නවතම පුවත්

මාදිවෙල - බටහිර නාගරික කෘෂීකර්මාන්ත හා පාරිසරික සංවර්ධන ව්‍යාපෘතිය අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතින් පසුගිය (15) දා ජනතා අයිතියට පත් විය.

කි.මී. 1.5 ක ඇවිදීමේ මංතීරුවක්, කි.මී. 1.5 ක දිගින් යුත් පාපැදි මංතීරු දෙකක්, ළමා උද්‍යානයක්, අංග 8 කින් සමන්විත එළිමහන් ව්‍යායාම් ප්‍රදේශයක්, එකවර රථ 40 ක් ගාල් කළ හැකි රථගාලක්, ප්‍රධාන මාර්ගයට සමාන්තරව රථවාහන ගාල් කිරීමේ ප්‍රදේශයක් සහ යල මහ කන්න දෙකම වගාකිරීමට ජලය සපයා දිය හැකි වැව් දෙකක් මෙම ව්‍යාපෘතියට අයත්ව තිබිණි.

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශය අනුව අක්කර 23ක ප්‍රදේශයක් පුරා පැතිර පවතින මෙම සංවර්ධන ව්‍යාපෘතියේ වැඩ ආරම්භවූයේ පසුගිය අප්‍රේල් මස 21 වැනි දා ය.

කොවිඩ් -19 පළමු රැල්ල පැතිරයන අවස්ථාවේ විවිධ බාධක මැද ආරම්භ කළ මෙම ව්‍යාපෘතිය මාස අටක පමණ ඉතා කෙටි කාලයක් තුළ ජනතා අයිතියට පත් කිරීම උදෙසා නාගරික සංවර්ධ හා නිවාස අැමැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා අවැසි උපදෙස් ලබා දුන්නේය.

 
 

කොවිඞ් - 19 අභියෝගයට සාර්ථකව මුහුණ දෙමින් රටේ සංවර්ධන ව්‍යාපෘතින් ද ක්‍රියාත්මක කළ යුතු යැයි අගමැති මහින්ද රාජපක්ෂ මහතා අමාත්‍යාංශ නිලධාරින්ට දුන් උපදෙස් මත මෙම ව්‍යාපෘතිය කඩිනමින් අවසන් කිරීමට කටයුතු කැර තිබේ.

ඒ අනුව මෙම පාරිසරික ව්‍යාපෘතිය නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති ඉතිහාසයේ ලබාගත් විශිෂ්ට ජයග්‍රහණයකි. ව්‍යාපෘතියට අදාළ ඉදිකිරීම් කටයුතු ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාව සහ මාර්ග සංවර්ධන අධිකාරිය විසින් සිදු කරන ලදී. ඊට වැය කළ මුළු පිරිවැය රුපියල් මිලියන 390 ක් වේ.

මෙයට පෙර ජනතා අයිතියට පත් කළ මෙම ව්‍යාපෘතියේ මූලික අදියර දැනටමත් සාර්ථක ලෙස ක්‍රියාත්මක වේ. ඒ යටතේ කාබනික පොහොර භාවිතයෙන් දේශීය වී වර්ග පමණක් වගා කරන කුඹුරු ප්‍රදේශයක් හා ප්‍රථම වරට ගොඩ බෝග වගාව කොළඹ ආශ්‍රිත ප්‍රදේශයන් හි ප්‍රචලිත කිරීමේ අරමුණින් හඳුන්වා දුන් ගොඩ බෝග වගා බිම් කොටස් 44 ක් සමන්විතය.

අැමැති නාමල් රාජපක්ෂ, රාජ්‍ය අැමැතිවරුන් වන ආචාර්ය නාලක ගොඩහේවා, කංචන විජේසේකර, ලොහාන් රත්වත්තේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ජගත් කුමාර, මදුර විතානගේ, ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්, ප්‍රේමනාත් සී.‍ දොලවත්ත, ඩයනා ගමගේ, නාගරික සංවර්ධන හා නිවාස අමත්‍යාංශයේ ලේකම් සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති, වරලත් වාස්තු විද්‍යාඥ හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල්, වරලත් නගර නිර්මාණ ශිල්පි ප්‍රසාද් රණවීර සහ ශ්‍රී ලංකා ඉඩම් සංවර්ධනය කිරීමේ සංස්ථාවේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් එම්.ආර්.ඩබ්ලිව්. ද සොයිසා ඇතුළු මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වත්මන් අර්බුදකාරී තත්ත්වය හමුවේ අභියෝගවලට අභියෝග කරමින් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව, ජාතිය ඔසවා තැබීමේ ව්‍යායාමයකට සූදානම් වී සිටින බව ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 95 වන සැමරුම වෙනුවෙන් ශුභාශිංසන පණිවුඩයක් නිකුත් කරමින් අගමැති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.

'ජාතියේ සන්නිවේදකයාට වසර 95' යන තේමාව යටතේ ඊයේ (16) පැවති එම උත්සව අවස්ථාවට එක්වූ ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා විසින් අගමැතිවරයාගේ එම ශුභාශිංසන පණිවුඩය කියවනු ලැබීය.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ජාතියේ සන්නිවේදකයා ලෙස විරුදාවලිය ලබා ගත්තේ දීර්ඝ කාලීන ජාතික මෙහෙවරක යෙදෙමිනි. ජාතියේ ප්‍රගමනය උදෙසා අනූපස් වසරක් පුරා සිදු කළ අමිල මෙහෙවර මෙරට ජනතාව කිසිදිනක අමතක නොකරනු ඇත. බ්‍රිතාන්‍ය රජය විසින් එම රජය යටතේ පිහිටු විය යුතු බවට නිර්දේශ කර ලබා දුන් ශ්‍රී ලංකා ගුවන්විදුලිය එදාමෙදා තුර වාණිජ බලවේගවලට නතු නොවී ජාතික මෙහෙවර නොපිරිහෙළා ඉටු කළේය. එදා මුල් අවධියේ වජිරාරාමාධිපති පැළැනේ ශ්‍රී වජිරඥාන හිමියන්ගේ ධර්ම දේශනයකින් ආරම්භ වූ ආගමික මෙහෙවර ඉටු කිරීම සඳහා මෙන්ම බෞද්ධයන්ට වගේම කිතුණු, හින්දු, ඉස්ලාම් යන සියලු ජාතීන්ට මෙම ආයතනයෙන් ලැබුණු දැහැමි හඬ කිසිසේත් අමතක කළ නොහැකිය.

ළමා අවදියේ සිට වැඩිහිටි අවදිය දක්වා සියලු තරාතිරමක ජන කොට්ඨාසයන් අරභයා වැඩසටහන් නිර්මාණය කරමින් ඔවුන්ගේ ජාතියට ආශිර්වාද වන දැනුම සමග දැහැමි, උසස් රසවින්දනයක් සහිත ප්‍රජාවක් බවට පත් කිරීමට ජාතික ගුවන් විදුලිය අමිල මෙහෙවරක් ඉටු කර ඇත. ජාතිකත්වය, දේශියත්වය වගේම රටේ අභිමානය ඇති ජනතාවක් ලෙස නාගරික මෙන්ම ග්‍රාමීය ජනතාව පෙළ ගස්වමින් රටේ ජාතියත්, අභිවෘද්ධියත් වෙනුවෙන් පෙනී සිටින ජාතික ගුවන් විදුලිය මේ අර්බුදකාරී මොහොතේ අභියෝගවලට අභියෝග කරමින් ජාතිය ඔසවා තබන ව්‍යායාමයකට සූදානම් වී ඇත. අදීන දේශයක් වශයෙන් රට නඟාලන වැඩසටහනට දැවැන්ත ශක්තියක් වන්නට ගුවන් විදුලියට හැකිවනු ඇතැයි මා බලාපොරොත්තු වෙනවා' යැයි ද අගමැතිවරයාගේ ශුභාශිංසන පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්ව තිබුණි.

එම උත්සවයට ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල, ජනමාධ්‍ය අමාත්‍යංශයේ ලේකම් ජගත් පී. විජේවීර, ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ, සංස්ථාවේ අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ යන මහත්වරුන් ප්‍රමුඛ සම්භාවනීය අමුත්තන් රැසක් එක්ව සිටියහ.

ආසියාවේ ප්‍රථම ගුවන් විදුලි සේවය ලෙස 1925.12.16 දින නිල වශයෙන් ආරම්භ වූ ගුවන් විදුලිය, ශ්‍රී ලාංකේය ජන සමාජයේ ජීවන හුස්ම තරමටම බැඳෙමින් මෙරට ගුවන් විදුලි වංශකතාවේ ස්වර්ණමය යුගයකට හිමිකම් කියමින් නූතන තරඟකාරී වාණිජ සම්ප්‍රදාය හමුවේ යම් අභියෝගවලට මුහුණ දෙමින් මහජන සේවය පිණිස ක්‍රියා කරයි.

2021 න් පසු සන්නිවේදන අවකාශය තුළ මුහුණ දීමට තිබෙන තරඟකාරි ව්‍යුහමය තත්ත්ව වෙනස් කර ගනිමින් නිෂ්පාදනයත් තාක්ෂණයත් සාර්ථකව කළමනාකරණය කර ගනිමින්, මේ රටේ ප්‍රමුඛ සන්නිවේදන ආයතනයක් ලෙස ඉදිරියට යෑම ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ අරමුණ වී තිබේ.

 
 

මෙහිදී උත්සව අවස්ථාව ඇමතූ ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙසේ අදහස් දැක්වීය.

අවුරුදු 95ක් ආවා කියන්නේ ලේසි පහසු ගමනක් නෙමෙයි. ගුවන්විදුලි තාක්ෂණය සඳහා භාවිත කරන නව ආම්පන්න එහෙම්ම තිබියදී ඒ අභියෝගය බාරගෙන වසර 95ක් තුළ මේ ආයතනය ඉදිරියට ගෙනියන්න කැප වූ සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා.

මේ ආයතනයේ ඉතිහාසය ගැන ඇඟට දැනෙන ආඩම්බරයකින් කතා කළා මා දැක්කා. සැබවින්ම මෙහි ආඩම්බරකාරී ක්‍රියාකලාපයන් නැති නම් එහෙම ආඩම්බරයෙන් කතා කරන්න බැහැ. ආටෝපයෙන් කියන එකයි හදවතෙන්ම කියන එකෙයි අතර වෙනස අපිට හොඳට තේරෙනවා. යම් යම් අවස්ථාවන්හි දී කඩා වැටීම් වෙන්න පුළුවන් හැබැයි ඒ සියලු දේ අතහරින්නේ නැතිව ඉදිරියට ගෙන යනවා කියන තේමාව මේ අනූපස් වසර තුළ ඉතා ප්‍රබල ලෙස ඉස්මතු වෙලා තියෙනවා.

මාත් කුඩා කාලයේ හඳ මාමා වැඩසටහනට සහභාගී වෙලා තියෙනවා මගේ අක්කා සමග. ඒ වගේම මා 70 අගභාගයේ දී චිත්‍රපටයක ප්‍රචාරණ වැඩසටහනක් සඳහා මෙහි පැමිණ තියෙනවා. මට පුංචි අභියෝගයක් ආවා ඒ වෙලාවේ. මට වුවමනා වෙලා තිබුණේ බණ්ඩාර කේ විජේතුංග මහතා ලවා හඬ කවාගන්න. ඒ වෙලාවේ රාජ්‍ය නායකයා තහනම් කරල තිබුණේ බණ්ඩාර කේ විජේතුංග මහත්තයව ගුවන්විදුලිය ඇතුළට ගෙන්වීම. හැබැයි තරුණයෙක් විදියට මට වුවමනාව තිබ්බා ඒ බාධකය බිඳගෙන ඇතුළට යන්න. මං කිව්වා රෙකෝඩින් එකක් ගෙනාවොත් ඒක දාගන්න පුළුවන් නේද වොයිස් එක තහනම් කරලා නෑනේද කියලා. මට එවෙලේ කිව්වා තරුණයා රජයත්, රාජ්‍ය නායකයෝ එක්ක හැප්පෙන්න යන්න එපා, ඒක හොඳ දෙයක් නෙමෙයි කියලා. හැබැයි මං වැඩේ අතහැරියේ නැහැ. ඒකෙන් දැනගත්තා එක දෙයක්. අභියෝග භාර ගන්නකොට අභියෝග ජය ගන්න පුළුවන් වෙනවා. අභියෝගවලදී හැකිළුනොත් අපේ අරමුණට යන්නම බැහැ.

දැන් ඔබතුමන්ලට තියෙන්නේත් එවැනි අභියෝගයක්. එක තැනක ඉඳන් ලෝකය හසුරුවන්න පුළුවන් තැනකට යා හැකි බව ගුග්ලිමෝ මාර්කිනෝ විද්‍යඥයා 1922 දී කිව්වා. එදා කියපු වෙලාවේ තිබූ තත්ත්වය 2020 දී කොයි වගේ වෙනස් විය යුතුද? හැබැයි වෙනස් නොවී ඒ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්නට මොනතරම් ප්‍රබල මාධ්‍ය ආයතනයක් විදියට සැලකිය යුතුද. ලෝකයේ සියලු දේවල් වෙනස් වුණත් මේ කර්තව්‍ය එහෙම වෙනස් වෙන්නේ නැහැ කියලා සාක්ෂි දරනවා. මා දෙවැනි වතාවටයි ජනමාධ්‍ය අමාත්‍යංශයේ වැඩ බාර ගත්තේ. අපි වගකීමක් බාර ගත්තට පස්සේ එය ඉෂ්ට කළ යුතුයි. අපට දෙන විෂය කුමක් වුවත් ඉහළ තැනකට ගෙනියන වගකීම පැවරෙනවා. වාණිජමය හා ශාස්ත්‍රීය වශයෙන්. මෙවැනි ආයතන වාණිජමය වටිනාකමක් තිබුණත් දැවැන්ත පසුබිම සහ ගැටගැහුණු ප්‍රෞඪත්වය අමතක කරන්න හොඳ නැහැ. ඒවා මුදල් වලට වෙන් කරන්න බැහැ. ලාභ ලබන්නේ නැහැ ඒ නිසා වැහෙන්න ඕනේ කියන මතයේ ඉන්න බැහැ. ඊට එහා ගිය වටිනාකමක් තිබෙන සන්නිවේදන ක්‍රමවේදයන් හඳුනා ගත යුතුයි. රූපවාහිනිය එනකොට චිත්‍රපට කලාව කඩා වැටෙයි කිව්වා. නමුත් එහෙම වුණේ නැහැ. ඒ වගේම තමයි හඬ පටය කියන්නේත්. අලුත් සංකල්ප එක්ක වෙනස් විය යුතුයි. අපේ තියෙන පුංචි පුංචි විරසකකම් මොහොතකට පැත්තකට තියලා මේ ආයතනය ඉදිරියට ගෙනියමු. එහෙම ඉදිරියට ගියොත් අපේ තියෙන පුංචි අඩුපාඩුකම් නිවැරදි කරගන්න පුළුවන්. ඒ නිසා අපි ඔක්කොම අත්වැල් බැඳගෙන එකට යමු. ප්‍රෞඪ ඉතිහාසයේ වත්මන් කොටස්කරුවන් විදියට ප්‍රතිලාභ ලබලා එහි කොටස්කරුවන් බවට පත්වෙමු.

ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ 95 වන සැමරුම සනිටුහන් කරමින් මෙහිදී සමරු මුද්දරයක් ද එළි දැක්වීය.

2030 වන වට මෙරට විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්තියෙන් ලබාගැනීමට ඇති හැකියාව සොයා බලන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

සුළං, සූර්ය තාපය සහ ස්වභාවික වායු වැනි පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් විදුලි බල පද්ධතියට කඩිනමින් එක් කර ගැනීමට ඇති හැකියාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ අවධානයට යොමුව ඇත. වර්තමාන ලෝකයේ බොහෝ රටවල් විදුලි බල උත්පාදනයේ දී පුනර්ජනනීය බලශක්තිය උපයෝගී කර ගැනීමට නැඹුරු වෙමින් සිටින අතර, “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව 2030වන විට සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 70ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමට රජය අපේක්ෂා කරයි.

පුනර්ජනනීය බලශක්ති උත්පාදනය, කෙටිකාලීන ඉලක්ක ඇතිව ක්‍රමානුකූලව සහ කඩිනමින් සිදු කළ යුතු බව ජනාධිපති කාර්යාලයේ ඊයේ(15) පැවැති විදුලි උත්පාදනය පිළිබඳ සාකච්ඡාවේ දී ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

අනාගත සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේ දී බලශක්තිය සඳහා වැඩිවන ඉල්ලුම පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් ගැනීම රජයේ අරමුණයි. එහි පළමු අදියර යටතේ මන්නාරම දූප‍තේ ස්ථාපිත සුළං බලාගාර පද්ධතිය මෙගා වොට් 30ක ධාරිතාවක් ප්‍රධාන විදුලි බල පද්ධතියට එක් කර තිබේ.

 

අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන ජනතාව සහ මධ්‍යම පාන්තිකයන් වෙනුවෙන් නිවාස 7500ක් ඉදිකිරීමේ කාර්යය වහාම ආරම්භ කරන්නැයි අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (14) නාගරික සංවර්ධන අධිකාරියට උපදෙස් දුන්නේය.
 
නාගරික සංවර්ධන අධිකාරියේ ව්‍යාපෘති සම්බන්ධයෙන් එම අධිකාරියේ නිලධාරින් සමඟ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවේදී අග්‍රාමාත්‍යතුමා මේ බව අවධාරණය කළේය.
 
ඒ අනුව මේ මස අවසන්වීමට පෙර අදාළ නිවාස ව්‍යාපෘතිය ආරම්භ කිරීමට නාගරික සංවර්ධන අධිකාරියේ එකඟතාව පළවිය. 
අලුතින් ඉදිවන නිවාස 7500න් 4000ක් අඩු පහසුකම් ජනාවාසවල ජීවත්වන්නන් නැවත පදිංචි කිරීම උදෙසා ඉදිකෙරෙන අතර ඉතිරි නිවාස 3000 මධ්‍යම පාන්තිකයින් සඳහා වෙන්වනු ඇත.
 
මධ්‍යම පාන්තිකයන් සඳහා නිවාස ලබා දීමේදී අවම මුලික ගෙවීමකින් නිවාස හිමිකම් ලබා දීමේ ක්‍රමවේදයක් සකස් කරන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරීන්ට නියෝග කළේය.
 
ඒ අනුව මධ්‍යම ප්‍රාන්තික නිවාස ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීමේදී නිවාසලාභීන්ට වසර 30ක් දක්වා සියයට 6.25% පොලී අනුපාත යටතේ නිවාස ලබා දීමට තීරණය කෙරිණි. 
 
කාලයක් තිස්සේ ක්‍රියාත්මක කරන බව පවසමින් ප්‍රමාදවන දැනට ආරම්භ කර ඇති වාහන රථගාල්වල වැඩ කටයුතු නැවත නැවත ප්‍රමාදවීම වැළැක්වීමට වහා පියවර ගන්නැයි අග්‍රාමාත්‍යතුමා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව රජයේ ඉඩම් ලබාගත හැකි තැන්වලින් ඒවා ලබාගෙන මෙම රථගාල් ව්‍යාපෘති කඩිනමින් අවසන් කිරීමට නිලධාරීන්ගේ එකඟතාව පළවිය.
 
මේ අතර පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ තොග වෙළෙඳාම සඳහා අද දිනයේ සිට විවෘත කරනු ලැබීය. 
 
පසුගිය කාලයේ, නව මැනිං වෙළෙඳපොළෙහි කඩ හිමියන්ට ප්‍රමාණවත් පරිදි කඩ කාමර නොමැතිවීම හේතුවෙන් මතුව තිබූ ගැටලුවට මේ වන විට විසඳුම් ලැබී ඇත.
 
සියලුම කඩ හිමියන් සඳහා මේ වන විට නව කඩ කාමර දී තිබේ. කඩ කාමර 1200කින් වැඩි ඉඩ ප්‍රමාණයකින් හා  පහසුකම් වලින් අනූන කඩ කාමර 768 ක් අද දිනයේ මෙසේ තොග වෙළඳාම සඳහා විවෘත විය.
 
මෙම කඩ කාමරවල මාසික කුලිය සඳහා සියයට 50%ක් වට්ටමක් ලබා දෙන ලෙස අග්‍රාමාත්‍යතුමා මෙහිදී දැනුම් දුන්නේය. ඒ අනුව යම් කාල පරාසයක් උදෙසා මෙම වට්ටම ක්‍රියාත්මකවනු ඇත.
 
කොවිඩ්-19 අර්බුදය නොවන්නට සිල්ලර වෙළඳාම සඳහා ඉතිරි වෙළඳ සැල් ලබා දිය හැකි බව නාගරික සංවර්ධන අධිකාරිය මෙහිදී අග්‍රාමාත්‍යතුමාට දැනුම් දුන්නේය.
 
2015 ට පෙර මුල්ගල තැබූ නිවාස ව්‍යාපෘති පසුගිය කාලයේ යහපාලන රජය විසින් අතර මඟ නවතා දමා තිබිණි. මෙම නිවාස ව්‍යාපෘති සියල්ලෙහි වැඩකටයුතු මේ වනවිට ආරම්භ කර ඇති බව නාගරික සංවර්ධන අධිකාරිය මෙම හමුවේදී සඳහන් කළේය.
ඉදිරියේදී කලාකරුවන් සඳහා ද නිවාස ව්‍යාපෘති ආරම්භ කිරීමට නියමිතය. 2024 වර්ෂය වන විට නිවාස එක් ලක්ෂ පනස් දහසක සංඛ්‍යාවක් නිමා කිරීමට නාගරික සංවර්ධන අධිකාරිය අපේක්ෂා කරයි. 
 
විවිධ ආධාර යටතේ ලැබෙන නිවාස ව්‍යාපෘති උතුරේ, දකුණේ හෝ වතුකරයේ ජනතාව සඳහා පමණක් නොව රට පුරා සියලු සාමාන්‍ය ජනතාව සඳහා බෙදී යා යුතු බව අග්‍රාමාත්‍යතුමා අවධාරණය කළේය.
 
මෙම අවස්ථාව සඳහා නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍ය නාලක ගොඩහේවා, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, අග්‍රාමාත්‍ය කාර්ය මණ්ඩල ප්‍රධානී යෝෂිත රාජපක්ෂ, නාගරික සංවර්ධන වෙරළ සංරක්ෂණ, අපද්‍රව්‍ය බැහැරලීම හා ප්‍රජා පවිත්‍රතා කටයුතු රාජ්‍ය අමාත්‍යාංශ ලේකම්  සිරිනිමල් පෙරේරා, නාගරික සංවර්ධන අධිකාරියේ සභාපති හර්ෂාන් ද සිල්වා, නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් එස්. එස්. බී. යාලේගම, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් එන්. පී. .කේ. රණවීර, නාගරික සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ ඊ. ඒ. සී. පියශාන්ත මහතා ඇතුළු මහත්ම මහත්මීන් රැසක් එක්ව සිටියහ.

කොවිඩ්-19 වසංගත තත්ත්වය පරාජය කිරීම සඳහා රජය ගෙනයන වැඩපිළිවෙළ තවදුරටත් ශක්තිමත් කිරිම සඳහා කොළඹ වරායේ දකුණු පර්යන්තය කළමනාකරණය කරන කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් (CICT) සමාගම මඟින් ශ්‍රී ලංකාවට රුපියල් ලක්ෂ 186ක (ඇමරිකානු ඩොලර් 100,000 ක) මුදලක් පරිත්‍යාග කර තිබේ.

එම සමාගම මෙම පරිත්‍යාගය ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලබාදුන් අතර මීට පෙර ද එම සමාගම සහ එහි සේවකයන් කොවිඞ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට පරිත්‍යාග තුනක් සිදුකර ඇතැයි ජනාධිපති මාධ්‍ය අංශය පැවසීය.

ඒ අනුව මෙම අරමුදල වෙත අදාළ සමාගම සිදුකළ සිව්වන පරිත්‍යාගය මෙය වන අතර මේ වසරේ මැයි මාසයේ දී කලම්බෝ ඉන්ටර්නැෂනල් කන්ටේනර් ටර්මිනල්ස් සමාගමේ මව් සමාගම වන චයිනා මර්චන්ට් ගෲප් සමාගමේ ආයතනික සමාජ වගකීම් අංශය වන චයිනා මර්චන්ට්ස් ෆවුන්ඬේෂන් (CMF) විසින් කොවිඩ්-19 සෞඛ්‍ය සහ සමාජ ආරක්ෂණ අරමුදලට රුපියල් ලක්ෂ 374 ක් (ඇමරිකානු ඩොලර් 200,000) පරිත්‍යාග කර තිබේ.

මේ අතර ඔක්තෝම්බර් මාසයේ දී සමාගමේ සේවකයන් මෙම අරමුදලට රුපියල් 800,000ක් පරිත්‍යාග කර තිබෙන අතර මීට අමතරව, සමාගම විසින් 2020 වසරේ දී මෙරටට ආරක්ෂිත ඇඳුම් කට්ටල 1000කට වැඩි ප්‍රමාණයක් සහ මුව ආවරණ 25,000කට වැඩි ප්‍රමාණයක් පරිත්‍යාගකර ඇත.

 
 

මේ අවස්ථාවට හුඇන්ග් මහතා සමඟ සමාගමේ ප්‍රධාන මූල්‍ය නිලධාරී රේමන්ඩ් මූ මහතා ද සහභාගී විය.

නවීන තාක්ෂණයේ වර්ධනයත් සමග ගොඩනැගුනු අභියෝග හමුවේ ගුවන් විදුලියේ 95 වසරක ගමන්මග ඉතා ආකර්ෂණීය බව ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා පවසයි. තාක්ෂණයේ වර්ධනයත් සමග රුපවාහිනිය සමාජ මාධ්‍ය ජනතාවට වැඩි නැඹුරුවක් පෙන්වීය. ඒවායින් ගුවන් විදුලියේ ඒකාධිකාරයට යම් බලපෑමක් වුවත් එල්ලවු අභියෝග ජය ගැනීමට ගුවන් විදුලියට හැකි වුයේ එහි තිබු ආකර්ෂණය ජනතාව තුළින් ඉවත් නොවීම නිසා යැයි ඔහු කියයි. ජාතික ගුවන් විදුලියේ 95 වන සංවත්සරයට සමගාමිව කඳුරට සේවය සංවිධාන කළ ආගමික වැඩසටහන්වලට එක්වීමෙන් පසු එම සේවය සමග පැවති සම්මුඛ සාකච්ඡාවේදී ඇමතිවරයා මේ බව කීවේය. දේශපාලන හේතුන් මත ඇතැම් නිර්මාණකරුවන්ට සහ ශිල්පීන්ට ගුවන් විදුලියට ඇතුල්වීම තහනම්කර තිබු යුගයක් අතීතයේ තිබු බව පෙන්වාදුන් අමාත්‍යවරයා විවිධාකාරයෙන් ගතවු දශක 10 කට ආසන්න කාලයේ ගුවන් විදුලියට එල්ලවු අභියෝග ජය ගනිමින් ඉදිරියට යාම ප්‍රශංසනීය බවද පැවසීය. අතීතයේ පැවති ළමා පිටිය වැනි වැඩසටහන්වලට සහභාගි වී ආත්ම තෘප්තියක් ලැබු තමා ඇතුඵ විවිධ පුද්ගලයින් විශාල පිරිසක් මේ රටේ වැදගත් ස්ථානවල සිටින බවද ඔහු පැවසීය. ගුවන් විදුලියේ සම්පත් ඒකරාශි කරමින් ශක්තිමත්ව ඉදිරියට ගමන් කළ හැකි වැඩපිළිවෙලක් සකස් කරන බවද ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා තවදුරටත් කීවේය.
.

ජනතාවගේ මනස පුබුදුවාලීම සදහා ජාතික ගුවන් විදුලිය සෑමවිටම නිර්මාණාත්මක ගමනක යෙදෙන බව ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ සභාපති විශාරද ජගත් වික්‍රමසිංහ මහතා පවසයි. සියලුදේ සමබරව අසන්නාට ලබාදීමට ජාතික ගුවන් විදුලිය ක්‍රියාකර ඇතැයි ඔහු කියා සිටි.

.

සමාජ පරිකල්පනය, අනන්‍යතාව සහ සමාජ හැඩය ගොඩනැගීමට ජාතික ගුවන් විදුලිය අතීතයේ සිට ක්‍රියාකර ඇතැයි අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ මහතා මෙහිදී කීවේය. ප්‍රතිපත්ති,නිර්මාණ සහ මතවාද සපයන පුඵල් මාධ්‍ය ආයතනයක් බවට ජාතික ගුවන් විදුලිය පත්ව ඇතැයි ඔහු පෙන්වා දුන්නේය.

ශ්‍රී ලාංකික සංස්කෘතික රටාවක් බිහිකිරීමේ පුරෝගාමි මෙහෙවරක් ජාතික ගුවන් විදුලිය ඉටුකළ බව ආචාර්ය ප්‍රණිත් අභයසුන්දර මහතා පවසයි. ජාතික ගුවන් විදුලිය මගින් ප්‍රචාරයවු වැඩසටහන් හේතුවෙන් සංස්කෘතික මිනිසා බිහිකිරීමට හැකිවු බව ඔහු සුභාරති සංවාද මණ්ඩපයට එක්වෙමින් පැවසීය. සුභාවිත ගීතයේ හා සංගීතයේ පුරෝගාමියා වන්නේ ද ජාතික ගුවන් විදුලියයි. ගුවන් විදුලිය හේතුවෙන් අපේමවු ගීත කලාවක් බිහි විය. විවිධ ගායක-ගායිකාවන් හදුන්වාදීම අතීතයේ සිදුවුයේ ජාතික ගුවන් විදුලියෙනි. ප්‍රමිතිගත සංගීත සංස්කෘතියක් බිහිකිරීමට ජාතික ගුවන් විදුලිය වැදගත් කාර්යභාරයක් ඉටු කළේය. ජනප්‍රිය සංස්කෘතිය බිහිවීමේ මෙහෙවර වෙළෙඳ සේවයෙන් ඉටු වු බව ඔහු පෙන්වා දුන්නේය.

.

මෙහිදී අදහස් දැක්වු ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය අනුර ලොකුගේ මහතා පැවසුවේ ලෝකයේ ගුවන් විදුලිය ආරම්භවී කෙටි කාලයකින් මෙරට ගුවන් විදුලි සේවයක් ආරම්භ කිරීමට හැකිවු බවයි.

පළාත් සභා මැතිවරණය කඩිනමින් පැවැත්වීම කෙරෙහි අවධානය යොමු කර, ඒ සඳහා අවශ්‍ය නීතිමය කටයුතු සොයා බලන ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා මැතිවරණ කොමිසමේ සාමාජිකයන්ට ඊයේ (11) උපදෙස් දුන්නේය. පැරැණි හෝ නව ක්‍රමයට මැතිවරණය පැවැත්වීමට හැකි ඉඩකඩ සොයා බලන ලෙසද අගමැතිවරයා මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හමුවේ පැවැසීය.

මැතිවරණ කොමිසමේ සාමාජිකයන් හා අගමැති මහින්ද රාජපක්ෂ මහතා අතර විජේරාම පිහිටි අගමැති නිල නිවෙසේ ඊයේ (11) පෙරවරුවේ පැවැති සාකච්ඡාවේදී රාජපක්ෂ මහතා මේ බව ප්‍රකාශ කළේය.

මැතිවරණය පැවැත්වීමේ ක්‍රමය වෙනස් කිරීමට අවශ්‍ය නීතිමය ප්‍රතිපාදන අමාත්‍යාංශ මට්ටමින් සිදු කළ යුතු බව මෙහිදී මැතිවරණ කොමිසමේ සාමාජිකයෝ පැවැසූහ.

ඒ හේතුවෙන් මෙවර පළාත් සභා මැතිවරණය පැරැණි ක්‍රමය ඔස්සේ පවත්වා ඉදිරියේදී අවශ්‍ය නීති සම්පාදනය කිරීමෙන් අනතුරුව නව ක්‍රමය යටතේ මැතිවරණය පැවැත්වීමට කටයුතු කිරීම වඩා පහසු බව ඔවුහු පෙන්වා දුන්හ.

දැනට පවතින මැතිවරණ නීතිවලට සංශෝධන අවශ්‍ය බව පැවැසූ මැතිවරණ කොමිසමේ සාමාජිකයන් ඒ සඳහා පාර්ලිමේන්තු තේරීම් කාරක සභාවක අවශ්‍යතාව පෙන්වා දුන්නේය.

 
 

මේ වන විටත් තමන් ඒ පිළිබඳ කතානායකවරයාගෙන් ඉල්ලීමක් කර ඇති බව අගමැතිවරයා ඊට පිළිතුරු දෙමින් ප්‍රකාශ කළේය.

මේ අවස්ථාව සඳහා මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ජ්‍යෙෂ්ඨ නීතිඥ නිමල් ජී. පුංචිහේවා මහතා, කොමිසමේ සාමාජිකයන් සහ අගමැති අතිරේක ලේකම් චමින්ද කුලරත්න මහතා ඇතුළු නිලධාරීහු පිරිසක් එක්ව සිටියහ.

සිරකරුවන් දෙස මානුෂීයව අවධානය යොමු කරමින් පවතින අඩුපාඩු විසඳා අවශ්‍ය පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අදාළ බලධාරීන්ට ඊයේ (10) උපදෙස් දුන්නේය.

මත්ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහිවීම හේතුවෙන් 12,000කට අධික පිරිසක් සිරගතව සිටින අතර ඔවුන් කෙරෙහි විශේෂ අවධානය යොමු කර පුනරුත්ථාපන වැඩසටහනක් සකස් කිරීමේ අවශ්‍යතාවද ඒ මහතා පෙන්වා දෙයි.

බන්ධනාගාර තුළ පවතින අඩුපාඩු සහ ගැටලු විමර්ශනය කොට විසඳුම් නිර්දේශ කිරීම සඳහා ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පැවති විශේෂ සාකච්ඡාවේදී ජනාධිපතිවරයා මේ බව පැවැසීය.

 
 

බන්ධනාගාර ඇතුළත දැඩි තදබදය පිටු දැකීම සඳහා දැනට හඳුනා ගෙන ඇති ස්ථානවල පෙර සවි ක්‍රමයට සිරගෙවල් ඉදි කිරීමට ඇති හැකියාව සොයා බලන්නැයි උපදෙස් දුන් ජනාධිපතිවරයා විදෙස් රටවල සිර මැදිරිවල ආකෘති අධ්‍යයනය කර පහසුකම් සැලසීමට කඩිනම් පියවර ගැනීමේ අවශ්‍යතාවද පෙන්වා දුන්නේය.

රස පරීක්ෂක, නීතිපති සහ පොලිස් දෙපාර්තමේන්තුවල ප්‍රමාදයන් නිසා අති විශාල පිරිසක් රක්ෂිත බන්ධනාගාරගතව සිටින අතර රේගුව, පොලිසිය, බන්ධනාගාරය, පුනරුත්ථාපන ඇතුළු අදාළ ආයතන එකතුවෙන් ජනාධිපති කාර්ය සාධක බළකායක් ස්ථාපනය කර පවතින ගැටලු නිරාකරණයට පියවර ගත යුතු යැයිද ප්‍රකාශ කළේය.

අධිකරණ ඇමැති එම්. යූ. එම්. අලි සබ්රි, බන්ධනාගාර පුනරුත්ථාපන රාජ්‍ය ඇමැති ලොහාන් රත්වත්තේ, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර මහත්වරු, අදාළ අමාත්‍යාංශ ලේකම්වරු සහ ආරක්ෂක අංශ ප්‍රධානීහු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

- සූර්ය බල විදුලියට ණය සහන
- ව්‍යාපාර නංවන්න කාරක ප්‍රාග්ධන ණය
- තරුණ ව්‍යවසායකයන්ට මූල්‍ය පහසුකම්
- දේශීය කිරි ගොවීන්ට දිරිගැන්වීම්

කොවිඩ් 19 වසංගත තත්ත්වය හමුවේ රටේ ආර්ථිකය පසුබෑමකට ලක්ව තිබුණද ජනතාවට සහන රැසක් සලසමින් ඉදිරි 2021 වර්ෂය සඳහා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ යෝජනා රැසක් අය-වැය සම්මත වූ ඊයේ (10) සිට ක්‍රියාත්මක කිරීමට රජය තීරණය කරයි.

රාජ්‍ය සේවකයන්, සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්, තරුණ තරුණියන්, කිරි ගොවීන් සහ සිසු දරුවන්ගේ සුභසිද්ධිය උදෙසා ඉදිරිපත් කර ඇති යෝජනා රැසක් ඊට ඇතුළත් වන අතර ඒ අනුව අය-වැය යෝජනා සම්මත වූ ඊයේ සිට වහාම ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබෙන බව මුදල් අමාත්‍යාංශය ප්‍රකාශ කරයි.

 
 

ඒ අනුව නිවාස හා දේපළ ණය සහන, සූර්යබල විදුලි පහසුකම් ලබාගැනීමේ ණය සහන, පිරිවෙන්වල ඉගෙනුම ලබන භික්ෂු හා ගිහි ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට පාවහන් තිළිණපත් පිරිනැමීම, කොවිඩ් වසංගතය නිසා බලපෑමට ලක් වූ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර නඟාසිටුවීම සඳහා කාරක ප්‍රාග්ධන ණය, තරුණ ව්‍යවසායකයන්ට නව ව්‍යාපාර ඇරඹීමට මූල්‍ය පහසුකම්, දේශීය කිරි නිෂ්පාදනය ප්‍රවර්ධනය කිරීම සඳහා කිරි ගොවීන් දිරිගැන්වීම, රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවා නියුක්තිකයන්ට නිවාස මිලදී ගැනීම සඳහා ණය පහසුකම් ආදිය ඒ අතර ප්‍රධාන වෙයි.

කෙසේ වුවද මෙහිදී කොවිඩ් - 19 වසංගතයෙන් රෝගාතුර වූ රාජ්‍ය සේවකයන්ගේ වියදම් අග්‍රහාර රක්ෂණ අරමුදල මඟින් දැරීමට යෝජනා ඉදිරිපත් කර තිබෙන අතර රජයේ සේවකයන් සඳහා රාජ්‍ය බැංකු මඟින් ලබාදෙන නිවාස හා දේපළ ණය සඳහා ඔවුන්ගෙන් අය කරනු ලැබූ උපරිම පොලී අනුපාතය සියයට 7ක් දක්වා අඩු කිරීමට පියවර ගෙන තිබේ.මැතිවරයා ලෙස අගමැති මහින්ද රාජපක්ෂ මහතා විසින් පිළිතුරු කතාව සිදු කළේය.

රටේ ආර්ථික වර්ධනය සිදු විය යුත්තේ සමාජයේ සෑම ස්තරයක්ම ආරක්ෂා වන අයුරින් බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

සෑම දෙයක්ම ආනයනය කොට අලෙවි කිරීම පහසු නමුත් එවිට ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟිය නොහැකි බව පෙන්වා දෙන ඒ මහතා සමාජයේ සෑම ස්තරයක්ම ආරක්ෂා වන අයුරින් ආර්ථික වර්ධනය සඳහා පෞද්ගලික අංශයේ දායකත්වය සහ නව ප්‍රවේශයන් ඉතා වැදගත් බවද පෙන්වා දෙයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ පෞද්ගලික ව්‍යවසායකයන් සමඟ ජනාධිපති කාර්යාලයේදී ඊයේ (10) පස්වරුවේ කළ සාකච්ඡාවේදීය.

ආර්ථිකයේ සෑම ක්ෂේත්‍රයකම සමබර වර්ධනයක් ඇති කිරීම සිය අරමුණ බව කී ජනාධිපතිවරයා, ඊට ඉවහල් වන ක්‍රියාමාර්ග ඉදිරිපත් කරන ලෙසත්, ඒ සඳහා ඇති බාධක හඳුනා ගන්නා ලෙසත් පෞද්ගලික අංශයට යෝජනා කළේය. විශේෂයෙන් කොවිඩ් 19 ව්‍යාප්තිය නිසා අඩාල වූ ආර්ථිකය යළි සක්‍රීය කොට දිගුකාලීන ආර්ථික සංවර්ධනයක් අත් කර ගැනීම පරමාර්ථය කොටගෙන ජනාධිපතිවරයා පෞද්ගලික ව්‍යවසායකයන් කණ්ඩායම් වශයෙන් හමුවීමට මෑතකදී තීරණය කළේය.

 
 

මේ රැස්වීම පැවැතියේ එහි දෙවැනි කණ්ඩායම සමඟ වන අතර, සංචාරක ව්‍යාපාරය, ගොඩනැඟිලි සහ මාර්ග ඉදිකිරීම්, සන්නිවේදන තාක්ෂණය, හෝටල් ව්‍යාපාරය, ශාක නිෂ්පාදන, පශු නිෂ්පාදන, කිරි කර්මාන්තය, ලුණු නිෂ්පාදනය, කෘෂි නිෂ්පාදන, සුළු අපනයන භෝග, කාබනික ගොවිතැන ආදී ක්ෂේත්‍ර ගණනාවක ප්‍රමුඛ පෙළේ ආයතනවල ප්‍රධානීහු ද සාකච්ඡාවට එක්ව සිටියහ.

ශක්තිමත් ආර්ථිකයක් ගොඩනැඟීමට ජනාධිපති රාජපක්ෂ මහතා අනුගමනය කරන ස්ථීර සාර සහ විධිමත් ප්‍රතිපත්ති ගැන ප්‍රසාදය පළ කළ ව්‍යවසායකයෝ 2021 අය-වැයෙන් ආර්ථික වෘද්ධිය සඳහා සපයා ඇති සහන පිළිබඳ මහත් සේ පැසසුම් කළහ. තම ව්‍යාපාරික ක්ෂේත්‍රවල වත්මන් තත්ත්වය ගැන ජනාධිපතිවරයාට පැහැදිලි කළ ඔවුහු තමන් වර්තමානයේ මුහුණ දෙන ගැටලු විස්තර කළහ. පුහුණු ශ්‍රමික හිඟය, ආයතනික අකාර්යක්ෂමතාව, ගොඩනැඟිලි ද්‍රව්‍ය හිඟය, ඇතැම් ශ්‍රමිකයන්ගේ උදාසීනතාව සහ නව වෙළෙඳපොළ සොයා ගැනීමේ අපහසුව ඔවුන් සඳහන් කළ ප්‍රධාන ප්‍රශ්න අතර විය.

සමාජයේ සෑම ස්තරයකටම ඉහළ ආර්ථික ශක්තියක් අත් කර දීම ප්‍රමුඛ අවශ්‍යතාවක් වන අතර අප රටේ ජනගහණයෙන් සියයට 35ක් ගොවීන් බවද ජනගහනයෙන් සියයට 70 ගේම ජීවනෝපායට කෘෂිකර්මාන්තයේ සම්බන්ධතාවක් තිබෙන බවද පෙන්වා දුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා, මේ ක්ෂේත්‍රයේ ඵලදායීතාව වර්ධනය කරන අතර, තරුණයන් ඊට ආකර්ෂණය කර ගත යුතු බවද පෙන්වා දුන්නේය. මේ අතර ව්‍යවසායකයන් මුහුණ දෙන ගැටලු අධ්‍යයනය කොට විසඳුම් සපයන බවද ඒ මහතා ව්‍යවසායකයන්ට පැවැසීය.

ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර, ආයෝජන මණ්ඩලයේ සභාපති සංජය මොහොට්ටාල මහත්වරුද මේ සාකච්ඡාවට සහභාගි වූහ.

නව ආණ්ඩුව ඇති කළ ආර්ථික ප්‍රතිසංස්කරණ මෙරට ජනතාව ඉතාම සතුටින් බාරගෙන ඇති බව අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (10) පාර්ලිමේන්තුවේදී පැවැසීය.

අගමැති, මුදල් ඇමැති මහින්ද රාජපක්ෂ මහතා මේ බව සඳහන් කළේ 2021 වසර සඳහා වන අයවැය විවාදයේ දී මුදල් අමාත්‍යාංශය පිළිබඳ කාරක සභා අවස්ථාවේ විවාදයට එක්වෙමිනි.

අයවැය තෙවැනි වර කියවීම සිදු කරන මොහොත වන විට රුපියල් බිලියන 82ක් කොවිඩ් මර්දනයට වියදම් කර ඇති බවත් දෙසැම්බර් වන විට එය බිලියන 90 ඉක්මවන බවත් ඒ අනුව මෙවර අයවැය දැවැන්ත අභියෝග රාශියක් බාර ගනිමින් ඉදිරිපත් කළ අයවැයක් බවත් සඳහන් කළ අගමැතිවරයා වැඩිදුරටත් මෙසේ ද පැවසීය.

මනා රාජ්‍ය මූල්‍ය කළමනාකරණයක් තුළින් රාජ්‍ය මූල්‍ය ඒකාග්‍රතාවය තවදුරටත් ආරක්ෂා කර ගනිමින් ජනාධිපතිතුමාගේ, 'සෞභාග්‍යයේ දැක්ම' ප්‍රතිපත්ති ප්‍රකාශය යථාර්ථයක් කරමින් 2025 වන විට අයවැය පරතරය දළ දේශීය නිෂ්පාදිතයේ ප්‍රතිශතයක් ලෙස සියයට 4.0 දක්වා අඩු කර ගැනීමටයි අපේ ඉලක්කය.

අයවැය තෙවැනි වර කියවීමේ අවස්ථාවටයි අපි සම්බන්ධවෙලා ඉන්නේ. මේ සභාව දන්නවා 2020 කියන්නේ ඊට කලින් අවුරුද්දේ දී පුරෝකථනය කරන්න බැරි අභියෝග රාශියක් අපිට බාර ගන්න වුණ අවුරුද්දක්. 2019 දී අපි කවුරුවත් හිතුවේ නෑ මේ වගේ ඛේදවාචකයකට මුළු ලෝකයම මුහුණ දෙයි කියලා. නමුත් ඒ අභියෝගය අපි ඉතා හොඳින් බාර ගත්තා. අපි ගැන ජනතාව තබපු බලාපොරොත්තු සුළඟේ ගහගෙන යන්න ඉඩදුන්නේ නැහැ.

ආණ්ඩුව ජනතාවට දෙන සහන වැඩි කරලා කෝවිඩ් - 19 පළමු රැල්ල සාර්ථකව පාලනය කළා. ඊළඟට කෝවිඩ් - 19 දෙවැනි රැල්ල පාලනය කරගන්න දැවැන්ත පියවර රැසක් ගනිමින් පවතිනවා. දැන් නිරෝධායනය කරන පවුලකට සති දෙකකට රු. 10, 000ක් වටිනා ආහාර මල්ලක් ලබා දෙන්න, සති දෙකකට වඩා වැඩි වන විට ඒක තවදුරටත් දීර්ඝ කරන්නත් පියවර අරගෙන තිබෙනවා. ඊට අමතරව ජීවනෝපායන් අහිමි වන පවුල්වලට රු. 5, 000ක මුදල් දීමනාවක් ලබා දීමට කටයුතු කරමින් සිටිනවා.

කථානායකතුමනි,

අපි මුහුණ දී තිබෙන තත්ත්වය තේරුම් ගන්න මම උදාහරණයක් දෙන්නම්. මේ අයවැය අපි ඉදිරිපත් කරනකොට රුපියල් බිලියන හැත්තෑවක් කොරෝනා වසංගතයට වියදම් කරලා තිබුණා.

කථානායකතුමනි,

අපි ලෝකයත් එක්ක කොයිතරම් ගැටගැහිලා තියෙනවා ද කියන එක තේරුම් ගන්න හොඳම අවස්ථාවක් තමයි මේ අවස්ථාව. ලෝකයේ සිද්ධ වෙන දේවල් දේශපාලන, ආර්ථික, සෞඛ්‍යමය වශයෙන් පවා සිද්ධ වෙන දේවල් අපිට කොයිතරම් බලපානව ද කියන එක තේරුම් ගන්න පුළුවන් අවස්ථාවක් තමයි මේ .ඒ ලෝකේ සිද්ධවෙන දේවල් මේ සභාවට පවා ඉතාම තදින් බලපාන බව මම කියන්න ඕනේ. මේ වගේ ලෝක අර්බුදවල දී පිටස්තර ලෝකය මත යැපෙන රටවල් ඉතාම අසරණ වෙනවා. අපි අපේ රටේ ආර්ථිකය දේශීය වශයෙන් ගොඩනඟාගෙන තිබුණා නම් මේ වගේ අර්බුදවලට මුහුණ දෙන්න හොඳටම පුළුවන්කමක් තිබුණා. ඒක තමයි කොවිඩ් -19 අපිට උගන්වපු පාඩම. අපි වේලාසනින්ම මේ තත්ත්වය තේරුම් අරගෙන තිබුණා. ඒ නිසා තමයි සෞභාග්‍යයේ දැක්ම තුළින් දේශීය ආර්ථිකයක්, දේශීය කෘෂිකාර්මික දියුණුවක් ගැන අපි හිතුවේ. මේ අයවැය හැදුණේ සෞභාග්‍යයේ දැක්ම පදනම් කර ගෙන.වෙන අයවැයවල තිබුණ අරමුණු නෙමෙයි මේ අයවැයේ තියෙන්නේ. වෙනත් අයවැය ඉදිරිපත් කිරීමේ දී අයවැය හිඟය පියවා ගැනීමට තමයි මූලිකත්වය දුන්නේ. නමුත් මේ අයවැය අපි සම්පූර්ණයෙන්ම වෙන්කරලා තියෙන්නේ දේශීය ගොවියා, දේශීය කර්මාන්තකරුවා, දේශීය නිෂ්පාදකයා ගොඩනඟාගෙන ලෝකයට මුහුණදෙන්න පුළුවන් සහ මේ වගේ ඛේදවාචකවලට මුහුණදෙන්න පුළුවන් රටක් ගොඩනඟා ගන්න. සෞභාග්‍යයේ දැක්මේ කෘෂිකර්මාන්තය ගැන විශේෂ අවධානයක් අපි යොමුකරලා තියෙනවා. ආහාර අපිම නිපදවා ගැනීම අපේ රට නඟාසිටුවන්න තිබෙන හොඳම මාර්ගයයි. මෙතෙක් කාලයක් වී කිලෝවට ගෙවුවේ රුපියල් 32යි. අපි ඒක රුපියල් 50 දක්වා වැඩි කළා. පොහොර නිකම්ම සහනාධාරයක් හැටියට ලබා දුන්නා. මෙහෙම කළාම ගොවියන්ගේ ආදායම දෙගුණ වුණා.

ගරු කථානායකතුමනි,

මේ අයවැයෙන් පොදු ජනතාවට මොනවත් නෑ කියලා අපේ විවේචකයෝ චෝදනා කළා. නමුත් මතක තියාගන්න අපි කොයි වේලාවෙවත් නිකන් සල්ලි බෙදන ව්‍යාපෘති පටන් ගත්තේ නැහැ. ඉදිරි ඡන්දය බලාගෙන හදපු අකුරක්, කොමාවක් මේ අයවැයේ නෑ. අපි ඒ ප්‍රෝඩාව ජනතාවට කරන්නේ නෑ. මේ අයවැයෙන් රුපියල් බිලියන 350ක් අපි මහා මාර්ගවලට වෙන් කරනවා. එඩ්වඩ් බාන්ස් ආණ්ඩුකාරයාගෙන් පස්සේ දැවැන්තම මාර්ග විප්ලවය සිද්ධ වුණේ අපේ කාලයේ තමයි කියලා කවුරුත් පිළිගන්නවා. මට ඉතාම කනගාටුයි විදේශිකයකුගේ නමක් රටට සේවයක් කළ ගොඩට දාලා සලකන්න වීම ගැන. මේ ක්ෂේත්‍රයට ඔහු කරපු සේවය තරම් සේවයක්වත් විපක්ෂය කරලා නැති හින්දයි මට ඒ නම මතක් කරන්න සිදු වුණේ. නමුත් අපි 2005 - 2010ත් අතර කාලයේ හදපු පාරවල්වලට බොහෝ දේ කිවුවා. නමුත් අද ඒ පාරවල්වලින් ප්‍රයෝජන ගන්නේ මන්ත්‍රීවරු ද?. ධනපතියන් පමණක් ද කියලා මම අහන්න කැමතියි. අද මේ පාරවල්වල එන්නේ ගමේ පොදු ජනතාව‍ෙග පොදු ප්‍රවාහන සේවාවන්වල හිමිකාරයෝ. කෙහෙල් මලේ ඉඳලා කිරිමුට්ටිය දක්වා බොහොමයක් දේවල් නගරයේ වෙළෙඳපොළට එන්නේ මේ පාරවල් දිගේ. අවුරුදු 5ක් තුළ කිලෝ මීටර් දෙකතුනක්වත් දුරට පාරක් හදපු නැති අයට මේවා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. ණය ගැන බැන බැන හිටපු අයට මේවා තේරුම් ගන්න පුළුවන්කමක් නෑ. අපි මේ අයවැයෙන් වියදම් කරන බිලියන 350ම පොදු ජනතාවගේ සාක්කුවට දාපු බිලියන 350ක් බව මම කියන්න ඕනෑ. ඒ විතරක් නෙමෙයි, අපි මේ වන විට බොන වතුරට බිලියන 135ක් වෙන් කරලා තියෙනවා. ඒක අපි වෙන් කරන්නේ 2024 දී සියලු ජනතාවට බොන වතුර ලබා දෙන්න.

 
 

ඒ වෙන් කිරීම්වලට අමතරව තවත් ඩොලර් බිලියන 2000ක ව්‍යාපෘති මේ රටේ ක්‍රියාත්මක කරනවා. මෙගාවොට් 600ක විදුලිබල ව්‍යාපෘතියක් ඒකට අයිතියි. ඒ වගේම කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ, වරාය පුළුල් කරන්නත් අපි ඒ මුදල් යොදවා ගන්නවා. මේ සියල්ල ලැබෙන්නෙ පොදු ජනතාවට. ඒ විතරක් නෙවෙයි, අපි පසුගිය කාලේ විශාල ප්‍රතිසංස්කරණ ගණනාවක් මේ රටේ ඇති කළා. ඉතිහාසයේ පළමු වතාවට 2020 අගෝස්තු 20 අංක 2187/10 දරන අතිවිශේෂ ගැසට් නිවේදනයෙන් විශේෂ ප්‍රමුඛතා අංශ හඳුනාගෙන අමාත්‍යාංශ සඳහා පැහැදිලි විෂය පථයක් වගේම කාර්යයන් වෙන් කර දුන්නා. ඒ වගේම ඒවායේ කාර්යක්ෂමතාවය හා ඵලදායිතාවය මැන බැලීමට පැහැදිලි නිර්ණායක ලබා දුන්නා.

දැන් අයවැය මඟින් වෙන් කරනු ලබන මුදල් අයත් වන්නේ අපේ රටේ සමස්ත ජනතාවටයි. පළමු වතාවට රාජ්‍ය අමාත්‍යාංශවල ලේකම්වරුන්, ප්‍රධාන ගණන් දීමේ නිලධාරීන් බවට පත් කිරීම නිසා වෙන් කරන අරමුදල් සඳහා ඔවුන් සෘජු වගකීමට මෙන්ම වගවීමට ද බැඳී සිටිනවා. ඒ නිසා රජයේ ප්‍රතිපත්ති පැහැදිලිව කාර්යක්ෂමව ක්‍රියාත්මක කිරීමට ඉඩ ප්‍රස්ථාව සැලසී තිබෙනවා.

දැනට පවතින නීති හා රෙගුලාසි බොහොමයක් යල් පැන ගිහින්. ඒ අනුව මුදල් රෙගුලාසි, ප්‍රසම්පාදන මාර්ගෝපදේශ, ඉඩම් හා සම්බන්ධ නීති වැනි ක්‍රියාදාමයන් නැවත සමාලෝචනයකට භාජනය කරමින් පවතිනවා. චක්‍රලේඛ 59ක් එකතු කරමින් පැහැදිලි මුදල් රෙගුලාසි ඇතුළත් චක්‍රලේඛයක් නිකුත් කළා. නව මුදල් රෙගුලාසි දැනටමත් කෙටුම්පත් කළා වගේම 2021 වසරේ පළමු කාර්තුව අවසන් වන විට එය නිකුත් කිරීමට අපේක්ෂා කරනවා. අපේ අධිකරණ ඇමැතිතුමා පහුගිය දවසේ පාර්ලිමේන්තුවට විශේෂ ප්‍රකාශයක් නිකුත් කරමින් කිව්වා දහස් ගණනක් නඩු විසඳෙන්නේ නැතිව උසාවිවල ගොඩගැහිලා තියෙනවා කියා. ඒ සඳහා අපි විනිශ්චයකාරවරුන් 20ක් පත් කරලා නඩු විසඳීමට තියෙන අවස්ථා ගණන වැඩි කළා. අපි කියනවා යුක්තිය නිසි වේලාවට ඉටු වෙන්නේ නැත්නම් ජනතාවට අයුක්තියක් සිද්ධ වෙනවා කියලා. ඒ නිසා උසාවි පරිපාලනය සඳහා නව තාක්ෂණය යොදා ගන්න; ඒවායේ කාර්යක්ෂමතාව ඉහළ නංවන්නට පියවර ගනිමින් ඉන්නවා. දිරාපත් වෙලා තියෙන අබල දුබල වෙලා තියෙන උසාවි ගොඩනැඟිලි වේගයෙන් ප්‍රතිසංස්කරණය කරනවා. මේවත් පොදුජනතාවට අයිතිවෙන දේවල් බව අපි මතක තියාගන්න ඕනේ.

බදු අඩු කිරීම තුළින් රාජ්‍ය ආදායම අඩු වෙතැයි බොහෝ අය මැසිවිලි නැඟුවා. මේ බදු ගහලා වැඩිපුර අමාරුවේ දාලා හිටියේ දේශීය ව්‍යාපාරිකයෝ සහ කර්මාන්තකරුවෝ. මට මතකයි යහපාලන ආණ්ඩුවේ මුදල් ඇමැතිවරයා එදා රාජපක්ෂ බද්ද කියලා බද්දකුත් ගැහුවා. මේ බදු ගැහීම නිසා මේ රටේ ව්‍යාපාරිකයෝ, කර්මාන්තකරුවෝ අකර්මණ්‍ය වෙලා හිටියේ. බොහෝ ව්‍යාපාර වැහුණා. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර බැංකුවලට සින්න වෙමින් තිබුණේ. අපි බදු බර අඩු කළා. ව්‍යාපාර කරගෙන යන්න බැරිව බදු ප්‍රතිශත ඉලක්කම් තිබුණාට රජයට ආදායම් ලැබෙනවාද?. ආණ්ඩුව බදු ගන්න නම් ව්‍යාපාර සාර්ථකව කරගෙන යන්න ඕනෑ. අපි මේ බදු බර අඩු කළා. නමුත් ආණ්ඩුවට පාඩු වුණේ නෑ. 2020 පළමු මාස 10 තුළ රාජ්‍ය ආදායම් ඇස්තමේන්තුවලින් සියයට 75ක් ලබා ගන්න පුළුවන් වුණා. කෝවිඩ් - 19 වසංගත තත්ත්වය හේතුවෙන් ආනයනය අඩු වුණත් රාජ්‍ය ආදායම රුපියල් බිලියන 1, 200කට පමණ ආසන්න අගයකට ගැනීම ඉහළ කාර්ය සාධනයක්.

සංකීර්ණ බදු පද්ධතියක් වෙනුවට සරල බදු පද්ධතියක් ඇතිකිරීමේ මූලික පියවර වශයෙන් බදු වර්ග කිහිපයක් එනම් ණය ආපසු ගෙවීමේ බද්ද, ආර්ථික සේවා ගාස්තුව සහ ජාතිය ගොඩනැඟීමේ බද්ද ආදී බදු කිහිපයක් අහෝසි කළා. එමෙන්ම සිගරට්, මත්පැන්, ඔට්ටු හා සූදු, සන්නිවේදන හා වාහන වැනි අයිතම සඳහා පනවා තිබූ බදු රාශියක් වෙනුවට එක් තනි විශේෂ භාණ්ඩ හා සේවා බද්දක් හඳුන්වා දීමට 2021 අයවැය මගින් කටයුතු කරමින් සිටිනවා. මෙම බද්ද online හරහා ගෙවන්න පුළුවන්. එමඟින් රාජ්‍ය ආදායම තවදුරටත් තහවුරුවීම මෙන්ම බදු පරිපාලනය සරල වෙනවා.

මේ අයවැය ඉදිරිපත් කළහම බොහොම දෙනෙක් අපේ ණය ගැන කනස්සල්ල පළ කළා අපිට ණය ගෙවාගන්න බැරිවෙයි කියලා. විපක්ෂය සැප්තැම්බර් මාසයේ ඉඳන් ලොකු බලාපොරොත්තුවකින් කතා කළා. මේ සභාවේ ඇතැම් අය කතා කරලා කිව්වා ණය ශ්‍රේණිගත කිරීම්වල අපි ඉතාම පහළට වැටිලා තියෙනවා කියලා. නමුත් පහුගිය වකවානුවේ ණය ශ්‍රේණිගත කිරීම් ආයතනයක දත්ත අනුව ලෝකේ රටවල් 40ක් පමණ පහළ වැටිලා තියෙනවා. ගමේ කවුරුත් කිව්වේ අපිට ඔක්තෝබර් ණය වාරිකය ඩොලර් බිලියන ගණන ගෙවාගන්න බැරිවෙයි කියලා. නමුත් අපි ඔක්තෝබර් දෙවැනිදා අපි ගෙවිය යුතු ඩොලර් බිලියන ගණන නිසි වෙලාවට ගෙව්වා. ඒත් ඔක්තෝබර් 4 වැනිදා අපි ණය ශ්‍රේණිගත කිරීම්වල වාර්තාවේ පහළට දැම්මා. හැබැයි මේ සභාවේ සෙසු රටවල් 40ක් ණය ශ්‍රේණිගත කිරීම් වාර්තාවේ පහළට ගිය බව කතා කළේ නෑ. ඒ වගේම මේ සභාවේ ඇතැම් අය ඔක්තෝබරයේ අපිට ගෙවන්න බැරිවෙයි කියලා කියපු ණය වාරික ගෙව්ව එක ගැනත් කතා කළේ නෑ. එහෙම තමයි අයවැය විවාද. ඒ විතරක් නෙමෙයි අපිට භාරදුන්නේ නොපියවූ බිල්පත් විශාල ප්‍රමාණයක් තියෙන ආණ්ඩුවක්. 2019 වසරෙදි නොපියවූ බිල්පත් විශාල ප්‍රමාණයක් 2020 වසරට ගෙනත් තිබුණා. පසුගිය වසරෙදි කළයුතු ගෙවීම් මේ වසරෙදි කරන්න වුණාම රජයේ වියදම් කළමනාකරණයේ දී විශාල පීඩනයක් දරන්න සිද්ධවෙනවා. නමුත් අපි ඒ බිල්පත් සියල්ලම මේ මොහොත වන විට ගෙවලා අවසානයි. ලංකාව කිසි වෙලාවකවත් ණය ගෙවීම පැහැරහැරලා නෑ. විදේශ ව්‍යවහාර මුදලින් ලබාගත් ණය තොගය 2019 වසර අවසාන වන විට දළ දේශීය නිෂ්පාදිතයෙන් 43ක් තරම් ඉහළ මට්ටමකයි තිබුණේ. ඒ නිසාම අපි මේ අවදානම මගහැර ගන්න දේශීය මූලාශ්‍ර මඟින් ණය ලබාගන්න කැපවෙලා තියෙනවා. අඩු පොලී අනුපාතිකය මේ සඳහා ලොකු පිටිවහලක් වෙලා තියෙනවා කියලා මම කියන්න ඕනේ.

අපි මේ ණය ගෙව්වේ අපේ තිබුණ ආර්ථික කළමනාකරණ ප්‍රතිපත්තියේ නිවැරදිකම හින්දා. කොවිඩ් -19 නිසා දවසකට විශාල වියදමක් දරමින් මේ විදියට ණය ගෙවන්න පුළුවන් වුණේ අපේ ඒ නිවැරදි දැක්ම නිසා. අපිට ඕනකරන දේවල් වගේම වුවමනා නැති දේවලුත් විශාල වශයෙන් විදේශවලින් ගෙන්වන සිරිත චිරාත් කාලයක ඉඳන් තිබුණා. සරුංගලය දක්වා දේවල් ගෙන්නුවා. විශාල වාහන ප්‍රමාණයක් මේ රටට ගෙන්නුවා. ඒවායේ පාලනයක් තිබුණේ නෑ. ඒවා අපි පාලනය කළා. අපි මේ ඇති කරපු ආර්ථික ප්‍රතිසංස්කරණ මේ රටේ ජනතාව භාර ගත්තේ ඉතාම සතුටින්. අද දේශීය කර්මාන්තකරුවන්, කෘෂිකාර්මිකයින්, ව්‍යවසායකයන් ඉතාම බලාපොරොත්තු සහගතව ඉන්න කාලයක්. මේ තියෙන කොවිඩ් වසංගත තත්ත්වය නොවෙන්න ඒ අය පැහැදිලිවම දන්නවා මේ තියෙන ආර්ථික කළමනාකරණ නියමයන් යටතේ සාර්ථක වෙන්න පුළුවන් කියලා. මේ නිසා අපේ අපනයන ආදායම් වේගයෙන් වැඩි වුණා. 2020 සැප්තැම්බර් මාසයේ අපනයනය අමෙරිකානු ඩොලර් මිලියන 1000 ඉක්මවලා ගියා. ඒක 2019 සැප්තැම්බර් මාසයට සාපේක්ෂව 4.8 ක වැඩිවීමක්. 2020 අගෝස්තු මාසයට සාපේක්ෂව 5.6 ඉහළ යෑමක්. මේ වර්ධනය හේතුවෙන් සැප්තැම්බර් මාසය වන විට ලංකාවේ රුපියල අති ප්‍රමාණය වුණා. මේ තරම් වසංගතයක් තිබිලත් ලංකාවේ රුපියල අවප්‍රමාණය නොවී පවත්වාගන්න අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා කියන්නේ අපේ දැක්මේ තියෙන සාර්ථකත්වය බව මම මේ සභාවට කියන්න ඕනෑ. මේකෙන් පෙනී යන්නේ ගෝලීය වෙළෙඳපොළ තත්ත්වයට අපිට සාර්ථකව මුහුණ දෙන්නට ඇති හැකියාවයි. අපේ අපනයනයන් ඉහළ ගිහින් ආනයනයන් සීමා වුණා. දේශීය ගෙවුම් ශේෂ හිඟය අඩු වුණා. අපේ විදේශ සංචිත ඉහළ ගියා. මේක තමයි අපේ ඉදිරියට යන්න තියෙන මාර්ගය.

ඒ වගේම කොවිඩ් වසංගතය අපිට ඉගැන්නුවා රට ඉක්මනින්ම තාක්ෂණීකරණය කරන්න ඕනෑ කියලා. 2021 අයවැය අපි පිළියෙල කළේ 2013 වසරේ හඳුන්වා දීපු ඒකාබද්ධ භාණ්ඩාගාර තොරතුරු පද්ධතිය හරහා බව මම කියන්නේ බොහොම සතුටින්. 2021 වසර අවසාන වන විට සමස්ත රාජ්‍ය අංශයම අපි මේ පද්ධතියට යොමු කරනවා. ඒ වගේම විද්‍යුත් ප්‍රසම්පාදන ක්‍රමවේදය දැනටත් ආරම්භ කරලා තියෙනවා. 2021 වසර අවසාන වන විට මුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු මේ ක්‍රමවේද මඟින් ආවරණය කරන්න අපිට පුළුවන්කම තියෙනවා.

එමෙන්ම සෑම ගනුදෙනුවක් සඳහාම ජාතික හැඳුනුම්පත් අංකය යොදා ගැනීම මඟින් පවතින අකාර්යක්ෂමතාවයන් රාශියක් මගහරවා ගැනීමට පුඵවන්. 2019 නොවැම්බර් මස අප හඳුන්වාදුන් බදු ප්‍රතිසංස්කරණ ඉතා අත්‍යාවශ්‍ය බව කොවිඩ් - 19 වසංගතයෙන් වූ බලපෑමෙන් තවදුරටත් තහවුරු වුණා. බදු ප්‍රතිපත්ති ස්ථාවරත්වය හේතුවෙන් ආයෝජන විශ්වාසය තවදුරටත් වැඩි වුණා. ඒ බව කොළඹ කොටස් වෙළෙඳපොළ දර්ශකයන්ගේ කාර්යසාධනය තුළින් මනාව පිළිබිඹු වෙනවා.

ගරු කථානායකතුමනි,

මම මේ අවස්ථාවේ දී පාර්ලිමේන්තු මහලේකම් ඇතුළු පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයටත් මුදල් අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු සියලුම නිලධාරින්ටත් ස්තූතිවන්ත වෙනවා.

අධ්‍යාපන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් 19 වසංගතය බාධාවක් කර නොගන්නැයි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අධ්‍යාපන බලධාරීන්ට උපදෙස්දී තිබේ.

ඒ අනුව පෙර පාසලේ සිට විශ්වවිද්‍යාලය දක්වා අධ්‍යාපන ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සම්පාදිත සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී කොවිඩ් බාධාවක් කර නොගන්නැයි පවසන ජනාධිපතිවරයා මානව සම්පත සංවර්ධනය රජයේ මූලික අරමුණ බවද සඳහන් කරයි. රටේ අනාගත පරපුර ඵලදායී පුරවැසියන් බවට පත් කිරීමට ඔවුන් නව දැනුමෙන්, කුසලතාවන්ගෙන් සහ නිපුණතාවන්ගෙන් සන්නද්ධ කළ යුතු වන අතර, ඒ සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළ පවතින වාතාවරණය මත අඩාල නොවිය යුතු බවද ඒ මහතා පෙන්වා දෙයි. අධ්‍යාපන අමාත්‍යාංශය සහ ඒ යටතේ ඇති සියලු රාජ්‍ය අමාත්‍යාංශ අපේක්ෂිත ඉලක්ක ළඟා කර ගැනීමට ගෙන ඇති පියවර සමාලෝචනයට ගනිමින් ඊයේ (09) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ පැවති සාකච්ඡාවේදී ගෝඨාභය රාජපක්ෂ මහතා මේ බව පැවැසීය.

ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් කඩිනමින් සැකසීමට “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශයේ ප්‍රමුඛත්වයදී තිබෙන අතර, අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුකූලව සැකසෙන නිශ්චිත අරමුණක් සහිත තනි විෂය නිර්දේශයක් යටතේ පෙර පාසලේ සිට උපාධිය දක්වා අධ්‍යාපන ක්‍රමවේද සැකසීම තවත් අරමුණක් වේ.

 
 

ඉලක්ක සපුරා ගැනීමට අධ්‍යාපන අමාත්‍යාංශය හා ඊට අයත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ, විවෘත විශ්වවිද්‍යාල හා දුරස්ථ අධ්‍යාපන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය, දහම් පාසල්, භික්ෂු අධ්‍යාපන, පිරිවෙන් හා බෞද්ධ විශ්වවිද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන, පෙර පාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍යාංශය සහ නිපුණතා සංවර්ධන, වෘත්තීය අධ්‍යාපන, පර්යේෂණ හා නව නිපැයුම් රාජ්‍ය අමාත්‍යාංශය ගෙන ඇති සැලසුම් වෙන් වෙන්ව ජනාධිපතිවරයා විසින් විමර්ශනය කෙරිණි.

ඇමැති මහාචාර්ය ජී. එල්. පීරිස්, රාජ්‍ය ඇමැතිවරුන් වන සුසිල් ප්‍රේමජයන්ත, පියල් නිශාන්ත, විජිත බේරුගොඩ, සීතා අරඹේපොල, ජනාධිපති ලේකම් පී. බී. ජයසුන්දර යන මහත්ම මහත්මීහු සහ අදාළ අමාත්‍යාංශ ලේකම්වරු මේ සාකච්ඡාවට එක්ව සිටියහ.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter