නවතම පුවත්

සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ජනවාරි 01 වැනිදා සිට දිවයින පුරා පිහිටි සිනමා ශාලා විවෘත කිරීම සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයා වශයෙන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවසර දී තිබේ.
ඒ අනුව හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් සෑම ප්‍රදේශයකම සිනමා ශාලා ජනවාරි 01 වැනිදා සිට විවෘත කෙරෙනු ඇත.
 
චිත්‍රපට නිෂ්පාදකයන්, චිත්‍රපට අධ්‍යක්ෂවරුන් සහ චිත්‍රපට ප්‍රදර්ශකයන්ගේ සංගමය ඇතුලු කලාකරුවන් රැසක්  සිනමා ශාලා වසා තැබීමෙන් කලාවට සහ කලාකරුවන්ට සිදුව ඇති හානිය පිළිබඳව  පසුගියදා අග්‍රාමාත්‍යතුමා දැනුවත් කළහ.
 
එහි ප්‍රතිඵලයක් ලෙස සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව නිරෝධායන නීතිරීතිවලට ගරු කරමින් සිනමා ශාලා විවෘත කළ යුතු බවට අග්‍රාමාත්‍යතුමා උපදෙස් දුන්නේය.
 
සිනමා කර්මාන්තය සුරක්ෂිත කිරීමට හැකි සෑම පියවරක්ම ගැනීමට රජය පසුබට නොවන බව ප්‍රකාශ කළ අග්‍රාමාත්‍යතුමා, කොවිඩ්-19 හේතුවෙන් සිනමා ශාලා වසා තැබීමෙන් සිනමා ශාලා හිමියන්ට තවදුරටත් සිදුවන හානිය අවම කිරීම, චිත්‍රපට නිෂ්පාදකයන් මුහුණ පා තිබෙන අර්බුධය හා  චිත්‍රපට කර්මාන්තයට සම්බන්ධ සියලු කලාකරුවන්,විවිධ වෘත්තිකයන් මුහුණ පා ඇති පීඩාවන් මගහැරීම සහ ප්‍රේක්ෂක ජනතාව පිළිබඳව අවධානය යොමුකර මෙම පියවර ගත් බව පෙන්වා දුන්නේය.
 
සිනමා ශාලා විවෘත කිරීමේදී අදාළ සිනමා ශාලා විශබීජහරණයට ලක්විය යුතුයැයි පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා, සිනමා ශාලා හිමියන් මෙන්ම චිත්‍රපට නැරඹීම සදහා සිනමා ශාලාවලට පැමිණෙන ප්‍රේක්ෂකයන්ද සෞඛ්‍ය මාර්ගෝපදේශවලට යටත්ව ක්‍රියාකළ යුතු බව අවධාරණය කළේය.
 
කොවිඩ් -19 අභියෝගය හමුවේ කලා කරුවන් මෙන්ම චිත්‍රපට කර්මාන්තය රැකගැනීම පියවර ගැනීම සම්බන්ධයෙන් බොහෝ කලාකරුවෝ අග්‍රාමාත්‍යතුමාට මෙම තීන්දුව සම්බන්ධයෙන් ප්‍රශංසා කළහ.

අනුරාධපුරය, ඇලෑපත්තුව, පහළගමට ඊයේ (26) පස්වරුවේ ගිය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සේනා දළඹුවාගෙන් බඩඉරිගු වගා බිම්වලට සිදුව ඇති හානිය සොයා බැලීය.

සේනා දළඹු උවදුර නිසා බඩඉරිගු වගාවට හානි වීමෙන් පසුගිය දෙවසරක කාලයක සිට ගොවීහු දැඩි පීඩාවට පත්ව සිටිති. මේ වසරේ ද දළඹු උවදුරින් දිස්ත්‍රික්ක රැසක වගාවන්ට හානි සිදුව ඇති අතර, අපේක්ෂිත අස්වැන්න ඉහළ ප්‍රතිශතයකින් පහත වැටී ඇති බව ගොවීහූ ජනාධිපතිතුමා සමඟ කියා සිටියහ.

වගාබිම්වලට ඇති, වන අලි තර්ජනය පිළිබඳව ද ගොවීන් විසින් ජනාධිපතිතුමා දැනුවත් කෙරිණ.

වගා බිම්වලට පැමිණ, තමන් මුහුණ දී ඇති දුෂ්කරතා සොයා බැලීම පිළිබඳව ගොවීහු ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.

මිරිසවැටිය විහාරාධිපති පූජ්‍ය ඊතලවැටුණුවැවේ ඥාණතිලක හිමියෝ ජනාධිපතිතුමා සමග මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

සුනාමි ව්‍යවසනයෙන් මියගිය ශ්‍රී ලාංකිකයන් සිහිපත් කරමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද(26) අග්‍රාමාත්‍ය නිල නිවසේදී පහන් දල්වා ඔවුන් සැම දෙන සිහිපත් කළේය.
 
ප්‍රථමයෙන් සුනාමියෙන් මියගිය පිරිස සිහිපත් කරමින් පෙරවරු 9.25 සිට පෙරවරු 9.27 දක්වා යෙදුණු  මිනිත්තු දෙකක නිහඬතාවයට එක්වූ  අග්‍රාමාත්‍යතුමා, අනතුරුව පහන් දල්වමින් මියගිය සියලුදෙනා සිහිපත් කළේය.
 
සුනාමි ව්‍යවසනයට අදට වසර 16ක් ගත වේ. ශ්‍රී ලාංකිකයන් 40000 කට ආසන්න සංඛ්‍යාවක් එම කුරිරු ව්‍යවසනයෙන් මිය ගියහ.
ආදරණීයන් බොහෝ දෙනෙකුට ජීවිත අහිමි වූවා පමණක් නොව උන් හිටි තැන් අහිමි එම පවුල්වල ලක්ෂ සංඛ්‍යාත පිරිසකට ජීවිතය අලුතින්ම පටන් ගැනීමට සිදු වූ බව අග්‍රාමාත්‍යතුමා මෙහිදී සිහිපත් කළේය.
 
මෙම අවස්ථාවට අග්‍රාමාත්‍ය ආර්යා ශිරන්ති රාජපක්ෂ මහත්මිය ද එක්ව සිටියාය.

බාධක සහ අභියෝග මැද ගෙවී ගිය වසර තුළ ජාතික ප්‍රතිපත්ති සමූහයකට ශක්තිමත් අඩිතාලමක් දැමීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා සමත්ව ඇතැයි බෞද්ධ උපදේශක සභාව ප්‍රකාශ කරයි.

රටේ අතිවිශාල ජනතාවගේ බලපාරොත්තුව වූයේ ජාතික චින්තනයක් මත පදනම්ව තීන්දු තීරණ ගන්නා නායකත්වයකි. රැකියා, තාන්න, මාන්න, වරප්‍රසාද වැනි පටු අභිමතාර්ථ ජනතාව ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගෙන් අපේක්ෂා නොකළහ. එවැන්නන්ගේ සහය ජනාධිපතිවරණයට පෙර සිටම රාජපක්ෂ මැතිතුමා බලාපොරොත්තු නොවූ බව මහා සංඝරත්නය සිහිපත් කළහ.

2015 වසරෙන් පසු බිඳ වැටුණු ජාතික ආරක්ෂාව මත්ද්‍රව්‍යයන්ගෙන් සහ පාතාල ක්‍රියාකාරකම්වලින් තොර විනයගරුක සමාජයක්, නාස්තිය, දූෂණය පිටුදැකීම, කාර්යක්ෂම රාජ්‍ය සේවයක්, රටේ අනන්‍යතාව රැකගත් විදේශ ප්‍රතිපත්තියක් ජනතාවගේ අපේක්ෂාව වූ බව උන්වහන්සේ  අවධාරණය කරති.

අද (24) පස්වරුවේ 07 වැනි වතාවට ජනාධිපති කාර්යාලයේ දී රැස් වූ බෞද්ධ උපදේශක සභාව මේ බව සඳහන් කළහ.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක්, ජාතික උරුමයන් සුරැකෙන වැඩපිළිවෙළක් සහ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ඇතුළු රටේ ගමන් මග වෙනස් කරන ක්‍රියාපිළිවෙතකට කොවිඩ් වසංගතය ඇතුළු බාධක රැසක් මැද අඩිතාලම දැමීමට හැකි වීම පිළිබඳව මහා සංඝරත්නය ජනාධිපතිතුමා වෙත ප්‍රසාදය පළ කළහ.

සංඝරත්නය අපේක්ෂා කළ බෞද්ධ අනන්‍යතාවට මුල් තැන දෙමින් සෙසු ආගමික සහජීවනයට සමාජ පරිසරය සැකසීම ගත වූ කාලය තුළ ජනතාව ලැබූ තවත් ජයග්‍රහණයකි. මෙය තවදුරටත් ඉදිරියට ගෙන යාම සඳහා සියලු ආගමික නායකයන්ගේ සැදුම්ලත් කමිටුවක අවශ්‍යතාවය ද උන්වහන්සේ පෙන්වා දුන්හ.

බෞද්ධ උපදේශක සභාව නියෝජනය කරන මහා සංඝරත්නය, රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක, ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග යන මහත්වරු, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරීහු සාකච්ඡාවට එක්ව සිටියහ.

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන් මහත් බැතියෙන් සමරන නත්තල, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරන්නක් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නත්තල නිමිත්තෙන් සුබ පැතුම් පණිවුඩයක් නිකුත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කරයි.

එම සුබ පැතුම් පණිවුඩයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වෙයි.

ලොව පුරා කෝටි සංඛ්‍යාත කිතුනුවන්ගේ සිත් දෙවියන් වහන්සේ කෙරෙහි උපන් භක්තියෙන් උද්දීපනය කරන නත්තල ජේසුස් ක්‍රිස්තූන් වහන්සේගේ උපත හා බැඳුණු, පාස්කුවට පමණක් දෙවැනි වන උතුම් ආගමික මංගල්‍යයකි. එය ජේසු සමිඳාණන් දේශනා කළ හා පැවැත්මෙන් ප්‍රදර්ශනය කළ සාමය, ප්‍රේමය, කරුණාව, සහජීවනය, සහකම්පනය බදු, ශිෂ්ට මනුෂ්‍ය සමාජයේ පදනම නිර්මාණය කරන උත්තුංග සාරධර්ම මූර්තිමත් කරයි. සාමාජයීය වශයෙන් ගත් කල නත්තල කිතුනු පවුල් එකට එකතු වෙන, තෑගි භෝග හුවමාරු කර ගන්නා, අමනාපකම් අමතක කොට බැඳීම් අලුත් කර ගන්නා ප්‍රමෝදජනක අවස්ථාවක්ද වන්නේය.

ජේසුස් වහන්සේ දෙසූ ධර්මය සමාජ චිරස්ථිතියට ඉවහල් වන ඉගැන්වීම් සමුදායක් ගැබ්කොට ගනී. පාපයේ අන්ධකාරය දුරු කොට, නොසලකා හරිනු ලැබූවන්ට සහෝදර හැඟීමෙන් පිහිටවීම සහ සමස්ත මනුෂ්‍ය වර්ගයාගේ විමුක්තිය උදෙසා කැපවීම ඒ අතර ප්‍රමුඛ වේ. කොවිඩ් - 19 වසංගතය හමුවේ ආර්ථික, සාමාජයීය හා සංස්කෘතික වශයෙන් අකර්මන්‍ය වූ ලෝකය යළි පුබුදු කිරීමට මේ දහම උපයෝගී කොට ගත හැකිය.

මෙරට කිතුනු ජනයා නත්තල සමරනුයේ මින් වසරකට මදක් වැඩි කලකට පෙර පාස්කු ඉරිදාවක කළ කුරිරු ප්‍රහාරයේ කටුක වේදනාව තවමත් සිත්හි දරාගෙන බව අප අමතක නොකළ යුතුය. එසේ වුවද එදා ජනිත කළ භීතිය හා අනාරක්ෂිත බව පිළිබඳ හැඟීම පහකොට සැකයෙන් බියෙන් තොරව ආගමික වතාවත්හි නිරතවීමට සියලු දෙනාට අවස්ථාව සැලසීමට අපට හැකිවී තිබේ. වින්දිතයන්ට යුක්තිය ඉටු කිරීමද එලෙසින්ම වනු ඇත.

 
 

ජේසුස් ක්‍රිස්තූන් වහන්සේ දේශනා කළ සාමයේ හා ප්‍රේමයේ ශුභාරංචිය ලොව පැතිරේවා! ශ්‍රී ලංකාවාසී සියලු කිතුනු ජනයාට ප්‍රීතිමත් සුබ නත්තලක් වේවායි ඉත සිතින් ප්‍රාර්ථනා කරමි.

නත්තල යන්න ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා නත්තල් දිනය නිමිත්තෙන් පණිවිඩයක් නිකුත් කරමින් පවසයි.

එම නත්තල් දින පණිවිඩයේ මෙසේද සඳහන් කර තිබේ.

නත්තල ජේසුස් වහන්සේගේ ඉපදීමත්, දෙවියන් වහන්සේ මානව සංහතිය කරා සම්ප්‍රාප්තවීමත් සිහිගන්වයි. එය ප්‍රේමය සහ මානව ගරුත්වය සැමරුමක් ලෙස සිහිගන්වන සුබාරංචියයි.

මේ උතුම් දිනයේදී සාමයේ හා දයාවේ පණිවුඩය අප හදවත් තුළ තහවුරු විය යුතුය. දිළිඳුන් මෙන්ම දරුවන් සොයා යමින් ඔවුන් සමඟ නත්තල ගත කරන්නට අධ්‍යාත්මිකව සිත යොමු කරන ගැඹුරු දහමක් නත්තල හා බැඳී පවතියි.

එම නිසා මෙවැනි උතුම් දිනෙක කාත් කවුරුවත් නොදත් බෙත්ලෙහෙමේ දිළිඳු ගව ලෙනක හිස තබා ගන්නටවත් තැනක් නැති ගව ඔරුවක සළු පිළි අහිමි සීතලේ උපන් බිලිඳා සොයා යෑම අර්ථවත් නත්තලකට මඟ පාදන බව මාගේ විශ්වාසයයි.

අසිරිමත් නත්තලේ අසිරියෙන් ශ්‍රී ලාංකික මෙන්ම ලෝක වාසී සියලු ක්‍රිස්තියානි බැතිමතුන්ගේ සෑම නිවෙසක්ම, සෑම හදවතක්ම සාමයෙන් සහ නිරෝගී භාවයෙන් පිරී ඉතිරේවා යැයි ප්‍රාර්ථනා කරමි. ඔබ සැමට සුබ නත්තලක් වේවා.

රාජ්‍ය ඖෂධ නිෂ්පාදන නීතිගත සංස්ථාව අලුතින් නිෂ්පාදනය කළ පෙනිසියුලින් ප්‍රතිජීවක ඖෂධයක් වන ෆ්ලුක්ලොක්සසිලින් (Flucloxacillin Capsules BP 500 mg) ඖෂධය මෙරටට හඳුන්වාදීම අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (23) එම සංස්ථා පරිශ්‍රයේදී සිදු කෙරිණි. එම නිෂ්පාදනාගාරය අගමැතිවරයාගේ නීරීක්ෂණයට ලක් වූ අයුරු.

මධ්‍යම අධිවේගී මා ර් ග යේ මූලික සැලැස්මේ තිබුණේ ගලගෙදර සිට උමං මාර්ගයක් ගන්නෝරුව දක්වා ගෙන යාමටයි. ඒ සම්බන්ධව මේ වනවිටත් එය අතහැර නෑ. කටුගස්තොට, කුණ්ඩසාලේ වටරවුම් පාරක් එයට සම්බන්ධ කරන්න බලාපොරොත්තු වනවා. ප්‍රධාන වශයෙන් ම ගලගෙදර සිට ගන්නෝරුව දක්වා උමං මාර්ගයකට තමයි කටයුතු කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඒ අනුව මහනුවර සිට කොළඹ දක්වා වූ මධ්‍යම අධිවේගී මාර්ගය සම්පූර්ණ කරන්න බලාපොරොත්තු වනවා ඉදිරියේදී. ඒ සම්බන්ධව මූලික සැලසුම් තිබුණා. මේ වනවිටත් වැඩ ඉවර වෙන්න තිබුණා. අවාසනාවට ඇති වූ දේශපාලන වෙනස්කම් එක්ක ඇති වූ තත්ත්වයන් මත අපට මේ තත්ත්වයට මුහුණ දෙන්න සිදුව තිබෙනවා.

 මරණයකදී රු.100,000ක්

දැඩි සත්කාර දීමනාව දිනකට රු.2000ක්

රෝහල්ගත වීමකදී  දිනකට රු.1000ක්

“විරු අබිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා අතින් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වූ අයුරු. මේ අවස්ථාවට සහභාගි වූ සෞඛ්‍ය ඇමතිනි පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය සහ රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් මහතා ද මෙහි වෙති. ඡායාරූපය - ජනාධිපති මාධ්‍ය අංශය

කොවඩ් 19 වසංගතයට එරෙහිව සටන් වදින රාජ්‍ය සේවකයන්ට මෙම වසංගතය හේතුවෙන් උද්ගතවන අවාසනාවන්ත තත්ත්වයක දී මූල්‍ය ආවරණයක් ලබාදීම වෙනුවෙන් ක්‍රියාත්මක “විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අධියර ආරම්භ කරයි.

ඒ අනුව “විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අධියර ආරම්භ කරමින් රක්ෂණාවරණ සහතිකය ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ආචාර්ය ජගත් වැල්ලවත්ත මහතා විසින් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (22) ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත පිළිගැන්වීය.

 
 

කොවිඩ් 19 වසංගත අවදානම සමඟ ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව පසුගිය අප්‍රේල් මාසයේ දී රක්ෂණාවරණයේ පළමු අදියර ක්‍රියාත්මක කරන ලද අතර කොවිඩ් මර්දනයේ පෙරමුණ ගෙන ක්‍රියාකරන වෛද්‍ය හා සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදා, පොලීසිය ඇතුළු රාජ්‍ය අංශයේ නිලධාරීහූ ඉන් ආවරණය කෙරේ.

“විරු අභිමන්” කොවිඩ් 19 රක්ෂණාවරණයේ දෙවැනි අදියර යටතේ රාජ්‍ය සහ පෞද්ගලික දෙඅංශයේ සියලුම සේවකයන් දායක කර ගැනීමට අපේක්ෂා කෙරෙන අතර කොවිඩ් 19 හේතුවෙන් ජීවිතය අහිමිවීමකදී “විරු අභිමන්” රක්ෂණාවරණය යටතේ රුපියල් 100,000 ක මුදලක් ප්‍රදානය කරයි. රෝහල් ගතවීමේ දී දිනකට ලැබෙන මුදල රුපියල් 1,000 ක් වන අතර දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර සඳහා දින 90 ක උපරිමයට යටත්ව එක් දිනක් සඳහා රුපියල් 2,000 ක දීමනාවක් පිරිනමන බව ජනාධිපති මාධ්‍ය අංශය පවසයි.

මෙම ‘විරු අභිමන්’ ආවරණය මඟින් සියලුම රාජ්‍ය අංශයේ සෞඛ්‍ය කාර්‍ය මණ්ඩල (සෞඛ්‍ය අමාත්‍යාංශ නිළධාරීන්, වෛද්‍යවරුන්, හෙදියන්, සහායකයින්, රියදුරන්, සුලු සේවකයින්, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, කළාප සෞඛ්‍ය නිළධාරීන්) ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් ( ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, ශ්‍රී ලංකා නාවික හමුදාව, ශ්‍රී ලංකා ගුවන් හමුදාව) ශ්‍රී ලංකා පොලීසිය සහ සිවිල් ආරක්ෂක බළකාය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ක්ෂේත්‍ර නිළධාරීන් ඇතුළු කාර්ය මණ්ඩලය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල කාර්ය මණ්ඩලය සහ තැපැල් දෙපාර්තමේන්තුවේ කාර්ය මණ්ඩලය ආවරණය වන අතර ජීවිත අහිමිවීමකදී ඔවුන්ගේ පවුල් සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදෙයි.

ප්‍රතිසංස්කරණය කළ අනුරාධපුර ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය සහ අභ්‍යන්තර මාර්ග පද්ධතිය විවෘත කිරීම බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ සුරතින් පෙරේදා (21) සිදුවිය.

ඒ අනුව ජේතවනාරාම පරිශ්‍රයේ පුරාවිද්‍යාත්මක කැණීම් තුළින් හමු වූ සුවිශේෂී පුරා වස්තු පෙරේදා සිට මහජන ප්‍රදර්ශනය සඳහා විවෘත වන අතර කෞතුකාගාරය විවෘත කිරීමට එක් වූ අගමැතිවරයා ජේතවනාරාම විහාර භූමියේ සල් පැළයක් රෝපණය කළේය. අනතුරුව ජේතවන පුරාවිද්‍යා කෞතුකාගාරය ද අගමැතිවරයාගේ නිරීක්ෂණයට ලක්විය.

මධ්‍යම සංස්කෘතික අරමුදල රුපියල් මිලියන 50ක මුදලක් වැය කරමින් ප්‍රතිසංස්කරණ කළ මේ පුරාවිද්‍යා කෞතුකාගාරයට සමගාමීව අලුතින් සකස් කළ අභ්‍යන්තර මාර්ග පද්ධතියට රුපියල් මිලියන 82ක මුදල් ප්‍රතිපාදන යොදවා තිබේ.

පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් නටඹුන් සහ අවශේෂ කොටස් ආරක්ෂා කර ගැනීම ජේතවන කෞතුකාගාරය මඟින් සිදුවන අතර එය ශ්‍රී ලාංකික කලාකරුවන්ගේ දෑතින් නිමවුනු අභිමානවත් නිර්මාණයකි.

අගමැති මහින්ද රාජපක්ෂ මහතාගේ අදහසකට අනුව නිර්මාණය වූ මේ ඵෙතිහාසික වටිනාකමකින් යුත් ව්‍යාපෘතිය සෞභාග්‍යයේ දැක්ම යටතේ අතීත ශ්‍රී ලාංකික ශ්‍රී විභූතිය අනාගත පරපුර වෙනුවෙන් රැකගැනීමේ අරමුණින් ක්‍රියාත්මකය.

අනුරාධපුර අටමස්ථානාධිපති අතිපූජ්‍ය ආචාර්ය පල්ලේගම සිරිනිවාස නාහිමිගේ හා ජේතවනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන්ගේ අනාශාසකත්වයෙන්, සෞභාග්‍යයේ දැක්ම ජාතික ප්‍රතිපත්තියට අනුව සංස්කෘතික පුනර්ජීවනය වෙනුවෙන් මේ කෞතුකාගාරය විවෘත විය.

 
 

මේ අවස්ථාව සඳහා ජේතවනාරාම විහාරාධිකාරී ශාස්ත්‍රපති ඉහළහල්මිල්ලෑවේ රතනපාල නාහිමියන් හා රුවන්වැලි චෛත්‍යාධිකාරී, රුවන්වැලි මහා සෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නාහිමියන් ඇතුළු මහා සංඝරත්නය වැඩම කළහ.

ඇමැති එස්.එම්.චන්ද්‍රසේන, රාජ්‍ය ඇමැතිවරුන් වන දුමින්ද දිසානායක, ෂෙහාන් සේමසිංහ, චන්න ජයසුමන, පාර්ලිමේන්තු මන්ත්‍රී කේ.ඩී.එස්.කුමාරසිරි, උතුරු මැද පළාත් ආණ්ඩුකාර මහීපාල හේරත්, උතුරු මැද පළාත් හිටපු මහ ඇමති එස්.එම්.රංජිත්, අනුරාධපුර නගරාධිපති එච්.පී.සෝමදාස, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ආමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යෙෂ්ඨ පුරාවිද්‍යා මහාචාර්ය ගාමිණී අධිකාරී, ජේතවන ව්‍යාපෘති කළමනාකරු ගාමිණී අබේරත්න මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

ජනමාධ්‍යවේදීන්ගේ වෘත්තීයභාවය ඉහළ නැංවීමේ අරමුණින් ජනමාධ්‍ය අමාත්‍යංශය මඟින් වාර්ෂිකව ක්‍රියාත්මක කරනු ලබන “ඇසිදිසි” ජනමාධ්‍ය ශිෂ්‍යත්ව වැඩසටහනේ 2020 වර්ෂය සඳහා සුදුසුකම් ලැබූ ජනමාධ්‍යවේදීන් සඳහා සංකේතාත්මකව ශිෂ්‍යත්ව පිරිනැමීම ගරු ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙළිය රඹුක්වැල්ල මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (22 අඟහරුවාදා) ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවැත්විණ. වෘත්තීය ජනමාධ්‍ය කලාවක් ස්ථාපිත කිරීම උදෙසා සියලු ජනමාධ්‍යවේදීන් දැනුමෙන්, කුසලතාවයෙන් හා ආකල්පමය වශයෙන් සන්නද්ධ කිරීම මෙම වැඩසටහනේ අරමුණයි.

මෙහිදී අදහස් දැක්වූ ජනමාධ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ අද දින ඇසිදිසි ශිෂ්‍යත්ව ලබන සියලුදෙනා ජනමාධ්‍ය ක්ෂේත්‍රයේ නියැළී සිටින සහ ඉදිරි දැක්මක් ඇතිව කටයුතු කරන මාධ්‍යවේදීන් වන බවයි. ‘‘ඔබ සියලුදෙනා තමන්ගේ වෘත්තීය මට්ටම තවදුරටත් ඉදිරියට ගෙනයන්නට බලාපොරොත්තු වෙමින් දැනටමත් එය සාර්ථක කරගත් කණ්ඩායමක්. මේ ශිෂ්‍යත්ව වැඩසටහන මාධ්‍යවේදීන් වන ඔබගේ වෘත්තීය තත්වය නඟාසිටුවීම සඳහා සුවිශේෂී අවස්ථාවක්. වැඩිදුර අධ්‍යාපනය ලබාගැනීම මඟින් ඔබගේ දැනුම වර්ධනය කරගෙන කාලයෙන් නිසි ප්‍රයෝජන ලබාගැනීමට කටයුතු කිරීම ජනමාධ්‍යවේදීන් වන ඔබ සතු වගකීමක් යැයි“ එහිදී අමාත්‍යවරයා පැවැසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා සඳහන් කළේ සෞභාග්‍යයේ ඉදිරිදැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනය සමඟ බද්ධ වෙමින් මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළ වගකීම ඉටුකිරීමට අමාත්‍යංශය බැඳී සිටින බවයි. මෙම කටයුතුවලදී සහයෝගයෙන් හා කැපවීමෙන් කටයුතු කරන අමාත්‍යංශයේ ලේකම්තුමා ඇතුළු කාර්යමණ්ඩලයට ද, අමාත්‍යවරයා මෙහිදී ස්තුතිය පළකළේය.

මෙවර ශිෂ්‍යත්වයට අයදුම්කළ ජනමාධ්‍යවේදීන් අතරින් සියලු මාධ්‍ය ආයතන නියෝජනය කරමින් ජනමාධ්‍යවේදීන් 85 දෙනෙක් සඳහා ශිෂ්‍යත්වය ලබාදීම සිදුකෙරෙනු ඇත.

දිවයිනේ පිළිගත් විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය ආයතනවල වසර තුනක සේවා කාලයක් සපුරා ඇති පූර්ණකාලීන හෝ අර්ධ කාලීන පදනම මත සේවයේ නියැළී සිටින වයස අවුරුදු 18-55 ත් අතර රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව විසින් ජනමාධ්‍යවේදීන් සඳහා නිකුත් කරන මාධ්‍යවේදී හැදුනුම්පත ලබා ඇති මාධ්‍යවේදීන්, නිදහස් මාධ්‍යවේදීන්, ප්‍රාදේශීය මාධ්‍යවේදීන් සහ වෙබ් මාධ්‍යවේදීන්ට ආපසු නොගෙවන පදනම යටතේ මෙම ශිෂ්‍යත්ව ලබා දෙනු ඇත.

උපාධි, පශ්චාද් උපාධි පාඨමාලා සඳහා රුපියල් ලක්ෂ දෙකක (200,000.00)  මුදලක් හෝ කෙටි කාලීන හෝ දිගු කාලීන සහතික පත්‍ර පාඨමාලා, ඩිප්ලෝමා, උසස් ඩිප්ලෝමා පාඨමාලා සඳහා රුපියල් ලක්ෂයක (100,000.00) උපරිමයකට යටත්ව මෙම ශිෂ්‍යත්ව මුදල ලබාදේ. ශිෂ්‍යත්වලාභීන්ට පිළිගත් විශ්වවිද්‍යාල, උසස් අධ්‍යාපනික පුහුණු ආයතන මඟින් පවත්වනු ලබන මාධ්‍ය ක්ෂේත්‍රයට අදාළව  පාඨමාලා හැදෑරිය හැක.

කිසිදු මුදලක් අය නොකර නොමිලේ ලබාදෙන මෙම ශිෂ්‍යත්ව යෝජනා ක්‍රමය මඟින් මාධ්‍යවේදීන්ට දෙවරක් ප්‍රතිලාභ ලබාගැනීමට අවස්ථාව සැලසෙන අතර, පළමු අවස්ථාවේ සුදුසුකම් ලබා වසර 5 ක් ඉක්ම ගිය පසු මුල් පාඨමාලාව සාර්ථකව සම්පූර්ණ කළ ජනමාධ්‍යවේදීන්ට දෙවන අවස්ථාව සඳහා අයදුම් කළ හැකිය.

ශිෂ්‍යත්වය සඳහා හිමිකම් ලබන මාධ්‍යවේදීන්ට පාඨමාලාව සඳහා වන ගාස්තුවෙන් 50% ක් පාඨමාලාව ආරම්භයේදී පළවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 50% න් 25% ක් පාඨමාලාවේ දෙවෙනි වාරිකය ලෙසත්, ඉතිරි 25% පාඨමාලාව සම්පූර්ණ කර සහතික ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ගෙවීම සිදු කරයි.

මෙ අවස්ථාව සඳහා ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර මහතා, අතිරේක ලේකම් (පාලන) රුවන් සත්කුමාර මහතා, ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව මහතා, ප්‍රධාන ගණකාධිකාරි එස්.ඒ.එන්.ආර්. සුබසිංහ මහතා ඇතුළු අමාත්‍යංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් සහභාගි විය.

පොළොන්නරුව, ඵෙතිහාසික ඉසිපතනාරාම රාජමහා විහාරස්ථානයේ ප්‍රධාන පිවිසුම් දොරටුව, වාහල්කඩ සහ දාන ශාලා ගොඩනැඟිල්ල බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු ඇමැති සහ අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පෙරේදා (20) බුදු සසුනට පූජා කරනු ලැබීය.

ප්‍රධාන පිවිසුම් ද්වාරයේ හා ශ්‍රී පඤ්ඤාරංසි නාහිමි අනුස්මරණ දාන ශාලා ගොඩනැඟිල්ලේ සමරු ඵලක නිරාවරණය කළ අගමැතිවරයා අභිනව දාන ශාලාව සඟ සතු කළේය.

ආගමික වතාවත්වල නිරතවීමෙන් අනතුරුව මහා සංඝරත්නය උදෙසා අටපිරිකර පූජා කරන ලදී.

පො‌ළොන්නරුව ඵෙතිහාසික ඉතිපතනාරාම රාජමහා විහාරාධීෂ්වර උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්ගේ අනුශාසකත්වයෙන් හා මාතලේ අනෝමදස්සී හිමියන්ගේ මඟපෙන්වීමෙන් ඉදිකළ ශ්‍රී පඤ්ඤාරංසි නාහිමි අනුස්මරණ දාන ශාලා ගොඩනැඟිල්ල ශ්‍රී ලංකා යුද හමුදාවේ පූර්ණ දායකත්වය යටතේ කෙටි කාලයකින් ඉදිකිරීම් අවසන් කෙරිණි.

 
 

පො‌ළොන්නරුව ඵෙතිහාසික ඉතිපතනාරාම රාජමහා විහාරාධීෂ්වර උතුර, උතුරු මැද හා නැඟෙනහිර පළාත් ප්‍රධාන සංඝනායක උඩගම ශ්‍රී ධම්මානන්ද නාහිමියන්, ලක්ෂ උයන විද්‍යාලයේ නියෝජ්‍ය විදුහල්පති, පේරාදෙණියේ සාසනරතන හිමි, මාතලේ අනෝමදස්සී හිමි ඇතුළු මහා සංඝරත්නය මේ අවස්ථාවට වැඩම කළහ.

රාජ්‍ය ඇමැතිවරුන් වන රොෂාන් රණසිංහ, සිරිපාල ගම්ලත්, පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරල, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහත්වරුන් ඇතුළු බැතිමත්හු පිරිසක්ද මේ අවස්ථාවට එක්වූහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter