නවතම පුවත්

නව වසරේ ජනමාධ්‍ය අමාත්‍යංශයේ රාජකාරි ආරම්භ කිරීම ගරු ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (01) අමාත්‍යංශ පරිශ්‍රයේදී සිදුවිය. එහිදී අමාත්‍යංශ කාර්ය මණ්ඩලය අමතමින් අමාත්‍යවරයා පැවැසුවේ සෞභාග්‍යයේ දැක්ම යථාර්ථවත් කිරීම උදෙසා අභියෝගාත්මක යුගයක, ඒ වෙනුවෙන් ජනමාධ්‍ය අමාත්‍යංශය අභියෝගාත්මක ලෙස නව වසරට මුහුණ දෙමින් සියලු අභියෝග ජය ගැනීම අරමුණු කරගත යුතු බවයි. මේ උදෙසා නිසි වැඩපිළිවෙලක් ඔස්සේ සියලු ආයතන ඒකාබද්ධ කරමින් කාල රාමුවක් සහිත ඉලක්කගත ගමන් මගකට ජනමාධ්‍ය අමාත්‍යංශය පෙළගැස්වීම මෙරට අනාගත ගමන් මගෙහි නවමු හැරවුම් ලක්ෂයක් වනු ඇති බව ද ඔහු වැඩිදුරටත් පැවැසීය.
 
නව වසරේ අමාත්‍යංශ කාර්ය මණ්ඩලය ඇමතූ අමාත්‍යංශ ලේකම් ජගත් පී. විජේවීර මහතා පැවැසුවේ මහජන සේවකයන් ලෙස ජනතාවගේ අවශ්‍යතා ඉටුකිරීමට යාමේදී ඇතිවන ගැටළු කෙරෙහි ධෛර්යයෙන් හා ඉවසීමෙන් කටයුතු කළ යුතු බවයි. එ මගින් සාර්ථක ප්‍රතිඵල ළඟාකරගත හැකි බැවින් සියලු දෙනා ඉවසීම ප්‍රගුණ කිරීමේ වැදගත්කම ඔහු පෙන්වාදෙනු ලැබීය.
 
මෙම අවස්ථාවට අමාත්‍යංශයේ කාර්ය මණ්ඩලය මෙන්ම අමාත්‍යංශයට අනුබද්ධ ආයතනවල ප්‍රධානීන් ද සහභාගි විය. 
 
 

ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නව අවුරුදු පණිවිඩය නිකුත් කරමින් පවසයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිකුත් කළ එම පණිවිඩයේ මෙසේද සඳහන් වේ.

නව වසරේ උදාව ගත වන සෑම මොහොතකම එළැඹෙන අභියෝග නිවැරදිව අවබෝධ කර ගනිමින් ජීවිත සකසා ගැනීමටත් අදිටනින් පෙරට යෑමටත් අප දිරි ගන්වයි. එබැවින් අප 2021 පිළිගන්නේ සුබවාදී ආකල්පයෙන්, අධිෂ්ඨානයෙන් හා කැපවීමෙන්ද පරිපූර්ණවය. සෞභාග්‍යය කරා යන ගමන සාර්ථකව ආරම්භ කර තිබියදී අනපේක්ෂිත ලෙස රට වෙලා ගත් කොවිඩ් වසංගතය ජය ගැනීමට සමස්ත ලෝකයා සමඟ අපද පෙරමුණ ගත්තෙමු. බරපතළ අභියෝග හා බාධක හමුවේ වුවද ජාතික අභිලාෂයන් මත පදනම්ව තිරසර සංවර්ධනයක අත්තිවාරම සැකසීමට අපට හැකි විය.

ජනතා අපේක්ෂා සාක්ෂාත් කර ගැනීමට තැබූ පියවර නව වසරේදී තව තවත් ශක්තිමත් කිරීමට රජය සූදානම්ය. නව රජය ගොඩනඟනු ලැබූයේ ජනතා කේන්ද්‍රීය සංවර්ධනය සහ ජාතික අනන්‍යතාව සුරක්ෂිත කිරීමේ අභිලාෂය ඇතිවය. රටටත් ජනමතයටත් පිටු නොපානු ඇතැයි ජනතාව රජය කෙරෙහි තැබූ විශ්වාසය කිසිදු අයුරකින් පළුදු නොකරන්නෙමු.

 
 

“සෞභාග්‍යයේ දැක්මේ” ඇතුළත් ඉලක්කගත සංවර්ධන සැලසුම් යථාර්ථයක් බවට පත් කිරීම රජයේ ප්‍රමුඛතම කාර්යයයි. මේ සඳහා මුළුමහත් රාජ්‍ය සේවයත්, පෞද්ගලික ආයතනත් එක්ව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. සෑම රාජ්‍ය සේවකයකුම තමාට පැවරෙන රාජකාරි කොටස මැනවින් ඉටු කරන්නේ නම් ඕනෑම බාධකයක් ජය ගැනීම රජයට අපහසු කාර්යයක් නොවේ. එම කැපවීම සෑම රජයේ සේවකයකුගෙන්ම මම බලාපොරොත්තු වෙමි. එසේම සෑම පුරවැසියකුම තම මව්බිම ගැන කැපවෙමින් කටයුතු කිරීමද අපේක්ෂා කරමි.

එළඹෙන නව වසරේදී කුමන බාධකයකට මුහුණ දීමට වුවත් ඒ සඳහා ආත්ම ශක්තිය හා ධෛර්යය අප සතුව ඇති බැව් අපි දැඩිව විශ්වාස කරමු. ඒ සඳහා අවශ්‍ය සැලසුම් සකස් කොට ඒවා ක්‍රියාත්මක වන නිසා රට තුළ එම විශ්වාසය අප තහවුරු කර ඇත. විනයගරුක රටක ආර්ථික සහ සමාජයීය සශ්‍රීකත්වය ගැන අමුතුවෙන් කිව යුතු නැත. එබැවින් අපි සියලු දෙනාම විනයගරුකව, අපගේ කාර්යභාරයන් මැනවින් ඉටු කිරීමට මේ වසර තුළදී අදිටන් කර ගනිමු.

මෙරට මෙන්ම එතෙර වෙසෙන සියලු ශ්‍රී ලාංකිකයන්ටත්, ඔවුන්ගේ දූ දරුවන්ටත් එළඹෙන වසර රෝග පීඩාවලින් තොර, ඉසුරුබර අනාගතයක් උරුම කෙරෙන වසරක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

Emai

සමාජීය, සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැඟීමට නව වසර අවස්ථාවක් කර ගන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටියි.

අග්‍රාමාත්‍යවරයා මේ බව කියා සිටියේ 2021 නව වසර වෙනුවෙන් සුබ පැතුම් පණිවිඩයක් එක් කරමිනි.

අග්‍රාමාත්‍යවරයා විසින් එවා තිබූ සුබ පැතුම් පණිවිඩයේ මෙසේද දක්වා තිබේ.

සෞභාග්‍යයේ බලාපොරොත්තු පිබිදෙන 2021 නව වසරට සුභාශිංසන පළ කරනුයේ ඉමහත් සතුටිනි. සුරක්ෂිත දේශයක් වෙනුවෙන් අපගේ මාතෘ භූමියේ අනාගතය උදෙසා ජනතාව අප කෙරෙහි තැබූ විශ්වාසය සහෘදව සිහිපත් කරමු. නව රජයේ මේ දක්වා ගෙවී ගිය කාලය ඉතා කෙටි වුවද එම කාලය ජනතාවගේ අභිලාශයන් වෙනුවෙන් යෙදවීමට හැකිවීම අභිමානයකි. වසර පහක කාලයක් ඇණ හිට තිබූ රටේ මානව හා භෞතික සංවර්ධන කටයුතු සඳහා නැවත පණඅදීමට අපට හැකි විය. මැදහත්ව ඒ දෙස බලා ජනතාවට සතුටු විය හැකිය.ලොව අන් සියලු රටවල් මෙන්ම කොවිඩ්-19 වයිරසයේ අභියෝගයට අපද මුහුණ දෙමින් සිටියි. වයිරසයේ බලපෑම අවම කිරීම වෙනුවෙන් වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ සහ රාජ්‍ය නිලධාරීන් හා කාර්ය මණ්ඩල විසි හතර පැයේ නිරත මෙහෙවර අපමණය. රජය කොව්ඩ්-19 වසංගතය කළමනාකරණය කිරීම වෙනුවෙන් ජනතාව මත බර නොවැටෙන පරිදි උපරිම මැදිහත්වීමට දායක වී සිටියි. සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින විනයගරුක ජනතාවගෙන් රජයට ලැබෙන සහයෝගයද සුළුපටු නැත. නව වසරේ රට හමුවේ ඇති මේ අභියෝග එක්ව ජය ගත හැකිය. දේශීයත්වයට මුල් තැන ලැබෙන රාජ්‍ය ආර්ථික ප්‍රතිපත්තිමය දැක්ම තුළ නව ආර්ථික හා සංවර්ධන විප්ලවයක් රට තුළ ඇති වන බව ස්ථීරය. ඒ තුළ ඔබගේත් රටේත් අනාගතය සුබවාදීව දියුණු වන සෞභාග්‍යමත් දේශයක් උදාවනු ඇත. ඉතා ලඝු වූ කාරණා අරඹයා තවදුරටත් අප බෙදී වෙන්වී සිටිය යුතු නැත. අද අප මේ මාතෘභූමිය වෙනුවෙන් වෙහෙසෙන්නේත් කැපවන්නේත් අපේ මතු පරපුරේ දරුවන්ගේ අනාගතය වෙනුවෙනි. ඒ නිසා සමාජයීය සංස්කෘතික හා ආගමික සහජීවනයෙන් යුතුව කටයුතු කිරීම ඔස්සේ ශ්‍රී ලාංකික ජාතිය ලෙස එක්ව රට ගොඩනැඟීමට එළඹෙන මේ නව වසර අවස්ථාවක් කර ගන්නැයි සමස්ත ජනතාවගෙන් ඉල්ලා සිටිමු. අභිමානවත් ශ්‍රී ලාංකික සියලු ජනතාවට නිරෝගීමත් සුබ නව වසරක් වේවායි ප්‍රාර්ථනා කරමි යනුවෙන් එහි වැඩිදුරටත් දක්වා ඇත.

ලොවම වෙළා ගත් අඳුරුතම ව්‍යසනයක අභියෝගයට අභියෝගාත්මකව මුහුණ දෙමින් ජාතියක් ලෙස ලබා ගත් පන්නරය ඔස්සේ එළැඹෙන වසරේ එහි සියලු අභියෝග ජය ගැනීමට හැකි පරිසරයක් රට තුළ නිර්මාණය වනු ඇතැයි ජනමාධ්‍ය අමාත්‍ය හා කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවසීය.

ලොව පුරා බොහෝ රටවල් සෑම අතින්ම කඩා වැටෙන විට කුමන අභියෝගයක් හමුවේ වුවද නොසැලී ශක්තිමත්ව නැඟී සිටීමට හැකි ආදර්ශමත් නායකත්වයක් මේ රටට සිටි බව ද එම නායකත්වය ඔස්සේ එළැඹෙන වසර සෑම අතින්ම රට ජයග්‍රහණය කරා ඔසවා තැබීමට හැකිවනු ඇති බව ද අමාත්‍යවරයා පෙන්වා දුන්නේය.

එළැඹෙන 2021 වසර සඳහා සුබ පැතුම් පණිවිඩයක් නිකුත් කරමින් මේ බව පැවැසූ අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේ ද කීය.

 
 

"ගෝලීය වසංගතය හමුවේ මෙරට මුහුණ දුන් කොවිඩ් වසංගතයේ පළමු රැල්ල ලොව පුරා බොහෝ රටවලට ආදර්ශයක් දෙමින් පරාජය කළා. එහි දෙවැනි රැල්ල හමුවේ වුවද රට කඩා වැටීමට නොදී ව්‍යසනය පාලනය කරමින් එහි අභියෝගාත්මක බවට මුහුණ දීමට හැකි වුණා. උපාධිධාරීන් 50,000කට එක්වර පත්වීම් ලබා දුන් මහින්ද රාජපක්ෂ යුගය තවත් අර්ථාන්විත කරමින් ගෝඨාභය - මහින්ද සුසංයෝගයෙන් නිර්මාණය වූ වත්මන් ආණ්ඩුව එකවර උපාධිධාරීන් 58,000කට රැකියා ලබා දුන්නා. එමෙන්ම කිසිදා රජයේ රැකියාවක සිහිනය හෝ නුදුටු සාමාන්‍ය පෙළ දක්වා උගත් දරුවන්ට රාජ්‍ය සේවයේ සිහිනය මල්ඵල ගන්වා දුන්නා. ග්‍රාමසේවා වසම් මට්ටමින් දිළිඳු පවුල් තෝරා ගනිමින් නිවාස ව්‍යාපෘතියක් ආරම්භ කරමින් ඇරැඹි නිවාස වැඩපිළිවෙළ ගෙවුණු වසරේ මෙරට කොවිඩ් අභියෝගය හමුවේ ජය ගත් තවත් සුවිශේෂී සංවර්ධන වැඩපිළිවෙළක්.

"මධ්‍යම අධිවේගී මාර්ගය වැනි සංවර්ධන විප්ලවයන් මෙන්ම මාර්ග කිලෝමීටර් ලක්ෂයක් කාපට් කිරීම මෙරට සංවර්ධන ගමනේ තවත් හැරවුම් ලක්ෂයක්. එළැඹෙන අභියෝගාත්මක වසර ලද අත්දැකීම් ඔස්සේ අභියෝගාත්මකව මුහුණ දුනහොත් කළු වළාවක රිදී රේඛාවක් තිබෙන්නා සේ කොවිඩ් ව්‍යසනය හමුවේ ලොව හමුවේ ශක්තිමත් ජාතියක් ලෙස නැඟී සිටීමට හැකියි. ඒ අනුව උදාවන නව වසර මෙරට ජනතාවට ජාතියක් ලෙස නැඟී සිටීමට හොඳම අවස්ථාවක්. අභියෝග හමුවේ අභියෝගාත්මකව නැඟී සිටි ලොව බොහෝ රාජ්‍යයන්ගේ අතීත ආදර්ශයන් අපට රටක් ලෙස මේ මොහොතේ ආදර්ශයට ගත යුතුයි.

"ප්‍රෞඪ ඉතිහාසයකට උරුමකම් කියන ජාතියකින් පෝෂණය වූ අභිමානවත් ශ්‍රී ලාංකේය ජනතාවට උතුම් දළදා සමිඳු සරණින් එළැඹෙන වසර අභියෝග ජය ගනිමින් ජාතියක් ලෙස නැඟී සිටීමට හැකි වේවා යැයි ප්‍රාර්ථනා කරනවා."

ශ්‍රී ලංකා මහ බැංකුවට වසර 70 ක් පිරීම නිමිත්තෙන් නිකුත් කළ රුපියල් 20 නව සමරු කාසිය ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් මහතා ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ඊයේ (31) පෙරවරුවේ පිළිගැන්වීය.

පැති 7ක් සහිත හැඩයකින් යුතුව ඇලුමීනියම් සහ ලෝකඩවලින් කාසිය නිමවා තිබේ. කාසි 3,000ක සීමිත නිකුතුවක් වන මෙය සංසරණය සඳහා භාවිත නොකෙරේ. මහ බැංකු මූලස්ථානය සහ දිස්ත්‍රික් ශාඛා රුපියල් 1300ක මුදලකට කාසිය අළෙවි කිරීමට නියමිතය. ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහත සහ මහ බැංකුවේ නිලධාරීහූ මේ අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට අයත් අබලන් බස් රථ 273ක් අලුත්වැඩියා කර නැවත මඟී ප්‍රවාහන පද්ධතියට එක් කිරීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ගාලුමුවදොර පිටියේදී ඊයේ (31) සිදු කෙරිණි. අබලන් වීම හේතුවෙන් ධාවනයෙන් ඉවත් කර තිබූ මේ බස් රථ දිවයින පුරා ග්‍රාමීය මාර්ගවල මගී ප්‍රවාහන අවශ්‍යතා සඳහා යොදා ගැනීමට නියමිතය. දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය ඇමැති දිලුම් අමුණුගම මහතාගේ අදහසක් අනුව ප්‍රවාහන ඇමැති ගාමිණී ලොකුගේ මහතාගේ උපදේශකත්වයෙන් මෙය ක්‍රියාවට නැංවිනි. ඩිපෝ 107කට අයත් වන මේ බස් රථ 273 අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් මිලියන 115ක් වැය කර තිබේ.

ගම සමඟ පිළිසදර වැඩපිළිවෙළෙහි සිවූවැන්න කැබිතිගොල්ලෑව, කණුගහවැව ගම්මානයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (30) පැවැත් විණි. එහිදී ජනාධිපතිවරයා ගමේ පන්සලේ විහාරාධිපති හිමියන් බැහැ දකින්නට පැමිණි අතර පාසල් දරුවන් සමඟ පිළිසඳරක යෙදෙමින් ඔවුන්ගේ ගැටලුවලට විසඳුම් ලබා දුන්නේය.

ස්වාධීන රූපවාහිනි සංස්ථාව ආඩම්බර විය හැකි ආයතනයක් බව ජනමාධය ඇමැති ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පැවැසීය.

ජනමාධ්‍ය ඇමැතිවරයා මේ බව පැවසුවේ ස්වාධීන රූපවාහිනි සංස්ථා පරිශ්‍රයේ ඊයේ (30) සිදු කළ නිරීක්ෂණ චාරිකාවකට එක් වෙමිණි.

තවදුරටත් ඒ මහතා මෙසේද පැවසීය.

ඒ නිහතමානි ආඩම්බරය, දක්ෂතාව කැපවීම ශක්තිමත් කිරීමට එක්ව කටයුතු කරමු .ෙපෟද්ගලික අංශයේ වැඩ කළ අයෙක් ලෙස මම දන්නවා නිලධාරීන් වැඩ කරන්නේ වේතනයකට කියලා. ඔවුන් කියන්නේ මයි කම්පැනි කියලා. ඒක අහන කෙනකුට හිතෙනවා මේ ආයතනයේ අයිති ඔහුගේ කියන එක. ඒක තමයි ඇති කර තිබූ සංස්කෘතිය. ඒ පසුබිම තුළ ලබා ගත හැකි නිර්දේශ එමටයි. 79 ජුනි මාසේ 5 වැනි දා ආරම්භ කළ ආයතනයක්. මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රථම ආයතනයයි. ආපු දුර එමටයි . යන්න තිබෙන දුර විශාලයි. ලෝකයේ අලුත් තාක්ෂණයක් එක්ක එකතු වී ඒ තාක්ෂණයේ පෙරමුණ ගන්න පුළුවන් ආයතනයක් ලෙසයි අපි දකින්නේ. ඉතිහාසය එයට සාක්ෂි දරා තිබෙනවා. මෙවැනි ආයතනයකට උපරිම සහාය ලබා දීම මගේ සහ ලේකම්වරයාගේ වගකීමක් බව කියනවා. ඒකේ තර්කයක් නැහැ. අයි. ටී .එන්. එක ගැන අපි කතා කරන්නේ ආඩම්බරයෙන්. ඒ කතා කරන්නේ අපි අලුතෙන් ගත්තට පස්සේ. මම පුද්ගලිකව දේශපාලන වශයෙන් කාටවත් මඩ ගහන්න සැලසුම් කරනවාත් නොවෙයි. දේශපාලනය නැති රටක් නැහැ. පක්ෂ දේශපාලනය තුළ යහපතක් විය යුතුයි. අයහපතක් වෙනවා නම් එය ප්‍රශ්නයක්. මේ ආයතනය තුළ දේශපාලනය අයහපත් භාවයක් නැහැ. මමත් ලේකම්තුමාත් දකින්නේ ආයතනය යා හැකි පසුබිමක ශක්තියක් ලබා දෙන ආයතනයක් බවට පත් කිරිමයි. මම දේශපාලනයේ පොරොන්දු දෙන්නේ නැහැ. හැබැයි මේ අයාතනය සුබ ආනාගතයක් තිබෙන ආයතනයක් බව කිව හැකියි. අපි ඒ වගකීමෙන් බැහැර වන්නේ නැහැ. කෙටි කාලින මධ්‍ය කාලින සහ දීර්ඝ කාලන සැලසුම් ටිකක් අපි හදමු.මට මතක යි ඒ කාලේ 2012-13-14 යුගෙය් ආචාර්ය පී. බී. ජයසුන්ර මහතා අයවැයට පෙර අහනවා මොනව ද කරන්නේ කියලා. මේ ආයතනය ඒ කාලේ මහා බැංකුවට ලාභාංශ ගෙව්වා. මේ අවස්ථාවට අමාත්‍යාංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ස්වාධිනි රූපවාහිනි සභාපති සුදත් රෝහණ මහත්වරුන් ඇතුළු පිරිසක් එක්ව සිටියහ.

කොවිඩ් අරමුදල වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ලිපිකරු, කළමනාකාර සහකාර, කාර්මික සේවා සංගමය රුපියල් මිලියන 1.28ක මුදලක් පරිත්‍යාග කරයි. එම මුදල අගමැති මහින්ද රාජපක්ෂ මහතා වෙත නිල වශයෙන් බාරදීම ඊයේ (29) සිදුකෙරිණි.

මෙරට කොව්ඩ් රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා අවශ්‍ය මුදල් තරකිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා විශ්ව විද්‍යාල ලිපිකරු, කළමනාකරණ සහකාර, කාර්මික සේවා සංගම් නියෝජිතයන් විසින් විජේරාම පිහිටි අගමැති නිල නිවසේ දී මෙම මුදල් පරිත්‍යාගය සිදුකළ බව අගමැති මාධ්‍ය අංශය පවසයි.

 
 

මෙම සංගම්වල ප්‍රධාන සභාපති ධම්මික එස් ප්‍රියන්ත මහතා අදාළ මුදල් අගමැති මහින්ද රාජපක්ෂ මහතාට නිල වශයෙන් බාර දුන්නේය. මෙම අවස්ථාවට ඇමැති ගාමිණී ලොකුගේ, රාජ්‍ය ඇමැති සනත් නිශාන්ත, ප්‍රධාන ලේකම් එස්.ජේ නල්ලගේ, ප්‍රධාන භාණ්ඩාගාරික ලක්ෂ්මන් අධිකාරි මහත්වරු ඇතුළු නියෝජිත පිරිසක් එක්ව සිටියහ.

 මහින්ද අලුත්ගෙදර

මධ්‍යසාර සහ එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය මුළුමනින්ම තහනම් කිරීමට පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට ඊයේ (28) උපදෙස් දුන්නේය.

මධ්‍යසාර හා එතනෝල් නිෂ්පාදනයට බඩඉරිඟු භාවිතය සම්පූර්ණයෙන් තහනම් කර ගැසට් නිවේදනයක් නිකුත් කරන ලෙස ජනාධිපතිවරයා සුරාබදු කොමසාරිස්වරයාට නියෝග කළේය.

කහ, බඩඉරිඟු ඇතුළු අස්වනු මිලදී ගැනීමේ අක්‍රමිකතා නතර කිරීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් දුන්නේය.

දේශීය ගොවීන් කහ සහ බඩඉරිඟු වගාව ඉතා සාර්ථකව පුළුල් කර ඇත. ඉදිරි මාස් කන්නයේ අස්වනු නෙලීමට ආසන්නව පවතී. ගොවීන්ට සාධාරණ මිලක් හිමිවිය යුතු බව ජනාධිපතිවරයා අවධාරණය කළේය.

 
 

වෙළෙඳුන් තොග රැස් කිරීමේ දී සිදුවන අක්‍රමිකතා නතර කිරීමට රජය පූර්ණව මැදිහත්විය යුතු බව රාජපක්ෂ මහතා පෙන්වා දුන්නේය.

2021 සහ 2022 මාස් කන්න සඳහා ඉහළ ප්‍රමිතියෙන් යුත් බීජ රැස් කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යතාව ද අවධාරණය කළ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා කූට ව්‍යාපාරිකයන් නීති විරෝධී ලෙස ආනයනය කරන කහ තොග විනාශ කරන්නැයි නියෝග කළේය.

අක්‍රමිකතාවන්හි නිරත වන ව්‍යාපාරිකයනට එරෙහිව නීතිය දැඩිව ක්‍රියාත්මක කරන ලෙස රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට සහ පොලිස්පතිවරයාට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, මහතා උපදෙස් දුන්නේය.

කහ, බඩඉරිඟු මෙන්ම කව්පී, උඳු, මුංඇට, තල, කුරහන් ආදී ධාන්‍ය තොග රැස් කරන්නන්ට ණය දීම වෙනුවට පුළුල් වෙළෙඳ පොළක් සහතික කිරීමේ අවශ්‍යතාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පසුගිය දා (25) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවේ දී දන්ත ධාතුන් වහන්සේ වැඳ ආශිර්වාද ලබා ගත්තේය.

දළදා මාලිගාව වෙත ගිය ජනාධිපතිවරයා දියවඩන නිලමේ නිලංග දෑල මහතා විසින් පිළිගනු ලැබීය.

මල්වතු පාර්ශ්වයේ මහානායක තිබ්බටුවාවේ ශ්‍රී සුමංගල මහා නාහිමිපාණන් වහන්සේ බැහැ දුටු ගෝඨාභය රාජපක්ෂ මහතා උන්වහන්සේගේ සුවදුක් විමසීය. අනතුරුව මල්වතු පාර්ශ්වයේ අනුනායක දිඹුල්කුඹුරේ විමලධම්ම සහ නියංගොඩ විජිතසිරි අනු නාහිමිවරුන් බැහැ දුටු ජනාධිපතිවරයා කෙටි පිළිසඳරක නිතර විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පෙරේදා (26) පෙරවරුවේ  ඓතිහාසික ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ අබියස  ආගමික වතාවත්හි නිරත වූවේය.  පුදබිමට පැමිණි ජනාධිපතිවරයා අටමස්ථානාධිපති ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.  පුදබිම වෙත රැස්ව සිටී ජනතාවගේ සුවදුක් විමසමින්  ඒ මහතා ඔවුන් සම සුහද කතා බහක ද නිරත විය.  රුවන්වැලි සෑ රඳුන් අභියස පැවති ආගමික වතාවත්වලට එක් වූ  ජනාධිපතිවරයා විහාරාධිපති පල්ලේගම හේමරතන නායක  ස්වාමින් වහන්සේ බැහැ දැක කෙටි පිළිසඳරක නිරත වූයේය.  රුවන්වැලි මහා සෑය ආශ්‍රිත සංවර්ධන ව්‍යාපෘතිය ද ජනාධිපතිවරයා අධීක්ෂණය කළේය. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මිරිසවැටිය රජමහා විහා රය වෙත ද ගොස් විහාරාධිපති ඊතලවැටුණුවැවේ  ඥාණතිලක හිමියන් බැහැදැක සුව දුක් විමසීය.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter