නවතම පුවත්

කිරිගොවීන් සඳහා අයවැයෙන් යෝජනා කළ ණය මුදල රුපියල් ලක්ෂ 10 දක්වා වැඩි කරන්නැයි මුදල් අමාත්‍යවරයා ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා උපදෙස් දී තිබේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්ක ව්‍යාපෘති සහ ජනතා සහන පිළිබඳව අවධානය යොමුකරමින් මුදල් අමාත්‍යාංශයේ අද පැවති ප්‍රගති සමාලෝචන රැස්වීමේදි අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කලේය.

ඒ අනුව ඉදිරි සතියේ සිට කිරිගොවීන්ට ඔවුන්ගේ යටිතල පහසුකම් සංවර්ධනය කරගැනිමට සියයට 4 ක පොලියට රුපියල් ලක්ෂ 10 දක්වා ණය ලබාගැනිමේ අවස්ථාව උදාවේ. අයවැය යෝජනා අනුව ක්‍රියාත්මක ණය සහන සම්බන්ධයෙන් මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස් ආර් ආටිගල මහතා මෙම හමුවේදී පැහැදිලි කලේය.

රාජ්‍ය සේවකයන්ට ලබාදෙන නිවාස ණය ලබාගත් හා ලබාගන්නා ණය මුදල් සියයට 7 ක පොලී අනුපාතය යටතේ ක්‍රියාත්මක වෙයි. මෙම සහනය මත රාජ්‍ය සේවකයෙකුගේ වැටුප වැඩිවීම රුපියල් 2500 ත් 3000 ත් අතර වන බව එස් ආර් ආටිගල මහතා මෙහිදී පෙන්වා දුන්නේය. රාජ්‍ය සහ රාජ්‍ය නොවන සේවකයන්ට සිය නිවසේ සුර්යය පැනල සවි කිරීම සඳහා සියයට 4 ක පොලි අනුපාතයකට රුපියල් ලක්ෂ 8 ක් දක්වා ණය පිරිනැමේ.

මේ අතර මෙම කන්නයේ වී මිලදි ගැනිම සඳහා සුඑ හා මධ්‍ය පරිමාන වී මොල් හිමියන්ට ණය පහසුකම් ලබාදිය යුතු බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා කියා සිටී. ඊට අදාල කටයුතු කඩිනම් කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අදාල නිලධාරින්ට උපදෙස් දී තිබේ

විශ්ව විද්‍යාල ප්‍රවේශය අපේක්ෂිත සිසුන්ට සහන ගෙවීමේ ක්‍රමයට ලැප් ටොප් පරිගණක ප්‍රදානය කිරීමේ වැඩසටහන ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇරඹේ.

සමස්ත අධ්‍යාපන ක්‍රමය වර්තමාන අවශ්‍යතා අනුව ඩිජිටල්කරණය පිණිස “සෞභාග්‍යයේ දැක්මේ අපේක්ෂාව පරිදි විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව, මහජන බැංකුවේ අනුග්‍රහයෙන් වැඩසටහන සැලසුම් කර තිබේ. මහජන බැංකුව ව්‍යාපෘතියට වෙන් කර ඇති මුදල රුපියල් බිලියන 03කි.

අන්තර්ජාල සබඳතාව, මෘදුකාංග පැකේජය සහ වසර 04ක වගකීමක් සහිතව  ලැප් ටොප් පරිගණක පිරිනැමේ. පරිගණකයක වටිනාකම රුපියල් 80,000කි.

රැකියාවක් ලැබීමෙන් පසු මුළු වටිනාකම වසර 06කින් ගෙවා නිම කිරීමට හැකිවන පරිදි ණය පිරිනැමේ. ශිෂ්‍ය කාලය තුළ මසකට ගෙවිය යුතු මුදල රුපියල් 500කි.

2021 වසර සඳහා විශ්ව විද්‍යාලයට පිවිසෙන නවක ශිෂ්‍ය ශිෂ්‍යාවන් 06 දෙනෙකුට වැඩසටහන සංකේතවත් කරමින්  ලිපි භාරදීම අද (09) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස්, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අධ්‍යාපන ලේකම් මහාචාර්ය කපිල පෙරේරා, විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිෂමේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, මහජන බැංකුවේ සභාපති සුජීව රාජපක්ෂ යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ

කොළඹ ගාලු මුවදොර පිටියේ ඉදි කෙරෙමින් පවතින ආදර්ශ වෙළෙඳ කුටි අද (08) පෙරවරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

ගාලු මුවදොර පිටිය කේන්ද්‍රකොට ගත් සංවර්ධන ව්‍යාපෘතියේ තවත් පියවරක් ලෙස වෙළෙඳ කුටි පද්ධතිය ඉදි කෙරේ.

නාවික හමුදාව නව සැලැස්මට අනුව  ආදර්ශ වෙළෙඳ කුටි නිර්මාණය කර තිබේ. ගාලු මුවදොර පිටියට ආකර්ශණීය පෙනුමක් ලැබෙන අයුරින් වෙළෙඳ කුටි ඉදිකිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය.

අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන, නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න,  ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති විශ්‍රාමික ජනරාල් දයා රත්නායක යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනතාව අතරට නොගොස් නිලධාරීන් මගින් පමණක් ගැටළු හඳුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි ….

                  – දික්ඇල්ලකන්ද “ගම සමග පිළිසඳරේ දී ජනපති කියයි

  • ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන වැරදි කරන්නන්ට
    ඉඩක් නැහැ …
  • වැඩකර ජනතාව අතරට යන්න – තරුණ මහජන නියෝජිතයන්ට
    උපදෙස් …
  • ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රකින්න බැහැ ….
  • මාළිබොඩ නගරයට විධිමත් සැලැස්මක් සහ නිවාස ව්‍යාපෘතියක් …

ජනතාව අතරට පැමිණ ගැටළු විසඳීම දේශපාලන නාට්‍යයක් හෝ මාධ්‍ය සංදර්ශනයක් හෝ නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

ඊළග ජනාධිපතිවරණයට තවත් වසර හතරකට ආසන්න කාලයක් තිබේ. ගමට යන්නේ බලයේ සිට කළයුතු මෙහෙවර ඉටුකරන්න. විපක්ෂයේදී පැමිණියත්, ජනතා ගැටළු විසඳමින් දුෂ්කර ගම්මාන වෙත ගිය වෙනත් ජනාධිපතිවරයෙකු නැත. කොළඹ සිටිමින් නිලධාරීන්ගෙන් පමණක් විමසා ජනතා ගැටළු හදුනා ගැනීම මගේ ක්‍රමය නොවෙයි. කවරකු මේ ක්‍රමය විවේචනය කළ ද  “ මම මගේ ක්‍රමයට වැඩ කරනවා” යැයි රාජපක්ෂ මැතිතුමා කියා සිටී.

“ජනතාව අතරට ගොස් වැඩකරලයි මම ජනාධිපති වුණේ. වැඩ කිරීමෙන් පමණයි ජනතා නායකයෙක් විය හැක්කේ” එබැවින් ජනතාව අතරට ගොස් වැඩ කරන ලෙස ජනාධිපතිතුමා තරුණ මහජන නියෝජිතයින්ට උපදෙස් දෙයි.

අද (06) පෙරවරුවේ කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ දික්ඇල්ලකන්ද ග්‍රාමනිලධාරී වසමේ, දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” නව වැනි වැඩසටහනට සහභාගීවෙමින් ජනාධිපතිතුමා මේ අදහස් පළ කළේය.

ජනතා ගැටළු විසඳීමට ගත් තීන්දු දඩමීමා කරගෙන යම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් නීති විරෝධි ක්‍රියාවන්හි නිරත වන්නේ නම් ඔවුන්ට දැඩිව නීතිමය පියවර ගන්නා බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පාරම්පරිකව වගා කළ ඉඩම්වල වගා අයිතිය ගොවියාට දීමට තීරණය කෙරිණ. එය ප්‍රයෝජනයට ගෙන පරිසරයට හා වන රක්ෂිතයට හානිවන අයුරින් පිරිසක් ක්‍රියාකරමින් සිටින බව අනාවරණය වී ඇතැයි ජනාධිපතිතුමා පවසයි. ස්වභාවධර්මයේ ශක්තිය මිනිසාගේ උන්නතියට පාවිච්චි කළ යුතුය. ආර්ථිකය ශක්තිමත් නොකර ජාතිකත්වය රැකිය නොහැකි බවත්, කෘෂිකර්මාන්තය පදනම් කරගත් ජාතික ආර්ථිකයක් ගොඩනැගීම රජයේ අරමුණ බවත් ජනාධිපතිතුමා පැවසීය.

2020 සැප්තැම්බර් 25 වන දින බදුල්ල දිස්ත්‍රීක්කයෙන් “ගම සමග පිළිසඳර” වැඩසටහන ආරම්භ විය. මාතලේ, රත්නපුරය, අනුරාධපුරය, අම්පාර, පොළොන්නරුව කලුතර සහ මොණරාගල දිස්ත්‍රික්ක ආවරණය වන පරිදි පසුගිය වැඩසටහන් සංවිධාන කෙරිණ. මෙතෙක් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මානවල ජනතාව හමුවී, ඔවුන්ගේ ගැටළු විමසා ඒ මොහොතේම නිලධාරීන්ගේ අවධානය යොමු කර විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අරමුණයි. විසඳීමට කල්ගතවන ගැටළු පසුව ආමන්ත්‍රණය කරනු පිණිස සටහන් කර ගනු ලැබේ. ගමේ ජනතාව අතරට පැමිණ ඔවුන්ගේ ප්‍රශ්න විමසා ඔවුන්ගේම යෝජනා තුළින් පිළියම් සෙවීම ගම සමග පිළිසඳර වැඩසටහනේ අපේක්ෂාවයි.

දැරණියගල නගරයේ සිට කිලෝමීටර් 23ක් පමණ දුරින් පිහිටි දික්ඇල්ලකන්ද ග්‍රාමය ශ්‍රිපාද රක්ෂිතයට මායිම්ව පිහිටා තිබේ. අස්ගල, පල්ලහේන, නාමල්වත්ත සහ ඌරවනාව, දික්ඇල්ලකන්ද ග්‍රාමසේවා වසමට අයත්ය. පවුල් 208ක් වෙසෙන මේ ගම්මානවල ජනගහනය 718කි. මාලිබොඩ, පොත්දෙනිය සහ මාගල යන ගම්මාන දික්ඇල්ලකන්ද වටා පිහිටි අනෙක් ගම්මාන වේ.

අතිශය සංවේදී පරිසර කලාපයක පිහිටා ඇති මේ ගම්මානවල ජනතාවගෙන් බොහෝ දෙනෙක් තේ වගාව හෝ ඒ ආශ්‍රිත රැකියාවක නිරතව සිටිති. කරාබුනැටි, එනසාල්, ගම්මිරිස් සෙසු වැවිලි බෝග වේ. කිතුල් කර්මාන්තයේ නිරත පවුල් සංඛ්‍යාව 25කි.

මාර්ග සහ පාලම් පද්ධතිය සංවර්ධනය නොවීම සහ පොදු ප්‍රවාහන සේවා දුර්වලවීමෙන් ජනතාව දැඩි ලෙස පීඩාවට පත්ව සිටිති.

රැස්ව සිටි ජනතාව තමන් මුහුණ පා සිටින විවිධ ගැටළු ජනාධිපතිතුමා හමුවේ විස්තර කළහ. මාර්ග දුෂ්කරතා පිළිබඳව කළ පැමිණිවලට ප්‍රතිචාර දැක්වූ ජනාධිපතිතුමා පොත්දෙනිකන්ද සිට දික්වැල්ලකන්ද දක්වා මාර්ගයේ සංවර්ධන කටයුතු හෙට (08) සිටම ආරම්භ කර කඩිනමින් අවසන් කරන ලෙස නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

මාලිබොඩ සිට ශ්‍රීපාද මාර්ගයේ පන්දෙනිය දක්වා, දැරණියගල සිට නූරිය උඩමාලිබොඩ සිට දික්ඇල්ලකන්ද සහ මාලිබොඩ සිට ඌරවනාව අඹගහකන්ද දක්වා කොටස් ඇතුළු ප්‍රදේශයේ මාර්ග රැසක් කඩිනම් සංවර්ධනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිවයින පුරා ග්‍රාමීය වතු ආශ්‍රිතව ඇති කුඩා ප්‍රවේශ මාර්ග, අතුරු මාර්ග හා සම්බන්ධ වන අයුරින් සංවර්ධනය කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ප්‍රදේශයේ ඇති සියලු පාලම් පිළිබඳ විධිමත් අධීක්ෂණයක් කර සංවර්ධනය කිරීමට ද තීරණය විය. සංවර්ධන ක්‍රියාවලියේ දී කොන්ත්‍රාත්කරුවන් අසාර්ථක වන්නේනම් ඔවුන් අසාදු ලේඛනගත කර ඒ සඳහා සුදුසු ආයතන වෙත පරවන ලෙස ද ජනාධිපතිතුමා දැනුම් දුන්නේය.

මින් පසු සියලු ඉදිකිරීම් මහජන නියෝජිතයන්ගේ සහ නිලධාරීන්ගේ අධීක්ෂණයෙන් වේගවත් විය යුතු බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

පානීය ජල හිඟයට පිළියම් ලෙස පොල්ගස්වත්ත, බස්නාගල – හොරගහහින්න ජල ව්‍යාපෘති කඩිනම් කිරීමටත්, දිස්ත්‍රික්කයේ ඇති ජල මූලාශ්‍ර හඳුනාගෙන පානීය ජල අවශ්‍යතා සැපයීම කෙරෙහිත් විශේෂ අවධානය යොමු විය.

මාලිබොඩ නගරය විධිමත් අයුරින් සංවර්ධනය කරන ලෙස නාගරික සංවර්ධන අමාත්‍යාංශයටත්, නව නිවාස යෝජනා ක්‍රමයක් කඩිනමින් ඇරඹීමට  වතු නිවාස යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශයටත් උපදෙස් දුන්නේය.

දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලයට නව ගොඩනැගිල්ලක් ලබාදීම විද්‍යාගාර පහසුකම් සහ ක්‍රිඩාපිටිය සංවර්ධනයට ද තීරණය කෙරිණ. ගුරුවරුන්ගේ ප්‍රවාහන පහසුකම් වෙනුවෙන් ත්‍රිරෝධ රථයක් පරිත්‍යාග කිරීමට ජනාධිපතිතුමා තීරණය කළේය.

පොත්දෙනිකන්ද විද්‍යාලයේ ක්‍රිඩාපිටිය සංවර්ධනය හෙට සිටම ඇරඹේ. ක්‍රීඩා සහ තූර්ය වාදන භාණ්ඩ නොමැති සියලු පාසල්වලට ඒවා ලබා දෙන්නැයි ජනාධිපතිතුමා අධ්‍යාපන ලේකම්වරයාට දැනුම් දුන්නේය.  සියලු පාසල්වල ඇති පරිගණක අවශ්‍යතා සොයා බලා සම්පූර්ණ කරන ලෙස ද රාජපක්ෂ මැතිතුමා විසින් උපදෙස් දෙනු ලැබිණ.

දිස්ත්‍රික්කයේ සියලු පාසල්වල ගුරු හිඟය නැති කිරීමට සහ සෙසු යටිතල පහසුකම් සංවර්ධනයට පියවර ගන්නැයි ජනාධිපතිතුමා පැවසීය. දෙමළ මාධ්‍ය පාසල්වල පවතින ඉංග්‍රීසි, ගණිත, විද්‍යා සහ තොරතුරු තාක්ෂණ ගුරු පුරප්පාඩු සඳහා අ.පො.ස උසස් පෙළ සමතුන්ට අවස්ථාව දීම කෙරෙහි ද විශේෂ අවධානය යොමු විය.

කෑගල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමීය රෝහල්වල පවතින වෛද්‍ය සහ සෙසු කාර්ය මණ්ඩල පුරප්පාඩු පියවීමටත්, යටිතල පහසුකම් සංවර්ධනයටත් තීරණය කෙරිණ. ප්‍රදේශයේ ඉඩම් සම්බන්ධයෙන් පැවති ගැටළු කෙරෙහි ද ජනාධිපතිතුමාගේ විශේෂ අවධානය යොමු විය.

SLTමොබිටෙල් ආයතනය දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාලය, මාලිබොඩ දෙමළ විද්‍යාලය, උඩුමාලිබොඩ ශ්‍රී දේවානන්ද විද්‍යාල සඳහා පරිත්‍යාග කළ පරිගණක  සහ ඩයලොග් ආයතනයෙන් පිරිනැමු රූපවාහිනි යන්ත්‍ර හා සබඳතාව විදුහල්පතිවරුන්ට භාරදීමද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණ.

සබරගමු පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, රාජ්‍ය අමාත්‍යවරුන් වන කනක හේරත්, තාරක බාලසූරිය, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන රංජිත් සියඹලාපිටිය, සුදත් මංජුල, සාරතී දුෂ්මන්ත, රාජිකා වික්‍රමසිංහ, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්ම මහත්මීහු සහ දිස්ත්‍රික්කයේ ජනතා නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරු, රාජ්‍ය ආයතන හා ආරක්ෂක අංශ ප්‍රධානීහු ඇතුළු පිරිසක් දික්ඇල්ලකන්ද කණිෂ්ඨ විද්‍යාල භූමියේ පැවති “ගම සමග පිළිසඳර” වැඩසටහනට එක්ව සිටියහ.

  • පාස්කු ප්‍රහාරය සැලසුම් කළ, අනුබල දුන් කිසිවෙකුට නීතියෙන් ගැලවීමට ඉඩ දෙන්නේ නැහැ …
  • රටේ ආර්ථික මර්මස්ථාන විදේශයන්ට විකුණන්නෙත් නැහැ …
  • රට පාලනය බෞද්ධ ඉගැන්වීම් අනුව …

“ඔබ ඉල්ලා සිටි නායකයා මමයි. ඔබ මට භාරදුන් වගකීම මම නොපිරිහෙළා ඉටු කරනවා” ජාතික නිදහස් දින සැමරුමේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජාතිය හමුවේ ප්‍රතිඥා දෙයි.

“ඉතිහාසය පුරා ශක්තිමත් ශිෂ්ඨාචාර ගොඩනැගුවේත්, රටවල් සංවර්ධනය කළෙත් ඉලක්ක හඹා ගිය මිනිසුන්. වර්තමානයට අවශ්‍ය වන්නෙත් එවැනි චින්තනයක්” රාජපක්ෂ මැතිතුමා අවධාරණය කරයි.

තමා සිංහල බෞද්ධ නායකයකු බව කියන්නට කිසිවිටක නොපැකිලෙන බවත්, තමා රට පාලනය කරන්නේ බෞද්ධ ඉගැන්වීම් අනුව බවත් ජනාධිපතිතුමා කියා සිටී. බෞද්ධ දර්ශනය සෑම ආගමිකයෙකුටම සහ ජාතිකයෙකුටම පවතින නීති රාමුව තුළ සමානව නිදහස භුක්ති විදීමේ අයිතිය සහතික කරයි.

පාස්කු ප්‍රහාරය විමර්ශනයට පත් කළ ජනාධිපති කොමිෂමේ සහ පසුගිය පාර්ලිමේන්තුව පත් කළ ජාතික ආරක්ෂාව පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ නිර්දේශ සැලකිල්ලට ගෙන අපරාධකරුවන්ට එරෙහිව දැඩිව නීතිය ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි. අපරාධය සැලසුම් කළ, අනුබල දුන් කිසිවෙකුට නීතියෙන් ගැලවී යන්නට ඉඩ නොදෙන බව ජනාධිපතිතුමා අවධාරණය කරයි.

අද (04) පෙරවරුවේ කොළඹ නිදහස් චතුරශ්‍ර පරිශ්‍රයේ  පැවති 73 වැනි ජාතික නිදහස් දින සැමරුම් උළෙලේ දී ජාතිය අමතමින් එතුමා මේ  ප්‍රකාශය කළේය.

රටේ ආර්ථික මර්මස්ථාන විදේශිකයන්ට විකුණන්නේ නැත යන ප්‍රතිපත්තියෙහි කිසිදු වෙනසක් නැතැයි ජනාධිපතිතුමා අවධාරණයෙන් පැවසීය.

දේශීය හා විදේශීය ව්‍යාපාරවලට බලපාන යල් පැන ගිය නීති හා රෙගුලාසි සංශෝධනයට හා යාවත්කාලීන කිරීමට පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා සඳහන් කළේය.

කෘෂිකර්ම, කර්මාන්ත සහ සේවා අංශවල වර්ධනය තුළින් ජාතික ආර්ථිකය ශක්තිමත් කරනු ලැබේ. ඊට සහය වීමට තාක්ෂණික නව්‍යකරණ සංස්කෘතියක් නිර්මාණය කරමින් පවතී. දුප්පත්කම තුරන් කිරීම, දේශීය ව්‍යාපාරිකයන් ගොඩනැගීම ඇතුළු  අරමුණු සපුරා ගැනීමට පිරිසිදු සහ කාර්යක්ෂම රාජ්‍ය සේවයක් අත්‍යාවශ්‍ය වේ. එසේ වුවත් රාජ්‍ය සේවයේ සෑම ස්ථරයකම තීන්දු තීරණ ගැනීමේ දුර්වලතාවක් දකින්නට ලැබේ. තීරණ ගැනීමට හැකි සීමාව තුළ වුවද ඇතැම්හු ඊට පැකිළෙති. නිවැරදි තීන්දු ගෙන රට වෙනුවෙන් වැඩ කරන රාජ්‍ය සේවකයන් ආරක්ෂා කිරීමට අවශ්‍ය නීති සැකසෙමින් ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

දූෂණය සහ නාස්තිය රටක සංවර්ධනයට දැඩි  බාධාවකි. ඊට වැරදිකරුවන් වන කිසිවෙකුට සමාවක් නොලැබේ. එබැවින් දුෂණය සහ නාස්තිය පිටුදැකීම සඳහා රට පුරා මතයක් නිර්මාණය කිරීමට එකතුවන්නැයි

රට වෙනුවෙන් තමාගෙන් සේවයක් බලාපොරොත්තු වූ සියලුදෙනා එසේ කළේ පොදු අපේක්ෂා ඉටු කර ගැනීමටය. ඒ සඳහා සෑම විමට කැපවන අතර, පටු චේතනාවෙන් සහය දුන් අය සතුටු කිරීමට රටට අහිතකර තීන්දු නොගන්නා බව ද ජනාධිපතිතුමා අවධාරණය කළේය.

73 වන ජාතික නිදහස් දින උළෙල කොවිඩ් මර්දන සෞඛ්‍ය නිර්දේශයන්ට යටත්ව අභිමානය ප්‍රදර්ශනය වන අයුරින් සංවිධාන කර තිබිණ.

යුධ, නාවික, ගුවන්, පොලිස්, සිවිල් ආරක්ෂක සහ ජාතික ශිෂ්‍ය භට බලකාය ආචාර පෙළපාලියට එක් වූහ.

ශ්‍රී ලංකාවේ සියලු ජන කොටස් නියෝජනය කළ දැකුම්කළු සංස්කෘතික සංදර්ශනයකින් නිදහස් සමරු උළෙල වර්ණවත් විය. මනාව පුහුණු කරන ලද අලංකාර ඇදුමින් සැරසුන යෞවන යෞවනියෝ විශාල පිරිසක් නර්තනයෙන් සහ වාදනයෙන් ඊට දායක වූහ.

මහා සංඝරත්නය සහ සෙසු ආගමික පූජකවරු, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස,  කථානායක මහින්ද යාපා අබේවර්ධන, කැබිනට් සහ රාජ්‍ය අමාත්‍යවරු, පාර්ලිමේන්තු මන්ත්‍රීවරු, තානාපතිවරු හා මහකොමසාරිස්වරු, ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ඇතුළු ආරාක්ෂක අංශ ප්‍රධානීහූ, රාජ්‍ය නිලධාරීහු සහ රණවිරුවෝ මේ අවස්ථාවට එක්ව සිටියහ.

අධිරාජ්‍යවාදීන්ගෙන් නිදහස ලබා වසර 73ක් ගෙවෙන දිනයේ ශ්‍රී ලාංකේය අභිමානය ලොවට කියමින් ජාතික නිදහස් දින සැමරුම් උලෙළ ‘ඉසුරුමත් හෙට දවසක් ‌සෞභාග්‍යවත් මව්බිමක්’ තේමාව ඔස්සේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ නිදහස් චතුරශ්‍රයේදී ඊයේ (04) උදෑසන අභිමානවත් ආකාරයෙන් පැවැත්විණි.

ලොවම වෙලාගෙන පවතින කොවිඩ් උවදුර හමුවේ සෞඛ්‍ය මාර්ගෝපදේශකයන්ට අනුකූලව අවම ආරාධිතයන් පිරිසකගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට පියවර ගෙන තිබුණු නමුත් නිදහස් දින උලෙළේ ප්‍රෞඪත්වයට කිසිදු බලපෑමක් ඉන් එල්ලවී තිබුණේ නැත. උලෙළ ආරම්භ කෙරුණේ ඊයේ උදෑසන 7.30ටය. ප්‍රධාන ආරාධිතයන්ගේ පැමිණීම සනිටුහන් කරමින් පළමුව පැමිණියේ පොලිස්පති චන්දන වික්‍රමරත්න මහතාය. අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාෂල් සුදර්ශන පතිරණ මහතා පැමිණියේය. නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පැමිණියේ ඉන් අනතුරුවය. ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා අනතුරුව පැමිණියේය.

ආරක්ෂක ලේකම්, රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, ජෙනරාල් කමල් ගුණරත්න මහතා පැමිණියේ උදෑසන 8.00ටය. අනතුරුව පැමිණියේ අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සේදර සෙනරත් මහතාය. ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක ලලිත් වීරතුංග මහතාගේ පැමිණීමෙන් අනතුරුව ජනාධිපති ලේකම් ආචාර්ය පී. බී. ජයසුන්දර මහතා සපැමිණියේය. බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාෂල් ඔෆ් ද එයාෆෝස් රොෂාන් ගුණතිලක මහතා පැමිණියේ අනතුරුවය. අද්මිරාල් ඔෆ් ද ෆ්ලීට් වසන්ත කරන්නාගොඩ මහතා අනතුරුව පැමිණියේය.

වාරිමාර්ග ඇමැති සහ රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය ඇමැති චමල් රාජපක්ෂ මහතා උලෙළට සහභාගී වීමට පැමිණියේ උදෑසන 8.07ටය. අනතුරුව නිදහස් උලෙළට පැමිණියේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාය. සිය භාර්යාව වන ජලනි ප්‍රේමදාස මහත්මියද සමඟ පැමිණි ප්‍රේමදාස මහතා පිළිගනු ලැබුවේ ඇමැති චමල් රාජපක්ෂ මහතා විසිනි. කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පැමිණියේ සිය භාර්යාවද සමඟිනි. හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා උත්සව භූමියට පැමිණියේ උදෑසන 8.09 වන විටය.

ජාතියට නිදහසේ හුස්ම ගැනීමට ඉඩ හසර විවර කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ ශිරන්ති රාජපක්ෂ මහත්මිය උත්සව භූමියට ආවේ පෙර ගමන් රථ සහ පොලිස් යතුරු පැදි පිරිවරාගෙනය. අග්‍රාමාත්‍යවරයා සහ භාර්යාව පිළිගනු ලැබුවේ ඇමැති චමල් රාජපක්ෂ මහතා ඇතුළු පිරිස විසිනි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ශ්‍රී ලාංකේය අභිමානය විදහා පාමින් ජාතික ධජය ගුවනට එසවීමෙන් අනතුරුව පාසල් සිසු සිසුවියන් 25 දෙනකු ජාතික ගීය ගායනා කළෝය. ජය මංගල ගාථා සහ දේවෝ වස්සතු කාලේන ගායනයට එක්ව සිටි සිසුවියන් සංඛ්‍යාව 15කි. මාතෘ භූමියේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාව සුරැකීම වෙනුවෙන් දිවි දුන් වීරෝදාර රණවිරුවන් සමරනු වස් මිනිත්තු දෙකක නිහඬතාවක් සුරකිනු ලැබිණි. අනතුරුව ශ්‍රී ලංකා යුද හමුදාව, ශ්‍රී ලංකා නාවුක හමුදාව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන්ගෙන් සමන්විත ජනාධිපති සම්මාන මුරය ආරම්භ කෙරිණි. ජනාධිපති රාජපක්ෂ මහතා වෙනුවෙන් ආචාර වෙඩි මුර 21ක් අහසට එල්ල කෙරුණේ අනතුරුවය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිදහස් දිනය දා ජාතිය ඇමතීමට එක් වූයේ උදෑසන 8.46ටය. සේවා මුක්ත භටයන් සහ ආබාධිත රණවිරුවන් පෙළපාළියේ ගමන් ගනිද්දී කවුරුත් අසුන්වලින් නැඟිට අත්පොලසන් දෙමින් සිය ගරු බුහුමන් පුද කළහ. පෙළපාළිය අවසානයේ සංස්කෘතික සංදර්ශනයක්ද විය.

මහා සංඝරත්නය ප්‍රමුඛ සර්වාගමික පූජ්‍ය පක්ෂය සමඟ කැබිනට් ඇමැතිවරුන්, රාජ්‍ය ඇමැතිවරුන්, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, පළාත් ආණ්ඩුකාරවරුන්, විදෙස් තානාපති නියෝජිතයන්, අමාත්‍යාංශ ලේකම්වරුන් ප්‍රමුඛ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ සාමාජිකයන් ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

 
බංග්ලාදේශ මහ කොමසාරිස් තාරෙක් එම්ඩී අරිෆුල් ඉස්ලාම් (Tareq Md Ariful Islam ) සහ නියෝජ්‍ය මහ කොමසාරිස් මොහොමඩ් හස්රත් අලි ඛාන් (Mohammad Hazrat AliKhan ) යන මහත්වරුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, විජේරාම නිවසේදී ඊයේ  (02) හමුවිය.
 
හමුවීමට ලද අවස්ථාව පිළිබඳව අගමැති මහින්ද රාජපක්ෂ මහතාට ස්තූතිය පුද කළ මහ කොමසාරිස්තුමා, දෙරට අතර ද්විපාර්ශ්වික සබඳතා වැඩි දියුණු කිරීම සඳහා රජය සමඟ එක්ව කටයුතු කිරීමට බලාපොරොත්තු වන බව පැවසීය.
 
73 වන නිදහස් දිනය වෙනුවෙන් අග්‍රාමාත්‍යවරයාට සුබ පැතූ බංග්ලාදේශ මහ කොමසාරිස්තුමා, සිය අග්‍රාමාත්‍යවරියගේ  ලිපියක් අගමැතිතුමා හට භාර දුන්නේ ශ්‍රී ලංකාවේ නිදහස් දිනය වෙනුවෙන්  ඇයගේ සුබ පැතුම් ද එක් කරමිනි.
 
කෘෂිකාර්මික, ධීවර හා නාවික සම්බන්ධතා යන ක්ෂේත්‍රයන්හි දෙරට අතර සහයෝගීතාව ඉහළ නැංවීම තුළින් පවත්නා ද්විපාර්ශ්වික සබඳතා පුළුල් කිරීමට ඇති හැකියාව පිළිබඳව මහ කොමසාරිස්තුමා දැඩි උනන්දුවක් දැක්වූ අතර බංග්ලාදේශය දැනට මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනයේ 4 වන විශාලතම රට වන බවත් එහි හොඳම භාවිතයන් ලංකාව සමග බෙදාහදා ගැනීමට බලාපොරොත්තු වන බවත් පැවසීය. 
 
ගංවතුර හා නියඟයට ඔරොත්තු දෙන ඉහළ මට්ටමේ සහල් වර්ග නිපදවීමටත් එමඟින්  සහල් නිෂ්පාදනය වැඩිකිරීමටත්  බංග්ලාදේශය මේ වන විටත්  ශ්‍රී ලංකාවට සහාය වෙමින් සිටී. 
 
අධ්‍යාපන සහ ඖෂධ ක්ෂේත්‍ර සඳහා වසර ගණනාවක් තිස්සේ බංග්ලාදේශයෙන් ලබා දුන් සහය පිළිබඳව කෘතවේදීත්වය පලකළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා ශ්‍රී ලංකාවේ ඖෂධ නිෂ්පාදන ක්ෂේත්‍රය සඳහා බංග්ලාදේශයේ ආයෝජකයින් දිරිමත් කරන ලෙස මහ කොමසාරිස්තුමාට ආරාධනා කළේය. 
 
දෙරට අතර වෙළඳ සබඳතා පුළුල් කිරීමට හා සංවර්ධනය කිරීමට විශාල ඉඩෙ ප්‍රස්ථාවක්  ඇති බව අගමැතිතුමා  සහ මහ කොමසාරිස්තුමා සාකච්ඡා කළහ.  බංග්ලාදේශය, මෙම වසරේ සිය ස්වර්ණ ජයන්ති නිදහස් දිනය සමරන බැවින් මහ කොමසාරිස්තුමා බංග්ලාදේශයට පැමිණෙන ලෙස අග්‍රාමාත්‍යවරයාට ආරාධනා කළේය.
 
දෙරට අතර දැනටමත් පවතින මිත්‍රත්වය වැඩි දියුණු කිරීම සඳහා බංග්ලාදේශ රජය සමඟ එක්ව කටයුතු කිරීමට තමන් අපේක්ෂා කරන බව පැවසූ  අග්‍රාමාත්‍යතුමා, මහ කොමසාරිස්තුමාට සිය ධූර කාලය තුළ සාර්ථකව කටයුතු කරගෙන යාමට සුභ පැතුම් එක් කළේය.  මෙම අවස්ථාව සඳහා අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් මහතා ද  එක්විය.

  • එන්නත් කිරීම හෙට සිටම ….
  • අකමැති අයට නොගෙන සිටීමට පිළිවන් ….

ඉන්දීය රජය ප්‍රදානය කළ කොවිඩ් මර්දන එන්නත් පළමු තොගය ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මහතා විසින් අද (28) පෙරවරුවේ කොළඹ බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොළේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා වෙත නිල වශයෙන් භාරදෙනු ලැබීය.
ජනාධිපතිතුමා ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මැතිතුමාගෙන් කළ ඉල්ලීම අනුව එන්නත් තොගය ශ්‍රී ලංකාවට ප්‍රදානය කෙරිණ.

එංගලන්තයේ ඔක්ස්ෆර්ඩ් විශ්ව විද්‍යාලය සංවර්ධනය කළ ඇස්ට්‍රා සෙනිකා කොවිෂීල්ඩ් (AstraZeneca COVISHELD) කොවිඩ් මර්දන එන්නත මුම්බායි හි “සීරම් ඉන්ස්ටිටියුට්” ආයතනය විසින් නිෂ්පාදනය කර තිබේ.
එන්නත් මාත්‍රා ලක්ෂ 05ක් රැගත් ඉන්දීය ගුවන් සේවයට අයත් AI 281 දරණ ගුවන් යානය අද පෙ.ව 11.45 ට බණ්ඩාරනායක අන්තර් ජාතික ගුවන් තොටුපොලට ළගා විය.

ගුවන් යානයේ විශේෂ ශීතාගාරයක් තුල ගබඩාකර, රැගෙන ආ එන්නත් තොගයේ බර කිලෝ ග්‍රෑම් 1323 කි. එන්නත් තොගය ගුවන්තොටුපොළ ගුවන් ගැල් ගම්මානයේ ශීතාගාර තුල ගබඩා කර ශීතාගාර සහිත වාහනවලින් දිස්ත්‍රික්ක 25 ආවරණය වන පරිදි බෙදා හැරීමට සැලසුම් කර ඇත. සෙල්සියස් අංශක 2-8 අතර උෂ්ණත්වයක එන්නත් ගබඩා කර තැබේ.
එන්නත දීම බස්නාහිර පළාතේ ප්‍රධාන රෝහල් 06කදී හෙට (29) ආරම්භ කෙරේ. කොවිඩ් මර්දනය සඳහා ඉදිරිපෙල ක්‍රියාකරන එක්ලක්ෂ පනස්දහසක් (150,000) පමණ සෞඛ්‍ය කාර්ය මණ්ඩලය, එක්ලක්ෂ විසිදහසක් (120,000) පමණ ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු ආරක්ෂක අංශවල පිරිස් වෙත එන්නත පළමුව දීමට සැලසුම් කර තිබේ.

ජනාධිපති රාජපක්ෂ මැතිතුමාගේ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් චීන රජය ද එන්නත් ලක්ෂ 03ක තොගයක් ප්‍රදානය කිරීමට නියමිත බව ජනාධිපති ප්‍රධාන උපදේශක සහ කොවිඩ් එන්නත ප්‍රසම්පාදනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ ප්‍රධානී ලලිත් වීරතුංග මහතා පවසයි. එන්නත ගැනීම පුද්ගලයන්ගේ ස්වාධීන තීරණයකි. අකමැති අයට නොගෙන සිටීමට හැකි බව ද වීරතුංග මහතා කියා සිටී.
මේ අවස්ථාව සනිටුහන් කරමින් ඉන්දීය මහ කොමසාරිස්වරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග, රාජ්‍ය අමාත්‍යවරුන් වන සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, චන්න ජයසුමන, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, විදේශ ලේකම් අද්මිරාල් මහාචාර්ය ජයනාත් කොළඹගේ, යුද හමුදාපති හා ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා, ඉන්දීය නියෝජ්‍ය මහ කොමසාරිස් විනෝද් කේ ජේකබ්, ගුවන් තොටුපොළ හා ගුවන් සේවා සමාගමේ සභාපති මේජර් ජනරාල් ජී.ඒ. චන්ද්‍රසිරි යන මහත්ම මහත්මීහු සහ අමාත්‍යාංශ ලේකම්වරු, සෞඛ්‍ය අංශ ප්‍රධානීහූ ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනතාව හමුවේ පොරොන්දු වූ ආකාරයටම නව ව්‍යවස්ථා සංශෝධනයක් කෙටුම්පත් කිරීමේ කටයුතු දැනටමත් සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.

ජනතා පරමාධිපත්‍ය, ජාතික ආරක්ෂාව, සියලු දෙනා ආවරණය වන ආර්ථික සංවර්ධනය, මානව හිමිකම් හා නීතියේ ආධිපත්‍ය, රටේ ස්වෛරීභාවය ආරක්ෂා වන ආකාරයට නව ව්‍යවස්ථා සංශෝධනය ගෙන ඒමට කටයුතු කරන බවත් අග්‍රාමාත්‍යවරයා පැවැසීය.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේ ප්‍රකාශ කළේ අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණයට මුල්ගල් තැබීමේ අවස්ථාවට ඊයේ(25) එක්වෙමිනි.

යටත් විජිත සමයේ ඉදිකෙරුණු අලුත්කඩේ අධිකරණ ගොඩනැගිල්ල වෙනුවට අලුතෙන් ඉදිකෙරෙන අධිකරණ පියස නව ගොඩනැගිලි සංකීර්ණය අක්කර 06ක බිමක ඉදිකිරීමට සැලසුම් කර ඇති අතර ඒ සඳහා වැය කෙරෙන මුදල රුපියල් කෝටි 1650කි.

ඉතිහාසයේ තමන් බලයට පත්වූ සෑම අවස්ථාවකම අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කරන්නට කටයුතු කළ බව මෙහිදී සිහිපත් කළ අග්‍රාමාත්‍යවරයා කිසිවිටෙකත් පෞද්ගලික මැදිහත්වීම්වලින් නීතිය නැමීමට තමන් කටයුතු නොකළ බවත් පැවැසීය.

අධිකරණයේ නඩු ප්‍රමාදවීම, නව අධිකරණ ශාලා ඉදිකිරීම, අධිකරණ පද්ධතිය ඩිජිටල්කරණය කිරීම යනාදී කරුණු සම්බන්ධයෙන්ද රජයේ අවධානය යොමුව ඇති බවත් අගමැති රාජපක්ෂ මහතා වැඩිදුරටත් පැවසීය.

අගවිනිසුරු ජනාධිපති නීතිඥ ජයන්ත ජයසූරිය, අධිකරණ අමාත්‍ය ජනාධිපති නීතිඥ අලි සබ්‍රි, අමාත්‍යවරුන් වන බන්දුල ගුණවර්ධන, ගාමිණි ලොකුගේ, රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහත්වරු ඇතුළු පිරිසක්ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter