නවතම පුවත්

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විජේරාම පිහිටි අගමැති නිල නිවසේ දී අගමැති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ (30) හමුවිය. 35 වැනි පොලිස්පති ධූරයට පත්වීමෙන් අනතුරුව සී.ඩී. වික්‍රමරත්න මහතා මෙසේ නිල වශයෙන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා හමුවී සිය සේවය සැල කර සිටියේය.

නව පොලිස්පතිවරයාට සුබ පැතුම් එක් කළ අගමැති මහින්ද රාජපක්ෂ මහතා රටේ ආරක්ෂක තත්ත්වය සහ පොලිසියේ වර්තමාන කාර්ය භාරය පිළිබඳ මෙහිදී විමසා සිටියේය.

ශ්‍රී ලංකා පොලිසිය ඉදිරියට ගෙනයාමත්, ජාතික වශයෙන් පැවරෙන වගකීම් නොපිරිහෙලා ඉටු කිරීමත් පිළිබඳ නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා විශ්වාසය පළ කළේය.

ලොවටම තර්ජනයක් වී තිබෙන කොවිඩ්-19 වසංගත තත්ත්වයෙන් ශ්‍රී ලාංකික ජනතාව මුදා ගැනීම උදෙසා ශ්‍රි ලංකා පොලිසිය ඉටුකරන කාර්ය භාරය ද මෙහිදී අගමැතිගේ ඇගයීමට ලක්විය.

1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයකු ලෙස සේවයට එක්වූ සී.ඩී. වික්‍රමරත්න මහතා කොළඹ විශ්වවිද්‍යාලයේ හා කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධිධාරියෙකි.

 
 

බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා ඇති වික්‍රමරත්න මහතා මින් පෙරද 13 වරක් වැඩ බලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කර තිබේ.

සී.ඩී වික්‍රමරත්න මහතා හදාරා ඇති විදෙස් පාඨමාලා ගණන 13කි. ඉන්දියාව, එක්සත් රාජධානිය, ජපානය, සිංගප්පූරුව,බ්‍රසීලය, මියන්මාරය, රටවලදී හෙතෙම මානව සම්පත් කළමනාකරණය, බුද්ධි සේවය, මහජන පොලිසිය, මුදල් විශුද්ධිකරණය සහ ත්‍රස්තවාදය වැළැක්වීම ,මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලීමට අදාළ විෂයන් සම්බන්ධ පාඨමාලා හදාරා තිබේ.

ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයා ලෙස කටයුතු කළ සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස් ඉතිහාසයේ වාර්තා අතරටද එක්ව සිටින නිලධාරියෙකි. එසේම, ශ්‍රී ලංකා පොලිස් ඉතිහාසයේ බුද්ධි අංශ නිලධාරියෙක් පොලිස්පති ධුරයට පත් වූ ප්‍රථම අවස්ථාවද මෙය වේ.

සී.ඩී. වික්‍රමරත්න මහතා, තිස්වසරක යුද ගිනි නිවාලූ හමුදා මානුෂීය මෙහෙයුමට ද සිය උපරිම දායකත්වය දැක්වූවෙකි. නුගේගොඩ ශාන්ත ජොන් විද්‍යාලය, මහානාම විද්‍යාලය හා කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවෙකි.මෙහිදී නව පොලිස්පතිවරයා විසින් අගමැතිට සමරු සිහිවටනයක් ද ප්‍රදානය කරන ලදී.

පාර්ලිමේන්තු මන්ත්‍රීනී වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය ප්‍රාථමික සෞඛ්‍ය සේවා, වසංගත රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය ධූරයට පත් කර ඇත
 
නව රාජ්‍ය අමාත්‍යවරිය අද (30) සවස ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමුවේ සිය ධූරයේ දිවුරුම් දුන්නාය.
 
ප්‍රාථමික සෞඛ්‍ය සේවා ඉහළම ප්‍රමිතියට ප්‍රවර්ධනය කොට පවත්වාගෙන යාම “සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රධාන අරමුණකි.
 
නව රාජ්‍ය අමාත්‍ය ධූරය නිර්මාණය කරනු ලැබූයේ කොවිඩ් 19 රෝග ව්‍යාප්තියත් සමග සියලු වසංගත රෝග ඇතිවීමේ ඉඩ කඩ කල්තබා හඳුනාගෙන ඒවා පාලනය කරනු පිණිස ප්‍රතිපත්තිමය හා ප්‍රායෝගික යාන්ත්‍රණයක් සකස් කිරීම අරමුණු කර ගෙන බව ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කරයි
 
ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය මින් පෙර බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හා සිරකරුවන් පුනරුත්ථාපන රාජ්‍ය අමාත්‍ය ධූරය හෙබවූවාය

ශුද්ධ වූ මුහම්මද් නබිනායකතුමාගේ උපන් දිනය සමරන සියලුම ශ්රී ලාංකික ඉස්ලාම් ජනතාවට මාගේ ශුභාශිංසන එක් කරන්නේ ඉමහත් සතුටිනි.

මනුෂ්යත්වයෙන් පිරිපුන් ගෞරවණීය මානව ප්රේමයක් ගොඩනැගීමට කැපවූ නබි නායකතුමන්ගේ උපන්දිනය, අදට යෙදී තිබේ. ලොව පුරා වෙසෙන ඉස්ලාම් බැතිමත්හු අද දින මහත් උත්සවාකාරයෙන් නබි නායකතුමාගේ උපන්දිනය ආගමානුකූලව සමරති.

අන් අය අතර විශ්වාස ගොඩ නගාගත් එතුමන් අල් අමීන් හෙවත් විශ්වාසවන්තයා යන නාමයෙන් ද ප්රචලිත විය. මුහම්මද් නබිතුමන් සුවිශේෂි කරුණු මත අන් අය අතර ප්රචලිත වූ අතර ඉස්ලාම් දහම ලොවපුරා ව්යාප්ත කරමින් ඔහුට හතලිස් වැනි වියේ දී අල්ලා දෙවියන්ගේ පණිවුඩකරුවීමේ වරම ලැබිණි. අනතුරුව අරාබිකරයේ ප්රජාව නිවරදි මඟට යොමු කිරීමට කටයුතු කළ එතුමන් වසර 23ක් තිස්සේ දෙවිඳුන්ගෙන් ලැබුණු මෙහෙවර ඉටු කළේ ය.

ස්වකීය ජීවිතය පුරා එතුමා සුරැකි ගුණාංග, මිනිසත් බව වෙනුවෙන් කළ කැපකිරීම් අපිරිමිතය. අනෝන්ය අවබෝධය, සහෝදරත්වය, එකිනෙකාට උපකාර කිරීම හා සාධාරණත්වය, මුහම්මද් නබිතුමාගේ මූලික ඉගැන්වීම්වල හරයයි. එසේ ම මෙලොව පහළ වූ ශාස්තෘවරුන් අතර නබි නායකතුමන්ගේ දර්ශනය වූයේ මානව සමාජය ගුණ නැණ බලෙන් හා අවිහිංසාවාදයෙන් පුරවාලීමයි. 

ඉස්ලාමීය රටවල් ජාත්යන්තර සංවිධාන තුළ කවදත් ශ්රී ලංකාවට කොන්දේසි විරහිතව සහයෝගය දක්වා ඇත. අපට ලබා දුන් ඒ අන්තර්ජාතික සහයෝගයට කෘතඥතාව ප්රකාශ කිරීමටත්, එම රටවල සියලු ම ඉස්ලාමීය බැතිමතුන් වෙත නබි නායකතුමන්ගේ උපන් දිනය යෙදෙන අද දිනයේ සුබ පැතුම් එක් කිරීමටත් කැමැත්තෙමි.

එසේම, කොවිඩ්-19 වසංගත තත්ත්වය හමුවේ ලොවක් ලෙස දැඩි අර්බුදකාරී යුගයකට අප මුහුණ දී ඇත්තෙමු. ඒ නිසාවෙන් නිසි සෞඛ්ය උපදෙස් පිළිපදිමින්, ඉස්ලාමීය මඟපෙන්වීම්වලට අනුව මේ උතුම් දිනය සමරන ලෙස ඉල්ලා සිටිමි. සෑම මිනිසකුටම සමාන අයිතියක් ලැබිය යුතු බව ලොවට දේශනා කළ නබි නායකතුමන්ගේ ඉගැන්වීම් අනුව යමින් යහපත් සමාජයක් නිර්මාණය කිරීමට ඇවැසි ගුණධර්මයන් සමාජගත කරමින් ඒකීය ශ්රී ලංකාවක් කරා යන ගමනට අත්වැලක් වන ලෙසත්, සියලු ලෝකවාසී ජනතාව මෙම වසංගතයෙන් ආරක්ෂා කර දෙන ලෙස ප්රාර්ථනා කරන ලෙසත්, සියලු ඉස්ලාම් ජනතාවගෙන් ඉල්ලා සිටිමි.

ආගමික වතාවත්වල යෙදෙමින්, දුප්පතුන්ට පිහිට වෙමින්, නබි නායකතුමන්ගේ ඉගැන්වීම් මෙනෙහි කරමින් මිලාඩ් උන්-නබි දිනය සමරන සියලුම ශ්රී ලාංකික ඉස්ලාම් ජනතාවට මෙන්ම ලෝකවාසී ඉස්ලාමීය ජනතාවට ප්රීතිමත් මිලාඩ්-උන්- නබි දිනයක් ප්රාර්ථනා කරමි!

අගමැති මහින්ද රාජපක්ෂ
2020.10.29

අය වැය තුළින් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා වඩාත් ඵලදායීව ගමට ගෙන යෑමේ අරමුණෙන් “වැඩ සමඟ යළි ගමට“ ලෙස නව වැඩසටහනක් ආරම්භ කෙරේ.  ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සංකල්පයෙන් ආරම්භ කෙරුණු ගම සමඟ පිළිසදරක් වැඩසටහන යටතේ ගමෙන් ගමට ගොස් ගමේ ගැටලු හඳුනා ගෙන අය වැය තුළින් මුදල් වෙන් කර එම ගැටලු විසඳා දීම මේ නව වැඩපිළිවෙළ තුළින් සිදු කෙරේ. මේ සම්බන්ධයෙන් පළාත් මට්ටමින් පැවැත්වෙන රැස්වීම් මාලාව දෙසැම්බර් 14දා දකුණු පළාතෙන් ආරම්භ කිරීමට ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකාය තීරණය කර තිබේ.

මේ සම්බන්ධයෙන් කැබිනට් හා රාජ්‍ය ඇමැතිවරුන් සහ එම අමාත්‍යාංශවල ලේකම්වරුන් අතර කොළඹ දී ඊයේ (27) පැවති සාකච්ඡාවකදී ආර්ථික පුනර්ජීවනය හා දරිද්‍රතාව තුරන් කිරීම සඳහා වන ජනාධිපති කාර්යසාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා පැවැසුවේ 2021 අය වැය තනි පුද්ගලයකුගේ අය වැයක් නොව එය රාජ්‍ය හා පෞද්ගලික අංශයත් ප්‍රජා සංවිධානත් සමඟ දීර්ඝ කාලයක් සාකච්ඡා කර රටේ සංවර්ධනය වෙනුවෙන් සකස් කරන ලද්දක් බවය.

මෙවර අය වැයෙන් ඉදිරිපත් කර ඇති සංවර්ධන යෝජනා ගම් මට්ටමින් ජනතාව වෙත ගෙන යෑම සිදු කළ යුතු අතර, 2021 අය වැය සකස් කිරීමේදී ගම සමඟ පිළිසඳරක් වැඩසටහන මඟින් ජනතාවගේ අදහස් විමසමින් සකස් කළ මේ අය වැය ගෙවුණු වසර හැත්තෑවටම ඉදිරිපත්වූ සැබෑ ජනතාවාදී අය වැයක් බවද ගමේ අවශ්‍යතා ප්‍රාදේශීය මට්ටමට ඉදිරිපත් කළ බවද පෙන්වා දුන්නේය.

මාලදිවයිනේ ආරක්‍ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි මහත්මිය ඇතුලු දූත පිරිස හා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා අතර හමුවක් විජේරාම පිහිටි අග්‍රාමාත්‍ය නිල නිවසේදී ඊයේ (27) පැවැත්විණි.
 
ඉන්දියාව, මාලදිවයින සහ ශ්‍රී ලංකාව අතර සමුද්‍රීය ආරක්‍ෂක සහයෝගීතාව පිළිබඳ සිව්වැනි ජාතික ආරක්‍ෂක උපදේශක ත්‍රෛපාර්ශ්වික හමුවට එක්වීමට මෙරටට පැමිණි මාලදිවයිනේ ආරක්‍ෂක ප්‍රධානීන් පිරිස අග්‍රාමාත්‍යතුමා හමුවී කලාපීය ආරක්‍ෂාවට අදාළව සාකච්ඡාවක නිරතවූහ.
 
මත්ද්‍රව්‍ය, පාතාල කල්ලි ඇතුලු නීති විරෝධී ජාවාරම් මර්දනය, බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, ත්‍රස්තවාදය සහ අන්තවාදය සහ ආරක්‍ෂක සහයෝගීතාව සම්බන්ධයෙන් දෙරට අතර සහයෝගීතාව වර්ධනය කර ගැනීම පිළිබඳව මෙහිදී අවධානය යොමු විය.
 
මාලදිවයින් ආරක්‍ෂක අමාත්‍ය මරියා අහමඩ් ඩිඩි, නියෝජ්‍ය ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී බ්‍රිගේඩියර් ජෙනරාල් අබ්දුල් රහීම් අබ්දුල් මතීන්, ශ්‍රී ලංකාවේ මාලදිවයින් මහ කොමසාරිස් ඕමාර් අබ්දුල් රසාක්, ආරක්‍ෂක උපදේශක කර්නල් ඉස්මයිල් නසීර්, රාජ්‍ය අමාත්‍ය අජිත් නිවාඩ් කබ්රාල්, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත් ඇතුළු මහත්ම මහත්මීන් මෙම අවස්ථාව සඳහා එක්ව සිටියහ.

නව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අද (27) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හමු විය.

සී.ඩී. වික්‍රමරත්න මහතා මෙරට 35 වන පොලිස්පතිවරයායි.

1986 දී ආධුනික සහකාර පොලිස් අධිකාරිවරයෙකු ලෙස සේවයට එක්වූ ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ මෙන්ම කොතලාවල ආරක්ෂක විද්‍යා පිඨයේ ද උපාධිධාරයෙකි.

මිට අමතරව බ්‍රැඩ්ෆෝර්ඩ් විශ්ව විද්‍යාලයේ සහ හාර්වඩ් විශ්ව විද්‍යාලයේ පශ්චාත් උපාධි ඩිප්ලෝමා හදාරා තිබේ.

ජනාධිපතිතුමා නව පොලිස්පතිවරයාට සිය සුබ පැතුම් පිරිනැමූ අතර පොලිස්පතිවරයා ජනාධිපතිතුමා වෙත සමරු තිළිණයක් පිළිගැන්වීය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ශ්‍රි ලංකා රාමඤ්ඤ මහා නිකායේ අභිනව මහා නායක අතිපූජ්‍ය මකුලෑවේ විමල නා හිමියන් බැහැ දුටුවේය.

උන්වහන්සේ වැඩ වෙසෙන මීරිගම, මිණිඔලුව, විද්‍යාවාස පිරිවෙන වෙත අද (27) පෙරවරුවේ ගිය ජනාධිපතිතුමා අභිනව මහා නා හිමියන් වෙත සිය සුභාශිංසන පුද කළේය.

ශාසනික, ආගමික සහ ජාතික වශයෙන් රාමඤ්ඤ මහා නිකායෙන් සිදු වන සේවය අගය කළ ජනාධිපතිතුමා එම මෙහෙවර අඛණ්ඩව කරගෙන යාමට තමාගේත්, රජයේත්  පූර්ණ සහය ලැබෙන බව  පැවසිය.

මහානායක හිමියන්ට චිර ජීවනය ප්‍රාර්ථනා කළ ජනාධිපතිතුමා විශේෂ සටහනක් සමග සමරු සටහන් පොතේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුනායක අතිපූජ්‍ය නැදගමුවේ විජය මෛත්‍රී හිමි ඇතුළු මහා සංඝරත්නය කිහිප නමක් මේ අවස්ථාවට වැඩම කර සිටියහ.

උන්වහන්සේ සෙත් පිරිත් සජ්ජායනා කර ජනාධිපතිතුමාට ආශිර්වාද කළහ.

ඉන්දීය ජාතික ආරක්ෂක උපදේශක ශ්‍රී අජිත් දෝවාල් මහතා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විජයරාම නිල නිවසේදී හමුවුණා.

ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ සුබ පැතුම් පණිවුඩයක් අග්‍රාමාත්‍යවරයා හා අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා වෙත එක් කිරීමට ද ඔහු මෙහිදී කටයුතු කළා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ ආර්ථිකය ශක්තිමත් කළ යුතු බව මෙහිදී ප්‍රකාශ කළ ඉන්දීය ආරක්ෂක උපදේශකවරයා කලාපයේ සෙසු රටවල් සමගින් ආර්ථිකය නගා සිටුවීමේ හා සංවර්ධනයකරා ගෙනයාමේ ක්‍රමෝපායන් සොයාගත යුතු බව කියා සිටියා.

නවීන තාක්ෂණය යොදා ගනිමින් ඉන්දියාවේ අරඹා ඇති පානීය ජල ව්‍යාපෘති ශ්‍රී ලංකාව තුළ ද ආරම්භ කිරීමට මෙහිදී එකගතාව පළවුණා.

නව කැබිනට් අමාත්‍යවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් අද (26) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ඉදිරියේ දිවුරුම් දුන්හ.

රියර් අද්මිරාල් සරත් වීරසේකර මහතා මහජන ආරක්ෂක අමාත්‍ය ධූරයේ  දිවුරුම් දුන්නේය.

චමල් රාජපක්ෂ මහතා රාජ්‍ය ආරක්ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නේය.

රට තුළ පවතින කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද, සෞභාග්‍යයේ දැක්ම වැඩපිළිවෙළ යටතේ අඛණ්ඩව සිදු කරන සංවර්ධන සංග්‍රාමය සඳහා ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි පූර්ණ දායකත්වය ලබාදීමට කැපවන බව ජනමාධ්‍ය ඇමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

අැමැති කෙහෙලිය රඹුක්වැල්ල මහතා මේ බව සඳහන් කෙළේ ජනමාධ්‍ය හා විදේශ කටයුතු පිළිබඳ අමාත්‍යාංශවල වැය ශීර්ෂ පිළිබඳ විවාදයට පාර්ලිමේන්තුවේදී ඊයේ (25) එක් වෙමිනි.

කවර බාධක එල්ල වුව ද රට වෙනුවෙන් ඉටුකළ යුතු දැවැන්ත කාර්ය භාරයක් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත පැවරී තිබෙනවා. කොරෝනා වසංගත තත්ත්වය හමුවේ වුව ද නිවැරදි තොරතුරු සමාජගත කරන්නට ජනමාධ්‍ය අමාත්‍යාංශය කටයුතු කළා.

2014 වසර වන විට දැවැන්ත ලෙස ලාභ ලබමින් තිබූ මාධ්‍ය ආයතන පවා 2019 වසර වන විට පාඩු ලබන තත්ත්වයට පත්කළ යහපාලන ආණ්ඩුව අද එම ආයතන පිළිබඳ කතා කිරීම විහිළුවක්.

සමාජ මාධ්‍ය සියල්ල ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලියාපදිංචි විය යුතුයි.

අද උදේ සිට ප්‍රබුද්ධ කරුණු කාරණා ගණනාවක් පිළිබඳ විවාදයකට අපි සහභාගි වුණා. නමුත් අවසානයේ දී කිරි මුට්ටියට ගොම බින්දුවක් දැම්මා වගේ අපි සියලු දෙනාවම වෙන මානයකට ගෙන යන්නට උත්සාහ කළා. මම ඒ ගැන කනගාටු වෙනවා. මීට පෙර සිටි ඇමැති ගයන්ත කරුණාතිලක මහතා ඉදිරිපත් කළ කරුණු කෙරෙහිත් අපි අවධානය යොමු කරනවා.අමරදේව ආශ්‍රමය වෙනුවෙන් මිලියන 150ක් වෙන් කර තිබෙනවා.

මාධ්‍ය නිදහස ගැන කතාකරන කොට බොහෝ දෙනකු රිචඩ් සොයිසාගේ සිට දිගින් දිගටම වූ අමිහිරි අතීතය ගැන කතා කළා. එතැන් සිට මාධ්‍යවේදීන් 46 කගේ අතුරුදන්වීම් ගැන පොතක් ලියා තිබෙනවා. මතක තබා ගන්න, යුද සමයේදී උතුරේ අතුරුදන් වූ ,මියගිය අයගැන අපි කවුරුත් කතා කරන්නේ නැහැ. ඒ අසාධාරණය සිදු වෙනවා.කොහොම වුණත් තිස් වසරක අවාසනාවන්ත අඳුරු යුගය අවසන් කර අපි වැදගත් යුගයකට ඇවිත් තිබෙනවා.එවැනි යුගයක් නැවත රටතුළ නිර්මාණය නොවීමට අවශ්‍ය පූර්ණ මැදිහත් වීම ජනාධිපතිවරයා, අගමැතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව ගන්නා බව මම ප්‍රකාශ කරනවා. එම කාර්යයේදී ජනමාධ්‍ය අමාත්‍යාංශය ලෙස ලබාදිය හැකි පූර්ණ සහයෝගය ලබාදීමේ වගකීම අකුරටම මා ඉටුකරනවා.

අතුරුදන් වූවන් ගැන කතා කරනවා. 2015 යහපාලන ආණ්ඩුව කාලේ පළිගැනීම් කළේ මාධ්‍යවේදීන්ගෙන් නොවෙයි. මේ රටේ දේශපාලකයින්ගෙන්.

වැය ශීර්ෂ සම්මත විය.

- ජනමාධ්‍ය ඇමැති කොහෙලිය රඹුක්වැල්ල

කොවිඩ් 19 අභියෝග හමුවේ වුවත් පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු අඩාල නොකර පවත්වාගෙන යාමට රජය සියලු පුරවැසියන්ගේ සහාය අපේක්ෂා කරන බව ජනමාධ්‍ය ඇමැති කොහෙලිය රඹුක්වැල්ල මහතා ඊයේ (24) පැවැසීය.

රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (24) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් ඇමැතිවරයා පැවැසුවේ මෙම අසීරු අවස්ථාවේ ඇතැම් වෘත්තීය සමිති බොරදියේ මාළුබෑමට උත්සහා කරමින් සිටින බවයි. මෙවන් අසීරු අවස්ථාවක වෘත්තීය සමිති කිහිපයක් විසින් ගෙන යන එම උත්සාහයන් පිළිකුළෙන් හෙළා දකින බව පැවසූ ඇමැතිවරයා, දරුවන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් අඩු-පාඩු අවම වන ලෙස ගත හැකි සියලු ක්‍රියාමාර්ග ගන්නා බව ද කීවේය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරමින් නව අමාත්‍යංශ දෙකක් පිහිටුවීමට රජය තීරණය කර තිබේ.

ඒ අනුව තාක්ෂණ අමාත්‍යාංශය සහ මහජන ආරක්ෂක අමාත්‍යාංශය නමින් එම නව අමාත්‍යාංශය දෙක ගැසට් නිවේදනය මඟින් දක්වා තිබෙන බව රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.

20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය බලාත්මක වීමත් සමඟ ජනාධිපතිවරයා යටතේ අමාත්‍යාංශ පවත්වාගෙන යෑමට හැකියාව ලැබී තිබීම හේතුවෙන් ආරක්‍ෂක අමාත්‍යාංශය යළි ජනාධිපතිවරයා වෙත පවරා ගැනීමට සහ තාක්‍ෂණ සහ මහජන ආරක්‍ෂක නමින් නව කැබිනට් අමාත්‍යාංශ දෙකක් පිහිටුවීමට මෙන්ම එම නව අමාත්‍යාංශවලට අදාළ විෂය පථ වෙන් කිරීමට ද ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා විසින් පසුගිය 18 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර ඇත.

එම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට ආරක්‍ෂක මාණ්ඩලික ප‍්‍රධානි කාර්යාලය, ත්‍රිවිධ හමුදාව, රාජ්‍ය බුද්ධි සේවාව, ශ්‍රී ලංකා වෙරළාරක්‍ෂක දෙපාර්තමේන්තුව, සර් ජෝන් කොතලාවල ආරක්‍ෂක විශ්වවිද්‍යාලය, ආරක්‍ෂක සේවා අණ මාණ්ඩලික විද්‍යාලය, ජාතික ශිෂ්‍ය භට බළකාය සහ මිලෝදා ආයතනය පවරා තිබේ.

තාක්‍ෂණ අමාත්‍යාංශය යටතට ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව සහ අනුබද්ධිත ආයතන, තොරතුරු හා සන්නිවේදන තාක්‍ෂණ නියෝජිතායතනය හා ඊට අනුබද්ධිත ආයතන, ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය, ශ්‍රී ලංකා ටෙලිකොම් සමාගම හා එහි පාලිත සමාගම් සහ ආශ්‍රිත ආයතනය, කාර්මික තාක්‍ෂණ ආයතනය, ශ්‍රී ලංකා ඉන්ස්ටිටියුට් ඔෆ් නැනෝ ටෙක් නොලොජි ප්‍රයිවට් ලිමිටඞ්, ජාතික විද්‍යා හා තාක්‍ෂණ කොමිෂන් සභාව, සියලු තොරතුරු තාක්‍ෂණ උද්‍යාන, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සහ පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවරා තිබේ.

මේ අතර ශ්‍රී ලංකා පොලිසිය, ජාතික පොලිස් අභ්‍යාස ආයතනය, සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සහ බහු කාර්ය සංවර්ධන කාර්ය සාධක බළකා දෙපාර්තමේන්තුව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා ඇත. මෙම අති විශේෂ ගැසට් නිවේදනයට අනුව චමල් රාජපක්‍ෂ මහතා යටතේ පවතින රාජ්‍ය ආරක්‍ෂක, ස්වදේශ කටයුතු හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා පොලිසිය ඉවත් කර තිබෙන අතර එය නව මහජන ආරක්‍ෂක අමාත්‍යාංශය යටතට පවරා තිබේ.

අලුතින් පිහිටුවනු ලැබූ තාක්‍ෂණ සහ මහජන ආරක්‍ෂක කැබිනට් අමාත්‍යධුර සඳහා ඉදිරි දින කිහිපයෙහි අලූතින් ඇමැතිවරුන් දෙදෙනකු දිවුරුම් දීමට නියමිතය. 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අනුව ආරක්‍ෂක අමාත්‍යාංශය ජනාධිපතිවරයා යටතට පවරාගත යුතුවන අතර පත්කළ හැක්කේ කැබිනට් ඇමැතිධුර 30 ක් සහ රාජ්‍ය ඇමැතිධුර 40 ක් පමණි. දැනට නව රජය යටතේ දිවුරුම් දී ඇත්තේ කැබිනට් ඇමැතිවරු 28 දෙනකු පමණි.

logo20190228 1

163, ඇසිදිසි මැඳුර, කිරුළපන මාවත, පොල්හේන්ගොඩ, කොළඹ 05

011-2513 459, 011-2513 460,
011-2512 321, 011-2513 498

.

.


facebook
twitter