නවතම පුවත්

මානව ගරුත්වයකින් තොර රටකට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ නොහැකි බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

අගමැතිවරයා මේ බව පැවසුවේ අන්තර්ජාතික මානව හිමිකම් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමිනි.

එම පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

සෑම වසරකම දෙසැම්බර් 10 වැනි දින සමරනු ලබන අන්තර්ජාතික මානව හිමිකම් දිනය අදට යෙදී තිබේ. 1950 වර්ෂයේ දෙසැම්බර් මස 4 වැනි දින එක්සත් ජාතීන්ගේ 317 වැනි මහා මණ්ඩල රැස්වීමේ දී අන්තර්ජාතික මානව හිමිකම් දිනය විධිමත් ලෙස ස්ථාපිත විය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල යෝජනා මාලාවේ 423(V) යෝජනාව ප්‍රකාරව සියලු සාමාජික රටවල් හා සංවිධාන අන්තර්ජාතික දිනයක් ලෙස එය අනුමත කෙළේය.

ඒ අනුව සෑම වසරකම දෙසැම්බර් 10 වැනි දා අන්තර්ජාතික මානව හිමිකම් දිනය සැමරේ. සියලු ජනතාවට උපතින්ම මුලික අයිතිවාසිකම්වලට ඇති අයිතිය සහ සමානාත්මතාව තහවුරු කිරීම මෙම දිනය ප්‍රකාශයට පත්කිරීමේ අරමුණයි. එසේම, ලොවපුරා මානව හිමිකම් ගැටලු පිළිබඳ දැනුවත් කිරීම, ප්‍රවර්ධනය කිරීම සහ මානව හිමිකම් තත්ත්වය වැඩි දියුණු කිරීම අන්තර්ජාතික මානව හිමිකම් දිනය සැමරීමේ අරමුණු වී තිබේ.

 
 

එක්සත් ජාතීන්ගේ සාමාජිකයකු ලෙස වර්ෂ 1955 දී ශ්‍රී ලංකාව මානව හිමිකම් ප්‍රඥප්තිය පිළිගත්තේය. රටක නීතියෙන් සහ අන්තර්ජාතික නීතිය මඟින් නෛතික අයිතිවාසිකම් ලෙස නිරතුරුව පිළිගැනෙන සදාචාරාත්මක ප්‍රතිපත්තීන් මානව හිමිකම් ලෙස අර්ථකථනය කළ හැකිය. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අර්ථකථනය අනුව පුද්ගලයකුගේ ආගම, ජාතිය, පදිංචිය, සමේ වර්ණය, වත්කම් යනාදී කිසිවක් ඒ සඳහා බලනොපායි.

එසේම, මානව හිමිකම් තිරසාර සංවර්ධන අරමුණු වල මූලික හදවතයි. මානව ගරුත්වයකින් තොර රටකට තිරසාර සංවර්ධනයක් කරා ගමන් කළ නොහැකිය. එසේම, විශ්වීය අගයන් මත පදනම්වන මානව හිමිකම් තුළින් සමානාත්මතාව, ගෞරවය, ස්ථාවරත්වය, සහභාගීත්වය, වගවීම, ප්‍රතිපෝෂණය සහ නීතියේ ආධිපත්‍යය වැනි වැදගත් සංකල්පයන්හි වටිනාකම පුරවැසියන්ගේ අවධානයට ලක්කරනු ලබයි. මානව හිමිකම් රැක ගැනීම ඔස්සේ පුද්ගල දියුණුව සේම ලෝකයක් ලෙස එක්සත්ව ඉදිරියට යෑමට හැකිය.

එසේම, මානව අයිතිවාසිකම් දිනය හුදු දාර්ශනික කතාබහට පමණක් සීමා නොවුණු ප්‍රායෝගික භාවිතයේ වැදගත්කම හඳුනාගත් එකක් විය යුතුය. ආණ්ඩුවක් ලෙස අප ලක්වැසි ප්‍රජාවගේ මානව හිමිකම සුරක්ෂිත කළ යුතුය. අපි බලයට පත් වූ සෑම අවස්ථාවකදීම මානව හිමිකම් ආරක්ෂා කරමින් විනයානුකූලව ලක්වැසි ප්‍රජාවගේ මානව අයිතීන් ආරක්ෂා කිරීමට බැඳී සිටියෙමු. සෞභාග්‍යයේ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළින් සියලු ජනතාවගේ මානව අයිතිවාසිකම් ආරක්ෂා කරමින් රටේ හා පුරවැසියන්ගේ සුබ සිද්ධිය වෙනුවෙන් ආණ්ඩුවක් ලෙස කැපවන්නෙමු.

කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ වුව ද මානව ප්‍රජාවගේ අයිතිවාසිකම් කඩ නොවන පරිදි මූලික අයිතිවාසිකම් මෙන්ම, අවශ්‍යතාවයන් වෙනුවෙන් ආණ්ඩුව කටයුතු කරන බව ඔබ දන්නා සත්‍යයකි. අයිතිවාසිකම් භුක්ති විදිනවා මෙන්ම ඒ හා බැඳුණු යුතුකම් ඉටු කිරීමටත් අප වගබලා ගත යුතුයි. ලොවක් වශයෙන් මුහුණ දී ඇති කොරෝනා වසංගතය පාලනය කර ගැනීමට මෙන්ම, රටේ අනාගත අභිවෘද්ධිය උදෙසා අයිතිවාසිකම් දිනා ගනිමින්, ඇවැසි යුතුකම ඉටුකිරීමට මෙවර මානව හිමිකම් දිනයේ දී අත්වැල් බැඳ ගැනීමට ආරධනා කරමි!.

නාස්තිය සහ දූෂණය පිටුදැකිම වත්මන් ආණ්ඩුවේ ප‍්‍රධාන වගකීම බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසනවා.

ඒ අදට යෙදෙන අන්තර්ජාතික දූෂණ විරෝධී දිනය වෙනුවෙන් පණිවිඩයක් නිකුත් කරමින්. දූෂණය සංවර්ධණයට ඇති විශාලතම බාදකයයි. සමාජීය, ආර්ථික හෝ කවර ක්ෂේත‍්‍රයකට වුවද සිදුවන දුෂනය , ආයතනයන්හි උපරිම ශක්‍යතාව සාක්ශාත් කරගැනීම වළක්වාලන බවයි ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ. එහි අවසාන එලය රටේ සංවර්ධනය අඩාල වීමයි. දූෂණය සමග සටන් වැදීමට රටකට හැකි වනුයේ ඊට එරෙහි වීමට රට වැසියා තුළ නැඹුරුතාවක් පවතින විට බව ජනාධිපතිතුමා පෙන්වා දෙනවා.

අමෙරිකානු ඩොලර් මිලියන 300ක ආයෝජනයක් යටතේ, අපනයන වෙළෙඳපොළ සඳහා අර්ධ වානේ රේඩියල් ටයර් සහ සම්පූර්ණ වානේ රේඩියල් ටයර් නිෂ්පාදනය කිරීමේ ව්‍යාපෘතියක් හම්බන්තොට අන්තර්ජාතික වරායේ ස්ථාපනය කිරීමට චීනයේ Shandong Haohua Tire Co. Limited සමාගම ඉදිරිපත් කර ඇති අතර, එය මාස 36ක කාලසීමාවකදී ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කර තිබේ.  මීට අමතරව,මෙහි මුළු නිෂ්පාදනයෙන් අවම වශයෙන් 80%ක ප්‍රමාණයක් අපනයනය කිරීමට යටත්ව ක්‍රමෝපාය සං ව ර් ධ න ව්‍යාපෘති පනතේ විධිවිධාන පරිදි අදාළ බදු සහන ලබා දීමට ද තීරණය කර තිබේ. මුදල් අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මේ සම්බන්ධයෙන් ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබුණු බව ඊයේ (8) පැවැති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ජනමාධ්‍ය ඇමැති හා සම කැබිනට් ප්‍රකාශක කෙහෙලිය රඹුක්වැල්ල මහතා කීය.

2008 අංක 14 දරන (සංශෝධිත) ක්‍රමෝපාය සං ව ර් ධ න පනත යටතේ ක්‍රමෝපාය සං ව ර් ධ න ව්‍යාපෘතියක් වශයෙන් මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා ආයෝජන මණ්ඩලය අනුමැතිය ලබා දී ඇති බවද ඇමැතිවරයා පැවැසීය.

නිදහසේ හිරු කිරණ මැද අහස සිසාරා හමා එන සෞභාග්‍යයේ පවන් රොද මන්නාරම තම්බපවනී ශ්‍රී ලංකාවේ ප්‍රථම සුළං විදුලි බලාගාර උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් අද (08) විවෘත කෙරුණා.

නගරයේ මෙන්ම ගමේ නිවසකත් විදුලි බල්බයක් දැල්වෙන පරිවර්තනීය යුගයක් නිර්මානය කළ බවයි අග්‍රාමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේ.

මන්නාරම දූපතෙහි  දකුණු දිග වෙරළ තීරයෙහි  නඩුකුඩා  දක්වා කිලෝමීටර් 30ක් අධිබලැති විදුලියෙන් සම්බන්ධ කෙරෙන සම්ප්‍රේෂණ පද්ධතියකින් තම්බපවනී සුළං විදුලි බලාගාර උද්‍යානය  සමන්විත වනවා. ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් එකසිය තුනයි දශම පහක  ද ධාරිතාවක් එක් කෙරෙන මෙම විදුලිබල උද්‍යානය අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අතින් විවෘත කෙරුණේ සර්ව ආගමික ආශිර්වාද මධ්‍යයේයී. අග්‍රාමාත්‍යවරයා සමරු ඵලකය නිරාවරණය කිරීමෙන් අනතුරුව සුළං කුළුණු ක්‍රියාත්මක කරවූවා. මන්නාරම වෙරළ තීරයේ කිලෝමීටර්  13 ක් දුරට හේක්ටාර 150 ක භූමියක මෙම බලාගාර උද්‍යානය ස්ථාපනය කර තිබෙනවා. ඉන් වසරකට විදුලි ඒකක මිලියන 400 ක් නිෂ්පාදනය කිරීමට අපේක්ෂිතයි. පවුල් දෙලක්ෂයකට වැඩි පිරිසකට විදුලිය සැපයෙන තම්බපවනී සුළං විදුලි බලාගාරය මෙතෙක් මෙරට ඉදිවූ විශාලතම පුනර්ජනනීය විදුලිබලාගාරයයි.

මෙම සුවිසල් ව්‍යාපෘතියට වැය කර ඇති මුදල ඇමෙරිකා ඩොලර් මිලියන 141ක්. අති නවීන සුළං ටර්බයින 30කින් සමන්විත මෙහි සවිකර ඇති සුළං පෙත්තක දිග මීටර් හැට දෙකක්. ශ්‍රී ලංකාවේ විශාලතම සුළං විදුලි බලාගාරය ජනතා අයිතියට පත් කරමින් අග්‍රාමාත්‍යරයා සදහන් කළේ 2014 ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය අවසන් කර ජනතා අයිතියට පත් කිරීමට හැකි වීම ගැන තමන් ඉමහත් සතුටට පත් වන බවයි. එදා රටේ නායකයාට මඩු පල්ලියට ඒමටත් ත්‍රස්තවාදීන්ගේ  අවසර ගත යුතු යුගයක් තිබුණා.උතුරේ සිට දකුණටත්,  නැගෙනහිර සිට බටහිරටත් නිදහසේ යාමට හැකි යුගයක් නිර්මාණය කිරීමට තමාට හැකිවුණා. තම්බපවනී බලාගාරය එම නිදහසේ ප්‍රතිඵලයක් බවයි අග්‍රාමාත්‍යවරයා සදහන් කළේ.

ජනතාවට සතුටු විය හැකි දියුණුවට බලපාන මෙවැනි ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම අරමුණ බවත් වත්මන් රජයේ ක්‍රමය පළිගැනීම නොව රටට වැඩ කිරීම බවත් අග්‍රාමාත්‍යවරයා පෙන්වා දුන්නා. 2015 වන විට මුළු ජනගහනයෙන් සියයට 98 කට විදුලිය දීමට හැකි වුණා. 2020 වන විට ගල්අඟුරු බලාගාර ඇතුළු පුනර්ජනනීය විදුලි ව්‍යාපෘති ඒ වන විටත් සැළසුම් කර තිබූ බවයි අග්‍රමාත්‍යවරයා පෙන්වා දුන්නේ.

අමාත්‍යවරුන්වන  ඩලස් අලහප්පෙරුම, ඩග්ලස් දේවානන්ද, රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා.

ළඟම පාසල හොඳම පාසල බවට පත් කිරීමේ වැඩපිළිවෙළ ප්‍රායෝගිකව සමාජය තුළ යථාර්ථයක් බවට පත්ව නොමැති නිසා ජනප්‍රිය පාසල්වලට ළමුන් ඇතුළත් කර ගැනීමට යාමේදී මවුපියන් විශාල පීඩනයකට ලක් වන බවත් එයට පිළියමක් ලෙස නගරයෙන් බැහැරව සියලු පහසුකම්වලින් සමන්විත පාසල් ඉදිකිරීම අත්‍යවශ්‍ය කරුණක් බවට පත්ව තිබෙන බවත් ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි.

හරිත හා සුහුරු පාසැල් සංකල්පය (Green & Smart School ) මුලික කර ගනිමින් නව තාක්ෂණික අධ්‍යාපන ක්‍රමවේදවලින් සමන්විත වූ කාන්තා විදුහලක් මහනුවර දිගන - රජවැල්ල ප්‍රදේශයේ ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීමේ උත්සවයට සහභාගි වෙමින් ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය මගින් පළමු අදියර යටතේ මේ සඳහා රුපියල් මිලියන 500ක මුදලක් වැය කිරීමට නියමිතය. වසර 2022දී මෙම පාසල විවෘත කර ළමුන් බඳවා ගැනීමට සැළසුම් කර තිබේ.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමැතිවරයා ජනපතිවරයාගේ සෞභාග්‍යයේ ඉදිරි දැක්ම තුළ අධ්‍යාපනයට විශාල ඉඩක් ලබා දී තිබෙන බවත් මේ අාකාර පාසල් ඉදිකිරීමෙන් අදාළ වැඩපිළිවෙළ මහ පොළොව තුළ යථාර්ථයක් බවට පත්වනු ඇති බවත් ප්‍රකාශ කළේය.

මෙරට තුළ පාසල් 10156ක් පමණ තිබෙන බවත් ඉන් 370ක් ජාතික පාසල් බවත් කී ඇමැතිවරයා ජාතික පාසල් සංඛ්‍යාව 1000ක් බවට පත් කිරීමට සැළසුම් ක්‍රියාත්මක කරන තිබෙන බවද අවධාරණය කළේය.

සමස්ත පාසල් සංඛ්‍යාවෙන් ළමුන් 100ට අඩු පාසල් 3000ක් තිබෙන බවත් ළමුන් 50ට අඩු පාසල් 700ක් තිබෙන බවද ප්‍රකාශ කළේය.

අධ්‍යාපන ක්ෂ්ෂේත්‍රයේ තරම් විෂමතා වෙනත් කිසිදු දෙපාර්තුමේන්තුවක නොමැති බවත් එක් පැත්තකින් දුෂ්කර පාසල්වල ගු‍රු හිඟයක් තිබියදී තවත් පැත්තකින් නාගරික පාසල්වල ගුරු අතිරික්තයක් තිබෙන බවත් ඒ මහතා කීය.

උසස් පෙළ විභාගයෙන් ඒ සමාර්ථ්‍ය තුනක් ලබා ගෙනත් විශ්වවිද්‍යාලයට ඇතුළු වීමට නොහැකි දරුවන් මේ රටේ සිටින බවත් වෙනත් රටක ඔවුන් ඉපදී සිටියා නම් විශ්වවිද්‍යාලවලට ඇතුළු වී අධ්‍යාපනය ලබන බවත් කී ඇමැතිවරයා මෙම අසාධාරණය පිටු දැකීම පිණිස ළමුන් ලක්ෂයකට විශ්වවිද්‍යාල අධ්‍යාපන වරම් හිමිකර දීමේ වැඩපිළිවෙළක් පියවර කිහිපයක් ඔස්සේ රජය ක්‍රියාත්මක කරන බවද අවධාරණය කළේය.

එම වැඩසටහනට ආශිර්වාදයක් ලෙස ළමුන් 10600ක් පෙර වසරට වඩා මෙවර විශ්වවිද්‍යාලවලට ඇතුළත් කර ගැනීමට නියමිත බවද ඒ මහතා කීය. මධ්‍යම පළාත් ආණ්ඩුකාරවරයාගේ සංකල්පයට අනුව නව පාසල් ඉදිවන බවත් ඒ මහතා ඉතා ක්‍රියාශීලීව ප්‍රශ්නවලට විසඳුම් ලබා දෙන අයකු ලෙස ජනතාව පිළිගෙන තිබෙන බවත් ජනමාධ්‍ය ඇමැතිවරයා කීය.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යූ ගමගේ මහතා කතා කරමින් තමන් මධ්‍යම පළාත් ආණ්ඩුකාර ධුරයේ වැඩ බාරගන්නා අවස්ථාවේ පළාතේ අධ්‍යාපනය බරපතළ කඩා වැටීමකට ලක්ව තිබූ බවත් එම තත්ත්වය වෙනස්කර අධ්‍යාපන අංශයෙන් මෙරට අංක එකට මධ්‍යම පළාත පත් කිරීම සඳහා වන වැඩපිළිවෙළේ එක් පියවරක් ලෙස නව පාසල් ආරම්භ කරන බවත් පැවසුවේය.

ඒ සඳහා අවංක මහජන මුදල් ගසා නොකන රාජ්‍ය සේවකයන්ගේ සහාය හිමි වන බවද ඔහු කීවේය.

මෙම අවස්ථාවට මහනුවර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතීඥ වසන්ත යාපා බණ්ඩාර, කුණ්ඩසාලේ ප්‍රාදේශීය සභාවේ සභාපති රංජර අක්මීමන, මධ්‍යම පළාත් ප්‍රධාන ලේකම් ගාමිණී රාජරත්න, මධ්‍යම පළාත් ප්‍රධාන හා අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් නන්දන ගලබොඩ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ තිලක් ඒකනායක යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගි වූහ.

රැකව ධීවර නැංගුරම්පොළ ඉදිකිරීම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද ආරම්භ කෙරිණ.
 
එහි ඉදිකිරීම් වසරක් ඇතුළත අවසන් කිරීමට නියමිතයි. තංගල්ල හා හම්බන්තොට ධීවර වරාය අතර පිහිටා ඇති මෙම යෝජිත ධීවර නැංගුරම්පොළ තුළ මීටර් 300ක දිය කඩනය,මීටර් 75කින් යුතු වැලි කඩනය හා නාවුක ගමනාගමනය පහසුකරවීම සඳහා පිවිසුම් ඇළක් ද ඉදිකිරීමට යෝජිතයි.
 
නැංගුරම්‍පොළ ඉදිකිරීම තුළින් 1500කට අධික පිරිසකට ජීවනෝපායන් සැලසෙන අතර බහුදින යාත්‍රා 70කට පමණ ධීවර කටයුතු නියැලීමට හැකිවෙයි. ඊට ඇස්තමේන්තුවගත මුදල රුපියල් මිලියන 379කට අධිකයි.
 
කලමැටිය ධීවර වරායේ ගින්නෙන් සිදුවූ හානිය වෙනුවෙන් ධීවරයින් 26 දෙනෙක් සදහා එක් ධීවරයෙකුට රුපියල් ලක්ෂ හත හමාරක් වටිනා ධීවර යාත්‍රාවක් සහ ධීවර ආම්පන්න බෙදාදීම ද අග්‍රාමාත්‍යවරයා අතින් සිදු කෙරිණ.

ඓතිහාසික අනුරාධපුර නගරයට ගොස් සිටින ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (05) පෙරවරුවේ ජය ශ්‍රී  මහා බෝධීන් වහන්සේ අභියස ආගමික වතාවත්හි නිරත විය.

පුදබිම වෙත ගිය ජනාධිපතිතුමා අටමස්ථානාධිපති ආචාර්ය පූජ්‍ය පල්ලේගම සිරිනිවාස නාහිමියන් බැහැදැක ආශිර්වාද ලබාගත්තේය.

අනතුරුව රුවන්වැලි මහා සෑ පුදබිමට ගිය රාජපක්ෂ මැතිතුමා රුවන්වැලි රජමහා විහාරාධිපති පූජ්‍ය පල්ලේගම හේමරතන නාහිමියන් බැහැ දැක සුහඳ පිළිසඳරක නිරත විය.

රුවන්වැලි මහා සෑ රදුන් අභියස ආගමික වතාවත්හි නිරත වූ ජනාධිපතිතුමා අනුරාධපුරය පූජා භූමි සංවර්ධන මහ සැලැස්ම විමර්ශනය කළේය.

ව්‍යාපෘතියේ වියදම රුපියල් මිලියන 450කිකලාප 03ක් යටතේ ව්‍යාපෘති 28ක් ලෙස සංවර්ධන සැලැස්ම ක්‍රියාවට නැංවේ. ඉදිකිරීම් 2024 දෙසැම්බර් මාසයට පෙර අවසන් කිරීමට නියමිත ය. සැලැසුම් පිළිබඳව පැවැති සාකච්ඡාවට නාගරික සංවර්ධන අමාත්‍යාංශයේ අතිරේක ලේකම් අංජලී දේවරාජ් මහත්මිය, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් සිල්වා, අධ්‍යක්ෂ ජනරාල් ප්‍රසාද් රණවීර යන මහත්වරු ඇතුළු නිලධාරීහූ පිරිසක් එක්ව සිටියහ.

ඉවතලන කාබන් පෑන් හා දත් බුරුසු ප්‍රතිචක්‍රිකරණය කිරීමට පරිසර අමාත්‍යාංශය හඳුන්වාදුන් බහාලුම,  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර කෙරුණා.

පාර්ලිමේන්තු සංකීර්ණයේ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම ප්‍රතිචක්‍රීකරණ බහාලුම අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වෙත භාර දෙනු ලැබුවේ අමාත්‍ය මහින්ද අමරවීර මහතායි. නීතියක් නොව විනයක් යන තේමාවෙන් ක්‍රියාත්මක පරිසර හිතකාමී ව්‍යාපෘතිය රටපුරා පාසල් හා ආයතන මට්ටමින් ක්‍රියාත්මක වීම කාලීන අවශ්‍යතාවක් බව අග්‍රාමාත්‍යවරයා මෙහිදී පෙන්වා දුන්නා.

පාසල් පද්ධතිය තුළින් පමණක් දිනකට පරිසරයට බැහැර කරන කාබන් පෑන් ප්‍රමාණය කිලෝග්‍රෑම් 80 ක් බවයි අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෙහිදී සදහන් කළේ.

මෙතෙක් අවධානය යොමු නොවූ මෙම පාරිසරික ගැටලුවට පිලියමක් ලෙස ආරම්භ කළ ආරක්ෂිත ප්‍රතිචක්‍රීකරණ බහාලුම හදුන්වාදීමට ගත් ක්‍රියාමාර්ගය අග්‍රාමාත්‍යවරයාගේ ඇගයීමට ලක්වුණා.

- මුළු රටම නැවත එකම වැඩ බිමක් කරනවා
- රුපියල රැකීමට පියවර ගත්තා
- ජන ජීවිතය සහ ව්‍යාපාර ආරක්ෂා කළා

නැවුම් උපාය මාර්ග යොදමින් රටේ ආර්ථිකය ශක්තිමත් කිරීමේ අභියෝගය භාර ගන්නා බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අප රටට තීරණාත්මක ඉදිරි වසර කිහිපයේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම උදෙසා රාජ්‍ය හා පෞද්ගලික අංශය එක්ව අභියෝග කළමනාකරණය කරගත යුතුව ඇතැයි පෙන්වාදෙන ඒ මහතා එම අභියෝග ඉදිරියේ, පසුබට නොවූ අප කෙඳිරි ගෑවේත් ද විපක්ෂයට චෝදනා කරමින් කාලය නාස්ති කළේ ද නැතැයි සඳහන් කරයි.

අගමැතිවරයා මේ බව සඳහන් කළේ ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය සංවිධානය කළ ශ්‍රී ලංකා ආර්ථික සමුළුව -2020 ට අන්තර්ජාල වීඩියෝ තාක්ෂණය ඔස්සේ ඊයේ (02) එක්වෙමිනි.

ශ්‍රී ලංකා ආර්ථික සමුළුව අමතා වැඩිදුරටත් අදහස් පළකළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා,ලෝකයේ බොහෝ රටවලට වඩා හොඳින් කොවිඩ් වසංගතය ශ්‍රී ලංකාව පාලනය කර තිබෙන බව බොහෝ දෙනා පිළිගන්නවා. ඒ සමඟම, අප රටේ ආර්ථිකය ද ක්‍රමවත්ව කළමනාකරණය කරගෙන ඉදිරියට යන්නට හැකි වී තිබෙන බවත් බොහෝ දෙනා පිළිගන්නවා. එපමණක් නොව, අද වන විට අප රටෙහි වසංගතයේ පාලනය ලෝකයේ රටවල් අතරින් ඉහළම මට්ටමක පවතින අතර, ක්ෂේත්‍ර රාශියක් ඔස්සේ ආර්ථික ප්‍රගතිය ද සාර්ථක ලෙස සටහන් කර ගැනීමට අපට හැකිවී තිබෙනවා. අප රට දැන් මුහුණ පා ඇති මූලික අභියෝගය නම් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා රටට ලබා දී ඇති පොරොන්දුව අනුව, “ජනතා-කේන්ද්‍රීය” ආර්ථික පුනර්ජීවනයක් උදාකර ගැනීමයි.

ඒ අතරම, කොවිඩ් වසංගතය ඉදිරියේ පුරෝකථනය කරන ලද දරුණු ආර්ථික අවපාතය, එම උත්සාහයට දැඩි බාධාවක් පැනවීම හැකි බව ද බොහො දෙනා අනාවැකි කොට තිබුණ ද එය අවම කර ගනිමින්, ආර්ථිකයේ පුනර්ජීවනයක් ඇතිකර ගැනීමත් අප ඉදිරියේ ඇති තවත් දැවැන්ත අභියෝගයක්. මේ අරමුණු සාක්ෂාත් කර ගැනීමට, රජය නැවුම් ක්‍රමවේද අනුගමනය කළ බව ඔබ දන්නවා. රටේ ව්‍යාපාරිකයන් රැකගැනීම සඳහා ඒ අයට “ණය විරාම” දෙන ලෙස රජය බැංකු හා මූල්‍ය ආයතනවලට උපදෙස් දුන්නා. රටේ බාහිර ගිණුම මනා ලෙස කළමනාකරණය කිරීමෙන් රුපියල රැක ගැනීමෙන්, රාජ්‍ය ණය පීඩනය අවම කරන්නට කටයුතු කළා. පවුල් දසලක්ෂ පහකට අධික ගණනකට කොවිඩ් වසංගතයට මුහුණ දීමට සෘජු මුදල් ප්‍රතිපාදන දීමෙන් ජීවන පීඩනයට සහන දෙන්නටත් අප සමත් වුණා. සුළු හා මධ්‍යම පරිමාණයේ ව්‍යාපාර කඩා නොවැටී පවත්වා ගෙන යෑම සඳහා බදු සහ පොලී සහන දුන්නා. ජලය, විදුලිය, බලපත්‍ර ගාස්තු, යනාදිය ගෙවීමට කාලය ලබා දුන්නා.

 
 

ලීසිං වාරික සහ පොලී ගෙවීම් සඳහා සහන දීමට කටයුතු කළා. මේ සියලුම කටයුතු සඳහා රාජ්‍ය සේවකයන් සම්බන්ධ කර ගනිමින් ඔවුන්ගේ කාර්යක්ෂමතාව ද ඉහළ මට්ටමකට පවත්වා ගැනීමට කටයුතු කළා. රේගුව, ආදායම් බදු, සුරාබදු, ආයෝජන මණ්ඩලය, විදුලිය, ඉන්ධන, වරාය, ගුවන්තොටුපොළ, බැංකු, සමාගම් රෙජිස්ට්‍රාර් වැනි ආයතන සහ දෙපාර්තමේන්තු ඇතුළු අදාළ රජයේ ආයතන රාශියක් විසින් පෞද්ගලික ආයතනවලට දිය යුතු සේවාවන් දැවැන්ත අභියෝග මධ්‍යයේ ද දීමට රාජ්‍යය සේවය මැදිහත් වුණා. මූලික වශයෙන්, වසංගතය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය ක්ෂේත්‍රය, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ ග්‍රාමීය පාලන යාන්ත්‍රණය ඇතුළු සියලු රාජ්‍ය සේවකයන්ගේ දැඩි කැපවීම ඔස්සේ ඉටුවිය යුතු සියලු ‍සේවාවන් දෙන්නටත් රජයට හැකිවුණා.

මේ සියලුම කටයුතුවල අරමුණ වූයේ ජන ජීවිතය සහ රටේ ව්‍යාපාර අඛණ්ඩව ඔසවා තැබීමයි. අප එසේ නොකළා නම්, රටේ විහිදි ඇති ව්‍යාපාර දැඩි දුෂ්කරතාවට සහ අපහසුතාවට පත්වීමට ඉඩ තිබුණා. එසේ වුවා නම්, මුළු රටේම ආර්ථිකය කඩා වැටෙන්නටත් අවදානමක් තිබුණා. ඒ හරහා, රාජ්‍ය ණය ගෙවා ගන්නට බැරි වන්නටත් ඉඩ තිබුණා.

එසේ වුනා නම්, විශාල අර්බුදයකට රට ගොදුරු වන්නටත් ඉඩ තිබුණා. එවන් තත්ත්වයක් හරහා, රැකියා ලක්ෂ ගණන් අහිමි වන්නටත්, මුළු ජනතාවම දැඩි කම්පාවකට සහ අසහනයකට පත් වන්නටත් ඉඩ තිබුණා. ආර්ථික කටයුතු කඩා වැටීම නිසා, රටේ බහුතර ජනතාව අන්ත අසරණභාවයකට පත් වෙන්නටත් අවදානමක් තිබුණා. සමහර විට, සමහරු එසේ වෙනතෙක් බලා සිටින්නටත් ඇතැයි කියා අපට සැක කරන්නටත් ඉඩ තිබෙන්නට ඇති. එහෙත්, මෙම ප්‍රශ්න සියල්ලම මධ්‍යයේ, මෙම අභියෝගවලට සෘජුවම මුහුණ දෙමින් අද වනවිට, රටේ ආර්ථීකය ස්ථායිභාවයකට පත්කර ගැනීමට අප රජයට හැකි වී තිබෙනවා. මේ බව ආර්ථික කටයුතුවල නිරත වී සිටින ඔබ සියලු දෙනාම හොඳින් අවබෝධ කරගෙන ඇතැයි ද මා සිතනවා. කෙසේ වුවත්, මෙම තත්ත්වය පිළිබඳ අප මුලික සෑහීමකට පත්වනවාත් සමඟම, මෙම අඩිතාලම මත අපේ රටේ ආර්ථිකය හා ජනජීවිතය තවදුරටත් ශක්තිමත් කරමින් ඉදිරියට යෑමට අප සෑම උත්සහයක්ම දැරිය යුතු බවත් අප මතක් කරදිය යුතුයයි සිතනවා. අප දකින ආකාරයට, තව වැඩි කලක් යන්නට පෙර, මුළු රටම නැවත වර්ධන මාර්ගයකට යොමු විය යුතුයි. මුළු රටම නැවත එකම වැඩ බිමක් බවට පත්විය යුතුයි.

අද වනවිට රුපියල් බිලියන පන් දහසකට (රු.බි.5000) අධික සාමුහික වටිනාකමක් ඇති මහ පරිමාණයේ ව්‍යාපෘති 289ක් රජයේ අමාත්‍යාංශ සහ දෙපාර්තමේන්තු විසින් ක්‍රියාත්මක වෙනවා. ඒවා නිසි වේලාවට සහ මුලින්ම යෝජිත අගයන්වලට නිම කිරීම ඉතා වැදගත්ය. (“on time” and “on budget”). එපමණක් නොව, රජයට අයත් ආයතන 400ට අධික සංඛ්‍යාවක් විවිධ සේවාවන් සහ ආර්ථික කටයුතු වල අද නිරතවී සිටිනවා. රාජ්‍ය සේවකයන් ලක්ෂ 18ක පමණ සංඛ්‍යාවක් රාජ්‍ය අංශයේ සේවය කරනවා. එසේ නම්, මෙම දැවැන්ත භෞතික සහ මිනිස් සම්පත කාර්යක්ෂමව, ජනතා හීතවාදීව සහ මුළු රටටම ශක්තියක් සහ යහපතක් වන ලෙස ක්‍රියාවේ යෙදවීම, අප රටේ දැවැන්ත ප්‍රමුඛතාවයක් ලෙස අප දකිනවා. ඒ අරමුණ ඉෂ්ට කර ගැනීම වෙනුවෙන්, ඉදිරියේ දී, ඔබ ලබාදෙන්නා වු සහයෝගය සහ කැපවීම අප උනන්දුවෙන් අපේක්ෂා කරනවා. කෘෂිකර්මය පිළිබඳවත් ඔබ වාණිජ මණ්ඩලය විශේෂ සැලකිල්ලක් දක්වන බව අප සතුටින් නිරීක්ෂණය කළා. ඕනෑම රටක ආහාර සුරක්ෂිතභාවය (Food Security) රැක ගැනීම එම රටේ ආණ්ඩුවේ විශේෂ වගකීමක් වන අතර, ඒ සඳහා ජනතාවගේ කැපවීම ද අත්‍යවශ්‍යයි.

කොවිඩ් වසංගතයේදී අප රටක් වශයෙන් ඉගෙන ගත් එක් විශේෂ පාඩමක් නම්, ගෝලීය උවදුරක් හේතුකොටගෙන යම් කම්පනයක් සිදුවන විට, රටට අවශ්‍ය වන ආහාර එම රටේම නිෂ්පාදනය කර ගැනීම ඉතා වැදගත් බවයි. අතීතයේදී, අපට ඕනෑම බෝගයක් හෝ භාණ්ඩයක් හෝ සේවාවක් හෝ ආනයනය කළ හැකියි යන මානසිකත්වයකින් සමහර රජයන් කටයුතු කළ ආකාරය අප දුටුවා. එවැනි ප්‍රතිපත්තියක් අනුගමනය කළහොත් රටකට වියහැකි හානිය කොතරම් භයානක ද යන්න අද පැහැදිලි වී ඇතැයි, අප සිතනවා. කොවිඩ් වසංගතයෙන් අපේ රටට සිදු වු පාඩු සහ හානිවලින් මුල් තැනක් ගත් තවත් එක් ක්ෂේත්‍රයක් නම් සංචාරක ක්ෂේත්‍රයයි. ගුවන්තොටුපළ සහ වරායන් හරහා අප රටට සංචාරකයන්ට පිවිසෙන්නට අවකාශය අහිමි වූ නිසා, අප ආර්ථිකයට දැවැන්ත පහරක් එල්ල වූ බව අප දන්නවා. එයින් ජීවන උපායන් රාශියකට සැලකිය යුතු අවහිරයක් ඇති වු බවත් අප දන්නවා. එසේ වුවද, එම හානිය හා අවාසිය අවම කර ගැනීම සඳහා එම ක්ෂේත්‍රයේ නිරත වී සිටින පුද්ගලයන්ට සහ ආයතනයන්ට ණය සහ පොලී විරාමයන් දෙමින්, යම් සහනයක් දීමට රජය කටයුතු කර ඇති බවත් ඔබ දන්නවා.

ඒ ආකාරයට, මෙම සංචාරක ක්ෂේත්‍රයේ සම්පත් අාරක්ෂා කරමින්, අනාගතයේ දී මෙම ක්ෂේත්‍රය නැවත නැගී සිටුවීමට අප සූදානම් විය යුතුයි. ඒ නිසා, මේ ප්‍රශ්නය පිළිබඳවත් ඔබ සැලකිලිමත් වීම ගැන අප සතුටු වෙනවා. 2020 වසර තුළඳී අප රජයට මුහුණ දීමට සිදුවූ අභියෝගයන් ඉතා දැවැන්ත ඒවාය. එම අභියෝග තියුණු වූයේ කොවිඩ් නිසා පමණක් නොවේ. 2015 සිට 2019 දක්වා අප ආර්ථිකයේ සිදු වූ සැලකිය යුතු පසුබෑමත් එයට හේතු වූ බව අපි සියලු දෙනාම දන්නවා. එහෙත්, එම අභියෝග ඉදිරියේ, අප පසුබට වූයේ නැහැ. අප කෙඳිරි ගැවේත් නැහැ. අප විපක්ෂයට චෝදනා කරමින් කාලය නාස්ති කළෙත් නැහැ. එසේ නොකර, ජනතාව අපගෙන් බලාපොරොත්තුව වූ කාර්ය භාරයේ යෙදෙමින් අපගේ වගකීම් අප ඉෂ්ට කළා. ඒ අනුව, පසුගිය මාසයේ මැද භාගයේ දී, ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කර ඇති “සෞභාග්‍යයේ දැක්ම” සැලැස්ම සාක්ෂාත් කර ගැනීමේ මූලික පියවර වශයෙන්, අප නව රජයේ පළමු අයවැය අපි ඉදිරිපත් කළා. ඒ හරහා, 2021 වෙනුවෙන් ආර්ථිකයේ සියයට 5.5 ක වර්ධනයක් ඇති කර ගැනීමටත්, සාර්ව ආර්ථික සාධක යහපත් මට්ටමකට පත්කර ගැනීමටත්, බදු ප්‍රතිපත්තිය නොවෙනස්ව පවත්වාගෙන යාමටත්, ආර්ථිකයට නව ජවයක් ලබා දීමටත්, අප අවශ්‍ය යෝජනා ඉදිරිපත් කළා.

අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කර එහි ක්‍රියාකාරිත්වය දේශපාලන සහ වෙනත් මැදිහත්වීම්වලින් ඉවත් කිරීමට තමා දැඩි ලෙස කැපවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි. 
 
ශේෂ්ඨාධිකරණයට නව විනිසුරුවරු 06 දෙනෙක්, අභියාචනාධිකරණ නව සභාපති සහ අභියාචනාධිකරණ නව විනිසුරුවරු 14 දෙනෙක් අද (01) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී දිවුරුම් දුන්හ. 
 
ඉන් අනතුරුව ඒම පිරිස අමතමින් ජනාධිපතිතුමා මේ බව සදහන් කළේය. 
 
ශ්‍රේෂ්ඨාධිකරණයේ හා අභියාචනාධිකරණයේ විනිශ්චයකාරවරුන් සංඛ්‍යාව 1978 සිට නොවෙනස්ව පැවැතිණ. ඉහළ උසාවිවල විනිශ්චයකාරවරුන්ගේ සංඛ්‍යාව ඉහළ නැංවීමේ අවශ්‍යතාව අතීතයේ දී බොහෝ වරක් සාකච්ඡාවට ලක් කෙරුණ ද වසර 40කට අධික කාලයක් එය නොවෙනස්ව පැවති බව ජනාධිපතිතුමා පෙන්වා දුන්නේය. 
 
20 වන ව්‍යවස්ථා සංශෝධනයෙන් මේ දිගුකාලීන අවශ්‍යතාව සපුරාලීමට අපේ රජයට හැකිවීම ආඩම්බරයට කරුණක් බව රාජපක්ෂ මැතිතුමා කියා සිටියේය. නීතියේ ප්‍රමාදයන් නිරන්තර ගැටළුවලට පාදක වූ හේතු අතරින් එකකි. 
 
“යුක්තිය ප්‍රමාදවීම, යුක්තිය අහිමි කරනු ලබයි” යන කියමන උපුටා දැක්වූ ජනාධිපතිතුමා යුක්තිය පසිඳලීමේ කාර්යක්ෂමතාව ඉහළ නැංවිම සඳහා උපරිමාධිකරණ ධූර සංඛ්‍යාව ඉහළ නැංවීම සදහා 20 වන සංශෝධනයෙන් ඉඩ ප්‍රස්ථාව සැලසුන බව පැවසීය. 
යුක්තිය, කාර්යක්ෂම අයුරින් පරිපාලනය කිරීම නීතියේ ආධිපත්‍ය තහවුරු කිරීම සම්බන්ධයෙන් පමණක් නොව රටේ ආර්ථික ප්‍රගමනයට ද අතිශය වැදගත්ය. යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය මගින් විශ්වාසනීය, කාර්යක්ෂම හා ඵලදායී අයුරින් ගැටළු නිරාකරණය කොට ජාතියේ ප්‍රගතිය පෝෂණය කරනු ඇතැයි ජනාධිපතිතුමා සඳහන් කළේය. 
 
ශක්තිමත්, කාර්යක්ෂම සහ ස්වාධීන යුක්තිය පසිඳලීමේ පද්ධතියක ඇති වැදගත්කම රජය මනාව අවබෝධකරගෙන සිටී. එහි ධාරිතාව ඉහල නැංවීමේ අවශ්‍යතාව පිළිබඳව ද ගැඹුරින් වටහගෙන ඇත. 
 
යුක්තිය පසිඳලීමේ ක්‍රියාවලිය කෙරෙහි ජනතාව තුළ විශ්වාසයක් ඇතිවීමටනම් එම ක්‍රියාවලිය විනිවිදභාවයෙන් යුක්තවිය යුතු බව ද ජනාධිපතිතුමා විසින් සදහන් කරනු ලැබිණ.
අගවිනිසුරු ජයන්ත සී. ජයසූරිය, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.
 
ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් ලෙස,
01- ඒ.එච්.එම්.දිලිප් නවාස් මහතා
02- කුමුදිනී වික්‍රමසිංහ මහත්මිය
03-ඇන්තනි ලලිත් ශිරාන් ගුණරත්න මහතා
04-ජනක් ද සිල්වා මහතා
05- ආරච්චිගේ අචල උත්පලවර්ණ වෙන්ගප්පුලි මහතා
06-මහින්ද අබේසිංහ සමයවර්ධන මහතා දිවුරුම් දුන්හ. 
 
අභියාචනාධිකරණ නව සභාපති ලෙස අර්ජුන ඔබේසේකර මහතා දිවුරුම් දුන්නේය.
 
නව අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන්නේ, 
01- මේනකා විජේසුන්දර මහත්මිය
02- ඩී.එන්. සමරකෝන් මහතා 
03-එම්. ප්‍රසන්ත ද සිල්වා මහතා
04-එම්.ටී.එම්. ලෆාර් මහතා
05- සී. ප්‍රදීප් කීර්තිසිංහ මහතා
06-සම්පත් බී. අභයකොන් මහතා
07- එම් .එස්.කේ.බී. විජේරත්න මහතා
08-එස්.යූ.බී. කරලියද්ද මහතා
09-ආර්. ගුරුසිංහ මහතා
10- ජි.ඒ.ඩී. ගනේපොල මහතා
11- කේ.කේ.ඒ.වී. ස්වර්ණාධිපති මහත්මිය
12- මායාදුන්න කොරයා මහතා
13- ප්‍රභාහරන් කුමාරරත්නම් මහතා
14- ඩබ්.එන්.එන්.පී. ඉද්දවල මහතා

ඉන්දීය ජනරජයේ මුදල් හා ව්‍යාපාර කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ශ්‍රිමතී නිර්මලා සීතාරාමන්,
මුදල්, ප්‍රාග්ධන වෙළෙඳපොළ සහ රාජ්‍ය ව්‍යවසාය ප්‍රතිසංස්කරණ පිළිබඳ ගරු රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්,
ලංකා වාණිජ මණ්ඩලයේ සභාපති ආචාර්ය හාන්ස් විජේසූරිය,
ගෞරවනීය ආරාධිතයිනි,
නෝනාවරුනි, මහත්වරුනි,
2020 ශ්‍රී ලංකා ආර්ථික සමුළුවේ සමාරම්භක සැසියේදී අද උදෑසන ඔබ ඇමතීමට ලැබීම මට මහත් සතුටක්. මේ සමුළුවේ සමාරම්භක සැසියේ ප්‍රධාන කථිකයා ලෙස සහභාගි වීම පිළිබඳව ඉන්දීය ජනරජයේ මුදල් හා ආයතිනක කටයුතු පිළිබඳ ගරු අමාත්‍ය ශ්‍රිමතී නිර්මලා සිතාරාමන් මැතිණියට මාගේ අවංක ඇගයීම පළ කිරීමට මම මෙය අවස්ථාවක් කර ගනිමි.


දැනට පැතිරී යන ගෝලීය වසංගතය සැලකිල්ලට ගනිමින් මේ වසරේදී මේ සමුළුව නිරූපිත වේදිකාවක සිට පැවැත්වීමට ලංකා වාණිජ මණ්ඩලය ගෙන ඇති පියවර ප්‍රශංසනීයය. වෛරසයේ දෙවන රැල්ලෙන් ඇති වන තර්ජනය පාලනය පිණිස පසුගිය සති හය පුරා රජය දැඩි අවධානයක් යොමු කළේය. කෙසේ වුවද, වසංගතයේ මුල් අවධියේදී මෙන් නොව දැන් ඒ පිළිබද දැනුවත්භාවය ඉහළය. එක් අතකට වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට අපට මින් අවස්ථාව සැලසේ. අප සියලු දෙනාම මේ නව සාමාන්‍යයට අනුගත විය යුතුය.


එක් අතකට මේ නව සාමාන්‍ය තත්ත්වයෙන් යහපත් ප්‍රතිවිපාක ලැබී ඇත. එමගින් නව ක්‍රියාකාරකම් රැසකට හුරුවීමට අපට බල කර ඇත. දැනුම් සේවකයන්ට නිවසේ සිට රාජකාරී කටයුතුවල නිරත වීම සාමාන්‍ය දෙයක් බවට පත්ව තිබේ. සේවකයන් භෞතිකව පැමිණීම අවශ්‍ය වන්නා වූ කාර්යාලවල කාර්යක්ෂමතාව ඉහළ නැංවීමට අවශ්‍ය මාර්ග සම්පාදනය කිරීම තුළින් අවම කාර්ය මණ්ඩලයකින් රාජකාරී ඉටු කර ගන්නා වාතාවරණයක් බිහිවී ඇත. සැපයුම් ගැටළු විසඳීම සදහා නව තාක්ෂණය මත පදනම් වූ විසඳුම් අනුගමනය කෙරේ. මූල්‍ය සේවා වෙත පිවිසීම හෝ භාණ්ඩ මිලදී ගැනීම වැනි එදිනෙදා කටයුතු සඳහා Online පහසුකම් භාවිතා කිරීමට පාරිභෝගිකයෝ වැඩි වැඩියෙන් නැඹුරු වෙමින් සිටිති.
එක් අතකින් වෛරසය පාලනය කරන අතරම අනෙක් අතට අඛණ්ඩව ආර්ථික ක්‍රියාකාරකම් සහතික කිරීම යන ද්විත්ව අවශ්‍යතා වඩා හොඳින් සමතුලිත කර ගැනීමට මින් අපට අවස්ථාව සැලසේ.

වසංගතය අතීතයට එක් වූ පසුව වුවද ආර්ථික ක්‍රියාකාරකම් හසුරුවන ආකාරය මේ වෙනස්කම් හේතුවෙන් පරිවර්තනය වීමේ ප්‍රවනතාවක් ඇත. අපගේ ආයතන කාර්යශූර නම් හා කඩිනමින් අනුවර්තනය වන්නේ නම් මේ වෙනස්වීම නිසා ඵලදායීත්වයේ සිදු වන වර්ධනය අපට දැක ගත හැකි වෙයි.
එබැවින් නව ව්‍යාපාර ආකෘති සංවර්ධනය, නව තාක්ෂණය සහ වේදිකා වලට අනුගත වීම සහ මේ ඵලදායිතාව ඉහල නංවන පරිවර්තනය සදහා අවශ්‍ය වන යටිතල පහසුකම් වැඩි දියුණු කිරීම මම උනන්දුවෙන් ප්‍රවර්ධනය කරමි. අපගේ ශ්‍රමිකයන්ට මේ වෙනස්කම්වලින් උපරිම ප්‍රයෝජන ගැනීමට හැකි වන පරිදි මානව සම්පත් සංවර්ධනය සඳහා ද ආයෝජනය කළ යුතුය.


කෙසේ වුවද, මේ මොහොතේ ඇතැම් රාජ්‍ය ආයතන මේ සම්බන්ධයෙන් පසුගාමී තත්වයක සිටීමට ඉඩ ඇති බව පිළිගත යුතුය. ඊට හේතුව යටිතල පහසුකම්, ඉංජිනේරු ක්‍රියාදාමය හා පුහුණුව අඩු මට්ටමක තිබීම ඇතුළු ආවේනික ගැටළුය. මේ තත්ත්වය වෙනස් කිරීම මගේ ප්‍රමුඛතාවකි.
මගේ ඝෘජු අධීක්ෂණයට ගැනෙන විෂය පථය යටතේ වෙනමම තාක්ෂණ අමාත්‍යාංශයක් පිහිටුවීම ඩිජිටල්කරණය සදහා වන අපගේ සමස්ත මෙහෙයුමේ එක් වැදගත් පියවරකි. අපගේ කර්මාන්ත සඳහා ගෝලීය වශයෙන් තරග කිරීමට අවස්ථාව ලබා දෙන අතරම මහජනතාවට සපයන සේවා ඉහළ නංවන “තාක්ෂණය මත පදනම් වූ සමාජයක්” නිර්මාණය කිරීමට උර දීම මා ජනාධිපති ධූරයට පත් වීමට පෙර ප්‍රකාශයට පත් කළ දැක්මෙහි ප්‍රධාන අංගයකි.
සමාජ, ජංගම, විශ්ලේෂණ සහ ක්ලවුඩ් යන අපගේ ප්‍රමුඛ තාක්ෂණ ක්‍රම හතර කේන්ද්‍රගත කිරීම තුලින් පරිපාලනය ක්‍රියාත්මක වන ආකාරය වෙනස් කිරීමේ හැකියාව අපට ඇත. කොවිඩ් 19 ආසාදිතයන් සොයා ගැනීම පහසු කිරීම සඳහා මෑතකදී හඳුන්වා දුන් Staysafe.gov.lk වෙබ් අඩවිය ඊට නිදසුනකි.
වඩාත් පුළුල් ලෙස පුරවැසි කේන්ද්‍රීය ඩිජිටල් ආණ්ඩුකරණය ප්‍රවර්ධනය තුලින් ජාතික හැඳුනුම්පත්, ගුවන් ගමන් බලපත්, උප්පැන්න සහතික, මරණ සහතික, රියැදුරු බලපත්, ඉඩම් ඔප්පු, ලබා ගැනීම ආදී සේවා වඩාත් කඩිනමින් හා පහසුවෙන් මහජනතාවට ලබා ගැනීමේ අවස්ථාව උදා වෙයි.
විශේෂයෙන් ජාතික පුද්ගල ලේඛනය ඩිජිටල්කරණය අනන්‍ය හා සත්‍යාපනය සඳහා වඩාත් විධිමත් හා ආරක්ෂිත ක්‍රියාවලියක් සඳහා මගපාදයි. මෙය මූල්‍ය සේවා සහ ඊ-වාණිජ්‍යය ඇතුළු තවත් බොහෝ ක්ෂේත්‍රවල වැඩි දියුණු කළ Online සේවා සැපයීම සඳහා අඩිතාලම ගොඩ නංවනු ඇත. මෙය අපගේ මූල්‍ය තත්ත්වය වැඩි දියුණු කිරීමෙහි වැදගත් සාධකයක් වන බදු පදනම ඵලදායී අයුරින් පුළුල් කිරීමේ රජයේ හැකියාව ද බොහෝ සේ ඉහළ නැංවීමට උපකාරී වෙයි.
ශ්‍රී ලංකාවේ වර්තමාන ආර්ථික සන්දර්භය තුල කැපී පෙනෙන ගැටළුවක් වන්නේ අප මුහුණ දී සිටින අධික ණය බරයි. ආපසු ගෙවීමට ඇති අධික ණය වාරික පරිමාව සැලකිල්ලට භාජන විය යුතු කරුණකි.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව සෑම විටම සිය ණය වාරික බැඳීම් නිසි වේලාවට හා පූර්ණ වශයෙන් ඉටු කර ඇති බවත් අප විසින් එය අඛණ්ඩව සිදු කරන බවත් අවධාරණය කිරීම වැදගත්ය.
එසේ වුවද, ණය මත වන අපේ අධි රඳා පැවැත්ම අවසන් විය යුතුය. ආයෝජන ප්‍රවර්ධනය කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත්තේ එබැවිනි. අපි වැඩි වශයෙන් ඝෘජු විදේශ ආයෝජන ආකර්ශණය කරගත යුතු අතර, අපගේ ආර්ථික වර්ධනය සඳහා දේශීය ආයෝජන දිරිමත් කළ යුතුය. මේ තත්ත්වය සැලකිල්ලට ගනිමින් ආයෝජන පූර්ණ වශයෙන් ආරක්ෂා කිරීම සඳහා රජය නව නීති සම්පාදන කරයි. ආයෝජන ප්‍රතිලාභ වේගයෙන් ප්‍රවර්ධනය කළ හැකි වන පරිදි ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර කටයුතු වල නිරත වීමේ පහසුව වැඩි දියුණු කිරීමට ද අපි කැප වී සිටින්නෙමු.
මේ වටපිටාව තුල විදේශීය රාජ්‍යයන් විසින් අරමුදල් සම්පාදනය කරන ලද ව්‍යාපෘති ඇතුළු ව්‍යාපෘති කිහිපයක් විවිධ හේතු මත මේ වන විට ඇණහිට ඇති බව සඳහන් කළ යුතුය. මේ ප්‍රමාදයන් වඩාත් බරපතල වන්නේ ඒවා මේ ව්‍යාපෘතිවල ප්‍රතිලාභ ජනතාව වෙත ළඟාවිම වළක්වාලන නිසාය. මේ තත්ත්වය රට ක්‍රියාකාරිත්වය පිළිබදව නිශේධනාත්මක චිත්‍රයක් ද නිර්මාණය කරයි.
ආයෝජකයන් අධෛර්මත් කරන එවැනි ගැටළු ආමන්ත්‍රණය කිරීමට රජය උත්සුක වේ. නියාමකයන්, ප්‍රතිපත්ති සම්පාදකයන් හා පහසුකම් සපයන්නන් ආයෝජකයන් වෙනුවෙන් එක් ස්ථානයකට ගොනු කිරීමට පහසුව සලසන ඩිජිටල් ඒකාබද්ධතාව සහිත ප්‍රවේශ නිෂ්කාෂණ පද්ධතියක් සැකසීමේ ක්‍රියාවලියක අපගේ සමීපතම මිතුරා සහ හවුල්කරුවා වන ඉන්දියාව නිරතව සිටින බව මම උද්යෝගයෙන් සඳහන් කරමි.
එවන් යාන්ත්‍රණ ව්‍යාපාර කිරීමේ වේගය සහ පහසුව වර්ධනය කරයි. ඒවා විනිවිදභාවය වැඩි දියුණු කරන අතර දූෂණය අවම කරයි. ව්‍යාපෘති ක්‍රියාවට නැංවීම අධීක්ෂණය සහ අවශ්‍ය වූ විටෙක මැදිහත්වීම සක්‍රීය කිරීමේ යාන්ත්‍රණය වැදගත්ය. මේවා හඳුන්වාදීමේ ක්‍රම අධ්‍යයනය කෙරෙමින් පවතී.
මේ වසරේ ආර්ථික සමුළුවේ තේමාව වන “අනාගතය සඳහා මාර්ග සිතියම : ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනය උදෙසා” යන්න අපගේ වර්තමාන තත්ත්වයට ඉතා උචිතය. ප්‍රධාන ආර්ථික ක්ෂේත්‍ර කිහිපයක් දරුණු ලෙස බලපෑමට ලක්ව ඇත.
වඩාත් බරපතල ලෙස බලපෑමට ලක්ව ඇත්තේ අපගේ ආර්ථිකයට බොහෝ සේ දායකවන සංචාරක ව්‍යාපාරයයි. මේ ක්ෂේත්‍රයේ ප්‍රමුඛයන් වෛද්‍ය ප්‍රජාව සමග එක්ව හැකි ඉක්මණින් සංචාරක ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ සැලසුමක් සකස් කළ යුතුය. මේ සැලැස්ම සියලුම සෞඛ්‍ය නියාමනවලට අනුකූල විය යුතු අතර, මහජනතාව වැඩි වශයෙන් ගැවසෙන ස්ථාන වලින් දුරස්ව සංචාරකයන්ට ශ්‍රී ලංකාව තුල ප්‍රීතිමත් නිවාඩුවක් සහතික කළ යුතුය. රැඳී සිටීමේ අවම කාලයක් පැනවීමෙන් හා වැඩියෙන් වියදම් කරන සංචාරකයන් ආකර්ශණය කර ගැනීම තුලින් සංචාරක ව්‍යාපාරයේ ඉපැයීම් උපරිම කිරීමෙන් ආර්ථිකයට පුළුල් ප්‍රතිලාභ අත් කර ගැනීමට පිළිවන.

විශේෂයෙන් පළමු වටයේදී සංචාරකයන්ගේ පැමිණීම් සීමා කිරීම අවශ්‍ය විය හැකි බැවින් අප පළමුව රට විවෘත කළ යුත්තේ අපට ආකර්ශණය කර ගත හැකි, වැඩියෙන් වියදම් කරන සංචාරකයන් සඳහාය.එමගින් ශ්‍රී ලංකාව ඉහළ පෙළේ සංචාරක ගමනාන්තයක් ලෙස නැවත වරක් ස්ථාපනය කළ හැකි අතර, ඒ ඔස්සේ කර්මාන්තයට දිගුකාලීනව ඉහළ ආදායමක් උපයාගත හැකිය.
වත්මන් තත්ත්වය ආර්ථිකය කෙරෙහි ඇති කළ හානිකර බලපෑම මධ්‍යයේ වුවද නිෂ්පාදනය ඇතුළු ඇතැම් අංශවල වැඩිදියුණුව සඳහා උත්ප්‍රේරණයක් සපයා ඇත. පෞද්ගලික ආරක්ෂණ උපකරණ සඳහා වන ගෝලීය ඉල්ලුම වැඩිවීම අපේ ඇගළුම් ක්ෂේත්‍රයේ ශක්තිමත්, හොඳින් ස්ථාපනය වූ සමාගම් බොහොමයක් මේ නිෂ්පාදන නිපදවීමට පොළෙඹවා ඇත.
2020 ශ්‍රී ලංකාවේ අපනයන ආදායම, වත්මන් වසංගත තත්ත්වය හමුවේ බලාපොරොත්තු වූවාට වඩා සැලකිය යුතු ලෙස යහපත් මට්ටමක තිබීම මට සතුටට කරුණකි. මෙයට බොහෝ සෙයින් හේතු වී ඇත්තේ අපගේ පෞද්ගලික අංශයේ ප්‍රශංසනීය උත්සාහයන්ය.
අප අවබෝධකරගත යුතු තවත් කරුණක් වන්නේ ගෝලීය නිෂ්පාදන සහ සැපයුම් දාමයට පැමිණ ඇති බාධා මෙන්ම සාම්ප්‍රදායික නිෂ්පාදන මධ්‍යස්ථානවලට තම ක්‍රියාකාරිත්වය සීමා කිරීමට සිදුව ඇති නිසා, ශ්‍රි ලංකාව වැනි රටවලට නවෝත්පාදනයට, නව නිර්මාණ තුළින් නව වෙළෙඳ පොළ සොයා ගැනීමට ඇති අවස්ථා නිර්මාණය වී ඇති බවයි.
අපගේ නැගී එන ව්‍යවසායකයන් මෙන්ම පිළිගත් සමාගම්, තමන්ගේ සුපුරුදු ක්‍රියාකාරිත්වයෙන් එපිටට තමන්ගේ දක්ෂතා සහ ප්‍රාග්ධනය යෙදවිය හැකි නව ඉසව් සොයා යාම ආරම්භ කළ යුතුය. අපගේ භූගෝල පිහිටීම සහ සාම්ප්‍රදායික කර්මාන්ත මතම රදා පවතිනු වෙනුවට අප නව මානයන් සෙවීමට උත්සුක විය යුතුය.
සමහර කර්මාන්ත අංශයන්හි සංකීර්ණ නිෂ්පාදන සිදුකිරීමට හැකියාවක් පවතින බව බොහෝ ශ්‍රී ලාංකීය සමාගම් ඔප්පුකර ඇත. ඔවුන් සිය ප්‍රාග්ධනය, කළමනාකරණය, නිපුණතාව සහ මනා පුහුණුවෙන් ලත් අත්දැකීම් සපිරි මානව සම්පත් නව ක්ෂේත්‍රයන්හි ආයෝජන කිරීමට පියවර ගත යුතුය.
සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවයක් උදෙසා අපගේ ව්‍යාපාරික අංශ ව්‍යවසායකයන් සහ රජය යන අංශ සියල්ලම එක්ව ක්‍රියා කළ යුතුයි. රජය තමන්ට අවශ්‍ය ශක්තිය සපයන බලවේගයක් කොටගෙන පෞද්ගලික අංශය ආර්ථික ක්ෂේත්‍රය තුළ තමන්ගේ භූමිකාව පුළුල් කළ යුතුයි. පෞද්ගලික අංශය වර්ධනයේ ගාමක බලවේගය බව සැමවිටම සලකනු ලැබේ. කෙසේ වුවද, මෙම කියමන යථාර්ථයක් බවට පත්කර ගැනීමට නම් සැමවිටම ගතානුගතික, අඩු අවදානමක් සහිත උපායමාර්ග යොදා ගැනීම වෙනුවට වැඩි ප්‍රතිලාභ අත් කර ගත හැකි නිර්භීත, පැහැදිලි ආයෝජන අවස්ථා උදා කර ගත යුතුය.
අප ජනතාවගේ අභිලාශයන් වඩා හොඳින් ආමන්ත්‍රණය කළහැකි අයුරින් පෞද්ගලික අංශයේ පූර්ණ ධාරිතාව භාවිත කළ හැකි ආකාරයට රජය තම පාර්ශ්වයෙන් තම වගකීම් හා යුතුකම් ඉටුකරනු ඇත.

2021 වර්ෂය සදහා වන අයවැය මෙම අරමුණ සාක්ෂාත්කර ගැනීමට පහසුවන අයුරින් මුලපිරීම් කිහිපයක්ම සිදුකර ඇත. ඊළඟ වසර 05 සඳහා කෘෂිකර්ම, ධීවර සහ සත්ත්ව නිෂ්පාදන අංශ ආදායම් බදුවලින් නිදහස් කර ඇත. නිෂ්පාදන ධාරිතාව වර්ධනයට සහ මෙම අංශවල ආදායම් උත්පාදනය වර්ධනයට පියවර ගැනීම ඉතාමත් වැදගත්ය.
පෞද්ගලික අංශය ගොවීන්ට තම ඵලදාව වැඩිදියුණු කළ හැකි අයුරින් සහ වාසිදායක නව අපනයන වෙළෙඳපොළ සොයාගත හැකි අයුරින් නව තාක්ෂණය හඳුන්වා දිය යුතුය. කාබනික ගොවිතැන සඳහා ගොවීන් වැඩි වශයෙන් යොමු කිරීම සහ නිරීක්ෂණ යාන්ත්‍රණයක් නිර්මාණය මගින් ජාත්‍යන්තර වශයෙන් අපගේ නිෂ්පාදනවල අගය ඉහළ නැංවිය හැකිය.
නව වෙළෙඳපොළ ගවේෂණය සහ වඩා හොඳ පිරිසැකසුම්කරණය, ගබඩා ඇසුරුම් කිරීම සහ ප්‍රවාහනය යන අංශවල ආයෝජනය ඉතාමත් වැදගත්ය. එමෙන්ම කෘෂි නිෂ්පාදන ක්‍රියාවලියේදී වටිනාකම් එකතු කිරීමේ ක්‍රියාවලියට ප්‍රවේශ වීමට ද අප සමත් විය යුතුය.
ඇ.ඩො. මිලියන 10ට වැඩි කෘෂි අංශයේ උපායමාර්ගික ආයෝජන සඳහා තොරතුරු තාක්ෂණ අංශය, කිරි නිෂ්පාදන, රෙදි පිළී, සංචාරක සහ අපනයන කර්මාන්ත සඳහා බදු සහන ලබාදීමට පියවර ගෙන ඇත.
නිෂ්පාදන සඳහා අවශ්‍ය අමුද්‍රව්‍ය, යන්ත්‍රෝපකරණ සහ ඝෘජු හා වක්‍ර අපනයනකරුවන් භාවිත කරන මෙවලම් යනාදිය සඳහා පවතින බදු ඉවත් කිරීමෙන් අපනයනකරුවන් දිරිමත් කිරීමට අවශ්‍ය පියවරගෙන ගෙන ඇත.
ඩිජිටල් යටිතල පහසුකම් ක්ෂේත්‍රයේ නව ආයෝජන මහත් සේ දිරිමත් කරනු ලැබේ. තොරතුරු තාක්ෂණ අංශයේ ෙසමාගම් ශ්‍රී ලාංකික නිපුණතා සඳහා නව වෙළෙඳපළ පුළුල් කිරීමට මෙම දිරිගැන්වීම්වලින් උපරිම ප්‍රයෝජන ගත යුතුය. සමාගම්, තොරුතුරු තාක්ෂණ අධ්‍යාපනය හා පුහුණුව සඳහා වැඩි වශයෙන් ආයෝජන කළ යුතුය.
කර්මාන්තයේ වේගයෙන් වෙනස්වන ස්වභාවය සහ එහි පවතින ඉහළ ඉපැයීම් හැකියාව සැලකිල්ලට ගෙන සමාගම්ලට මේ ක්ෂේත්‍රයේ සිටින තරුණ තරුණියන් විශාල සංඛ්‍යාවක් පුහුණු කිරීමෙන්, නව බඳවා ගැනිම් සදහා රජයේ අරමුදල් සපයන ආයතන මත රදා පැවතීමක් නොමැතිව, විශාල ප්‍රතිලාභ අත්කර ගත හැක.
අධ්‍යාපනය සඳහා ඩිජිටල් තාක්ෂණ මාධ්‍ය තෝරා ගැනිමට සිදුවීම තුළින් පෙන්නුම් කර ඇත්තේ දුරස්ථ අධ්‍යාපන ක්‍රමවේදය තුළද නව අවස්ථා නිර්මාණය වී ඇති බවයි. සහනදායී අරමුදල් යෝජනා ක්‍රම සහ ඇපකර වෙනුවට ව්‍යාපෘති ශක්‍යතාව තක්සේරු කිරීම මත ණය ලබාදිය යුතු ශක්තිමත් සංවර්ධන බැංකුවක් පිහිටුවීම තුළින් කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සහ ආරම්භක ව්‍යාපාර දිරිමත් කරනු ලැබේ.
තෝරාගත් ලෙස පනවනු ලබන සෙස් බද්ධ නව දේශීය කර්මාන්ත සඳහා උපකාරී වනු ඇත. රේගු බදු සරල කිරීම සහ ඊට අදාළ ක්‍රියාවලි විධිමත් කිරීම ඇතුළු මූලාරම්භයන් ක්‍රියාකාරි ආර්ථිකය වැඩිදියුණු කිරීමට පහසුකම් සපයයි. ආයෝජන ප්‍රවර්ධනය සඳහා ප්‍රාග්ධන වෙළෙඳපොළ දිරිගැන්වීම් රාශියක් හඳුන්වා දෙනු ලැබේ.

ශක්තිමත් ආර්ථික පුනර්ජිවනයක් සඳහා වේදිකාව සැකසීමට රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශය අතර හවුල්කාරිත්වය අවශ්‍ය වේ. විවිධ ක්ෂේත්‍රවල අපගේ සියලු ප්‍රවේශයන් කේන්ද්‍රීය දැක්මක් මත පදනම්ව පැහැදිලි අරමුණු හා ක්‍රියාකාරී සැලසුම් ඔස්සේ මෙහෙයවනු ලබන බවට අප සහතික විය යුතුයි. රාජ්‍ය හා පෞද්ගලික අංශය විසින් ගනු ලබන සියලුම ප්‍රවේශයන් අපගේ වර්ධන මාවත තහවුරු කිරීමට දායක විය යුතුය.
මෙම සන්දර්භය තුළ, ශ්‍රී ලංකා වාණිජ මණ්ඩලය විසින් රජයේ අවධානයට යොමු කිරීමේ අරමුණින් කර්මාන්ත වෘත්තිකයින් 70කට වැඩි පිරිසකගේ සහභාගිත්වයෙන් ආර්ථිකය ශක්තිමත් කිරීමේ රාමුවක් සකසා ඇති බවට මම දැනුවත්ව සිටිමි.
මම මේ ප්‍රවේශය අගය කරන අතර, මේ ලේඛනය අධ්‍යයනය කර බැලීමට බලාපොරොත්තු වෙමි. වටිනාකම් උත්පාදනය කිරීමේ යෝජනා සඳහා සෑමවිටම රජයේ ප්‍රමුඛ අවධානය ලැබෙනු ඇත.
මේ දෙදින තුළ, සමුළුවට සහභාගීවන කථිකයන්, විද්වත් මණ්ඩල සාමාජිකයන් සහ රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ ප්‍රමුඛ පෙලේ ප්‍රවීණයන් සැබවින්ම ජනතා කේන්ද්‍රීය ආර්ථික පුනර්ජීවනයක් ඇති කිරීම සඳහා නිර්මාණශීලි මාර්ගෝපදේශ ලබා දෙනු ඇතැයි මම විශ්වාස කරමි.
එක්ව සහයෝගයෙන් වැඩ කිරීමෙන් ශ්‍රී ලංකාවේ අනාගතයට ප්‍රයෝජනවත් පරිවර්තනීය වෙනසක් ඇති කිරීමට ‍අපට පිළිවන.
අවසාන වශයෙන්, අපට එක්ව සහයෝගයෙන් ජය ගැනීමට හැකි බවට මා තුළ ඇති මහත් සහ අවංක විශ්වාසනීය හැඟීම යළිත් වරක් ඔබට සහතික කිරීමට කැමැත්තෙමි

 
 

තිරසර ගෝලීය ඉලක්ක යටතේ 2030 වන විට ඒඩ්ස් රෝගය ලෝකයෙන් තුරන් කිරීමට ලෝක සෞඛ්‍ය සංවිධානය ගෙන යන වැඩපිළිවෙළට මානව ප්‍රජාව සහාය දැක්විය යුතු බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ජාත්‍යන්තර ඒඩ්ස් දින පණිවිඩය නිකුත් කරමින් පවසයි.

එම නිවේදනයේ මෙසේ ද සඳහන් වෙයි.

වර්තමානයේ කොවිඩ්-19 වසංගතය හේතුවෙන් ලොවක් වශයෙන් පීඩා විඳිමින්, ඒ පිළිබඳ පමණක් අවධානය යොමු කර සිටින පසුබිමක වුවද, අද දිනට යෙදී ඇති ජාත්‍යන්තර ඒඩ්ස් දිනය කෙරෙහි අවධානය යොමු කිරීම වැදගත්ය.

1987දී ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවර ලෝක සෞඛ්‍ය සංවිධානයේ ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහනේ මහජන තොරතුරු නිලධාරීන් දෙදෙනකු වූ ජේම්ස් ඩබ්ලිව්. බන් හා තෝමස් නෙට්ටර් වෙත පහළ වූ අදහසකට අනුව ඒඩ්ස් පිළිබඳ ගෝලීය වැඩසටහන ජාත්‍යන්තර ඒඩ්ස් දිනයක් ප්‍රකාශයට පත් කළේය.

ඒ අනුව 1988 වර්ෂයේ පටන් සෑම වසරකම දෙසැම්බර් 1 වැනිදා සැමරෙන ජාත්‍යන්තර ඒඩ්ස් දිනය, එච්.අයි.වී ආසාදනය පැතිරීම නිසා ඇතිවන ඒඩ්ස් වසංගතය පිළිබඳ දැනුවත් කිරීම වෙනුවෙන් වෙන් කර තිබේ. රාජ්‍ය හා සොඛ්‍ය බලධාරීන් විසින් ඒඩ්ස් ආශ්‍රිත මාතෘකා හා බැඳුණු කතා, සමුළු, පාගමන් සංවිධානය කරමින් ශ්‍රී ලංකාවේ ද මේ දිනය සමරති.

 
 

2020 ලෝක ඒඩ්ස් දිනයේ තේමාව වී ඇත්තේ" එච්.අයි.වී වසංගතය අවසන් කිරීම, ඔරොත්තු දීමේ හැකියාව සහ බලපෑම අවම කිරීම යන්නයි". ගෝලීය තිරසර සංවර්ධන ඉලක්ක යටතේ 2030 දී ලෝකයෙන්ම ඒඩ්ස් තුරන් කිරීම අරමුණ වී තිබේ. ඒ අනුව වසර 2025 වනවිට මෙරටින් ඒඩ්ස් රෝගය තුරන් කිරීමේ ඉලක්කයට ගමන් කරමින් සිටී. ඊට අවශ්‍ය සැලසුම් සකස් කර ඇති නමුත් සැලසුම් සකස් කළ පමණින් ඒඩ්ස් තුරන් කළ නොහැකි අතර, ඊට අවශ්‍ය ශක්තිය මානව ප්‍රජාව විසින් දිය යුතු බව සිහිපත් කරමි. එය මුළු මහත් මානව ප්‍රජාවගේම වගකීමකි. එම වගකීම ඉටු කිරීමට අප විවාදයකින් තොරව බැඳී සිටිය යුතුය. ලෝකයේ සමස්ත එච්.අයි.වී. ආසාදිතයන් මේ වන විට මිලියන 37 ඉක්මවයි. වසරකට මිලියන 1.7ක් එච්.අයි.වී. නව ආසාදිතයන් බවට පත්වන අතර ශ්‍රී ලංකාවේ එය ප්‍රතිශතයක් ලෙස සියයට එකට වඩා අඩු සංඛ්‍යාවකි.

එය එසේ වුවත් ඒඩ්ස්වලට එරෙහිව සටන් කිරීම මෙන්ම ඉන් වැළකීම අපගේ අධිෂ්ඨානය විය යුතු අතර ඒ සඳහා වගකීමෙන් කටයුතු කළ යුතුය.

දැනට එච්.අයි.වී ආසාදනය වී සිටින පුද්ගලයන් සමාජයේ වෙනස්කම්වලට ලක්නොවීමටත්, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාරවලට යොමු වන ලෙස දැනුම්දීමත් අප කළ යුතුය.

ඒ නිසා එච්.අයි.වී ආසාදනයට අවශ්‍ය ප්‍රතිකාර නිසි පරිදි ලබාගෙන රෝගය පාලනය කර ගැනීමටත්, ඒඩ්ස් අවදානමෙන් පසුවන සියලු දෙනාම ඒ පිළිබඳ සැලකිලිමත් වීමටත් අද දිනයේ කෙරෙන රජයේ දැනුවත් කිරීම උපයෝගී කරගන්නැයි ඉල්ලා සිටිමි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter