජනාධිපති නීති අධ්‍යක්ෂ ජනරාල් හරිගුප්ත රෝහණධීර මහතා  විසින් උන්වහන්සේ වෙත වාර්තා පිළිගන්වනු ලැබීය.

ජාත්‍යන්තර කාන්තා දිනයට සමඟාමීව පවත්වන ආශිර්වාද පූජාව කැලණිය රජ මහා විහාරයේ දී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ එම ආර්යාව ශිරන්ති රාජපක්ෂ මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද (07) පස්වරුවේ පැවැත්විණි.
 
ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණ මෙම ආශිර්වාද පිංකම සංවිධානය කර තිබිණි.
 
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය බෝධීන් වහන්සේට මල් පහන් පූජාකිරීමෙන් අනතුරුව කැළණිය චෛත්‍ය රාජයාණන් වහන්සේ ගරු අග්‍රාමාත්‍යතුමා අතින් ආලෝකමත් කෙරිණි.
 
ආලෝක පූජාවෙන් අනතුරුව කැලණිය චෛත්‍යරාජයාණන් අභියස දී මෙම ආශිර්වාද පූජාව පැවැත්විණි.
 
කැලණිය රජ මහා විහාරාධිපති මහාචාර්ය කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත නාහිමියෝ ප්‍රමුඛ මහා සංඝරත්නය ආශිර්වාද පුජාව පැවැත්වූහ.
 
අග්‍රාමාත්‍යතුමා මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කළේය.
 
ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණට සිවු වසරක් සැපිරීම, කොවිඩ්-19 රෝගය වැළඳුණු රෝගීන්ට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කිරීම සහ මෙම වසංගතය තුරන් වී සියලු ලක් වැසියන්ට ඉන් ආරක්ෂාවීමට ආශිර්වාද  එක් කිරීම මෙම පිංකමේ ප්‍රධාන අරමුණකි.
 
අමාත්‍යවරුන්වන මහාචාර්ය ජී.එල් පීරිස්, ප්‍රසන්න රණතුංග, ශ්‍රි ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සභාපතිනි අමාත්‍ය පවිත්‍රා දේවි වන්නිආරච්චි, රාජ්‍ය අමාත්‍යවරුන්වන සිසිර ජයකොඩි, ප්‍රසන්න රණවීර, පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් ප්‍රනාන්දු, සබරගමුව පළාත් සභාවේ සභාපති කංචන ජයරත්න, ප්‍රාදේශිය සභා සභාපතිවරුන්,මන්ත්‍රිවරුන් ඇතුළු මහජන නියෝජිතයන් සහ ශ්‍රී ලංකා පොදුජන කාන්තා පෙරමුණේ සමාජික සාමාජිකාවන් ඇතුළු මහත්ම මහත්මීන් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ප්‍රහාරය වන විට බලයේ සිටියේ  තමන් බව අද විපක්ෂයට අමතක වෙලා

එදා ආණ්ඩුවේ අය දැන්  කළු කොඩි දාන්න යනවා

කාදිනල් හිමිපාණන්ගේ වේදනාව සාධාරණයි

 

පාස්කු ඉරිදා ප්‍රහාරයට මුල යහපාලන ආණ්ඩු‍වේ අකාර්යක්ෂමතාව බවත්, වැරදිකරුවන්ට දඬුවම් දීම අපේ වගකීම බැවින් බෙදුම්වාදි හෝ ආගම්වාදි ත්‍රස්තවාදයට අපෙන් ඉඩක් නැති බවත් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (06) පැවසීය. පාස්කු ඉරිදා ඛේදවාචකයට හිටපු ජනපති සහ හිටපු අගමැතිවරයා පමණක් නොව පැවැති රජයම වගකිව යුතු බව සඳහන් කළ ජනාධිපතිවරයා මෙය ජාතික ප්‍රශ්නයක් වන නිසා මෙම කාරණය දේශපාලනීකරණය නොකළ යුතු බවත් පෙන්වා දුන‍්නේ ය. මෙම ප්‍රහාරයට වත්මන් රජය වගකිව යුතු බවට එල්ල කරන අභූත චෝදනාව, පදනම් විරහිත චෝදනාවක් බැවින් එය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරන බවත්, අදාළ කොමිෂන් සභා වාර්තාවේ නිර්දේශ අනුව මීට වගකිව යුත්තන්ට නිසැකවම දඬුවම් ලබා දෙන බවත් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේ ය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේ කුරුණෑගල දිස්‍ත්‍රික්කයේ, ගිරිබාව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත්, වේරගල ග්‍රාම නිලධාරී වසමේ මාඳුරාගම ක්‍රීඩාපිටියේ පැවති “ගම සමඟ පිළිසඳර” 13 වැනි වැඩසටහනට සහභාගීවෙමිනි.වත්මන් රජය පාස්කු ප්‍රහාරය විකුණා බලයට පැමිණියේ නැති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා පසුගිය සමයේ බුද්ධි අංශ නිලධාරීන්ට ව්‍යාජ නඩු පවරමින් ජාතික ආරක්ෂාව බිඳ දැමූ ඇතැම් දේශපාලන පක්ෂ කළු කොඩි දමමින් ජනතාව අතර දුර්මත පතුරවන බවත් කියා සිටියේ ය.

ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානී එයාර් චීප් මාර්ෂල් රාකේෂ් කුමාර් සිං බාදවුරියා මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා හමුවෙයි. ශ්‍රි ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සර සැමරුම් උළෙලට සහභාගිවීම සදහා ශ්‍රි ලංකාවට පැමිණ සිටින ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානී බාදවුරියා මහතා සිය නිල සංචාරය අතරතුර අගමැතිතුමා හමු වූ බව අග්‍රාමාත්‍ය මාධ්‍ය ලේකම් කාර්යාලය පවසය. ආරක්ෂක අංශයෙන් ශ්‍රි ලංකාවට අඛන්ඩ සහයෝගය පළ කරන බව එම හමුවේදී ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා සදහන් කර ඇත. ශ්‍රි ලංකාව සහ ඉන්දියාව අතර දීර්ඝකාලින ආරක්ෂක සහයෝගිතාවක් පවති. එය ත්‍රස්තවාදයට එරෙහිවීම සමුද්‍රිය ආරක්ෂාව සහ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිවීම ඇතුඵ ක්ෂේත්‍ර ගණනාවක් පුරා විහිදිී තිබේ. ඉන්දිය ගුවන් හමුදාව මෙරට ගුවන් හමුදා නිලධාරින් පුහුණු කිරිම සදහා නිරතුරුව සහාය ලබාදෙයි. ආරක්ෂක ක්ෂේත්‍රයෙහිලා දෙරට අතර සහයෝගීතාව තවදුරටත් පුඵල් කළ හැකි බව ඉන්දිය ගුවන් හමුදා ප්‍රධානියා එහිදි පැවසිය.

කොළඹ නගරයේ රථවාහන තදබදය අවම කිරිමේ අරමුණින් කොළඹ සහ තදාසන්න ප්‍රදේශ ආවරණය වන පරිදි දුම්රිය මාර්ග 3 ක් ඉදිකිරීමට සැලසුම් කෙරේ. රාගම සිට කොළඹ කොටුව හරහා කිරුළපන දක්වාද මොරටුව පිළියන්දල නාරහේන්පිට හරහා කැළණිය දක්වා ද කොට්ටාව පන්නිපිටිය තලවතුගොඩ හරහා හුනුපිටිය දක්වා ද මෙම දුම්රිය මාර්ග ඉදිවනු ඇත. මේ පිළිබඳ සාකච්ඡාවක් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මුදල් අමාත්‍යාංශයේදි පැවැත්වින. වඩාත් ජනාකීර්ණ නගරයක් වන මහරගම නගරය ද මෙම ව්‍යාපෘතියට ඇතුඑ කිරීම වඩාත් ප්‍රයෝජනවත් වනු ඇති බව අගමැතිතුමා එහිදි පෙන්වා දුන්නේය. සංවර්ධනය ජනතා අවශ්‍යතා වෙනුවෙන් සිදුවිය යුතුය. එසේ නොවන සංවර්ධන ව්‍යාපෘති රටට අනවශ්‍ය බව ද රාජපක්ෂ මහතා පැවසීය. ඒ අනුව කොට්ටාව හුනුපිටිය දුම්රිය මාර්ගයට මහරගම නගරය ද ඇතුලත් කල හැකි බව නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරිහු මෙහිදී සඳහන් කළහ. මාර්ග තදබදය හේතුවෙන් 2019 වසරේදී රටට සිදුවු දෛනික ආර්ථික අලාභය රුපියල් මිලියන දහසක් ලෙසට ගණන් බලා තිබේ. ඊට එක් විසඳුමක් වශයෙන් පසුගියදා ආරම්භ කල සිටි බස් ව්‍යාපෘතිය මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වේ. මෙම යෝජිත දුම්රිය මාර්ග ව්‍යාපෘතිය රාජ්‍ය සහ පෞද්ගලික සහයෝගිතා ව්‍යාපෘතියක් වශයෙන් ක්‍රියාත්මක කෙරේ. ඇමෙරිකානු ඩොලර් මිලියන පන්දහසක සෘජු විදේශ ආයෝජනයක් සහිතය. සියයට 6 ක රජයේ දායකත්වය ද මේ සඳහා ලබාදීමට යෝජිතය. මෙම දුම්රිය ව්‍යාපෘතිය මගින් දෛනිකව ඉතිරි කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 550 ක් පමණ වෙයි. මෙම දුම්රිය මාර්ග ව්‍යාපෘතිය යෝධ සංවර්ධන සැලැස්මක මුල් අදියරයි.

“හැකියාවෙන් පිරිපුන් පරපුරක්” යන්න තේමා කර ගත් Skills” ශ්‍රී ලංකා වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (02) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ අන්තර්ජාතික සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ දී ආරම්භ කෙරිණ.

ලෝක ආර්ථිකයට සහ වැඩ බිමට ගැළපෙන  නිපුණතා සපිරි සුහුරු මානව සම්පතක් බිහි කිරීම අරමුණු කර ගනිමින් නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය වැඩසටහන ක්‍රියාවට නංවයි.

රැකියා වියුක්ත සමස්ත ජනගහණයෙන් 70%ක් නුපුහුණු ශ්‍රම කාණ්ඩයට අයත් වෙති. පුහුණුව මගින් ඔවුන් රැකියා ඉල්ලුමට සරිලන නිපුණතා සහිත කණ්ඩායමක් බවට පත්කළ යුතුය. “Skills” ශ්‍රී ලංකා වැඩසටහන පාසල් අධ්‍යාපනය හැර යන තරුණ කොටස් සහ රැකියා වියුක්ත හෝ නියුක්ත නිපුණතා රහිත ශ්‍රම බලකාය සඳහා පුළුල් යටිතල පහසුකම් ජාලයක් දීප ව්‍යාප්තව ස්ථාපනය කරයි. දිගු හා කෙටි කාලීන වශයෙන් අංශ 08ක් ඔස්සේ නිපුණතා සංවර්ධනය සිදු කෙරේ.

“Skills” ශ්‍රී ලංකා නිල ලාංඡනය එළිදැක්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

තෝරාගත් ක්ෂේත්‍රවල වෘත්තීය පුහුණුවේ නිරත සිසුන්ට මාසිකව රුපියල් 4,000/-ක ශිෂ්‍යාධාර ප්‍රදානය ද ජනාධිපතිතුමා විසින් ආරම්භ කරනු ලැබීය.

ජංගම වෘත්තීය පුහුණු ඒකක ලෙස නිර්මාණය කළ බස් රථ 05ක් අද සිට දිවයින පුරා ධාවනය කිරීම වැඩසටහනට සමගාමීව සිදු කෙරේ.

ජනාධිපතිතුමා මේ බස් රථ ජාතික ආධුනිකත්ව සහ කාර්මික පුහුණු කිරීමේ අධිකාරියේ සභාපතිවරයා වෙත නිල වශයෙන් භාර දුන්නේය.

රාජ්‍ය අමාත්‍ය සීතා අරඹේපොළ මහත්මිය “Skills” ශ්‍රී ලංකා පුවත් පතෙහි පළමු පිටපත ජනාධිපතිතුමා වෙත පිළිගැන්වූවාය. වෘත්තීය පුහුණුව අපේක්ෂිත සිසුන්ට ආරක්ෂික ඇදුම් කට්ටල පිරිනැමීම අගමැතිතුමා අතින් සිදු කෙරිණ.

කුමන විභාගය අසමත් වුවත් අනාගත තරුණ පරපුරේ ජීවිත සමත් කරවීම රජයේ වගකීමක් බව උත්සව සභාව අමතමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය. මෙරට තාරුණ්‍යය ලෝකයේ නිපුණත්වයෙන් හෙබි, දියුණු සමාජයට ගැළපෙන වෘත්තීය දැනුමෙන් සන්නද්ධ කිරීමට වගකීමෙන් ක්‍රියා කරන බව ද අග්‍රාමාත්‍යතුමා පැවසීය.

“Skills” ශ්‍රී ලංකා  වැඩසටහනට පෞද්ගලික අංශයේ දායකත්වය සනිටුහන් කරමින් Piza Hut සහ Orange ආයතන අභිලාෂය ප්‍රකාශ කිරීමේ ලිපි රාජ්‍ය ඇමතිණි සීතා අරඹේපොළ මහත්මිය වෙත භාර දුන්නේය.

මහා සංඝරත්නය, සෙසු ආගමික පූජකවරු, මැති ඇමතිවරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ රාජ්‍ය නිලධාරීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

“දීඝවාපිය අරුණ” අරමුදලට බෞද්ධයා නාලිකාව පරිත්‍යාග කළ රුපියල් මිලියන 50ක මුදලට අදාළ චෙක්පත අද (02) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී බෞද්ධයා නාලිකාවේ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත භාර දෙනු ලැබීය.

නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රථම හා ප්‍රමුඛ සංරක්ෂණ කර්තව්‍යය ලෙස “දීඝවාපී චෛත්‍යය” ප්‍රතිසංස්කරණය  කෙරේ.

ඒ සඳහා වන “දීඝවාපිය අරුණ” අරමුදල ජනාධිපතිතුමාගේ සහ අගමැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පෙබරවාරි 12 වැනි දින ආරම්භ කෙරිණ. දීඝවාපී ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ඉදි කෙරෙන විශ්‍රාම ශාලාවේ ඇස්තමේන්තුගත වියදම රුපියල් මිලියන 75කි. සුදත් තෙන්නකෝන් මහතා ඒ සඳහා රුපියල් මිලියන 25 ක් පරිත්‍යාග කළේය.

බෞද්ධයා නාලිකාව ඉතිරි රුපියල් මිලියන 50ක මුදල පරිත්‍යාග කර තිබේ.

හිටපු අගවිනිසුරු සරත් එන්. සිල්වා, හිටපු නාවික හමුදාපති අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට්  වසන්ත කරන්නාගොඩ, නැගෙනහිර පළාත තුල පුරාවිද්‍යාත්මක උරුම කළමනාකරණය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ සභාපති ආරක්ෂක ලේකම් විශ්‍රාමික ජෙනරල් කමල් ගුණරත්න, බලකායේ ලේකම් ජීවන්ති සේනානායක, දිලිත් ජයවීර, සුරනිමල සේනාරත්න, හර්ෂ අලස්, සුදත් තෙන්නකෝන් යන මහත්ම මහත්මීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ

කෘෂිකර්ම අමාත්‍යාංශයට සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයට නව ලේකම්වරු පත් කෙරෙති.

කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ලෙස එම්.බී.ආර්. පුෂ්පකුමාර මහතා සහ බතික්, අත්යන්ත්‍ර රෙදි හා දේශීය ඇඟළුම් නිෂ්පාදන රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ලෙස බී.එල්.ඒ.ජේ. ධර්මකීර්ති මහතා අද (01) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම්           පී.බී. ජයසුන්දර මහතා අතින් පත්වීම් ලිපි භාර ගත්හ.

 
 

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter